වත්මන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් විවේචන අඩුවක් නැත. මේවාට ආණ්ඩුවේ ප්‍රතිචාර ශක්ති සම්පන්න නොවේ. වසර තුනක් තිසසේ වත්මන් පාලනය කළේ කුමක් දැයි ප්‍රශ්න කරන තැනට පත්ව ඇත්තේ මෙකී පසුබිම යටතේය. 2015 බල පෙරැළිය ඓතිහාසිකය. මේ පෙරැළියට බලපෑ ප්‍රධාන සාධක කීපයකි. රාජපක්ෂ කාලයේදී ජනතාවට තිබූ නිදහස සීමා වුණි. නැතිනම් නිදහස ගිලිහුණි. වංචා, දූෂණ, පවුල්වාදය ජාත්‍යන්තර වශයෙන් රට හුදෙකලා වීමද බල පෙරැළියට හේතුවුණි. ඒ වගේම අභිමානවත් පෞරුෂයක් ඇතිව නැඟී සිටීමට නොහැකි පරිසරයක් රාජපක්ෂ යුගයේදී නිර්මාණය වූයේය. 2009 දී ලබාගත් යුද ජයග්‍රහණයත් සමඟ ගොඩ නඟා ගත් පෞරුෂයත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කිරීමට තරම් කිසිවකු සිටියේ නැත. මේ අභිමානයත් සමග ජනතාවගේ නිදහස සීමා වුණි. පවුල්වාදය හිස එසැවූයේය. අභිමානවත් පෞරුෂයකට අභියෝග කිරීමට ජනතාව විකල්ප සෙව්වේ මේ සියල්ලේ ප්‍රතිඵලයක් වශයෙනි.

2015 බල පෙරැළිය වන්නේ ඒ අනුවය. මේ ජයග්‍රහණයට වසර තුනකට වැඩි කාලයක් ඉක්ම ගොසිණි. යහපාලනය දෙස බැලිය යුත්තේ මේ පසුබිමේය. රටේ සංවර්ධනය අනාගතය පිළිබඳව යම් ආකාරයක බලාපොරොත්තු කඩවීමක් ගෙවුණු කාලයේදී සිදුව ඇති බව පෙනෙන කරුණකි. මේ කාලයේදී ලංකාව අයාලේ ගිය බව මාගේ අදහසය. මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ පිරිස රාජපක්ෂවරුන්ට එරෙහිව කඳවුරු බැන්දේ ජීවිත අවදානම ගැන නොසිතාය. ඒ වන විටත් සුදු වෑන් සංස්කෘතිය රහසක් නොවේ. රාජ්‍ය මර්දනය සම්බන්ධව චෝදනා ද බරපතළව තිබුණි. පුද්ගලයන් අතුරුදන් වීම් සමාජ කථිකාවකට මගපාදා තිබුණි. මෙවන් පසුබිමක ඉහත කී පිරිස පෙරමුණට පැමිණියේ ඔවුන් සැබවින්ම රටට ජාතියට ආදරය කළ නිසාය. පැවැති පාලනයෙන් අවශ්‍ය තරම් වරදාන වරප්‍රසාද ලබාගෙන බෙහෙවින් සැපවත් ජීවිත ගත කිරීමේ අවස්ථාව මේ අයට තිබුණි. එහෙත් එම අවස්ථාව ඔවුහු රට වෙනුවෙන් කැප කළහ. ඔවුහු මේ රටේ සැබෑ පුරවැසියෝය. අද මේ ආණ්ඩුවේ කරඬුව කරේ තබගෙන යන අලි ඇතුන් බහුතරය වෙනත් රටවල පුරවැසියන් බවද අමතක නොකළ යුතුය.

වත්මන් ආණ්ඩුවට වින්නඹුකම් කළ තවත් චරිත ගණනාවකි. සමහරු තිරය පිටුපස සිටියහ. කෙසේ හෝ බල පෙරැළියට පුරෝගාමීව දායක වූයේ මෙරට සිවිල් සංවිධානය. ඒ මේ රට නිවැරැදි මඟට ගැනීමේ වුවමනාවක් ඔවුන්ට තිබූ නිසාය. එහෙත් ඒ වන විටත් එ.ජා.ප.යට. නිසි විසඳුමක් හෝ අවබෝධයක් තිබුණේ නැත. ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පවා එකඟතාවක් නොවීය. 2010 දී එ.ජා.ප.ය. කළේ තමන්ට අත් වීමට තිබූ පරාජයක් වෙනත් අයකු පිට පැටවීමය. 2010 දී තමන් පරාජය නොවූ බව එ.ජා.ප.ය. ප්‍රකාශ කළේ ඒ නිසාය. 2015 දී කිරීමට උත්සාහ කළේ ද එවැන්නකි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පැමිණියේ එ.ජා.ප.යේ. පෙළඹීමට වඩා ශ්‍රී.ල.නි.ප.යේ. ඇති වූ පිපිරීම සහ සිවිල් සංවිධාන වල මැදිහත් වීමය. මැතිවරණ ජයග්‍රහණයක් සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ද එ.ජා.ප.ය.ට නොතිබුණි. එ.ජා.ප. ප්‍රබලයන් ඒ මොහොතෙත් පක්ෂ මාරු කිරීමෙන් පෙන්නුම් කළේ එයයි. කෙසේ වුවත් බල පෙරැළියක් සිදු වුණි. සිවිල් සංවිධාන වල බෝඩ් ලෑලි තමන්ගේ බෝඩ් ලෑලි බවට හරවාගෙන ඒ හරහා තමන්ගේ නොහැකියාව වසා ගැනීමට 2015 දී පොදු අපේක්ෂකයා වටා සිටි දේශපාලන පක්ෂ යොමු වුණි. කෙසේ හෝ අවසන් ප්‍රතිඵලය වූයේ එ.ජා.ප. ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවක් බිහි වීමය. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා බවට පත් වීමත් සමග ජනතාව අතර ප්‍රබල මත වාදයක් ගොඩනැඟුණි. තම පක්ෂයෙන් අපේක්ෂකයකු යෝජනා කර ඔහුට අභියෝග කිරීමට එළියට බැසීම යම් ආකාරයක ප්‍රශ්න සහගත වුණි. එවන් පසුබිමකත් ජනතාව අතර ගොඩනැඟුණු මතවාදය යහපාලනය බිහි වීමෙන් ශක්තිමත් වූවාද? ජනතා අපේක්ෂා ඉටු කිරීමට සමත් වූවාද? මේ වන විට මෙකී ප්‍රශ්නවලට සමාජයට ඇත්තේ ප්‍රශ්නාර්ථයක් මිස අන් කවරක් වත් නොවේ. රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ඔවුන්ගේ දරුවන්ට නොයෙක් ආකාරයේ චෝදනා එල්ල වුවද මහින්ද රාජපක්ෂ චරිතයට බරපතළ චෝදනා එල්ල නොවූ බව කිව යුතුය. විවිධ මාෆියා සම්බන්ධ චෝදනා නැඟුණේ එදා ආණ්ඩුවේ මැති ඇමැති සහෝදරවරුන්ටය. එකී චෝදනා සියල්ල එදා ආණ්ඩුවේ පරාජයට බල පෑවේය. ඉඟුරු දී මිරිස් ගන්නවා දැයි යම් අය එදා ප්‍රශ්න කළේ ඒ නිසාය. ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට තවම කල් වැඩිය. ඒ වගේම ඒ පිළිතුර බලාපොරොත්තු වන්නේ මේ ආණ්ඩුව හැදීමට උර දුන් පෙර සඳහන් කළ වින්නඹු අම්මා වරුන්ගෙනි. කළේ වැරැද්දක් ද නිවැරැදි දෙයක් ද කියා හරියටම දන්නේ ඔවුන්ය. ඒ කෙසේ වුවත් වත්මන් ආණ්ඩුව බිහි කිරීමට අඩු වැඩි වශයෙන් ද දායක වූ සියලු දෙනා ගෙවුණු කාලය සම්බන්ධයෙන් පශ්චත්තාප වන බව නම් පැහැදිලිය.

සමස්තයක් වශයෙන් අප බලාපොරොත්තු වූ සංවර්ධනය ආර්ථික දියුණුව තවම පෙනෙන්නට නැත. වත්මන් පාලනය සම්බන්ධයෙන් සතුටු වන්නේ ඉහළම තනතුරු වලට පත් වූ අයත් මැති ඇමැතිවරුන් සහ ඔවුන් පිටුපස සිටින ඉහළ වරප්‍රසාද ලාභීන් පමණය. ඒ හැර බහුතරයකට ඇත්තේනම් කලකිරීමකි. අපේක්ෂා භංගත්වයකි. ඒ අනුව යහපාලන ආණ්ඩුව ගොඩනැඟීමට දායක වූ අයගෙන් අතිශය බහුතරය අද දවසේ අඩු වැඩි වශයෙන් දුක් වන බව මගේ පෞද්ගලික මතයයි. මාදුළුවාවේ සෝභිත හිමි සිටියා නම් වැඩියෙන්ම කම්පාවට පත් වන්නේ උන් වහන්සේ බවට කිසිදු තර්කයක් නැත. යහපාලනය බලයට පත් කිරීමේදී ජනතාව තබා තිබූ බලාපොරොත්තු නිවැරැදිව තේරුම් ගැනීමට මේ අයට තවමත් හැකි වී නැත. තේරුම් ගන්නා ස්වභාවයක් ද නැත. අප නඟන චෝදනාව වන්නේ ද එයයි.
සමාජයේ නිදහස සම්බන්ධයෙන් එදා කතා කළෙමු. යහපාලනය බලයට පත් වී ජනතාවට නිදහස ලබා දුන් බව සැබෑය. රාජපක්ෂ යුගයේ තිබූ පීඩාකාරි වාතාවරණය තුරන් කළේය. ඒවා සමාජයේ ඇගැයීමට ලක් වන බවට ද තර්කයක් නැත. මේ නිදහස ඉතා හොඳය. එහෙම එම නිදහස වැරැදියට පාවිච්චි වෙනවා නම්, එම නිදහස වල් බූරු නිදහසක් බවට පත් වෙනවා නම් එයින් සිදු වන්නේ බහුතරයක් පීඩාවට පත් වීමය. යහපාලනයට ලබාදී තිබෙන නිදහස උපයෝගී කර ගනිමින් සෑම දිනකම පාහේ රටේ කොතැනක හෝ මාර්ග අවහිර කිරීමකි. නැතිනම් වැඩ වර්ජනයකි. රෝහල් වල වෛද්‍යවරුන් වැඩ කරන්නේ නැත. දුම්රිය වර්ජන හිටි හැටියේමය. පෙර දැනුම් දීම් නැත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවා පසුගිය කාලයේ වර්ජන ඇති වුණි. මේ සියල්ල ආණ්ඩුවට ලබා දී ඇති නිදහසේ ප්‍රතිඵලය. නිදහස ස්ථාපිත කිරීමට ගොස් බහුතරයක් පීඩාවට පත්ව සිටින බව පැහැදිලිව පෙනෙන කරුණකි. ජනතාවට දුන් නිදහසට වඩා එයින් ඇති වූ පීඩනය වැඩියෙන් දැනෙමින් තිබේ.

දූෂණය, වංචාව, රාජ්‍ය දේපළ අවිභාවිතය අවම කිරීම ප්‍රමුඛ සටන් පාඨ වූ බව සැමට මතකය. පසුගිය පාලනයේ මෙකී කාරණා සම්බන්ධයෙන් සමාජයෙන් එල්ල වූයේ බරපතළ චෝදනාය. ඒවාට වූයේ කුමක්ද? එම ප්‍රශ්නය එලෙස පවතිද්දී වත්මන් පාලනයේ වංචාව, දූෂණය, රාජ්‍ය දේපළ අවභාවිතාව සම්බන්ධව ද චෝදනා මතු වනු පෙනේ. ඒවා සම්බන්ධයෙන් සමාජය කතා කිරීමේ වුවමනාවක් නැති තරම්ය.

ජනාධිපතිවරයා සෑම වේදිකාවකම පාහේ මේවා සම්බන්ධයෙන් කතා කරන ආකාරය දැක ගත හැකිය. යහපාලන ආණ්ඩුවේ ද පෙර පාලනයේ පැවැති දූෂණ වංචා යනාදිය ඒ ආකාරයෙන්ම පවතින බව මෙයින් පැහැදිලිය. එසේ නම් සිදු වූ වෙනස කුමක් දැයි මේ හරහා මතුවන ප්‍රශ්නයකි. පවුල්වාදය රාජපක්ෂ පාලනයට එරෙහිව එල්ල වූ තවත් ​ෙච්දනාවකි. ලංකාවේ දේශපාලනයේ එක් කොටසක් බවට පවුල් වාදය පත්ව හමාරය. එය වත්මන් පාලනය තතහවුරු කර තිබේ. ඉහළම තනතුරු දරන අයගේ සිට පහළ තනතුර දරන අය දක්වා එහි වෙනසක් නැත. ඇමැති කාර්ය මණ්ඩල ආයතන ප්‍රධානීන් පත් කර ඇති ආකාරය දෙස බලන විට පවුල් වාදයේ තරම වටහා ගන්නට පුළුවන. එදා සිටි බැසිල්ලා වෙනුවට අද මලික් සමරවික්‍රමලාය. එදා සිටි මර්වින් සිල්වලා වෙනුවට අද පාලිත තෙවරප්පෙරුමලා නිර්මාණය වී තිබේ. කබ්රාල්ලා වෙනුවට අර්ජුන් මහේන්ද්‍රන් අර්ජුන් ඇලෝසියස් නිර්මාණය කර ඇත්තේය. එදා සිටි පී.බී. ජයසුන්දරලාගේ චරිතය අද රඟ දක්වන්නේ පාස්කරලිංගම්ලාය. චරිත රත්වත්තේලාය. මේ අනුව බලන විට රාපජක්ෂ පාලනයක් වත්මන් පාලනයත් අතර වෙනසක් නැත. වෙනසකට ඇත්තේ නාම පුවරුව පමණි. ජනතාව බලාපොරොත්තු වූ මහා ලොකු වෙනසක් පෙනෙන්නට නැත.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1977 කළ ආර්ථික පරිවර්තනය එ.ජා.ප. ආණ්ඩු ගැන කතා කරන විට නිතැතින්ම ඉදිරියට එන මාතෘකාවකි. ඒ වගේම ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා උදාගම් සංකල්පය, ඇඟලුම් කර්මාන්ත යනාදිය හරහා මේ රටේ මහා පරිමාණ ආර්ථික සංවර්ධනයක් ඇති කළේය. දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම රටට දායාද වුණේ එම යුග වලදීය. එහෙත් වත්මන් එ.ජා.ප. පාලනය යටතේ එවන් සාධනීය සංවර්ධන ක්‍රියාවලි පෙනෙන්නට නැත. මෙවන් සාධනීය සංවර්ධන ක්‍රියාවලියක් නොවීමට ප්‍රධාන හේතුව වශයෙන් ආණ්ඩුව ගෙන හැර දක්වන්නේ ණය බර කතාවය. විශේෂයෙන්ම අගමැතිවරයා මේ කාරණය සෑම වේදිකාවකවම පාහේ කියනු පෙනෙන්නට තිබේ. ණය ගත්තේ ජනතාව නොවේ. ආණ්ඩුවය. පෙර ආණ්ඩුව ගත් ණය වත්මන් ආණ්ඩුව ගෙවිය යුතුය. ඒ වගේම වත්මන් ආණ්ඩුව ගන්නා ණය ගෙවීමට සිදු වන්නේ අනාගතයේ බිහි වන ආණ්ඩුවකටය. ඒ නිසා ණය නිසා සංවර්ධනය කිරීමට නොහැකි වී ඇතැයි කීම ජනතාවට උත්තරයක් නොවේ. තමන් ආණ්ඩුවට භාර ගන්නා විට ණය ගෙවීම් ආදියට සූදානම් වන්නේ කෙසේද යනාදියට සැලැසුම් තිබිය යුතුය. එහෙත් එවන් සූදානමක් තිබූ ආකාරයක් පෙනෙන්නට නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ 2015 බල පෙරැළිය වූයේ ජනතාවට එවැන්නක් වූ නිසා වීමය. ඒ නිසා අහඹු ලෙස ලැබුණ ආණ්ඩුව කරගෙන යාමේ වැඩපිළිවෙළක් දේශපාලනඥයන්ට තිබුණේ නැත.

එහෙත් ආණ්ඩුවේ මුල් කාලයේ යම් ඉදිරිගාමී බවක් තිබුණි. පළමු සහ දෙවැනි අය වැය වලින් සංවර්ධන යෝජනා ක්‍රම රාශියක් යෝජනා වුණි. නිර්මාණශීලී යෝජනා එහි තිබුණි. ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනය නම්‍ය ලෙස දැක තිබුණි. විෂන් 2025 තුළත් නීල හරිත අය වැය තුළත් ඉහළ මට්ටමේ සංවර්ධන ක්‍රියාවලි යෝජනා වූ බව සැබෑය. එහෙත් ගැටලුව වන්නේ මේවා ක්‍රියාත්මක නොවීමය. නැතිනම් නාමික වීමය. ඒ ඇයි දැයි වෙනමම විමසිය යුත්තකි.
කෙසේ වුවත් ගෙවී ගිය කාලයේ අසාර්ථක්තවයට බලපෑ කරුණු පහකි. කුමන ආර්ථික දර්ශනයක් පැවතියත් ආණ්ඩුවේ සංවර්ධන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හොඳ කණ්ඩායමක් හදා ගැනීමට නොහැකි වී තිබේ. එ.ජා.ප.යේ. ලිබරල් ප්‍රතිපත්තියක් සමඟ එක් ගුරු කුලයකට සීමා වී ති​ෙබ්. කොස් ඇටයක් හැන්දෙන් ගෑරුප්පුවෙන් කන අය සමග ග්‍රාමීය සංවර්ධනය කතා කිරීම විහිළුවකි. කොතරම් හොඳ සංවර්ධන යෝජනා තිබුණත් ඒවා ගමට නොයන්නේ මේ නිසාය. එදා ආණ්ඩුව පැරදුණ විට බැසිල් රට හැර ගියා සේ වත්මන් ආණ්ඩුවට ද බලය අහිමි වන විට වටේ සිටින පිරිස් රට හැර යන බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. එ් නිසා තමන් වටේ සිටින කණ්ඩායම කොතරම් ප්‍රායෝගික දැයි ආණ්ඩුව නැවත සිතිය යුතුය.

ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා ගමන් කරන්නේ දෙපැත්තකටය.

මෙතැන තිබෙන්නේ නොගැළපීමකි. එය තවත් කරුණකි. සාමුහික වගකීම, එකඟතාව පිළිබඳ ආණ්ඩුව මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබේ. ඒ වගේම ඇතැම් මැති ඇමැතිවරුන්ට රට ජනතාව ගැන හැඟීමක් නැත. ඒ අත්දැකීම් අඩුකම නිසාය. මෙය ආණ්ඩුවට අහිතකරව බලපා තිබේ. බොහෝ දේ අසාර්ථක වන්නේ මේ පසුබිමේය. ව්‍යවස්ථාව සකසන්නේ බලයට පත් වූ දිනයේ පටන්ය. එහෙත් තවමත් එය සම්මත කර ගැනීමට නොහැකි වී තිබේ.
පළාත් සභා ඡන්ද පවත්වා ගැනීමට නොහැකි වී තිබේ. එයට අදාළ සීමා නිර්ණ කටයුතු සම්බන්ධ ගැටලුවක් එයට බලපා තිබේ.

ප්‍රායෝගිකත්වය නොමැති ඇමැතිවරුන් සිටීම ද ආණ්ඩුවට ප්‍රශ්නයකි. .

ආණ්ඩුවට බලයට පැමිණි වහා රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළේය. මොවුන් සම්බන්ධ නීතියක් තිබිය යුතුය. එය රටට හිතකර වුවක් විය යුතුය. එසේ නැතිව ඇමැති දුන් නියෝග ක්‍රියාත්මක කළ පමණින්ම රාජ්‍ය නිලධාරින් අත්අඩංගුවට ගන්නවා නම් එය කනගාටුදායක තත්ත්වයකි. මේ නිසා රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නේ පරිස්සමෙනි. ඇතැම් විට වැඩ වෙන්නේ ද නැත. වැඩ නොවන තැනට නීති ක්‍රියාත්මක වීම බරපතළ කරුණකි.

වසර විස්සක් දුක්විඳි පාක්ෂිකයන් බලා ගැනීමට ආණ්ඩුවට නොහැකි වී තිබේ. එය ආණ්ඩුවේ අසාර්ථකත්වයට බලපෑ අවසන් කාරණාවය. වන්දි ලිපි ගොනු දහස් ගණනින් පක්ෂ කාර්යාලවලය තමන්ට උදව් කළ අය අමතක කිරීමට ආණ්ඩුව යොමු වී සිටීම කනගාටුදායක තත්ත්වයකි. එදා පාලනයට එරෙහි වූ වෘත්තිය වේදීන් අද යළිත් ඔවුන්ගේ වේදිකාවට ගොස් වත්මන් පාලනයට එරෙහිව හඬ නඟන්නේ මේ පසුබිමේය. ගෝඨාභයලා වටා වෘත්තීය වේදීන් පෙළ ගැසී ඇත්තේ ​ෙමහි ප්‍රතිඵලයක් ලෙසය. ආණ්ඩුව මේවා තේරුම් නොගත හොත් ඉදිරියේදී දැඩි අර්බුදයකට ලක්වනු ඇත.

ආණ්ඩුව ජනතාව හරි හැටි තේරුම් නොගත හොත් සිදු වන්නේ ඥානසාර හිමි කී කතාවය. එනම් ආණ්ඩුවට අබ සරණයි කියාය.

සටහන - චමින්ද මුණසිංහ