(ජුනි 19 වන දිනට යෙදුණු දිවංගත අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මැතිතුමන්ගේ ඡන්ම  දිනය  නිමිත්තෙනි)

ඩඞ්ලි සේනානායක මැතිතුමන් රැස්වීම්වල කතා කරනු මම දැක තිබුණත් මුහුණට මුහුණ එතුමන් පෞද්ගලිකව හමුවීම සිදු වූයේ 1970 වර්ෂයේදීයි. හැත්තෑවේ මැතිවරණ පරාජයේ උණුසුම පහව ගොස් නොතිබූ මේ සමයේ, පක්ෂයේ පරාජය සම්බන්ධව එතුමන් සිටියේ කැළඹිලිකාරී වාතාවරණයකයි.

මගේ පියතුමන්ගේ ලිපියක් සමඟ කොළඹ ආනන්දයේ ශිෂ්‍ය නියෝජිත පිරිසක් ලෙස අපි එතුමන් හමුවුණා. මෙම හමුවීම සඳහා අපට අවස්ථාව සලසා දුන්නේ එවකට එ.ජා.ප.යේ තරුණ පෙරමුණේ ලේකම් ජිනදාස නියතපාල මහතායි. අපට එතුමන් දැක්වූ ප්‍රතිචාරය මට මේ මොහොතේ සිහියට නැගේ. 

“පුතාලා දැන් හොඳට ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්න වයස. විශ්වවිද්‍යාලයට ගිහින් ආවට පස්සේ දේශපාලනය කරන්න පුළුවන්. ඒ වෙලාවට අපි ඕගොල්ලන්ට අවස්ථාව ලබා දෙන්නම්.”

තම දේශපාලන අරමුණු සඳහා ශිෂ්‍යයන් ඉත්තන් කර ගන්නට සූදානම් නොවූ අවංක නායකයකුගේ ප්‍රතිරූපය අපි දුටුවෙමු. යොවුන් වියේ පසු වූ අපගේ දේශපාලන පිපාසය නිවාලන්නට එම පිළිතුර සමත් වූයේ නැත. 

“එ.ජ.ප.ය මේ ස්ථාවරයේ සිටියොත් අනාගත පරපුර අන්තවාදී මාවතකට නැඹුරු වීම වළක්වන්න බැරි වේවි.”
 අපේ අදහස ඉතා ප්‍රබල ලෙසින් අපි එතුමන්ට පැහැදිලි කළෙමු. ශිෂ්‍ය නියෝජිතයන්ගේ දීර්ඝ සහ බලවත් කරුණු ඉදිරිපත් කිරීම්වලින් පසුව පවතින සැබෑ තත්ත්වයේ බැරෑරුම් බව එතුමාට ඒත්තු ගිය බව වැටහිණ.

“එහෙනම් අපි කල්පනා කරලා තීන්දුවක් ගනිමු. මට සතියක් කල් දෙන්න.”

අවසානයේ ඩඞ්ලි සේනානයක මහතා අපට පවසා සිටියේය. ආනන්දයේ ශිෂ්‍ය පිරිසට සතියකින් කැඳවීමක් ලැබිණ. ඒ වුඞ්ලන්ඞ් මන්දිරයෙනි. අප එහි ගියේ බොහොම සතුටිනි. ජිනදාස නියතපාල, මහාචාර්ය තිලක් රත්නකාර, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, අචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු එහි සිටියහ.

“පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය ආරම්භ කරන්න අපේ අදහසක් නෑ. ඔයාලා ආරම්භ කරලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගමය ඔහොම කරගෙන යන්න. පක්ෂයක් වශයෙන් ඕගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය ගැන ශිෂ්‍යයන් දැනුවත් කිරීම සඳහා මේ උදවිය අවශ්‍ය සහාය හා මඟපෙන්වීම ලබා දේවි.” 

පැමිණ සිටි හතරදෙනා අපට හඳුන්වා දෙනු ලැබිණ. පසු අවධියේ සමවාදී ශිෂ්‍ය පෙරමුණ බවට පත්වූ එ.ජා.ප.යේ. ශිෂ්‍ය අංශයේ උපතට මුල පිරුණේ ඒ අයුරිනි. මෙරට දේශපාලනයේ “මහත්මා සලකුණ” ලෙස හැඳින්විය හැකි ඩඞ්ලි සේනානායකයන් සමඟ සම්බන්ධ වීමට මට අවකාශ  සැලසුණේ මෙලෙසිනි.  

පොදු ජන ජීවිතය තුළ ඔහුගේ හැසිරීම, ශ්‍රී ලාංකීය දේශපාලනයේ “ප්‍රජාතන්ත්‍රවාදියකුගේ පරමාදර්ශය” ලෙස හැඳින්වීමට තරම් සුදුසු වන්නේ යයි මම විශ්වාස කරන්නෙමි. මානව දයාව පිරි ඩඞ්ලි සේනානායකයන් දේශපාලන ක්ෂේත්‍රය අලංකාර කළ, එයට වටිනාකම ගෙන දුන් මනුෂ්‍ය රත්නයකි. 

දේශපාලන බලය සහ මුදල ඉදිරියේ මිනිස් ජීවිත මායිම් නොකරන යුගයක ඩඞ්ලි සේනානායකයන්ගේ චරිතය තුළින් උගත හැකි පාඩම් බොහෝය. 60 දශකයේ හර්තාලයේ දී සිදු වූ එක් ජීවිත හානියක් හේතුවෙන් කම්පාවන්ටත්, වේදනාවටත් පත්වූ ඩඞ්ලි අග්‍රාමාත්‍ය ධුරයට “ආයුබෝවන්” කියමින් වුඞ්ලන්ඞ්ස් මන්දිරයට (තම පෞද්ගලික නිවසට) පා නැගුවේ, බලයේ එල්ලී සිටීමට තරම් තණ්හාවක් තමන්ට නොමැති බව රටට හෙළි කරමිනි. රාජ්‍ය නායකයා ලෙස තම රටවැසියන්ගේ ජීවිතවලට උත්තර බැඳීමට තමන්ට ඇති වගකීම මේ තුළින් ඔහු පෙන්නුම් කර සිටියේය.

“දේශපාලනයත් යුද්ධයක් මෙනී. සමහරවිට විෂ වායුවත් පාවිච්චි කරන්නට සිදුවෙයි.”

වින්ස්ටන් චර්චිල් වරක් පැවැසූ මේ අන්තයට කිසිවිටෙකත් නොගිය දේශපාලනඥයෙකි, ඩඞ්ලි.

කථාවට වඩා හැසිරීම තුළ ඔහුගේ බෞද්ධකම දැකිය හැකි විය. දේශපාලන වාසි ප්‍රයෝජන සඳහා ආගම, ජාතිය, කුලය හෝ පන්තිය වෙළෙඳ භාණ්ඩයක් කරගනිමින් වෛරය වැපිරීමේ හැසිරීමක ඔහු කිසිවිටෙකත් නියැළුණේ නැත. විවිධ ජනකොටස් වාසය කරන සමාජයක, ඒ සියලු ජන කොටස්වල ආදරය සහ විශ්වාසය හෘදයාංගමව දිනාගත් නායකයන් දැක ගැනීම දුර්ලභය. ඩඞ්ලි සේනානායකයන් සැබැවින්ම එවන් දුර්ලභ නායකයෙකි. අපේ ජීවිත කාලය තුළ දුටු ඇමෙරිකාවේ ජෝන් කෙනඩි, කැනඩාවේ පියරේ ටෘඩෝ, ශ්‍රී ලංකාවේ ඩඞ්ලි සේනානායක ඒ ගණයට වැටෙන්නන් බව මගේ විශ්වාසයයි.

1956 මැතිවරණය ආසන්නව තිබිය දී, ජෝන් කොතලාවල මහතාගේ නායකත්වයෙන් වූ එක්සත් ජාතික පක්ෂය එදා රැල්ලට අනුගත වෙමින් “සිංහල පමණක්” ප්‍රතිපත්තිය වැළැඳ ගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ ජන පදනම උතුරේ නායයාම ආරම්භ විය. ෆෙඩරල් පක්ෂ නායක චෙල්වනායගම් මහතා පරදවා, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස උතුරේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි නඬේසන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ද්‍රවිඩ නායකයන් එක්සත් ජාතික පක්ෂය “සිංහල පමණක්” ප්‍රතිපත්තිය වැළැඳ ගැනීමෙන් අනතුරුව, තමන්ට තවදුරටත් පක්ෂය තුළ සිටීම අපහසු බව කඳුළු පිරි දෙනෙතින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පක්ෂය හැර ගියේ සිතකින් නොවන බව නඬේසන් මහතා කළ ප්‍රකාශය කියවන විට පැහැදිලි වෙයි. 

ප්‍රතිපත්තිමය ස්ථාවරයේ සිදු වූ මේ වෙනස හේතුවෙන් උතුරේ ජනතාව අතර සියලු ජන කොටස්වලට පොදු වූ “ජාතික පක්ෂයක්” ලෙස මෙතෙක් එක්සත් ජාතික පක්ෂයට තිබූ ප්‍රතිරූපය බිඳ වැටෙන්නට පටන් ගැනිණ. පසු අවධියේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය යළි භාරගත් ඩඞ්ලි සේනානායකයන් ඉතිහාසයේ වැරැදි නිවැරැදි කරමින් චෙල්වනායගම් සහ තිරුචෙල්වම් වැනි නායකයන් සමඟ සබඳතා ගොඩ නගා ගනිමින් ද්‍රවිඩ ජනතාවට සාධාරණත්වය සලසන අණපනත් ගෙන ඒමට කටයුතු කළ නමුදු, අන්තවාදී බලවේගයන්හි ක්‍රියාකාරීත්වය ඉදිරියේ ඒවා සම්මත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ජාතික එකමුතුව සඳහා ලද ඓතිහාසික අවස්ථාව මග හැරුණි.

එක්සත් ජාතික පක්ෂයට සහ එවකට වූ ප්‍රධාන වාමාංශික පක්ෂවලට, මෙරට සියලු ජනවර්ගවලට පොදු වූ ජාතික පක්ෂයන් ලෙස කටයුතු කිරීමට ලැබූ  අවස්ථාවන් මඟහැර යාමට ඉඩදීම තුළ, වර්ගවාදී පක්ෂ බලවත් වීම සහ ඒ තුළින් රටට සිදු කළ හානිය අප ඉතිහාසය තුළ දකින අවාසනාවන්ත තත්ත්වයකි. මේ අප අදට ද පාඩම් උගත යුතුව ඇත.

1966 දී ද්‍රවිඩ ජනතාවට සාධාරණත්වය සලසනු වස් සකස් කළ දිස්ත්‍රික්ක සභා සහ ද්‍රවිඩ බසින් එම ප්‍රදේශවල දී රජය හා ගනුදෙනු කිරීමට අවකාශ සලසන විධිවිධාන පිළිබඳ පනත සම්මත කර ගැනීමට ඩඞ්ලි සේනානායක රජය අපොහොසත් වීම හේතුවෙන් ද්‍රවිඩ නායකයෝ රජයෙන් ඉවත් වූහ. මේ වකවානුවේ පාර්ලිමේන්තු රැස්වීම් වාර්තාකරණයේ යෙදුණු ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදියකු මා සමඟ කී කාරණයක් මට සිහිපත් වෙයි. රජයෙන් ඉවත් වූ ද්‍රවිඩ නායකයන්ගෙන් කෙනකු වූ අමිර්තලිංගම් මහතා හමුවූ මේ මාධ්‍යවේදියා, ද්‍රවිඩ නායකයන් රජයෙන් ඉවත් වීම නිසා රජය බිද වැටීමට ඇති ඉඩකඩ ගැන ඔහුගෙන් විමසා ඇත. 

“ඩඞ්ලි සිංහල දේශපාලනඥයන් අතර සිටින දුර්ලභ ගණයේ නායකයෙක්. අන්තවාදී බලවේගයන්හි ක්‍රියාකාරීත්වය හමුවේ ද්‍රවිඩ ජනතාවට සාධාරණත්වය ඉටු කර දෙන්නට ඔහුට නොහැකි වූව ද ඔහු වැනි පළල් මනසක් ඇති සිංහල දේශපාලනඥයන් රැක ගැනීම මේ රටේ අනාගතය වෙනුවෙන් අප කළ යුත්තක්. එම නිසා අප රජයෙන් ඉවත් වූව ද ඩඞ්ලිගේ රජය බිඳ දැමීමකට අප දායක වන්නේ නැහැ.”

එදා “ඩඞ්ලිගේ බඬේ - මසල වඬේ” “තලතෙල් ගඳයි - ඉන්නට බැහැ” වැනි සටන් පාඨ කියමින්, අන්තවාදී ප්‍රකෝප කිරීම් තුළින් දිස්ත්‍රික් සංවර්ධන සභා පනත පරාජයට පත් කරන්නට නායකත්වය දුන් බලවේග, අද මේ ප්‍රශ්නයට විසඳුම දිස්ත්‍රික්ක ඒකක ඇති කිරීම බව කියමින් එදා ඩඞ්ලි සිටි ස්ථාවරයට අද පැමිණ සිටීම දෛවයේ සරදමක් ලෙස හැඳින්විය හැක.

 “දේශපාලනඥයා ඊළඟ මැතිවරණය අරමුණු කර ගනී. රාජ්‍ය තාන්ත්‍රිකයා ඊළඟ පරපුර අරමුණු  කර  ගනී.” ඩඞ්ලි සේනානයක යනු ඉහත ප්‍රකාශය අර්ථවත් කළ නායකයෙකි. ඔහු සෑම විටම ක්‍රියා කළේ ඊළඟ පරපුර අරමුණු කරගනිමිනි.

ඩඞ්ලි සේනානායකයන් රාජ්‍ය මන්ත්‍රණ සභා සාමාජිකයකු ලෙස සිටියදී තම පියතුමන් ඉදිරිපත් කළ යෝජනාවලට විරුද්ධව අවස්ථා කිහිපයකදීම අදහස් ප්‍රකාශ කළ අයුරු රාජ්‍ය මන්ත්‍රණ සභා රැස්වීම් වාර්තා කියවන විට පෙනී යයි. පියතුමන් වෙත තිබූ ගෞරවය සහ තමන්ගේ හෘද සාක්ෂිය අතර ගැටුමකට මැදිව සිටි ඩඞ්ලි, වරෙක පියතුමන් අමතා යැවූ ලිපියක මෙසේ සඳහන් කරයි.

“ආදරණීය පියතුමනි”

“අප දෙදෙනා එකම වහලක් යට ජීවත් වන්නෙමු. ඔබේ පුත්‍රයා ලෙසින් මේ අයුරින් කටයුතු කිරීමට සිදුවීම අපහසු තත්ත්වයකි. අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් ඔබ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන සමහර යෝජනාවන්ට මට එකඟ විය නොහැක. අවස්ථා බොහෝමයකදී ඔබට විරුද්ධ වන්නට මට සිදුවිය. එවැන්නක් අද ද සිදුවිය. මේ තුළින් මම දැඩි මානසික පීඩනයකට පත්ව සිටිමි. එබැවින් රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළෙමි.”
තම ආදරණීය පුතුගේ ලිපියට ඩී.එස්. සේනානායකයන් මෙසේ පිළිතුරු ලියා තිබුණි.

“ඔබ මගේ පුත්‍රයා වුව ද ඕනෑම අවස්ථාවක මට විරුද්ධ වීමට ඔබට සම්පූර්ණ නිදහස ඇත. මම ඔබ හදා වඩා ගත්තේත්, අධ්‍යාපනය ලබා දුන්නේත් ඔබ ස්වාධීන මිනිසකු වීම සඳහායි. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන කෙනකු වීම සඳහායි. ඔබ රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ නිර්භීතව සහ නිවැරැදිව ඔබේ අදහස් දක්වන්නට ශක්තිය ලබා තිබීම ගැන මම ආඩම්බර වන්නෙමි. එය කිසිසේත් අපේ පිය පුතු සම්බන්ධතාවට හානි කරන්නක් නොවනු ඇත.”
මේ පිය පුතු දෙපළ අතර සිදුව ඇති අදහස් හුවමාරුව, අද යුගයේ දේශපාලනයට මෙන්ම තිබිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී හැසිරීම උදෙසා ද හොඳ ආදර්ශයක් බව පෙනේ. 

තම ආදරණීය පියතුමන්ගේ වියෝ වීම හේතුවෙන් හිස් වූ අග්‍රාමාත්‍ය ධුරයට ඩඞ්ලි සේනානායකයන් තෝරාගත් අවස්ථාවේදී, ජනවරමකින් තොරව එම තනතුර දරා සිටීමට අකමැති වූ ඩඞ්ලි, ඒ සඳහා ජනතා කැමැත්ත විමසමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට මුහුණ දීමට තීරණය කළේ නියම ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙසිනි.
1965 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට ඔහු සී.පී. ද සිල්වා මහතා වෙත ආරාධනා කර සිටියේය. 1964 දී වාමාංශික සහාය රජය පෙරළා දැමීමට මූලික වූ සී.පී. ද සිල්වා මහතා වෙත කෙළෙහිගුණ පාමින් ඩඞ්ලි කළ ඒ ආරාධනාව ඩඞ්ලි කෙබඳු නායකයකු ද යන වග හොඳින් පෙන්නුම් කරයි. 

බලය පසු පස හඹා නොගිය ඩඞ්ලි වැනි ශ්‍රේෂඨ නායකයන් දැකීම දුර්ලභය. “ජනතාව බලාපොරොත්තු වන්නේ ඔබේ නායකත්වයයි.” යනුවෙන් පවසා සී.පී. ඩඞ්ලිගේ ඇරියුම භාර ගැනීම ප්‍රතික්ෂේප කර සිටියේය.

1965 සිට 1970 දක්වා නියමිත කාලය සම්පූර්ණ කළ ඩඞ්ලි සේනානායකයන්ගේ පාලන යුගය, සෑම ප්‍රධාන ක්ෂේත්‍රයකින්ම රට ඉදිරියට ගෙන ගිය වාර්තාගත කාර්ය සාධකයන් පෙන්නුම් කළේය. එම්.ඩී. බණ්ඩා අමාත්‍යතුමන් යටතේ කෘෂි ක්ෂේත්‍රය ද පිලිප් ගුණවර්ධනයන් යටතේ කර්මාන්ත ක්ෂේත්‍රය ද ඊරියගොල්ලයන් යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය ද යූ.බී. වන්නිනායකයන්ගේ මූල්‍ය කටයුතු අතින් දුන් නායකත්වය ද විමසන කල මේ තත්ත්වයන් හොඳින් අවබෝධ කරගත හැක.

ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු අන්තයන්හි සිටි දේශපාලන නායකයන් 65 යුගයේදී ඩඞ්ලි සේනානායකයන් සමඟ සිටීම දැකිය හැකි විය. 50 දශකයේ සිංහල භාෂා පෙරමුණට නායකත්වය දුන් අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල, ජාතික විමුක්ති පෙරමුණට නායකත්වය දුන් කේ.එම්.පී. රාජරත්න, “ශ්‍රී ලංකාවේ මාක්ස් වාදයේ පියා” ලෙස සැලකුණු මාක්ස් වාදී කඳවුරේ ජාතික වාදී අදහස් දැරූ පිලිප් ගුණවර්ධනයන්, දකුණෙන් බිහිව අගමැති ධුරයට පත්වූ දැඩි එක්සත් ජාතික පක්ෂ විරෝධියකුව සිටි විජයානන්ද දහනායකයන් මෙන්ම ද්‍රවිඩ අන්තයේ සිටි එස්.ජී.වී. චෙල්වනායගම්, ජී.ජී. පොන්නම්බලම්, තිරුචෙල්වම්, අමිර්තලිංගම් වැන්නන්ද 65-70 යුගයේදී ඩඞ්ලි සේනානායකයන්ගේ ගමන් මග හා බැඳී සිටියේ නැවත ඔහු අත්හැර නොයමිනි. ඩඞ්ලිට සමීප වූ කිසිවකු ඔහු අත්හැර නොගියේ සමීප වූ තරමට ඩඞ්ලි කෙබඳු කෙනකු ද යන්න අවබෝධ කරගැනීමට ඔවුනට හැකිවූ හෙයිනි. ඈතින් සිට දේශපාලනඥයන්ගේ හොඳ දකින බොහෝ දෙනකු සමීප වූ පසු ටික කලකින් ඔවුන් හැර යාම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අප සුලභව දකින්නක්. ඩඞ්ලි සේනානායකයන් තුළ අප දකින්නේ ළංවන තරමට ඔහු හැර යාමට කිසිවකුට සිත් නොදෙන තත්ත්වයයි.

කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකික ජනතාව ඔහුට ආදරය කළේ ඩඞ්ලි තමන්ගේම කෙනකු බව විශ්වාස කරමිනි. එතුමන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනරංජන නායකයකු විය. අවංක නායකයකු විය. ශ්‍රී ලංකාව අභිමානවත් දේශයක් වීමට තව තවත් ඩඞ්ලි සේනානායකවරුන් මේ බිමේ පහළ වේවා!