(චමින්ද මුණසිංහ)

බැඳුම්කර වාර්තාව, එය සංස්කරණය කිරීමේ වුවමනාව කාටද? බැඳුම්කරයෙන් රටට වන බලපෑම, ආයෝජනවලට මෙමගින් බලපෑමක් වේ ද?, බැඳුම්කරය යටගහන්න ඒකාබද්ධය කටයුතු කරනවා ද? යනාදී කරුණු සම්බන්ධයෙන් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා දැක්වූ අදහස් සඳුදා හමුවෙන් මෙසේ එළි දක්වමු.

ප්‍රශ්නය:- බැඳුම්කරය ගැන ඔබ නිතරම කතා කළා. දැන් එහි වාර්තාව නිකුත් වී තිබෙනවා. ඔබට සතුටුයි ද දැන්?

පිළිතුර:- පූර්ණ සතුටක් නැහැ. බැඳුම්කර වාර්තාව නිකුත් වීමෙන් පසු ඒ පිළිබඳ සැකයක් එජාපය විසින් නිර්මාණය කර ගත්තා. මේ වාර්තාවේ පිටපතක් හිටපු මුදල් ඇමැතිවරයා ලබාගත්තා. මේ වාර්තාව අනුව ඔහු කිසිදු වරදක් කර නැහැ. බැඳුම්කර වාර්තාව පිළිගත නොහැකි එකක් බව ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියා. පර්පෙචුවල් ටේ‍රෂරීස් මෙහෙයවන පුවත්පතක හිටපු මුදල් ඇමැති නිදහස් කියා ප්‍රවෘත්තියක් පළ කර තිබුණා. පාර්ලිමේන්තුවට දුන් වාර්තාවේ ජනාධිපතිතුමා ප්‍රකාශ කළ වාර්තාවට වඩා පිටු සියයකට වඩා වැඩි ගණනක් අඩුයි. පාර්ලිමේන්තුවේ විවාද කරන්න සැරසෙන බැඳුම්කර වාර්තාව සංස්කරණය කරන ලද්දක් බව හැඟී යනවා. එජාපයට එහි මැති ඇමැතිවරුන්ට, තිබෙන චෝදනා හෝ විෂමාචාර පිළිබඳ කොටස් සංස්කරණය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා යැයි කියන ප්‍රශ්නය තිබෙන නිසා මුල් වාර්තාව, සංස්කරණය නොකළ වාර්තාව ඒකාබද්ධයේ අපට ලබාදෙන ලෙස ජනාධිපතිතුමාට ලියනවා.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා පත්කළ කොමිසමේ වාර්තාව සංස්කරණය කරන්න එතුමාට ඇති වුවමනාව මොකක් ද?

පිළිතුර:- සංස්කරණය කළානම් කරන්නේ ජනාධිපතිතුමා නෙමෙයි. මේ වාර්තාව තමන්ට ලැබුණු බවක් තමන්ට හෝ එජාපයට මෙමගින් කිසිදු චෝදනාවක් ඉදිරිපත් ව නැති බවත් හිටපු මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළා. මේ ප්‍රකාශ අනුව මේ රටේ ප්‍රබුද්ධ ජනතාවට සාධාරණ සැකයක් ඇතිවෙනවා. එයට පිළිතුරු දිය යුත්තේ ජනාධිපතිතුමා හෝ ජනාධිපති ලේකම් කාර්යාලයයි. වාර්තාවේ අඩු පිටු ගණන සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් කළාම එය පිළිගත හැකි එකක් නම් පිළිගන්න පුළුවන්.

ප්‍රශ්නය:- වැරැද්දක් කර නැති නම් ඒ බව සඳහන් කරනවා විනා කොමිසම වෙන මොනව කරන්නද?

පිළිතුර:- ලංකා ඉතිහාසයේ කිසි දිනකත් නොවු ආපසු සකස් කළ නොහැකි වැරදි රාශියක් සිදුව ඇති බව ජනතා අධිකරණයේ දී පෙන්නා තිබෙනවා. සමස්ත මුදල් ක්‍රමය, සමස්ත බැංකු ක්‍රමය, සමස්ත ණය ක්‍රමය කඩාවැටීමට අදාළව මේවා සිදුව ඇති බව කරුණු වශයෙන් පෙන්නා දෙන්න පුළුවන්. රටේ මූල්‍ය ක්‍රමයේ මුදුන් මල්කඩ වන පූර්ණ වශයෙන් මහජන විශ්වාසය රඳා පවතින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට සිංගප්පූරු පුරවැසියකු පත් කළා. ඔහු පත් කරන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 වැනි වගන්තියට අනුව හතරවැනි උපලේඛනයේ ඇති දිවුරුම ලබා නොදීම තවත් කරුණක්. රජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුව රජයෙන් යම් තනතුරකට විදේශිකයකු පත්වන විට ඊට කලින් අදාළ ඇමැතිවරයාගෙන් පූර්ණ ලිඛිත අනුමැතිය ලබාගෙන නැහැ. මේ විදේශ පුරවැසියා තමන්ගේ බෑණාට වාසිදායක වන අයුරින් 2015 පෙබරවාරි 27 වැනිදා බැඳුම්කර වෙන්දේසීය පැවැත්වූවා. එයට සෘජු වෙන්දේසි ක්‍රමය හා සෘජු පෞද්ගලික නිකුතු ක්‍රමය වෙනස් කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී තිබුණා. මේවා සම්බන්ධව විමසීමට එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට සම්බන්ධ නීතිඥයන්ගෙන් සමන්විත පිටිපන වාර්තාව ඉදිරිපත් කළා. අර්ජුන් මහේන්ද්‍රන්ට ඒකාබද්ධය ඉදිරිපත් කළ විශ්වාසභංගය බාර නොගෙන කෝප් කමිටුවට යොමු කළා. එවකට කෝප් සභාපති ඩිව් ගුණසේකර මහතා ඉතා පුළුල් පරීක්ෂණයක් මේ ගැන කළා. වඩාත් පුළුල්ව මේ කරුණු ඔවුන් හෙළි කළා. එම කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න ඔන්න මෙන්න කියා තිබිය දී එජාපයේ බලපෑමට පාර්ලිමේන්තුව විසිරෙව්වා.

මේ විසිරවීම නිසා දෙවැනි මහබැංකු බැඳුම්කර හොරකම කරන්න ඉඩ ලැබුණා. මේ සඳහා රාජ්‍ය බැංකුවල සභාපතිවරු, උසස් නිලධාරීන් කැඳවා අඩුවෙන් ලංසු තබන ලෙස උපදෙස් දී තිබුණා. එසේ උපදෙස් දීමෙන් එම බැංකුවලට විශාල අලාභයක් වූ බව එම බැංකු තුනේ සභාපතිවරු දිවුරා කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දී තිබුණා. 2016 මාර්තු මාසයේ දී දෙවැනි බැඳුම්කර කොල්ලයක් සිදුවුණා. එම කොල්ලයට සම්බන්ධ පාර්ශ්වයන් අයථා ලෙස උපයා ගත් ධනය යොදවා මත්පැන් නිෂ්පාදනාගාර, මාධ්‍ය ආයතන හා බැංකු ආයතන යනාදියේ විශාල වශයෙන් මුදල් ආයෝජනය කළා. මේ පරීක්ෂණවලට උදව් කළ විගණකාධිපතිට විවිධ චෝදනා එල්ල කළා. මෙවැනි කරුණු රාශියක සමුචිත ප්‍රතිඵලයක් වශයෙන් හා කොමිසමේ නිර්දේශ අනුව එජාප ප්‍රභලයන් වැඩි දෙනෙක් නියත වශයෙන්ම වැරදිකරුවන් බව දක්වා තිබෙනවා. හිටපු මුදල් ඇමැති එක් උදාහරණයක්. ඔහුට නඩු පවරන ලෙස නිර්දේශ තිබෙනවා. මහ දවල් මහ බැංකුවේ මහා කොල්ලයක් සිදුව ඇති බව රටම දැනගෙන සිටිද්දීත් එය පිළිනොගෙන ඉන්නවා නම් ඒ ගැන මුළු මූල්‍ය වෙළෙඳ පොළම අර්බුදයට යනවා.
අද වනවිට ලංකාවේ සුරැකුම්පත් වෙළෙඳපොළ කඩා වැටෙමින් පවතිනවා. එපමණක් නොවෙයි. ලංකාවේ සමස්ත මුදල් ක්‍රමය, ණය ක්‍රමය, බැංකු ක්‍රමය දැවැන්ත නායයාමකට හසුවෙමින් පවතිනවා. අප කාටවත් ගලවා ගතනොහැකි දැවැන්ත මූල්‍ය අර්බුදයකට 2018දී රට ගොදුරු වෙනවා.

ප්‍රශ්නය:- බැඳුම්කර වාර්තාවේ දැක්වෙන ආකාරයට මේ ගනුදෙනුවෙන් රටට වන බලපෑම පිළිබඳව ඔබේ අර්ථ දැක්වීම කෙබඳු ද?

පිළිතුර:- එම බලපෑම ගැන මේ වාර්තාවේ දැක්වෙන කරුණු පිළිබඳ මගේ පෞද්ගලික එකඟතාවක් නැහැ. මේ කොමිසමේ සාක්කිකරුවන් හැත්තෑවෙන් කෙනෙක් මම.  මතුපිට පෙනෙන අලාභයට වඩා ආර්ථිකයේ විවිධ අංශවලට වී තිබෙන ආවස්ථික අලාභය ආර්ථික විද්‍යාත්මකව හා ශාස්ත්‍රීය පදනමක් යටතේ ගණනය කළ යුතු බවට මම කොමිසමට යෝජනා කළා. මේ පිළිබඳ විද්වතුන් සකස් කළ වාර්තාවක් ඉදිරිපත් කළ හැකි බව මම කිව්වා. එහෙත් යම් යම් කාරණා මතුකර එය පිළිගත නොහැකි බව කොමිසම ප්‍රකාශ කළා. වෙනස් විද්වතුන්ගේ ගණනය කිරීම් ද සැලකිල්ලට ගෙන 2015, 2016, 2017 යන වසර තුනට බැඳුම්කර හොරකමෙන් රටට වී ඇති ආවස්ථික අලාභය රුපියල් බිලියන 2000ක් ලෙස ගණනය කර එය මම පාර්ලිමේන්තුවේ සභාගත කළා. එනිසා මේ කොල්ලයෙන් පසු රටේ සමස්ත ණය පොලියට විශාල බලපෑමක් වුණා. විදේශ විනිමය අනුපාතයට බලපෑමක් වුණා. රට සතු විදේශ සංචිතවලට වූ බලපෑම අති විශාලයි. රුපියලේ අගය පහත වැටීම වළක්වා ගැනීම වෙනුවෙන් ඩොලර් අලෙවි කිරීමෙන් විශාල බලපෑමක් වුණා. සෘජු විදේශ ආයෝජන රටෙන් පිටට ගලායාමෙන් වූ අලාභයක් තිබෙනවා. රටේ ඉතුරුම් හා ආයෝජනය කෙරෙහි අහිතකරව බැඳුම්කරය බලපෑවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්තිය, යශෝරාවය හා කීර්තිනාමයට වූ අලාභය යනා දී වශයෙන් පසුගිය වසර තුනක අලාභය ගණන් කළත් එය රුපියල් බිලියන 2000කට වඩා වැඩියි. මේ ආවස්ථික අලාභයත් අනාගත කාලයට තවත් බලපානවා.

2015 පෙබරවාරි 27 බැඳුම්කරය නිකුත් කර තිබෙන්නේ වසර 30කට. වසර 2045 දක්වා මේ බැඳුම්කර වෙළෙඳ පොළේ ගනුදෙනු වෙනවා. එනිසා මේ බැඳුම්කරයෙන් 2045 දක්වා වෙන අලාභය මුදලින් තක්සේරු කරන්න බැරි වෙන්න පුළුවන්. 2007 ලෝක මූල්‍ය අර්බුදයක් ඇතිවුණා. ඒක ඇතිවුණේ මෙවැනි සිද්ධි පදනම් කරගෙනයි. සමාගම් වැසුණා. බැංකු කඩා වැටුණා. මුළු බටහිරම බැංකු කඩා වැටී ලෝක මූල්‍ය අර්බුදයක් වර්ධනය වූවා. එනිසා මගේ කුඩා දැනුම අනුව මට තේරෙන්නේ ලංකා ඉතිහාසයේ නිදහසින් පසු කිසි දිනෙක අප මුහුණ නොදුන් ආකාරයේ දැවැන්ත මූල්‍ය අර්බුදයකට මේ රට ගොදුරු වෙනවා කියලයි. ඒ මේ බැඳුම්කර වංචාවේ ප්‍රතිඵලයක් හැටියටයි.

ප්‍රශ්නය:- අයෝජකයන්ට මෙය බලපෑමක් කරන බව ඔබ කිව්වා. ඒ කියන්නා වූ සම්බන්ධය මොකක්ද?

පිළිතුර:- සෑම වසරකම නිකුත් වන මහ බැංකු වාර්තාවේ සඳහන් රජය ණය ලබා ගැනීම, රාජ්‍ය මූල්‍ය පිළිබඳ සහ විදේශ මූල්‍ය පිළිබඳ පරිච්ජේද කියවීමෙන් ඒ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. රජයේ සුරැකුම්පත් වෙළෙඳ පොළේ විදේශ ආයෝජකයන් ප්‍රධානයි.

ආණ්ඩුව නිකුත් කරන බැඳුම්කර විදේශ ආයෝජකයන් මිලදී ගන්නේ විශ්වසනීයවයි. ඉස්තරම් ආරක්ෂාවක් සහිත ආයෝජනයක් ලෙස ඔවුන් මෙය පිළිගන්නවා. මේ තත්ත්වය තුළ අපේ රටෙත් භාණ්ඩාගාර බැඳුම්කර, ස්වෛරී බැඳුම්කර යනාදියේ විශාල වශයෙන් විදේශ ආයෝජකයන් ආයෝජනය කළා. පෙබරවාරි 27 වූ හොරකම අනෙක් කාටත් වඩා හොඳින් මුලින්ම දැනගත්තේ දේශපාලනඥයන් නොවෙයි. මේ ක්‍රමවේදය විසින්ම මූල්‍ය වෙළෙඳ පොළට, මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ට සුළු වේලාවක දී මෙය දැණුනා. රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබෙන මුදල් එදා ඉඳන් ලංකාවෙන් පිටට ගෙන ගොස් ඇති ගණන ඇමෙරිකන් ඩොලර් බිලියන 2.4ක්. මේ මුදල රටෙන් නොගෙනිච්චා නම් මූල්‍ය අරමුදලෙන් බිලියන 1.5ක ණයක් ගන්න ඕන නෑ. හම්බන්තොට වරාය විකුණන්න ඕනෑ නෑ. මේ තත්ත්වය රට කඩා වැටීමට හේතුවක්. මෙරටින් නිකුත් කරන බැඳුම්කරවලින් සියයට 12ක් විදේශිකයන්ට ගතහැකිව තිබුණා. එහෙත් මේ සිද්ධියෙන් පසු එය සියයට 10ට අඩු කළා. තායිලන්තයේ, මැලේසියාවේ සෝරෝස්ලා අරන් ගියා වගේ මේ ආයෝජකයොත් සියලු ආයෝජන එක්වරම අරන් ගියොත් මුළු රටම කඩා වැටෙනවා. විනිමය අනුපාත රුපියල් 180ට 190ට යාවි. ලංකාවේ සුරැකුම්පත් වෙළෙඳ පොළ භයානක තැනක තිබෙන බව මහ බැංකු අධිපති හා එහි නියෝජ්‍ය අධිපතිවරු හමුවී පසුගිය දා අපි පෙන්නා දුන්නා.

2008 සිට 2014 දක්වාත් විනිවිදභාවයෙන් තොරව වංචනිකව බැඳුම්කර නිකුත් කර ඇති බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. ඒවායේ වටිනාකම රුපියල් බිලියන 4702ක් බව ඔහු කිව්වා. මේ මුදල පසුගිය කාලයේ රජයේ වාර්ෂික ආදායම මෙන් සාමාන්‍යයෙන් තුන් ගුණයක්. රාජපක්ෂ යුගයේ දී 2008-2014 කාලයේ නිකුත් කළ බැඳුම්කර සියල්ල මේ වනවිට ද්විතීයික වෙළෙඳ පොළේ දේශීය හා විදේශීයව අලෙවි වනවා. ඒ අලෙවි වන ඒවායෙන් බිලියන 4702ක් සැක සහිත නම් අවිශ්වාස නම් බරපතළ ප්‍රශ්නයක් මතුවෙනවා. මෙහෙම සැකයක් ආණ්ඩුවම මතුකර තිබෙන නිසා විදේශිකයෙක් ලංකාවේ බැඳුම්කර මිලදී නොගන්නා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එනිසා මේ සැකය නැති කරන්න ඕනත් ආණ්ඩුවමයි. බැඳුම්කර වෙළෙඳ පොළ කඩා වැටුණොත් ඉදිරියට කාගෙ ආණ්ඩුවක් ආවත් ගොඩයන්න බැරි තත්ත්වයක් වෙනවා. මහින්ද යුගයේත් බැඳුම්කර නිකුත් කළේ මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. එනිසා ඔවුන් මේවට වගකියන්න ඕන.

ප්‍රශ්නය:- බැඳුම්කරයෙන් පර්පචුවල් ලබා ඇති අයුතු ලාභය වන රු. බිලියන 9.2ක මුදලට වඩා එම සාමාගමේ රු. බිලියන 12ක මුදලක් මහ බැංකුව රඳවාගෙන තිබෙන බවත් එයින් කොමිසම නිර්දේශ කළ මුදල අය කර ගත හැකි බවත් ආණ්ඩුව කියනවා. එහෙම නම් ප්‍රශ්නයක් නැහැ නේද?

පිළිතුර:- අනේ නෑ. කිසිදු ප්‍රශ්නයක් නෑ. අපිට මේ සියල්ල අතහැර වෙච්ච පාඩුවට සමාව දෙන්න පුළුවන්. 2016 දී මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට වෙන් කළ මුදල රු. බිලියන 203යි. එයින් එම වසරේ දී අධ්‍යාපනය ට වියදම් කළේ බිලියන 65යි. ඉතිරි මුදල බිලියන 138. ඒ වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගතිය සියයට 32යි. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පමණක් රුපියල් බිලියන 138ක මුදලක් ඉතිරි වී තිබෙනවා නම් මේ බිලියන 9.2කට බිලියන 12කට මේ තරම් මැරෙන්නේ මොකට ද? ඒක අත්හැරල දාන්න පුළුවන්නේ. වෙන්කරපු මුදල්වලින් රුපියල් කෝටි 13,800ක් වියදම් නොකර තිබෙනවා නම් මේක මොකක්ද? බැඳුම්කර පාඩුව එජාප වාසියට තීන්දු කර අත්හැර දමන්න පුළුවන්.

ප්‍රශ්නය:- බැඳුම්කරය යට ගහන්න ඒකාබද්ධයත් එජාපයත් කටයුතු කරන බවට එජනිස මහ ලේකම් කරන චෝදනාව ගැන මොක ද කියන්නේ?

පිළිතුර:- එතුමාගේ හෘදය සාක්ෂිය කොහොම ක්‍රියාත්මක වෙනව ද කියන්න මම දන්නේ නෑ. බැඳුම්කර වංචාව ඇති වූ අවස්ථාවේ මහ බැංකුව වැටලීමට ගියේ අපි. මහ බැංකුව ඇතුළට ගොස් පළමු ප්‍රශ්න කිරීම කළේ අපි. බැඳුම්කර ගැන ජනතාව දැනුවත් කිරීමට ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ පැවැත්වූවේ ඒකාබද්ධය පමණයි. මෙමගින් රටට වූ බලපෑම කියන්න ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීන් හමුවට ගියේ අපි පමණයි. අර්ජුන මහේන්ද්‍රන් නැවත පත් කරන්න එපා කියා කොළඹ උද්ඝෝෂණය කළේ අපි. කෝප් කමිටුවට පුළුවන් බුරන්න පමණයි. හපන්න බෑ. ඒ නිසා ජනාධිපති කොමිසමක් පත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපි බලපෑම් කළා. බැඳුම්කර හොරු අත්අඩංගුවට ගන්න කියා අඛණ්ඩව මුල පටන්ම කිව්වේ අපි. තව බොහෝ පියවර අපේ මන්ත්‍රීවරු ගත්තා. එනිසා එතුමගෙ ප්‍රකාශය සාධාරණයි කියා මම සිතන්නේ නැහැ.

ප්‍රශ්නය:- බැඳුම්කරය නිසා රට අවදානමක කියල ද ඔබලාගේ ස්ථාවරය?

පිළිතුර:- අවශ්‍යයෙන්ම ඔව්. ලංකා ඉතිහාසයේ කිසිම දිනක සමස්ත මුදල් ක්‍රමයට සමස්ත බැංකු ක්‍රමයට සමස්ත ණය ක්‍රමයට අකුණු ගැසුවා වගේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙනවා. මේ වනවිට ජනතාව බරපතළ අර්බුදයකට ලක්වෙලා තිබෙන අර්බුදවලින් බේරීමට රාජ්‍ය බැංකු ප්‍රසිද්ධ වෙන්දේසියේ කොටස් කර විකුණන්න හදනවා. රාජ්‍ය බැංකු තුනක් සේවක අර්ථ සාධක අරමුදලක් සුරැකීම සඳහා විශේෂිත ව්‍යාපෘතියක් වහා ක්‍රියාත්මක කළ යුතු වෙනවා. බැංකු පද්ධතිය දැන් හෙල්ලිලා තිබෙන්නේ. ලංකාවේ මූල්‍ය වෙළෙඳ පොළ පමණට වඩා රත්වෙලා. ලංකාවෙ විදේශ ආයෝජකයන්ට අවදානම් වැඩිම රටක් හැටියට බ්ලුම්බරත් ආයතනය නම්කර තිබෙනවා. ආසියා කලාපයේ රටවල් 24ක් අතරින් දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන රට ලංකාව බව මූඩි ආයතනය පසුගිය දා ප්‍රකාශ කර තිබුණා.