කස්තුරි

rankasthuri@gmail.com

පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් ඉකුත් කාලයේ පැතිර ගිය ආරංචි තවදුරටත් අලුත් වෙමින් දේශපාලන කරළියේ තවත් මාතෘකාවක් බවට පත්වී තිබේ. පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය හා ආන්දෝලනාත්මක ප්‍රකාශ පිළිබඳව ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වීම මාතෘකාව ඉස්මතු වීමට හේතු වූයේය.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විවිධ චෝදනා පැමිණිලි ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරුන් කීප දෙනකුගෙන්ම විටින් විට ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබිණ. ඇතැම් ශ්‍රීලනිප ඇමැතිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ ඔහු ධුරයෙන් ඉවත් කරන ලෙසය. එහෙත් ජනාධිපතිවරයා ටික දවසක් නිශ්ශබ්දව සිටි නමුත් පොලිස්පතිවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානයෙන් පසු වූ බව ආණ්ඩුවේ ආරංචි මාර්ග වාර්තා කර තිබිණ. ජනාධිපතිවරයා ඉකුත් කැබිනට් රැස්වීමේදී වාග් ප්‍රහාර එල්ල කළේ එම අධ්‍යනයෙන් පසුව බව ද පැවසේ.

 කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනයට අනුව පොලිස්පතිවරයා තේරීමේ බලය ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටය. එහෙත් පොලිස්පතිවරයා පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. පොලිස්පති ධුරය සඳහා සුදුස්සන් දෙදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයා වෙත යවා තිබිණ. ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූයේ ඒ අතරින් පූජිත් ජයසුන්දර ය. පොලිස්පතිවරයකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාටත් සුදුස්සකු තෝරා ගැනීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටත් පැවරී තිබුණත් පත් කළ පොලිස්පතිවරයකු ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට හෝ බලයක් නැත. ඒ සඳහා වෙනම නීතියක් පවතින අතර එය පාර්ලිමේන්තුව මගින් කළ යුතු දීර්ඝ ක්‍රියාදාමයකි. ඒ නිසා පොලිස්පතිවරයකු ඉවත් කිරීමට නොහැකි අතර අවශ්‍ය නම් ධුරය දරන්නාට ඉල්ලා අස්විය හැකිය.

ඉකුත්දා ආරංචි පැතිර ගියේ ජනාධිපතිවරයා විසින් ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන බවය. සනාථ නොකළ තවත් ආරංචියකින් කියැවුණේ අගමැතිවරයා විසින් ඔහුට ඉල්ලා අස්නොවන ලෙස දැනුම් දුන් බවය. මේ අතර වර්තමාන පොලිස්පති පූජිත් ජයසුන්දරට විශ්‍රාම යාමට තවත් වසරක පමණ කාලයක් ඉතිරිව තිබෙන බව ද වාර්තා වේ. ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු ධුරයෙන් ඉල්ලා අස්නොවන බවකි. පොලිස්පතිවරයා ඉකුත්දා පැවැති උත්සවයකදී සිය හිතවතුන් කීප දෙනෙකු සමඟ පෞද්ගලිකව අපූරු කතාවක් කියා තිබිණ. “මම දැන් පීක් එකටම ගිහිල්ලා. ආයෙත් යන්න තැනක් නැහැ. මෙතැනින් නතර වෙන්න ඕනේ. නැත්නම් කඩා වැටෙනවා.” ඔහු එහිදී කී කතාවයි.

පළාත් සභා මැතිවරණය “ඔන්න තියෙනවා. මෙන්න තියෙනවා.” ආණ්ඩුවේ වගකිවයුත්තන් කියා සිටියද එම මැතිවරණය පැවැත්වෙන බවක් දැනෙන්නට නැත. ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පළාත් සභා මැතිවරණය කුමනාකාරයෙන් හෝ පැවැත්විය යුතු ද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීන්දුවක් ගෙන නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් මැතිවරණය අලුත් ක්‍රමයට හෙවත් මිශ්‍ර ක්‍රමයකට පැවැත්විය යුතුය යන්න තද ස්ථාවරයක පසුවන බව වාර්තා වී තිබේ. එහෙත් එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් දේශපාලන පක්ෂ සියල්ල දෙමළ දේශපාලන පක්ෂත් ඉල්ලා සිටින්නේ පැරණි ක්‍රමයටම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවටය. එහෙත් ආණ්ඩුව තවමත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් ගෙන නැති අතර ඒ හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනයක් ගැන නොව පවත්වන දිනය ගැන හිතාගන්නවත් හැකියාවක් නැතැයි ද සමහර දේශපාලනඥයෝ පවසති. එහෙත් පළාත් සභා මැතිවරණය ජනවාරි මාසයේ කෙසේ හෝ පැවැත්වීමේ සුබවාදී අදහසකින් පසුවෙමින් මැතිවරණ කොමිසම කටයුතු කරමින් තිබෙන බවක් පැවසේ. අගමැති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමයට පැවැත් වීමට දේශපාලන පක්ෂ බහුතරයක් එකඟතාවය පළ කරන බවය. කැබිනට් රැස්වීමේදී ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් ඊට දෝෂාරෝපණ එල්ල වන්නට වූයෙන් ජනාධිපතිවරයා මැදිහත්වී තාවකාලික විසඳුමක් සෙවීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ තීරණයට අනුව පක්ෂ නායක රැස්වීමක් අද කැඳවා අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා අලුත් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි පැවසේ. සජිත් ප්‍රේමදාස සඳහන් කර ඇත්තේ පළාත් සභා මැතිවරණය ගැන ප්‍රශ්නයට වඩා වෙනත් වැදගත් යමක් කිරීමට ආණ්ඩුවට තිබෙන බවය.” බිම් මට්ටමේ සංවර්ධනයට තව තවත් මුදල් වෙන් කරන්න ඕනේ. බිම් මට්ටමේ සංවර්ධනය කඩිනම් කරන්න ඕනේ. ජනතාවට අවශ්‍ය සහන හා සංවර්ධනය. ආණ්ඩුව ඒක කරනකොට ජනතාවට පළාත් සභා මැතිවරණය ඒ තරම් දෙයක් නෙවෙයි. ගම සංවර්ධනය කරලා මැතිවරණයක් පවත්වන්න අපට පුළුවන්” යැයි සජිත් ප්‍රේමදාස කැබිනට් මණ්ඩලයට යෝජනා කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වූ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්  ඇන්ටෝනියන් ගැටරෙස් හමු වූයේය. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවන අවස්ථාවේදී ඊට තවත් අමුත්තියක් කැඳවාගෙන විත් සිටියේය. ඒ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ නියෝජිත ජයත්මා වික්‍රමනායක ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර පැවැති සාකච්ඡාවට ඇය ද එක්වී සිටියේය. එහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෛත්‍රීපාල සිරිසේනට  විශේෂ යමක් කීවේය.

 “මම මීට අවුරුදු හතළිහකට විතර ඉස්සර ඔබේ රටට ගිහින් තියෙනවා. මම ලංකාවේ අනුරාධපුරය, පොළොන්නරුව නරඹන්න ගියා. මම හිතන්නේ 1978 වසරේදී තමයි මම ලංකාවට ගියේ. දැන්නම් අනුරාධපුරය, පොළොන්නරුව දියුණු නගර බවට පත්වෙලා ඇති. නටබුන් එහෙම බලන්න තවමත් පුළුවන්ද? යැයි මහලේකම්වරයා දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමාගේ ගම ද පොළොන්නරුව බවය.

 මේ අතර එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ඇමැතිවරුන් පිරිසකට ඇබැද්ධියක් සිදුවී තිබේ. ශ්‍රී ලංකාවේ ඇමැතිවරුන්ට නවාතැන් ගැනීමට තිබූ හෝටලයේ තවත් විශේෂ රාජ්‍ය නායකයෙක් නවාතැන් ගෙන සිටියේය. ඒ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුය. ඔහු වෙනුවෙන් සුවිශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඇමරිකානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණ. මුළු හෝටලය පුරාම පැවැති දැඩි ආරක්ෂක ක්‍රියාවලිය හේතුවෙන් ශ්‍රී ලාංකික ඇමැතිවරුන්ට ද දැඩි අපහසුතාවන්ට හා සෝදිසි කිරීම්වලට ලක්වන්නට සිදු විය. එය මහත් කරදරයක් වූ තැන ශ්‍රී ලාංකික ඇමැතිවරු ඇමෙරිකානු ආරක්ෂක අංශවලට පැමිණිලි කළහ. එහෙත් එම පැමිණිල්ලෙන් ද එතරම් ඵලක් සිදුවී තිබුණේ නැත.

 රටේ පවතින ආර්ථික අර්බුදය හා දිගින් දිගටම රුපියල කඩා වැටීම සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ ආණ්ඩුවට චෝදනා පිට චෝදනා එල්ල කරමින් සිටී. ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් විවිධාකාර කරුණු කාරණා කියමින් චෝදනා නගමින් තිබේ. මේ අතර ආර්ථික අර්බුදය හා ඊට විසඳුම් යෝජනා ලබා ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීන්දුවක් ගෙන තිබුණේය.

ජනාධිපතිවරයාගේ අදහසවී තිබුණේ සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් එකම වේදිකාවකට කැඳවා ප්‍රශ්නය සාකච්ඡා කිරීමටය. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරයා ආරාධනා කර තිබුණේ බන්දුල ගුණවර්ධනට ය. එහෙත් බන්දුල ගුණවර්ධන ඉකුත් අඟහරුවාදා පස්වරුවේ පැවැති  එම සාකච්ඡාවට සහභාගි වූයේ නැත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බන්දුල ගුණවර්ධනට එම සාකච්ඡාවට සහභාගිවීමට අවසර ලබා දී නොතිබුණ බවය. බන්දුල ගුණවර්ධන ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කළ ද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ජනාධිපතිවරයාගේ එම සාකච්ඡාවට සහභාගි වූයේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් පසුගිය සතියේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු කර තිබුණේ රුපියල කඩා වැටීම පිළිබඳවයි. “රුපියල කඩාවැටීම ගැන ආණ්ඩුව කියන්නේ බහුබූත කතා. ආණ්ඩුවල වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි මේ ප්‍රතිවිපාක භුක්ති විඳින්න සිදුවෙලා තියෙන්නේ. නිෂ්පාදනය කඩා වට්ටලා, පුළුවන් තරම් ණය අරගෙන රට ණය උගුලක හිර කරපු එකේ ප්‍රතිවිපාක අද රුපියල කඩා වැටීම මගින් පේන්න තියෙද්දී මුදල් ඇමති වෙන වෙන කතා කියනවා. ආනයන පාලනය කරලා මේකෙන් ගොඩ එන්න පුළුවන් කියලා හිතනවනම් මංගල සමරවීරගේ මොළය පරීක්ෂණ කරන්න ඕනෑ” අනුර දිසානායක කීවේය. “මේ තරම් අර්බුදයක් තියෙන වෙලාවකත් ආණ්ඩුව රටේ ජනතාවට කොලේ වහලා ගහන්න හදනවා. පර්මිට් නතර කරනවා කියලා විහිළුවක් කරනවා. මන්ත්‍රීවරුන්ගේ පර්මට් දීලා දැන් අවුරුදු තුනහමාරකටත් වැඩියි. අපි ඇරෙන්න අනෙක් හැම මන්ත්‍රීවරයෙක්ම පර්මිට් එකට ගෙනාවේ ලක්ෂ 450ත් පැනපු වාහන. දැන් බොරුවට පර්මිට් නතර කරනවා කියනවා.

එකෙන් පාඩුව වෙන්නෙත් රාජ්‍ය සේවකයන්ට. සමහර අය පරණ වාහනය වික්කා පර්මිට් එකට අලුත් එකක් ගන්න. දැන් එකක්වත් නැහැ” විජිත හේරත් කීවේය. “ආනයන අපනයන පරතරය වැඩි නිසා තමයි අපිට විදේශ විනිමය ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ. ඩොලර් විශාල ප්‍රමාණයක් ඇදිලා යන්නේ ආනයනවලට. ඒවා පාලනය කරන්න දීර්ඝකාලීන නිෂ්පාදන ක්‍රියාවලියක් අපිට ඕනෑ. අතීසාරෙට අමුඩ ගහනවා වගේ වැඩ කරලා මේ වගේ අර්බුදයකින් ගොඩ එන්න පුළුවන්කමක් නැහැ. එහෙම තත්ත්වයක් ඇතුළෙත් ආණ්ඩුව සිංගප්පූරුව, එට්කා වගේ ගිවිසුම් ගහනවා. එකෙන් වෙන්නෙත් අපේ රටේ නිෂ්පාදනය විතරක් නෙවෙයි රැකියා වෙළඳපොළත් අර්බුදයට යන එක. ඒක නිසයි රටට ඇත්ත ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය වෙලා තියෙන්නේ.” ලාල්කාන්ත පෙන්වා දුන්නේය. 

මේ අතර ජවිපෙ නායකයන්ගේ අවධානය ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වෙත යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයන් සාකච්ඡාවක නිතර විය. “දවසින් දවස බඩු මිල ඉහළ යනවා. බදු බර වැඩිවෙනවා. ආණ්ඩුව තෙල් සූත්‍රයක් ගෙනත් ඉන්ධන මිල වැඩිකරනවා. එකෙන් සියලුම භාණ්ඩමිල විතරක් නෙවෙයි බස්ගාස්තු ත්‍රීවිල් ගාස්තු වැඩිවෙනවා. ජනතාව විශාල අසීරුතාවකින් තමයි ජීවත් වෙන්නේ. ජනතාවගේ විරෝධයක් ආණ්ඩුවට තියෙනවා. මේ ඇත්ත විරෝධය ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශයට පත්කරන්න ඕනෑ.” ටිල්වින් සිල්වා කියා සිටියේය. “අපි වෘත්තීය සමිති විදියට දැනටමත් සටනක් ආරම්භ කරලා තියෙන්නේ ජීවන වියදමට සරිලන වැටුපක් ලබාදෙන්න කියලා. ඒ වගේම වතු සේවකයන්ට දිනක වැටුප වැඩිකරගන්න අරගලයක් ආරම්භ කළා. ගොවි ව්‍යාපාරයත්, ධීවර ව්‍යාපාරත් වෙනම සටන් ක්‍රීයාමාර්ග යනවා. මේවා සියල්ල ඒකාබද්ධ කරලා කොළඹ ලොකු උද්ඝෝෂණයක් සංවිධානය කරමු.” ලාල්කාන්ත යෝජනා කළේය. “රාජපක්ෂ කණ්ඩායම ජනතා විරෝධතා විහිළුවට ලක්කළා.

ඒකෙන් වුණේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය ඉස්මතු වුණු එක නෙවෙයි. විරෝධතාව විනෝදතාවයක් වුණු එකයි. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා සැබෑ ජනතා විරෝධතාවයක් කරලා ජනතාවගේ උද්ඝෝෂණය කිරීමේ අයිතියට වටිනාකමක් දෙන්න. විනයගරුක, සටන්කාමී සැබෑ ජනතා විරෝධතාවයක් සංවිධානය කරන්න පුළුවන් ජවිපෙට කියලා ජනතාව දන්නවා.” බිමල් රත්නායක කීවේය. ඒ අනුව ‘බඩුමිලෙන්, බදු බරෙන් ජනතාව පෙළන ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය’ යන තේමාවෙන් උද්ඝෝෂණය සංවිධානය කිරීමට තීරණය විය. ඒ සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් ජවිපෙ බලමණ්ඩල දැනුම්වත් කිරීමටත් වෘත්තීය සමිති මට්ටමින් වැඩබිම් දැනුවත් කිරීම්ද ගොවි සහ ධීවර සමිති ව්‍යාපාර සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද තීරණය විය. 

ජර්මන් ජාතික දින උත්සවය පසුගිය 03වෙනිදා ජර්මන් තානාපති කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා දේශපාලනඥයන්ටද ආරාධනා ලැබී තිබුණ අතර ජවිපෙ නියෝජනය කරමින් එහි සහභාගි වූයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ය. උත්සවය අතරතුර එයට සහභාගිවීමට පැමිණ සිටි ජීඑල් පීරිස් විජිත හේරත් මන්ත්‍රීවරයාට හමුවිය. “කොහොමද මන්ත්‍රීතුමා. විස්ස ගැන අලුත් තත්වය මොකක්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකතුමාට ලැබුණා කියලත් කියනවා නේද? මොකක් වෙයි කියලද හිතන්නේ.” ජීඑල් පීරිස් විජිතගෙන් විමසීය. ගොඩක් වෙලාවට ජනමත විචාරණයකට යන්න වෙයි කියලා හිතෙනවා” විජිත කීවේය. “ඔව්, මටත් එහෙම තමයි හිතෙන්නේ” ජීඑල් පීරිස් කියා සිටියේය. “එහෙම  වෙන එක හොඳයි. මොකද පාර්ලිමේන්තුවේ 2/3න් විතරක් සම්මත වුණොත් ආයේ වෙලාවක පාර්ලිමේන්තුවේ 2/3ක් අරගෙන විස්ස අහෝසි කරන්නත් පුළුවන්. එහෙත් ජනමත විචාරණයකට ගිහින් ජනතාවගේ කැමැත්තෙන් සම්මත කරගත්තාම ආපහු හකුළන්න බැරිවෙනවා. අපි කියන්නෙත් මේක පාර්ලිමේන්තුවේ හිර කරන්නේ නැතුව ජනතාවට භාර දෙමු කියලා” විජිත හේරත් කියා සිටියේය.