ළාත් පාලන මැතිවරණය නිමාවට පත් වූවත් ඒ මගින් ඇති කරන ලද දේශපාලන තෙරපුම තවමත් පහවූයේ නැත. කෙටියෙන්ම කියනවා නම් සිදුවී තිබෙන්නේ ආණ්ඩුව උස්සලා අතැරියා වගේ වැඩක්ය. අගමැතිතුමා හෝ ඇමැති මණ්ඩලය තවමත් පවතිනවාද නැතහොත් එය වෙනස්වනවාදැයි හෝ මේ වනවිට පවතින්නේදැයි දන්නා කෙනෙක්වත් නැති ගානට විශාල දේශපාලන අවුලකට මුළු රටම පත්වී හමාරය. සරලවම කියනවා නම් මේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ගැන ආණ්ඩුවේ  අදහස කුමක්ද යන කාරණය වුවත් තවමත් මේ රටේ ජනතාව දන්නේ නැත.

මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමට පටන් ගත් මොහොතේ සිට මේ දක්වාම ආණ්ඩුවේ පාර්ශව දෙකම ඉන්නේ විශාල කලබලයකින් එකිනෙකාට චෝදනා කර ගනිමිනි. එක වෙලාවක මේ පාර්ශව දෙක මේ මැතිවරණයෙන් පරාජයට පත් වූයේ තමා නොව අනෙකා නිසා යැයි කියන අතර තවත් විටෙක පැරදුණේ ආණ්ඩුව නොව ඒකාබද්ධ විපක්ෂය ඇතුළත් පොදුජන  පෙරමුණ බව ද ප්‍රකාශ කරති. තවත් විටෙක ඒ අය කියන්නේ මෙය පළාත් පාලන මැතිවරණයක් නිසා දිනුම පරාජය එතරම් වැදගත්කමක් තියෙන දෙයක් නොවන බවය. 

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව අතරින් පෙන්නුම් කරන මේ අවුල් සහගත තත්ත්වය නිසා රටම සිටින්නේ ආණ්ඩුවක් තිබුණාට ඒ ආණ්ඩුවට රට පාලනය කිරීමේ යුක්තිසහගතභාවයක් නැතිවා වැනි තේරුම් ගැනීමකට පැමිණිලාය. බලය තිබුණාට ගෞරවයක් නැති ගානට පත් වෙලාය. මේ අවුලෙන් එළියට යන්නේ කෙසේද කියා ආණ්ඩුවේ අය දන්නේත් නැත. ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හේතුවෙන් සිදුවී තිබෙන්නේ තත්ත්වය තවත් සංකීර්ණ හා අපැහැදිලිවීම පමණක්ය.

මේ නිසා  ආණ්ඩුවේ මතුවී තිබෙන මේ එහාට යන්නත් බැරි මෙහාට යන්නත් බැරි හිරවීමකට නිසා මේ මැතිවරණයෙන් සිදුවුණේ කුමක්දැයි කියා අමතක වන ගානට සියල්ලම පැටලි සහගත තැනකට පත්වී තිබෙන බව නම් ඉතාමත් පැහැදිලිය. අප මේ පිළිබඳව යම් ආවර්ජනයක් කළ යුත්තේ සිදුවී තිබෙන්නේ කුමක්ද කියා තේරුම් ගැනීමට පමණක් නොව මේ සිද්ධියෙන් එහාට යන්නේ කෙසේද කියා තෝරා ගැනීමත් ඉතාමත් අවශ්‍ය දෙයක් නිසාය.

මේ මැතිවරණය පැවැත්වූයේ මේ රටේ පළාත් පාලන ආයතන (එනම් මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා) 363 කට පමණ පාලනය කරන්නේ කවුරුන්ද කියා තෝරා ගැනීමටය. ජන්දයේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ එම පළාත් පාලන ආයතන 363න් 239 කම සාතිශය බහුතර බලය දිනා ගත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති නායකත්වය ලබා දුන් පොහොට්ටු පක්ෂය බවය.

ඒ පක්ෂයේ ජයග්‍රහණයේ ප්‍රමාණය සමස්ත පළාත් පාලන ආයත ගණනින් සියයට 70ක පමණ වන බව මෙහිදී තේරුම් ගත යුතු වැදගත්ම කාරණාවක්ය. සමස්තයක් ලෙසින් ආණ්ඩුවේ පක්ෂ දෙක බරපතළ ආකාරයෙන් කඩා වැටීමකට ලක් වූයේ ජයග්‍රහණයේ ප්‍රතිශතය නිසාය. වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය යැයි කිව හැකි සහ රාජ්‍ය බලයේ හිමිකාරිත්වය දරන එක්සත් ජාතික පක්ෂය ජයගත්තේ පළාත් පාලන ආයතන 41 පමණක් වීම මෙහිදී රටම දුටු වැදගත්ම සිද්ධියක්ය.

මෙය දේශපාලනයේ කුමන අර්ථයෙන් සැලකුවත් නිශ්චිත හා පැහැදිලි පරාජයක් බව මගේ අදහසය. මේ පරාජයේ ඇති බරපතළභාවය තවත් වැඩි වන්නේ උතුරේ හා නැගෙනහිර පළාත්වලට පමණක් තරග කළ ටීඑන්ඒ සංවිධානය එජාපය ළඟටම ස්වකීය ජයග්‍රහණය ළංකර ගැනීම  සමඟ මේ පරාජය සංසන්දනය කර බලන විටය. ඇත්තටම ටීඑන්ඒ සංවිධානය උතුරේ හා නැගෙනහිර පමණක් තරග කළත් ඒ පක්ෂය පළාත් පාලන ආයතන 34 ජයග්‍රහණය කර තිබීම මෙහිදී අවධානයට ලක් විය යුතු විශේෂ කාරණයකි. ටීඑන්ඒ පක්ෂය දිනාගෙන ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව මුළු රටටම තරග කළ එජාපයට වඩා අඩුවන්නේ ආයතන 7 කින් පමණක්ය.

මේ තත්ත්වය මා තේරුම් ගන්නේ ටීඑන්ඒ සංවිධානයේ තිබෙන විශේෂ ශක්තියකටත් වඩා එජාපයේ පෙන්නුම් කෙරෙන බරපතළ  දුර්වලතාවක් පෙන්නුම් කරන සාධකයක් ලෙසින්ය. ඊළඟට මේ මැතිවරණයෙන් ආණ්ඩුව කරවන අනෙක් පක්ෂය වන ශ්‍රීලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යන පක්ෂ දෙක මුහුණ දී ඇත්තේත් ඒ ආකාරයේම පරාජයකට ය. ඒ පක්ෂ දෙකම ඍජුවම ජයග්‍රහණය කර ඇත්තේ මුළු රටෙන්ම පළාත් පාලන ආයතන 10 පමණක්ය. මේ ජයග්‍රහණයෙන් ද වැඩි හරියක් ලැබුණේ ජනාධිපතිවරයාගේ දිස්ත්‍රික්කයෙන් වන අතර ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ හැම ආසනයක්ම හැම දිස්ත්‍රික්කයක්ම පාහේ බරපතළ ආකාරයෙන් පරාජයට පත් වූ බව අප හැමෝම දුටු කාරණයක් විය. 

මේ සියල්ලටම වඩා වැඩියෙන් කැපී පෙනෙන පරාජයක් මේ මැතිවරණයෙන් ලබා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව මගේ මතයයි. 

ඒ පක්ෂය එකම පළාත් පාලන ආයතනයක්වත් ජයගත්තේ නැතිවා පමණක් නොව දැනට තියෙන ආරංචිවලට අනුව පළාත් පාලන ආයතන ඇතුළේ තියෙන කුඩා කොට්ඨාස අතරින් වුවත් ජවිපෙ මුළු රටෙන්ම දිනා ගෙන ඇත්තේ එකම එක කොට්ඨාසයක් පමණක් ය. 

මේ පරාජය ජවිපෙ පැත්තෙන් තේරුම් ගන්නේ කෙසේදැයි මා දන්නේ නැත. එහෙත් ඒ අයගේ පැහැදිලි කිරීම්වලින් මතු වන්නේ තනිකරම ජන්ද දිනන්ට බැරුවා පමණක් නොව පරාජයක් තේරුම් කර ගන්නටත් නොහැකි ආකාරයේ කඩා වැටීමක්ය. ඒ අය දැන් කියන ආකාරයේ  සාමාන්‍ය බුද්ධියට වැටහෙන්නේ නැති හතර බීරි කථාවලින් පෙන්නුම් කරන්නේ ඒ කාරණය ය.

මැතිවරණ පරාජයට පසු දින පුවත්පත් සාකච්ජාවක දී එක ජවිපෙ නායකයෙක් කීවේ ‘ජනතාව 2015 මහින්දගේ ආණ්ඩුවට විරුද්ධව වර්තමාන එජාප ආණ්ඩුවට ජන්දය දුන්නේ මේ ආණ්ඩුව ලවා මහින්දට දඬුවම් දෙන්නට බවත් ආණ්ඩුව එහෙම මහින්දට දඬුවම් දුන්නේ නැති නිසා ජනතාව නැවතත් මහින්දටම බලය දුන්නා’ වැනි ආකාරයේ විකාර කථාවක්ය. ඒ පක්ෂයේ තවත් නායකයෙක් කියා සිටියේ මේ පරාජය ඒ පක්ෂයේ ප්‍රශ්නයක් නොව ජනතාවගේ බුද්ධියේ ප්‍රශ්නයක් බවයි.

මෙවැනි ආකාරයේ අපහාස හා උපහාස මිසක් තමන්ගේ දේශපාලනයේ කඩා වැටීම ගැන තේරුම් ගැනීමටවත් නොහැකි තත්ත්වයට අපේ රටේ තරුණ දේශපාලනයේ ප්‍රධානතම පක්ෂය පත්වී තිබීමෙන් කියා පාන්නේ ජවිපෙ දේශපාලනයත් පරණ වාමාංශ වගේම අතීතයක් පමණක් තිබෙන අනාගතයක් පැහැදිලි නැති තත්ත්වයක් යැයි සිතීමේ වරදක් නැති බව මගේ අදහසය.

දැන් අප තේරුම් ගත යුතුම කාරණය ආණ්ඩුවේ පාර්ශව මග හැර යන්නට හදන එහෙත් එසේ මගහැර යන්නට නොහැකිව එක තැන හිරවී සිටින මේ පළාත් පාලන මැතිවරණයේ ජනතා තීරණය මේ රටේ අනාගත දේශපාලනය කෙරෙහි ඉතාමත් තීරණාත්මක ආකාරයෙන් බලපාන බව ය. මේ මැතිවරණය සමාන වන්නේ 1993 පැවති දකුණු පළාත් සභා මැතිවරණය වැනි තත්ත්වයකට බව පිළිගැනීම ඉතාමත් නිවැරැදිය. 1993 දකුණු පළාත් සභා මැතිවරණය බලය මාරු කරන මැතිවරණයක් නොවූ බව ඒ කාලයේ දේශපාලනය ගැන තේරුමක් තියෙන අප හැමෝම දන්නා කාරණයකි.

ශ්‍රීලනිපය එදා අමරසිරි දෙඩංගොඩගේ නායකත්වය යටතේ තරග කළේ රටේ බලය ගන්නට නොව දකුණේ බලය ගන්නට පමණක් බව අප හැමෝටම මතකය. එද ශ්‍රීලනිපයේ සටන් පාඨය වූයේ ‘දකුණ වමට හරවන්නට - දොඩං’ කියාය. ඒ ජන්දය දකුණු පළාත් සභාවට සීමා වූ එකක් වුණාට අන්තිමට ඒ පළාත් සභාවේ ජයග්‍රහණය මගින් තීරණය කළේ මේ රටේ ඊළඟ අවුරුදු විස්සේ පාලනය පිළිබඳව මිස පළාත් සභාවේ බලය ගැන පමණක් නොවන බව අප අමතක කළ යුතු නැත. එනම් ඒ පළාත් සභා මැතිවරණයෙන් පටන් ගත් දේශපාලන ජයග්‍රහණය 1994 සිට 2015 දක්වාම මේ  රටේ බලය ශ්‍රීලනිප ප්‍රමුඛ පාලනයක් වෙත තබා ගැනීමට ආරම්භයක් ගොඩ නැගූ බව ඉතිහාසයේ පෙන්නුම් කර භෞතික යථාර්ථය මිස හිතලුවක් නොවන බව අපේ අත්දැකීමය. 

අනෙක් අතට ඒ දකුණු පළාත් සභා මැතිවරණය පවත් වන්නට ආසන්නම හේතුව වූයේ අද සමහරුන්ට අමතක වී තිබෙන ෆ්‍රැන්සිස්කුකරණය ලෙසින් එදා හැඳින්වූ ෆ්‍රැන්සිස්කු මන්ත්‍රීවරයා සඟවා එක ජන්දයෙන් සිටි පළාත් සභාව ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් ඩැහැ ගන්නට එවකට බලයේ සිටි එජාප ආණ්ඩුව දැරූ උත්සාහයට ජනතාවගෙන් ලැබුණු කම්මුල් පහරක් යැයි කීමේ වැරැද්දක් ද නැත.

මෙවර පළාත් පාලන මැතිවරණයේ ජනතාවගේ මේ මහජන මතයට ආසන්නම හේතුව වන්නේ 2016 පවත්වන්නට තිබූ පළාත් පාලන මැතිවරණය වසර දෙකකට වඩා කල් දමා කරගෙන ගිය ක්‍රියාදාමයට එරෙහිවීමක් යැයි මූලිකවම පිළිගත හැකි නමුත් 1993 වගේම මේ මැතිවරණය මගින් සටහන් කරන්නේ මේ රටේ දේශපාලන සිතියම නැවත වාරයක් වෙනස් පැත්තකට හරවන්නට ජනතාව තීරණය කර ඇති බව යැයි සිතීමේ කිසිදු වැරැද්දක් නැත. 

මේ දවස්වල කරන කියන දේවල් හරහා එජාපය පෙන්නුම් කරන්නේ එදා වගේම අදත් ඒ පක්ෂය මේ දේශපාලන පණිවිඩය තේරුම් ගැනීමට සූදානමක් හා විනයක් නැති බව මිස වෙන දෙයක් නොවේ. වඩාත් පැහැදිලිව කිවහොත් මේ මැතිවරණයේ ජනතා මතයෙන් පෙන්නුම් කරන්නේ වත්මන් රජයේ වැරැදි ආර්ථික කළමනාකරණය අකාර්යක්‍ෂමතාව, මහ බැංකු කොල්ලය වැනි හොරකම් සහ මේ රටේ සංස්කෘතියට එරෙහිවීම වැනි අවභාවිත රාශියක් එකට තබා විනිශ්චය කරන්නට රටේ ජනතාව ආරම්භ කර ඇති බවය.

ඒ වගේම ජනතාවම ඉදිරියට විත් තේරුම් කර දී තිබෙන්නේ ආණ්ඩු කරනවා යනු පොලිසියට නියෝග දෙමින් කවරකු හෝ කූඩුවට දමමින් කරගෙන යන කප්පරක් බොරු දෙසාබාන විකාර රුපී රංගනයක් නොවන බවත් රටේ ජනතාවගේ අනාගතය පමණක් නොව වර්තමානයත් විනාශ කරන දේශපාලනයට තිත තබන්නට සූදානමින් සිටිනා බවත්ය. මැතිවරණයෙන් පසුව ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙළින් පෙන්නුම් කරන්නේ ඒ අය රාජ්‍ය පාලනයට හැකියාවක් නැති අය පමණක් නොව සාමාන්‍ය මිනිස් බුද්ධියෙන් මේ කාරණය තේරුම් ගන්නටත් හැකියාවක් නැති කණ්ඩායමක් බව මිස වෙන දෙයක් නොවන බව මගේ හැඟීමය.

1993 මේ ආකාරයේ දකුණු පළාත් සභා පරාජයේ සිට   ගමනක්  ආරම්භ කරනවිට අපට ඉවෙන් වගේ පෙනුණේ පරාජය වෙත වේගයෙන් ඇදී යන පරණ එජාපයේ කථා සාප්පු ටිකය. මේ මැතිවරණයේදීත් තරමක් වෙනස් ආකාරයකට පෙන්නුම් කරන්නනේත් ඒ දර්ශනයම ය. මෙතැන වෙනස ඇත්තේ පරාජයේ හෙලකට කඩා වැටෙන්නට වේගයෙන් ඇදී යන කථා සාප්පුවේ එජාපය පමණක් නොව ශ්‍රීලනිපය ද එක සමානව එකට සිටීමය. එයින් ගැලවෙන්නට ඔවුනට හැකියාව ලැබෙන්නේ මේ මැතිවරණ ප්‍රතිඵලය තෙරුම් කර ගන්නට බුද්ධියක් ලැබුණ දිනයකය. ඒ දිනය ඊළඟ මැතිවරණ දිනයට පෙර නොපැමිණියහොත් වෙන්නේ කුමක්දැයි සිතා ගන්නවා හැර කියන්නට හැකියාවක් නැත.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ අංශාධිපති
ආචාර්ය චරිත හේරත්