“ඡන්දය කෝ මැකෝ” යන්න පසුගිය කිවිදා දැක්මේ ශීර්ෂ පාඨය ය. එම ලිපිය මා මිත්‍ර චරිත හේරත්ගේ ය. ඊට සති කීපයකට පෙර කිවිදා දැක්මක මා අවධාරණය කළ කාරණාවක් වූයේ දූෂිත මැතිවරණයකටත් වඩා මැතිවරණ නොපැවැත්වීම හෝ කල් දැමීම භයානක වන බව ය. ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බව ය. මේ දිනවල නොපවත්වා කල් දමා ඇත්තේ පළාත් සභා කීපයක මැතිවරණ ය. පවත්වන ලෙස ඉල්ලා සිටින්නේ ඒ පළාත් සභාවල මැතිවරණ ය. ඒ ගැන මගේ විරෝධයක් නැත. ඊට විරෝධය පෑමෙන් හෝ පක්ෂවීමෙන් පලක් නැත යන්න මේ මොහොතේ මගේ අදහස ය. එවැනි තැනකට මා වැටුණේ පළාත් සභා යනු කිසිම වැදගැම්මකට නැති මහජන මුදල් සහ සම්පත් නාස්ති කරන මහජන පීඩා වැඩි කරන නාස්තිකාර, පීඩාකාරී සහ අමන ආයතන පද්ධතියක් ය යන්න වසර තිහක පමණ කාලයක් තිස්සේ එම ආයතන ඔප්පු කරමින් සිටින නිසා ය. මේවා නාස්තිකාර සහ අමන ආයතන බවට වූ උදාහරණ දැන් දැන් මතුපිටට එන්නේ පාන්දර වනවිට ඡන්ද ප්‍රතිඵල නිකුත් වන්නා සේ වූ වේගයකින් ය.

මේ මැතිවරණ ඉල්ලා සිටීමත්, මැතිවරණ නොපවත්වා සිටීමත් අරමුණු කීපයක් උඩ සිදුවන්නකි. ආණ්ඩු විරෝධීන් මැතිවරණ ඉල්ලා සිටින්නේ බල තරගය තුළ තම බලය වැඩි බව නැවත වතාවක් ඔප්පු කර පෙන්වන්නට ය. ඒ පෙන්වීම මඟින් ආණ්ඩුව බිය ගැන්වීමට ය. එසේම ඒ මඟින් ජනයා වැඩි වැඩියෙන් තම ව්‍යාපාරයට ගොනුකර ගැනීමට ය. ඉදිරියේදී එන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජය ගන්නේ අපය යන මතය ජන මනස තුළ තහවුරු කරන්නට ය. මැතිවරණ නොපවත්වා කල් දමන අයගේ අරමුණු ඊට වඩා වෙනස් ය. එහෙත් අර මුලින් කී අයගේ අරමුණුවලට ප්‍රතිචාරාත්මක ය. ඔවුන් මැතිවරණ කල් දමන්නේ පෙබරවාරි ප්‍රතිඵලය මේ මැතිවරණවලදීත් සිදුවේය යන බියට ය. එසේ වුවහොත් ඉදිරි මැතිවරණවලදී අවාසියක් වේ ය යන සැකයට ය. එසේ නොමැතිව මේ පාර්ශව දෙක කටයුතු කරන්නේ පළාත් සභා නැතිව රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ ආණ්ඩුකරණයේ හෝ ආර්ථිකයේ හෝ අර්බුදයක් ඇතිවේය යන්න හෝ ඒ මඟින් ජන සමාජයට පීඩාවක් අත්වේය, ඒ පීඩාවෙන් ජනයා ගලවා ගත යුතුය යන සද් චේතනාවෙන් නම් නොවන බව කාටත් පැහැදිලි ය.

මහා ආණ්ඩු බල තරගයේ ගොදුරක් මිස මෙරට පළාත් සභා සහ ප්‍රාදේශීය ආණ්ඩු පළාත් සහ ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදයේ මෙවලම් බවට තවම පත් වී නැත. පත්වන ලකුණක් ද නැත. දේවල් සිදුවන්නේ මේ ලෙසටම නම් එවැන්නක් කිසිදාක සිදුවන්නේ ද නැත. විශේෂයෙන්ම පළාත් සභා යනු නාස්තිකාර සහ අමන වැඩකටම නැති පුස් ආයතන ව්‍යුහයක් බව මෙරට ජනයා තේරුම් ගෙන බොහෝ කල් ය. ඔවුන් සිටින්නේ ඊට කරන්න දෙයක් නැතිව නොව එයට ඉඩක් නැතිව ය. අසූහත අනූව කාලයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ බලහත්කාරය නිසා විරෝධතා දැක්වීමට මහ පාරට ආ කුඩා පාසල් ළමුන් ‘පළා බබා අපට එපා’ යැයි හඬ නැගූ සටන් පාඨය ‘පළාත් සභා අපට එපා’ යැයි නිවැරදි ලෙස හඬ නඟන්නට කාලය එළඹ ඇතැයි කෙනෙකුට සිතු​​ණොත් එහි ඇති කිසිදු වැරැද්දක් නැත.
පළාත් සභා වැඩියෙන්ම වුවමනා වූයේ උතුරට සහ නැගෙනහිරට ය. ඒ අන්ත වර්ගවාදී පදනමක් උඩ ය. මහජන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වාර්ගික ප්‍රජාතන්ත්‍රවාදය වටින්නේ යැයි ආවැඩූ නෛතික වාමවාදීන් සහ යුරෝවාදී බුද්ධිමතුන් ඉන්දීය බලහත්කාරයේ ඇටවුමක් වූ පළාත් සභා ක්‍රමය අනුමත කළේ සහ තහවුරු කළේ දකුණේ සහ උතුරේ ලක්ෂයකට අධික වූ දේශපාලන ඝාතන සිදු වූ පසුබිමකය. ඒ, මිනිස් ජීවිතවලට වඩා පළාත් සභා වටින්නේ ය යන පදනමේ පිහිටා විය හැකි ය.

අරුමයකි, අද වනවිට වඩාත් ම අසාර්ථක උතුරු පළාත් සභාව ය. මා මිත්‍ර, නීතිඥ ශිරාල් ලක්තිලක විසින් ටික කලකට පෙර විධිමත්ව සිදු කරන ලද නිරීක්ෂණ මත පදනම්ව පැවසුවේ තවත් බලතල ඉල්ලන උතුරු පළාත් සභාව තිබෙන බලතලවත් නිසි ලෙස පාවිච්චි නොකරන බව ය. එසේම ඒ බලතල මත පදනම්ව ජනයා සඳහා වැඩ කිරීමට ඇවැසි ප්‍රඥප්ති කිසිවක් සම්මත කොටගෙන නොමැති බව ය. මුළුමනින්ම අන්ත වාර්ගික පදනමක් මත ස්ථාපිත වී ඇති උතුරු පළාත් සභාව අඩුම තරමින් ඒ වාර්ගික හේතු නිසා හෝ තම ජනයාගේ ආර්ථික, සමාජ මට්ටම් වැඩිදියුණු කිරීම සඳහා කර ඇත්තේ මොනවාද? කරනු ලබන එකම දෙය නම් කිසිවක් නොකර සිටීම වසා ගැනීම සඳහා ‘ගමේ, නගරයේ, වීදියේ නම් වෙනස් කිරීම, පිළිම ඉවත් කිරීම’ වැනි සරල සහ අන්ත වර්ගවාදී කාරණා උළුප්පමින් පොදු ජනයාට තවතවත් වාර්ගික අන්තවාදී විෂ එන්නත් කිරීමය. ජවිපෙ පළාත් සභාවලට විරුද්ධ විය. එහෙත් ඒ විරෝධය පදනම් වූයේ අද වැනි දවසක පළාත් සභා නාස්තිකාර සහ අමන ව්‍යුහයක් බවට පත්වෙනු ඇත යන අනාගතවාදී දැක්මකින් නොවේ. පළාත් සභා නිසා රට කැඩෙනු ඇත යන විශ්වාසයේ පිහිටා ය. ඒ කෙසේ වෙතත් දැන්නම් පළාත් සභා ක්‍රමය යනු අමුම අමු විකාරයකි. මහජන මුදල් සහ සම්පත් නාස්තියකි. පළාත් සභා නිසා සිදු වූයේ කැඩීයාම නොව රට කැතවීම ය. කලාව කුමක් සඳහා ද යන්න පරණ විවාදයකි. කලාව කලාව සඳහාය යන්න එක් මතයකි. ඊට එරෙහිව ආ මතය වූයේ කලාව සමාජ ප්‍රගමනය සඳහාය යන්නය. මෙරට ජනයා ඇසුවොත් පාර්ලිමේන්තුව කුමක් සඳහා ද යනුවෙන් ඇසුවොත් ඊට ඇත්තේ එක පිළිතුරක් පමණි. එනම් පාර්ලිමේන්තුව එහි සිටින පාලකයන් දෙසීය විසිපහ, ඔවුන්ගේ පවුල්, ඥාතීන්, හිතවතුන්, වටේ කැරකෙන්නන් සහ ගොඩනැගිල්ල තුළ සිටින නිලධාරීන් සඳහාය යන්න ඒ එකම පිළිතුර ය. එසේ නැතිව ජනතාව සඳහා වන පාර්ලිමේන්තුවක් අපට නැත. පළාත් සභාව ඊට හපන් ය. පළාත් සභාව පළාතේ ජනයා සඳහා නොව එහි අරක් ගෙන සිටින පාලකයන්, ඔවුන්ගේ පිරිවර සහ නිලධාරීන් සඳහා ය. දැන් දැන් ප්‍රාදේශීය ආණ්ඩුවලටත් ඒ ඉරණම ම අත්වෙමින් පවතී. ලක්ෂ හය හමාරේ පුටු, ලක්ෂ පනස් හතකින් අලුත්වැඩියා කළ වැසිකිළිය, ප්‍රාදේශීය ආණ්ඩුවක සභාපතිට ගැනීමට යන කෝටි දෙකේ කාරය යනු මේ ආයතන දෙවර්ගයේම තමන් ගැන පමණක් හිතන හැසිරීම පෙන්නුම් කරන සරල උදාහරණ තුනක් පමණය.

අනෙක් කාරණය නම් පළාත් සහා මෙහෙයවන්නේ පළාතේ මහජන අභිලාෂ මඟින් නොවීමය. ඒවා හසුරුවන්නේ මහ ආණ්ඩුවේ සහ කොළඹ පක්ෂවල වුවමනාවලට ගැළපෙන ආකාරයට ය. ඒවා පළාත් ආණ්ඩු නොව මහ ආණ්ඩුවේ හෝ මහ පක්ෂවල දේශපාලන ඉත්තන් ය, තිප්පොළවල් ය. පළාත් සභාවල තනතුරු තීරණය කරනු ලබන්නේ පළාතේ ජනතාව හෝ තේරී පත්වන්නන් නොව මහ ආණ්ඩුව හෝ මහ පක්ෂ විසින් ය. සිදුවන්නේ එය නම් පළාත් සභා නඩත්තු කිරීමේ තේරුමක් තිබේද? ඇත්තටම පළාත තුළ මහජනයා ට හිමි වූයේ තනිකම සහ මධ්‍යම ආණ්ඩුවෙන් වෙන්වීමේ වියෝ සාංකාව පමණක්ම ය. සුළු උදාහරණයකට යමු. 2016/17 මුදල් වර්ෂය සඳහා මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත, වනිතා කටයුතු, තරුණ, ක්‍රීඩා සහ ග්‍රාම සංවර්ධන යන අංශ පහක් සහිත මුළු අමාත්‍යාංශයට ම පළාතේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කළ මුදල වූයේ රුපියල් මිලියන හතළිහකි. එනම් ලක්ෂ 400 කි. එම අමාත්‍යාංශයේ වැටුප් ගෙවීම සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන හාරසියයකි. එනම් ලක්ෂ 4000 කි. මේ අනුව පළාත් සභාව තිබෙන්නේ පළාත් සභාවේ පැවැත්මට මිස ජනයාට සේවය කිරීමට ද යන්නට ඇති පිළිතුර ඉතා පැහැදිලි ය. 

බස්නාහිර පළාත් සභාවේ නියෝජිතයන් 104 සඳහා පුටු ගෙන්වීමට වෙන් කළ මුදල රුපියල් හයකෝටි හැටපන් ලක්ෂ හැටදාහකි. එනම් ලක්ෂ 665 කට වඩා වැඩි ගණනකි. මොහොතක් හිතන්න, 2,722,000 ජනගහනය සිටින මධ්‍යම පළාතේ අංශ පහකින් යුත් අමාත්‍යංශයක් සඳහා ප්‍රාග්ධන වියදම් ලක්ෂ 400 ක් වනවිට ඒ අමාත්‍යංශයේ වැටුප් ගෙවීම සඳහා ලක්ෂ 4000 ක්. බස්නාහිර පළාත් සභාවේ සභිකයන් 104 කට පුටු ගැනීම සඳහා පමණක් ලක්ෂ 665 ක්. පාර්ලිමේන්තුවේ ඇමැතිවරයකුට වාහනයක් ගැනීම සඳහා අවම රුපියල් ලක්ෂ 400ක්. නැවත ඇසීමට ඇත්තේ පළාත් සභා කා සඳහා ද යන්නය.

අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, ක්‍රීඩා, ඉඩම්, කර්මාන්ත, ග්‍රාමීය සංවර්ධන, පශු සම්පත්, පේෂකර්මය, රාජ්‍ය සේවය සහ ගොඩනැගිලි යනාදී පළාත් සහාවලට බාර දී ඇති අංශවල අවුරුදු තිහක් පමණ තිස්සේ මහජන මුදල් සහ සම්පත් නාස්තියක් සහ පිරිහීමක් මිස සිදු වූ සැලකිය යුතු ප්‍රගතියක් නොමැත. උදාහරණයක් ලෙස මධ්‍යම පළාතේ පේෂ කර්මාන්තයට වූ විනාශය දැක්විය හැක.

පළාත් සභා නිසා ඇත්තටම සිදුවුණේ අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, ක්‍රීඩා, ඉඩම්, කර්මාන්ත, ග්‍රාමීය සංවර්ධන, පශු සම්පත්, පේෂකර්මය, රාජ්‍ය සේවය සහ ගොඩනැගිලි යනාදී අංශ ජාතික සහ පළාත් වශයෙන් දෙපළු කිරීමය. එසේ කොට මහා ආණ්ඩුව පොදු ජන වගකීමෙන් සහ බරින් ඈත්වීමය. ජනයාට සිදුවී ඇත්තේ ජාතික ආයතන සහ සේවාවලට හූල්ලමින් පළාත් අම්බලන්වල ළතවෙන්නට ය. මේ පළාත් සභාවලට නාස්ති කරන මුදල් සහ සම්පත් විධිමත් නියාමන ක්‍රමවේදයක් යටතේ ප්‍රාදේශීය ආණ්ඩු හරහා යෙදවූයේ නම් ලැබීමට තිබූ මහජන ප්‍රගතිය අතිමහත් ය.

එළියට නොපෙනෙන තවත් පැත්තක් වේ. ඇතැම් පාලකයන් ට පළාත් සභා ක්‍රමය මේ වනවිට ‘පාර්ලිමේන්තු පාරේ’ ඇති තාවකාලික ලැගුම්හලකි. එහෙත් පාර්ලිමේන්තුවට යා නොහැකි සමහර පාලකයන්ට සහ ඇතැමුන්ගේ මවුපියන්ට එය අනාථ නිවාසයකි, මහලු මඩමකි. පළාත් සභා යනු අති දැවැන්ත ජාතික ධන නාස්තියක් බව මේ සභාවල සිටින කය සේම සිත ඇති බොහෝ පාලකයන් (නියෝජිතයන්) ද පිළිගන්නා කාරණාවකි. මේ පාලකයන් ද පළාත් සභාවල සිටින්නේ අපමණ අගයක් නැතිව අපමණ දුකකිනි. ඉතින්, ජනයාටත් වැඩක් නැති, හුදු මහජන මුදල් සහ සම්පත් නාස්තියක් පමණක්ම වන එහි පාලකයනුත් දුකින් සිටින පසුබිමක, ‘මැතිවරණයක් නොතියාම පළාත් සභා අහෝසි කළ යුතුය’ යන අදහසටත් වටිනාකමක් තියෙන බව මේ මොහොතේ මගේ ‘කිවිදා දැක්ම’ ය.