අනුරාධ සුබසිංහ ගේ රචනයෙන් සහ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වූ ‘ඉන්ද්‍රජාලික පෙම්වතිය’ වේදිකා නාට්‍යය අද (12) සවස 7.00 ට කොළඹ ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේ දී වේදිකාගතවේ. 

මෙම නාට්‍යයේ මූලික තේමාව තරුණ ප්‍රේමය සහ ආදරය මුලික කරගෙන කේන්ද්‍රගත වේ. රංගනයෙන් උමා අසේනි, සමිත සුදීෂ්වර, මයුර කාන්චන, මනෝජා ප්‍රනාන්දු, සමන් පුෂ්ප ලියනගේ, දයාදේව එදිරිසිංහ දායක වෙති. කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයේ කථිකාචාර්යවරයකු වන අනුරාධ, 2006 වර්ෂයේ සිට කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අධ්‍යනාංශයට විද්‍යාර්ථියකු ලෙස රංග කලාව හදාරන්නට විය. එහිදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්‍ෂ සහ රංගන ශිල්පී ප්‍රියංකර රත්නායකගේ මඟ පෙන්වීම ඔස්සේ නාට්‍ය කලාවෙන් ඉදිරියට යන්නට විය. ප්‍රියංකර රත්නායකගේ ‘ඊඩිපස් රජ’ නාට්‍යයේ සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ ඔහු තම පශ්චාත් උපාධිය වෙනුවෙන් ලෝකයේ සිටින ප්‍රවීණ නාට්‍ය රචකයන් දෙදෙනකු වන ග්‍රීක ජාතික සොෆොක්ලීස් සහ යුරිපීඩිස් යන ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවන්ගේ ආඛ්‍යාන භාවිතයන් පිළිබඳව තුළනාත්මක අධ්‍යයනයක් සිදු කරන්නට විය. මේ ඔහු තම අලුත්ම නිර්මාණය පිළිබඳව ‘රසවින්දන’ හමුවේ අදහස් 
දැක්වූ අයුරුයි.

● ඔබේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වූ ‘ඉන්ද්‍රජාලික පෙම්වතිය’ මොන වගේ කතාවක්ද?

තරුණ තරුණියන්ගේ ප්‍රේමය සහ ආදරය මූලික කරගෙන මෙම නාට්‍ය මූලික වශයෙන් සකස් කර තිබෙනවා. මෙහි ප්‍රධාන වශයෙන් චරිත 6 ක් ගොඩනැංවී තිබුණත් ප්‍රධාන චරිත 4 ක් වටා මෙම නාට්‍ය ගෙතෙනවා. එනම් පෙම්වතුන් දෙදෙනෙක් සහ පෙම්වතියන් දෙදෙනෙක් ආශ්‍රය කරගෙන මෙහි කතාව ගලා යනවා. ෆ්ලෝරාගේ පෙම්වතා වෘත්තීයමය වශයෙන් ලේඛකයෙක්. ෆ්ලෝරාගේ පාසල් කාලයේ මිතුරියක් වන සමන්තා ඇයට කාලයකට පසුව මුණගැසෙනවා. ඇයගේ ස්වාමියා වෘත්තියෙන් නළුවෙක්. ෆලෝරා සහ ඇයගේ පෙම්වතා ජීවත්වෙන්නේ වනාන්තරයේ තනා ගත් කුඩා නිවෙසකයි. ෆ්ලෝරා තමාගේ මිතුරිය වන සමන්තා සහ ඇයගේ ස්වාමියාට නිවාඩුවක් ගතකිරීම සඳහා ඔවුන්ගේ නිවෙසට ආරාධනා කරනවා. ඉන්පසුව සිදුවන සිදුවීම් පිළිබඳව මෙම නාට්‍යයෙන් ප්‍රකාශය වෙනවා.

● නාට්‍ය හා රංග කලාව ශාස්ත්‍රාලීය වශයෙන් හදාරමින් ඒ පිළිබඳව මනා දැනුමක් සහිතව කථිකාචාර්යවරයකු ලෙස ක්‍රියාකරන ඔබ වර්තමාන නාට්‍ය කලාව ඔබේ ඇසින් දකින්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව ස්ථානගතවී ඇති තැන පිළිබඳව කතා කරන විට නාට්‍ය කලාව සමඟ සමගාමීව සෙසු කලා මාධ්‍යයන් ද ස්ථානගතවී තිබෙන ආකාරය අප හඳුනාගත යුතුයි. උදාහරණයක් ලෙස නාට්‍ය කලාව, සිනමාව, ප්‍රබන්ධය සහ චිත්‍ර කලාව ගත්විට යම් ස්ථාවරත්වයක් දීර්ඝකාලීනව හිමිකරගෙන තියෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මාගෙන් දේශීය අනන්‍යතාවක් සහිතව තාත්වික ධාරා සිනමාව ආරම්භ වෙනවා. ඉන්පසුව මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් යථාර්ථවාදී නවකතාව සහ කෙටිකතාව හඳුනාගන්නවා. අදටත් ප්‍රබන්ධ කතාව සහ සිනමාව ක්‍රමිකව ඉදිරියට වර්ධනය වන ස්වරූපයක් අපට දකින්න පුළුවන්. එහෙත් ලංකාවේ නාට්‍ය කලාවේ නූතන නාට්‍ය යම් ප්‍රවණතාවන් ආශ්‍රයෙන් ආරම්භ වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගෙන්. අද වන විට ලංකාවේ නාට්‍ය කලාව ඉදිරියට වර්ධනයවීමකට වඩා ආපස්සට ගමන් කිරීමේ ස්වරූපයක් අපට දකින්න පුළුවන්. ඊට හේතු ගණනාවක් අපට හඳුනාගැනීමට හැකිවෙනවා. 

ප්‍රධානම කරුණ නම් හොඳ නාට්‍ය පිටපත් රචනා කරන රචකයන් ලංකාවේ නෑ. ඒ පිළිබඳව තිබෙන ප්‍රාමාණික අධ්‍යයනයන් ඉතා ප්‍රාථමික මට්ටමක තියෙන්නේ. නාට්‍ය කලාව මුහුණදී තිබෙන මූලික අර්බුදය එය යැයි මා සිතනවා. අනෙක ඉතා සියුම්ව ශාස්ත්‍රාලයීය පසුබිමකින් විෂය හදරා කටයුතු කරන අධ්‍යක්‍ෂවරුන්ගේ සීමා පැවැතීමයි. ඊට අමතරව යම් වෘත්තීය තත්ත්වයන්වල නියැළෙන විට ශිල්පීන්ට ගැටලු ඇතිවෙන්න පුළුවන්. එහෙත් මූලිකම දේ සැලකිය යුතු හොඳ පිටපත් රචකයන් පිරිසක් අපට ගොඩනඟා ගැනීමට හැකි නම් ලංකාවේ නාට්‍ය කලාව මීට වඩා අභිවෘද්ධියකට ගෙනයාමට හැකියාව තිබෙන මා විශ්වාස කරනවා.

● ඇත්තෙන්ම අද වන විට එක්තරා රාමුවකට කොටුවූ යම් සීමිත පිරිසක් පමණක් වේදිකා නාට්‍ය බලන්න එනවා. මේ පසුබිම තුළ වේදිකා නාට්‍ය නිෂ්පාදනයේ ඇති ඵලය කුමක්ද?

එය ඇත්තටම විවේචනාත්මක ප්‍රශ්නයක් හැටියට මා දකිනවා. ඒ දිහා කීප ආකාරයකින් අපට බලන්න පුළුවන්. පළමුවැනි දේ තමයි යම් කිසි ප්‍රේක්‍ෂක පිරිසක් දිහා බලලා, උදාහරණයක් ලෙස ප්‍රහසන නාට්‍යයට වැඩි නැඹුරුවක් මේ දිනවල තියෙනවා. ඒ සඳහා පැමිණෙන ප්‍රේක්‍ෂකයන් දිහා බලා ඒක තමයි ඕඩියන්ස් එක කියා සිතනවා. එහෙත් ප්‍රේක්‍ෂකයා කියන්නේ මහජනතාව. මහජනයා තුළ තමයි ප්‍රේක්‍ෂකයා ඉන්නේ. ඔවුන්ගේ රසඥතාව කුමක්ද යන්න අපි දන්නේ නෑ. සමහර වේලාවට ප්‍රහසනයට අකමැති වෙනත් නාට්‍ය ශානරයන්ට කැමැති, රසවිඳීමේ අවශ්‍යතාවක් ඇති පුද්ගලයන් ඉන්න පුළුවන්. ඔවුන්ගේ සංවේදනාව හඳුනාගෙන ඒ 
සංවේදනාවට යම් කිසි කලා කෘති නිෂ්පාදනය කරන ප්‍රවණතාවක් දැක්විය යුතු යැයි මා විශ්වාස කරනවා. මොකද මේ ඉන්න ප්‍රේක්‍ෂකයෝ දිහා බලා අපි නාට්‍ය නිර්මාණය කරන්න හැදුවොත් අපට කවදාවත් නාට්‍ය නිර්මාණය කරන්න හම්බවෙන්නේ නෑ. වෙනත් රටවල ප්‍රහසනය වගේම දෙබස් නාට්‍යත් ජනතාව අතරට යනවා. මා දකින විඳිහට නාට්‍ය කලාවේ නියැළෙන සහ නාට්‍ය කලාවේ සිටින පිරිස් මූලික වශයෙන් චෝදනාව එල්ල කරන්නේ ප්‍රේක්‍ෂකයාටයි. එහෙත් අපි ඉලක්ක කරගත් රසික පිරිස හඳුනාගන්න සියුම් උපක්‍රම කල්පනා කරන්න වේවි කියා මා සිතනවා.

● වේදිකා නාට්‍ය නිර්මාණකරණයේදී ඔබ දකින ගැටලුකාරී තත්ත්ව මොනවාද?

මෙහිදී නිර්මාණශීලී ගැටලු සහ තාක්‍ෂණික අංශයේ ගැටලු මූලික වශයෙන් දකින්න පුළුවන්. එහිදී නළුවෙක්, අධ්‍යක්‍ෂවරයෙක් හෝ රචකයෙක් එක්තරා වෘත්තීයමය තත්ත්වයක පැවැතිය යුතුයි. වෘත්තීයමය තත්ත්වය යනු ඔහුට අයත් ක්‍රියාදාමය සහ තම විෂයෙහි ඇති ප්‍රවීණත්වයයි. එහිදී ඔවුන්ට ජීවත්වීම සඳහා ප්‍රමාණවත් මුදලක් ලැබිය යුතුයි. අපට ප්‍රවීණත්වයට පත්විය හැකියි. එහෙත් එය අලෙවි කිරීමේ ගැටලුවේ තමයි ලංකාවේ නාට්‍ය කලාව තියෙන්නේ. අද වන විට වෘත්තීයමය වශයෙන් නළු නිළියන් සොයාගැනීම අපහසුයි. ඔවුන්ගේ පැවැත්ම සඳහා වෙනත් රැකියාවල ඔවුන් නියුතු වෙනවා. ඇත්තටම අපි මෙම නාට්‍ය නිර්මාණය කළේ විනෝදාංශය සඳහා පමණයි. නාට්‍යයෙන් හෝ සිනමාවෙන්ම නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස පවතින්න ඉඩකඩක්, වපසරියක් මේ සමාජ සංධර්භය තුළ ගොඩනැඟී නෑ. ඒ නිසා පුහුණුවීම් නිවැරැදිව කරගැනීම සහ අප බලාපොරොත්තු වන යම් හැඩයක් සහිත නිර්මාණය ඒ ආකාරයෙන්ම ප්‍රායෝගිකව ගොඩනැගීමට පුළුවන්ද කියන ගැටලුව කාලය සහ මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් විසින් ප්‍රශ්න කෙරෙනවා.

- ගයාන් සූරියආරච්චි