-වසන්තප්‍රිය රාමනායක

එල්.ටී.ටී.ඊ ය යනු වේලුපිල්ලේ ප්‍රභාකරන් ත්‍රස්ත කටයුතු මෙහෙය වූ සංවිධානයයි. එය තහනම් බෙදුම්වාදී සංවිධානයකි. එල්.ටී.ටී.ඊ. ය යුදමය වශයෙන් පරාජය වුව ද මතවාදී තලයේ බෙදුම්වාදය අත්හැර නොමැත. මේ නිසා උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නයට සවන්දීම හා එල්.ටී.ටී.ඊ. ය සමග ගනුදෙනු බේරාගැනීම එකක් නොව දෙකකි.

එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් යනු හිට්ලර්ගේ මල්ලී ය. අප සතු හිට්ලර්ගේ අත්දැකීම ප්‍රභාකරන්ගේ හා එල්.ටී.ටී.ඊ. යේ පසුගිය ක්‍රියාකලාපය ලෙසින් පෙළගස්වා ගත හැකිය. මේ අනුව විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිවරිය එල්.ටී.ටී.ඊ. ය නැවත ගෙන්වා ගැනීමට කතා කිරීම පසුගිය දා නායක ස්වාමීන්වහන්සේ නමක් හිට්ලර් ආදර්ශයට ගෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට රට පාලනය කිරීමට උපදෙස් දුන්නා හා සමානය. ඉන් ලේකම්වරයාට සිදුවූයේ ද අසාධාරණයකි. එය මහින්ද චින්තනය පවා නොතකා හැරීමකි. එල්.ටී.ටී.ඊ. ය යළි කැඳවා ගැනීමට යෝජනා කරමින් උප ඇමතිනි විජයකලා මහේෂ්වරන් කටමැත දෙඩවීමට ගොස් ඇය නියෝජනය කරන ආණ්ඩුවට කළේ ද අසාධාරණයකි.එක්සත් ජාතික පක්ෂය වැනි ජාතික පක්ෂයක් දකුණේ මෙන්ම උතුරේ යාපනය දිස්ත්‍රික්කය මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීමට ලැබීම රට වශයෙන් ගත්කල වැදගත් ය. ඉදිරිගාමී ය. විජයකලා මහේෂ්වරන් එම වගකීම දරන යූ.එන්.පී. යේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරියයි. මේ නිසා ඇය කරනු ලබන යෝජනාව බරපතළය. විනය පරීක්ෂණයක් පවත්වා දඬුවම් කළ යුතුය. එතුමිය එම ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන සමාව ගන්නේ නම් ඒ ගැන ද එම පක්ෂයට සලකා බැලිය හැකිය. විජයකලා මහේෂ්වරන්ට යාපනයේ ඡන්දය ලබාගැනීම උදෙසා එල්.ටී.ටී.ඊ. හිතවාදී ශිවාජිලිංගම් හා ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම්ලා අතර තරගයක් තිබේ. ඊට තමන් නියෝජනය කරන පක්ෂයත් ආණ්ඩුවත් රටත් බිල්ලට දීම වැරදිය. ඇය යාපනයේ ජනතාව ද යළි අමාරුවේ වැටෙන ආකාරයේ දේශපාලනයක යෙදීම හෙළා දැකිය යුතුය. යාපනයේ සමහර ජන කොටස් තුළ එල්.ටී.ටී.ඊ. ය සම්බන්ධයෙන් යම් අනුකම්පාවක් පැවතිය ද බහුතර ජනතාව ඔවුන්ගේ ක්‍රියාකලාපයට විරුද්ධය.

මේ වනවිට දකුණෙන් සියලුම අන්තවාදී කොටස් මේ ප්‍රකාශය මගින් මහත් උද්දාමයකට පත්ව සිටිති. සමහරු දැනට පවතිනවාටත් වඩා විශාල ‘නන්දිකඩාල් කළපුවක්’ නිර්මාණය කිරීමේ සිහින දකිති. එය එල්.ටී.ටී.ඊ. ය මෙන්ම ලේ පිපාසිත අමන ජාතිවාදී සිහිනයකි. මෙහි ඇති වැරැද්ද ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ද නම සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂය එම සිහිනය තුළට කැඳවාගෙන යාමට උත්සාහ දැරීමය.

ජනාධිපති මෛත්‍රීගේ 2015 ජනවාරි 08 ජයග්‍රහණයට උතුරු නැගෙනහිර කලාපයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබුණි. එය කැපී පෙණුනේ මුළු රටම එක් ආසනයක් ලෙසින් ගනු ලැබූ ජනාධිපතිවරණයේ දී ය. ඊට පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය ඊට වඩා වෙනස් ය. සුළු ජාතික පක්ෂ නොමැතිව අාණ්ඩුවක් ගොඩනැගීම අපහසු බව හෙළිදරව් වන යථාර්ථය යි. මේ නිසා ජනාධිපතිවරණ ප්‍රතිඵලය කරණ කොටගෙන උතුරු නැගෙනහිර කලාපයක් ලෙසින් ගෙන කඩිනමින් සංවර්ධනය කළ යුතුය. ප්‍රශ්න විසඳිය යුතුය යන මතයක් උතුරේ සමහර අන්තවාදී පක්ෂ හා සංවිධාන තුළ පවතී. එය ඔවුන් සලකන්නේ ලබාදුන් ජන්දයට හිලව් වන කොන්දේසියක් ලෙසින් වාගේ ය. එල්.ටී.ටී.ඊ. ය නැවත කැඳවා ගැනීමක් ගැන කතාවන්නේ මෙවන් පසුබිමක් තුළ ය. අන්තවාදය දෙපැත්තේම ක්‍රියාත්මක වන්නේ එකම කාසියක දෙපැත්තක් ලෙසිනි. අත්දැකීම් අඩු දේශපාලන පරිචයක් නොමැති, ස්වාමිපුරුෂයාගේ හදිසි වියෝව කරණ කොටගෙන කුස්සියේ සිට පැමිණි විජයකලා මහේෂ්වරන් වැනි චරිත මීට ගොදුරු වීම පුදුමයක් නොවේ.

එහෙත් ජනාධිපති මෛත්‍රී හැකි සෑම අවස්ථාවකදීම උතුරට ගොස් උතුරේ හා නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න පෞද්ගලිකවම සොයා බලා එම පළාත්වල සංවර්ධනය කඩිනම් කිරීමට උපදෙස් දෙන නායකයෙකි. ඔහු තරම් කෙටි කලක් තුළ උතුරට ගිය සිංහල රාජ්‍ය නායකයකු නොමැති තරම්ය. මේ වනවිට යුද සමයේ අත්පත් කරගත් උතුරේ ජනතාවගේ පෞද්ගලික ඉඩම්වලින් 90% ඔවුනට ලබා දී අවසන් ය. එය ජනාධිපතිවරයා පෞද්ගලිකවම වාගේ මැදිහත් වී සිදුකළ ක්‍රියාවකි. 

අන්තවාදී ප්‍රකාශය නිසා උතුර හා දකුණ රත්වෙමින් සහජීවනයට හානි පැමිණෙමින් තිබිය දී මහ බැංකු බැඳුම්කර මගඩියේ ජරාව දැන් සෑම අතකටම ගලා යමින් පවතී. එය මහපොළ අරමුදලට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තැන්පතුවලට මෙන්ම දේශපාලනඥයන්ගේ දරුවන්ගේ ගිණුම්වලට ද ගමන්කරමින් තිබෙනවා වාගේ ය. හෙට අනිද්දා වනවිට තව මොන මොන තැන්වලට මේ ජරාව ගලා යනු ඇද්දැයි උපකල්පනය කිරීම පවා අපහසුය.
“නිව්ෙයා්ක් ටයිම්ස් ” පුවත්පත හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අක්‍රමිකතාවයක් අනාවරණය කරනු ලබන්නේ මෙවන් පසුබිමක ය. බැඳුම්කර ජරාව නිසා ඔළුව අවුල්කර ගෙන සිටින අයට මෙය යම් සහනයක් වූවාට සැක නැත.

ඊට හේතුව ජනමාධ්‍ය “නිව්ෙයා්ක් ටයිම්ස්” වාර්තාව දෙසට යොමුවීමය. මේ ආණ්ඩුව බලයට පත් වී වසර තුනහමාරකට පසු “නිව්ෙයා්ක් ටයිම්ස්” කරනු ලබන මෙම හෙළිදරව්ව සමහර අයට ආස්වාදජනක ය. කටමැත දෙඩවූ තරමට එකදු හොරෙක්වත් තවමත් අල්ලා නැති මේ ආණ්ඩුව බලයට ගෙන ආ යහපාලන සමාජ බලවේගවලට සිදුවී තිබෙන්නේ මෙවන් අනාවරණය මගින් හෝ යම් ආස්වාදයක්, සැනසීමක් ලැබීමට ය. ඔවුන් ද මෝඩ නැත. යහපාලනය තමන් පෙරළා දැමූ පාලනයටත් වඩා අන්ත බව ද මේ අය නොදන්නවා නොවේ.සමහර අයට අනුව නම් “නිව්ෙයා්ක් ටයිම්ස්” තරම් ගවේෂණාත්මක ලිපි ලියන මාධ්‍යවේදීන් හා වේදිනියන් ලංකාවේ නොමැත. එහෙත් මෙවන් හෙළිදරව් කිරීම් කොතෙකුත් අපේ රටේ මාධ්‍ය මගින් ද සිදුකර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ ප්‍රඥාගෝචර නොවන හෙළිදරව්වෙන් එම පුවත්පතේ ගවේශනාත්මක වාර්තාකාරිනිය පවා අමාරුවේ වැටී තිබෙන බව පෙනේ. ඇය තොරතුරු ලබාගෙන තිබෙන්නේ ආණ්ඩුවේ රහස් තොරතුරු හා පරීක්ෂණ අංශ ඇසුරිනි.

“ආණ්ඩුවේ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාවක අඩංගුවේ. පුවත්පතක දැනගැනීමට ලැබුණු පත්තර වාර්තාවට අනුව .........” (නිව්ෙයා්ක් ටයිම්ස් ලිපිය)

“ගිණුමෙන් නිකුත් කරන ලද චෙක්පත්ලාභීන්ගෙන් ලබාගත් තොරතුරු ආදිය වාර්තාවේ සඳහන් වේ.......”
ඒ වාර්තාව යනු ආණ්ඩුවේ අභ්‍යන්තර වාර්තාව බව පැහැදිලිය. මාධ්‍යවේදීන් දෙදෙනෙකු ලවා මේ තොරතුරු ලබාගත්තා විය හැකිය. එක්කෝ අදාළ බලධාරීන් හමුවී ලබාගත්තා විය හැකිය. ඇය මෙම ලිපියට අදාළ තොරතුරු ලබාගෙන තිබෙන්නේ ස්වයංභූඥානයෙන් නොවන බව නම් පැහැදිළිය. ප්‍රශ්නය ඇත්තේ මාධ්‍යවේදිනියක් තොරතුරු ලබාගත් ආකාරයේ නොවේ. ආණ්ඩුවට තොරතුරු අතේ තිබුණා නම් මේ ගැන පරීක්ෂණයක් නොකළේ මන්ද යන්නයි. පරීක්ෂණයක් කළා නම් එය ඉදිරියට ගෙන යා නොහැකි නිසා අත්හැර දැමුවාද? යන්නයි.

වසර තුන හමාරක් නිහඬව සිටියේ ඒ නිසා දැයි කියන්න දන්නේ නැත. ‘‘නිව්ෙයා්ක් ටයිම්ස්” වාර්තාකාරියගේ හෙළිදරව්ව ගැන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ද මේ ගැන කලින් සොයාබලා අත්හැර දමන ලද කතාවකි. සිදුවී ඇත්තේ කාගේ හෝ උපක්‍රමික දේශපාලන කාලසටහනකට අනුව “නිව්ෙයා්ක් ටයිම්ස්” වාර්තාකාරිය හැසිරවීම දැයි කියන්න දන්නේ නැත. වසර තුන හමාරක් තිස්සේ ආණ්ඩුවේ අදාළ අංශ තුළ දෝලනය වෙමින් පැවති නිව්ෙයා්ක් ටයිම්ස් පුවත්පතේ සත්‍යතාවයක් තිබේ නම් ඇමරිකන් ඩොලර් ද.ල. 7.8 ක මූල්‍ය අවභාවිතයක් ගැන පරීක්ෂණයක් නොපැවැත්වීම පුදුම සහගතය.

මේ අනාවරණය නිසා අන්තර්ජාතික වශයෙන් කාරණා දෙකක් සිදුවීමට ඉඩ තිබේ. ඉන් එකක් වන්නේ චීනය වර්තමාන රජය සමග අමනාප වීමය. දෙවැන්න මේ කලාපයේ ඇමරිකානු හා ඉන්දියානු මැදිහත්වීම තීරණාත්මක සාධකයක් ලෙසින් ඉස්මතු වීමය. මෙම සාධකය මත චීනයට වඩාත්ම සමීප හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය නිදහස් කර ගැනීම ඉදිරි ජනාධිපතිවරණය පසුවන තුරු කල් යාමට ද ඉඩ තිබේ. එය නිව්ෙයා්ක් ටයිම්ස් අනාවරණයේ අතුරු කතාවක් ද විය හැකිය. 

1977 න් පසු ඇරඹි මේ රටේ නිර්මාණය වූ ජරාජීර්ණ දේශපාලනය උදෙසා මැතිවරණ අරමුදල් සොයා ගැනීමට හැම පක්ෂයක්ම පෙළැඹීම ස්වාභාවිකය. එය මේ වනවිට රටේ විනාශකාරී සංස්කෘතියක් බවට පත්ව තිබේ. මහබැංකු බැඳුම්කර මගඩිය ඊට හොඳම නිදසුනයි. වර්තමානයේ මේ රටේ දේශපාලනය කරන බහුතරයකට මේ සංස්කෘතිය වෙනස්කර ලීමේ වුවමනාවක් නොමැත. ඒ වෙනුවට අද සිදුවෙමින් පවතින්නේ එකිනෙකාට මඩ ගසා ගැනීමකි. එක් මඩක් වසා ගැනීමට තවත් මඩක් සොයා ගැනීමය. වරදක් සිදුවී තිබේ නම් ඒ ගැන සොයා බලා නිසි ආකාරයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ ගැටලුවක් නොමැත. නීතිය ක්‍රියාත්මක විය යුත්තේ පොල් ගෙඩි 08ක් හොරකම් කළ පාසල් දැරියට හෝ පීරිසි කෝප්ප 06 ක් අල්ලසට ගනු ලැබූ ග්‍රාම නිලධාරිවරයෙකුට එරෙහිව පමණක් නොවේ.
ජනාධිපති මෛත්‍රී මේ සංස්කෘතිය වෙනස් කිරීමේ උත්සාහයක් ගනු ලබන බව පෙනේ. එහෙත් සමස්තයේ සහාය ඔහුට අවැසිය. මේ රටේ තරුණ පරපුර නම් මේ විකාර රූපී සිතුවම දෙස බලා සිටින්නේ මහත් කම්පනයකින් බව අද දවසේ දේශපාලනය කරන සියල්ලන්ම අවබෝධ කරගත යුතුය.

මේ සියලු කරුණු කාරණා අස්සේ ආණ්ඩුව ඉදිරි පළාත් සභා මැතිවරණය ලබන ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වීමට සූදානම් වෙනවා ද යන සැකය පසුගිය සතිඅන්ත ජනමාධ්‍ය මතුකර තිබුණි. ඊට හේතුව මැතිවරණ කොමසාරිස්වරයා නැවත අවදිවීමත් සමග ඇතිවී තිබෙන වාතාවරණයයි. ඡන්ද කල් දැමීම ඔහු දකින්නේ හොර ඡන්ද දැමීම හා සමාන මැතිවරණ දූෂණයක් ලෙසිනි. සිදුවන්නේ එය නම් අපටත් ගතහැකි ක්‍රියාමාර්ග තිබේ යැයි පසුගිය දා ඔහු සඳහන් කර තිබුණි. ඡන්ද කල්දැමීම පල් වැඩකි. එය යහපාලනයකට කෙසේ වෙතත් මුගාබේ පාලනයේවත් නොතිබුණි. එහෙත් මේ රටේ නිදහසින් පසු ඡන්ද කල්දැමීමේ ශූරතාවය දිනාගන්නා එකම රජය මේ රජය නොවේවා යි 2015 ජනවාරි 08 වැනිදා මේ ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව ප්‍රාර්ථනා කරති.

රුසියාවේ තානාපති ධුරයට දේශපාලන වියතකු මෙන්ම ජාත්‍යන්තර තලයේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ආචාර්ය දයාන් ජයතිලක පත්වීම සමහරුන්ගේ විවේචනයට ලක්ව තිබේ. එය ජනාධිපතිවරයා කාලීනව ගනු ලැබූ නිවැරැදි තීරණයකි. පසුගිය සමයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට පක්ෂපාතී යෝජනාවක් ජයගනු ලැබුවේ ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේ රටේ තානාපතිවරයා ලෙසත් කටයුතු කරන සමයේ ය. එම ජයග්‍රහණයේ පුරෝගාමියා දයාන් ය. ඔහු ඉවත් කළ තැනේ සිට අපට අද දක්වාම අත්වී තිබෙන්නේ පරාජය බව අද සමහර දෙනාට අමතක වී තිබේ.