තරිඳු  ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

(tharindudld@gmail.com / bingungamage88@gmail.com)

‘ළමයි දෙන්නට පාචනේ හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කරලා. අතේ සල්ලි නෑ. වයිෆ් කතා කරලා බනිිනවා ගෙදර එන්නේ නැද්ද කියලා. මට දැන් මේ රස්සාව එපා වෙලා තියෙන්නේ සර්.‘

පසුගිය දිනෙක පොලිසියකට ගිය අපට එය ඇසුණේ විවිධ පැමිණිලි අංශයේදීය. වයස අවුරුදු 45ක පමණ පෙණුමැති පොලිස් කොස්තාපල්වරයකු එසේ කීවේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාටය.

දරු දෙන්නා රෝගාතුරව රෝහල් ගත කර සිටිය දී පවා ඔහුට නිවාඩු ගැනීමට නොහැකිය. එපමණක් නොව බෙහෙත් හේත් සඳහා වියදම් කිරීමටද ඔහුට අතේ සතයක් ද නැත.

ශ්‍රී ලංකා පොලිසියෙන් මහජනතාවට සිදු වූ අසාධාරණකම් ගැන සත්‍ය ගවේෂණ ඔස්සේ අවස්ථා කිහිපයකදීම අනාවරණය කළේය. පොලිසියෙන් මහජනතාවට වෙන අසාධාරණකම් මෙන්ම පොලිස් නිලධාරීන්ට වෙන අසාධාරණකම් හා පොලිස් නිලධාරීන් මුහුණපාට දුෂ්කරතා ද එමට තිබේ. නමුත් එවැනි අසාධාරණකම් සමාජයට පෙනෙන්නේ නැත.    මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ පොලිසියේ ඇතුලේ සිදුවන අසාධාරණකම් ගැනය.

ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ආරක්ෂක සහායක තනතුරේ සිට පොලිස්පති දක්වා වන තනතුරු මෙසේය.

පොලිස් ආරක්ෂක සහායක

 පොලිස් කොස්තාපල් රියදුරු

පොලිස් කොස්තාපල්

පොලිස් සැරයන්

 මහ සැරයන්

උප පොලිස් පරීක්ෂක

පොලිස් පරීක්ෂක

 ප්‍රධාන පොලිස් පරීක්ෂක

 සහකාර පොලිස් අධිකාරී

පොලිස් අධිකාරී

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී

නියෝජ්‍ය පොලිස්පති

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පතිවරයා හැර පොලිසියේ සියලූම නිලධාරීන් විෂයෙහි පත්කිරීම් බලධාරියා සහ විනය බලධාරියා වන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවයි. ඉන් පොලිස් ස්ථානාධිපතිවරුන් හැර ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරෙන් පහළ නිලධාරීන් විෂයෙහි පොලිස් කොමිසමේ බලතල 2017 අප්‍රේල් 24 වැනිදා තම 2016/6 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් පොලිස්පතිවරයාටත් ඇතැම් බලතල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපොලිස්පතිවරුන්ටත් පවරා තිබේ. ඒ රාජකාරි පහසුව සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්මය.

පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රධාන වශයෙන් පොලිස් කොස්තාපල්වරුන් ලෙස සහ උප පොලිස් පරීක්ෂකවරුන් ලෙස බඳවා ගැනීම් සිදු කරන අතර ඉතා සීමිත ගණනක් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස ද බඳවා ගනු ලබයි. (පොලිස් කොස්තාපල් රියදුරු ආදී තනතුරු හැර) පොලිස් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන් උසස් කිරීමේ හා බඳවා ගැනීමේ කාර්ය පටිපාටියට අනුව පොලිස් කොස්තාපල්වරයකු පොලිස් සැරයන් තනතුරට උසස් කිරීම සඳහා වසර අටක සක්‍රීය සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුය. ලේඛණවල එසේ සඳහන් වුවද ඒවා ලේඛණවලට පමණක් සීමා වී ඇති අතර ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේ.  ලිපිය ආරම්භ කළ සිද්ධියේ පොලිස් කොස්තාපල්වරයා වසර 20කටත් වැඩි කාලයක සිට කොත්පාල්වරයකු ලෙස කටයුතු කළ ද ඔහුට උසස් වීමක් ලැබී නැත.

පොලිස් දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී තනතුරෙන් පහළ නිලධාරීන්ගේ උසස්වීම් ප්‍රමාදය නිසා විශාල පිරිසක් කළකිරීමට පත්ව සිටිති. උදාහරණයක් ලෙස පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට බැඳෙන බොහෝ දෙනෙක් විශ්‍රාම ගන්නේ පොලිස් සැරයන්වරයකු ලෙසය. ඉන් එහා උසස්වීම් ලැබීමට ඔවුනට අවස්ථාව නැත්තේ කොස්තාපල් තනතුරේ උසස්වීම් ප්‍රමාධ කිරීම නිසාය. වයස අවුරුදු 20න් පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට බැඳෙන තරුණයකුට සැරයන් ලෙස උසස් වීම් ලැබීමට තවත් වසර 20ක් ගත වන්නේ නම් ඔහු සැරයන් වන විට වයස අවුරුදු 40කි. බොහෝ විට ඔහුට විශ්‍රාම ගැනීමට සිදු වන්නේ ද සැරයන් වරයකු ලෙසමය. ඔහුට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීමක් ලැඛෙන්නේ නම් ඒ කළාතුරකිනි.

පොලිස් කොස්තාපල්වරුන්ට නිසි කාලයට උසස් වීම් ලබා දී අඩු තරමේ සහකාර පොලිස් අධිකාරී තනතුර දක්වා හෝ යෑමට අවස්ථාව සලසා දෙන්නේ නම් පොලිස් නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව මීට වඩා වැඩි වනු ඇති බව මේ ගැන අධ්‍යයනය කළ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පොලිස් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් උසස් කිරීම් හා බඳවා ගැනීමේ කාර්ය පටිපාටිය අනුව කොස්තාපල්වරයකුගේ ආරම්භක මූලික වැටුප රුපියල් 14280කි. පොලිස් සැරයන්වරයකුගේ ආරම්භක වැටුප් තලය රුපියල් 15475කි. (වෙබ් අඩවියේ එසේ සඳහන් වුවද එය යම් තරමකට වැඩි වී ඇති බව පොලිස් නිලධාරියෙක් කීවේය.)

පොලිස් කොස්තාපල්වරුන්ගේ හා සැරයන්වරුන්ගේ ප්‍රශ්නය මෙන්ම උප පොලිස් පරීක්ෂකවරුන්ගේ ප්‍රශ්නය ද බරපතලය. පසුගිය රජය සමයේ උප පොලිස් පරීක්ෂකවරුන් පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබුණේ වසර අටක සේවා කාලයක් සම්පූර්ණ කළ පසුවය. අවසන් වරට උසස්වීම් ලබා දී තිබුණේ 2010 වර්ෂයේදීය.

ඒ අනුව වසර අටට වැඩි උප පොලිස් පරීක්ෂකවරුන් 3029කට උසස්වීම් ලබා දීම සඳහා නීතිය හා සාමය හිටපු ඇමැති සාගල රත්නායක මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය ලැබිණි.

එසේ වුවද මීට සති දෙකකට පමණ පෙර උප පොලිස් පරීක්ෂකවරුන් 539 දෙනකු පමණක් පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබුණි. ඒ අතුරින් 100කට ආසන්න පිරිසක් මේ වන විට විශ්‍රාම ගොස් ඇති අතර තවත් සැලකියයුතු පිරිසක් මේ වසර අවසන් වන විට විශ්‍රාම ගැනීමට නියමිතය. ඔවුන් උප පොලිස් පරීක්ෂක තනතුරේ දිර්ඝ කාලයක් කටයුතු කළ ද උසස්වීම් ලබා දෙද්දී අඩු තරමේ සේවා කාලයට සාපේක්ෂව උසස්වීම් ලබා දී නොතිබිණි. සියලූම දෙනාට එම උසස්වීම් ලබා දී තිබුණේ 2016 මැයි 31 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදිය. 

වසර අටට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ තවත් උප පොලිස් පරීක්ෂකවරුන් 2490කට  තවමත් උසස්වීම් ලැබී නැත.

‘මම දැන් අවුරුදු 13ක් එස්අයි. එස්ටීඑෆ් එකේ නම් නියමිත කාලයට උසස්වීම් ලැඛෙනවා. අපිත් එක්ක පොලිසියට ඇවිත් එස්ටීඑෆ් ගියපු අය දැන් අයිපීලා. අපි තවම එස්අයිලා. එයාලා උසස්වීම් අරගෙන ආයෙත් පොලිස් සේවයට ආවම අපිට වඩා ඉහළ පුටු ලැඛෙනවා. අපිට පස්සේ පොලිසියට ඇවිත් එස්ටීඑෆ් ගිහින් නියමිත කාලයට උසස්වීම් ගත්තු අයත් ඉන්නවා දැන් පොලිසියේ අයිපීලා හැටියට. අපි කියන්නේ එස්.ටී.එෆ් අයට උසස්වීම් දෙන්න එපා කියලා නෙමෙයි. අපි ඉල්ලන්නේ ඒ අයට වගේම අපිටත් නියමිත කාලයට උසස්වීම් දෙන්න කියලයි.‘ යැයි උප පොලිස් පරීක්ෂකවරයෙක් කීවේය.

අතීතයේ දී උසස්වීම් කාර්ය පටිපාටිය නිසි ආකාරයට ක්‍රියාත්මක වූ නිසා උප පොලිස් පරීක්ෂක ලෙස සේවයට බැ`දුණු බොහෝ දෙනකු විශ්‍රාම ගන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නියෝජ්‍ය පොලිස්පති හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු දක්වා ගොසිනි.

‘අපි ඒ ලෙවල් (උසස්පෙළ) හොඳට පාස් වෙලා වෙන ජොබ් වලට යන්න පුලූවන්කම තියෙද්දි එස්.අයිලා විදියට පොලිසියට බැඳුණේ. දැන් අවුරුදු 11ක් වෙනවා එස්.අයි වෙලා. තවම උසස්වීම් නැහැ. එකම තනතුරේ මෙහෙම අවුරුදු ගණනක් ඉන්දි සමාජයෙනුත් අපිව ගණන් ගන්නේ නෑ. අවුරුදු අටට වැඩි එස්අයිලා අතර උපාධිධාරීන් රැසක් ඉන්නවා. ඒ අයටවත් කිසිම සැලකිල්ලක් නෑ. අපිට උසස්වීම් නැතිව මේ  විදියට එක තැන පල් වෙද්දි අලූතින් එස්අයිලා විදියට පොලිසියට එන්ඩ ඉන්න අයත් අධෛර්යමත් වෙනවා. පොලිස්පතිවරයා මේ උසස්වීම් නිසි ආකාරයට දෙන්නේ නැතිනම් රජය හරි දැනගන්න ඕනා මේක ගැන හොයා බලා අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න. නැත්නම් රජය ගැනත් කළ කිරෙනවා.‘  යැයි තවත් උප පොලිස් පරීක්ෂකවරයෙක් කීවේය.

උප පොලිස් පරීක්ෂකවරයකුගේ ආරම්භක මූලික වැටුප මේ වන විට රුපියල් 26300කි.

පොලිසියේ උසස් නිලධාරීන්ගෙන් මෙන්ම මහජනතාවගෙන්ද උදේ හවස තැලෙන්නේ පොලිස් පොඩ්ඩන්ය. අල්ලසක් ලෙස රුපියලක් ගැනීමත් වැරදිය. නමුත් රුපියල් 100ක් 200ක් ගන්නා පොලිස් නිලධාරීන් විෂයෙහි ක්‍රියාත්මක වන නීතිය ලක්ෂ ගණනක් පගාව ගන්නා පොලිස් ලොක්කන් කෙරෙහි ක්‍රියාත්මක වන්නේ නැත. සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් මීට පෙර එවැනි පොලිස් නිලධාරීන් ගැන අනාවරණයන් කර ඇතත් ඒ අය විෂයෙහි නීතිය කඩිනම් වී නැත.

උසස්වීම් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇත්තේ පොලිස් පොඩ්ඩන්ට පමණක්ම නොවේ.

කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාට උසස්වීම් ලබා නොදීම පසුගිය කාලයේ මුලූ පොලිස් දෙපාර්තමේන්තුවේම අවධානය යොමු කරන්නක් විය.  ඒ හා සම්බන්ධ ප්‍රවෘත්තියක් පළ විමෙන් පසු ලැබුණු ප්‍රතිචාරත් සම`ග පොලිස් නිලධාරීන් සිටින්නේ කොතරම් පීඩනයකින්දැයි හො`දට වටහා ගත හැකි විය. පාලිත සිරිවර්ධන මහතාගේ ගැටළුවද තවම අවසන් නැත.

පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති තනතුරු රැසක පුරප්පාඩු පැමිණීමත් සමඟ වසර 5 සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නොමැති වීම නිසා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත් කිරීමට තීරණය කැරිණි. ඒ අනුව වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත් කරන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශය ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබිණි. මීට පෙර සඳහන් කළ පරිදි ස්ථානාධිපතිවරුන් හැර ප්‍රධාන පොලිස් පරීක්ෂකගෙන් පහළ නිලධාරීන් විෂයෙහි බලතල පොලිස් කොමිසම විසින් පොලිස්පතිවරයාට පවරනු ලැබ තිබුණද සහකාර පොලිස් අධිකාරී තනතුරෙන් ඉහළ තනතුරු සඳහා පත්කිරීම් මෙන්ම විනය බලධාරියා වන්නේ ද ජාතික පොලිස් කොමිෂන් සභාවයි.

 ජ්‍යෙෂ්ඨත්ව ලැයිස්තුව අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හය දෙනකුගේ නම් නීතිය හා සාමය අමාත්‍යංශය ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කළේ පසුගිය මාර්තු මාසයේය. ඒ අවන විට එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු විශ්‍රාම ගොස් සිටි අතර සෙසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගෙන් පාලිත සිරිවර්ධන මහතා සහ ගාමිණී පෙරේරා මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කරනවාට පොලිස්පතිවරයා විරෝධය පළ කළේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා මහතා කොට්ඨාස භාර නිලධාරියකු ලෙස උතුරේ රාජකාරි කර තිබූ අතර යළිත් වරක් එවැනිම ස්ථාන මාරුවක් ලැබුණු පසු ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනයක් කර එම ස්ථාන මාරුව සකස්කරගෙන තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා කිලිනොච්චි කොට්ඨාස භාර නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටිය දී කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්විණි. තමා කිලිනොච්චි කොට්ඨාසයෙන් මාරු කර රාජකාරියක් නොදී හරින බව ඊට සහභාගී වු පොලිස්පතිවරයා ප්‍රකාශ කරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වන බව කියමින් සිරිවර්ධන මහතා පොලිස්පතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීය. සහකාර පොලිස් අධිකාරීවරයකුගෙන් ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් තීරණය ගන්නේ පොලිස්පතිවරයා නොව ජාතික පොලිස් කොමිෂන් සභාව බව ශ්‍රේෂ්ඨාධිරණය තීරණය කළේය.

ඉන් අනතුරුව පාලිත සිරිවර්ධන මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයා නියෝග කර තිබිණි. එම පරීක්ෂණයෙන් පාලිත සිරිවර්ධන මහතා නිදහස් විය. යළිත් වරක් පොලිස් විශේෂ විමර්ශන ඒකකය හරහා තමාගෙන් පලි ගැනීමට පොලිස්පතිවරයා උත්සාහ ගන්නා බව කියමින් සිරිවර්න මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.

කෙසේ වෙතත් පොලිස්පතිගේ විරෝධය නොතකමින් පාලිත සිරිවර්ධන සහ ගාමිණී පෙරේරා ඇතුලූව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කරන ලෙස 2018 අප්‍රේල් පස් වැනි දා ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය. නමුත් ඔවුන් පස් දෙනා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් වශයෙන් පත් කිරීමේ නිවේදනය පොලිස්පතිවරයා නිකුත් නොකළ අතර ගාමිණී පෙරේරා සහ පාලිත සිරිවර්ධන මහත්වරුන් සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස පොලිස්පතිවරයා ඉල්ලීමක් කළේය. මේ ආකාරයට අවස්ථා තුනකදීම ඔවුන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් නොකළ අතර අවසානයේ ජාතික පොලිස් කොමිෂන් සභාව පාලිත සිරිවර්ධන මහතා හැර සෙසු හතර දෙනා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කළේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඉදිරිපත් කරන චෝදනා ගැන අවධානය යොමු කළ පොලිස් කොමිසම එම චෝදනා සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු නැතැයි තිරණය කර ඔහු ද වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස් කිරීමට මීට සති දෙකකට පෙර කටයුතු කළේය. පොලිස් කොමිෂන් සභාව විසින් පාලිත සිරිවර්ධන මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කර ඇතත් මෙම ලිපිය ලියන මොහොත (4 වැනි දා) වන විටත් පාලිත සිරිවර්ධන මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කිරීමේ නිවේදනය පොලිස්පතිවරයා නිකුත් කර නැත. ස්වාධින කොමිසමක නියෝගය පොලිස්පතිවරයා පිළිනොපදින්නේ නම් එය බරපතල තත්ත්වයකි.

මෑතම උදාහරණය පොලිස්පතිවරයා විසින් වැඩ තහනම් කරනු ලැබ වසරකට අධික කාලයක් චෝදනා පත්‍රයක්වත් නිකුත් නොකර සිටි පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ සිද්ධියයි. ඔහු වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව කටයුතු කළ යුතුය. නමුත් ඒ නීතියේ රාමුව තුළය. අඩ වැටුප්වත් නොගෙවා වසරකට අධික කාලයක් වැඩ තහනමට ලක් කර සිටි ප්‍රියදර්ශන හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයේ පිහිටුවන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කළේ පසුගිය පෙබරවාරි මාසයේය. නමුත් එම නියෝගය ක්‍රියාත්මක වූයේ පසුගිය මැයි මාසයේය. ඔහුට යළි රාජකාරි කිරීමට හැකි වූයේ දින 20කට ආසන්න කාලයකි. මීට වසර 8කට පමණ පෙර සිදුවීමක් අළලා සහ එම චෝදනාවට අවවාද පත්‍රිකාවක් ලබා දී තිබිය දී යළිත් වරක් ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා පසුගිය සතියේ කටයුතු කළේය.

මෙවැනි කරුණු නිසා පොලිස් පොඩ්ඩන් පමණක් නොව පොලිස් ලොක්කන් රැසක්ද දැන් ඇත්තේ දැඩි කළකිරීමෙනි. 

නීතිය හා සාමය රැකීමට සිටින පොලිසිය තමන්ගේ පෞද්ගලික ගැටලූ නිසා මානසික පීඩාවට පත්ව රාජකාරි කරන්නේ නම් එහි අනිටු විපාක අත්වි`දින්නට සිදුවන්නේ ද මහජනතාවටමය. ඇතැම් පොලිස් නිලධාරීන්ගෙන් යම් යම් අඩුපාඩු සිද්ධ වුවත් මේ තරමකට හෝ නීතිය හා සාමය ආරක්ෂා වී තිඛෙන්නේ පොලිසිය නිසාය. පොලිස් නිලධාරීන්ගේ සුබ සාධනය හා ප්‍රශ්න ගැන පොලිස් ප්‍රධානීන් අවධානය යොමු නොකරන්නේ නම් රජය හෝ ඒ කෙරෙහි අවධානය යොමු කරන එම ගැටලූ විස`දිය යුතුය. එසේ නැතිනම් නීතිය තව තවත් වළපල්ලට යනු ඇත. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්  

- ජාතික පොලිස් කොමිසම

ජාතික පොලිස් කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු මේ ගැන අදහස් දක්වමින් මෙසේ පැවසීය.

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පතිවරයා හැර සෙසු නිලධාරීන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ බලලයි අපිට ලැබිලා තියෙන්නේ. අපේ නියෝග පොලිස්පතිවරයා පිළිනොපදිනවා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහත්මයා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් උසස් කරලයි තියෙන්නේ. නමුත් ඊට අදාළ නිවේදනය පොලිස්පතිවරයා නිකුත් කරලා නෑ.

ඒ වගේම පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත්ගේ සිද්ධිය ගත්තොත් ඔහුගේ වැඩ තහනම් කරන්න අපි අනුමැතියක් දීලා නෑ. පොලිස්පතිවරයා ඔහුගේ වැඩ තහනම් කරනවා කියන්නේ නැති බලයක් පාවිච්චි කිරීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. මෙය සම්පූර්ණයෙන් වැරදි. ‘

මේ ගැන විමසීමට නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.