සඳුන් ජයවර්ධන, 
දමිත් වික්‍රමසේකර
සන්ඩේ ටයිම්ස් Insight ලිපියේ පරිවර්තනය.

මත්පෙත්ත, කුඩු-හෙරොයින් අද ශ්‍රී ලංකා සමාජයේ ව්‍යසනයක් බවට පත්ව තිබේ. මේ ලිපිය ඒ පිළිබඳව ගවේෂණයකි.

ගොදුරු කරගන්නට මාන බලන අයගෙන්, අවද‌ානමේ ඉන්නා සිසුන් මුදවාගත හැකි, උපදේශකවරුන්ගේ අවශ්‍යතාවක් පාසල්හි මතුව ඇති බවට විශේෂඥයෝ අනතුරු හඟවති.

පාර අද්දර ඉන්නා ඇතැම් ෆාමසිකරුවෝ ඇතුළු මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ පාසල් සිසුන් උගුලේ පටලා, මනස විකෘති කරන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවීමට විවිධ උපක්‍රම භාවිත කරති. මේ සඳහා විවිධ සමාජ මාධ්‍ය ද උපයෝගී කර ගැනේ.

 

රෂීඩ්, හෙරොයින් භාවිතයෙන් මිදීම සඳහා මුල් අවධියේ නිවාරණ අභ්‍යාසවල යෙදෙමින් සිටී. දෙමටගොඩ වාසය කරන 23 හැවිරිදි ඔහු අවුරුදු 5ක් තිස්සේ හෙරොයින් එන්නත් කර ගැනීමෙන් ඇති වූ අසහනයත්, මානසික අවුල්භාවයත් නිසා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළු වූයේ පසුගිය සතියේය.

ඔහු වයස අවුරුදු 13 පටන් විවිධ මත් බෙහෙත් භාවිත කරමින් අත්හද‌ා බැලීම් කළේය. වෙළෙඳපොළේ විවිධ නම්වලින් හඳුන්වන්නාවූද නොයෙක් ලෙඩ රෝගවලට ප්‍රතිකාර වශයෙන් දෙන්නාවූද ඔෟෂධ වර්ග ගණනාවක් භාවිතයට ගැනීමට ඔහු පුරුදුව සිටියේය. කෙසේ වුවද එම ඖෂධ වර්ගවල නම් සඳහන් කිරීම අනවශ්‍ය යැයි අපට සිතේ. නිල්ල සොයා - ඇපල් ආරුඨ නම්වලින් කියැවෙන තවත් ඖෂධ දෙකක්ද පාසල් සිසුන් අතර ජනප්‍රිය බව ඔහු තවදුරටත් කීවේය.

මත්ද්‍රව්‍ය ලබා ගැනීම ද අපහසු කටයුත්තක් නොවන බව ඔහු පවසා සිටී. ‘‘අපි දන්න දොස්තර කෙනෙක් ඉන්නවා තොග ආවහම එයාගෙ කට්ටිය කථා කරලා අපට කියනවා’’. මෙකී දොස්තරවරයා හෙරොයින් ඇබ්බැහිවූවන්ට ප්‍රසිද්ධියේ දැන්වීම් පළ කරමින් ප්‍රතිකාර කිරීමේ සේවාව ද පවත්වාගෙන යන අතරම, ලාභදායි අතුරු ව්‍යාපාරයක් ලෙස මානසික තත්ත්වයන් වෙනසකට භාජනය කරන මනෝචිකිත්සාවට යොදා ගන්නා (Psychotropic) ඖෂධ වර්ග හෙරොයින්වලට ඇබ්බැහිවූවන් හට අලෙවි කිරීම ද කරගෙන යන බව රෂීඩ් අනාවරණය කළේය. මානසික තත්ත්වයන් වෙනසකට භාජනය කරන (මනෝ චිකිත්සාවලදී යොදා ගන්නා ඖෂධ වර්ග මනසට, හැඟීම්වලට සහ හැසිරීම් කෙරේ බලපෑම් කිරීමේ හැකියාවෙන් යුක්තය.

රෂීඩ් තවත් මිතුරන් පස් දෙනෙකු හා එක්ව මෙම (මනෝ චිකිත්සක ඖෂධ පෙති වර්ග එකට මිශ්‍රකොට ඒවා හෙරොයින් හා එක්ව භාවිත කරමින් අත්හද‌ා බැලීම්වල යෙදී තිබේ. ඔහුගේ එක් මිතුරෙක් අධි මාත්‍රා භාවිතය නිසා අසීරුවට පත්වූයේය.

රෂීඩ්ගේ ඉතිහාසයේ කියවෙන මෙම ඖෂධ, හෙරොයින් භාවිත කරන තරුණයන් විසින් භාවිතයට ගැනීම වැඩි වෙමින් පවතින බව නිලධාරීහු ඉරිදා ටයිම්ස් (Sunday Times) පුවත් පතට කීහ. මෙම දුර්භාවිතයට ලක්ව ඇති ඖෂධ බොහෝ ඒවා වේදනා නාශක හා මනෝචිකිත්සාවේදී භාවිත වන ඖෂධ වේ. සන්ඩේ ටයිම්ස් පුවත්පතට කරුණු කියන්නට එකඟ වූ අය කීවේ ඔවුන් ප්‍රබල සුඛාස්වාදි (ප්‍රමෝද ජනක) හැඟීමක් මෙම මානසික තත්ත්වය වෙනස් කරන ඖෂධ මඟින් අත් විඳගත් බවයි. එවැනි ඖෂධ භාවිත කළ ඇතැමුන් ඒවා ගෙන ඇත්තේ ඒ මඟින් විනෝදවීම පිණිස හෝ අධ්‍යයන පිණිස වඩාත් ශක්තිය ලැබෙන බව විශ්වාස කරමිනි.

කෙසේ වුවද මනෝචිකිත්සක උපදේශකවරයකු පැවසුවේ එවැනි ඖෂධ පාලනයකින් යුතුව නියමිත මාත්‍රාවලින්, නිශ්චිත ව්‍යාධීවලට ගැනීම හැර, වෙනත් අයුරකින් භාවිත කළ හොත් ඒ මඟින් දැඩි ලෙස ඒවාට ඇබ්බැහි වීම සහ හෙරොයින් භාවිතය කරා යොමුවීම වැළැක්විය නොහැකි බවයි.

තවමත් පාසල් යන අවධියේ සිටිනා දරුවන් එවැනි ඖෂධ මඟින් අත්හදා බැලීම් කරමින්, වඩාත් ශක්තිමත් වීමට මං සොයද්දී ඔවුන් හෙරොයින්වලට ඇබ්බැහිවූවන් බවට පත්වීම දැන් බැරෑරුම් ගැටලුවක්ව පවතී.

‘‘කිරිඳිවැල වාසය කරන (22 හැවිරිදි) ගයාන් හට මුලින්ම මනෝ චිකිත්සා ඖෂධ අත් විඳින්නට ලැබුණේ තමාගේ පාසලේ එක පන්තියේ ඉගෙනගත් මිතුරකුගේ මාර්ගයෙනි. ‘‘එයා ඒ ඖෂධ පාවිච්චි කරනව දැක්කම මට කුතුහලයක් ඇති වුණා. මටත් දෙන්න කියල මම ඉල්ලුවා. මට මුලින් ඒක එපා වුණා. ඒත් අායෙ අරන් බැලුවා. මට තියෙන තහංචි ඉවත් වෙනවා වගේ දැනුණා. ඒවා ගන්න ගන්නම මං හිතුවා ඒකෙන් මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන් වෙනවා කියලා’’ ඔහු විස්තර කළේය.

ඔහු මුලින් පටන්ගෙන ඇත්තේ පෙත්තකින් දෙකකින් වූවද, වැඩිකල් නොයාම එක් වරකට තනි කාඩ් එකක්ම භාවිත කරන තරමට ඇබ්බැහි වූයේය. දයාන් මෙම මත් බෙහෙත ලබාගෙන ඇත්තේ සිය පාසල් මිතුරා මඟිනි. ‘‘මං රුපියල් දාහක් ගෙව්වා එයාට. එක පාරකට ඒ පෙති කාඩ් 2 ගානෙ ගේන කොට. එකක් එයාට. එකක් මට. මං දන්නේ නෑ එයා කාගෙන් සල්ලි දීලා ගත්තද කියලා.’’ දයාන් වෙනත් ඖෂධ වර්ග ද භාවිත කළේය ‘‘මං ඒ පෙති ගන්නකොට කාලය ගැන, අවකාශය ගැන මට කල්පනාවක් එන්නෙ නෑ’’. ඔහු කීවේය. ඔහුගේ එම මුදල් අවශ්‍යතාව නිසා නිතර නිතර විවිධ බොරු කියමින් මවුපියන් වෙතින් මුදල් ඉල්ලා ගැනීම ද වැඩි වූ අතර ඒ නිසාම ඔහුගේ මෙම ඇබ්බැහි වීම ද හෙළිදරව් වූයේය.

කිරිඳිවැල අයෙකුම වූ ‘රඛිත’ ද තම පාසල් කාලයේම පටන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූයේය. ඔහු මුලින්ම කිසියම් ඖෂධ වර්ගයක් මිලදී ගත්තේ ඒවා දුර්භාවිත කරමින් සිටි තම පන්තියේ සිසුවකුගෙනි. ‘පටන් ගත්තේ පෙති කීපයකින්. ඒ වුණාට ඉක්මනට තව තව වැඩියෙන් ගන්න පුරුදු වුණා. ඊට පස්සෙ මං හෙ​රොයින්වලට ඇබ්බැහි වුණා. රඛිතගේ මවුපියන් සතුව මුදල් තිබුණු බැවින් තමාගේ පුරුද්ද උදෙසා මුදල් ඉල්ලා ගැනීමට ඔහුට හැකිවූයේය. තමා දන්නා ෆාමසියකින් පෙති මිලදී ගත් බව හෙතෙම කීවේය.

‘‘මෙම සිද්ධි පිළිබඳ පරීක්‍ෂාවෙන් බැලීමේදී බෙහෙත් වට්ටෝරුවලට ලියන මෙම ඖෂධ දුර්භාවිත (නරක විධියට භාවිත කිරීම) කිරීමෙන් පටන් ගන්නා තරුණ පුද්ගලයන් හෙරොයින්වලට ඇබ්බැහි වීම වැඩි වෙන බව අපට පෙනී යනවා.’’ ‘නවදිගන්තය’ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර කිරීමේ හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහකාර උපදේශිකා ශානිකා මධුභාෂිණී මහත්මිය අනාවරණය කළාය. මෙම මධ්‍යස්ථානය නිට්ටඹුව ඌරාපොළ පිහිටා ඇති අතර එය ජාතික අන්තරාය ඔෟෂධ පාලක මණ්ඩලය මඟින් පවත්වා ගෙන යන එවැනි ආයතන හතරෙන් එකකි. සන්ඩේ ටයිම්ස් පුවත්පත මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමෙන් මිදෙමින් සිටින පුද්ගලයන් හා කතා කළේ එහිදීය.
තම නව යොවුන් වියේදී දරුවන් මෙම මනෝ චිකිත්සක ඖෂධ දුර්භාවිතය පටන් ගන්නා බව මධුභාෂිණී මහත්මිය පැවසුවාය. විශේෂයෙන් අවුරුදු 13-15 අතර වයසේදී මේ සඳහා පහසුවෙන් ගොදුරු වන අතර ඒ කෙරේ පෙළඹෙන ප්‍රවණතාව ද වැඩිය. ‘‘ආශ්‍රිතයන්ගේ පෙළඹවීම මීට තීරණාත්මක සාධකයක් වෙනවා. බොහෝ අයට මෙම මත්ද්‍රව්‍ය හුරු වී තිබෙන්නේ පාසලේ නැතිනම් ටියුෂන් පන්තියෙ යාළුවන් මාර්ගයෙන්.’’ ඇය පැහැදිලි කළාය.

පවුල් පසුබිමත් වාසය කරන පරිසරයත් මීට දායක වන සාධකය. උදාහරණයක් ලෙස රෂීඩ්ගේ වැඩිමල් සොහොයුරන් දෙදෙනාම හෙරොයින්වලට ඇබ්බැහිවූවෝය. මුල් කාලයේ ඔහුගේ පවුලේ අය පදිංචිව හිඳ ඇත්තේ කොම්පඤ්ඤවීදියේය. වයස අවුරුදු 16 පටන් තැනින් තැන ගොස් මත්ද්‍රව්‍ය විකුණන්නට ඔහු යොදාගත් බවත්, පෙති වර්ග ඔහුට පහසුවෙන් සොයාගත හැකි වූ බවත් ඔහු පවසයි.
‘‘මම මත් බෙහෙත් හොයාගෙන ගියේ නෑ. ඒවා මා ළඟට ආවා’’. ඔහු කීවේය. පෑලියගොඩ පදිංචි සුරේෂ් (39) පැවසුවේ තම යාබද නිවසේ ඉන්නා අසල්වැසියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට හෙරොයින් එන්නත් කරන්නට කාමරයක් කුලියට දී ඇති බවයි.
‘‘මත් බෙහෙත් හැම තැනම තියෙනවා. ඒවා හොයාගන්න හරි ලේසියි.’’ පිටකොටුවේ නාට්ටාමිවරයකු ලෙස​ සේවය කුළ සුරේෂ් කීවේ තමා වැනි හෙරොයින්වලට ඇබ්බැහිවූවන්ට ෆාමසිවලින් මනෝ චිකිත්සා සඳහා භාවිත ඖෂධ වර්ග අලෙවි කරන බවයි.
ඇසුරු කරන්නන්ගෙන් නැතිනම් මිතුරන්ගෙන් ඇතිවන පෙළඹවීම හෝ කුතුහලය හේතුවෙන් මනෝ චිකිත්සාව සඳහා භාවිත මෙම ඖෂධ දුර්භාවිතයට හුරුවන බොහෝ දෙනා ඒ මඟින් තමුන් නීති විරෝධී මත් ද්‍රව්‍ය භාවිතයට යොමුවන බව​ නොසිතති.
කැලණියේ පදිංචි නවීන් (25) විවාහකයකු මෙන්ම කුඩා දරුවකුගේ පියෙකි. ඔහු අවුරුදු අටක් තිස්සේ හෙරොයින් භාවිත කර තිබේ. ‘‘මම ඉස්සෙල්ලම පටන් ගත්තෙ පෙතිවලින්, මට අවුරුදු 13දී ඒවා ටියුෂන් පන්තියෙ යාළුවො පාවිච්චි කරනවා දැක්කා’’ තමා මත් බෙහෙත් වර්ග කීපයක්ම භාවිත කළ බව ඔහු විස්තර ඇතිව පවසයි. කැලණියේ සහ තොටළඟ වෙළෙන්දෙකුගෙන් ඔහු එම ඖෂධ මිලදී ගෙන තිබේ.

තමා ඇබ්බැහි වූ පෙති මිලදී ගන්නට ඔහු එක් වරකට රු. 5000ක් පවා ගෙවන්නට පෙළඹුණු බවත් ඔහු කියා සිටී. ඉන් අනතුරුව ගංජා භාවිතයට හුරු වුණු ඔහු ඒවා මිලදී ගන්නට ගිය අවස්ථාවේ ඒ අසල නිවසක සිටි හෙරොයින් විකුණන ගැහැනියක ඔහුට මුණ ගැසී තිබේ. ‘‘එයා කිව්වා හෙරොයින් එහෙම ඕන යාළුවො ඉන්නව නං කියන්න. එයා ළඟ බඩු තියෙනවා’’ කියල. ඒ වෙනකොට එයාගෙ මනුස්සයා හෙරොයින් පාවිච්චි කරනවා මම දැක්කා. මටත් හිතුණා බීලා බලන්න මොකද වෙන්නෙ කියලා. අන්න එදා තමා මම ඉස්සෙල්ලම හෙරොයින් පාවිච්චි කළේ.’’ ඔහු පෙතිවලටත් ඒවායින් ගංජාවලටත්, අනතුරුව හෙරොයින්වලටත් හුරු වී තිබේ. මේ සියල්ල සිදු වී ඇත්තේ පාසල් යන කාලයේදීමය.

ජාතික අන්තරාය ඖෂධ පාලක මණ්ඩලය විසින් මෑතකදී කරන ලද ‘‘මනෝචිකිත්සාවේ භාවිත ඖෂධ වර්ග දුර්භාවිතයේ ප්‍රවණතා සහ එහි රටා’’ සමීක්‍ෂණයේදී හෙරොයින් හිඟ වී (සැපයුම අඩු වී) ඒවායේ මිල ඉහළ යන අවස්ථාවලදී හෙරොයින්වලට ඇබ්බැහිවූවන් මනෝචිකිත්සාවේ භාවිත ඖෂධ වර්ග දුර්භාවිත කිරීම වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව අවධානයට ලක්ව තිබේ. එසේම අවුරුදු 15-25 අතර අය මෙම මනෝචිකිත්සාවේ භාවිත ඖෂධ දුර්භාවිත කිරීම අතිශය අනතුරුදායක තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව මෙම සමීක්‍ෂණයෙන් තවදුරටත් සනාථ වී ඇත. 2016-2017 කාලය තුළ කළ සමීක්‍ෂණයකින් හෙරොයින් සහ අනෙකුත් අන්තරායක ඖෂධ භාවිත කරන අතරතුරම, එම ඇබ්බැහිවූවන් මනෝචිකිත්සක ඖෂධ භාවිත කරන බව ද හෙළි වී තිබේ. මේ අතර අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ සමීක්‍ෂණයෙන් මෙම මත්ද්‍රව්‍ය පාසල් ළමයින් ඉලක්ක කරගෙන අලෙවි කරන බවට සාක්‍ෂි ලැබී ඇත.

පොලිස් නීති විරෝධී මත්ද්‍රව්‍ය බියුරෝවේ (PNB) ජ්‍යෙෂ්‍ඨ නිලධාරියෙක් මෙම අනාවරණ සත්‍ය බව පිළිගත්තේය. ඇතැම් ඖෂධ සමාගම්වල වංක ඒජන්තවරුන් විශේෂයෙන් නව යොවුන් වියේ ඉන්නා පාසල් ළමයින් ඉලක්කකොට විවිධ අයුරින් මෙම ඖෂධ අලෙවි කරන බව එම නිලධාරියා පැවසීය. උදාහරණයක් හැටියට ඒ අය යම් වේදනා නාශකයක මාත්‍රාව මි.ග්රෑම් 150 හැටියට පෙන්වා මිලි ග්රෑම් 250-500ක් අලෙවි කරනවා. මේ වගේ පෙති කරල්, ෆාමසි, ඩිස්පෙන්සරි, නයිට් ක්ලබ්, සමාජ මාධ්‍ය හරහා පවත්වන සාද ආදිය ඔස්සේ බෙදා හරිනවා’’. ඔහු අනාවරණය කළේය. මුල් අවස්ථාවලදී මෙම මත්ද්‍රව්‍යවල සාම්පල පාසල් ටියුෂන් පන්ති අසල නොමිලේ බෙදා හරිනු ලබන අතර ඒවාට ඇබ්බැහිවූවන් වෙතින් අමතරව ඉල්ලුම ආ විට ඒවාට මුදල් අයකිරීම සිදු කෙරේ.

මේ අතර ඇතැම් ෆාමසිකරුවන් නීති විරෝධී ලෙස මෙම ඖෂධ පාසල් ළමයින් හා වැඩිහිටියන් අතර බෙද‌ාහැරීමේදී වැටලීම් සිදුකොට ඇති අතර ඇතැම් අවස්ථාවල භාවිත කරන්නන් තම අලෙවිකරුවන් සමඟ මුහුණට හමු වී නොමැත. මෙම ඖෂධ මිලදී ගැනීමේදී මුදල් ගෙවීම් තිබෙන්නේ ඊසි-කෑෂ් (ez-cash) ක්‍රමයටය. එවිට ඒවා භාවිත කරන්නට යම් තැනකින් තමාගේ ඖෂධ ගත යුතු බව දක්වා පණිවිඩ එවා තිබෙනවා’’. නිලධාරියා හෙළි කළේය.

එම ඖෂධ බෙදාහරින විවිධ විධි පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇතැයි ද එම නිලධාරියා කීවේය. ඇතැම් අලෙවිකරුවන් පැන්සල් කෙළවරේ (පසුපස) ඇති මකන කෑලිවල (ඉරේසර්වල) මෙම ඖෂධ ඔබ්බවා සඟවා තිබේ. ඉන් අනතුරුව එම පැන්සල් භාවිත කරන අයට විකුණනු ලබයි. මෙම මකනය දත්වලින් සැපූ විට ඒවායින් මෙම මත්ද්‍රව්‍ය මුව තුළට නිකුත් වේ. පොලිසිය පවසන ආකාරයට හෙයාර් ජෙල්වල ද මෙම මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයෙන් සඟවා තිබේ.

එම තරුණ ළමයින් අතර මනෝ චිකිත්සක ඖෂධ බෙදා හැරීමට සමාජ මාධ්‍යජාල ද යොදාගෙන තිබේ. ඒ පිළිබඳ ඉලක්ක කොට යෙදූ වෙළඳ දැන්වීම් මුහුණුපොතේ තිබී පොලිසිය සොයාගෙන ඇත. ස්වදේශීය Whatsapp කණ්ඩායම් ද මෙවැනි ඖෂධ දිරිගන්වන්නට කටයුතු කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) නිරීක්ෂණ අනුව රටේ ඖෂධ නිෂ්පාදන නියාමනය කිරීම ද පහත වැටී ඇත. එහි ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය කමල් ජයසිංහ සඳහන් කළේ මනෝචිකිත්සක ඖෂධ පාසල් ළමයින් අතරත් තරුණයන් අතරත් ජනප්‍රිය වීම වර්ධනය වීම ගැන අධිකාරිය ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දී ඇති බවයි. ඔහු පැහැදිලි කරන්නේ එවැනි ඖෂධ ඇති තැන් අනාවරණය කර ගැනීම මහත් අභියෝගයක් බවය. සිගරට් මත්පැන් මෙන් නොව කාහට වුවද ඒවා පහසුවෙන් සඟවාගෙන යාහැකි බවත්, ගඳක් සුවඳක් නොමැති නිසා ඒවා ඇති තැන්ද අපහසුය. එමනිසා එවැනි ඖෂධ දුර්භාවිත කරන අයකු හඳුනා ගැනීම ද පහසු නොවන්නේය.
එසේම අඩු මාත්‍රාවක් ඇති බව ලේබලයෙන් බොරුවට දක්වා වැඩි මාත්‍රාවක් සහිතව මෙම ඖෂධ අලෙවි කරන ඇතැම් ෆාමසිකරුවන් ද මේ අතර අධිකාරිය සොයාගෙන ඇත. නීති විරෝධීව මේවා අලෙවි කිරීමට මෙවැනි වංචනික ක්‍රම ද පැහැදිලිව උපයෝගී කරගෙන ඇති බව ඔහු අවධාරණය කළේය.

“මෙසේ නීති විරෝධීව ඖෂධ අලෙවි කළ කොළඹ ෆාමසි අපි දැනටමත් වටලලා තිබෙනවා. මෙම ෆාමසිවලට විරුද්ධව මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. එම ෆාමසි නැවත විවෘත කරන්නට අප අවසර දී නැහැ.”

ඇතැම් වංචනික ෆාමසිකරුවන් තරුණයන්ට කර ඇති මෙම හානිය පිළිබඳව හුවා දක්වමින් අධිකාරිය විසින් මේ වනවිටත් ෆාමසිකරුවන් රැස්කර දීප ව්‍යාප්ත රැස්වීම් පවත්වා ඇතැයි ඔහු තවදුරටත් කීවේය. මෑත කාලයේ නගරය තුළ වැටලීම් සිදු කිරීමෙන් අනතුරුව මෙම ෆාමසි හිමිකරුවන් කොළඹට කැඳවා විශේෂ රැස්වීම පවත්වා තිබේ. නීති විරෝධී ලෙස මනෝ චිකිත්සාවට අදාළ ඖෂධ අලෙවි කරන කුමන හෝ ෆාමසිකරුවකු වේ නම් ඒ අයට විරුද්ධව දැඩි පියවර ගන්නා බවට ෆාමසිකරුවන්ට තරයේ අවවාද කොට තිබෙන බව ඔහු අවධාරණය කළේය.

නිතරම පාසල් ළමයින් ගැවසෙන ස්ථාන හා පාසල් අසල මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට NMRA වෙත පැමිණිලි ලැබෙමින් පවතින බවත් ඔහු කීවේය. තම පන්තිවල ඉන්නා ශිෂ්‍ය කණ්ඩායම් පමණට වඩා නිහඬව අක්‍රියව සන්සුන්ව හිඳීම වැඩි වී ඇති බව පැමිණිලි කරන ගුරුවරු ද වෙති. “ළමයින් යම් මත්ද්‍රව්‍යයක් ගත්තේද යන්න ගැන ඒ අය සැක පහළකොට තිබෙනවා. ඒත් ඒවා මොනවා විය හැකිදැයි කියන්නට ඒ අය දැනුම්වත් නැහැ.”

නීත්‍යනුකූල නොවන අයුරින් තම අලෙවි සල්වලින් මනෝචිකිත්සක ඖෂධ අලෙවිකරණ ෆාමසිකරුවන් වටලන්නට NMRA දැන් දිවයින පුරා කණ්ඩායම් යොදවා ඇත. එසේ වුවද පොලිසිය PNB" NDDCB" NMRA වඩාත් සමීපව මෙම තර්ජන ඇති ස්ථාන වටලා ගන්නට සමීපව ක්‍රියා කළ යුතු බව ආචාර්ය ජයනීතා පැවසුවාය.

පන්තියේ අවධානය නොදක්වන සිසුන් නොසලකා හරින්නට ගුරුවරුන් තුළ නිදන් ගත පුරුද්දක් ඇති බවත් ඒ නිසා අවදානමකට ගොදුරු වීමේ ප්‍රවණතා ඇති සිසුන් හඳුනා ගැනීමේ වෑයම වැළකෙන බවටත් සහකාර උපදේශිකා ශානිකා මධුභාෂිණී මහත්මිය කීවාය. සිසුන් පන්තියේදී නිසි අවධානය නොදක්වන්නේ නම් හෝ පන්තිය මඟ හරින්නේ නම් ඊට හේතුව මෙම ඖෂධ දුර්භාවිත කිරීමේ මුල් අවධියේ පසුබිම විය හැකි බව ඇය පෙන්වා දුන්නාය. අවදානමට පාත්‍රව ඉන්නා සිසුන් හඳුනා ගැනීමත් මත් රකුසාට ඔවුන් බිලිවීම වළක්වාලීමටත් උපදේශකයන් පුහුණු කිරිමට හැකි අවස්ථා පිළිබඳව සොයා බැලීමට බලධාරීන් කටයුතු කිරීම වැදගත් බව ඇය අනාවරණය කළාය.

පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ