ශ්‍රී ලංකාවේ මෑතදී හටගත් දේශපාලන ඇනහිටීමට වහා විසඳුමක් ලැබිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අවධාරණය කළ බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉදිරි දෙමසේ මූල්‍ය ප්‍රතිපත්ති ගෙනහැරපාමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
පුවත්පත්හි පළවූ වාර්තා අනුව කුමාරස්වාමි ශ්‍රී ලංකා දේශපාලන නායකයනට අනතුරු අඟවයි.

පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් ඇතිවූ මෙම ඈත්වීමට වහා විසඳුම් නොලැබුණ හොත් එහි ප්‍රතිඵලය ආර්ථික වර්ධනයට හානිකර බව ඔහු සඳහන් කරයි. මහා භාණ්ඩාගාරයේ පොදු මුදල් පිළිවෙත කිසිසේත්ම කඩා වැටීමට ඉඩ දිය නොහැකි බවට ඔහු අනතුරු අඟවයි. දේශපාලන නොවන ක්‍රියාමාර්ගයක සිටින කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකු පාලකයා ලෙස පවත්නා දේශපාලන තත්ත්වය ගැන වික්ෂිප්ත වී සිටී.

පවත්නා දේශපාලන තත්ත්වයෙන් ප්‍රධාන වශයෙන් මූල්‍ය වෙළෙඳපොළට ද ආයෝජනවලට ද නරක කළ දසාවක් උදාවිය හැකි බවට ද ඔහු කනස්සල්ල පළ කරයි. මෙම දේශපාලන ඇනහිටීම විසඳුමකින් තොරව දිගටම ඇදී යතොත් රටේ ආර්ථික වර්ධනය පල්ලම් බහිනු ඇතැයි කුමාරස්වාමි කියා ඇත. ඔහු ඒ බව පැහැදිලි කරනුයේ මෙසේය. 

“ශ්‍රී ලංකාවේ යහපත් ආර්ථික වටපිටාවක් සඳහා හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වය අවශ්‍ය වේ. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අපි සැබැවින්ම රටේ දේශපාලන කල්ක්‍රියාව නොසලකා ඇත්තෙමු. දේශපාලන ක්‍රියාදාම මගින් ආයෝජනය හා වර්ධන වේගය අඩාල වන්නේය. සැබැවින්ම වර්ධන වේගය වැඩි කිරීම සඳහා ප්‍රතිපත්ති ලිහිල් කළ යුතු වන්නේය. වර්ධනයට තල්ලුවක් දිය හැක්කේ එමගිනි. මහා භාණ්ඩාගාරයේ පොදු මුදල් පිළිවෙතට එමගින් සිදුවන දෙයද අපට වැටහී යා යුතුය. දේශපාලන තත්ත්වය නිසා රටේ පොදු මුදල් පිළිවෙත ලිහිල් වී ඇතොත් ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වී මූල්‍ය ප්‍රතිපත්ති ඒ ලිහිල් තද කළ යුතුය”

 කුමාරස්වාමිගේ මේ අනතුරු සංඥාව ඔහු එම පදවියට පත් කළ අයගේ කැමැත්තට හේතු නොවනු ඇත. එහෙත් ඔහුට ඉහළින් පවත්නා මූල්‍ය මණ්ඩලය ක්‍රියා කළ යුත්තේ රටේ ආර්ථිකය රැකගැනීමටය. මහජනතාව වෙනුවෙන් කළ හැකි හොඳම මෙහෙවර ආර්ථිකය රැක ගැනීමයි. දේශපාලන හාම්පුතුන්ගේ ක්‍රියා කලාපය මෙම අරමුණට සතුරු වෙතොත් ඒ බව ඔවුන්ට පෙන්වා දීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමයි. දේශපාලනයට නොපිවිසි ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන සැබෑ වෘත්තීයවේදින්ගේ වගකීම එයයි.

රනිල් වික්‍රමසිංහ අගමැති මෙම දේශපාලන ඈත්වීමේ කොටස්කරුවෙකි. වත්මන් ආර්ථික වර්ධනය පසු බා ඇති බව ඔහු පවසා ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව තමා තවමත් අගමැති බව රනිල් වික්‍රමසිංහ කියයි. ව්‍යවස්ථානුකූල විධි විධාන සහායෙන් අගමැති පදවියේ සිටින ඔහුගේ තීරණයේ නියත බලපෑම හෝ ප්‍රතිඵලය මුළුමනින්ම නොසලකා හැර ඇත. ශ්‍රී ලංකා ආර්ථිකය හැම පැත්තෙන්ම අර්බුදයකට මැදි වී සිටී, 2013 දී පමණ එය ඇරැඹිණි. ආර්ථික වර්ධන වේගය හීනවන්නට පටන් ගත්තේ පශ්චාත් යුද සමයේ දී ය. පසුගිය දෑවුරුද්දේ ඉහළ ආර්ථික ක්‍රියාකාරිත්වයක් පැවැති සමයේ ය. මෙම තීරණයෙන් මම (ලියුම්කරු) පෙන්වා දුන්නෙමි.

“2017 ආර්ථිකය” මැයෙන් 2017 ලබන්නට පෙර මවිසින් පෙන්වා දෙන ලදී. “අනතුරුදායක ලක්ෂණ නොසලකා නොහරිනු” යන්න එහි තේමාව විය. සහජීවන රජයේ දෙවැනි සංවත්සරය සමරන්නට රජය ඉහළ මට්ටමින් සැලසුම් කරද්දී මා එදා පෙන්වා දුන්නේ රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය නොසලකා නොහරින ලෙසයි. එදා මම පෙන්වා දුන් ප්‍රධාන කරුණු කීපයකි. ඒ කාලයේ සිටි ප්‍රතිපත්ති සම්පාදකයෝ එම ආර්ථික පසුබෑම පහසුවෙන්ම අමතක කළහ. බොහෝ පැතිවලින් ආර්ථික පසුබෑම මෝරා එන බවට එදා රෝග ලක්ෂණ දක්නට ලැබිණි. මුදල් සැපයුම හා ණය ගැනීම අතින් විදේශ මුදල් අංශයේ අස්වාභාවික වර්ධනයක් විය.

එය නරක ලක්ෂණයකි. එදා උද්ධමන තොරතුරු යටපත් වෙමින් රාජ්‍ය ණය ගොඩගැසිණි. දිනයක් නොමැති වූ අයවැය ඊට හේතු විය. එදා මම ද ස්වාධීන විශ්ලේෂකයෝ ද ඒ බව ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට යොමු කළෙමු. මහා ආර්ථික වින්නැහියක් ළඟ ළඟ එන බවත් එය මර්දනය කිරීමට වහා පියවර ගත යුතු බවත් කියා සිටියෙමි. එම යථාර්ථයට මුහුණ දෙනු වෙනුවට බලධරයෝ ප්‍රධාන ආර්ථික ඉලක්කම් එහා මෙහා කරමින් ආර්ථිකය රෝස මල් යහනාවක් බව පෙන්වා දුන්හ. දළ දේශීය නිෂ්පාදනය හා අපනයනයේ කොටස් කඩා වැටෙන්නට විය. විදේශ වත්කම් අර්බුදය මෝදුවන්නට විය.

2005 පමණ සිට ආනයනය ඉහළ නැංවී එතෙර රැකියා කළ ශ්‍රී ලාංකිකයන්ගේ රට සල්ලිවලින් රජය තාවකාලික සහනයක් සැලසීය. වෙළඳ හිඟය පුළුල් වී යෑම වැළැක්වීමට එම විදේශ විනිමය යොදාගැනිණි. එහි හිඟය පිය වුණේ එතෙර වාණිජ බැංකුවලින් ඉහළ පොලියකට ණය ගැනීමෙනි. වෙළඳපොළේ විනිමය හුවමාරුව බිඳවැටීම වැළැක්වීමට එසේ ණයට ගත් මුදල් යොදාගැනිණි. 2011 නොවැම්බරයේ දී එම අතිශය අඥාන ක්‍රියාව මම පෙන්වා දුන්නෙමි. එහෙත් ප්‍රතිපත්ති සම්පාදකයෝ පරණ පුරුදු විදියටම එතෙර වාණිජ බැංකුවලින් තව තවත් වැඩි පොලියට ණය ගත්හ. එසේ කළා පමණක් නොව එසේ ගත් විදේශ ණය පිළිබඳව බොරු ගණන් හිලව් ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කළහ. එමගින් ආර්ථිකය රෝස මල් යහනාවක තැබූහ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම ස්ථාවරය 2014 මැයි මාසයේ දී මම අභියෝගයට ලක් කළෙමි. ශ්‍රී ලංකාව මේ විධියට විදේශ ණය ගැනීම අසම්පූර්ණ විශ්ලේෂණ මත සිදුවන බවත් එම ක්‍රියාව ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන සතුරකු වන බවත් මම කීවෙමි. එවිට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා දැක්වීය. මට පෞද්ගලික ප්‍රහාර ද එල්ල විය. එහෙත් ප්‍රශ්නය විසඳුණේ නැත. වත්මන් රජය එහි ප්‍රතිඵලයට මුහුණ පා සිටී. එදා බලයේ සිටි රජය ආර්ථික දත්ත ද එහා මෙහා කළේය. ආර්ථික දත්ත මෙන්ම දරිද්‍රතා හා විරැකියා දත්ත ද හිරිකිතයක් නොමැතිව තම වාසියට හරවා ගත්තේය. බාල අරමුණු වෙනුවෙන් ඉහළ මට්ටමේ ආර්ථික තීන්දු ගන්නෝ එවැනි බාල වැඩ කළහ. නව රජය 2015 දී බලයට එන විට ආර්ථිකය ලෙඩ ඇඳේය. ඒ ආර්ථික ලෙඩා උරුම වූයේ පෙර පාලනයෙනි.

නව රජයේ ඉහළම ප්‍රමුඛතාව හිමි වූයේ ආර්ථික ලෙඩාගේ රෝග නිශ්චය කරගැනීමයි. සුවකර ගැනීමට බෙහෙත් සොයා ගැනීමයි. ව්‍යාධි හඳුනා වහා සුවපත් කරගැනීමයි. අනතුරක කිසිම සේයාවක් නොමැතිව ආර්ථික ගිනිකන්ද පිපිරී යන ලකුණු හැම අතින්ම දිස්විය. බලා සිටීමට කාලයක් නැත. රජයේ උපදේශකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යය වූයේ සැබෑ ආර්ථික තත්ත්වය ගැන රජයට කරුණු පෙන්වා දීමයි. වහා ගත යුතු ප්‍රතිකර්ම කවරේදැයි පෙන්වා දීමයි. එහෙත් නව රජය කිසිම ආර්ථික ප්‍රශ්නයකට මුහුණ නොපෑ බව තමන් බලයට පත්වීමෙන් පසුව 2015 අප්‍රේල් මාසයේ දී නිකුත් කළ මහ බැංකු වාර්තාවේ දැක්වේ. 2014 මහ බැංකු මූල්‍ය මණ්ඩලය මෙම වාර්තාව සම්පාදනය කළේය. පෙර පාලනයේ සැක කටයුතු ආර්ථික දත්ත කිසිම දොසකට ලක් නොවන බවට නව රජය සහතිකයක් දුන්නේය.

 නව රජයේ මුදල් අමාත්‍යාංශය 2015 ජූනි මාසයේ නිකුත් කළ වාර්ෂික වාර්තාවේ ද එම ස්ථාවරය දැක්වේ. වහා ප්‍රතිකර්ම යෙදිය යුතු ආර්ථික ව්‍යාධියකින් ශ්‍රී ලංකාව නොපෙළෙන බව එහි සඳහන් වේ. රටේ ආර්ථික ලෙඩට දැන් දොස් තබනුයේ නව රජයමයි. අද තත්ත්වය ඉතා නරකය. 2015 දී හා 2016 දී ආර්ථික වර්ධනය 4.5% පහළ අගයක් ගත් බව වාර්තා වේ. 2017 වර්ධනය ඊටත් අඩු මට්ටමකට පත් විය. එය 4% කි. 2018 සිට 2020 දක්වා වර්ධනයේ හොඳම දර්ශනය වනුයේ 5% කි. නොඑසේ නම් 5.5% කි. නව රජයේ 2025 දැක්ම අනුව රජයේ ආර්ථික උපක්‍රමය යටතේ 2020 දී ඒකපුද්ගල ආදායම ඇමෙරිකා ඩොලර් 500 ක් දක්වා වැඩිකර ගැනීමට රජය බලාපොරොත්තු වෙයි. අද එම ඉලක්කය ඇමෙරිකා ඩොලර් 4000 ක් පමණ වේ. 2018-2020 බලාපොරොත්තු ආර්ථික වර්ධනය රජයේ ආර්ථික උපක්‍රමය ඉටුකර ගැනීමට බාධාවකි.

වෙනත් වචනවලින් කියතොත් මෙම ආර්ථික වර්ධන වේගය බලාපොරොත්තු ඉලක්කයට වඩා බොහෝ පිටුපසින් සිටී. මෙම ඉලක්ක වැරදුණහොත් රජයේ ආර්ථික උපක්‍රමික ලියවිල්ල ද මුළුමනින් පුස්සක් වේ. ඒ අනුව 2025 ඉලක්ක ද පුහු වී යයි. 2018 සහ ඉන්පසු කාලය සඳහා වන මූල්‍ය ප්‍රතිපත්ති වැඩසටහන පීලි පනිතියි කුමාරස්වාමි සැක පළ කරයි. දේශීය මූල්‍ය තත්ත්වය අයහපත් අතට හැරී ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික මාර්ග සිතියම අවුල් වෙතියි ඔහු බිය පළ කරයි. එම මාර්ග සිතියම එළිදැක්වුණේ මේ වසර තුළ දී ය.

2015 ජනවාරියේ බලයට පැමිණි රජය ඉතා නිවැරැදිව පැවසුයේ ණය බරින් හෙම්බත් වූ ආර්ථිකයක් උරුම වූ බවයි. මංගල සමරවීර මුදල් ඇමැති පාර්ලිමේන්තුවට අය වැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු ණය කන්ද මීතොටමුල්ලේ කුණු කන්දට වඩා ලොකු බවත් භයානක බවත් පවසා සිටියේය. එහෙත් ආණ්ඩුවේ කියුම් කෙරුම් අනුව එම ණය කන්ද මිටි කිරීමට ක්‍රියා කරන බවක් පෙනෙන්නට නැත. රජය සියලුම පසුගිය ආණ්ඩු ගිය මඟෙහිම යමින් පොලිය ගෙවීමටත් කල් පිරුණු පොදු (රාජ්‍ය) ණයෙහි ණය ගෙවීමටත් ක්‍රියා කරයි. එමගින් සිදුවනුයේ ණය කන්ද තව තවත් තරවීම පමණි. 2016 දී රජය සිය රාජ්‍ය වර්ධනය කරගත් බව කිව යුතුය.

එය රජය හිමිකර ගත් ජයග්‍රහණයකි. එහෙත් රජයේ වියදම් වර්ධනයවීමට රජය ඉඩහැර තිබේ. අත දිග හැර කරන එවැනි වියදම් නිසා රජය තව තවත් ණය ගනී. රජයේ මුළු ණය ප්‍රමාණය ටි්‍රලියන 7.4 කි. ඒ නව රජය පත්වූ සමයේ ණය කන්දේ ප්‍රමාණයයි. 2017 සැප්තැම්බරය වන විට එම ණය ප්‍රමාණය ටි්‍රලියන 10.3 කි. ටි්‍රලියනය යනු 1000000000000 (බිංදු 12 කි). 2018 සිට 2020  ශ්‍රී ලංකාවට බරපතළ තීරණාත්මක සමයකි. හේතුව වනුයේ යළි ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය හා පොලිය රජයේ ආදායම් ඉලක්කයට වඩා කැපී පෙනෙන ලෙස ඉහළ යෑමයි.

එමෙන්ම විදේශ ණය අර්බුදය ද ශ්‍රී ලංකාවට අයහපත් ලෙස සිටී. 2017 දී  අපනයනයේ යම් ප්‍රගතියක් ඇතිවී ඇතත් බලාපොරොත්තු වර්ධන වේගය බොහෝ ඈතය. ශ්‍රී ලංකා රුපියල බාල්දු වීමේ පීඩනයට ලක් වී සිටී. එහෙයින් ලබන තුන්වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්වෙතියි සිතීම අමාරුයි. මේ අයහපත්  ආර්ථික තත්ත්වය මැද රට තවත් ප්‍රශ්නයකින් හෙම්බත් වෙයි. එය බලය සඳහා වන අන්තරායදායක දේශපාලන ව්‍යසනයකි. සියලුම පාර්ශ්වවල දේශපාලනඥයෝ මේ ගමනට මැදි වී සිටිති. තමන් සාමාන්‍ය පුරවැසියන් බවත් තම පැවැත්ම සඳහා ක්‍රියා කිරීමට සිදුවී ඇති බවත් ඔවුහු කියති.

එහෙත් මොවුන් එකිනෙකා සමග පොර කන විට සෙස්සන්ට උරුම වනුයේ කාලකණ්ණිකමයි. ආර්ථික විද්‍යාඥයන් කියනුයේ එය සමාජයට පැවරෙන බාහිර වියදමක් බවයි. නොබෙල් සම්මානලාභී රොනල්ඞ් කෝස් 1960 දී යෝජනා කළේ සාකච්ඡා මේසයේදී මෙවැනි ප්‍රශ්න විසඳා ගත යුතු බවයි. ආගමික නායකයෝ ද ඒ ආකාරයෙන්ම අවවාද කරති. සදාචාර හා ආචාර ධර්ම සලකන්නැයි ඔවුහු යුදවැදි සිටින පාර්ශ්වලට උපදෙස් දෙති. යුද වැදී සිටින්නන්ගේ උත්සාහය වනුයේ අනෙකා නසා තමන් ජය ගැනීමයි.

මුදුනා වීමයි. කැඩී බිඳී වෙන් වී ගිය අය සමග ආණ්ඩුව පිහිටුවා ගත යුතු යයි එවැනි කොටස්වල හවුල්කරුවෝ යෝජනා කරති. එය එක්සත් ජාතික රජයක් හෝ එක්සත් ජාතික සංවිධාන රජයක් විය හැකි බව ඔවුහු කියති. ආර්ථික ප්‍රතිසංස්කරණ නැති පුළුල් ආර්ථික දැක්මක් නැති කැටිකර ගත් ආර්ථික පිළිවෙතක් නැති ආර්ථිකයක් රටට හිමි වීමේ අනතුර එහි ඇත. එමගින් මුළු රටේම අස්ථාවරභාවය ඇති කරයි. රටක වෙළඳපොළ අස්ථාවරත්වයට නොකැමැතිය. අස්ථාවරත්වය එක් අතකින් ආයෝජන අඩුකරයි.

අනෙක් අතින් ආයෝජන අරමුදල් රටින් පිටට ගලා යවයි. රටේ අනාගත වර්ධන ඉඩකඩ නරක අතට හරවයි. රටේ අරමුදල් රටින් පිට ගලා යාමට පටන්ගෙන ඇති බව බාල්දු වූ රුපියල හොඳින් පෙන්වයි. බලය අල්ලාගෙන බලයේ සිටීමේ දේශපාලන සෙල්ලම සිත් සේ කරගෙන යාමට දේශපාලනඥයන්ට හැකිය. එම දේශපාලන සෙල්ලමේ පීඩිතයෝ දෙදෙනෙක් වෙති. “ආර්ථිකය” හා “මහජනයා” එම දෙදෙනාය.