(මහාචාර්ය සුමනසිරි ලියනගේ)

න්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව නිසා ශ්‍රී ලංකාවේ මහ බැංකුවට සහ අර්ථසාධක අරමුදලට රටට සිදු වූ පාඩුව කුමක්දැයි බොහෝ දෙනා කතා වෙති. ඇත්තවශයෙන්ම මේ ගැන නිශ්චිත ගණන් බැලීම් තවම කර නැත. විගණකාධිපතිවරයා පවා කියන්නේ අදාළ ගණන් බැලීම් පවතින තත්ත්වය යටතේ දක්වන ගණන් හිලව් වුවද මෙහි ප්‍රතිඵල තවත් අවුරුදු ගණනාවක් දක්වා ඈතට දිවෙන අතර ඒ ගැන ගණන් බැලීමක් තමා නොකළ බවය.

ඒ අනුව මෙම ගනුදෙනුව හේතුකොටගෙන සේවක අර්ථසාධක අරමුදලට, මහ බැංකුවට, රටට හා ජනතාවට සිදු වූ පාඩුව අතිවිශාල බව පැහැදිලිය. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම අයුතු ලෙස උපයාගෙන ඇතැයි කියන රුපියල් බිලියන 9.2 ක මුදල මහ බැංකුව මගින් රඳවාගෙන ඇති එම සමාගමට අයත් මුදල්වලින් රජයට අයකරගන්නා බවය. 

එහෙත් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ එවැනි මුදලක් මහ බැංකුව සතුව නැති බවය. ඒ අනුව මෙම ගණන් හිලව්වල නිශ්චිතභාවයක් නැති වග පැහැදිලිය. 


කෙසේවුවද බැඳුම්කර ගනුදෙනුවෙන් සිදු වූ ප්‍රධාන හානිය අප මේ කතා කරන ප්‍රමාණාත්මක මූල්‍ය අලාභය නොවේ. රටේ ප්‍රධාන ආර්ථික හා මූල්‍ය අවයවය වන මධ්‍යම බැංකුව තුළ මෙවැනි දෙයක් සිදුවීම සමඟ සමස්ත ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය බිඳවැටීමය. මෙවැනි සිදුවීමක් සමඟ දේශීය විදේශීය ආයෝජකයන්ට රටේ ආර්ථික ක්‍රමය ගැන ඇතිවන සැකය සුළුපටු නැත.

මේ නිසා රටට සම්පත් ගලාඒමේදීත් රට තුළ පවතින සම්පත් අපනයනයටත් මෙය සෘජුව බලපායි. අප තේරුම්ගැනීමට උත්සාහ කළ යුත්තේ සමස්ත ආර්ථිකයේ දිශානතියට හා ක්‍රියාකාරිත්වයට එය විසින් ඇතිකරනු ලබන තෙරපුමය. මා සිතන්නේ බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රතිවිපාක ගැන කතාකිරීමේදී පළමුව කී ප්‍රමාණාත්මක මූල්‍යමය අලාභයට වඩා දැඩි අවධානය යොමුකළ යුත්තේ මෙම විශ්වාසය බිඳවැටීම ගැන බවය. මන්දයත් රටේ මහ බැංකුවට මෙසේ වී නම් මූල්‍ය පද්ධතියේ ධූරාවලියෙන් ඊට පහළින් පිහිටි සෙසු ආයතන ගැන කිසිදු විශ්වාසයක් තබා ගැනීමට නොහැකි වන හෙයිනි.


ආර්ථිකය ගැන ඇති අවිශ්වාසය පිළිබඳ ප්‍රශ්නය මූලිකවම බලපාන්නේ විධිමත් අංශයටය. විදේශීය ආයෝජකයන්ට, ව්‍යාපාර වෙළෙඳපොළට, ප්‍රාග්ධන වෙළෙඳපොළට හා සමාගම්වලටය. අනෙක් අතින් පුළුල් ජන කොටස්වලටය. විධිමත් අංශයේ සේවය කරන්නන්ගේ මූලික ඉතිරි කිරීම වන්නේ සේවක අර්ථසාධක අරමුදලය. එවිට අර්ථසාධක අරමුදලට මෙම ගනුදෙනුවෙන් ඇති වූ විශාල පාඩුව නිසා ඔවුන් විශ්‍රාම යනවිට ලැබෙන ප්‍රතිලාභ ගැන සැක සංකා හටගැනීම නොවැළැක්විය හැකිය.

ඒ අනුව අඩු ආදායම්ලාභී කම්කරු පිරිස්වලට සිය රැකියා කාලයෙන් පසුව අනාගතය පිළිබඳ ඇතිවන සාංකාව කරණකොටගෙන හටගන්නා අතිවිශාල ජන අප්‍රසාදය ද බරපතළ ප්‍රශ්නයක් වනු ඇත. පාර්ලිමේන්තුව සිය මූල්‍ය පාලන බලතල නිසි අයුරින් පාවිච්චි කළ අවස්ථාවක් බවට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මතු වූ තත්ත්වය පත් වී යැයි අගමැතිවරයා පවසයි. මේ අතරේ ඉතා වේගවත් කතා පවත්වමින් ආවේගශීලීත්වයක් ජනාධිපතිවරයා විසින් පෙන්නුම් කරනු ලබයි. පැහැදිලිවම කිවයුත්තේ මේ දෙදෙනාගේම නිරීක්ෂණ සත්‍ය මත පදනම් වූ ඒවා නොවන බවය.

 අප හොඳින්ම දන්නා පරිදි මෙම බැඳුම්කර ගනුදෙනු දෙවරක් සිදුවිය. එය එසේ වූ බව දැන දැනම හා එකී තතු ඩිව් ගුණසේකර කෝප් වාර්තාවේ ඇති බව දැන දැනම පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවා හරිනු ලැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. එහි ප්‍රතිඵලය වූයේ කෝප් කමිටු වාර්තාව නිකුත් නොවීමය. එම වරදින් ගැලවෙන්නට ජනාධිපතිවරයාට කිසිදු හැකියාවක් නැත. මෙම දූෂණය සැඟවීමේ පළමු පියවර තබනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.

එමෙන්ම මේ සිදුවීමේදී අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළ අන්දම ද සැලකිල්ලට ගත යුතුය. විශේෂයෙන්ම මෙතක් කල් මුදල් ඇමැතිවරයා යටතේ තිබූ මහ බැංකුව අගමැතිවරයා යටතට ගැනීම ද මහ බැංකු අධිපතිවරයා හැටියට අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීම ද ප්‍රශ්නගත අවස්ථාවේදීත් දිගින් දිගටම ධූරයේ සිටීමට ඉඩ දීම ද මෙම සිදුවීමට ලබා දී ඇත්තේ සංවිධානාත්මක මුහුණුවරකි.

කෙටියෙන් කිවහොත් බැඳුම්කර ගනුදෙනුව වහංගු කිරීමේ පළමු වගකීම ජනාධිපතිවරයා ද ඉන්පසුව එය අනවරතව කරගෙන යෑමේ වගකීම අගමැතිවරයා ද ගත යුතුය. දැන් සිදුවෙන්නේ බැඳුම්කර ගනුදෙනුව දේශපාලනික වශයෙන් පා පන්දුවක් කරගෙන දෙපාර්ශ්වයම ක්‍රීඩාවක නිරත වීමය. 


බැඳුම්කර ජනපති කොමිසම් වාර්තාව නිකුත් වීමේ කීර්තියේ හිමිකාරිත්වය ගැන ද බොහෝ පාර්ශ්ව කරුණු දක්වති. මෙවැනි තැනකට එන්නට හැකිවුණේ ජනාධිපතිවරයා නිසා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය කියද්දී සිය පාරදෘෂ්‍යභාවය ගැන එක්සත් ජාතික පක්ෂය පවසයි. එහෙත් මෙම කරුණු අනාවරණය සැබැවින්ම සිදුවන්නේ දේශපාලන ප්‍රශ්නයක් නිසාය. එය දේශපාලන ප්‍රශ්නයක් වූයේ විපක්ෂය, කෝප් කමිටුව ආදී විවිධ බලවේග විසින් මෙය එළියට දමනු ලැබීමත් ජනාධිපතිවරයාගේ සිට එජාපයේ ඇතැම් සාමාජිකයන් දක්වා මෙය සැඟවීමට උත්සාහ දරනු ලැබීමත් නිසාය.

එහෙත් තම ධූර කාලය අවසන්වීම හා මැතිවරණ කීපයකට මුහුණදීමට සිදුවීම යන කාරණා සැලකිල්ලට ගනිමින් දේශපාලකයකු හැටියට මේ මොහොතේ කළයුත්තේ බැඳුම්කර සිදුවීම තම වාසියට පෙරළාගැනීම යැයි ජනාධිපතිවරයා සිතන්නට ඇත. සාමාන්‍යයෙන් දේශපාලනඥයකුගේ සිතුවිල්ල ද එයයි. විශේෂයෙන්ම ජනාධිපති කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ භූමිකාව නිරීක්ෂණය කරද්දී මෙම කරුණු මුළුමනින්ම සමාජයට නිරාවරණයට ජනාධිපතිවරයාට තිබූ වුවමනාව පැහැදිලිය.

එහෙත් මාස හයකට පෙර මෙවැනි උනන්දුවක් තිබුණේ නැති බව ද අවධාරණකටයුතුය. තමා පවා මෙම කොමිසම හමුවට යාම උත්කර්ෂයට නඟන්නට අගමැතිවරයා උත්සාහ කරයි. එහෙත් වෙනදා කොමිසමේ ප්‍රශ්න කරන්නන් වෙනුවට නීතිපතිවරයාම යොදාගෙන ලබාගත් ප්‍රකාශය අප දුටුවේ සංවිධානාත්මක වැඩක් හැටියටය. සැබැවින්ම මෙම සිදුවීම්වල කිසියම් නාටකීය ස්වරූපයක් තිබේ. එය ජනතාව ද හොඳින් දනී. 


කොමිසමේ නිර්දේශ අතර ඇති 2008 සිට සිදුවීම් සොයාබැලීම ගැන ඇතැම්හු කතා කරති. ඇත්තය. දූෂණ සිදුවීම ආරම්භ වුණේ මේ ආණ්ඩු කාලයේ නොවේ. 2015 ආණ්ඩු පෙරළියට බලපෑවේ ද එකී දූෂණය. අනෙක් අතට මීට පෙර මහ බැංකුවේ ඇතැම් ගනුදෙනු ගැන ප්‍රශ්න කිරීමකට ද මෙමගින් පාර කපා තිබේ. එහෙත් මේ සිදුවීම ඒ සියලු දූෂණවලින් වෙනස්ය.

කිසියම් අරමුණුසහගත පිරිසකට මෙම හොරකමට ඉඩකඩ විවර වූයේ මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලැබුවා වූ සියලුම විධිවිධානවලින් හා රීතින්ගෙන් පිට පනිමිනි. එය හුදු කොමිස් කතාවක් නොවේ. එයට දොර හැරුණේ රටේ සමස්ත මූල්‍ය ව්‍යුහය අඩපණ කෙරෙන ක්‍රියාවලියක් මඟිනි. එනිසා 2015 ට පෙර සිදු වූ දූෂණ ගැන කතා කිරීමෙන් මේ කළු පැල්ලම මකා දැමිය නොහැකි වනු ඇත. තවද පාඩු වූ මුදල නැවත ලබාගැනීමට පමණක් ප්‍රශ්නය ලඝු කිරීම වනාහිම ඇත්ත ප්‍රශ්නය යටගැසීමකි. හොරකමක් සිදු වූ විට ආමන්ත්‍රණය කළ යුතු කේන්ද්‍රික කාරණය හොරකමය. එහි ප්‍රමාණය නොවේ. දැන් ප්‍රශ්නය ආමන්ත්‍රණය කෙරෙන්නේ නම් සිද්ධියේ බරපතළකම අවම කිරීමටය.


 සිදුවීමේ බරපතළකම අවම කිරීමට නොයෙක් තර්ක ඉදිරිපත් කෙරුණ ද මේ සිදුවීම අරභයා කිසියම් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීමට නොහැකි තත්ත්වයක් දැන් උදා වී ඇත. එහෙත් මේ අතරේ ඉකුත් සතියේ කැබිනට් රැස්වීමෙන් පසුව දේවල් සිදුවන ආකාරයෙන් පෙනෙන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර කිසියම් වූ සම්මුතියකට යෑමේ ඉඩකඩක සලකුණු පහළ වී ඇති බවය. එනිසා මේ සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ඒ සා දැඩි ඒවා වීමේ හැකියාව අඩුය.

අනෙක් අතට එහි අවසානය කවර අතකට යනු ඇතිද යන්නට පැහැදිලිවම ඉදිරි පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ද බලපානු ඇත. පළාත් පාලන මැතිවරණය මේ වනවිට තිබෙන්නේ තුන් කොන් සටනක් බවට පත්වෙලාය. එම තුන් කොන් සටනේ බල හුවමාරුව ද බැඳුම්කර ගනුදෙනු අවසාන තීන්දුවට බලපානු ඇති අතර බොහෝදුරට දේශපාලන වශයෙන් අස්ථාවර කාල පරිච්ඡේදයක් බවට ඉදිරිය පත්වනු ඇත. ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවද මෙම දේශපාලන පරිසරයට හේතුවක් වනු ඇත.


මහ බැංකුව ගැන යම් යම් විවේචන පැවැතිය ද ඒ ගැන ලොකු අවිශ්වාසයක් මෙතෙක් පැවැතියේ නැත. එල්.ටී.ටී.ඊ සංවිධානය එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඊට විශාල හානියක් වුව ද එය පැවැතියේ භෞතික තලයේය. මූල්‍ය ක්‍රමයේ ව්‍යුහයට ලොකු හානියක් වුණේ නැත. එහෙත් මේ බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුව ඇත්තේ ව්‍යුහාත්මක හානියකි. ලංකාවේ මූල්‍ය ක්‍රමය ඉදිරියේදී කෙසේ පවත්වාගෙනයාදැයි ව්‍යාපාරිකයන්ට දැන් දැඩි ප්‍රශ්නයක් වී තිබේ. අනෙක් අතට මෙය හෙළිදරවුවක් හැටියට සැලකුව ද අප නොදකින පැත්තක් ද තිබේ. එනම් මීළඟ ආණ්ඩුවලදී ද මෙවැනි සිදුවීම් වීමට ඉඩ තිබීමය.

බැඳුම්කර වංචාවක් සිදුකරන්නේ කෙසේද යන්න දැන් ප්‍රසිද්ධ රහසකි. මේ ආණ්ඩුව යටතේ පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම කළ වංචාව මීළඟ ආණ්ඩුවකදී තමන්ට හිතවත් මහ බැංකු අධිපතිවරයකු පත්කර හිතවත් සමාගමක් හරහා සිදුවීමට ඉඩ නැතැයි කිවහැකිද? මේ නිසාම මූල්‍යමය ක්‍ෂේත්‍රයේ දැඩි සැක සංකා මතුවිය හැකි අතර එහි අනෙක් පැතිකඩ දෙස බැලීමට ද තවත් සමාගම් කොටසක් පුරුදු වනු ඇත. එනම්, පර්පචුවල් ටේ‍රෂරීස් කළ වැඬේම තමන්ටත් කළ නොහැකිදැයි උත්සාහ කිරීමය.

විශේෂයෙන්ම මූල්‍ය ක්‍ෂේත්‍රය නියෝජනය කරන තැරැව්කාර සමාගම් ඊළඟ වටයකදී තමන්ට ද අවස්ථාවක් ගැනීමට උත්සාහ නොදරනු ඇතැයි අපට කිවහැකිද? ඊළඟ ආණ්ඩුවක් පත්වෙද්දී ඊට හිතෛෂී නව තැරැව්කරුවන් මේ යටතේ බිහිවීමට ඉඩ තිබේ. 


ඇත්තවශයෙන්ම දූෂණ විරෝධය රටේ ප්‍රධාන දේශපාලන සටන් පාඨය බවට පත්කරගැනීම දේශපාලකයන්ගේ නාට්‍යයේ කොටසක් මිස රටේ ප්‍රධාන ප්‍රශ්නයක් නොවේ. මා සිතන හැටියට දූෂණ විරෝධය සටන් පාඨයක් හැටියට පෙරට දමන සෑම පුද්ගලයකුම උත්සාහ කරන්නේ රටේ සැබෑ ප්‍රශ්න යටපත්කරන්නටය. දූෂණ විරෝධී රටක් යන වටිනාකම යනු වෙනම කතාවකි. එහෙත් ලංකාවේ ප්‍රධාන සටන දූෂණ විරෝධය යැයි කරන අර්ථකථනයම අප විසින් කරනු ලබන අතිවිශාල දේශපාලන වරදකි.

ව්‍යාපාර ආයතන යනු කොහොමටත් නියමින් හා අනියමින් විවිධ අයථා වැඩවල නිරත වන ආයතනය. පර්පචුවල් ටේ‍රෂරීස් ආයතනය හෙළිදරවු වූ අතර හෙළිදරවු නොවූවෝ ද තව කොතෙකුත් වෙති. මෙම ක්‍රමය රැඳී තිබෙන්නේම චෞරයන් මතය. ධනේෂ්වර ක්‍රමය යනු එයයි. එහෙත් දැන් මේ රඟදැක්වෙන නාට්‍යයෙන් කියන්නට හදන්නේ වෙන කතාවකි.

එනම්, මේ ක්‍රමය හොඳ බවත් වරද නම් නරක මිනිසුන් පිරිසක් විසින් එය මෙහෙයවනු ලැබීම බවත්ය. ඒ නිසා අවසාන විග්‍රහයේදී මේ දූෂණ ප්‍රශ්නය මතු කරගෙන සිදුවන්නේ ලංකාවේ සැබෑ ප්‍රශ්නය උපායමාර්ගිකවම යටපත් කර දැමීමය. දේශපාලනයේ ආසන්න වසර ගණනක් තිස්සේ එය සිදුවෙමින් පවතී. දූෂණය හොඳ එකක් යැයි එයින් කිසි ලෙසකින් අර්ථවත් නොවන මුත් නැවතත් කිවයුත්තේ එය විසින් නිරූපණය කරනු ලබන්නේ ලංකාවේ දේශපාලනයේ වංචනිකත්වයම මිස අනෙකක් නොවන බවය.

සටහන - බිඟුන් මේනක ගමගේ