සටහන - චමින්ද මුණසිංහ

ස්ථාවරත්වය ඕනෑම රටක මූලික අවශ්‍යතාවකි. රටේ ආරක්‍ෂාව ස්ථාවරත්වයට බලපාන ප්‍රධාන සාධකයයි. එනිසා සෑම ආණ්ඩුවක්ම, සෑම පාලකයකුම ආරක්‍ෂාව පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුය. එහෙත් අපේ බොහෝ දේශපාලකයන්, නායකයන් ආරක්‍ෂාව සම්බන්ධව දක්වන්නේ අඩු සැලකිල්ලකි. ඒ වගේම ඔවුන්ට ඇත්තේ ද අඩු අවබෝධයකි. ආරක්‍ෂාවට දෙන්නේ ද අඩු ප්‍රමුඛත්වයකි. තිස් වසරක යුද්ධය කාලයේ දී ආරක්‍ෂාව පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කළ බව පැහැදිලිය.

එහෙත් එසේ නොවුණු සෑම අවස්ථාවකම ආරක්‍ෂාව සම්බන්ධයෙන් සැහැල්ලුවෙන් සිතා ක්‍රියා කළ ස්වරූපයක් පෙනෙන්නට තිබේ. ගෙවුණු වසර තුන හතරේ දී වැඩි අවධානයක් යොමු කළේ ආරක්‍ෂාව සම්බන්ධව නොවේ. සංහිඳියාව පිළිබඳවය. මෙතැන තිබෙන්නේ අනවබෝධයකි. සංහිඳියාව හරිහැටි ගොඩනැගීමටත් ආරක්‍ෂාව බෙහෙවින් වැදගත්ය. සංහිඳියාව යැයි කියා ආරක්‍ෂාව සම්බන්ධව අවධානය අඩු කළොත් ආරක්‍ෂාව සම්බන්ධ පියවර ලිහිල් කළොත් ඇති වන්නේ බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොවේ. ගෙවුණු වසර තුන හතරේ දී අත්දුටුවේ එයයි.

බුද්ධි අංශ කෙරෙහි තිබූ අවධානය නැතිවීම මේ කාලයේ දක්නට ලැබුණු ප්‍රධාන කරුණකි. ඒ වගේම බුද්ධි අංශවලින් එදා කළ කටයුතු පිළිබඳව ඇඟිලි ගසමින් බුද්ධි අංශ නිලධාරීන්ට පීඩනයක් එල්ල කළේය. ත්‍රස්ත උවදුර මේ රටෙන් තුරන් කිරීමට බුද්ධි අංශවලින් වූ සේවාව මිල කළ නොහැකිය. හොඳ බුද්ධි  සේවාවකින් තොරව සාර්ථක  හමුදා ක්‍රියාන්විතයක් හෝ ත්‍රස්තවාදීන්ගේ උපක්‍රම අඩාල කළ නොහැක. ත්‍රස්තවාදීන්, අන්තවාදීන්, සංවිධානාත්මක අපරාධ යන සෑම දෙයක්ම පාලනය  කිරීමේ මූලික පදනම වන බුද්ධි අංශය, එක් දිනකින් දියුණු කළ නොහැක. බුද්ධි අංශ කඩා කප්පල් වන තත්ත්වයක් විටින් විට ඇති වුණි. එය බෙහෙවින්ම කනගාටුදායකය.

වසර 2005 සිට 2015 දක්වාම අපි බුද්ධි අංශ ශක්තිමත් කළෙමු. සෑම අංශයකින්ම ඔවුන් දිරි ගැන්වීමට කටයුතු කළෙමු. සැහැල්ලුවෙන් සිතා කටයුතු කිරීමට ඉඩ නොතබා සෑහෙන පීඩනයක් එල්ල කිරීම හේතුවෙන් ඔවුහු තම කටයුතු නිසි ලෙස කළහ. එසේ නොකර බුද්ධි අංශ කඩා දමා යම් සිද්ධියක් වූ පසු එක්වරම එම අංශ ශක්තිමත් කිරීමේ හැකියාවක් නැත. බුද්ධි අංශ හරහා තොරතුරු එක්රැස් කරමින් දිගින් දිගටම ක්‍රියාත්මක විය යුතුය.

 බුද්ධි අංශ ක්‍රියාත්මක වනවිට යම් යම් වැරැදි වෙන්නට පුළුවන. එහෙත් ඒවා ඔවුන්ගේ පෞද්ගලික  අවශ්‍යතා මත කළ ඒවා නොවේ. මේ අංශ ක්‍රියාත්මක වන ස්වභාවය අනුව එම ක්‍රියා වැරැදි බව ඇතැම් අය සිතන්නට පුළුවන. ඕනෑම රටක බුද්ධි අංශ ක්‍රියාත්මක වන ආකාරයට මෙම ක්‍රියා සිදුවන බව ද අමතක නොකළ යුතුය. කෙසේ හෝ පසුගිය කාලයේ බුද්ධි අංශ අඩාල වුණි. ඒ අයගේ චිත්ත ධෛර්යය කඩා වැටුණි. මේවා භයානක පෙර නිමිතිය.

 යුද්ධයෙන් පසුව උතුරු-නැගෙනහිර ආරක්‍ෂාව පවත්වා ගන්නට යුද්ධ කාලයේ තිබූ හමුදාමය ක්‍රියාදාම කළේ නැත. සාමාන්‍ය ජන ජීවිතයට අවහිරයක් කරදරයක් නොවන ලෙස නීතිය හා සාමය පොලිසියට  බාර දුන්නෙමු. එසේ කළත් බුද්ධි අංශ හරහා යම් ජාලයක් පවත්වාගෙන ගියේ ත්‍රස්තවාදීන් යළි සක්‍රිය විය හැකිද, වෙනත් අන්තවාදී කණ්ඩායමක් හැටියට ප්‍රතිසංවිධානය විය හැකිද යන්න ජනතාවට නොදැනුවත්ව සොයා බලමිනි. එහෙත් මෙම ජාලය ගෙවුණු වසර තුනහමාරේ දී කඩා වැටුණි. එයට සමගාමීව බුද්ධි අංශවල චිත්ත ධෛර්යය අඩාලවන කටයුතු සිදුවුණි. මේ පසුබිම යටතේ ආරක්‍ෂාව සම්බන්ධ විශාල ගැටලු  මතුවුණි.

මේ රටේ වඩාත්ම සාර්ථකව ක්‍රියාත්මක වූයේ යුද හමුදා බුද්ධි අංශයයි. එයට හේතුවක් තිබුණි. බුද්ධි කටයුතු වෙනුවෙන් ඔවුන් විශේෂයෙන් පුහුණු කිරීම එයින් එකකි. නිසි පාලනයකින් එම කටයුතු සිදුවුණි. මේ නිසා බුද්ධි අංශයේ දක්‍ෂ නිලධාරීහු බිහිවූහ. කොටි ත්‍රස්තයන් අතින් ඝාතනය වූ මේජර් මුතාලිෆ් එයට එක් උදාහරණයකි. පොලිස් බුද්ධි අංශ බොහෝ විට තොරතුරු රැස් කරන්නේ එදිනෙදා රාජකාරි උදෙසාය. ඒ අය ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධ බුද්ධි තොරතුරු රැස් කිරීමට එතරම් යොමු නොවූහ. ජාතික මට්ටමෙන් සෑම දෙයක් සම්බන්ධයෙන් සොයා  බලන්නේ  ජාතික බුද්ධි සේවාවය. මේ සේවාව කාලයෙන් කාලයට දේශපාලනය ආදී විවිධ අංශ කෙරෙහි බර තැබීමට යොමු කෙරේ. හමුදා බුද්ධි අංශය එලෙස කටයුතු කරන්නේ නැත. ඔවුන්ගේ මූලික වගකීම හමුදාවට අදාළ වන බුද්ධි තොරතුරු රැස් කිරීමය. අන්තවාදී, ත්‍රස්තවාදී ක්‍රියා සෙවීම මේ අතර ප්‍රමුඛය. 

එහෙත් අවාසනාවකට ගෙවුණු වසර තුන හතරේ දී ඔවුන් එම කටයුතුවලින් ඈත් කොට තිබුණි. ඒ වෙනුවට යොදා ගත්තේ පොලිසියයි. පොලිසියට එම තොරතුරු තිබුණේ නැත. 2005 සිට 2015 දක්වා මේ අය අතර බුද්ධි තොරතුරු බෙදා ගැනීමේ වැඩපිළිවෙළක් මම ක්‍රියාත්මක කළෙමි. පසුගිය කාලයේ එය ද කඩා වැටුණි. ත්‍රස්තවාදීන් සම්බන්ධ තොරතුරු සොයා ක්‍රියාත්මක වන පොලිස් අංශය ත්‍රස්ත විමර්ශන ඒකකයයි. මේ අංශය බුද්ධි අංශයක් නොවූවද යම් බුද්ධි තොරතුරු ඔවුන් සතුය. මේ අංශ ප්‍රධානියා සම්බන්ධව පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති වුණි. ඒ තොරතුරු හරි හෝ වැරැදි වුවත් එම අංශවල අවධානය වෙනත් අතකට යොමුව ඇති බව එමගින් තහවුරු වන්නකි.

සමස්තයක් වශයෙන් බුද්ධි නිලධාරීන්ට එල්ල වූ  තාඩන පීඩන, හමුදා බුද්ධි අංශයේ කාර්ය භාරය නවතා දැමීම, ජාතික බුද්ධි අංශය අවශ්‍ය දේ වෙනුවට වෙනත් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම, ත්‍රස්ත විමර්ශන අංශයේ අවධානය වෙනතකට යොමුවීම අපේ ආරක්‍ෂාවට බලවත් තර්ජනයකි.  උතුරු-නැගෙනහිර ප්‍රදේශවල ස්ථාපිත හමුදා සේනාංකවල ක්‍රියාකාරිත්වය පවා සීමා සහිත තැනකට පත්කර එම කටයුතු පොලිසියට පමණක් පවරා තිබේ. යුද්ධයක් පැවැති තැනක මෙවන් ක්‍රියාවක් එක්වරම කළ නොහැක. එය ක්‍රමානුකූලව විය යුත්තකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අය තවමත් ජාත්‍යන්තරයේ සිටිති. ඒ වගේම යම් පිරිස් මෙරට ද සිටිති.

පුනරුත්ථාපනය වූ අය අන්තවාදී චින්තනයෙන් සියයට සියයක්ම ඈත්වී ඇතැයි සිතිය නොහැක. එනිසා ආරක්‍ෂාව සම්බන්ධව කටයුතු සැහැල්ලුවෙන් ගත නොහැක. 2009 සිට 2015 දක්වා මේ කරුණු කෙරෙහි දැඩි අවධානයකින් අපි කටයුතු කළෙමු. යම් යම් සිද්ධි ඒ කාලයේ ඇති නොවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් පසුගිය කාලයේ ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් යම් සිද්ධි ඇති වුණි. හමුදා බුද්ධි අංශ යම් තොරතුරු අනාවරණය කළ ද පොලිස් බුද්ධි අංශ ඒවා නොතකා ක්‍රියා කළ අවස්ථා තිබේ. ඒවාට වෙනත් අර්ථ ගැන්වීම් ලබාදී තිබුණි. මෙවන් ක්‍රියා හේතුවෙන් භයානක පසුබිමක් නිර්මාණය වූයේය.

 පසුගිය කාලයේ ඇතිවූ සිද්ධි මේවායේ ප්‍රතිඵලය. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සොයාගැනීම, යම් විරෝධතා හරහා ඇතිවූ සිද්ධි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය දක්වා වර්ධනය වී තිබේ. මෙය භයානක තත්ත්වයකි. මෙවන් රාජකාරි කිරීමට පොලිසිය බියක් දක්වන තැනකට තල්ලු වීමට එම සිද්ධිය හේතු විය හැකිය. පොලීසියෙන් එම රාජකාරි ඉටු නොවන විට අන්තවාදී කොටස්වලට ඔවුන්ගේ ක්‍රියාවල යෙදීමට ඇති අවකාශය පුළුල් වනු ඇත. ඒ සමගම සාමන්‍ය ජනතාව බියට පත්වනු ඇත. හමුදාවේ පොලිසියේ ආරක්‍ෂාවෙන් සාමාන්‍ය ජනයා මිදුනු පසු ඔවුන් අන්තවාදී කල්ලිවලට යටවීම වැළැක්විය නොහැකිය. කුඩා සිද්ධි කළ පිරිස් බරපතළ සිද්ධිවලට යොමුවීමට එම පරිසරය බලපානු ඇත. 1980 සිට අප දුටු ක්‍රමවේදය එයයි. එනිසා ඉතිහාසයෙන් පාඩම් උගෙන නැවතත් එවැන්නකට ඉඩ නොතැබිය යුතුය. දැන්වත් බුද්ධි අංශ  නිසිලෙස පණ ගැන්විය යුතුය. අවශ්‍ය තැනට හමුදාව පාවිච්චි කළ යුතුය.

 ආරක්‍ෂාව සම්බන්ධ ආයතනවල නිසි පුද්ගලයන් නිසි තැනට යෙදවීම වුවමනාය. වසර ගණනාවක් බුද්ධි අංශවල කටයුතු කළ දක්‍ෂ නිලධාරීන් මාරු කර අදාළ නොවන රාජකාරිවල යොදවනු අපි දුටුවෙමු. හමුදාවට බැඳුණු කාලයේ සිටම බුද්ධි අංශවල කටයුතු කළ අය වෙනත් අංශවලට යෙදවීම ගැළපෙන්නේ නැත. ඒ වගේම ක්‍රියාන්විතවල සිටි දක්‍ෂ නිලධාරීන්ට සුදුසු තැන දිය යුතුය. මේවා පිළිබඳ දැනුම ඇත්තේ ඔවුන්ටය. එසේ නොවූ විට ප්‍රශ්න මතුවනු ඇත. එනිසා සුදුස්සා සුදුසු තැන තැබිය යුතුය. මෙය හමුදාකරණයක් නොවේ. කුමන රටක වුවත් මූලික වන්නේ ආරක්‍ෂාවය. සාමය, සංහිඳියාව, නීතිය ක්‍රියාත්මක කිරීම යනාදී සියල්ලටම රටේ ආරක්‍ෂාව තහවුරු වීම අත්‍යවශ්‍ය කරුණකි. වගකිව යුත්තන් එය අවධානයට ගත යුතුය.