ලාංකික මාධ්‍ය කලාවේ නියමු ඩී.ආර්. විජයවර්ධන මහතාණන්ගේ 132 වැනි ජන්ම සංවත්සරය අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කැලණිය විහාරය පසුකර ගමන් කරන විට නුංගමුගොඩ සාවියේ හෙලේනා විජයවර්ධන පාසල හමුවෙයි. මුහන්දිරම් තුඩුගලගේ දොන් පිලිප් විජයවර්ධන හා දෝන හෙලේනා වීරසිංහ මේ පින්වන්තයින් කළ සමාජීය, සාසනික, අධ්‍යාපනික, සංස්කෘතික සේවාවන් මෙහිදී අපට සිහිපත් වනුයේ නිරායාසයෙනි. මේ පුණ්‍යකාමී දෙගුරුන්ට දාව 1886 පෙබරවාරි මස 23දා සේදවත්තේ ජන්ම ලාභය ලැබූ කීර්තිධර සුධීමතාණන් දොන් රිචඞ් ජයවර්ධනයි. ඔහු පසු කලෙක සුපතළ වූයේ ඩී.ආර්. විජයවර්ධන යන යශෝනාමයෙනි.

ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වී දශක සතක් ගෙවී ගිය තැනය ඔහු උපන්නේ. 1815 උඩරට ගිවිසුමට ගොදුරු වීම, 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල, 1833 කෝල්බෲක් කොමිසම, 1848 කැරැල්ලද පසුව ඇතිවුණු මොහොට්ටි වත්තේ ගුණානන්ද හිමියන් කළ පංච මහා වාද, 1873 විද්‍යොදය පිරිවෙන, 1875 විද්‍යාලංකාර පිරිවෙන බිහිවීම, පූජ්‍ය වලානේ සිද්ධත්ථ නාහිමිගේ පරමධම්මචේතිය පිරිවෙනේ සේවාව, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, රත්මලානේ ධර්මාරාම නාහිමිගේ භූමිකාව, අනගාරික ධර්මපාලතුමාගේ, හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ආදින්ගේ කාර්යසාධනය සහ තවත් විශාල වෙනස්වීම් ඔස්සේ සමාජ දේශපාලනික ආර්ථික හා සංස්කෘතික පරිවර්තන වෙනස්කම් පැවති යුගයකි ඒ.

ඩී.ආර්. විජයවර්ධන පවුලේ තුන්වැනි දරුවා වූයේය. එම පවුලේ පිරිමි දරුවෝ සත්දෙනෙකි. ගැහැනු දරුවෝ දෙදෙනෙකි. පිලිප් විජයවර්ධන මහතා දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහු සිය දරුවන්ට ගුණ නුවණැසින් වැඩෙන බුද්ධි මාර්ගය පෙන්වූයේය. එකල ජන සමාජයේ දැවැන්ත ව්‍යාපාරිකයකු, ව්‍යවසායකයකු වූ ඔහු ලී සහ ගඩොල් විකිණුවේය. එමතු නොව වැඩෙන හැදෙන ගම් නගර දොර - කඩමණ්ඩිවල ඉඩම් මිලදී ගති. රජයේ කොන්ත්‍රාත් ලබමින් දියුණු විය. පියා අනුව ගමන් කළ දරුවෝද පසු කලෙක දැවැන්ත ව්‍යාපාරිකයෝ වූහ.

ඩී.ආර් විජයවර්ධන මුලින් ඉගෙනීම ලැබුයේ සේදවත්ත විද්‍යාලයෙනි. කලවයස ගෙවෙන විට හෙතෙම මෝදර සාන්ත තෝමස් විද්‍යාලයෙන් ශිල්ප ශාස්ත්‍ර උගත්තේය. එෆ්.ආර් සේනානායක හා ඩී.ඇස් සේනානායක දෙසොහොවුරෝ ඔහුගේ පාසල් සගයෝ වූහ. බ්‍රිතාන්‍ය යුගයේ පැවැති සමාජ සන්දර්භය අබිමුව ඔවුන් දිවි ගෙවූ තත්කාලීන සමාජයේ විපරිනාමය ඔවුන්ට විශාල ලෙස වැටහුණා දැයි සැකයකි. ඒ බව එච්.ඒ.ජේ. හුළුගල්ල රචනා කළ පොතේ දැක්වේ.

“දේශපාලනය කෙරෙහි මාගේ උනන්දුව ඇතිවූයේ මම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සිටි කාලයේදීය. ඒ අවධියේ මුළු ආසියාවේම පැතිරෙමින් තිබුණ ජාතික ප්‍රබෝධය පිළිබඳ උණුසුම් හැඟීමෙන් අවදි වූ පිරිස අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ අනෙකුත් ආසියාතික රටවලින් පැමිණියෝ ද වූහ” 1943 මාර්තු මස 30 ඬේලිනිව්ස් පුවත්පතේ පළවූ “මා පුවත්පත් ඇරඹුයේ ඇයි?” යන සිරස්තලයෙන් පළවූ ලිපියෙන් කොටසකි. අරුණ බාලසූරිය ඩී.ආර්. විජයවර්ධන සහ ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ කෘතියේ මෙය උපුටා දක්වා ඇත.

ඇති හැකියා ඇති ධනවත් පවුල්වල දරුවන්ට බ්‍රිතාන්‍යයට ගොස් ඉගෙනීමේ වරම ලැබුණු අතර ඩී.ආර්. විජයවර්ධන ද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඉගෙන ගත්තේය. එකල කේම්බ්‍රිජ්හි සමකාලීනව අධ්‍යාපනය ලැබූ අය අතර සර් පොන්නම්බලම් අරුණාචලම් හා සර් ජේම්ස් පීරිස් වැදගත්ය. මොවුන්ගේ සදාශ්‍රය ඔහු තුළ ස්වදේශාලය, ජාත්‍යනුරාගය, ආගමාලය, භාෂානුරාගය, ජාතිමාමතත්වය පිළිබඳ හැඟීම් ඇතිවිණි. එය මානව කේන්ද්‍රවාදයක් නොවීය. ඔහු හැම ආගමිකයකුම ජාතිකයකුම පාහේ ඇසුරු කළ අන්තවාදය ප්‍රතික්‍ෂේප කළ පෘථුල බුද්ධිපාටවයකින් හෙබි උදාර පෞරුෂයක් විය. ජවහල්ලාල් නේරු නිදහස් ඉන්දියාවේ පළමු අගමැතිද එකල කේම්බ්‍රිජ් ශිෂ්‍ය මිත්‍රයෙකි. ඔවුන් අතර කතිකාවන්, සාකච්ඡාවන් රාශියක් ඇති වූයේය. ඉන්දීය නිදහස් සටනේ ප්‍රමුඛාචාර්යවරයකු වූ ගෝපාල් ක්‍රිෂ්ණගෝඛලේ ඩී.ආර්. විජයවර්ධනගේ මනසේ ප්‍රබෝධයේ උණුසුම දැල්වූවෙකි. ඒ බැව් ඔහු මෙසේ පවසයි.

“තමාගේ රට ඉන්දියාව නමුත් ලංකාව වුවත්, සෑම උගත් තරුණයකුම සිය රට වෙනුවෙන් කිසියම් සේවයක් කළ යුතු බවත් තම මාතෘභූමියේ උන්නතිය සඳහා පරිත්‍යාග කිරීමටත් සූදානම් විය යුතු බවත් ඔහු පවසත්ම මා සිත ඇසුරෙහි දැඩි අධිෂ්ඨානයක් ඇති විය”
ඔහු පැවසූ තවත් දෙයක් නම් තමන්ගේ රටේ මහජනයා උදෙසා කිසියම් සේවයක් කිරීම, ඉන්දියාවේ වේවා ලංකාවේ වේවා තරුණයන් පිට පැවැරුණ යුතුකමක් මෙන්ම රටේ සුභසිද්ධියට පරිත්‍යාගයන් කිරීම සූදානම් වීම අවශ්‍ය බවයි.

එෆ්.එච්.එම්. කෝර්බට් නම් එංගලන්තයේ සිටි නීතිඥවරයාගේ ඇසුර නිදහස් ලංකාවක සිහිනය ඔහු තුළ දල්වන්ට හේතු විය. රටට නිදහස ඕනෑ නම් පුවත්පතක් අත තිබිය යුතු යැයි පෙන්වා දුන් එක් විද්වතෙකි කෝර්බට් මහතා. රට ඇතුළත ප්‍රබල ජනමතයක් ජනනය කිරීමට පුවත්පතක් අවශ්‍ය බව ඔහු සිත තුළද කාවැදිණි.

කේම්බි්‍රජ් අධ්‍යාපනය අවසන් කළ විජයවර්ධන මහතා එංගලන්තයේ හල්ට්ස්ඩෝර්ෆ් උසාවියේ අධිනීතිඥයකු වශයෙන් ටික කලක් සේවය කර ඇත්තේය. ඔහු ලැජ්ජාවෙන් හා සබකෝලයෙන් යුතු මිනිසෙක් විය. 1912 වසරේ ලංකාවට පැමිණි ඔහු කොළඹ අලුත් කඬේ උසාවියේ අධිනීතිඥයකු වශයෙන් ක්‍රියා කළේය. ඉංග්‍රීසින් ලාංකිකයා කෙරෙහි කළ නොපනත්කම් කෙරෙහි අවදි වූ ඔහු දේශපාලනික වශයෙන් වඩාත් දියුණු වාතාවරණයක සිට පැමිණි හෙයින් ස්වදේශීය ප්‍රශ්න කෙරෙහි බෙහෙවින් විපුලදායි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට උනන්දු වී ඇත.

එහි ප්‍රතිඵලයක් වූයේ 1913 ඔක්තෝබර් මාසයේදී ලංකා ජාතික සංගමයේ ලේකම් ධුරයට පත්වීමයි. ඔහු එංගලන්තයේ සිටි පැරණි යහළුවන් වූ සර් පොන්නම්ලම් අරුණාචලම් හා සර් ජේම්ස් පීරිස් සමග රටේ ප්‍රබල සමාජීය දේශපාලනික ආර්ථික පෙරැළියකට පාදම සැකසුවේය.

“මේ කාලවකවානුව වන විට සුරා විරෝධය මතුවිය. අමද්‍යප ව්‍යාපාරය පටන් ගැනුණි. ඩී.ආර්. එහි නිපුණයෙකි. අමද්‍යප ව්‍යාපාරය බඳු බෞද්ධ ව්‍යාපාරවල නිරත වූ නායකයන්ට දේශපාලනික නිදහසෙන් තොරව එම කටයුතු කරගෙන යෑම අපහසු විය. එබැවින් කතෝලික, බෞද්ධ හෝ සිංහල, ද්‍රවිඩ හෝ භේද නොසලකා ලංකා ජාතික සංගමය වටා සියල්ලෝම ඒකරාශී වූහ.”

ලංකා පාබල හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙස රිචඞ් මහතා ක්‍රියාකරමින්ද සිටි කාලයකි. ඒ 1915 මැයි මාසයේ සිදු වූ අවාසනාවන්ත සිංහල - මුස්ලිම් කෝලහාලයේදී සර්. ඩී.බී. ජයතිලක, ඩබ්.ඒ.ද සිල්වා, ඩී.ඇස්. සේනානායක, චාල්ස් බටුවන්තුඩාවේ ආදීහු සිරගත කළහ. මේ පීඩන දරමින් ඔහු සර්වජන ඡන්ද බලය ලබාගැනීමට අදිටන් කර වෙහෙසුණේය. 1916 වසරේ දුරුතු - (ජනවාරි) මස 16 දා ඔහු විවාහ දිවියට පත් වූයේ මීදෙනිය පවුලේ දෙවැනි දුවණිය රූබි මිදෙනිය මෙනෙවිය සමගය. සිංහල චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කළ විවාහ මඟුලකි ඒ. එය සිංහල මධ්‍යම පාන්තික ආකල්ප වෙනස් කළ සංසිද්ධියකි.

හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා නායකත්වය දුන් බෞද්ධ පරම විඥානාර්ථ සමාගමේද, අනගාරික ධර්මපාල තුමා මෙහෙය වූ මහාබෝධි සමාගමේද ඔහු ප්‍රබල සාමාජිකයකු විය. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයක් බිහිකිරීමටත් එය පේරාදෙණියට ගෙනයෑමටත් ප්‍රබල හඬක් නැගූවෙකි ඔහු. සර් ජේම්ස් පීරිස් සමග මහජන සේවක සමිතියේ ලේකම්වරයා වූයේද ඔහු ය. මේ සමිතිය ඇසුරින් දිළිඳු ජනයාට සේවය කිරීමට ද පෙළඹුණි. එහි ප්‍රධාන පරමාර්ථය වූයේ ඉහළ මධ්‍යම පන්තියේ පුද්ගලයන් මහජන සුබසාධන සේවයට පොළඹවා ගැනීමය. විසිවැනි සියවස මුල් දශකයේ සිට ඔහු පුවත්පත් පළකිරීමට පටන් ගත්තේය. ඒ ගැන මාර්ටින් වික්‍රමසිංහගේ අදහසක් ඉදිරිපත් කළ හැකිය.

අපේ වියත් පරපුර හා භාෂා පරිණාමය පොතේ මෙසේ දැක්වෙයි “දිනමිණ, සිළුමිණ, ඬේලිනිව්ස්, ඔබ්සවර්, ඉරිදා ඔබ්සවර්, දිනකරන්, ඉරිදා තිනකරන් යන පුවත්පත් හතක් විජයවර්ධන මහතා ආරම්භ කළේය. ඒ පත්‍ර සකස් කිරීමට වුවමනා ශූර පත්‍ර කලාවේදීන් පරපුරක් ඔහු පුහුණු කළේය. ශූර සංවිධායක මණ්ඩලයක් තැනුවේය. ඒ පත්‍ර පාට කිහිපයකින් විසිතුරු කොට පැයට විසිදාහක් වුවද මුද්‍රණය කළ හැකි යන්ත්‍රයන්ගෙන් යුතු මහා මුද්‍රණාලයක් පිහිටුවූයේය. “මුදල් ඇත්නම් සියල්ල කළ හැකිය” යනු මහා මෝඩ කියුමකි. මේ සියල්ලම මුදල් විනාශ කළ හැකි තැන් යැයි කීම නම් වඩා නුවණට හුරු කීමකි. විජයවර්ධන මහතා මහා දුර්ගයක් ජයගත්තකු සේ ‘ලේක්හවුස් මන්දිරය’ ‘එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම’ යන නම්වලින් හැඳින්වෙන ප්‍රවෘත්ති පත්‍ර ව්‍යාපාරයට කියන ලද සියල්ලෙන් පිරිපුන් කොට දෙදරුම් නොකන දැඩි අඩිතලයක් උඩ පිහිටුවා ලීය.” මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ලියූ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ පොතේ සඳහන් මේ අදහස ගැන අවධානය යොමු කරනු වටී.

ශාන්ත පීතර විදුහලේ අවුරුද්දක් පමණ ඉගැන්වූ පසු මට ලේක් හවුස් ආයතනයෙහි රස්සාවක් ලැබුණි. ඒ ආයතනයෙහි සිංහල පොත් පත් ප්‍රකාශනය සඳහා අංශයක් ආරම්භ කරන්ට අදහස් කරන බවත් එම අංශයට කළමනාකරුවකු වශයෙන් කෙනෙකු පත් කිරීමට ඉල්ලුම් පත්‍ර කැඳවන බවත් කියා පුවත්පතෙහි දැන්වීමක් තිබුණු බැවින් මම මගේ සුදුසුකම් කියා ඉල්ලීමක් යැවීමි... ලේක්හවුස් ආයතනයේ මැනේජිං ඩිරෙක්ටර් ඩී.ආර්. විජයවර්ධන මහතා, සිංහල පොත්පත් ප්‍රකාශනය පිළිබඳ තමාගේ යෝජනාව ගැන නිවී සැනසිල්ලේ මා සමඟ කතා කළේය... සිංහල පාඨකයා හමුවෙහි වර්තමාන ඥානසම්භාරය ගෙනැවිත් තැබීමේ වැදගත්කම ගැනත්, ඊට ඉංග්‍රීසියෙන් තිබෙන ‘හෝම් යුනිවසිටි ලයිබ්‍රරි” නම් පොත් පෙළ ආදර්ශයට ගත හැකි බවත් ඔහු කීවේය. දෙවෙනි වරට මා කැදවන ලද අවස්ථවෙහි විජයවර්ධන මහතා කීවේ ප්‍රකාශන අංශය පිහිටුවීමේ පළමු පියවර වශයෙන් පොත් සමාජයක් ආරම්භ කරන්නට යන බවත් එම පොත් සමාජයේ (Book la‍lub) වැඩ කටයුතු මා භාරගෙන, ක්‍රම ක්‍රමයෙන් අභිනව අංශය පටන් ගැනීමට සූදානම් විය යුතු බවත්ය. 

මේ කරුණු සලකා බලන විට බුද්ධිමත් උගත් පරපුරක් සකස් කිරීමට පදනම සැකසූ සූර, වීර, ධීර සුධීමතකු වශයෙන් ඩී.ආර්. විජයවර්ධන නාමය සදානුස්මරණීය වෙයි. එතුමාගේ පුත්‍රයා වූ රංජිත් විජයවර්ධන මහතා පසුකලෙක සිදුවූ දේශපාලනික සමාජීය බාධක ජයගෙන විජය ප්‍රකාශන සමාගම ගොඩනැගුවේය. ඒ ලේක්හවුස් ආයතනය රජයට පවරා ගත් බැවිනි.

නාලනී වික්‍රමසිංහ දියණියකි. ඇගේ සහ එස්මන්ඞ් වික්‍රමසිංහ මහතාගේ පුත්‍රයා රනිල් වික්‍රමසිංහ මහතා ඉතානීන්තනයෙහි රටේ අගමැතිවරයා ලෙස ක්‍රියාකරයි. ඩී.ආර්. විජයවර්ධන මහතා කාර්ය සාධනය අතුපතර විහිද ගිය මහා වෘක්ෂයකි. 1950 ජුනි මස 13දා ඩී.ආර්. විජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.

ආචාර්ය  ප්‍රනීත් අභයසුන්දර