මෙරට පළාත් සභා පිහිටුවා වසර තිහකට වැඩි බවත් පළාත් සභාවේ වාර්ෂික අයවැය යෝජනාවලින් පළාත් සභාවලට වෙන්කරන මුදලින් සංවර්ධනයට ප්‍රාග් ධනයට වෙන්වන්නේ සියයට 15 ක් පමණක් බවත් ගාලු මුවදොර පිටියේ පැවැති ජාතික නිදහස් දින උළෙලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

පළාත් සභාවලට වෙන්කරන මුදලින් සියයට 85 ක් වෙන්වන්නේ පුනරාවර්තන වියදම් හා නඩත්තු වියදම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ආකාර ගණනාවකින් වැදගත් වෙයි. එක් අතකින් පළාත් සභා තුනක් හැර සෙසු පළාත් සභා සියල්ල විසිරී ඇත. ඇතැම් පළාත් සභා විසිරී වසරකටත් වැඩි කලකි. පළාත් සභා ඡන්දය පවත්වන්නැයි විපක්ෂය බල කරමින් සිටී. නොවැම්බරයට පෙර පළාත් සභා ඡන්දය නොපැවැත්වුවහොත් තමන් තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය. එහෙත් සීමා නිර්ණ ගැටලු ආදිය ඉදිරිපත් කරමින් එම මැතිවරණය කල් දැමෙමින් තිබේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි පළාත් සභාවල තත්ත්වය එය නම් පළාත් සභා මැතිවරණය නොපවත්වාම සිටින්නේ නම් යහපත්ය.

පළාත් සභා ක්‍රමය මෙරටට හඳුන්වාදෙනු ලැබුවේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 1987 වසරේදීය. ඒ වනවිට උතුරු යුදබිම ගිනියම් වෙමින් පැවැති අතර ජාතික ප්‍රශ්නයට ඇති එකම විසඳුම බලය බෙදාහැරීම බව පවසමින් පළාත් සභා ස්ථාපිත කෙරුණි. එහෙත් ශෝචනීය තත්ත්වය නම් බලය බෙදාහැරීමට ස්ථාපිත කළ පළාත් සභා උතුරේ ක්‍රියාත්මක නොවීමය. එහි පළමු මහ ඇමැතිවරයා වූ වර්ධරාජා පෙරුමාල් ඊළාම් රාජ්‍යය ප්‍රකාශයට පත්කර ඉන්දියාවට පළා ගියේය. පළාත් පාලන ආයතනවලින් පාර්ලිමේන්තුවට ඒමට අතරමැද මධ්‍යස්ථානයක් වශයෙන් රටේ සෙසු පළාත්වල පළාත් සභා ක්‍රියාත්මක විය.

පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමත් සමඟ එයට එරෙහිව රට පුරා විරෝධතා ඇවිළී ගියේය. එක් විරෝධතාවකින් පසුව කොළඹ නගරයේ පමණක් වෙඩි වැදී මියගිය පුරවැසියන් 122 දෙනකුගේ සිරුරු හමුවිය. මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනකුගේ ද සිරුරු ඒ අතර විය.

විරෝධතා කඳවුරේ එක් ප්‍රබල තර්කයක් වූයේ පළාත් සභාවලින් රට කෑලි නමයකට කැඩෙන බවය. තවත් තර්කයක් වූයේ එය හුදු සුදු අලියකු පමණක් බවය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ද අනාවරණය වන්නේ එයය. සැබැවින්ම පළාත් සභා පිහිටුවීම හරහා සිදුවූයේ පරිපාලනමය ගැටලු අලුතෙන් නිර්මාණය වීමය.

දැන් රටේ පළාත් සභා පාරවල් තිබේ. පළාත් සභා රෝහල් තිබේ. පළාත් සභා පාසල් තිබේ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවලට ඉඩම් බලතල මෙන්ම පොලිස් බලතල ද තිබේ. ඇතැම් දෙමළ දේශපාලන පක්ෂ නීතියේ ඇති ඒ බලතල දෙන්නැයි ඉල්ලා සිටින්නේ බොහෝ කාලයක සිටය. ඒ බලතල ද ලබාදුනහොත් නිර්මාණය විය හැකි අවුලේ තරම වටහා ගැනීමට අසීරු නැත.
අදටත් මේ රටේ ජනයාට ජීවත්වීමට බොහෝ බාධක තිබේ. ආර්ථික ප්‍රශ්නය ඉන් ප්‍රධානය. සෞඛ්‍ය ප්‍රශ්න, බීමට හා ගොවිතැනට අවශ්‍ය ජලය නොමැතිවීම, අමාරුවෙන් නෙළා ගත් අස්වැන්නට වෙළෙඳ පොළක් නොමැතිවීම ඇතුළු ප්‍රශ්න රැසකි. පාසලකට දරුවකු ඇතුළු කරගැනීමට විදුහල්පතිවරයා සමඟ යහන්ගතවීමට සිදුවන තරමට තත්ත්වය බරපතළය. මෙම පීඩාකාරී තත්ත්වයෙන් නිදහස්ව රටේ ජනතාවට ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරදිය යුතුය. පළාත් සභා පිහිටුවීමේ එක් අරමුණක් වූයේද ඒ ඒ පළාත්වල ඇති ප්‍රශ්න ගැටලු හඳුනා ගනිමින් ඒවා කඩිනමින් විසඳීමය. කොළඹට කේන්ද්‍රගතව ඇති බලය ගමට ගෙනයාම හරහා බලාපොරොත්තු වූයේද එයය.

ඒ අපේක්ෂා ඉටුකර ගැනීමට පළාත් සභා ක්‍රමය සමත් වූයේද? අධිවේගී මාර්ග සම්බන්ධයෙන් බහුලව කතා කරන සමාජයේ පාලමක් නොමැති හෙයින් මිනී පෙට්ටිය කරතබා ගෙන ගඟට බැස යන මිනිසුන් පිළිබඳ සංවේදී කතාවක් අප පුවත්පත මෑතකදී වාර්තා කළේය. ඒ ගම කිසිදු පළාත් සභාවකට අයිති නැද්දැයි අපි නොදනිමු. එසේ අයිතිනම් ඒ ගමට එබඳු ඉරණමක් අත්වන්නේ නැත. එබඳු ගම්මාන තව කොතෙක් මේ රටේ වෙත්ද? මේ ගැටලුව නිරාකරණය කරගැනීමට අප තවත් කොතෙක් කල් බලා සිටිය යුතුද?

නගරයේත් ගමේත් පාසල් සංවර්ධනය කිරීමට, පාරවල් බෝක්කු පාලම් හා අනෙකුත් අවශ්‍ය ගොඩනැගිලි සෑදීමට වැය කළ හැකි මුදල් වර්තමානය වනවිට පළාත් සභා නඩත්තු කිරීමට යෙදවීමට සිදුවී තිබේ. පාර්ලිමේන්තුවට යෑමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීම සඳහා පළාත් සභාව යොදාගන්නා තක්කඩියන් නඩත්තු කිරීමට යැවීමට සිදුවී තිබේ. එසේ නම් මෙම පළාත් සභා රටට ඵලදායී මහජන නියෝජිතායතන බවට පත්කිරීම සම්බන්ධයෙන් දියුණු විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.