සභාග රජයේ ප‍්‍රධාන පාර්ශවකරුවන් ද්විත්වය ප‍්‍රබල පරාජයකට මුහුණ දුන් පසුගිය පෙබරවාරි මස 10 වැනි දා පැවැති පළාත් පාලන ආයතන මැතිවරණය සේම වසරාවසානයේ පවත්වන්නට යෙදී තිබුණු පළාත් සභා මැතිවරණය, යථාර්ථයක් බවට පත්කර ගැනීම සිහිනයකට සීමාවන සේයාවක් දැකිය හැක.

රජයේ යාන්ත‍්‍රණය මැතිවරණයක් පැවැත්වීම කරා ක‍්‍රමිකව යොමු වෙමින් පැවැතිය ද, මැතිවරණය පැවැත්වීම ඉතාම අවිනිශ්චිත බවට ලකුණු පෙන්වන කරුණු ගණනාවකි. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මැතිවරණය පැවැත්විය යුතු දිනය කල්තියාම තීරණය කර තිබීම එවැන්නකි.

බ‍්‍රහස්පතින්දා කතානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකට එක්වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා කියාසිටියේ මැතිවරණය සඳහා සූදානම් වීමට දෙසැම්බර් මාසය පමණ වන තෙක් රජයට කල්ගත වනු ඇති බවයි.

අවසන් වරට පළාත් පාලන ආයතන මැතිවරණය සිහිපත් කළහොත් ඒ අරභයා අමාත්‍යවරයා අවස්ථා කිහිපයකදීම මැතිවරණය පැවැත්වීමේ දින වෙනස් කිරීමේ යෙදුණු බව අමතක නොවේ. එසේ දින වෙනස් කිරීමට හේතුව වූයේ කි‍්‍රයාපටිපාටිය සම්බන්ධයෙන් වන ගැටලූය.

රජය අවසානයේ මැතිවරණය පැවැත්වීමට අවනත වූයේ විපක්ෂයෙන් එල්ල වුණු විරෝධය හමුවේය. කෙසේ වුවද, මුස්තාපා අමාත්‍යවරයාට එරෙහිව චෝදනා නැගීම සාධාරණ නොවේ. තමාටම අනන්‍යය වන සීමා ඔහුට තිබෙන අතර, ප‍්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් තීරණය කරන්නේ ඔහු නොවේ.

කතානායකවරයා හා සාකච්ඡාවක යෙදීමට අවස්ථාවක් ඉල්ලා තිබුණේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාය.

”වසරාවසානය වන විට මැතිවරණය පැවැත්වීමට අප සූදානමින් සිටිනවා කියා මා කතානායකතුමාට කීවා,” යයි මහින්ද දේශපි‍්‍රය මහතා සන්ඩේ ටයිම්ස් හා පැවසුවේ ය.

ඒ සම්බන්ධයෙන් කතානායකවරයා මුස්තාපා අමාත්‍යවරයාගෙන් විමසා සිටි බවත් එහිදී මැතිවරණය පැවැත්වීම සඳහා වන සැලැස්මක් දෙසැම්බර් මාසය පමණ වන විට සකස් කළ හැකි වනු ඇති බවත් ඔහු කීවේ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය.

මැතිවරණය සඳහා වන ඡන්ද ලේඛනය ලබන සැප්තැම්බර් 30 වැනි දා වන විට සහතික කැරෙනු ඇති බව ද ඔහු පැවසුවේය. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුතු වන සීමානීර්ණ කමිටුවේ සභාපතිවරයා වන ආචාර්ය කේ.තවලිංගම් මහතා ද මෙම සාකච්ඡාවට සහභාගීව සිටියේය. පළාත් සභා සඳහා නව සීමා නීර්ණය කිරීම මෙම කොමිසමේ කාර්යභාරයයි.

දැනට තිබෙන ගැටලූව වන්නේ මැතිවරණය පැවැත්විය යුත්තේ කවර ක‍්‍රමයක් යටතේ ද යන්නයි.

එක් අදහසක් වන්නේ, විශේෂයෙන් විපක්ෂය සැළකීමේදී, පෙර පැවැති ක‍්‍රමය යටතේ, එනම් දැනට සිටින සහ බලයේ සිටි පළාත් සභා සාමාජිකයන් පත්කර ගැනුණු සමානුපාතික ක‍්‍රමය යටතේ, මැතිවරණය පැවැත්විය හැකි බවයි.

නමුත් පළාත් පාලන ආයතන මැතිවරණය හා සමානව, පළාත් සභා මැතිවරණය සඳහා ද, මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක්, එනම් කේවල ක‍්‍රමය සහ 40% ක සාමාජික නියෝජනය සමානුපාතික ක‍්‍රමය යටතේ වන ක‍්‍රමයක් යොදාගැනීම සුදුසු බව රජයේ විශ්වාසයයි.

නව යාන්ත‍්‍රනයක් සකස් කිරීම සහ ඒ අරභයා එකඟතාවයකට පැමිණීම සැළකිය යුතු කාලයක් ගතවන කි‍්‍රයාවලියක් වනු ඇත. මෙම කටයුතුවලට පෙරාතුව, සීමානීර්ණ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් ලබන 5 වැනි දා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමටද නියමිතය.

එම විවාදය ඉල්ලා ඇත්තේ දෙමළ ජාතික සන්ධානයයි. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුද, නොඑසේ නම් එය ලබන වසර දක්වා කල් දැමිය යුතු ද, සම්බන්ධයෙන් වන විවිධ අදහස් එහි දී මතුවනු ඇත. කෙසේ හෝ අවසානයේ දී අවධානයට ගැනෙනු ඇත්තේ බහුතර මතයයි.

පළාත් පාලන මැතිවරණය අරභයා ඇතිව තිබෙන මෙම ගැටළුවේ ආරම්භය පසුගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වා දිවෙන්නකි. පළාත් සභා (සංශෝධන) පනත් කෙටුම්පත රජය කඩිමුඩියේම සම්මත කරගත්තේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඒ වන විටත් ධූර කාලයන් අවසන්ව මැතිවරණ පැවැත්විය යුතු තත්ත්වයක තිබූ උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල එම මැතිවරණයන් අහෝසි විය. එදා සිට අද වන තෙක්ම එම පළාත් සභා පවතිනුයේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේය.

උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභාවල ධූර කාලය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී අවසන් වීමට නියමිතය. බස්නාහිර සහ දකුණ පළාත් සභාවල ධූරකාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ මාර්තු මාසයේදීය. ඌව පළාත් සභාවේ ධූර කාලය 2019 සැප්තැම්බර් මාසයේ අවසන් වනු ඇත. සම්මත කරගත් නව නීතිය යටතේ පළාත් සභාවල බලය තමන් සතුකර ගැනීමට රජය සමත්ව තිබේ.

පළාත් සභා (සංශෝධන) පනත බලාත්මකව මාස 8 ක් පමණ ගතව තිබෙන තැන එහි ඇතැම් දිගුකාලීන බලපෑම් දැන් විපක්ෂ කණ්ඩායම් වෙත දැනෙන්නට ගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන සැළසුම්කරුවා සහ මතවාදියා වන බැසිල් රාජපක්ෂ මහතා සති කිහිපයකට ඉහත පැවැති හමුවක දී මෙය ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ අවධානයට යොමු කළේය.

සංශෝධනය බලාත්මක කර තිබෙන්නේ පළාත් සභා මැතිවරණය කල්දැමීමේ වුවමනාවෙන්ම බව කියා සිටි ඔහු, සංශෝධනය ඉදිරිපත් කිරීම සඳහා දෙමළ ජනතාව නියෝජනය කරන ප‍්‍රධාන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානයේ ද පූර්ණ සහාය රජය වෙත හිමිවුනු බව ද කීවේය.

දෙමළ දේශපාලන ගැටළුව විසදීම සඳහා ගැනුණු පියවරයන්හි එක් කොටසක් වන්නේ පළාත් සභා ක‍්‍රමය බවද රාජපක්ෂ පැවසුවේය. එසේ තිබියදී, දෙමළ ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින එම දේශපාලන පක්ෂ දැන් එක්සත් ජාතික පක්ෂය හා එක්ව පළාත් සභා මැතිවරණ කල්දැමීම වෙනුවෙන් පෙනී සිටින්නේ නම් අවධානය යොමු කළ යුතුව තිබෙන වඩා ප‍්‍රබල ගැටලූවක් තිබෙන බව ඔහු පැහැදිලි කළේය.

බැසිල් රාජපක්ෂ කියා සිටි අයුරින් එම ගැටලූව වන්නේ පළාත් සභාවක කි‍්‍රයාකාරීත්වයයි. බලය බෙදා හැරීමේ අරමුණින් ඇති කෙරුණු බව කියන පළාත් සභාවක්, ඡන්දයකින් පත්වන සාමාජික පිරිසක් නොමැතිව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් සැබෑවටම තිබේද ද යන්න ඔහුගේ අවධානයට ලක්විය. මෙය වඩාත් වැදගත් වන්නේ එවැනි තත්ත්වයකට සම්පූර්ණ සහාය ලබාදී තිබීමෙන්, මැතිවරණයක් පැමිණෙන තෙක් සදාකාලිකව බලා සිටීමට දෙමළ ජාතික සන්ධානයද එකඟත්වය පළකර තිබීම නිසා බව රාජපක්ෂ කිවේය.

සාමාජිකයන් නොමැති නම් පළාත් සභා පවත්වාගෙන යෑමේ තේරුමක් නොමැති බවට කෙනෙකුට තර්ක කළ නොහැකිද?, එයද, එවැන්නකට රටේ ප‍්‍රබලම දෙමළ දේශපාලන පක්ෂයේද සහාය ලැබෙන අවස්ථාවක?

කතානායකවරයා හමුවීමට පෙරාතුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පාර්ලිමෙන්තුවේ දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිපදෙනෙක් හා හමුවකට සහභාගී විය. රෝහණ ලක්ෂ්මන් පියදාස (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය), කාවින්ද ජයවර්ධන (එක්සත් ජාතික පක්ෂය), බැසිල් රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ), නිශාන්ත වීරසිංහ (ජාතික හෙළ උරුමය) ඔවුහුය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු වන රත්නජීවන් හූල් මහතා මෙම රැස්වීමේ දී ප‍්‍රබල අදහස් දැක්වීමක යෙදින.

”නියමිත කාල රාමුවේ මැතිවරණ පැවැත්වුනේ නැතිනම් කොමිසම ඒ සම්බන්ධයෙන් ගතයුතු සියලූම පියවර ගන්නවා” ඔහු කීවේය. රැස්වීමට එක්ව සිටි පිරිසෙයින් දෙදෙනෙකු කියා සිටියේ ඔහු එයින් අදහස් කළේ කොමිසම නෛතික කි‍්‍රයාමාර්ගයන්ට එළැඹෙනු ඇති බවකි.

හූල්ගේ ප‍්‍රකාශය හමුවේ ජාතික හෙළ උරුමයේ නියෝජිතයා වූ වර්ණසිංහ කෝපයට පත්විය. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ කවදාද යන්න තීරණය කිරීම පාර්ලිමෙන්තුවට අයත් දෙයක් බවට තර්ක කළ ඔහු මේ සම්බන්ධයෙන් අදාළ නීති ඉදිරියේ දී හඳුන්වා දිය යුතුව තිබෙන බව පැවසුවේ ය.

සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා වර්ණසිංහගේ අදහස් දැක්වීම වැරදි යැයි බැහැර කළේය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව නියමිත කාලයට මැතිවරණ පැවැත්වෙන බව සහතික කිරීම මැතිවරණ කොමිසමේ ව්‍යවස්ථාපිත වගකීම වන බව ඔහු පැවසුවේය. මැතිවරණ කල්දැමීම ජනතාවගේ ව්‍යවස්ථාමය අයිතීන් උල්ලංඝණය කිරීමක් බව ඔහු තරයේම අවධාරණය කළේය.

කොමසාරිස්තුමා වැට උඩ ඉන්න එපා යැයි මුල් අවස්ථාවේ ඔහු ඇමතූ වර්ණසිංහ මහතා, පසුව අවධාරණය කළේ හූල් සහ මහින්ද දේශපි‍්‍රය යන දෙදෙනම ඉල්ලා අස්විය යුතුව තිබෙන බවය.

උද්ගතවූ තත්ත්වය සම්බන්ධයෙන් වර්ණසිංහ සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ මේ අයුරිනි.

”දේශපාලන පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවුනා. සාකච්ඡාවට ගැනුනු ගැටළුව වුනේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ ප‍්‍රමාදය. ඇතැම් පක්ෂ ඒ ගැන සිටියේ අසතුටින්. මැතිවරණය පැවැත්විය යුත්තේ පැරණි ක‍්‍රමය යටතේද නැතිනම් නව ක‍්‍රමය යටතේද යන්න මුල් කරගෙනත් පක්ෂ සාමාජිකයන් අතර බෙදීමක් තිබුනා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියා පක්ෂයේ මධ්‍යම කාරක සභාව තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව. ඒ නිසාම ස්ථීර වචනයක් දිය නොහැකි බව ඔහු පැවසුවා. ජනතා විමුක්ති පෙරමුණත් ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලිව කියා සිටියේ නැහැ”

”නව ක‍්‍රමයේ අදාළ පරිදි වෙනස් කිරීමට හැකි බවත් ඒ අනුව මැතිවරණය පැවැත්විය හැකි බවත් යන්නයි අපගේ ස්ථාවරය වුනේ. මැතිවරණ පවත්වන්නය කියා පීඩනය එල්ල කරන්නට මැතිවරණ කොමිසමට හැකියාවක් නැහැ කියන එක මම පෙන්වා දුන්නා. ඔවුන්ගේ අදහස් දක්වමින් ඒකත් එක්කම කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් කියා සිටියා වගේ සාමාජිකත්වයෙන් ඉවත්වන බවට තර්ජනය කරන්නට, ඔවුන්ට හැකියාවක් නැහැ. කොමිසමේ වගකීම වන්නේ මැතිවරණ සදහා සූදානම් වීම බවයි මම පැවසුවේ. තවත් සුළු පක්ෂයක් මගේ තර්කය හා එකඟවෙමින් අදහස් දැක්වුවා.‘‘

නමුත් මැතිවරණ පැවැත්වීමට සහ මැතිවරණ පැවැත්වෙන දිනය තීරණය කිරීමට මැතිවරණ කොමිසමට සම්පූර්ණ බලය තිබෙන බව එම කොමිසමේ නිලධරයකු නැවත වතාවක් තහවුරු කළේ ය.