තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

රාජ්‍ය මුදල් අවභාවිතය ගැන අවස්ථා කිහිපයක දීම ‘සත්‍ය ගවේෂණ‘ විශේෂාංගයෙන් අනාවරණය කළේය. පාසල්වල මුදල් අවභාවිතයද මේ වන විට ඒ තරමටම බරපතළ තත්ත්වයකට පත්ව ඇතත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුවන්නේ ද, නීතිය ක්‍රියාත්මක වන්නේ ද ඉතාම මන්දගාමීව බව බොහෝ දෙනකු කරන චෝදනාවකි. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ පාසල්වල මුදල් අවභාවිත වන අන්දමයි.

ලංකාවේ ඇත්තේ නිදහස් අධ්‍යාපනයක් බව කීවද එය නොමිලයේ දෙන අධ්‍යාපනයක්ද යන්න ප්‍රශ්නකාරී වන තරමට පාසල්වලින් මුදල් අය කරයි.   ප්‍රධාන පෙළේ පාසල් රැසක පහසුකම් හා සේවා ගාස්තුව රුපියල් 5000 ඉක්මවන අතර විවිධ හේතු දක්වමින් වසරකට අය කරන මුදල ද අති විශාලය. 

මුදල් කාබාසිනියා කිරීමේ පළමු උදාහරණය මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයෙනි.

මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට විශාල අඩුපාඩුවක්ව පැවැති වැසිකිළි පද්ධතියක් ඉදි කිරීම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 20ක් මුදලක් වෙන් කර තිබිණි. දීර්ඝ කාලයක් පැවැති පැරණි වැසිකිළි පද්ධතිය බොහෝ සෙයින් අබලන් වී තිබුණු අතර සිසුන්ට තම අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි වන තරමට ප්‍රශ්නය උඩු දුවා තිබිණි. නව වැසිකිළි පද්ධතියට මුදල් ලැබීමත් සමඟ සියලු දෙනා සතුටට පත් වූහ.

ඒ අනුව එහි වැඩකටයුතු ආරම්භ විය. ඒ නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයකට නම් නොවේ. පාසල් ප්‍රධානීන්ගේ හිතුමතේට වැසිකිළි ඉදි කිරීම ඇරුඹිණි. හදන වැදිකිළි නියමිත ප්‍රමිතියෙන් තොර බවට විවිධ පර්ශ්ව චෝදනා කළත් වගකිවයුත්තෝ නෑසූ කන්ව එහි කටයුතු දිගටම සිදුකරගෙන ගියහ. පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු සහ තවත් ගුරුවරුන් පිරිසක් එහි සෝදිසි කිරීමට ගිය අවස්ථාවේ දී වැසිකිළියේ අඩුපාඩු රැසක් අනාවරණය විය. එම ගුරුවරුන් 2016 ජනවාරි 13 වැනිදා තැබූ සටහන් අනුව ඒ වන විට වැසිකිළියේ තිබූ අඩුපාඩු මේවාය.

“සේදුම් බේසම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර නොතිබීම, සිමෙන්ති ලූවර ස්ථාන ගත කර නොතිබීම, සැලසුම අනුව ජනෙල් සවිනොකිරීම, ගඩොල් වර්ග දෙකක් එක බිත්තියක බැඳ තිබුණි ලඹ මට්ටම වැරදිය. නමුත් කපරාරුවෙන් එය මට්ටම් කර ඇත, අත්තිවාරමට එකවර ඉහළ මට්ටමට පස් පරවා ඇත, බදාම මිශ්‍ර කිරීමේ නිසි අනුපාතයක් නැත, වහලයේ දැව වේලී නොමැති අතර දැව ආරක්ෂිත ද භාවිත කර නැත, කපරාරු කිරීමට මඩ සහිත වැල්ල භාවිත කර ඇත.”

මෙලෙස දිර්ඝ ලෙස නිරීක්ෂණ සටහන් කර ඇති එම ගුරු මණ්ඩලය අවසානයේ සටහන් තබා ඇත්තේ වැසිකිළි පද්ධතිය නිසි ප්‍රමිතියෙන් තොර බවයි. ඒ අනුව ඉංජිනේරුවරු සහ කාර්මික නිලධාරීහු එය නිරීක්ෂණය කළහ. ඔවුන්ගේ නිර්දේශය වූයේ ප්‍රමිතියෙන් තොර මෙම වැසිකිළි කඩා දමන ලෙසයි.

අවසානයේ වැසිකිළි කඩා දැමිණි. ඒ 2016 වසරේය. වැසිකිළි කඩා දැමුවේ නියමිත ප්‍රමිතියට අලුත් වැසිකිළි ඉදිකිරීමේ කොන්දේසියට යටත්වය. දැනට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් අලුත් වැසිකිළි පද්ධතිය ඉදි කර නැත. රුපියල් ලක්ෂ 20ක් පිල්ලි ගැසූවන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වී නැත. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා 2016 ජූලි 31 වැනි දා පාසලට පැමිණි අතර වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව දැනුම් දුන්නේය. විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය සංගමය, මව්පියන් සහ සිසුන් පමණක් නොව ගුරුවරුන් වරින්වර ජනාධිපතිවරයාගේ සිට සියලුම බලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇතත් තවම කිසිවක් සිදුවී නැත. පාසල් ආරංචි මාර්ග කියන්නේ ඉහළ පරිපාලන නිලධාරියකු පාසල් ප්‍රධානියා රකින බවයි.

“මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පවා පැමිණිලි කළා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම පැමිණිලි අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කළා. නමුත් කිසිම දෙයක් සිදු වුණේ නෑ. තවම අලුත් වැසිකිළි පද්ධතිය හදන්න ගත්තේ නෑ. කොච්චර මේ සම්බන්ධයෙන් අපි කෑ ගැහුවත් කිසිම දෙයක් වෙලා නෑ. මේ වෙනකොට ළමයින්ට අවශ්‍යතා ඉටු කර ගන්න වැසිකිළියක් නැති වෙලා තියෙනවා.” යැයි පාසලේ අදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ජේ .ඒ. ඩබ්ලිව් ජයවර්ධන මහතා කීවේය.

මේ සල්ලි පිල්ලි ගැසීම ගැන විමසීමට මාදම්මේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයයේ විදුහල්පතිවරයා සම්බන්ධ කර ගත් විට ඔහු කීවේ වැසිකිළි පද්ධතිය යළි ඉදි කරන ලෙස අමාත්‍යංශය දැනුම් දී ඇති බවයි. එලෙස දැනුම් දුන්නේ කවදාද සහ යළි ඉදි නොකළේ ඇයි දැයි විමසීමේ දී විදුහල්පතිවරයා කීවේ මාධ්‍යයට තොරතුරු ලබා දීමට තමාට නොහැකි බවයි. තොරතුරු ලබා දිය නොහැක්කේ ඇයිදැයි විමසූවිට විදුහල්පතිවරයා කීවේ ආයතන සංග්‍රහය අනුව මධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙන්නේ නම් අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවසර ගත යතු බවයි.

ඊළඟට යන්නේ ගම්පහ යශෝධරා දේවි බාලිකා විද්‍යාලයටය. එහි ද මූල්‍ය පරිපාලනය සිදු වන්නේ විහිළු සපයන ආකාරටය. මේ ඊට එක් උදාහරණයකි.

එම විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිති අරමුදලට බැරවිය යුතු රුපියල් ලක්ෂ තුන හමාරක පමණ මුදලක් ඊට බැර නොවීම ගැන ගැටලුවක් මතු විය. එම මුදල් තිබී ඇත්තේ පාසල් ප්‍රධානියකු ළඟය. වැඬේ වැරදීගෙන එන බව දැනගත් වහාම එම මුදල සංවර්ධන සමිති භාණ්ඩාගාරික හරහා ගිණුමට බැර කිරීමට කටයුතු කළේය.

අවසානයේ ගැලවීමේ කලාව ප්‍රගුණ කළ පාසල් ප්‍රධානීන් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට ලිපියක් යැවීය.  අදාළ මුදල ගිණුමට තැම්පත් කළ ද එය බැරවී නැති බව එම ලිපියෙන් දන්වා ඇත. එබැවින් යළිත් මුදල් බැර කර ගිණුම් තුලනය කළ බව ද එම ලිපියේ සඳහන් කර ඇත. හොඳම විහිළුව තැන්පත් කළ මුදල නැතිනම් බැංකුවට ගොස් එය විසඳා ගත යුතු වුවද ලක්ෂ තුන හමාරක් යළිත් තැන්පත් කිරීමයි. මුලින් මුදල තැන්පත් කර එය ගිණුමට බැර නොවුණා නම් ඊළඟට තැන්පත් කිරීමට ලක්ෂ තුන හමාරක් කොහෙන්දැයි දන්නේ ඔවුන්ම පමණි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට යැවූ ලිපිය මෙ පළ වන අතර මූල්‍ය පරිපාලනයේ තරම එයින්ම වටහා ගත හැකිය.

පාසලට ළමයින් ගනිද්දී මුදල් ගන්නා බවට චෝදනාවක් ආවත් ඒවා සනාථ කිරීමට නොහැකි විය. මීට පෙර සත්‍ය ගවේෂණ විශේෂාංගයකින් ද මෙම පාසලට චක්‍රලේඛවලට පිටින් ළමයින් ඇතුළත් කළ ආකාරය හෙළිදරව් කළේය. ගුරුවරයකුගේ නිවුන් දරුවන් දෙදෙනකු මෙම පාසලට ඇතුළත් කිරීමට සුදුසුකම් තිබුණත් ඒ දැරියන් දෙදෙනා ඇතුළත් කරගෙන නොතිබීම ගැන ද මීට පෙර සත්‍ය ගවේෂණ විශේෂාංගයකින් අනාවරණය කළේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පළාත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී දින දෙකක් සාකච්ඡා වී තිබේ.

පළාත් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂගේ වාර්තාවට අනුව අධ්‍යාපන ලේකම්ගේ චක්‍රලේඛය අනුව ආසන්නතාව මත බඳවා ගත් සිසුවියන්ගෙන් සිසුවියන් 20 දෙනකු ඇතුළත් කර ගෙන තිබුණේ චක්‍රලේඛයට පටහැනිවය. මෙලෙස චක්‍රලේඛයට පටහැනිව සිසුවියන් බඳවා ගෙන තිබූ හෙයින් සුදුසුකම් සහිත දරුවන් පිරිසකට අසාධාරණයක් සිදුවී තිබුණු බව ද, සම්මූඛ පරීක්ෂණයේ ලකුණු ලබා දීමේ ක්‍රියාවලියේ අඩුපාඩු පැවැති බව ද, මෙවැනි ගැටලු නිසා ඇතිවූ වැරදි නිවැරදි කළ යුතු බව ද , අක්‍රමිකතා සම්න්ධයෙන් මූලික පරීක්ෂණයක් සිදු කළ යුතු බව ද ගිණුම් කාරක සභාව තීරණය කර තිබේ.

නමුත් තවමත් අසාධාරණයට ලක්වූවන්ට සාධාරණයක් ඉටු වී නැති අතර වැරදි කළවුන්ට නීතියද ක්‍රියාත්මක වීද නැත. මීට පෙර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් අනාවරණය කළ ගුරුවරයාගේ දියණියන් දෙදෙනා මෙම විද්‍යාලයට ඇතුළත් කර ගත්තේද නැත.

ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලය පළාත් පාසලක් වන අතර පෙර සඳහන් කළ මාදම්පේ සේනානායක මධ්‍ය විද්‍යාලය ජාතික පාසලකි.

කොළඹ ආනන්ද විද්‍යාලයය ද අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන ජාතික පාසලකි. මෙම පාසල සම්බන්ධයෙන් 2017 වසරේ විශේෂ විගණන පරීක්ෂාවක් සිදු කළ අතර ඊට අදාළ විගණන විමසුම 2018 වසරේදී නිකුත් කෙරුණි.

ආනන්ද විද්‍යාලයේ 2017 වසර වන විට සිටි මුළු සිසුන් ගණන 6537කි. විද්‍යාලයයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය 282ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 78ක් වූ බව විගණන විමසුමේ දැක්වේ. පාසල සතුව ස්ථාවර තැන්පතුවක් තිබූ අතර 1993 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා තැන්පත් කරන ලද ස්ථාවර තැන්පතුවල වටිනාකම 2017 ජනවාරි පළමු වැනි දා වන විට රුපියල් කෝටි හතරකට අධිකය වුවද මම ස්ථාවර තැන්පතුවලින් කොටසක් හෝ විධිමත් අනුමැතියක් යටතේ පාසැලේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනයට අවශ්‍ය පහසුකම් වර්ධනය කිරීමට යොදාගත හැකිව තිබුණද එලෙස යොදා නොගෙන ස්ථාවර තැන්පතු වශයෙන්ම පවත්වාගෙන ගොස් ඇති බව විගණන පරීක්ෂාවේදී හෙළි වී ඇත.

2016 වර්ෂයේ අවසාන ගිණුම් පරීක්ෂා කරීමේදී ස්ථාවර වත්කම් යටතේ පාසලේ බස් රථයේ වටිනාකම රුපියල් 3583196ක් ලෙස දක්වා තිබිණි. එම බස් රථයේ සමුචිත ක්ෂය වටිනාකම දක්වා තිබුණේ ද රුපියල් 3583196ක් ලෙසයි. වාර්ෂිකව බස් රථයේ වටිනාකම සියයට 20 බැගින් ක්ෂය කර තිබුණු බවත්, ක්ෂය අගය බස් රථයේ වටිනාකමට සමාන බවත්, බස් රථය තවදුරටත් භාවිතයේ තිබුණු බවත් කියන විගනණ විමසුම 2016 වසරේ පත්‍යාගණය කර එම වටිනාකම අවසන් ගිණුම්වලට ගලපා නොතිබුණු බව ද සඳහන් කරයි.

පාසලේ 10 ශ්‍රේණිය ගොඩනැගිල්ලේ දිග මීටර 14ක් හා පළල මීටර 10ක් වන වර්ග ඵලය වර්ග මීටර 140ක් වන වායු සමීකරණ යන්ත්‍ර තුනක් සවිකර තිබූ පහත මාලය ආදි ශිෂ්‍ය සංගමයේ කාර්යාලයට ලබා දී තිබණු අතර 2017 සැප්තැම්බර් දක්වා එහි විදුලි බිල ලෙස රුපියල් 7272737 ක් පාසල් සංවර්ධන සමිතියෙන් ගෙවා තිබෙන බව විගණන විමසුමේ සඳහන්වේ.

පාසල් සංවර්ධන සමිතිය යටතේ සමිති සමාගම් හා ඒකක වශයෙන් ගිණුම් 25ක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒවායේ ලැබීම් හා ගෙවීම් නිසි පරිදි සටහන් කර නොතිබිණි. ඒ අනුව විගණන විමසුම කියනුයේ ඇතැම් අරමුදල් ගිණුම්වල ශේෂය සෘණ අගයක් ගෙන තිබුණු බවයි. එලෙස සෘණ අගයක් ගෙන තිබුණු සංගම්වල සෘන එකතුව එකතුව රුපියල් 135642කි.

පාසල සතුව ඇති වාහන භාවිතය මෙන්ම නේවාසිකාගාර තත්ත්වය ද විගණන විමසුමෙන් ප්‍රශ්න කර තිබේ. විගණක කණ්ඩායම පරීක්ෂා කරන අවස්ථාව වන විට නේවාසිකාගාරවල විදුලි පංකා 20ක් අක්‍රීය තත්ත්වයෙන් පැවතුණු බව සඳහන් කර තිබේ. අට, නවය සහ 10 ශ්‍රේණිවල සයනාගාරවල සිවිලිමේ විශාල කොටසක් කැඩී තිබුණු බව ද විගණන කණ්ඩායම නිරීක්ෂණය කර තිබේ.

1995 ජුනි 21 දිනැති ආදි ශිෂ්‍ය සංගම් චක්‍රලේඛ ප්‍රකාරව පිළිගත් ආදි ශිෂ්‍ය සංගමයක් ලෙස ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවා නොතිබිය දී 2018 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරිමේ සම්මුඛ පරීක්ෂණයට පිළිගත කොහැකි ආදි ශිෂ්‍ය සංගමයක නියෝජිතයකු  චක්‍රලේඛවලට පිටින් පත් කරන ලෙසට අධ්‍යාපන ලේකම්වරයා විදුහල්පතිවරයාට උපදෙස් දි තිබීම විගණනයේදී ගැටලුකාරී වූ බව විගණන විමසුමේ සඳහන්වේ.

දීර්ඝ විගණන විමසුමක් ඉදිරිපත් කරමින් මූල්‍ය පරිපාලනය ගැන ප්‍රශ්න රැසක් විගණකාධිපති දොපර්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.

මේ සඳහන් කළේ දිවයිනේ ප්‍රදේශ තුනක පාසල් තුනක් ගැන පමණි. මේ සිදුවීම් තුනේදීම නීතිය ක්‍රියාත්මක වීමේදී මන්දගාමී බවක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයකි.

ගම්පහ බණ්ඩාර නායක විද්‍යාලයේ ආදි පාසල් සංවර්ධන සමිතියේ මහා සභාවේදී ගිණුම් ගැටලුවක් ගැන ප්‍රශ්න කර පියකුට පාසල් ප්‍රධානීන් බැණ වැදීමේ සිද්ධියක් 2016 වසරේදී වාර්තා වූ අතර ඒ ගැන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ විමසීමේදී අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දුන්නේ විමර්ශනයෙන් පසු විදුහල්පතිට අවවාද කළ බවයි.

අනාගතයේ ඉහළ තනතුරුවලට එන්නේ දැනට පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ය. පාසල්වල මූල්‍ය පරිපාලනය හරි හැටි සිදු නොවී සල්ලි පිල්ලි ගසනවා නම් දරුවන්ට කුඩා අවදියේ සිටම මූල්‍ය පරිපාලනය ගැන යන්නේ වැරදි චිත්‍රයකි. එම අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මන නොවන්නේ නම් කෙතරම් සල්ලි පිල්ලි ගැහුවත් නීතිය ක්‍රියාත්මක නොවේය යන අවබෝධය දරුවන්ටද යනු ඇත. එනිසා පාසල් සම්බන්ධයෙන් ඇති විමර්ශන කඩිනම් කර පාසල් මූල්‍ය පරිපාලනය තවදුරත් විධමත් කළ යුතු සේම විවිධ දේ කියමින් දරුවන්ගෙන් මුදල් අය කිරීමේ නීති විරෝධි ක්‍රමයද අතිහිටැවිය යුතුය.

මුදල් තියපු තැන හොයාගන්න බැරිවුණා-

ගම්පහ යශෝධරා දේවි බාලිකා විදුහලේ විදුහල්පතිනි ජී වත්සලා

‘‘සංවර්ධන සමිතියේ ගැටලුකාරී තත්ත්ව මතු වුණාම සාමාන්‍යයෙන් අපි කලාප කාර්යාලයට දැනුම් දෙනවා. ඔතන පුංචි ප්‍රමාදයක් තිබුණා. අපි ඒක කලාප කාර්යාලයට දැනුම් දුන්නා. මේක කවුරුවත් වංචා කරලා නෙවෙයි. මුදල් තියපු තැන පොඞ්ඩක් එහෙ මෙහෙ වෙලා හොයාගන්න බැරුව. කොහොමහරි ඒ මුදල අපි තැන්පත් කළා.‘‘

පසු විපරම

පොලිසියේ අඳෝනාව  පාර්ලිමේන්තුවේ සභාගත කරයි

ජාතික පොලිස් කොමිෂන් සභාවෙන්  වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස් කළ පාලිත සිරිවර්ධන මහතාට එම තනතුර ලබා නොදීමට පොලිස්පතිවරයා කටයුතු කිරීම ගැන සහ පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ වැඩ තහනම් කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ප්‍රශ්න කළේය.

පාලිත සිරිවර්ධන මහතාට උසස්වීම ලබා දී නැත්තේ ඒ මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ලබා දී ඇති නිසා බව ඊට පිළිතුරු දුන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සොයා බලන බවත්, පමා වී ඇති උසස්වීම් ඉදිරියේදී ලබා දෙනු ඇති බවත් ඇමැතිවරයා කීවේය.

එම කාරණා සම්බන්ධයෙන් පසුගිය බදාදා පළ වූ සත්‍ය ගවේෂණ ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සභා ගත කළේය.

පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ වැඩ තහනම නීත්‍යනුකූල නැති බවත්, රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ පරම විනය බලධාරියා ජාතික පොලිස් කොමිෂන් සභාව බවත්, පොලිස්පතිගේ ක්‍රියාකලාපය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැනුම් දුන් බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 

තමාට කිසිම චෝදනාපත්‍රයක් නැති බවත්, ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් කළ උසස් කිරීම පොලිස්පතිවරයා ලබා නොදෙමින් තමාට කෘර හා අමානුෂික ලෙස සලකන බවත් කියමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා පොලිස්පතිවරයාට එරෙහිව නඩුවක් ද ගොනු කළේය.

මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයේ කඩා ඉවත් කරන ලද වැසිකිළිය

01 සහ 02 මාදම්පේ මධ්‍ය විද්‍යාලයයේ වැසිකිළිය සම්බන්ධ නිරීක්ෂණ සටහන්

03 ආදි ශිෂ්‍ය සංගමය යොමු කළ ලිපියක්

04 ගම්පහ යසෝදරා බාලිකා විද්‍යාලය සම්බන්ධ පළාත් ගිණුම් කාරක සභා වාර්තාව

05 කොළඹ ආනන්ද විද්‍යාලය සම්බන්ධ විගණන විමසුම

06 යසෝදරා විදුහල්පතිනිය කලාප අධ්‍යාපන කාර්යාලයට යැවූ ලිපිය