කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා 
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක

පිදුරංගල දී නිරුවත් වූ තරුණයන්ගේ ඇඳුම්වලින් රටේ පවතින අති දරුණු ආර්ථික, සමාජ සහ දේශපාලන අර්බුදයෙහි හෙළුව වසා දැමීමට මෙරට වගකිව යුතු බොහෝ අය සහ ආයතන ගන්නා උත්සාහය තාවකාලික පිළියමක් පමණි. ඊට හේතුව එවැනි මාධ්‍ය මෙහෙයුමකින් වසා දැමීමට බැරි තරමේ ආර්ථික, සමාජ සහ දේශපාලන අවපාතයක රට ගිලි ගිලී තිබීමය. මෙය චෝදනාවක් ලෙස නොගන්න. සාමාන්‍යයෙන් පුරුද්දක් ලෙස අප කරන්නේ මහා අර්බුද, ගැටලු, ව්‍යසන සහ අවපාතවල ස්වරූපය ඒවාට අදාළ අභ්‍යන්තර හා බාහිර හේතු සහ ඒවායින් ගැලවීමේ මඟ නොදන්නා විට, වහා තේරෙන අති සරල කාරණා සමඟ යුද වැදීම ය. 

ඒ හරහා ඇඟ කීරිගසන, කිලිපොලා යන මහා ඛේදවාචක මඳකට අමතක කොට සුව, එහෙත් හදිසියේ ඇහැරීමට සිදුවන කෙටි නින්දකට යාම ය. අවදි වූ සැණින් නැවත කුමක් හෝ අති සරල සිදුවීමක් සොයාගෙන යළි මහා යථාර්ථය කෙටි කලකට අමතක කිරීම ය. එසේ අමතක කළාට ඒ මහා අර්බුද සහ ව්‍යසන නවතින්නේ නැත. ඒවා තම බිහිසුණු බව සහ ආක්‍රමණශීලී බව දෙගුණ තෙගුණ කරමින් ඉදිරියට ඇදෙයි. මෙවර ලිපියෙන් මා උත්සාහ කරන්නේ බොහෝ අය සිතාමතාම අමතක කරන, කරවන මේ ඛේදවාචක රෑනට අභියෝග කරමින් සිට ගැනීම සඳහා වූ ඥානය ලබන ලෙස මෙරට තරුණ ජනයාට අරාධනා කිරීමට ඇවැසි පසුබිමක් සැකසීම ය.
සාමාන්‍ය ජනයා වන අප, මහා අර්බුද සහ ව්‍යසන එලෙස අමතක කර සුළු දෑ සමඟ සටනට යන්නේ අපේ අසරණ කමට ය. එහෙත් පාලකයන් සහ ඔවුන්ගේ සහායට සිටින සිය ගණනින් වූ අවතාර අපට ඒවා අමතක කරවන්නේ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් සහ අප තව තවත් සත්‍යයෙන් ඈත් කොට මිථ්‍යාවේ ම ගිල්වමින් අසරණ කිරීම සඳහා ය. ඒ නිසා දැන් අවශ්‍ය වන්නේ මේ ප්‍රවෘත්ති සහ තොරතුරු අවතාර විසින් අපට අමතක කරවන මහා සත්‍යය සොයා ඒ තොරතුරුවලින් සහ ප්‍රවෘත්තිවලින් අභිනිෂ්ක්‍රමණය කිරීම ය.
බොහෝ පාලකයන් උත්සාහ ගන්නේ, සමාජයේ අතිශය සුළු පිරිසකගේ අශීලාචාර ධනවත් වීම, අති බහුතරයකගේ දරිද්‍රතා මට්ටම් වැඩිවීම, අති දරුණු පන්ති විසමතා, දූෂණ වංචා, සමාජ අසමානතා සහ ප්‍රජාතන්ත්‍රීය ආයතනික පද්ධතීන් හි පිරිහීම් යනාදිය වසා දැමීමට ඒවා නොවන වෙනත් මොනවා හරි දෙයක් පාවිච්චි කරමින් ජන අවධානය වෙනතකට හැරවීමට ය. පාලකයන්ගේ මේ වැඩේට මෙරට පුරෝගාමී වමත්, මැදි වමත්, නව රැඩිකල් වමත් නියමින් සහ අනියමින් තවමත් උදව් කරමින් සිටීම දෙස බලන විට පෙනී යන්නේ, එය එසේ නම් දකුණ සහ අනිත් අය ගැන කවර කතා ද යන්න ය.

පිදුරංගල නිරුවත ගැන පොලීසියට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද වෙනම පරීක්ෂණයක් සිදු කරන බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එය නරක නැත. එහෙත් අපට අවශ්‍ය වන්නේ එවැනි පරීක්ෂණවලට වඩා දිළිඳුකමේ, දූෂණයේ, වංචාවේ සහ අවපාලනයේ පුරාවිද්‍යාත්මක හේතු සොයන පරීක්ෂණ ය. එහෙත් ඒවා සිදුවන්නේ නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඒ කාර්යය බැරි බව ඇත්තකි. ඊට වෙනත් අංශවල අවධානය සහ මැදිහත්වීම අවශ්‍ය බවත් සත්‍යයකි. එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද කරමින් සිටින්නේ නොවැදගත් ප්‍රවෘත්තියක් මහා ප්‍රවෘත්තියක් කොට ඛේදජනක මහා සත්‍යයෙන් ජනයා වෙනතකට හැරවීමේ වෑයමට සහාය දීම ය. ඒඅනුව ඒ දෙපාර්තමේන්තුවත් පාලක ප්‍රභූන් ගේ අවතාරයක් ම ය.

මෙවැනි ප්‍රවෘත්ති නිර්මාණය වන්නේ එක පෙළට ය. සිද්ධියක් ප්‍රවෘත්තියක් කරන්නේ මාධ්‍යය ය. ඇතැම් සිද්ධි ප්‍රවෘත්ති බවට පත් කිරීමෙන් සිදුවන විනාශය හෝ හානිය සිද්ධියෙන් වූ විනාශයට හෝ හානියට වඩා වැඩි වීම ගැන බොහෝ මාධ්‍ය ආයතන අවධානය යොමු නොකරයි. මෙහිදී රූපවාහිනී, රේඩියෝ මාධ්‍ය සහ නව (වනාන්තර) මාධ්‍යය වඩාත් ම සක්‍රීය ය. ජනාධිපති, හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිිළිබඳ ප්‍රවෘත්තිය ප්‍රධාන එකකි. රාජ්‍ය නායකයා සහ දේශපාලකයන් කීප දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියක් ප්‍රවෘත්තියක් වීම වැළක්විය නොහැක්කක් බව අප පිළිගත යුත්තකි. ඒ හා සමානවම ක්‍රිකට් පරාජය සහ පිදුරංගල දී නිරුවත් වූ මිනිසුන්ගේ සිද්ධියට දෙන ප්‍රවෘත්තිමය වටිනාකම වටිනවා නම් වටින්නේ සියලු සිදුවීම් ප්‍රවෘත්ති බවට පත් කිරීමේ මාධ්‍ය කර්මාන්තයට සහ මහා සත්‍යයෙන් මිනිසුන් ඈත්කොට තැබීම සඳහා දැන හෝ නොදැන කරන අවතාර මෙහෙයුමට අදාළව මිස වෙනත් සමාජ දේශපාලන ආර්ථික මානයකින් නම් නොවන බව අප වටහා ගත යුතු ය.

පිදුරංගල සිදුවීම ගැන බොහෝ විද්‍යුත් මාධ්‍ය නොනවතින අරගලයක ය. එසේ කරන්නේ එකී සිදුවීම රටේ ආර්ථිකයට, දේශපාලනයට, සභ්‍යත්වයට, සංස්කෘතියට සහ සදාචාරයට බරපතළ හානියක් ඇති කරන බවට චෝදනා කරමිනි. ඒ ගැන යමක් කියන ලෙස එක් මාධ්‍ය නාලිකාවකින් මට ද ඇරයුමක් ලැබුණි. ඊට මගේ ප්‍රතිචාරය වූයේ එය කතා කිරීමට හෝ හිත හිතා සිටීමට තරම් මාතෘකාවක් හෝ ප්‍රවෘත්තියක් නොවේ ය යන්න ය. දුරකථනය හරහා ඇරයුම කළ තරුණයාගෙන් ප්‍රශ්නයක් ඇසීමට මා අවසර පැතුවේ හිත නොරිද්දා ගන්නා ලෙස ඉල්ලීමක් ද කරමිනි. රටට සිදුවන මෙවැනි සංස්කෘතික සහ සදාචාරාත්මක හානි ගැන මේ ආකාරයෙන් වෙහෙසෙන ඔබේ නාලිකාව විසිහතර පැය පුරා, දිනපතා විකාශනය කරන කිසිදා නිම නොවෙන නාට්‍ය සහ සකලවිධ අමන වැඩසටහන් නිසා සිදුවන සංස්කෘතික, සදාචාරාත්මක, ශ්‍රම සහ බුද්ධි විනාශය ගැන දැනුවත් ද යන්න මා ඇසූ එම ප්‍රශ්නය ය. ඔහු අවංක තරුණයකු ලෙස කීවේ ඒක නම් ඇත්ත කියා ය. ඔහුට මගේ ගෞරවය.

මේ සියල්ල මැද මහ බැංකු විනාශය කිසිදු ප්‍රවෘත්තිමය වටිනාකමක් නැති සිද්ධියක් ම බවට ලඝු විය. තෙල් මිල ඉහළ ගියේ ය. පාරිභෝගිකයන් ගැන නොව වෙළෙන්දන් ගැන හිතූ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සහ ජීවන වියදම් කමිටුවේ කරුණාව නිසා ගෑස් මිල දෙවතාවක් ම ඉහළ ගියේ ය. රුපියල දවස ගානේ බාල්දු වන්නේ ය. බේකරිකරුවෝ තම නිෂ්පාදනවල මිල ඉහළ දැමූහ. ආපනශාලාකරුවෝ ආප්ප ඇතුළු අනෙකුත් ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළෝ ය. සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල නොනැවතී ඉහළ යන්නේ ය. බස් ගාස්තු ඉහළ ගියේ ය. ගම්මිරිස් මිල පහළ බැස්සේ ය. අගහිඟකම් වසා ගැනීම තවදුරටත් කළ නොහැකි නිසා මැද පාන්තික ජනයා නඩත්තු කළ බොරු පුරාජේරු ජීවිතයේ රෙදි ගැලවී ගොස් බොහෝ කල් ය. කිසිදු ආදායම් මාර්ගයක් නැති ජනයා විපතින් විපතට ගොස් ය. නැති බැරිකම් පමණක් නොව මානසික අසහනය ද ඔවුන්ව වෙලා ගෙන ඇත. එහෙත් මේ සියල්ල හරහා පෙන්නුම් කරන ආර්ථික සමාජ මහා අර්බුදය ගැන සෙවීමට වඩා පිදුරංගල නිරුවත ගැන වූ පුරාවිද්‍යාත්මක සහ පොලිස් පරීක්ෂණවලට ලැබී ඇති වැදගත්කම සහ ප්‍රසිද්ධිය අපේක්ෂා කරන්නේ කුමක් ද?

රටේ වගකීම ස්වදේශික පාලකයන්ට තීරණාත්මකව පැවරුණේ 1931 ඩොනොමෝර් ආණ්ඩු ක්‍රමයෙනි. එදා සිට අවුරුදු අසූහතක් ගතවී ඇති අද වන විට ගොඩ නැඟී ඇති දේශපාලන සංස්කෘතිය, නියෝජන සංස්කෘතිය, පාර්ලිමේන්තු සංස්කෘතිය පෙන්නුම් කරන්නේ ඒ හැම එකකම පිරිහීම ය. මේ සියල්ල නිරුවතින් ය. 1956 ජනසතු කළ මගී ප්‍රවාහන සේවය ට එනම් සීටීබීයට වයස අවුරුදු 62කි. 1977 දී ඊට සමගාමීව ඇරඹූ පෞද්ගලික මගී ප්‍රවාහන සේවයට වයස අවුරුදු 41කි. දෙකට ම ලොකු වයසක් තිබුණ ද අපේ රටේ මගී ප්‍රවාහන සංස්කෘතිය ලබා ඇති කිසිදු දියුණුවක් නැත. ඇත්තටම පොදු මගී ප්‍රවාහනය සඳහා යොදවා ගෙන ඇති වාහන බොහෝදුරට සමාන වන්නේ බස්වලට නොව ලොරිවලට ය. ඒවායේ උදේ හවස මිනිසුන් පටවාගෙන යන විට සිහිවන්නේ හිට්ලර් තම වධකාගාරවලට යුදෙව්වන් පටවාගෙන ගිය ආකාරය ය. සංචාරකයන් නංවා ගත් සැබෑවටම වූ බස් එකක් දෙකක් කොළඹ නගරයේ දී ඉඳ හිට දැකීමට හැකි නිසා අවශ්‍ය නම් බස් යනු මොනවා දැයි ඉන් වටහා ගත හැකිය. ඉතින් බස් නැති රටක දියුණු බස් හෝ මගී ප්‍රවාහන සංස්කෘතියක් තිබිය හැකි ද?

රටේ බොහෝ මාර්ගවල පයින් ගමන් කරන්නන්ට යෑමට ඉඩක් හෝ තීරුවක් නැත. වාහන එනවිට පදිකයන් එක්කෝ කැලයට අයින් විය යුතුය. නැත්නම් කාණුවට බැසිය යුතුය. වහා කළ යුතු ශල්‍යකර්ම කර ගැනීමට සිටින රෝගීන්ගේ පොරොත්තු ලේඛනවල දිග සැතපුම් ගණන් ය. ඒවාට දින දී ඇත්තේ සති මාස නොව සමහරවිට අවුරුදු ගණන්වලින් ය. මෙවැනි උදාහරණ රාශියක් ඉදිරිපත් කිරීමේ හැකියාව ලිපිය කියවන ඔබට ද ඇති නිසා තවත් පැහැදිලි කිරීම් අනවශ්‍ය යැයි සිතමි.

රට සහ කෝටි ගණනක් වූ රටේ පොදු ජනයා බරපතළ ආර්ථික සමාජ අර්බුදයක් විසින් බලහත්කාරයෙන් නිරුවත් කොට ඇති මොහොතක කැමැත්තෙන් නිරුවත් වූවන් ගැන සෙවීමට වඩා දෙයක් අප කළ යුතුව ඇත. එනම් ඉහත කී අර්බුදයේ ජාත්‍යන්තර හෝ ගෝලීය හේතු, ස්වභාවය සහ සම්බන්ධතාව සෙවීම ඉන් එකකි. දෙවැන්න වන්නේ පවත්නා අර්බුදයේ ජාතික ස්වභාවය සහ ඊට වගකිවයුත්තන් කවුද, කවරක්ද යන්න සෙවීම ය. ඊ ළඟ කාර්යය විය යුත්තේ මෙවැනි අර්බුදවලින් ගැලවී ජනයාගේ යහ පැවැත්ම සඵල කරගත හැකි මඟක් සහ වැඩපිළිවෙළක් සෙවීම ය. එය ක්‍රියාවට නැගීම සඳහා පියවර ගැනීම ඊළඟ කාර්ය ය. එය සාර්ථක කරගතහොත් සැබෑ බස් නුදුටු මගීන්ට සැබෑ බස්වල ගමන් කිරීමට හැකිවනු ඇත. ඒ සඳහා මාධ්‍ය සතු වගකීම සහ කළ යුතු කැපකිරීම අති මහත් ය.