1947සෝල්බරි පාර්ලිමේන්තුව විශාල එකක් නොවේ. බ්‍රිතාන්‍ය උරුමයක් හැටියට නිල බල ක්‍රමයක් සහිත පාලන තන්ත්‍රයක් ද ඒ වනවිට අපට ලැබී තිබිණි. පාර්ලිමේන්තුව පනත් සකසන අතර ඇමැතිවරයා කළේ ඒවා අධීක්ෂණය කිරීමය. නොඑසේව දැන් මෙන් පාලනය කිරීම නොවේ. නිලධාරින්ට ද තද නීති පද්ධතියක් තිබුණු අතර නීති කඩ කළ අයට ගෙදර යෑමට හෝ හිරේ යෑමට අවස්ථාව ලැබිණි. ව්‍යවස්ථාව, විධායකය හා අධිකරණය යන රාජ්‍ය ත්‍රිවිධායතන අතර පැහැදිලි බල බෙදීමක් එසමයෙහි විය. අදත් අපි මේ බල බෙදීම ගැන කියමු. එහෙත් අද එය එපරිද්දෙන්ම සිදු නොවේ. දැන් තිබෙන්නේ දූෂණය හා වංචාව වෙනුවෙන් වූ ඒකාබද්ධ සාමූහිකත්වයකි. එය දේශපාලන හා පරිපාලන තන්ත්‍ර අතර දැඩි ප්‍රතිබද්ධතාවයකට පාර කපා තිබේ.

අතීතයේදී ලංකා සිවිල් සේවයට බඳවාගැනීම සිදුවුණේ රාජ්‍ය සේවා කොමිසම මගිනි. එය අතිශය තරඟකාරී විභාගයක් ද විය. එකල සිවිල් සේවයට බඳවාගත්තේ වයස අවුරුදු 22- 24 ත් අතර උපාධිධාරීන් අතරෙන් වසරකට හත් දෙනෙකු තරම් අල්ප සංඛ්‍යාවකි. ඊට පහළ මට්ටමේ ලිපිකරු විභාගය ද එසේමය. ලොකු අතකින් ලියුම් ගත්තා යැයි කියා පත්වීම් ගැනීමට නොහැකිය. ඒකාබද්ධ සේවයක් නොතිබුණ ද අතර මැදි සේවා තීරුවක් විය. මේ පටිපාටිය වෙනස් වුණේ 1965 දීය. ඊට මුල පිරුවෝ කොල්වින් ආර් ද සිල්වා වැනි උගත්තුය. 1960-1965 කාලයේ බලයේ සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක රජයයි. ඊට තිබුණේ සමාජවාදය පදනම් කරගත් දේශපාලන දර්ශනයකි. එවකට කොමියුනිස්ට්වාදයේ ප්‍රමුඛයා වූයේ සෝවියට් රුසියාවය. රුසියාවේ පැවැති කොමියුනිස්ට්වාදය ආණ්ඩුවට එක්තරා ආකාරයට බලපෑවේය. මහජනයාට ආණ්ඩුව වඩා සමීප විය යුතුය යන අදහස ආවේ ද එකී දේශපාලන මූලයෙනි. එහි ප්‍රතිපලය වූයේ පරිපාලන සේවයේ බලතල කප්පාදු කිරීමය. මහජන ඡන්දයෙන් තේරී පත්වන දේශපාලකයාට වැඩි බලයක් තිබිය යුතුය යන පදනමේ පිහිටා නිලධාරින්ගේ තටු කැපීමට කතිකා විය. එහි ප්‍රතිපලය වූයේ නිලධාරින්ට බලය ලැබෙන ලංකා සිවිල් සේවා විභාගය අහෝසි කිරීමය. 

මේ තටු කැපීම් පසුපස පුද්ගලබද්ධ සිදුවීම් ද බොහෝමයක් විය. එක් උදාහරණයක් මෙසේ දැක්විය හැකිය. එය ටී.බී ඉලංගරත්න මහතා නුවර කච්චේරියේ ලිපිකරුවකු හැටියට වැඩ කරන සමයේ වූ සිදුවීමකි. දිසාපතිවරයා සමග වූ ආරාවුලක් නිසා ඉලංගරත්නට රැකියාව අහිමි වූ අතර දේශපාලන බලය ලැබුණු විට මතු වූයේ පරණ විරසකයයි. සිවිල් සේවය නැතිකිරීමේ පසුබිමේ පැවැතියේ මෙවැනි අවලස්සන කතාය. ශ්‍රී ලංකා පරිපාලන සේවය පටන්ගත්තේ එයින් පසුය. එයින් ද වසරකට තෝරාගත්තේ 30 - 35 ක් අතර සංඛ්‍යාවකි. 1972 වනතෙක් මේ ක්‍රමය පැවැතියේය. 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද සිදු වූ යම් යම් සංශෝධන සමඟ විකාශය වූ පරිපාලන සේවය පළාත් සභා ගැටලු ද සමග අසූව දශකය මැද වන විට ගියේ විශාල අර්බුදයකටය. මේ වනවිට පරිපාලන සේවයට එක වරකට දෙසීයක තුන්සීයක පමණ පිරිසක් බඳවාගන්නා අතර ඊට කිසි පිළිවෙලක් නැත. විවිධ අරමුණුවලින් පරිපාලන සේවයට එකතු වූවෝ දේශපාලකයන් සමග ද හරි හරියට අත්වැල් බැඳගෙන සිටිති. දැන් දෙපිරිසම පිණුම් ගසති. 

එකල සිවිල් සේවා විභාගයට පැය තුනක ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක් තිබුණේය. මේ නිසා සිවිල් සේවයට බැඳෙන පිරිසට ඉංග්‍රීසි භාෂාවෙහි මනා පරිචයක් තිබීම අත්‍යවශ්‍ය විය. සුදුසුකම් ලැබූවන්ට සිය වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ආකාරය ගැන කියාදෙන්නට විශේෂ පුහුණුවක් ලැබිණි. නිදසුනක් කිවහොත් සොරකමකට වැරැදිකරු වීම සැලකුණේ සිය පරම්පරාවටම කරගන්නා අපහාසයක් හැටියටය. අනෙක් අතට එකල සිවිල් සේවයේ කිසිවෙකු හෝ සොරකම් කොට අසුවූ බවට පුවතක් ද සොයාගත නොහැකිය. එයින් විෂද වන්නේ පැරැණි සිවිල් සේවයෙහි තදින් පැලපදියම් වූ ආචාරධාර්මික පැවැත්මයි. එසේ නොසැලුණු අවංක උරුමයේ අවසාන සේවකයා ද 2000 වසර වනවිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියේය.  සිවිල් සේවයේ බලවන්තකම ගැන තවත් ලස්සන උදාහරණයක් හැටියට සී.පී ද සිල්වා චරිතය දැක්විය හැකිය. සී.පී ද සිල්වා යනු පොළොන්නරුවේ සිටි උපදිසාපතිය.

පොළොන්නරුවේ ඉඩම් සංවර්ධන කටයුතු ඔහු අත ගැසූ ප්‍රධාන කාරියකි. දේශපාලකයන්ට ඊට ඇඟිලි ගැසිය නොහැකි වූ අතර මිනිසුන් සිතුවේ ද තමන්ට ඉඩම් දෙන්නේ සී.පී ද සිල්වා යැයි කියාය. මේ නිසා ඔහු දේශපාලනයට අවතීර්ණ වූ විට මිනිස්සු ද විශාල ඡන්ද සංඛ්‍යාවකින් ඔහු ජයග්‍රහණය කළේය. 

සුදු මිනිසුන්ගේ පාලනය යටතේ සිවිල් සේවයේ අවංකත්වය දියුණු කළ අතර වගවීම පුහුණු කළේය. මහජනයාට තමන්ගේ වැදගත්කම පෙන්නුවේ වෘත්තිය ක්‍රියාකාරිත්වය හරහා මිස දේශපාලන ආලෝකකරණයෙන් නොවේ. දේශපාලකයන් හා සිවිල් සේවකයන් සිටියේ අතේ දුරිනි. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන රාජ්‍ය ත්‍රිවිධ ආයතන අදටත් තිබේ. ව්‍යවස්ථාදායකය කිසියම් පනතක් සම්මත කර නීතියක් සැකසූ විට එය ක්‍රියාත්මක වන්නේ පරිපාලන නිලධාරින් හරහාය. 1977 න් පසුව මෙය තනිකරම ඇමැතිවරුන්ගේ අතට පත් විය. පරිපාලන නිලධාරින් පත්වන්නේ තරඟ විභාග හරහා වුවද දේශපාලකයන් පත්වන්නේ එසේ නොවේ. අද වනවිට පාර්ලිමේන්තුවේ සැලකිය යුතු පිරිසක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් වූවෝ නොවෙති. ඒ නිසා ආණ්ඩුකරණයේදී මතුව ඇත්තේ අතිවිශාල අර්බුදයකි. අඩු දැනුමකින් යුතු දේශපාලකයෝ ඉංජිනේරුවන්ට, ආචාර්ය මහාචාර්යවරුන්ට, විද්වතුන් ඇතුලු ප්‍රාමාණික බුද්ධිමතුන්ට පවා උපදෙස් දෙති. උපදෙස් නොදෙන්නේ වෛද්‍යවරුන්ට පමණි. රටක හොඳ නරක සියල්ල දේශපාලකයන් විසින් තීරණය කරනු ලබන සංධිස්ථානයකට අප පැමිණ තිබේ. මෙය එක් රැයකින් ආපසු හරවන්නට බැරිය. ඊට හේතුව නම් මෙම ක්‍රමය සංස්ථාපිතයක් බවට පත්ව මුල් අල්ලා තිබීමය. 

එහෙත් ඉන්දියාව මේ කාරිය කළේ නැත. දකුණු ඉන්දියාවේ පසුගියදා සිදු වූ පොලිස් වෙඩි තැබීමකදී එහි පාලන බලය සියතට ගැනීමට අදාළ ප්‍රදේශයේ දිසාපතිවරයා කටයුතු කළේ ඒ බලය නිසාය. අද අපේ පරිපාලන සේවයට ඒ හයිය නැත. අඩුම තරමින් ගං වතුර වැනි හදිසි අවස්ථාවකදී පවා ප්‍රදේශයේ මන්ත්‍රීගෙන් නොඅසා බත් පාර්සලයක් බෙදන්නට බැරිය. සමාජවාදී දර්ශනයක් මත පාලනය වෙනස් කළ යුතුය යන ප්‍රතිපත්ති අද ගමන් කර ඇත්තේ එවන් ජරාජීර්ණ තැනකටය. මහ බැංකු බැඳුම්කර සිදුවීම යනු දූෂණ වංචා මාතෘකාවේදී අද වනවිට රටේ ඉහළින්ම පවතින කතාවය. එහෙත් මා පුද්ගලිකව විශ්වාස කරන්නේ ඊට දඩුවම් දෙන ක්‍රමයේ අවුලක් ඇති බවය. හරි නම් සිර ගෙදර සිටිය යුතුම පිරිසක් වන්නේ ඊට අනුමැතිය දුන් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුය. මන්දයත් මෙහිදී විකිණුම කරනු ලැබුවේ ඔවුන් විසින් වන බැවිනි. කඩයකින් හොර බඩු විකුණා හසු වූ විට එය මිලට ගත් පාරිභෝගිකයා දඬු කඳේ ගසන්නේ නම් එහි ඇති යුක්තිය කුමක් ද? මහ බැංකු සිදුවීමේදී සිදුව ඇත්තේ එවැනි වැඩකි. තොරතුරු දුන් පිරිස් අදටත් කිසි කරදරයක් නැතිව වැඩය. එයාර් ලංකා ගුවන් සේවයේ දූෂණ සම්බන්ධයෙන් ද කටයුතු සිදුවන්නේ අමුතුම ආකාරයටය. හරි නම් ඒ සමාගමේ අධ්‍යක්ෂකලා හිරේ දැමිය යුතුය. එහෙත් එසේ නීතිය ක්‍රියාත්මකව සිරබත්කන්නෝ කවරහුද? මෙහි ඇත්තේ තනිකරම විකෘතියකි.

2015 ආණ්ඩු වෙනසින් පසුව සිදු වූ දූෂණ වංචා විමර්ශනය සම්බන්ධයෙන් ආරම්භයේදී ජනතාවට තිබුණේ දැඩි උද්‍යෝගයකි. එහිදී මතුව ආ එක් තර්කයක් වූයේ ඇමැතිවරයාගේ වචනයට පිටින් යා නොහැකි නිසා නිලධාරින් අදාළ වැරැදි හමුවේ අසරණ වූ බවය. එහෙත් මෙය වැරැදි තර්කයකි. මම ද හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකි. එහෙත් කිසි දිනෙක ඇමැතිවරයාට යට වී අස්සන ගසන්නට අපි කටයුතු නොකළෙමු. අපට දේශපාලකයන් කොතරම් කෑ කොස්සන් ගැසුව ද අප අවසානයේ කළේ නීතියට අනුව නිසි පියවර අනුගමනයයි. ඇමැතිවරුන් වැඩි කාලයක් අප තබාගන්නට අකැමැති වුවද අප යට වූයේ නැත. පරිපාලන නිලධාරියා යනු ඇමැතිවරයා කියූ විට අස්සන ගසන්නෙකු නම් ඒ මිනිහාගෙන් වැඩක් නැත. ප්‍රශ්නය ඇත්තේම මෙතැනය. පාර්ලිමේන්තුව මගින් නීති සම්පාදනය කරන අතරේම ඒ නීති ක්‍රියාවේ යෙදීමට නීති සම්පාදකයන් කටයුතු කරයි නම් එය ඛේදවාචකයකි. 

කුප්‍රකට සිල් රෙදි නඩුවට පාදක වූ සිදුවීම ගතහොත් ජනාධිපති ලේකම්වරයා තමා කරන්නේ වැරැදි වැඩක් බව නොදැන සිටියා ද? සැබැවින්ම ඔහු වැරැද්ද කළේ දැන දැනමය. ඔහුට තිබුණු ප්‍රශ්නය වූයේ බෑ කියන්නට බැරි වීමය. බෑ කිව්වා නම් තනතුර නැති බව ඔහු දනී. අප කියන්නේ නිලධාරියකු බැරි දෙයට බැරි යැයි කී විට එම ප්‍රතිචාරය ඔහුට තනතුර අහිමිවීමට කරුණක් නොවිය යුතු බවය. වෙනස් විය යුත්තේ මෙන්න මේ ක්‍රමයයි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා අගමැතිව සිටියදී මුදල් අමාත්‍යංශයට අදාළ ස්ථාන මාරුවක් වෙනස් කරගැනීම සඳහා මහා භාණ්ඩාගාර ලේකම්වරයා හමුවට එක් නිලධාරියෙක් ගියේය. ඔහුගේ අයැදුම භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ විට ඔහු ගියේ දේශපාලන පිහිට පතාය. ප්‍රතිපලය වූයේ අදාළ නිලධාරියාට දඩයක් ද නියම කර දඩුවම දැඩි කිරීමය. තවත් අවස්ථාවක ප්‍රබල දේශපාලකයෙකු දිසාපතිවරයකු වෙත තම ආධාරකරුවෙකු යොමු කළේ ගිනි අවි බලපතක් ලබා ගැනීමටය. දිසාපතිවරයා පෙරළා ප්‍රතිචාර දැක්වූයේ ගිනි අවි බලපත් නියම කරන්නේ දිසාපති මිස අදාළ දේශපාලකයා නොවන බව අවධාරණය කරමිනි.

මහවැලිය නොමැති කාලයේ ලංකාවට ගෙනා ආහාරවලින් 80% ක් පමණ ආනයනය කරනු ලැබුවේ ආහාර දෙපාර්තමේන්තුව විසිනි. සතියකට නැව් විස්සක් තිහක් පමණ කොළඹ වරායට එකල පැමිනුණි. එහෙත් එකදු ආහාර කොමසාරිස්වරයකු හොරකම් කොට හිරේ ගියේ නැත. එසේ වූයේ ඇයි? නිසි නීති පටිපාටි තුළ පිහිටා ඔවුන් අවංකව වැඩ කළ නිසාය. අද එවැනි විනයක් නැත. ටෙන්ඩරයේ උඩ සිට පහළටම ඇත්තේ අත යට ගනුදෙනුය. ලංකාවට ව්‍යාපෘති ගෙනඑන්නේ ද සමහර විට අමුතු ක්‍රමයටය. විදේශ ආණ්ඩු සමඟ පළමුව සාකච්ඡා කරන්නේ වෙළෙන්ඳාය. පසුව ඔහු ලංකාවට පැමිණ අදාළ බලධාරියාට ඒ බව කියයි. අදාළ රාජ්‍ය ආයතනයෙන් කටයුතු සිදුකළයුත්තේ වෙළෙන්ඳාට ව්‍යාපෘතිය ලැබෙන ආකාරයටය. මේ පස්සා දොරෙන් කරන ගනුදෙනුවට පාර කැපී තිබෙන්නේ පරිපාලන සේවයේ වගවීම අහෝසි වීම නිසාය. 

අප කියන්නේ පැරැණි සිවිල් පරිපාලනය ප්‍රතිස්ථාපිත කිරීමට නොවේ. බුද්ධිමතුන් හා වගවීමක් ඇති කණ්ඩායමක් විසින් රජයේ පරිපාලන කටයුතු සිදුකරනු ලබන ඇමැතිවරුන් ඊට අනුබල දෙන ක්‍රමයක් සැකැසිය යුතු බවය. දියුණු රටවලදී අල්ලස් කොමිසමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් අධිකරණ පද්ධතියත් අතර ඇත්තේ අවිච්ඡින්න පැවැත්මකි. මේ නිසා හොරුන්ට නීතියේ සිදුරු සාදාගෙන පැනයන්නට බැරිය. එහෙත් අපේ රටේදී හොරෙකු කොටු කරගැනීම අතිශය දුෂ්කරය. හිරේ සිටිය යුතු බොහෝ දෙනෙකුට සමස්ත පද්ධතියම අවඥාවට ලක් කරමින් ආරක්ෂාකාරී ලෙස හැසිරීමට හැකිවන්නේ ඒ නිසාය. 

රාජ්‍ය දේපල යැයි කියමින් සියල්ල ආණ්ඩුව මගින් පාලනය කිරීමට ඇති වුවමනාව පසුපස තිබෙන්නේ ද වෙනත් කතාවකි. දේශපාලකයන්ගේ කරල පැහෙන්නේ මේවා ආණ්ඩුව මගින්ම පාලනය වන තාක් පමණි. ඉන්දියාවේ ඛනිජ තෙල් අංශයට ආණ්ඩුව මැදිහත් වන්නේ නැත. පුද්ගලික අංශය හෝ ආණ්ඩුවේ සමාගම් මගින් එය පාලනය වේ. සියල්ලට ආණ්ඩුව අත ගසන මාදිලිය ඇත්තේ ලංකාවේය. ගෑස් සමාගම් ලාභ ලබන විට ආණ්ඩුවට හිතට හරි නැත. අන්තිමේදී ලාභ ඇත්තටම ලබන්නේ දේශපාලකයන් හා හෙංචයියන්ය. ලංකා සතොස යනු සමාගමකි. ඊට අධ්‍යක්ෂ මණ්ඩලයක් තිබුණු අතර එහි සභාපතිවරයකු හැටියට මම ද කටයුතු කළෙමි. එහෙත් සමාගම පාලනය කරනු ලැබුවේ ඇමැතිවරයා හා ඔහුගේ ගෝලබාලයන් විසිනි. භාණ්ඩ සැපයුම මෙන්ම ලාභ ලැබීම ද තිබුණේ ඔවුන් සතුවය. අධ්‍යක්ෂ මණ්ඩලයට තිබුණේ පුටුවල වාඩිවීම පමණි. ඉතින් එවැනි තැනක සිට කරන්නට වැඩක් නැති බැවින් මම එයින් අස්වුණෙමි. 

අලුතින් ක්‍රියාවට නැංවීමට නියමිතව තිබූ නව විගණන පනත සැබැවින්ම රටටත් රාජ්‍ය සේවයටත් ආශිර්වාදයකි. එහෙත් එය සම්මත කරගැනීමට තවමත් පාර්ලිමේන්තුවට හැකිව නැත. මේ අනවශ්‍ය කාල ප්‍රමාදය සිදුවන්නේ ඇයි? රාජ්‍ය දේපොළ වලට අලාභ සිදු කරන්නන්ට එම ක්‍රියා පිළිබඳ පෞද්ගලික වගකීම පැවරීම සඳහා ජාතික විගණන පනත යටතේ විගණකාධිපතිවරයාට පැවරෙන බලතල ගැන ඇතැමුන්ට පැහැදීමක් නැත. මේ ඇතැම්මු වනාහි දේශපාලකයෝම පමණක් නොවෙති. මේ ක්‍රියාවලියෙන් පෙනී යන්නේ හොරකමට ඇති සාමූහික එකමුතුව මිස අනෙකක් නොවේ. මීට හොඳ උදාහරණයක් දිය හැකිය. චන්ද්‍රිකා කුමාරණතුංග පාලන සමයේ පැවැති මහා පරිමාණ ව්‍යාපෘතියක් හැටියට කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හැඳින්විය හැකිය. බිලියන 13ක උපරිමයක ටෙන්ඩරයක් ප්‍රංශ සමාගමකින් පැමිණෙද්දී බිලියන 9කට ටෙන්ඩරය චීන සමාගමකට දෙන්නට අපි කටයුතු කළෙමු. එහෙත් හිටපු ජනාධිපතිනිය ඉන්පසු කළේ කුමක් ද? අදාළ ටෙන්ඩරය අප අනුමත කළ සමාගමෙන් ඉවත් කර වෙනත් සමාගමකට දීමය. පසුව අදාළ සමාගම ද ව්‍යාපෘතිය අත්හැර දැමූ අතර කිසිවෙක් ඒ ගැන සොයන්නට උත්සාහ කළේ නැත. එහෙත් යෝජිත පරිදි විගණකාධිපතිවරයා ශක්තිසම්පන්න වුවහොත් මේ වැඩ කරන්නට බැරි වේ. විගණන පනතට මේ තරම් විරෝධය ඒ නිසාය. 
මේ දූෂිත සන්ධාන විනාශ කර නීතියේ පාලනය රජ කිරීමට නම් පරිපාලන සේවයට කොන්දක් මෙන්ම විනයක් දීම අත්‍යවශ්‍ය මූලික පියවරක් යැයි මම සිතමි. විශේෂයෙන්ම එකී පරිපාලන සේවය ප්‍රතිසංවිධානයේදී ඉන්දීය ආදර්ශය ගත යුතුය යන්න මගේ මතයයි. පනහක් වැනි සීමිත පිරිසක් තෝරාගෙන ඔවුන්ට ඉතා හොඳ පුහුණුවක් දී මනා විනයක් සහිත සේවාවක් බවට එය පත් කළ යුතුය. තවද දේශපාලකයාගෙන් ඔවුන් ආරක්ෂා විය යුතුය. දෙපිරිසම එක මල්ලේ ලුණු කන තැනට වැටෙන්නේ මේ අනාරක්ෂිතභාවය නිසාය. ආණ්ඩුකරණය ජනතාවාදී වන්නේ දේශපාලකයාත් පරිපාලකයාත් විනයගරුක අවංක කොටස්කරුවන් වන පාලනයකින් මිස එක මල්ලේ ලුණු කන සම්ප්‍රදායකින් නොවේ. එනිසා එහිදී පරිපාලන සේවය දේශපාලන සපත්තුවෙන් මුදා ස්වාධීන කිරීම රටේ ප්‍රගතිය පතන ඕනෑම නායකයකුට මග හැර යා නොහැකි කටයුත්තක් බව අවධාරණකටයුතුය. සැබැවින්ම එය මේ මොහොත් මේ රටට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයකි.