ධනය අසීමිත ලෙසින් පොදිගසා ගන්නා ධනපති ක්‍රමය ලොව පුරා ප්‍රචලිත වන්නේ හොරකම සමඟය. දුෂණ හා අක්‍රමිකතා කරපින්නා ගෙනය. මේ වනවිට එහි සමාජවාදී ධනවාදී කියාවත් වෙනසක් නොපෙනේ. සමාජවාදී යැයි කියා ගන්නා චීනයට පවා සිදු වී තිබෙන්නේ මීට එරෙහිව සටන් කිරීමටය. ඒවාට සම්බන්ධ අයට මරණ දඬුවම වැනි දැඩි දඬුවම් ලබා දීමටය. එහෙත් චීනයේ පවා මේවායේ අඩුවක් නොපෙනේ. යම් පාලනයක් පමණක් සිදුවන බවක් දක්නට ලැබේ.

මේ නිසා ආණ්ඩුවකට සිදු වී තිබෙන්නේ දුෂණයට, හොරකමට හා අක්‍රමිකතාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් කර යම් පාලනයක් ඇති කිරීම පමණි. නීතියේ ආධිපත්‍ය සාධාරණ ලෙසින් නඩත්තු කිරීම මෙහිදී වැදගත්ය. අපේ රටේ සමහර සිදුවීම් වලදී නීතියේ හා යුක්තියේ ජලය වුව ද පහත් තැනින් ගලා යන ස්වරූපයක් දක්නට ලැබේ. ආණ්ඩුවක් වෙනස් කළ යුත්තේ මෙම පිළිවෙත බව අමුතුවෙන් කිව යුතු නැත.

දුෂණයට හා අක්‍රමිකතාවලට වැට බැඳීමට පසුගිය පාලනයට එරෙහිව මහා සද්දයක් දමා වත්මන් යහපාලනය බලයට එන්නේ මෙවන් පසුබිමකය. එහෙත් බැඳුම්කර කොමිසම ඉදිරියේ මාධ්‍ය මඟින් හෙළිකරනු ලබන කරුණු දෙස බලන විට වුව ද යහපාලනයටත් ගුල්ලන් විද තිබෙන බවක් පෙනේ.

සාමාන්‍යෙයන් යහපාලන ලේබලයක් යටතේ බලයට පත්වන ආණ්ඩුවකින් ජනතාව අවපාලන ක්‍රියාකාරකම් බලාපොරොත්තු නොවේ. අනෙක් පැත්තෙන් යහපාලනය නිසාම දැන් දුෂණ අක්‍රමිකතා පිළිබඳ හෙළිදරව් වීම් කිසිදු බාධකයකින් තොරව වැඩි වැඩියෙන් සිදුවන බවත්, ඊට අවැසි යහපත් වාතාවරණයක් සැකසී තිබීම යහපත් බවත් කෙනකුට තර්ක කළ හැකිය.

මේ වනවිට කෝප් කමිටුවේ සමහර සාමාජිකයන් හා අර්ජුන ඇලෝසියස් අතර සිදු වූවා යැයි ජනමාධ්‍ය වල පළවන දුරකතන සංවාදවල ප්‍රමාණය ගත්විට කෝප් විමර්ශනයක් සිදුවෙමින් පවතින අතරතුර එවැන්නක් සදාචාරාත්මක ද යන ප්‍රශ්නය පැන නඟී. අදාළ සංවාදවල අන්‍යන්‍යතාවය හඳුනාගෙන සිටින මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ තමන් පමණක් නොව එදා මේ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් 42ක් දුරකතනයෙන් ඇලෝසියස් හා සම්බන්ධ වී සිටි ඇති බවයි.

ඒ අනුව ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂය හා නිල විපක්ෂය දක්වාම සමාජ මාධ්‍ය හරහා තොරතුරු අනාවරණය වේ. බලාගෙන යනකොට මේ හැමෝම ඇලෝසියස්ලා සමඟ සබඳතා පවත්වා තිබෙනවා වාගේය. මේ නිසා කෝප් හෙළිදරව්ව මේ රටේ දේශපාලනයට අදාළ වැසිකිළි වළක් විවෘත කරගත්තා හා සමානය.

අවසානයේ පුහුල් හොරා කරෙන් දැනෙනවාට අමතරව අනෙකාට හොරා යැයි කියමින් පොකට්කාරයන් පැන දුවන කරවාටමයට සමහර දේශපාලනඥයන් හැසිරෙන බව පෙනේ. මේ නිසා කාගෙ කාගෙත් කිල්ලෝටවල තැවරී ඇති හුණුවල අඩුවක් නැත. අද සුදනන් හෙට ගඳයන් වීමට ද ඉඩ තිබේ. මේ රටේ දේශපාලනය ඇතුළු සමස්ත රාජ්‍ය යන්ත්‍රයට ගණයම දුගඳ හමා  ඕජස් ගලන තැනකට පත්ව තිබෙන බව දැන් පැහැදිලිය. එකිනෙකට ඇඟිල්ල දික් කිරීමෙන් තොරව පැලැස්තර වෙනුවට වෙනස් කරගත යුත්තේ මෙම ව්‍යුහයයි. එහෙත් යහපාලන ආණ්ඩුව නොකරමින් සිටින්නේ ද එම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් බව පෙනේ.

සමහර ගෝලබාලයන්ගේ හෙළිදරව් වීම් කෙසේ වෙතත් තවමත් සිය නම රැකගෙන සිටින අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසම ඉදිරියට සිය කැමැත්තෙන්ම සාක්ෂි ලබා දීමට පැමිණීම ආදර්ශමත්ය. යහපාලන මූලධර්ම ගරු කිරීමකි. ඔහු බැඳුම්කර කොමිසමේ සැකකරුවකුවත්, වගඋත්තරකරුවකුවත් නොවී මෙවැන්නකට පෙළඹීම දේශපාලනය කරන අයට ආදර්ශයකි. අනෙක් පැත්තෙන් අගමැතිවරයකු වුව ද කොමිසමකට ගොස් කටඋත්තර දිය හැකි මට්ටමට නව දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය වෙමින් පැවැතීමේ වැදගත්කමක් ද තිබේ. එහෙත් එවන් සංස්කෘතියකට පමණක් මේ උදා වී ඇති ජරාජීර්ණ තත්ත්වය වෙනස් කිරීම පහසු වන්නේ නැත.

පළාත් පාලන ආයතන සඳහා සභිකයන් තෝරා ගන්නා දීප ව්‍යාප්ත මැතිවරණයක් සැලසුම් වෙමින් පවතින්නේ මෙවන් පරිසරයකය. සාමාන්‍යෙයන් මෙවන් මැතිවරණයක් සැලසුම් වන්නේ ආණ්ඩුවක් බලයට පැමිණ මුල් මාස කීපය ඇතුළතදීය. නිතැතින්ම වාගේ එමගින් එහි වාසිය බලයේ සිටින රජය ලබාගනී. එහෙත් මෙම (පළාත් පාලන) මැතිවරණය පැවැත්වෙන්නේ වත්මන් රජය බලයට පත්වී එහි පාලන සමයෙන් අඩකටත් වඩා ගෙවා දැමීමෙන් පසුවය.

නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම මීට හේතුවක් සේ පෙනුන ද සිදු වී තිබෙන පරට මාදය ටිකක් වැඩිය. එසේම වත්මන් ආණ්ඩුව මුහුණ දෙන පරිදුථම මැතිවරණය වන්නේ ද මෙයයි. ඒ අතින් ද ආණ්ඩු කරන අයට යම් අභියෝගයක් නැතුවා නොවේ.

”මොන පිස්සු ද?”

‘‘මේකෙන් ඉස්මතු වන්නේ තීරණාත්මක දේශපාලන කාරණා නොවෙයි. ඔය බැඳුම්කර කොමිෂන්වලින් වැඩකුත් නැහැ. මේ මැතිවරණයේ දී වැදගත් වෙන්නේ පක්ෂ නායකයන් හා දේශපාලන පක්ෂවලට වඩා ඡන්දයට ඉදිරිපත් වන පුද්ගලයන්. ඔවුන්ට ගම සමඟ තිබෙන සම්බන්ධකම්.”

සමහරුන් තර්ක කරන්නේ මෙහෙමය.

මේවා මෙතෙක් ගම්වලට නොගොස් නගරයේ රස්තියාදු වූ දේශපාලන කම්මැලියන්ට ගැළපෙන තර්ක බව පෙනේ. ඔය කියන තර්කය සම්පූර්ණ සත්යැයක් නම් එදා ගම්සභා හා සුළු නගර සභා කාරක මය පැවැති යුගයේ දේශපාලන පක්ෂ අභිබවා පුද්ගලයන් හා ස්වාධීන කණ්ඩායම් රැසක් එම ආයතනවලට ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙසින් පත්විය යුතුව තිබුණි.

එදත් එහෙම වුණේ නැත. එහෙත් මේ තර්කය සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතු නොවේ.ගමේ ඡන්දයක් නිසා ඉල්ලන පුද්ගල චරිතවල ද බලපෑමක් ඇත. එහෙත් සාධකය දේශපාලන පක්ෂය බව පිළිගත යුතුය.

යෝජිත පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන වත්මන් යහපාලන රජය සමන්විත වී තිබෙන්නේ පරරණ ධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙකක එකමුතුවෙනි. එනම් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මේ පක්ෂ දෙකටම ආවේණික පෙරමුණු දෙකක් ද දක්නට ලැබේ. එනම් එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. මෙසේ එකිනෙකාට පස මිතුරු වූ පක්ෂ දෙකේ ආණ්ඩුවක් දක්නට ලැබෙන්නේ නිදහස් ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවටය. මෙය සුවිශේෂී දේශපාලන සංසිද්ධියකි.

1951 යූ.ඇන්.පී.යේ පතාක යෝධයකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකර ගන්නේම යූ.ඇන්.පී.යට විරුද්ධ දේශපාලන බලවේගයක් ලෙසිනි. අනතුරුව වමේ හා සෙසු පරනේ ප්‍රගතිශීලී පක්ෂ වටා සිය පක්ෂය පෙරමුණක් ලෙසින් ගොඩනඟා ගන්නා ඇස්.ඩබ්.ආර්.ඩී. 1956 වනවිට පරඅනතබල යූ.ඇන්.පී. විරෝධී සමාජ බලවේගයක් නිර්මාණය කර ආණ්ඩු බලය ලබාගනී. එතැන් සිට මේ බලවේග දෙකම රට තුළ දේශපාලනය කරන්නේ එකිනෙකට විකල්ප වූ සමාජ තීරු දෙකක් ලෙසිනි.

වත්මන් ගෝලීයකරණ සමාජ ක්‍රමයක් තුළ වුව ද ගමේදී අපට ප්‍රධාන ඡන්ද දෙකක් හමුවේ. එකක් යූ.ඇන්.පී.ය අනෙක යූ.ඇන්.පී. විරෝධීය යූ.ඇන්.පී. විරෝධී ඡන්දය ප්‍රධාන වශයෙන්ම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. දෙවැනි ව්‍යුහයට අනුව එක් ඡන්දයක් ආණ්ඩුවේය. අනෙක ආණ්ඩු විරෝධීය. මේ වනවිට ආණ්ඩු විරෝධී ඡන්දය නියෝජනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණයි. බැලූ බැල්මට පෙනෙන දේශපාලන චිතරක්ෂය මෙයයි.

ඉදිරියේදී විය හැකිව තිබෙන අනෙක් විශේෂත්වය යූ.ඇන්.පී.ය සමඟ එකට ආණ්ඩු කරන ගමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම මැතිවරණයේදී වෙන්ව තරග කිරීමයි. එහිදී ඔවුන්ගේ ප්‍රධාන තරගකරුවා හා හතුරා වන්නේ ද තමන් සමඟ ආණ්ඩු කරන එක්සත් ජාතික පක්ෂයයි. මේ සඳහා විකල්පයක් ලෙසින් ආදේශ වීමට ගිය බේරුවල ක්‍රමය ද දෙපාර්ශ්වයෙන්ම තරයේ ප්‍රතික්ෂේප වී තිබේ.

බේරුවල ක්‍රමය යනු එක් පොදු ලකුණකින් ආණ්ඩුවේ බලවේග දෙකම එකම ලැයිස්තුවකින් තරග කිරීමය. මෙය යෝජනා කර තිබෙන්නේ ඇමැති දොස්තර රාජිත සේනාරත්න බව දැන ගැනීමට තිබේ. රාජිතගේ යෝජනාවේ ද පදනමක් තිබේ.

වත්මන් දේශපාලන සංදර්භය තුළ දක්නට ලැබෙන අනෙක් විශේෂත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම කොටසක් අනෙක් යූ.ඇන්.පී. විරෝධී පක්ෂ සමඟින් ඒකබද්ධ විපක්ෂය ලෙසින් මේ මැතිවරණ සටනට පිවිසීමට සූදානම් වීමයි. එකට ආණ්ඩු කර වෙනම ඉල්ලීමත්, එකට ආණ්ඩු නොකර ආණ්ඩු විරෝධය නියෝජනය කරමින් වෙනම ඉල්ලීමත් එකම පිලකින් සිදුවීම මෙතෙක් දක්නට නොලැබුණු දේශපාලන සංසිද්ධියකි. ගමේ මිනිහාට මෙය අපභරං නොසයක් විය හැකිය. ඒ අනුව ඔහු ගන්නා තීන්දුව ඡන්දය ගණන් කරලාම බැලිය යුතුය.

ඇයි මේ දෙගොල්ලන්ට ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය එකතු වෙන්න බැරි? එහෙම බැරි නම් ආණ්ඩු කරන දෙගොල්ලන්ට එකට එන්න බැරි ඇයි?

මෙය සාමාන්‍ය ඡන්ද දායකයා මතු කරන සරල ප්‍රශ්නයකි. ඊට නිසි පිළිතුරක් මේ දෙපිරිසම සතුව තිබෙනවා දැයි කියන්න දන්නේ නැත. මොනම හේතුවක් නිසාවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයකදී යූ.ඇන්.පී.ය සමඟ එකට තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නැති බව නම් පැහැදිලිය.

එහෙනම් මොන මඟුලකට ද තවමත් එකට ආණ්ඩු කරන්නේ?

මේ ප්‍රශ්නය ගමේ යූ.ඇන්.පී. විරෝධී මිනිසාට තිබේ. එසේම එකට ආණ්ඩු කිරීමට ගත් තීන්දුවට හේතු වූ කාරණා ගමේ යූ.ඇන්.පී. විරෝධී ජනයාට පැහැදිලි කරදීමට පසුගිය සමයේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සමත් වූවා ද යන්න ද පැහැදිලි ප්‍රශ්නයකි.

ඒ වෙනුවට ශ්‍රිලනිප මහලේකම් දුමින්ද දිසානායක සඳහන් කරන්නේ නිල හෝ නිල නොවන මට්ටමින් එකතුවීමක්  සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා නැත කියලාය. දුමින්ද ඉක්මන් වුණා වැඩියි වාගේය. එයම ගමේදී යූ.ඇන්.පී.යට වාසියකි. හබන් කුකුළන්ට රජ මඟුල්ය. තවමත් නාම යෝජනා කැඳවා නැති පසුබිමක පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඒකාබද්ධයේ තම සඟයන් සමඟ සාකච්ඡාවක් සිදුවීම අරුමයක් නොවේ. ඊට ඉඩදීම ඔහුගේ දේශපාලනයට හෝ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ අනාගත දේශපාලනයට අවැඩක් වන්නේ නැත.

ජිනීවා ජයගැනීම, රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණවලට ගෙන යෑමෙන් මුදාගැනීම, දෙමුහුන් අධිකරණ ප්‍රතික්ෂේප කිරීම, විදුලි පුටුව අතුරුදන් කිරීම, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම ප්‍රතික්ෂේප කිරීම, රට දෙකඩ වන යෝජනා ගෙන ඒමට ඉඩ නොදීම හා බැඳුම්කර කොමිසම පත් කිරීම ආදී ජයග්‍රහණ මේ ආණ්ඩුව සමඟ ඉඳිමින් ජනාධිපතිවරයා ලබාගෙන ඇත. අඩු තරමින් එයවත් නිසි පරිදි ගමේ විකුණා ගැනීමට බැරි වූ අයට ඒකාබද්ධය සමඟ කැත්තට පොල්ල ලෙසින් සිටීමෙන් පලක් වන්නේ නැත.

අවසානයේ මේ බලවේග දෙකම එකම ලකුණක් යටතට ගෙන ඒමට හැකි නම් එමගින් නිර්මාණය වන ජවය 2020 සිහිනයට යහපත්ය. ඊට හොඳ ආරම්භයක් මේ මැතිවරණයෙන් උදාකරගත හැකිය. එහි ආරම්භක සාකච්ඡාව ශ්‍රිලනිපයෙන් පටන්ගත යුතුය. එසේ නොමැතිව අපි 2020ට අපේ ආණ්ඩුවක් හදනවා, අපේ කෙනෙක් ගෙනෙනවා යැයි තැන තැන කඩමැත දෙඩවීමෙන් පමණක් තමන්ගේය කියා ආණ්ඩු බිහිවන්නේ නැත.

මුක්කුව කෙනකුට පෞද්ගලිකව තනතුරු සඳහා  ඕනෑ තරම් කාලයක් වාසිදායක විය හැකිය. ඒ සඳහා පක්ෂයක් උපයෝගී කර ගැනීමෙන් පාක්ෂිකයාට සෙතක් වේ ද යන්න ගමට ගොස් බලමණ්ඩල රැස්කර පාක්ෂික ජනයාගෙන්ම අසා දැනගත යුතුය. අවසානයේ සමහරුන් තේරුම් නොගන්නා දේශපාලනය ඡන්දයකදී ජනතාව තෝරා බේරා දෙන විටි බස් එක මිස්’ වී තිබීමට ඉඩ තිබේ.

 

 

වසන්ත ප්‍රිය රාමනායක