බොහෝ දෙනා විවේචනයට කැමැතිය. දූෂණ විරෝධී සමාජයක් ගොඩනැඟීමේ කතිකාවේදී ද බොහෝවිට අප දකින්නේ එයයි. එහෙත් අල්ලස් කොමිසමට, රජයට, දේශපාලනඥයන්ට හා සමහර ආයතනවලට උදේ සවස බැන්නාට සමාජ ප්‍රතිසංස්කරණ සිදු නොවේ. විශේෂයෙන්ම අධිකරණවල සිදුවෙන අල්ලස දූෂණයට එරෙහිව නීතිඥ සංගමය ගත් පියවර කුමක්දැයි මම අසමි. එවැනි දේ සම්බන්ධයෙන් මැදිහත්වීමට ඔවුනට හැකිය. එහෙත් අද වනතුරු එවැනි ප්‍රවේශයක් අප දැක නැත. සියලු සමාජ කණ්ඩායම්වලට තම තමන්ගේ වෘත්තිය ක්‍ෂේත්‍ර ප්‍රතිසංස්කරණය සඳහා ස්වයං විවේචනාත්මක එළැඹුමක් ගතහැකි නම් එය සමාජ ප්‍රතිසංස්කරණයකට පාර කපනු ඇත. රට හැදීමේ පළමු පියවර විය යුත්තේ තමන් සිටින තැන හදාගැනීම යැයි මම සිතමි.

අල්ලස වංචා දූෂණය තුරන් කළ රටවල් රැසක්ම ලෝක සිතියමේ තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හා එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී කාර්යාංශය එක්ව සකසන දූෂණ විරෝධී දර්ශකයට අනුව ලොව දූෂණ විරෝධයේ ප්‍රථම ස්ථානය හිමිවන්නේ නවසීලන්තයටය. මෙසේ දූෂණ විරෝධයෙන් දියුණුවේ කූටප්‍රාප්තියට පත් රාජ්‍ය රැසක්ම පිහිටා ඇත්තේ යුරෝපයේය. එහෙත් ඊට සාපේක්ෂව ආසියාවේ තත්ත්වය වෙනස්ය. ආසියාවේ දූෂණ විරෝධයේ ඉහළින්ම සිටින්නේ සිංගප්පූරුවයි. දූෂණය නැති කර රට දියුණු කරන්නේ කෙසේද යන්න ලී ක්වාන් යූ නමැති සිංගප්පූරුවේ නායකයා අදිටන් කර ගත්තේ ලංකාවට පැමිණි ගමනකදීය. දූෂණ විරෝධී දර්ශකයේ හය වැනි ස්ථානය අද සිංගප්පූරුවට හිමිය. පිළිවෙළින් මැලේසියාව 66, භූතානය 26, ජපානය 20, හොංකොං 13 වෙද්දී ශ්‍රී ලංකාව සිටින්නේ 91 තරම් ඈතය. ශ්‍රී ලංකාව 96 වැනි ස්ථානයේ සිට 91 දක්වා පැමිණිය ද එය ප්‍රමාණවත් වර්ධනයක් යැයි අපට සැලකිය නොහැකිය. ඉහත සඳහන් සෙසු ආසියාතික රටවල් ද ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රිතාන්‍ය යටත්විජිත වශයෙන් පැවැති රටවල්ය. දූෂණය, පාතාලය නිසා විනාශයට වැටී තිබුණු එකී රාජ්‍ය අද දූෂණ විරෝධය නිසා අත්පත් කරගෙන ඇති සංවර්ධනයේ ජයග්‍රහණ සුළුපටු නැත.

අල්ලස දූෂණය නැති කිරීමේ හොඳම සංස්කෘතියක් ඇති තැනක් නම් හොංකොංය. අල්ලසින් මිදෙන මඟ ගැන හොංකොං මිතුරන්ගෙන් අධ්‍යයනයක් ඉල්ලා සිටීමට මා පසුගිය වසරේදී කටයුතු කළ අතර ඔවුන් පෙරළා මගෙන් ප්‍රශ්න කළේ ඔබේ රටේ අල්ලස් දූෂණ විමර්ශනය කරන්නේ පොලිස් නිලධාරීන් නේදැයි කියාය. අල්ලස දූෂණය නැතිකොට දියුණු වූ රටවල් තම රාජ්‍ය ආයතන සුපිළිපන්න ආයතන බවට පත්කර ගැනීමේදී විවිධ පියවර අනුගමනය කළේය. උදාහරණයකට හොංකොංහි නිවාරණය මෙන්ම අධ්‍යාපනයට ද ලැබෙන්නේ සමාන අවධානයකි. හොංකොං රාජ්‍ය සේවයේදී නම් අල්ලස දූෂණය මැඬීමේ අධ්‍යාපනය අනිවාර්ය අංගයකි. අල්ලසට දූෂණයට එරෙහිව ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩමුළු, දේශන, පාඨමාලා ආදිය නිරන්තරයෙන් සංවිධානය කෙරේ. යමෙකුට සේවා උසස්වීමක් ලැබුණ ද මෙම පාඩම් නැවත ආවර්ජනය කෙරේ. මනුෂ්‍යයාගේ ආකල්පමය වෙනසකින් තොරව රටක් හැදිය නොහැකිය යන්න හොංකොං දර්ශනයයි. එරට කුඩා දරුවාගේ පටන් වයෝවෘද්ධ සමාජය දක්වා දූෂණ විරෝධී දර්ශනයක නිමග්නවීමේ පසුබිම් කතාව එයයි.

සිංගප්පූරුව, හොංකොං වැනි රටවල් මේ සමාජ වෙනස්කම්වලින් රිංගා ගත්තේ අල්ලස දූෂණය නොමැති නවසීලන්තය, ෆින්ලන්තය, එංගලන්තය වැනි යුරෝපයේ රටවල් අතරටය. දූෂණ විරෝධී කතිකාවලදී මෙම සමාජ වෙනස ගැන මා විමසූ විට යුරෝපා රටවල නියෝජිතයන් අවධාරණය කළේ එය තම ජාතීන්ගේ ජානවලම අන්තර්ගතව ඇති බවය. තම වාරය පැමිණෙනතුරු පෝලිමේ සිටීමේ විනය එම සමාජවල පුරවැසියා උගෙනගන්නේ පාසල් සමයේ පටන්මය. අපේ රටේ මෙන් පෝලිම් පැනීමේ ප්‍රශ්න එම සමාජවල දකින්නට නැත. ආයෝජනයක් කරන්නේ නම් මුණගැසිය යුත්තේ කවුදැයි ආයෝජකයෝ දනිති. නීතිය හා සමාජ පර්යාය ආරක්ෂා වන්නේ මෙම දැනුම්වත් සමාජ ක්‍රමය නිසාය.

ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 21කි. හොංකොංහි එහි අගය මිලියන හතකි. එහෙත් ලංකාව සමඟ සසඳද්දී එහි අල්ලස් කොමිසමට ඇති රාජ්‍ය අවධානය මෙන්ම පහසුකම් ද ඉහළය. දූෂණ විරෝධී අධ්‍යාපන විමර්ශකයෝ 220 ක් එරට සිටිද්දී අප කොමිසමට සිටින විමර්ශකයන් ද සංඛ්‍යාත්මකව ඊට අඩුය. අල්ලස දූෂණය නිවාරණය කිරීම සඳහා අනිවාර් යෙන්ම අල්ලස් කොමිසමට බලය ලබාදිය යුතුය. එහෙත් අල්ලස් කොමිෂන් සභා පනත යටතේ අල්ලස දූෂණය නිවාරණය කිරීම සඳහා කිසිදු බලයක් අල්ලස් කොමිසමට ලබා දී නැත. ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීම සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගම් නියෝජිත පිරිස අපෙන් විමසා සිටියේ අල්ලස් නිවාරණ නිලධාරීන් ලංකාවේ නැත්තේ ඇයිද කියාය. අනෙක් අතට දියුණු රටවල දූෂණ විරෝධී ධජය රැගෙන යන තවත් ප්‍රමුඛ සමාජ බලවේගයක් වන්නේ ජනමාධ්‍යයයි. එහෙත් අපේ රටේ එවැනි මාධ්‍ය භාවිතයක් දකින්නට නැත. එය කනගාටුවට කරුණකි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය ලැබීම තුළ විශේෂඥ විමර්ශකයන් පනස් දෙනෙකු අල්ලස් කොමිසමට බඳවා ගැනීමට දැන් කටයුතු කෙරෙමින් පවතී. එය හුදු උපාධි පත්වීම් ක්‍රමවේදයට පරිබාහිර වූ වෛද්‍ය, ඉංජිනේරු, මනෝවිද්‍යා, පරිපාලන ආදී බහුවිධ ක්‍ෂේත්‍රවල ප්‍රාමාණික බුද්ධිමතුන්ගේ සංකලනයකි. ඔවුන්ගෙන් 15 දෙනෙකු පොදු ජනතාව දැනුම්වත් කිරීම සඳහා යොමු කෙරෙන අතර සෙසු පිරිසේ කාර්යය වන්නේ රාජ්‍ය අංශය දැනුම්වත් කිරීමය. ලංකාවේ මුදල් විශුද්ධිකරණය නැති කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ආදිය සකස් කිරීමේ වගකීම තිබෙන්නේ මහ බැංකුවේ මධ්‍යම බුද්ධි ඒකකය (එෆ්.අයි.යූ.)ටය. එහෙත් යාන්ත්‍රණය සම්බන්ධයෙන් විදෙස් රාජ්‍ය සමග නිරන්තර ගනුදෙනුව සිදුවන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවෙන් නිසා මධ්‍යම බුද්ධි ඒකකය ද කරුණු විමසන්නේ අපෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවේ දූෂණ විරෝධී යාන්ත්‍රණය ගැන සිටින්නේ හොඳ අවධානයකිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඇතැම් කරුණු විමසන්නේ අපෙනි. ලෝකයට කරුණු වසන් කිරීමට වගකිව යුතු ආයතනවලට බොරු කියන්නට අපට නොහැකිය. එවිට කඩවන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගැන ඇති විශ්වාසයයි. අල්ලස දූෂණය නැති කිරීමට රජය ගත් පියවර කුමක්ද යන්නත් ජාතික ප්‍රතිපත්තිය කුමක්ද යන්නත් ඔවුන් නිරන්තරයෙන් අසන ප්‍රශ්නයකි. 

ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජයට යොමු කෙරුණු ප්‍රශ්නයට පිළිතුරු සොයා අධිකරණ ඇමැතිවරිය එය කැබිනට් මණ්ඩලයට යොමු කළාය. කැබිනට් මණ්ඩලය එය නැවත යොමු කළේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටය. අල්ලස් දූෂණය නිවාරණයට පස් අවුරුදු වැඩපිළිවෙළක් සකස් කිරීමට අප කටයුතු කෙරුවේ ඒ අනුවය. රජයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් සමඟ සාකච්ඡා කර සැකැසූ මෙම වැඩපිළිවෙළට අදාළ කටයුතු දැන් සාර්ථකව සිදුවේ. අල්ලස, දූෂණය නිවාරණයට අදාළව මේ රටේ නීති, චක්‍රලේඛ හා රෙගුලාසි පවතී. මේ සියල්ල දැන් යාවත්කාලීන විය යුතුය. මේ ක්‍ෂේත්‍ර සියල්ල සම්බන්ධ වන අන්දමට ක්‍රමවේදයක් සකස් කළ යුතුය. මේ සඳහා කැබිනට් මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 160 ක මුදලකට අනුමැතිය හිමිවුවද අදාළ මුදල ලබාදීම මහා භාණ්ඩාගාරයේ එක් නිලධාරියකු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඔහුගේ පිළිතුර වූයේ එම මුදල ඊළඟ වසරේ දිය හැකි බවය. හිටපු ජනාධිපති ලේකම්වරයාට පවා මෙම සිදුවීමට මැදිහත් වීමට සිදුවිය. එහෙත් එහා මෙහා ලියුම් හුවමාරුවීමකින් ඔබ්බෙහි කිසිවක් සිදු නොවිණි. අපට අල්ලස දූෂණය තුරන් කරන්නට සිදුව ඇත්තේ කැබිනට් තීන්දුවක් පවා හකුලාදැමිය හැකි නිලධාරීවාදයක් ක්‍රියාත්මක වන රටක වීම ශෝචනීය තත්ත්වයක් නොවේද? අවසානයේදී ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී යාන්ත්‍රණය සැකැසීමට මූල්‍යාධාර දීමට මැදිහත්වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.

යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ සටන් පාඨය වූයේ අල්ලස දූෂණය තුරන් කිරීමය. රජය ඊට ප්‍රමුඛතාව දුන්නත් නිලධාරීවාදයෙන් ඊට අවසරයක් නැති ගානය. අපේ නිලධාරීන්ට අල්ලස දූෂණය තුරන් කිරීම ගැන දර්ශනයක් නැත. ඉතින් රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කළ ද ඒවා එපරිද්දෙන්ම ක්‍රියාත්මක කිරීමට සංවේදී නොවන නිලධාරි යාන්ත්‍රණයක් සමඟ මෙම කටයුතු සිදුකරන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි. රටක් අල්ලසින් දූෂණයෙන් මුදාගැනීමේදී අත්හළ නොහැකි වගකීමක් හා යුතුකමක් ඇති පිරිසක් හැටියට රාජ්‍ය නිලධාරීන් හැඳින්විය හැකිය. අවාසනාවකට අපේ රටේ ඇත්තේ වෙනස් තත්ත්වයකි. කුසලතාවෙන් බුහුටි නොවූ තැනැත්තන් හුදු දැනුම යන සාධකයම මත විෂය ක්‍ෂේත්‍රවල ඉහළ තනතුරුවලට පැමිණි කල ප්‍රතිපත්ති සැකැසීමේදී මෙන්ම ක්‍රියාත්මක වීමේදී ද විවිධ ප්‍රශ්න මතුවේ. රාජ්‍ය සේවයට ද එය අදාළය. පාසල් සමයේ පන්ති නායකකමක්වත් නොලද තැනැත්තන් පැරෂුට්කරුවන් මෙන් වැදගත් තනතුරුවලට වැටුණු කළ එය තවත් දරුණුය. අධිකරණ ක්‍ෂේත්‍රයට ද මෙය පොදුය. එවැනි ඇතැම් තැනැත්තන්ගේ ජීවන දර්ශනය වන්නේ ෂේප් න්‍යායෙන් වැඩ කිරීමය. තීරණාත්මක තීන්දු ගැනීම් හමුවේ වැල්ල යට හිස සඟවා ගන්නා ඔවුහු වසර විසි පහක් තිහක් තිස්සේම කරන්නේ ෂේප් න්‍යායෙන් වැඩ කිරීමය. අවසානයේදී කාලයාගේ ඇවෑමෙන් නොදැනුවත්වම ඔවුහු ඉහළ තනතුරුවලට සේන්දු වෙති. ෂේප් න්‍යායෙන්ම විශ්‍රාම යති.

කවුරු කුමන ප්‍රතිචාරයක් දැක්වූව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තමන්ගේ ගමන අත්හැර නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූල්‍යාධාර මත මේ වනවිට අප කොමිසම අන්තර්ජාතික විශේෂඥයකුගේ සහාය දූෂණ විරෝධී යාන්ත්‍රණයට ලබාගෙන තිබේ. ඔහු රජයේ ඉහළ නිළධාරීන් සමග සාකච්ඡා වට කීපයක්ම පවත්වා ද ඇත. එහිදී ද පැහැදිලි වූ එක් කාරණයක් වූයේ දූෂණය මඬින්නට ජනාධිපතිවරයාට ඇති උනන්දුව ඉහළ රාජ්‍ය නිලධාරි යාන්ත්‍රණයට තිබේද යන ප්‍රශ්නයයි. අල්ලස දූෂණය නිසා අගාධයට වැටී සිටියදී ඉන් ගැලවීම නිසා ලෝකයේ ඉහළට එසැවුණු රටක් හැටියට භූතානය හැඳින්විය හැකිය. භූතානය එම ජයග්‍රහණය අත්පත් කරගත්තේ කෙසේදැයි සෙවීමට අප කොමිසමේ කණ්ඩායමක් භූතානයට ගොස් එම කටයුතු අධ්‍යයනය කළේය. දූෂණය මැඬීමට අපට ඇති උනන්දුව දුටු භූතාන රජය අපේ වැඩපිළිවෙළට සහාය දීමට ඉදිරිපත් වූයේ ඉතා කැමැත්තෙනි.

අපේ රටේ තරුණයන්ගේ අභිප්‍රාය වී ඇත්තේ අඩු වයසෙන් රජයේ රස්සාවකට බැඳීමයි. හේතුව විශ්‍රාම වැටුපයි. රජයේ රැකියාව ලබන තරුණ තරුණියෝ කිසිදු නිර්මාණශීලී කටයුත්තකට දායක නොවී ෂේප් න්‍යායෙන්ම කටයුතු කර විශ්‍රාම යන්නට අපේක්ෂා කරති. කාලානුරූපීව ලැබෙන උසස්වීම් ඔවුන්ගේ සිහිනයයි. ඔවුන්ට කිසිදු දර්ශනයක් නැත. මේ ක්‍රමයෙන් අපේ රට ගොඩනැඟීමට පිටිවහලක් ලැබෙන්නේ නැත. මේ ෂේප් න්‍යාය විසින් අද වනවිට අධ්‍යාපන, පරිපාලන, අධිකරණ ආදී සියලු ක්‍ෂේත්‍ර ගිලගනු ලැබ තිබේ. මේ ක්‍රමය ආපස්සට හරවන්නට අප අසමත් වීම යනු නිසැකයෙන්ම මේ රට වළපල්ලට යෑමය. හොංකොංහි දූෂණ විරෝධී යාන්ත්‍රණයේ ප්‍රධානියා විනිසුරුවරයෙක් නොවේ. ආගමන විගමන අංශයේ සාමාන්‍ය රැකියාවක් කළ අයෙකි. භූතානයේ එම තනතුර දරන්නේ කාන්තාවකි. ඇය ද වෘත්තියෙන් නීතිඥවරියක්වත් නොවේ. එහෙත් අපේ රටේදී තත්ත්වය වෙනස්ය. අපේ රටේදී අල්ලස, දූෂණය වැළැක්වීමේ අංශයේ ප්‍රධානියා වීමට නම් අභියාචනාධිකරණයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්‍රාම ගිය විනිසුරුවරයෙකු විය යුතුයි. මේ අනුව බලද්දී කොමිෂන් සභා නීතිය සංශෝධනය කරද්දී මේ කරුණු පිළිබඳවත් සලකා බැලීමක් කළ යුතුවේ  .

ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සදාකාලික ප්‍රශ්නයක් වී තිබුණේ එහි විනිසුරුවරුන් හා පොලිසියේ නිලධාරීන් අතර වූ ඝට්ටනයයි. ඇතැම්හු ඇවිළෙන ගින්නට පිදුරු දමති. දේශපාලන සම්බන්ධකම් මත ඊට එකතු වන ඇතැම් නිලධාරීන් නිසා එය තවත් වියවුලක් වෙයි. එහෙත් අද වනවිට ඒ ප්‍රශ්න කිසිවක් අපට නැත. දේශපාලකයන් කතා කරන්නේ ද මා සමඟ පමණි. එය ද නඩු හබ ගැන නොවේ. කවර බාධක පැමිණිය ද ඒ සියලු සීමාසහිතකම් මධ්‍යයේ වුව ද දූෂණ විරෝධී යාන්ත්‍රණය යථාර්ථයක් කර ගැනීමේ සටන අපි දියත් කරන්නෙමු. එහිදී කිසිදු දේශපාලන සාධකයක් අපට අදාළ නොවේ. එහෙත් මෙම ගමන යථාර්ථයක් කර ගැනීමේ මූලික සාධකයක් වන්නේ රටේ සියලු ක්‍ෂේත්‍රවල වෘත්තිකයන්ගේ ද සමාජ කණ්ඩායම්වල ද අවංක මැදිහත්වීමයි. දූෂණ විරෝධී ලෝක දර්ශකයේ ශ්‍රී ලංකාවට ඉහළ ප්‍රගතියක් අත්පත්කර ගැනීමට එය සැලකිය යුතු බලපෑමක් කරනු ඇත. අවසාන විග්‍රහයේදී එහි වාසිය ලැබෙන්නේ රජයට බදු ගෙවන සමස්ත පුරවැසියන්ටමය.

 

සටහන - බිඟුන් මේනක ගමගේ