සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ

ඡන්දයට සූදානම, බැඳුම්කර වාර්තාවෙන් එ.ජා.ප.ය අර්බුදයකද, ආර්ථිකය හැදීමෙන් එජාපය අසමත් ද? ඉදිරි මූල්‍ය අර්බුදයක් ගැන ඒකාබද්ධ චෝදනාව, එජාප තනතුරු හෙල්ලෙයිද? පොහොට්ටුවේ අභියෝගය යනාදී ප්‍රශ්න පිළිබඳ මුදල් සහ ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- ඡන්ද උණුසුම වැඩිවෙද්දී එජාපයේ සායම සේදිලා ගියා නේද?
පිළිතුර:- එහෙම දෙයක් වෙලා නැහැ. අපි ඡන්ද ව්‍යාපාරය පටන් ගත්තේ සති හතරකට සීමා කරලා. සමහරු අපට කලින් ඡන්ද ව්‍යාපාරය පටන්ගත්තා. ඒ නිසා ඔවුන් හිතන්න ඇති ඔවුන් ඉදිරියෙන් සිටියා කියලා. පසුගිය සති තුනේදී අපේ ඡන්ද ව්‍යාපාරය බොහොම ශක්තිමත්ව ඉදිරියට පැමිණ තිබෙනවා. එජාපය ඡන්ද ව්‍යාපාරය වැඩියෙන්ම කෙරෙන්නේ බිම් මට්ටමේ. ලංකාවේ විශාලතම සංවිධානාත්මක පක්ෂය හැටියට එජාපයට ග්‍රාමීය මට්ටමේ සමිති ශාඛා බල මණ්ඩල, සංවිධාන රාශියක් තිබෙනවා. මේ ජාලය සෑම වසරකම අලුත් කරනවා. පක්ෂය තුළ අපේ ක්‍රියාකාරීන් සෑම විටම සිටිනවා.

පක්ෂ මහ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සැලැස්මක් සකස් කර ඒ අනුව ඡන්ද ව්‍යාපාරය දියත් කර තිබෙනවා. ගෙයින් ගෙට යාම්, කුඩා රැස්වීම් ආදියට අමතරව ජාතික මට්ටමෙන් තවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. මෙහි ප්‍රමුඛත්වය ගෙන තිබෙන්නේ බිම් මට්ටමේ මැතිවරණ සැලැස්මයි. මේක ගම හදන ඡන්දයක්. ප්‍රතිඵල ආවාම සැවොම පුදුමයට පත්වේවි. මාධ්‍යයෙන් පෙන්නනවාට වඩා බිම් මට්ටමේ ප්‍රතිචාරය වෙනස්.
ප්‍රශ්නය:- හැබැයි බැඳුම්කර ප්‍රශ්නය හරහා එජාපය අර්බුදයකට ගියා නේද? ජනප්‍රියත්වය ගිලිහුණා නේද?
පිළිතුර:- නෑ. එහෙම එකක් වෙලා තියෙනවා කියා මම නම් හිතන්නේ නෑ. බැඳුම්කර කතාවට දැන් අවුරුදු තුනක්. ඔය ගැන පාර්ලිමේන්තුවේ, කෝප් කමිටුවේ සාකච්ඡා කළා. එජාපයත් ස්වාධීන කමිටුවක් පත්කර මේ ගැන සොයා බැලුවා. කෝප් කමිටු වාර්තාව ආවට පස්සේ එහි නිර්දේශ ගැන සොයා බලා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසට අගමැතිතුමා නීතිපති දෙපාර්තමේන්තුවට ලිව්වා. රටේ ජනාධිපතිවරයාත් මේ ගැන සෙවීමට කොමිසමක් පත් කළා. එහි වාර්තාවත් ලැබී තිබෙනවා. මෙහි නිර්දේශ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාත් නීතිපතිට දන්වා තිබෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. සෑහෙන කාලයක පටන් සියලු දෙනා දන්නා කරුණක්. මේ සියලු වාර්තාත් ප්‍රසිද්ධයි. මිනිස්සුන්ට ඕන වාර්තා නෙමෙයි. වාද විවාද නෙමෙයි. ජනතාවට ඕන සාධාරණත්වය. කවුරු හෝ වැරැදි කර තිබෙනවා නම් ඒ අයට අධිකරණයෙන් දඬුවම් දෙන්නයි. නීතිපති දෙපාර්තමේන්තුව කඩිනමින් වැරැදිකරුවන්ට දඬුවම් දී සිදුවී තිබෙන අලාභය පියවා ගැනීමයි දැන් තිබෙන්නේ.

ප්‍රශ්නය:- එහෙම සැහැල්ලුවට ගත්තට මෙහි සම්පූර්ණ වරද පැටවී තිබෙන්නේ එජාපයට. ජනාධිපතිවරයා පවා ඇඟිල්ල දිගු කරන්නේ එජාපයට නේද?
පිළිතුර:- මම එකක් පැහැදිලිව කියන්න ඕන. මේක එජාපය කරපු දෙයක්වත්, එජාපය මෙයින් ලාබයක් නොලැබූ බවත් කියන්න ඕන. දේශපාලනයට යන වියදම් පියවන්නේ කොහොමද කියා දන්න අය දන්නවා. ජනතාව දෙන දීමනා හෝ ව්‍යාපාරිකයන්ගේ දීමනාවලින් තමයි මේ වියදම් පියවන්නේ. මේ ක්‍රමය ලංකාවේ පමණක් තිබෙන එකක් නෙමෙයි. ලෝකය පුරාම දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. යමෙකුගෙන් මුදලක් ලැබෙනවා නම් එය ප්‍රසිද්ධ කළ යුතු බවට සමහර රටවල නීති තිබෙනවා. ලබාගත යුතු ප්‍රමාණය සීමා කරන්න කියා තවත් රටවල නීති තිබෙනවා. ලංකාවේ මැතිවරණ වියදම් ගැන එහෙම නීතියක් නැහැ. ලංකාවේ ඕනෑම මැතිවරණයකදී මෙහෙම මුදල් දෙනවා. මේ අය එහෙම මුදල් දුන්නද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. යම් යම් ව්‍යාපාරිකයො මුදල් දෙන්න ඇති. හැබැයි පක්ෂයට නම් මුදල් දීලා නැහැ. මුදල් නැතිව ජනාධිපතිවරණයකුත් කරන්න බැහැනේ.

බැඳුම්කර වාර්තාවෙන් එජාපයට චෝදනාවක් නැහැ. පර්පචුවල් ටේ‍රෂරීස් අයුතු ලාභ ලබපු බව කියා තිබෙනවා. හිටපු මහ බැංකු අධිපතිගෙන් තොරතුරු පිටවූ බවට සැකයක් ඇති බවත් වාර්තාවේ සඳහන්. හිටපු මුදල් ඇමැතිතුමා බැඳුම්කරයට සම්බන්ධ බවක් කියා නැහැ. එතුමාත් පර්පෙචුවල් හිමිකරුත් අතර ළඟ සම්බන්ධයක් සහ පෞද්ගලික ගනුදෙනුවක් ගැන කියා තිබෙනවා. ඒ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගත යුතු බව කියා තිබෙනවා. චෝදනා නැගී ඇති අය ඉන්නවා. ඒ අය තවම වැරැදිකරුවන් කර නැහැ. වැරැදිකරුවන් වුවොත් දඬුවම් දෙන්න ඕන. පක්ෂ ස්ථාවරය එයයි.

ගිය රජයේ හොරු සිටියා. අපේ රජයෙත් ඉන්න බව කියනවා. ගිය රජයේ මිනීමරුවන් සිටියා. අපේ රජයට එහෙම චෝදනා නැහැ. ගිය රජය මේ කිසිවක් සෙව්වේ නැහැ. ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න කළේ නැහැ. හැබැයි අපේ රජය කිසිවක් යට ගහලා නැහැ. වෙනස ඒකයි. ඒක තේරුම් ගන්න. අද ඒවා විතරක් නෙමෙයි, එදා ඒවත් සොයා බලා දඬුවම් දෙන්න ඕන.

ප්‍රශ්නය:- වසර තුනක් තිස්සේ එජාපයට ආර්ථිකය හදන්න බැරි වූ බවට ජනාධිපතිවරයා චෝදනා කරනවා. ලබන 10 වැනිදායින් පසුව මේ පාලනය තමන් යටතට ගන්නා බවත් කියනවා. එජාපය අසාර්ථකයි ද?
පිළිතුර:- ඒ ප්‍රකාශය මාධ්‍යයේ තිබෙනවා දැක්කා. ඇත්තටම එහෙම කතාවක් ජනාධිපතිතුමා කිව්වා නම් ජනපතිගේ ආර්ථික උපදේශකයන් එතුමා තරමක් නොමග හැර තිබෙනවා කියා මට සිතෙනවා.

අපි රට බාරගන්නා විට ආර්ථිකය තිබුණේ බොහොම අවාසිදායක තැනක. විශාල ණය කන්දරාවක් තිබුණා. එය හරියට කළමනාකරණය කරගන්න ඕන. පසුගිය කාලයේ ආසියාවේ ආර්ථිකය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබුණා. හැබැයි අපි රට බාර ගන්නා විට මේ වර්ධනය පහත බැස තිබුණා. අයවැයේ විශාල පරතරයක් තිබුණා. ඒක අහිතකරයි. ආර්ථිකය හදන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපට තිබුණා. අයවැය පරතරය අඩු කිරීමට තීරණය කළා. රජයේ ආදායම භයානක මට්ටමකට වැටී තිබුණා. ආදායම වැටීම නිසා ජනතාවට සපයන මූලික අවශ්‍යතා අඩු මට්ටමකයි තිබුණේ. අධ්‍යාපන වියදම් කප්පාදු කර තිබුණා. අපි රාජ්‍ය ආදායම වැඩි කර ඒවා ශක්තිමත් කළා. අධ්‍යාපනයට, සෞඛ්‍යයට කරන වියදම් විශාල වශයෙන් වැඩි කර තිබෙනවා. රටේ ස්ථාවරභාවයක් අපි ඇති කළා. රුපියල කෘත්‍රිමව පාලනය කර තිබූ නිසා අපනයන ආදායම් අඩුවී තිබුණා. අපි රට බාර ගන්නා විට අපනයනය සියයට 14යි. ඒ අය මෙහෙම කළේ ගත් ණය අඩු බව පෙන්වන්නයි. අපි රුපියල නිදහස් කළා. මේ වසරේ පමණක් අපනයන සියයට දහයකින් ඉහළ ගිහින්. ඍජු විදේශ ආයෝජන 2017දී දෙගුණයක් වී තිබෙනවා. 2017 කියන්නේ හැරවුම් වර්ෂයයි. වසර 57කට පසු ප්‍රථම වතාවට ආර්ථිකයේ ප්‍රාථමික අතිරික්තයක් තිබෙනවා. මේවා කවදාවත් නොවුණු දේවල්. අපනයන ඉහළ යමින් තිබෙනවා. විදේශ ආයෝජන වැඩි වෙනවා. 2018දී 2019දී මේවායේ ප්‍රතිඵල වඩා හොඳින් පෙනේවි.

ප්‍රශ්නය:- එහෙත් ඉදිරි මාස කීපයේදී රට දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක් වන බවට ඒකාබද්ධය නගන චෝදනාව ගැන මොකද කියන්නේ?
පිළිතුර:- ඒකාබද්ධයේ බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා කියන්නේ නොමග යන කතානේ. එක්කෝ එතුමාට තේරෙන්නේ නැහැ. ණය කන්දරාවක් තිබෙනවා. ඒක ගෙවන්න ඕන. ඒ අය ගත්ත ණය ගෙවන්න ඕන අපි. අපි හරියට ආර්ථිකය පාලනය කරන නිසා ඒ ණය ගෙවන්න අපට පුළුවන්. ඒ අයටත් වඩා අපි ණය ගත්තා කියන එක මහා බොරුවක්. ඒ අය වසරකට සියයට දහයකට වැඩිය ණය ගත්තා. අපි අරන් තියෙන්නේ සියයට හතක පමණ ප්‍රමාණයක්. ඩොලර්වලින් අරන් රුපියල්වලින් පෙන්නුවා. දැන් ඩොලරය රුපියල් 150කින් වැඩි කර තියනවා. මෙහෙම ගණනය කරන්න වෙලා තියෙන්නේ ඒ අය ගත්ත ණය. ණය ගණනය කරන්න ඕන ප්‍රතිශතවලින් සහ ආර්ථික වර්ධන වේගය අනුවයි. එහෙම බැලුවාම ඔය කියන තරම් ණය අපි අරගෙන නැහැ. ප්‍රාග්ධනය හරහා ආර්ථිකය වර්ධනය කිරීම අපේ ප්‍රතිපත්තියයි. ණය හරහා නෙමෙයි. ගිය ආණ්ඩුවේ අය සම්පූර්ණයෙන් ණය අරගෙන රටේ අවදානම ඉහළ ඇරියා. දේශීය ප්‍රාග්ධනයයි. විදේශීය ඍජු ආයෝජනයයි දෙකම වැදගත්. මේවායේ අවදානමක් ජනතාවට නැහැ. ජනතාවට අවදානම එන්නේ ණය ගත්තොත් තමයි.

දත්තවලින් පේන දේට වඩා වෙනස් දෙයක් පෙන්නන්නයි ඔය අය උත්සාහ කරන්නේ. මේ රට බංකොලොත් කළේ අපට චෝදනා කරන අයයි. රට බංකොලොත් තත්ත්වයට තල්ලු කළ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ. ආර්ථිකය ගැන එතුමගේ අදහස මොකද්ද කියා අහන්න මම කැමතියි.

ප්‍රශ්නය:- රටත් ආර්ථිකයත් වැනසූ මෙවන් ආණ්ඩුවක් ඉතිහාසයේම නොතිබූ බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. ආර්ථිකය ගැන ඔහුගේ අදහස එතැනින් පැහැදිලියි නේද?
පිළිතුර:- මහින්ද රාජපක්ෂ මේ රටට කළ ආර්ථික විනාශය කියල අවසන් කරන්න බැහැ. මත්තල ගුවන් තොටුපොළට ඩොලර් මිලියන 270ක් වියදම් කළා. වරායක් හැදුවා. මේ වරායට ගිය අවුරුද්දෙ ආවෙ නැව් 300යි. දවසකට එක නැවක්වත් ඇවිත් නැහැ. ඔහුට ආර්ථිකය ගැන තේරුමක්වත් තිබෙනවාද? ඉල්ලුම සැපයුම කියා දෙයක් තිබෙනවා. සැපයුම හදන්න ඕන  ඉල්ලුම අනුවයි. සැපයුම නිකම් හදලා වැඩක් නෑ. ගමේ මිනිස්සුන්ගේ ඡන්දය ගන්න වරායවල් හදලා වැඩක් නෑ. ණයට අරන් මේවා කළා. දැන් ජනතාවගේ බදු හරහා මේවා ගෙවන්න වෙලා. ආයෝජනයක් කරනවා නම් ප්‍රතිලාභයක් තියෙන්න ඕන. මේ මුදල් රටේ මානව සම්පතට වැය කළා නම් මේ රටේ ආර්ථික පිම්ම කියා නිම කරන්න බැහැ. ඔය මූලික දේවල් තේරුම් ගත්තෙ නැති නිසා තමයි මේ රට අගාධයට ගියේ. හිනාවෙලා, අත වනලා යන නායකයන් පත් කිරීමෙන් අප ඉවත් වෙන්න ඕන. දැනුම තියෙන මිනිස්සු පත් කරන්න ඕන.

පියා රියැදුරෙක්. ඔහු වාහනය එලවන්නේ මඩ පාරේ. මඩ පාරට කොන්ක්‍රීට් දාන බව දේශපාලනඥයන් කිව්වා. ඒ සංවර්ධනය හැටියට. හැබැයි පුතත් රියැදුරෙක්. ඔහු වාහනය එලවන්නේ මඩ පාර වෙනුවට කොන්ක්‍රීට් පාරේ. මේකද සංවර්ධනය. පියා රියැදුරා වුණේ අවස්ථාව නැති නිසා. පුතා රියැදුරෙක් වුවත් අපේ ආර්ථිකය දර්ශනය පිරිහිලා. පුතාට අධ්‍යාපනයක් දී ඉහළ ආදායම් ලබන රැකියාවකට ගත්තොත් ඒක තමයි සංවර්ධනය. මානව සම්පතට ආයෝජනය කිරීමයි සංවර්ධනය කියන්නේ. අපේ රජය මේ කාරණය මැනවින් තේරුම් ගෙන සිටිනවා. අනෙක් රටවලට වඩා ඉදිරියට යන්න කරන්න තිබෙන එකම දේ මානව සම්පතට ආයෝජනය කිරීමයි. අලුත් වෛද්‍ය පීඨ තුනක්, අලුත් තාක්ෂණ පීඨ හතක් හදන්න සැලසුම් කර තිබෙන්නේ ඒ වෙනුවෙන්. මේවා කළේ ඉල්ලුම අනුවයි. සෑම දරුවකුටම අවුරුදු 13ක අධ්‍යාපනය දීමට කටයුතු කරන්නේ මානව සම්පත දියුණු කරන්නයි. අපේ ආර්ථික න්‍යායපත්‍රය රාජපක්ෂ පාරේ යන්න නෙමෙයි.

ප්‍රශ්නය:- බැඳුම්කර වාර්තාවේ ප්‍රතිඵලයක් වශයෙන් එජාපයේ තනතුරු පවා වෙනස් වෙන්න යනවා නේද?
පිළිතුර:- එජාපයේ තනතුරු වෙනස් වීමක් වෙන්නේ නැහැ. පක්ෂ තනතුරු එහෙමම තිබෙනවා. බැඳුම්කර වාර්තාවෙන් එජාපයේ ඒ නායකයව නම් කර තිබෙනවා. පක්ෂය හැටියට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර මේ ගැන නිර්දේශ ඉල්ලා සිටියා. ඒ අනුව ඒ නායකයව එම තනතුරෙන් අයින් වෙන්න ඕන කියා එම කමිටුව නිර්දේශ කර තිබෙනවා. ඒ බැඳුම්කර ප්‍රශ්නය විභාග කර අවසන් වන තෙක්. එජාපයේ කිසිදු අභ්‍යන්තර ප්‍රශ්නයක් නෑ. ඔය ගැන එජාපයේ කිසිම ගැටුමක් නෑ.
2008 දක්වා බැඳුම්කර ගනුදෙනු සොයන්න කියා මේ වාර්තාව කියා තිබෙනවා. මම කියන්නේ 1990 පටන් මේ ගනුදෙනු විමර්ශනය කරන්න ඕන. බැඳුම්කර නිකුත් කිරීම, වෙන්දේසි කිරීම, පෞද්ගලික ආයෝජන ආදී බැඳුම්කර ජාලයම දූෂිත ජාලයක්. මේ ජාලයේ වැරැදිකරපු අය එතකොට සොයා ගන්න පුළුවන්.

ප්‍රශ්නය:- පොහොට්ටුවේ ජයට ආණ්ඩුවේ නායකයන් බයවෙලාද?
පිළිතුර:- පොහොට්ටුව ජය ගන්නේ නැහැ. බය කියන එකක් අපට නැහැ. අපි කළ වෙනස සැබෑ ලෙසම ආරක්ෂා වෙනවා. පසුගිය කාලයේ එතුමන්ලා බලයේ සිටින විට එජාපයට තිබුණේ එක නගර සභාවයි. ප්‍රාදේශීය සභා විස්සක පමණ බලය අපට තිබුණා. හැබැයි මෙවර නගර සභාවලින් බහුතරයත්, ප්‍රාදේශීය සභා සිය ගණනකුත් මේ මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම එජාපය ජය ගන්නවා. වසර තුනක් අපි රටට වැඩ කළේ පළාත් පාලන ආයතනවල බලය නැතුවයි. මේවායේ බලය අපට දුන්නාම වෙනස තවත් හොඳින් ජනතාවට දකින්න පුළුවන්. අපට ශීඝ්‍රයෙන් අපේ ප්‍රතිපත්ති ඒ හරහා ක්‍රියාත්මක කරන්න පුළුවන්.