(ජයතිලක ද සිල්වා)

ගිවිසුම් විවිධාකාරය. පෞද්ගලික ගිවිසුම්, මිත‍්‍ර ගිවිසුම්, විවාහ ගිවිසුම්, දේශපාලන ගිවිසුම්, සන්ධාන ගිවිසුම්, රාජ්‍යාන්තර ගිවිසුම් ආදී වශයෙනි. අද අප කතා කරන්නේ වෙනත්ම ගිවිසුමක් ගැනය. ඒත් දේශපාලන නැතහොත් සමාජ ගිවිසුමක් ගැනය. ඒ අන් කිසිවක් ගැන නොව මැතිවරණයක දී තෝරා පත් කරනු ලබන ජනතා නියෝජිතයන් සමඟ ඡන්දදායකයන් ඇති කර ගන්නා ගිවිසුම පිළිබඳවය. වඩාත් පැහැදිලිව කිවහොත් යහපාලන රජයට බලයට පත්වීමෙහි දී ජනතාව සමඟ ගිවිසගත් සමාජ ගිවිසුම ගැනය. රජයට එම ගිවිසුම අමතක වෙමින් පවතින්නේ යැයි අද ජනතාව අතර කුකුසක් පැන නැෙඟමින් තිබීම අපගේ මෙම විමැසුමට හේතු වී.

නියෝජන ආණ්ඩුවක් ජනතාව සමඟ ගිවිස ගන්නේ දෙපස එකඟ වූ ප‍්‍රතිසංස්කරණ මාලාවක් ක‍්‍රියාවට නඟන්නටය. එහෙයින් එවන් ආණ්ඩුවක පැවැත්ම සාධාරණ කළ හැකි වන්නේ එම වැඩ මාලාව ක‍්‍රියාත්මක කරන දුරට පමණකි. එහෙත් කනගාටුවට කාරණය ශ‍්‍රී ලංකාවෙහි සම්ප‍්‍රදාය බලයට පත් වූ පසු ආණ්ඩුවලට එම ගිවිසුම අමතක වීමයි. අපේ අත්දැකීම එසේ පොරොන්දු වූ ක‍්‍රියා පිළිවෙළට පටහැණිව තේරී පත් වූ පිරිස් තමන්ගේම න්‍යාය පත‍්‍රයකට වැඩ කිරීමයි. බොහෝ විට එයට හේතුව පෞද්ගලික හෝ දේශපාලන අවස්ථාවාදයයි. නැත්නම් ඊළඟ මැතිවරණයෙහි දී තමන්ගේ වාසිය ජනතා අභිරුචිවලට ඉහළින් ඔසොවා තබා ක‍්‍රියාකිරීමයි.

ආර්ථික කළමනාකරණයෙහි දී ජනතා අභිලාෂයනට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ජගත් වෙළෙඳ සංවිධානය වැනි අන්තර්ජාතික මූල්‍ය සංවිධානයන්ගේ මඟ පෙන්වීමට ගරු කරන්නට ආණ්ඩු පෙළැඹී ඇත. නිදසුනක් වශයෙන් 1977 දී බලයට පත් ආණ්ඩුව හැම පුරවැසියකුටම ධාන්‍ය රාත්තල් අටක් දෙන්නට පොරොන්දු වුව ද හාල් පිහිටාධාරය නතර කර දිගට හරහට බඩු මිල ඉහළ දැමීය. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය පමණට වැඩි වේගයෙන් සිදු කිරීමෙන් අනථකාරී ප‍්‍රතිඵල අත් වූ බව ලෝක බැංකු පර්යේෂකයන් විසින් පවා පිළිගැනිණි.

වසර 1995ට පසුව පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු ජනතාවට දුන් පොරොන්දුවලට පටහැණිව විධායක ජනාධිපති ක‍්‍රමය දිගටම පවත්වා ගෙන ආවා පමණක් නොව එය තවත් ශක්තිමත් කළේය. කඩවුණු පොරොන්දු ලේඛනය තවත් බොහෝ දිගට පැවැතුන ද අප මෙහි සඳහන් කළ කාරණය තහවුරු කිරීමට මෙම නිදසුන් ප‍්‍රමාණවත් යැයි සිතමි.

ඇතැම් රටවල ධුර කාලය මැද දී තේරී පත්වූ නියෝජිතයන් ආපසු කැඳවීමට ජනතාවට බලය පවරන ප‍්‍රතිපාදන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම පනවා තිබේ. දැනට කෙටුම්පත් කරන ව්‍යවස්ථාව මඟින් එවන් ප‍්‍රතිපාදන ඇති කරන්නේ නම් එය කාලීන සහ යෝග්‍ය ප‍්‍රතිසංස්කරණයක් වනු ඇත. කෙසේ වෙතත්, මැතිවරණ දුෂණ මඟින් සහ හිංසනය උපයෝගී කිරීම තුළින් මැතිවරණ ප‍්‍රතිඵල තමන්ට වාසිදායක වන බව සහතික කැරැු ගැනීමෙහි අත්දැකීම් ද මෙරට එමට ඇත. ධනය හා බලය විසින් ඡුන්ද ප‍්‍රතිඵල තීරණය කිරීමෙහි ඉඩ ප‍්‍රස්ථා මැතිවරණ ක‍්‍රමය තුළින් ද සපයා ඇති බව කිව යුතුය. නිදසුනක් වශයෙන් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව ප‍්‍රචාරක කටයුතු ආදිය ගෙන යාමට කෙතරම් විශාල මුදලක් වැය වන්නේ දැයි කිවහොත් මුදල් පොට්ටනිකාරයන්ගේ පුද පඬුරුවලින් යැපෙන්නට අපේක්ෂකයන් පෙළැඹෙන අතර ජයග‍්‍රහණය කළහොත් ඔවුන්ට අනුග‍්‍රහය දැක්වීමට ද අපේක්ෂකයෝ ප‍්‍රමුඛතාව දෙති.

යම් සාධනීය පියවර අතළොස්සක් ගත්ත ද 2015 ජනවාරි 8 වැනි දින එළැඹුණු සමාජ ගිවිසුම ක‍්‍රියාවට නැඟීමෙහි ලා යහපාලන ආණ්ඩුවෙහි ක‍්‍රියාකලාපය ද එහි පූර්වගාමීන්ගේ ක‍්‍රියාකලාපයටම සමාන බවක් පෙනෙන්නට තිබේ. බලයෙහි රැඳී සිටීමෙහි හදිසි අවශ්‍යතා සහ වෙනත් අභිරුචි හේතුවෙන් තාවකාලික ජනප‍්‍රියතාව හෝ වාසි තකා එහිම දීර්ඝකාලීන අභිරුචි පාවාදීමට එය පෙළැඹී ඇත.

නිදසුනක් වශයෙන් ජාතික සංහිඳියාව ප‍්‍රවර්ධනය සඳහා වන එහි පිළිවෙතට පටහැණි පරිදි තිරිහන්ව නැඟී සිටින ජාතිවාදී බලවේගවලට එරෙහිව අධිෂ්ඨානශීලී සටනක නිරතවනු වෙනුවට එවන් ඇතැම් බලවේග පිනවන ආකාරයේ හැසිරීම් මෑත දී අපි දුටුවෙමු.

බොදුබල සේනාධිපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දීර්ඝ කාලයක් සැඟැවී සිටින්නට කිසියම් රාජ්‍ය අනුග‍්‍රහයක් නොපැවැතියේ ද? මල්වතු නාහිමියන් සමඟ සම මට්ටමෙහි සලකා ගලගොඩඅත්තේ හිමියන් ජනාධිපති සමඟ පවා සාකච්ඡුාවට කැඳවන නොලද්දේ ද? යම් කුමන්ත‍්‍රණකාරී ජාතිවාදී පිරිස් විසින් මුස්ලිම් පූජනීය ස්ථානවලට සහ දේපළවලට මෙන්ම කිතුණු දේවස්ථාන කිහිපයකට ද සැඟැව පහරදීම් මාලාවක්ම ගෙන යද්දී ආණ්ඩුව මුල දී නොදන්නා සේ හැසිරුණේ සහ එවැන්නක් ඇති බව පිිළිනොගත්තේ මන්ද? වාර්තා වූ පැමිණිලි සියල්ල මෙතෙක් විභාග නොකෙළේ මන්ද?

පොරොන්දු පරිදි ප‍්‍රධාන විෂය පිිළිබඳ ජාතික ප‍්‍රතිපත්ති සැකැසුම හවුල් ආණ්ඩුවෙහි ප‍්‍රකාශිත මුඛ්‍ය අරමුණක් වුව ද වසර දෙකහමාරක් ඉකුත් වුව ද එබන්දක ඡායාවක්වත් තවම නැත. ඒ වෙනුවට හදිසියේ අටවා ගන්නා අභිමතානුකූල සැලැසුම් එකින් එක ක‍්‍රියාවට නැඟෙයි.

උපායමාර්ගික සහ සාර්වත‍්‍ර සැලැසුම්කරණයෙහි හිඟය හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතියෙහි මෙන් පිරිවැය අධික මහා ව්‍යාපෘති නිසා ඇති වන අනපේක්ෂිත විනාශය අද අපි අත්විඳින්නෙමු. දැනුදු සප‍්‍රාමාණික සෝදිසියකින් තොරව වැඩ සිදුකැරෙයි. නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර ප‍්‍රදේශයට වූ විපතට වඩා විශාල විපතක් ඉදිරියෙහි වන පරිදි නිල්වලා ගඟ ආශ‍්‍රිත වේලි උස් කිරීමට එරෙහිව එහි වැසියන් අද නැඟී සිටිය ද එය රජයේ සැලැකිල්ලට යොමුව නැත.

ඒ අතර දැනට පවත්නා නිල්වලා යෝජනා ක‍්‍රමයෙහි ඉතිරි කොටසක් වන මුහුදට ජලය බැසයාම සඳහා දෙවැනි ඇළක් කැපීම අදටත් ඉටුව නැත. අද දිසා 25න් 22කටම බලපා ඇති නියඟයට කල් තියා සූදානම් වී නම් එහි අනිටු විපාක අවම කැර ගන්නට තුබූ බව පැහැදිලිය. ඇති තරම් අතිරේක හාල් තොග පවත්වා ගන්නට ද තිබිණි. වඩා විචාරශීලී සහ අරපිරිමැසුම්දායක බලශක්ති පරිභෝජන පිිළිවෙතක් ක‍්‍රියාවට නඟා තුබූයේ නම් විදුලිය කැපීම් අනවශ්‍ය වන්නට පවා තිබිණි.

සයිටම් ප‍්‍රශ්නය තරම් පාලකයන්ගේ උද්ධච්ඡකම හා මෝඩකම පෙනෙන වෙනත් අවස්ථාවක් නැත. ප‍්‍රශ්නය විසඳීමෙහිලා පෙන්වන ලද විනිවිද භාවයෙහි හිඟය සහ දේශපාලන කල්බැලීම සහ මුරණ්ඩුකම වර්තමාන විසඳුම් රහිත හිරවීමට හේතුවය. යහපාලන ආණ්ඩුව 7,000ක් පමණ වන වෙද සිසුන්ගේ අනාගතය පිළිබඳ සංවේදීතාවක් නොදැක්වීම කනගාටුදායකය.

මර්දනයෙන් හැර අන් අයුරකින් ඔවුන් මුණගැසීමට පාලකයන් අකැමැති හැඩය. ඔවුන්ගේ වීදි සටනින් ඔවුන්ගේ අධ්‍යාපනයට මෙන්ම රජයේ සුව සේවාවල අනාගතය මෙන්ම වෛද්‍යවරුන්ගේ විශේෂඥ පුහුණුවට වන පාඩුව ආණ්ඩුවට නොදැනේ. උසස් අධ්‍යාපන ඇමැතිවරයාත්, සෞඛ්‍ය ඇමැතිවරයාත්, අධිකරණ ඇමැතිවරයාත්, සමෘද්ධි ඇමැතිවරයාත් හැසිරෙන්නේ සිසුන්ට ”හොඳ පාඩමක්” උගන්වන්නට පෙළගැසුණු ආඥාදායකයන් ලෙසය. හිටපු ජනාධිපති සහ ඔහුගේ අවස්ථාවාදී නඩය සිසු උද්ඝෝෂණයට සහ වෛද්‍ය සංගමයෙහි විරෝධතාවනට සහාය දැක්වීම ඔවුන් මතු කරන කාරණා ඉවත දැමීමට යුක්තිසහගත හේතුවක් නොවේ.

සමස්ත වෙද සිසු සමූහය මෙන්ම වෛද්‍යවරුන් සියල්ල ද හිටපු ජනාධිපතිගේ හෝ ඒකාබද්ධ නඩයෙහි පදයට නටන්නේ යැයි සිතතොත් එය මුළාවකි. එසේ කිරීමෙන් ඔවුන් හිටපු ජනාධිපතිගේ හෝ වෙනත් විපක්ෂ කණ්ඩායම්වල හෝ තුරුල්ලට වැටීමෙහි අනතුරක් ඇති බව ආණ්ඩුවෙහි ඇත්තන්ගේ උකුණු මොළයට නොදැනෙන බවක් පෙනේ. මොළය කළඳක් වත් ඇති  ඕනෑම ආණ්ඩුවක් ක‍්‍රියා කරනු ඇත්තේ ඔවුන් බහුතරයක් තමන්ට හිතවත්ව තබා ගැනීමටය.

මෙම තීරුවෙහි ඉහත දී සඳහන් කළ පරිදි මෙරටෙහි පමණට වැඩි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇතැයි රජයේ මැති ඇමැතිවරු පුන පුනා කියතත් ජන ජීවිතයට අවහිර වෙතැයි යන නිදහසට කරුණු කීමක් පෙරදැරිව වීදි විරෝධතා මැඬලීමට රජය අපේක්ෂා කරන බව සැලයි. එයින් ජනවාරි 8 වැනි දා විවර වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය ඇහිරෙනු ඇත.

තෙල් සේවක වර්ජකයන්ට මැර කණ්ඩායම් ලවා පහරදීමෙන් පැහැදිලි වන්නේ යහපාලන ආණ්ඩුව ද අත්තනෝමතික මර්දනකාරී රාජපක්ෂ පාලනයෙන් ගුරුහරුකම් ගන්නා බවකි. වෘත්තීය සමිති දේශපාලනයෙන් බැහැර කැර ආර්ථික සටන්වලට සීමාකරන්නට ආණ්ඩුව සැලැසුම් කැරීමෙන් පෙනෙන්නේ එය ලිබරල් ධනවාදය විසින් පිළිගන්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදයවත් උහුලන්නට අකැමැති බවය. ඒත් කතාව නම් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැනය.

අල්ලස සහ දුෂණය පිටුදැකීම පිළිබඳව ආණ්ඩුව අංශක 180ක හැරැවුමක් ගෙන ඇත. මහ බැංකු බැඳුම්කර වංචාව වසන් කරන්නට ආණ්ඩුවෙහි ප‍්‍රබලයන්ගේ මැදිහත්වීම් ඒ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවෙහි අනාවරණවලින් පෙනේ.

ආණ්ඩුවෙහි වරප‍්‍රසාද මෙන්ම නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවල ආරක්ෂාව පාලක දේශපාලනඥයන් සතුටින් භුක්ති විඳින මුත් 2020 දී හෝ ඉන් පෙර හෝ ජනතා අධිකරණය හමුවට යා යුතු දිනයක් ඇති බව නොසලකා හරින්නට ඔවුන්ට හැකි වන්නේ තමන්ම අනතුරකට ලක් කරමින් පමණකි.