තරිදු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

(tharindudld@gmail.com,bingungamage88@gmail.com)

 

මල්ලී සීඅයිඩී ටීම් කේම් ඉන්...

සීඅයිඞී ටීම්?

නෝ. එස්.අයි.යූ ටීම්. ....  ඕඩර්ස් ෆ්රොම් අයි.ජී.පී

ඕකේ.

මල්ලී ටූ ඇරැක් බොට්ල්ස් ගිව් ටු ඉන්චාර්ජ්...

අයි.පී  ඕර් එස්.අයි?

එස්.අයි.. එස්..අයි

ඕකේ

ඩූයූ ක්නෝ හිම්?

නෝ. අයි ඩෝන්ට් ක්නෝ.

මල්ලි කැන් යූ හෙල්ප්.

යර්ස්.. ආස්ක් හිම් ටු ක් හියර්...

යූවර් ටෙලිෆෝන් නම්බර්...

ඕකේ. ගිව් දෙම්.

කතාව ආරම්භ කළේ දුරකතන සංවාදයකිනි.  කැඩුණු ඉංග‍්‍රීසියෙන් දිව පටලවමින් ඒ කතා කරන පළමු පුද්ගලයා ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරීවරයෙකි. ඇමතුට පිළිතුරු දෙන දෙවැනි පුද්ගලයා ව්‍යාපාරිකයෙකි.

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව. මේ කියමන සිහි ගන්වන කතා රැසක් පසුගිය කාලයේ ‘සත්‍ය ගවේෂණ’ විශේෂාංගයෙන් ඉදිරිපත් කළේය. එලෙස අනාවරණය කළ ඇතැම් සිදුවීම් ගැන බලධාරීන්ගේ අවධානය යොමුවී වැරදි නිවැරදි කිරීමට උත්සාහ ගෙන තිබිණි. මෙවර ද සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරන්නට යන්නේ පෙර සඳහන් කළ කියමන සිහිගන්වන කතාවකි. ශ‍්‍රී ලංකා පොලීසියේ සිටින වැඩි දෙනෙක් හොරු, වංචාකාරයෝ නොවෙති. නීතිය ‘නවන’ පිරිස් සිටින්නේ අතලොස්සක් පමණි. මහජන මිත‍්‍රශීලී අභිමානවත් පොලිස් සේවාවක් ඇති කිරීමට නම් නීතිය ‘නවන’ පොලිසියේ සුළුතරය හෙළිදරව් කළ යුතුමය.

දෛනික රාජකාරිවලට අමතරව රාජකාරි ආරම්භ කරද්දී අලූත් කටයුත්තක් සිදු කළ යුතු බවට පොලිසියට නීතියක් පැනවුණේ පසුගිය අපේ‍්‍රල් මාසයේදීය. ඒ භාවනාවයි. භාවනාවේ අරමුණ ලෙස කියැවුණේ පෙර සඳහන් කළ පරිදි පොලිස් නිලධාරීන් අතින් නීතිය ‘නවන‘ සිදුවීම් වීම අවම  කරලීමයි.

2017 අපේ‍්‍රල් 17 වැනි දා පොලිස්පති චක‍්‍රලේඛ අංක 2619/2017 සහ පාලන චක‍්‍රලේඛ අංක 04/2017 යටතේ භාවනා චක‍්‍රලේඛය නිකුත් විය. එම චක‍්‍රලේඛයේ හතර වැනි පිටුවේ රෝම ඉලක්කම් අංක දෙකෙන් පොලිස්පතිවරයා යෝජනා කර ඇත්තේ පළමු විනාඩි තුන අරමුණ පැහැදිලි කර ගැනීම, ඉන් පසු මිනිත්තු පහක් මෛත‍්‍රී භාවනාව, ඊළඟ මිනිත්තු පහ ආනාපානාසති භාවනාව සහ අවසන් මිනිත්තු දෙකේදී පසු විපරම මෙහෙනෙහි කිරීමයි. මෙම කටයුත්ත සඳහා සහභාගී වීම පොලිස් නිලධාරීන් සිදු කළ යුත්තේ ඔවුන්ගේ රාජකාරි කටයුතු අතපසු කිරීමකින් තොරව බවත්, රථවාහන හැසිරවීම, අපරාධ විමර්ශන, අධිකරණ රාජකාරි හෝ අනෙකුත්  ඕනෑම අත්‍යවශ්‍ය රාජකාරියක නිරත නිලධාරියකුම එම රාජකාරියෙන් බැහැරව මෙය නොකළ යුතු බව ද චක‍්‍රලේඛයේ ස`දහන් විය.

ආගමක් නොඅදහන සහ බෞද්ධ නොවන පොලිස් නිලධාරීහු මෙන්ම බෞද්ධ වුවද භාවනාවට අකමැති පොලිස් නිලධාරීහු ද දෙපාර්තමේන්තුවේ කොතෙකුත් සිටිති. ඔවුන් සියලූ දෙනාට මෙම චක‍්‍රලේඛය ප‍්‍රශ්නකාරී වුවද ප‍්‍රසිද්ධියේ කිසිවකු කතා කළේ නැත. චක‍්‍රලේඛය ගැන ප‍්‍රසිද්ධියේ කතාව පටන් ගත්තේ චක‍්‍රලේඛ ප‍්‍රකාරව භාවනා නොකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක‍්‍රියාකරුවකුට පහරදීමට උත්සාහ කරන වීඩියෝවක් නිකුත් වීමත් සමඟය.

පොලිස්පතිවරයා නිලධාරියාගේ කමිසයෙන් අදින අයුරුත් ඔහුට පහර දීමට උත්සාහ කරන අයුරුත් එම වීඩියෝවේ පැහැදිලිවම සඳහන් වූ අතර කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස්පතිවරයාගේ හැසිරීම ගැන මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළ විට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කීවේ පොලිස්පති නියමය අනුව නියමිත වේලාවේ භාවනාව නොකිරීම නිසා එම සිද්ධිය වූ බවයි. මෙවැනි ක‍්‍රියාකාරකම්වලින් වැරදි කරන පොලිස් නිලධාරීන් හැදිය නොහැකි බව පොලිස්පතිගේ හැසිරීමෙන්ම ඔප්පු කරනවා නේදැයි මාධ්‍යවේදීහු ප‍්‍රශ්න කළහ. පහරදීමට උත්සාහ කිරීමට නීතිය අනුව වරදක් වුවද නීතිය ක‍්‍රියාත්මක වූයේ නැත.

පොලිස් නිලධාරීන් හික්මවීමට මෙවැනි චක‍්‍රලේඛ අවශ්‍ය නොවූ අතර ඊට සරිලන නීති රීති රැසක්  ඕනවටත් වඩා පොලිසියේ තිබිණි. පොලිස් නිලධාරීන් එම නීති රීති උල්ලංඝණය කරනවා නම් සහ පොලිසියේ නිලධාරීන් කරන වැරදි ගැන සොයා බැලීමට වෙනමම අංශයක් ද තිබේ. ඒ පොලිස් විශේෂ විමර්ශන අංශයයි. වැඩි දෙනකු එය දන්නේ ‘එස්.අයි.යූ’ යනුවෙන් පැවසූ විටය. පොලිස් නිලධාරීන් සම්බන්ධ බරපතල සිදුවීම් ගැන සොයා බැලීම අතීතයේ සිදු කරනු ලැබුවේ ඒ ඒ ප‍්‍රදේශයට අදාළ උසස් පොලිස් නිලධාරීන් විසිනි. බරපතල සිදුවීම් ගැන එලෙස සොයා බලද්දී පක්ෂපාතීවීම් ගැන වාර්තා වීමත් සමඟ පොලිසියේ වැරදි විමර්ශනය කිරීමට පොලිසියේම වෙනමම අංශයක අවශ්‍යතාව මතුවිය. පොලිස් විශේෂ විමර්ශන ඒකකය පිහිටුවීමට බලපෑ හේතු විය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවතිනුයේ සෘජුවම පොලිස්පතිවරයා යටතේය. රහස් පොලිසියට සේම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ද විමර්ශන සදහා පැමිණිලි යොමුකරන්නේ පොලිස්පතිවරයාය. විශේෂ විමර්ශන ඒකකය වග කියනුයේ සෘජුවම පොලිස්පතිවරයාටමය. එම අංශය පොලිසියට එරෙහිව නොවන වෙනත් පැමිණිලිද විමර්ශනය කරන අතර වැඩි වශයෙන්ම ඊට යොමු කෙරෙනුයේ පොලිසියට එරෙහි පැමිණිලිය.   මෙම අංශය ගැන පසුගිය කාලයේ විවිධ කතා මතුවන්නට විය. පොලිසියේ උසස් නිලධාරීන් අතර පොලිස් විශේෂ විමර්ශන ඒකකය ගැන විවධ කතා පැතිර ගියේය. ඒ මෙහි ඇතැම් නිලධාරීන් යම් යම් පුද්ගලයන්ට අවශ්‍ය ආකාරයට ඔවුන්ගේ උවමනා එපාකම් ඉටු කිරීම සඳහා විමර්ශන සිදු කරන බවයි.  එහෙත් එම චෝදනා සනාථ කිරීමට සාක්කි ඉදිරිපත් වී නොතිබිණි.

පොලිස් දෙපාර්තමේන්තුවේ එක්තරා සහකාර පොලිස් අධිකාරීවරයකු ගැන මාධ්‍ය වාර්තාවක් පළ වූයේ මේ අතරේය. ඉන් කියැවුණේ පොලිස් නිලධාරියකුට නොගැලපෙන ආකාරයේ හැසිරීම් ගැනය. මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ස`දහා යොමු කරනු ලැබුයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයටය. මේ අතර මෙම ඒකකයෙන් තවත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි. එම විමර්ශනය පෙර කී සහකාර පොලිස් අධිකාරීවරයා සේවය කරන ප‍්‍රදේශයේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ගැනය. විමර්ශන දෙකම ආරම්භ විය. පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් අවස්ථා කිහිපයක දී අදාළ ප‍්‍රදේශයට ගියහ. විමර්ශනයෙන් පසු සහකාර පොලිස් අධිකාරීට එරෙහි චෝදනා සනාථ කිරීමට ප‍්‍රමාණවත් සාක්කි නොලැබුණු බවට විශේෂ විමර්ශන ඒකකයට පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේය. ‘පොඩි දෙයක් කළත් වෙන කෙනකුගේ නම් බෙල්ල මුලින් යනවා. හැබැයි මෙතරම් වැරදි කරලත් මේ ඒ.එස්.පී නිදහස් වුණේ කොහොමද?’ නියෝජ්‍ය පොලිස්පතිවරු පවා කතා වූහ.

කතාව අරම්භ කළ දුරකතන සංවාදය එන්නේ ඉන් පසුය. සහකාර පොලිස් අධිකාරී ගැන සහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට එරෙහිව විමර්ශන ස`දහා ගිය උප පොලිස් පරීක්ෂකවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමට අවශ්‍ය සත්කාර කරනු ලැබුවේ අන් කිසිවකුවත් විසින් නොව පෙර කී සහකාර පොලිස් අධිකාරීවරයා විසින්මය. ඒ සඳහා සහකාර පොලිස් අධිකාරී පසුම්බියෙන් වියදම් වූ බවත් නොපෙනෙන අතර ඔහු ප‍්‍රදේශයේ අවන්හලකට එම කටයුත්ත පැවරීය.   සහකාර පොලිස් අධිකාරීවරයා තමන් සහ තම කොට්ඨාස භාර නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනය කරන්නට එන නිලධාරීන්ට හො`ද හැටි සැළකීය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ ඔහු චෝදනාවලින් නිදහස් කිරීමය. කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට එරෙහිව ඒ වන විටත් සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කරමින් සිටියේය.   

සහකාර පොලිස් අධිකාරීගේ සහ එස්අයියූ කණ්ඩායමේ (සිද්ධියට අදාල) පිරිසට වැරදුණු තැනක් ඇත. ඒ  එස්අයියූ උප පොලිස් පරීක්ෂක ඇතුලූ කණ්ඩායමට සප්පායම් කරන ලෙස සහකාර පොලිස් අධිකාරීවරයා අවන්හල් හිමිකරුට කළ දැනුම්දීමේ සාක්කි ඉතිරිවීමයි. සහකාර පොලිස් අධිකාරීගේ දුරකතන ඇමතුම පටිගත වී ඇති බව ඔවුහු නොදැන සිටියහ.

පොලිස්පති විසින් පවරන ලද විමර්ශනයක් සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක්  පැමිණ ඇති බවත්, ඔවුන්ට අරක්කු බෝතල දෙකක් ලබා දෙන ලෙසත් සහකාර පොලිස් අධිකාරීවරයා දැනුම් දෙන්නේ කැඩුණු ඉංග‍්‍රීසියෙනි.   මේ සහකාර පොලිස් අධිකාරීවරයා එම අවන්හල් හිමියාට කතා කළ පළමු අවස්ථාව මෙන්ම අවසන් අවස්ථාවද මෙයෙ නොවීය.  ඊට පසු යළිත් කතා කරමින් පොලිස් කණ්ඩායම් ප‍්‍රකාශ ගන්නට ආවොත් උත්තර බැ`දිය යුතු ආකාරය දැනුම් දුන්නේය.

කතාවේ දෙවැනි අදියර ආරම්භ වන්නේ ඉන් පසුය. ඒ විශේෂ විමර්ශන ඒකකයට එරෙහිව   පෙර ස`දහන් කළ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කළ පැමිණිල්ලකිනි. ඔහු පැමිණිල්ල කරන්නේ පොලිස් කොමිෂන් සභාවටය.  එම පැමිණිල්ලට අනුව කතාව මෙසේය.  එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අදාළ  කොට්ඨාසයෙන් ඉවත් කරන බව පොලිසියේ ඉහළම තනතුරක් දරන්නකු ප‍්‍රසිද්ධ රැුස්වීමකදී ප‍්‍රකාශ කරයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. පොලිස් ප‍්‍රධානියාට කොට්ඨාස භාර නිලධාරියා ඉවත් කිරීමේ බලයක් නැති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිසමට යැවීමට ද දැනුම් දුන්නේය. මෙම තීන්දුව ජනමාධ්‍යවල පවා පළ විය.

ඉන් පසුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් සහ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ විමර්ශන ආරම්භ වන්නේය. ඒ ගැන ද මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පොලිස් කොමිසමට දැනුම් දුන් අතර එම විමර්ශනවලින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ වරදක් අනාවරණය නොවීය. ඉන් පසුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ විය. ඒ පොලිස්පතිවරයාට ලැබුණු නිර්නාමික පෙත්සමක් අනුවය. අදාළ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් රියදුරු තනතුරේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා  නිලධාරීන් විශාල පිරිසකගෙන් ප‍්‍රකාශ ලබා ගත්තේය.  එමෙන්ම ප‍්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් ද ප‍්‍රකාශ ගත්තේය. ඒ අතර පෙර ස`දහන් කළ ව්‍යාපාරිකයා ද වෙයි.

දැන් ප‍්‍රශ්න දෙකක් ඉතිරිව ඇත. උප පොලිස් පරීක්ෂක තනතුරේ සිටිය දී පත්වීම අවලංගුවීමෙන් අනතුරුව යළිත් සේවයට පැමිණි ආකාරයක් ගැන සඳහනක් නැති, සේවය අත හැර යෑමේ නියෝග නිකුත් කර පසුව යළිත් සේවයට බැඳුණු සහ සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ම පැමිණිලි ඉදිරිපත් කර ඇති එම සහකාර පොලිස් අධිකාරීවරයා පරීක්ෂණයෙන් නිදහස් කළේ ඔහු විසින් විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණ කණ්ඩායමට ලබා දුන් සැළකිලි නිසාද? එසේත් නැතිනම් කොට්ඨාස භාර පොලිස් ප‍්‍රධානියාට පහර ගැසීමට පොලිස් ප‍්‍රධානියකුට ඇති  ඕනෑකමේ නියෝජිතයා ලෙස සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කළ නිසාද? මේ ප‍්‍රශ්න දෙකට පිළිතුරු ලබා ගැනීමට නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි දැනට ස්වාධීන යැයි සම්මත ආයතනයක් හරහා විමර්ශනයක් පැවැත්විය යුතුය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය ගැන තවත් යමක් සඳහන් කළ යුතුය. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පසුගිය දෙසැම්බර් මාසයේ දී පොලිස් කොමිසම සමඟ තිබූ සාකච්ඡුාවේදී ඉදිරිපත් කළ කාරණාවකි. විවිධ පුද්ගලයන්ගේ උවමනා එපාකම් ඉටු කරන බළල් අතක් බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකය පත්වෙමින් ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කියා තිබිණි. එහි ඇත්ත නැත්ත සෙවීමේ වගකීම ඇත්තේ පොලිස් කොමිෂන් සභාවටයි.

නීතිය රකින්න  සිටින නිලධාරීන් වැරදි කරද්දී ඒ ගැන සොයන්නට තිබෙන ඒකකයක්ත් නීතිය කඩනවා නම් එය බරපතල තත්ත්වයකි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා විමර්ශනයක් කරවන ලෙස නීත්‍යනුකූලව රාජකාරි කරන පොලිස් නිලධාරීහු මෙන්ම නීතිය කෙරෙහි විශ්වාසය තබන උදවිය ද පොලිස් කොමිෂන් සභාවෙන් සහ පොලිසිය බාර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.