ශ්‍රී ලාංකික ජාතියට, දේශයට විද්‍යාඥයන්, වෛද්‍යවරුන් මෙන්ම අති දැවැන්ත ව්‍යාපාරිකයන් රැසක් බිහිකර ඇති, විජයවර්ධන පෙළපත, ලංකාද්වීපයේ අනන්‍යතාව තහවුරු කරවීම  පිණිස, ලොවට ලබාදී ඇති ජාතික, ආගමික සහ දේශපාලනික උරුමයන් රැසකි. තුඩුගලගේ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම්තුමන්, සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඩෙප් වීරසිංහ මහතාණන්ගේ දියණියක වූ හෙලේනා ඩෙප් වීරසිංහ මෙනෙවිය හා අතිනත් ගැනීමෙන් බිහිවූ දූ පුත්තු ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සහ දේශපාලනික පුනර්ජීවයකට අත්පොත් තැබූහ.

ඒ එකල සිටි සර් ජේම්ස් පීරිස්, සර් ඩී.බී. ජයතිලක, සර් පොන්නම්බලම් අරුණාචලම්, ඊ.ජේ. සමරවික්‍රම, ඊ.ඩබ්. පෙරේරා, ඩබ්.ඒ. ද සිල්වා, ෆ්‍රැන්සිස් ද සොයිසා, එෆ්.ආර්. සහ ඩී.එස්. සේනානායක වැනි සමකාලීන ජාතික නායකයන් ද සමගය. 

දරුවන් නව දෙනකුගෙන් යුතු මුහන්දිරම් විජයවර්ධන පවුලේ, සිව්වැනි සාමාජිකයා ලෙස, 1886 පෙබරවාරි 23 දින සේදවත්ත වලව්වේ දී මෙලොව එළිය දුටු දොන් රිචඞ් විජයවර්ධන කුමරුවා, ශ්‍රී ලංකා ඉතිහාස පොතෙහි නව පිටුවක් නිර්මාණය කරනු ඇතැයි, විජයවර්ධන යුවළ එදා නොසිතන්නට ඇත. කොළඹ නගරයේ සහ වරායේ ඉදිකිරීම් කටයුතු සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීමේ ව්‍යාපාරයක, දොන් පිලිප් විජයවර්ධන මහතා නිරත විය. ඉන් උපයන ලද ධනයෙන් කොළඹ සහ දිවයිනේ සෑම දිශාවකම පාහේ, විශාල ඉඩම් ප්‍රමාණයකට හිමිකම් ලැබීමට ඔහුට හැකිවිය. මෙවන් මිල මුදල් සහ ධන ධාන්‍යවලින් ආඪ්‍ය වූ ප්‍රතාපවත් පවුලකය ඩී.ආර්. විජයවර්ධන දරුවා ජන්ම ලාභය ලැබුවේ.

විජයවර්ධන පවුලේ පිරිමි දරුවන් සත් දෙනාම පාසල් අධ්‍යාපනය ලැබූවේ, මෝදර සහ ගල් පල්ලියේ ඉස්කෝලේ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු, කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. රථවාහන දුලබ එකල, මොවුන් සියලු දෙනාම මෝදර පාසලට රැගෙන ගියේ, ප්‍රභූ නිවෙස්වල පමණක් දක්නට තිබූ ගමන් කරත්තය නමින් හැඳින් වූ ගොනු බැඳි කරත්තයකිනි. මෙම දරුවන් සැවොම වැඩි කථා බහකින් තොරව,  කරත්තයේ ගමන් කළ බැවින්, එකල එය හැඳින්වූයේ ගොළු කරත්තය නමිනි. ඩී.ඇස් සහ එෆ්.ආර්. සේනානායකයන් ගල්පල්ලියේ පාසලේ ඩී.ආර්.ගේ හොඳම පාසල් මිතුරෝ වූහ.

දහහත් වැනි විය එළඹෙත්ම, ඩී.ආර් ගේ ආදරණීය පියාණෝ හදිසියේ මිය ගියහ. විජයවර්ධන තරුණ ළමාතැනිය වෙත, දරුවන් නව දෙනෙක් රැක බලාගැනීමත්, තම ස්වාමියාට අයත්ව තිබෙන දැවන්ත වතු පිටි, ව්‍යාපාර ඇතුඵ මහා ධනස්කන්ධය පරිපාලනය කිරීමේ වගකීමත්, අනපේක්‍ෂිත ලෙස පැවරුණි. වැඩිමහල් සහෝදරයන් මවත් සමග ඒ ඒ ව්‍යාපාර කටයුතුවල නියැලුනු අතර, දොන් රිචඞ් විජයවර්ධනයන්ගේ අරමුණ වූයේ, විදේශ ගතව උසස් අධ්‍යාපනයක් ලබාගැනීමයි.

උසස් අධ්‍යාපනය හැදෑරීම පිණිස පහසුකම් ඇති නිසි අධ්‍යාපන ආයතන, එවකට මෙහි නොතිබිණි. ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය අවසන් කළ විජයවර්ධන කුමරුවා, උසස් අධ්‍යාපනය පිණිස තෝරාගත්තේ ලන්ඩන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයි. සර් පොන්නම්බලන් රාමනාදන් සහ ඊ.ඩබ්. පෙරේරා එකල සිටි කීර්තිමත් කේම්බ්‍රිජ්  උපාධිධාරීහු දෙපලකි.

විජයවර්ධන මහතා එංගලන්ත අධ්‍යාපනය ලද යුගය, බ්‍රිතාන්‍යය සතු යටත්විජිත  නිදහස් රාජ්‍යයන් බවට පත්වීම පිණිස අරගලවලට යොමුව තිබූ යුගයකි. ලංකාවේ ද ඒ වනවිට නිදහස් සටන් ආරම්භව තිබුණි. අධිනීතිඥවරයකු වීමේ අදිටනින් ශිෂ්‍යයකුව සිටි  සමයේ ලංකාවේ දේශපාලනය පිළිබඳව විශේෂ උනන්දුවක් විජයවර්ධන මහතා තුළ විය. බි්‍රතාන්‍ය රජයේ දේශපාලනයටත් සම්බන්ධව සිටි, කෝබට් නම් ඉංග්‍රීසි ජාතික අධිනීතිඥවරයා, අධ්‍යාපනයෙන් පසු නැවත ලංකාවට ගොස් දේශපාලන කටයුතුවල නියැලීමේ කාලීන අවශ්‍යතාව පිළිබඳව, නිරන්තරව ඩී.ආර්. දැනුවත් කළේය.

මහජනයා විසින් තෝරා පත්කර ගන්නා නියෝජිත පිරිසකගෙන් සමන්විත පාලන තන්ත්‍රයක් ලංකාවේ පිහිටුවාලීමේ වැදගත්කම විජයවර්ධන මහතාට පෙන්වා දී ඇත්තේ, කෝබට් මහතාය. එමෙන්ම එකල මන්දගාමීව සිදුවෙමින් තිබුණු පුවත්පත් කර්මාන්තය අභිබවා, කාර්යක්‍ෂම පුවත්පතක් ලංකාවේ පටන් ගැනීමේ වැදගත්කම ද විජයවර්ධන මහතාට පෙන්වා දුන්නේ, පුවත්පතක් පටන්ගැනීම පිළිබඳව විජයවර්ධන මහතා සිහිනයකින්වත් සිතා නොසිටි අවධියක දීය. 

කෝබට් මහතාගේ මග පෙන්වීමෙන් පසුව විජයවර්ධන මහතා පුවත්පතක් පටන් ගැනීමත්, ඒ හා සම්බන්ධ කටයුතු පිළිබඳවත්, විමර්ශනය කළේය. 

නැවත ලංකාවට පැමිණි විජයවර්ධන මහතාට, පුවත්පතක් ආරම්භ කිරීමේ චේතනාව ඇතිවූයේ හුදෙක් ලාබය පෙරදැරිව තවත් ව්‍යාපාරයක් පටන් ගැනීමේ අරමුණැතිවම නොවේ. ලාබ ඉපයීමට ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක් එතුමන් තුළ වී නම්, තමන්ට නුහුරු නුපුරුදු සහ එවකට මෙරට පැහැදිලි අනාගතයක් දක්නට නොතිබුණ මාධ්‍ය කර්මාන්තයට අත නොගසනු ඇත.

අලුතින් යමක් පටන්ගනු වෙනුවට පවුලේ ව්‍යාපාරවලට සමානුපාතිකව කිරීමට ව්‍යාපාරත්, එවැන්නක් පටන් ගැනුමට දැවැන්ත මූල්‍ය ශක්තියකුත්, විජයවර්ධන පවුල තුළ එදා යහමින් තිබුණි. එතුමා එදා පුවත්පතක් පටන් ගත්තේ, ජාතික නායකයන් සම්මන්ත්‍රණ සහ රැස්වීම් පවත්වමින්, නොයෙකුත් ස්ථානවල ප්‍රාදේශීය වශයෙන් ගෙනගිය රටට නිදහස ලබාගැනීමේ කාහල නාදය, සමස්ත ජනතාවගේම අවධානයටත්, අවබෝධයටත් ලක් කිරීමටයි.

විජයවර්ධන මහතා ලංකාවේ දේශපාලනය වෙත කිසියම් බලපෑමක් ඇතිකළ හැකි, උගත් සුදු ජාතික මිත්‍රයන් කණ්ඩායමක් සමීපව ඇසුරු කළේය. ඒ අයගේත් උපකාරැතිව මැකලම් නම් ආණ්ඩුකාරවරයාගේ කුරිරු පාලනය පිළිබඳව, බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට දන්වා, ජනතා නියෝජිතයින්ගෙන් සැදුම් ලත් ආණ්ඩුක්‍රමයක් ලංකාවට වඩාත් උචිත බවට ප්‍රථමයෙන් යෝජනාවක් ගෙන එන ලද්දේ, සර් හෙන්රි කොට්න් නම් විජයවර්ධන මහතාගේ මිතුරකු විසිනි.

අධ්‍යාපන කාලයෙන් පසු, සෑම දිනකම මේ කණ්ඩායම හමුවී, ලංකාවේ සහ ලෝක දේශපාලනය පිළිබඳව, නොයෙකුත් දේ සාකච්ඡා කළහ. මෙහි පැමිණීමෙන් පසුව ද, ඔවුන් සහ  විජයවර්ධන මහතා අතර තිබූ මිත්‍ර සම්බන්ධය එලෙසම පැවතිනි.

නිදහස උදාකර ගැනීමට මෙහි කරන ලද අරගලවල තරම, සැතපුම් දහස් ගණනක් දුරින් වූ බි්‍රතාන්‍යයට එතරම් තදින් නොදැනිනි. එහෙත් එහි අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනෙක්, එරට පිළිගත් දේශපාලන නායකයන්, නීතිඥයන්, උගතුන් හා ගොඩනගාගත් පෞද්ගලික සහසම්බන්ධකම්, මෙරටට නිදහස ලබාගැනීමට විශේෂ බලපෑමක් ඇති කිරීමෙහිලා සමත් විය. ඒ අනුව යමින් බි්‍රතාන්‍යයට පැමිණි ඊ.ඩබ්. පෙරේරා සහ එච්.ජේ.සී. පෙරේරා ඇතුඵ නිදහස් චින්තන කණ්ඩායම්, යටත්විජිත භාර ලේකම් වෙත යොමු කළේ, විජයවර්ධනයන් සහ ඔහුගේ මිත්‍ර එෆ්.එච්.එම්. කෝබට් ඇතුඵ පිරිස විසිනි.

බි්‍රතාන්‍යයන් දිවයිනේ ඇතිකිරීමට සැලසුම් කළ සුරාසල් විවෘතයට විරුද්ධව, බි්‍රතාන්‍යයට කරුණු කීමට පැමිණි කණ්ඩායම යටත්විජිත භාර ලේකම් වෙත යොමුකළේ ද එතුමා විසිනි. අරමුණු කරගත් අධිනීතිඥවරයකු වීමේ එල්.එල්.බී. උපාධිය සමත්ව, දොන් රිචඞ් විජයවර්ධන මැතිතුමා 1912 වර්ෂයේ යළි සියරට පැමිණියේය.  

නීති විභාගයන් සමත්ව සිටිය ද, නිීතිඥ වෘත්තියට කැමැත්තක් නොදක්වා, දේශපාලන කටයුතු සහ සමාජ කටයුතුවල මෙතුමා නිරත විය. මෙම කාලයේ විධායක මන්ත්‍රණ සභාවටත්, මන්ත්‍රණ සභාවටත්, සාමාජිකයින් පත්කළේ ආණඩුකාරවරයායි. මෙය ඉතා අසාධාරණ ක්‍රමයක් බවට කල්පනා කළ සර් ජෙම්ස් පීරිස්, සර් පොන්නම්බලම් අරුණාචලම් ඇතුඵ කණ්ඩායම ඩී.ආර්. විජයවර්ධනයන්ගේ සහාය ද ඇතිව ආණ්ඩු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අරම්භ කළහ. එහි ලේකම් ලෙස ඩී.ආර්. පත් කළේය. මෙම කණ්ඩායම රටට ජනතාවට විඳීමට සිදුව ඇති අකටයුතු, අසාධාරණකම් පිළිබඳව නෑසූ කන්ව නොසිට, ජනහමු පවත්වා සහ සංදේශ සකසා, ඒවා බි්‍රතාන්‍ය ආණ්ඩුවට යොමු කළේය. මහජන සේවක සමිතිය නමින් සමිතියක් ඇතිකර, සාක්ෂරතාව අවම මට්ටමක තිබූ ග්‍රාමීය ජනතාවට, කියවීම, ලිවීම හුරුකරලීමට, රාත්‍රී පාඨශාලා ආරම්භ කර විශාල සේවයක් කළේය. 

නිදහස වෙනුවෙන් සටන් කළ අනෙකුත් නායකයන් හා කරට කර සිටිමින්, නිදහස සඳහා වූ සමිති සමාගම්වල නිලතල දරමින්, විජයවර්ධන මහතා අන් කිසිවකුට කළ නොහැකි දැවැන්ත කර්තව්‍යයක, මේ වනවිට නියැලී සිටියේය. ඒ කාර්යක්‍ෂම පුවත්පත් කර්මාන්තයක් මෙරටෙහි ස්ථාපිත කිරීමයි. දිනමිණ, ඬේලි නිව්ස්, සන්ඬේ ඔබ්සර්වර්, සිළුමිණ, තිනකරන්, වාරමංජරී ආදී නිදහස ලැබීමට පූර්ව යුගයේ විවිධ වකවානුවල ඇරඹි, ත්‍රෛයි භාෂික පුවත්පත් සමූහය තුළින්, අන් සැමටම වඩා දැනෙන පණිවිඩයක් රටේ ජනතාවටත්, පාලකයන්ටත් එක්වර ලබාදීමට, විජයවර්ධන මහතාට හැකි විය.

1915 වසරේ මෙරට සුදු පාලකයන් විසින් තම මව් රටට යවනු ලැබූ රහස් සංදේශයක් ලබාගෙන, එය තමන්ගේ පුවත්පත් ඔස්සේ නිර්භීතව ප්‍රසිද්ධ කිරීමට කටයුතු කිරීම, එකල මහත් ආන්දෝලනාත්මක කරුණක් විය. මෙවැනි හේතූන් නිසා, ලංකාවේ නිදහස් අරගලය සම්බන්ධයෙන් නිහඬව සිටීමට, බි්‍රතාන්‍යයට නොහැකි විය.

ඒ අනුව ලංකාවේ ආණ්ඩු ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන්, වර්ෂ 1927 දී පත්කළ, ඩොනමෝර් කොමිසමේ ජොපි බට්ලර් මහතා, විජයවර්ධන මහතාගේ කේම්බි්‍රජ් සමකාලීනයෙක් විය. ඔවුන් මෙරටට පැමිණීමත් සමග යළි තහවුරු වූ පැරණි හිතවත්කම තුළින්, ආණ්ඩු ප්‍රතිසංස්කරණය යම් තරමකට ලංකාවට උචිත අයුරින් හසුරුවා ගැනීමට එතුමන්ට හැකි විය. 

විජයවර්ධන මහතා සැබැවින්ම ඉතාමත් නිහඬ චරිතයකි. කුමන හෝ කරුණක් උදෙසා ඉක්මන් වීම, එතුමන්ගේ සිරිත නොවීය. කාර්යාලයේ දී තමන්ට ලැබෙන සත්‍ය හෝ අසත්‍ය තොරතුරු එක්වරම පිළිගත් හෝ බැහැර කළ බව තොරතුරු සපයන්නන්ට එතුමන් හැඟවූයේ නැත. ප්‍රසිද්ධියට සෑමවිටම අකැමැති විය. එතුමා දූරදර්ශී දේශපාලන විඥානයක් තිබූ, එහෙත් දේශපාලනඥයකු නොවූ උගතෙකි. ආණ්ඩු ප්‍රතිසංස්කරණ කණ්ඩායම් විජයවර්ධනයන්ගෙන් ලබාගන්නා ලද උපදෙස් සහ අදහස් සහ යෝජනා, දැන සිටියේ සමීපතමයින් කිහිප දෙනකු පමණි. විජයවර්ධන චරිතයේ සිදුවීම් ස්වල්පයක් අලලා පියසේන නිශ්ශංක සහ හුළුගල්ල ශූරීන් දෙපල විසින්, විජයවර්ධන චරිතය නම් ග්‍රන්ථයක් රචනාකර ඇත.

එම කතුවරුන් දෙපල විජයවර්ධන ශ්‍රීමතාණන් හා දිගුකාලයක් සමීපව කටයුතු කළ අය වෙති. එතුමන්ගේ ආගමික ජාතික දේශපාලනික කටයුතු සැබැවින්ම මෙයට වඩා පුළුල් පරාසයක් පුරා එදා පැතිර තිබිණි. එහෙත් ඔහු තුළ තිබූ දැඩි නිහඬ ප්‍රතිපත්තිය නිසාම, ඒවා කාලය නමැති වැලිතලාවෙන් වැසී අතුරුදන්ව ගොස් ඇත. 

1944 ආණ්ඩු ප්‍රතිසංස්කරණයට පැමිණි සෝල්බරි කොමිසමට, සුප්‍රසිද්ධ ආකේඩියා බංගලාවෙහි සියළුම පහසුකම් සහිතව, සතියක නිවාඩුවක් ගතකිරීම පිණිස ලබාදීමට විජයවර්ධන මහතා කාරුණික වූයේ මේ ජාතික ප්‍රශ්නයට සුබවාදී අවසානයක් බලාපොරොත්තුවෙනි. ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් සෝල්බරි සාමිවරයා සහ විජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායම සමග නිරන්තරව සංවාද සහ සාකච්ඡා පැවතිනි. එතුමන් මියයන තෙක්ම, සෝල්බරි සාමිවරයා සමග දැඩි හිතවත්කමක් පවත්වන ලදී.

හෙලේනා විජයවර්ධන නම් වූ තම ආදරණීය මාතාව සිදුකළ ශාසනික සේවාව, ඩී.ආර් ගේ මනසට කාවැදී තිබිණි. තමන් උපයාගත් ධනයෙන්, වෙහෙර විහාර නැංවීමට විශාල වියපැහැදමක්, එතුමා කරන ලද්දේ ඒ අනුවය. බම්බලපිටිය වජිරාරාමයට කරන ලද භූමි පරිත්‍යාගයක් පිළිබඳව වූ ඵලකයක් අද දවසේ පවා එහි නිරුපද්‍රිතව පවතී. මෙතුමා රටටත්, සමාජයටත්, ආගමටත්  අති විශිෂ්ට සහ විශාල සේවාවක් සිදුකර ඇතත්, ප්‍රසිද්ධියට අකැමැති වූවෙක් වූ බැවින්, ඒවා බොහොමයක තොරතුරු, දැන ගැනීමට නොහැකිවී ඇත.   
සාමාන්‍ය සහ මධ්‍යම පාන්තික පවුල්වල උගත් දරුවන්ගේ, උසස් අධ්‍යාපනය වෙනුවෙන්, 1926 දී එංගලන්තයේ උසස් අධ්‍යාපන උපදේශක සභාව, මෙරටට විශ්වවිද්‍යාලයක් යෝජනා කළ අතර, එය පිහිටුවන ස්ථානය සොයා වාර්තා කිරීමට, එම්.ටී. අක්බාර් ප්‍රමුඛ මොළමුරේ, සර් බාරොන් ජයතිලක, සර් වෛත්‍යලිංගම්, දොරේසාමි ඇතුඵ තවත් උගතුන් කිහිප පොලක්, ඇතුලත් කමිටුවක් පත්කරන ලදී. කමිටු සභාපති අක්බාර් මහතා විජයවර්ධන මහතාගේ කිට්ටු හිතෛෂියෙක් විය.

විශ්වවිද්‍යාලය පිහිටුවීම සහ අරමුණු වෙනුවෙන්, විශාල හඬක් දිනමිණ සහ ඬේලි නිව්ස් පුවත්පත් තුළින් විජයවර්ධනයන් එදා නගන ලදී. අවසානයේ එතුමා යෝජනා කරන ලද පරිදි පේරාදෙණිය ප්‍රදේශයේ, ලංකාවේ පළමු විශ්වවිද්‍යාලය පිහිටුවීම ආරම්භ විය.
සුපිරිසිදු බෞද්ධයකු වූ විජයවර්ධන මැතිතුමන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන, දුරබැහැරින් වඩිනා භික්‍ෂූන්වහන්සේලාගේ නවාතැන් පිළිබඳව, බැතිබරව සිතාබලා පේරාදෙණියේ සංඝාරාමය නමින් භික්‍ෂු නේවාසිකාගාරයක් කරවිය.

පෞද්ගලික ධනයෙන් රු.ලක්‍ෂ දෙකහමාරක මුදලක්, ඔහු ඒ සඳහා වැය කළේය. අද එය රුපියල් කෝටි ගණනකි. නේවාසික භික්‍ෂූන්ගේ පරිහරණය පිණිස, ඩබ්.ඒ. සිල්වා ශූරීන්ගේ පුස්තකාලයත්, සිසු සිසුවියන්ගේ පරිහරණය සඳහා  අපමණ මිලක් සහිත, සිතුවම් සහ ඉපැරණි ශ්‍රී ලාංකීය සහ ලෝක ඉතිහාසය සම්බන්ධ පොත්පත් ඇතුළත්, පර්ගියුසන් පුස්තකාලයත්, පෞද්ගලික ධනයෙන් මිලට ගෙන, විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කළේය. කෙහෙල්පන්නල වලව්වත් හිඳගල වලව්වත් සංඝාරාමයේ පරිහරණය පිණිස මිලට ගෙන ඇත. බුද්ධ ශ්‍රාවකයන්ගේ යහපත පිණිස, එතුමන් ආරම්භ කළ සංඝාරාම භාරකාර මණ්ඩලය, අදටත් සක්‍රියව පවතී. ලංකාවේ ආරම්භක සිංහ ධජය ඊ.ඩබ්. පෙරේරා සමග ලංඩනයේ චෙල්සි ආරෝග්‍ය ශාලාවේ තිබී සොයාගෙන ලංකාවට රැගෙන ඒම, විජයවර්ධන මහතාගේ ජීවන චරිතයේ සිදුවූ විශේෂිත සිදුවීමක් ලෙස සැලකේ.   

අධිනීතිඥ වෘත්තිය ජාතික නිදහස් සටන තීව්‍ර කිරීම උදෙසා කැපකර, පුවත්පත් කර්මාන්තය තුළින් දේශයට නිදහස ලබාගැනීම පිණිස ජාතියට ප්‍රබල පණිවිඩයක් ලබාදුන් මෙතුමා, ශ්‍රී ලංකාද්වීපය නිදහසේ පහන් ආලෝකය ලැබූ දින, ගතකළේ හුදෙකලාව ලෙඩ ඇඳක වැතිරෙමිනි. නිදහස් උත්සවයේ නිල ආරාධනාවට පවුලේ සාමාජිකයින් ද සමග එවකට නව වියැති තම කණිෂ්ට පුත් කුමරුවන් සහභාගි කරවීය. උත්සවයට සහභාගි වූ පුංචි විජයවර්ධන කුමරුවන්, තම පියාණන් විසින් සිදුකර ඇති ජාතික සේවය පිළිබඳව, අසා දැන සිටිය ද, එතුමා පිළිබඳව යමක් කුමන හෝ කථිකයෙක් පවසාවි දෝ යි සවන් යොමා සිටියද එවැන්නක් සිදු නොවීය .

ලේක් හවුස් ආයතනයෙහි මාධ්‍යවේදියෙක් ලෙස කලක් සේවය කර ඇති, බොබී වීරකෝන් මාධ්‍යවේදියා, එදා ආරම්භක ජාතික නිදහස් උළෙලේ විස්තර කථනය කළේය. එහිදී ඔහු විසින් විජයවර්ධන මැතිතුමන් නිදහස වෙනුවෙන් කළ කැපවීම, ලබාදුන් දායකත්වය ඉතා පැහැදිලිව විවරණය කරන ලදී. 

එහෙත් උත්සව සභාවෙන් එවැන්නක් මතුනොවීම පිළිබඳව පුංචි විජයවර්ධනයන්ගේ ළපටි සිතෙහි යම් ළතැවිල්ලක් හට ගැනෙන්නට ඇත. උත්සවය හමාරවීමෙන් පසු නිවෙසට පැමිණි ඔහු දුටුවේ, තම ආදරණීය පියාණන් පිජාමා සරමක් සහ කෝට් එකක් හැඳ, සුපුරුදු පරිදි පුටුවක හාන්සි වී කොළඹ ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන නිදහස් උත්සවයේ විස්තරවලට, සතුටින් සවන්දෙන ආකාරයයි. 20 වැනි ශත වර්ෂයේ මුල් දශකවල පිබිදෙමින් තිබූ ජාතික නිදහස් ව්‍යාපාරය වර්ණවත් කළේ දොන් රිචඞ් විජයවර්ධන ශ්‍රීමතාණන් බව පැවසීම මුසාවක් නොවේ.

මුලු මහත් ශ්‍රී ලාංකිකයන් සුදු ජාතිකයින්ගේ යකඩ සපත්තුවට මිරිකෙමින්, පෑගෙමින්, උපන් බිමේ තමන්ට හිමි නිදහසත් ජීවත්වීමේ අයිතියත් අහිමි කරවමින්, බි්‍රතාන්‍ය පාලකයින් ගෙනගිය කෲර පාලනයෙන් මුදාගැනීමට, නිදහස සඳහා වූ ව්‍යාපාරයේ නායකයින් දියත්කළ සටන, සමාජ ගතකළේත්,  ජනතාවගේ ලෙයට මුසුකළේත්, ඩී.ආර්. විජයවර්ධන මහතාගේ පුවත්පත් ව්‍යාපාරයෙන් බව කිව යුතුමය. ඩී.ආර්. විජයවර්ධන නමැති පුද්ගලයකු ලංකාද්වීපයේ පහළ නොවන්නට - ක්‍රමවත් පුවත්පත් කර්මාන්තයක් මෙරටෙහි ස්ථාපිත වීම බොහෝ ප්‍රමාදවනු ඇත. 

උසස් අධ්‍යාපන කටයුතු පිණිස විශ්වවිද්‍යාලයක් පේරාදෙණියේ ඇරඹීම ඇතැම්විට ලියවිල්ලකට පමණක් සිමාවීමට ඉඩ තිබිණි. එම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට නැවතීමට සුදුසු නේවාසිකාගාරයක් ඉදිනොවනු ඇත. පර්ගියුෂන් වැනි, සෑම අතින්ම පරිපූර්ණවූ උසස් පුස්තකාල පරිත්‍යාගයක් විශ්වවිද්‍යාලය වෙත  නොලැබෙනු ඇත. ලේක් හවුස් වැනි දැවන්ත ව්‍යාපාර මෙබිමේ බිහි නොවනු ඇත. සේවකයන්ගේ සුබසාධනය සඳහා ප්‍රථම වරට අර්ථසාධක අරමුදලක් ඇරඹීමේ ස්වාමි යුතුකම පටන් ගත්තේ, 1930 දශකයේ ශ්‍රීමත් ඩී.ආර්. විජයවර්ධන මැතිතුමන්ගේ ලේක්හවුස් ආයතනයෙනි. එහි සේවය කරන දුර බැහැර සේවකයන් සඳහා, බොරැල්ල ප්ලැට්ස් නමින් නිවාස සංකීරණයක් ඉදිකිරීමට අදහසක් එතුමා තුළ තිබුණත්, එය ඇරඹීමට පෙර එතුමන් දැයෙන් සමුගෙන තිබුණි.

පඬිවරයෙක් නොවූ ඩී.ආර්. විජයවර්ධනයන් තමන් සතු ලේක්හවුස් ආයතනය තුළ පඬිවරුන්ට තිඹිරිගෙය නිර්මාණය කළේය. ඒ තුළ අපගේ ජාතික සාහිත්‍ය වෙනුවෙන් බුද්ධිමතුන් ලේඛකයින් රැසක් එතුමා ජනිත කරවන ලදී.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් 1950 ජුනි 12 දින මිය පරළොව ගියේ - උපන්බිමට නිදහස ලබාදුන් විරුවකු, දස දහස් සංඛ්‍යාත පිරිසකට ජීවනෝපාය ලැබදුන් දැවැන්ත ව්‍යාපාරිකයකු, වෙහෙර විහාර ගොඩනැගීමට ආධාර උපකාර කරන ලද සැදැහැති බොදුනුවකු, උසස් අධ්‍යාපනායතන පිහිටුවාලීමට අනබිභවනීය දායකත්වයක් ලබාදුන් පරාර්ථකාමී විද්වතකු ලෙස, කීර්තිනාමයක් ශේෂ කරවමිනි. එතුමන් ගොඩනැගූ එම ගුණෝපේත ගුණ සමුදාය චිරාත් කාලයක් මුළුල්ලේ සැබෑ ශ්‍රී ලාංකිකයන්ගේ චිත්ත සන්තාපය තුළ ජීවත්වනු ඇත. 

නිමල් වික්‍රමසිංහ