ප්‍රතිඅපනයනය ජාත්‍යන්තර වෙළෙඳාමෙන් ශ්‍රී ලංකාවට විශාල ආදායමක් ලබාගත හැකි එක් ක්‍රියාමාර්ගයක් වශයෙන් හැඳින්වෙයි. ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය නොවෙන භාණ්ඩ වර්ග මෙරටට ආනයනයකොට ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හරහා ලැබෙන බදු සහන උපයෝගී කර ගනිමින් ඒවා ඉන්දියාව වැනි රටවලට ප්‍රතිඅපනයනය කිරීම මෙහිදී මූලික වශයෙන් සිදුවෙයි. එහෙත් මේ ක්‍රියාවලිය සිදුවන්නේ නීතියට අනුකූලව පමණක් නොවේ. නීති විරෝධී ආකාරයට ද එය සිදුවෙයි. එසේ වනවිට ශ්‍රී ලංකාව තුළ නිපදවෙන ලෝක වෙළෙඳපොළේ මිලක් තිබෙන භාණ්ඩ පවා ගෙන්වා මෙරට නිෂ්පාදිතය සමඟ මිශ්‍රකොට ප්‍රතිඅපනයනය සිදු කෙරෙයි. එහිදී භාණ්ඩ ගෙන්වීමේදී රජයට ලැබිය යුතු ගාස්තු ගෙවීම් පැහැරහැරීම පමණක් නොව මෙරට භාණ්ඩවලට ජාත්‍යන්තරව ඇති පිළිගැනීමට ද සිදුවන්නේ හානියකි.

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය වන ඇතැම් සුළු බෝගවලට කාලයක සිට ප්‍රතිඅපනයනයේ අහිතකර පල විපාකවලට මුහුණපෑමට සිදුව තිබේ. ගම්මිරිස් මේ සඳහා පෙන්වාදිය හැකි හොඳම උදාහරණයයි. ගම්මිරිස් මෙරට නිෂ්පාදනය වන සුපිරි ගණයේ සුළු බෝග වර්ගයක් වශයෙන් හැඳින්වූවාට වරදක් නැත. ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස් ප්‍රමාණය ලෝකයේ අවශ්‍යතාවලට කෙසේ වෙතත් මේ රටේ අවශ්‍යතාවලට පවා ප්‍රමාණවත් නැත. මේ නිසාම ගම්මිරිස්වලට හැමදාමත් ලැබුණේ හොඳ මිලකි. එසේම ශ්‍රී ලංකාවේ ගම්මිරිස් රසයෙන්, සුවඳින් සහ ගුණාත්මකභාවයෙන් ඉහළම ප්‍රමිතියක පවතී. මේ නිසා ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ ගම්මිරිස්වලට තිබුණේ ඉහළම පිළිගැනීමකි. ලැබුණේ ඉහළ මිලකි. එහෙත් මේ දෙකටම දැන් කාලයක සිට කණකොකා හඬා තිබේ. ඒ හේතුවෙන් ගම්මිරිස් වගාකරුවන් වැටී සිටින්නේ අලි අමාරුවකය.

ගම්මිරිස් වගාවට මෙලෙස හෙනහුරා ලැබුවේ ප්‍රතිඅපනයන කතාවත් සමඟය. ලෝකය තුළ ගම්මිරිස් වැඩි වශයෙන් වගා කරන රටක් වන වියට්නාමයෙන් තත්ත්වයෙන් බාල ගම්මිරිස් ලාබෙට ආනයනයකොට මෙරට ඉස්තරම් ගම්මිරිස් සමඟ මිශ්‍රකොට ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වශයෙන් ප්‍රතිඅපනයනය ඇරුඹූ දා සිට රටේ ගම්මිරිස් ගොවියාට ලැබුණු මිල අඩකටත් වඩා පහළ වැටුණේය. වියට්නාමයෙන් ඕනෑ තරම් ගම්මිරිස් ආනයනය කිරීමට අවසර ලැබුණේ කෙසේද, ඒවා පසුපස සිටින්නේ කවුද යන්න සොයා බැලීමට රජය ද උනන්දුවන බවක් පෙනෙන්නට නැත. රටේ ගම්මිරිස් ගොවියාට වඩා මේ ජාවාරම පසුපස සිටින දේශපාලනඥයන් රැකගැනීමේ අවශ්‍යතාව නිසා එසේ කටයුතු සිදුවන බව තේරුම් ගැනීම අපහසු නැත.

ගම්මිරිස් වගාකරුවන්ගේ මේ බරපතළ ගැටලුව කලින් මේ විෂය භාරව සිටි දයා ගමගේ ඇමැතිවරයාගේ අවධානයට යොමුකළද එයින් පලක් නොවීය. ඔහු දැරූ ස්ථාවරය වූයේ එමගින් රටේ ගම්මිරිස් වගාවට හානියක් සිදුනොවන බවය. එහෙත් ඒ වනවිට ද රුපියල් 1600ක පමණ ඉහළ මිලක් තිබූ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 600 තරම් පහත වැටී තිබිණි. ඊට ඔහුගෙන් ඒ කාලයේදී කිසිම පිළිතුරක් නොලැබිණි. එහි ප්‍රතිඵල පසුගිය වසරේ පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී හොඳින් දැකගත හැකි විය. ගම්මිරිස් ඇතුළු සුළු බෝග වගා කරන පළාත්වල ඡන්දය ප්‍රකාශවී තිබූ ආකාරය නිරීක්ෂණය කිරීම පමණක් ඒ සඳහා සෑහෙනු ඇත. විෂය භාරව අලුත් ඇමැතිවරයකු පත්වී සිටින නමුත් ගම්මිරිස් වගාකරුවන්ගේ ගැටලුවලට තවමත් හරිහමං පිළිතුරක් ලැබී නැත.

ගම්මිරිස් පමණක් නොව කරුංකා සම්බන්ධයෙන්ද පවතින්නේ එවැනිම ගැටලුවකි. ප්‍රතිඅපනයනයට මුවාවී පාකිස්තානය වැනි රටවලින් මෙරටට ආනයනය කරනු ලබන කරුංකා මෙරට නිෂ්පාදන වශයෙන් සහතිකකොට සාක් කලාපයේ වෙළෙඳ ගිවිසුම්වල සහන ලබාගෙන ප්‍රතිඅපනයනය කිරීම විශාල ජාවාරමකි. රේගුවේ ආරංචි මාර්ග පවසන්නේ මේ ජාවාරම හේතුවෙන් රටට රුපියල් බිලියන ගණනින් බදු මුදල් අහිමිවන බවය. පසුගිය සතියේ සිදුවූ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය හිටි අඩියේ මාරුකිරීම පසුපස ඇත්තේද මෙවැනි ජාවාරම්කරුවන්ගේ ප්‍රබල හස්ත කිහිපයක් බවද කියැවිණ. කෙසේ වුවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය රාජකාරිය හරිහැටි ඉටුකරන, ජාවාරම්කරුවන්ට හිස නොනැමූ විශිෂ්ට නිලධාරිනියක බව පවසමින් රේගු නිලධාරීන් සටන් මඟට අවතීර්ණවීම නිසා රජයට එම මාරුකිරීමේ තීන්දුව හකුලා ගැනීමට සිදුවිය. ගම්මිරිස් - කරුංකා ජාවාරම්වල මහමොළකරුවන් අල්ලා නීතියේ රැහැනට හසුකර දී එමගින් රටට අහිමි වූ බිලියන ගණන් බදු මුදල් ආපසු රටට ලබා දීමට කටයුතු කරන එවැනි නිලධාරීන් අකාර්යක්ෂම නිලධාරීන් වශයෙන් ඇතැම් වගකිවයුත්තන් විසින් හඳුන්වා දෙන්නේ ඇයිද යන්න අපට තිබෙන ලොකුම ගැටලුවය.

අපේ රටේ දේශීය නිෂ්පාදකයන් රැකගැනීමට අවශ්‍ය වන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වැනි, ජාවාරමුන්ට එරෙහිව අභීත තීන්දු ගන්නා කොන්ද කෙළින් තබාගෙන රාජකාරි කරන විශිෂ්ට ගණයේ නිලධාරීන් මිස තමන්ගේ සාක්කු පිරෙනවා නම් රටේ සුළු ගොවියාට, කර්මාන්තකරුවාට හෙණ ගැහුවත් අපට මොකදැයි සිතන ගණයේ තුට්ටුදෙකේ දේශපාලනඥයන් නොවේ. අපේ රටේ දේ අපට අගේ යැයි සිතන දේශපාලනඥයන් සහ නිලධාරීන් බිහිවන තුරු අපේ රටට දියුණුවක් නම් දැකිය නොහැකිය. එවැනි අය නැතැයි කියා අපි නොකියමු. එහෙත් ටික දෙනකුගේ ජාවාරම් නිසා හොඳ මිනිසුන්ගේ කීර්තිය සහ අභිමානය ද සේදී යන බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.