මහවැලි බහුකාර්ය යෝජනා ක්‍රමයේ රටට බත සැපයෙන දැවැන්තම ව්‍යාපෘතිය ලෙසින් සැලකෙන මොරගහකන්ද කළු ගඟ ව්‍යාපාරය සම්බන්ධයෙන් ද දේශපාලනඥයෙක් එවන් සොඳුරු සිහිනයක් දුටුවේය. එසේ ම එය අත්හැර දමන ලද ව්‍යාපෘතියක් විය. එහෙත් කවදා හෝ රජරට කර්කෂ බොල් පොළොව සැබැවින් ම ජලයෙන් තෙත් කරගත හැක්කේ එම සිහිනය යථාර්ථයක් කරගනිමින් බව අදාළ සිහිනයේ අයිතිකරු දැන සිටියේ ය. ඔහු වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය.

මහවැලි යෝජනා ක්‍රමය ආරම්භයේ දී වසර 30 කින් නිම කිරීමට සැලසුම් කර තිබුණි. එහෙත් රටේ ජල විදුලිය ධාරිතාව වැඩි කර ගැනීමේ අටියෙන් තිස් අවුරුදු මහවැලිය ජේ.ආර්. ජයවර්ධන රාජ්‍ය සමයේ කඩිනම් මහවැලිය බවට පත් විය. කඩිනම් මහවැලියේ පංච මහා ජලාශ කඩිනමින් ඉදි විය. එතෙක් රට තුළ පැවැති විදුලි ධාරිතාව ගුණයකටත් වඩා වැඩි විය. ඉන් උද්දාමයට පත්වූ සමහරු දකුණු ඉන්දියාවටත් විදුලිය දීමට කතා කළහ. එතෙක් රජරට වී ගොවිතැන සඳහා කන්න දෙකට ම වතුර දීම ගැන කතාබහක් ඇති වූයේ නැත. එදා මහවැලියෙන් රජරටට ගලා ගියේ කන්ද උඩරට දී විදුලිය නිපදවා බැස යන වතුර ටික ය. එතෙක් උතුරු මැදට, උතුරට, නැගෙනහිරට හා වයඹ උතුරට කන්න දෙකට ම ජලය ලබා දිය හැකි යෝධ ව්‍යාපෘතියක් මොරගහකන්ද නමින් මහා සැලැස්මේ අන්තර්ගත වී තිබුණි.
මෛත්‍රී මොරගහකන්ද ගැන සිහින මැව්වේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ලෙසින් මැති සබයට පැමිණි දිනයේ සිට ය. හාරා අවුස්සා මතු කළේ, සටන් කළේ, මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ය. ඔහුට ඇවැසි වූයේ මොරගහකන්ද කළු ගඟ නමින් මහවැලි ව්‍යාපෘතියේ අවසාන ජලාශ පද්ධතියට පණ දීමට ය. පොළොන්නරුව ඇතුළු පළාත් හතරක් තෙත බරිත කිරීමට ය. අතීතයේ විදේශයන්ට ද සහල් ආනයනය කළ පෙරදිග සහල් ගුදම යළි විවෘත කිරීමට ය.
දේශපාලන වශයෙන් පමණක් නොව පරිපාලනමය වශයෙන් ද ප්‍රමාද වූ මොරගහකන්ද කළු ගඟ ව්‍යාපාරය 2008 මහින්ද රාජපක්ෂ යුගයේ දී යන්තම් වැඩ ඇරඹීමට හැකි විය. එහෙත් ප්‍රතිපාදන නොමැතිකමින් ඉදිරියට ගියේ නැත. මෛත්‍රී වැඩේ අත්හැරියේ ද නැත. අවසානයේ වැඩේ පලක් ඇති වැඩක් විධියට ඉදිරියට ගියේ වත්මන් යහපාලන රාජ්‍ය සමයේ ය. නැතිනම් මෛත්‍රී පාලනය යටතේ ය. 

මෙය අපේ රටේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙසින් හැඳින්වීම නිවැරැදි ය. මුළු මහවැලියට ම වැය වූ මුදල රු. කෝටි 7,000 කි. රුපියලේ අව ප්‍රමාණයත් සමග අගය කෝටි 14,000 ලෙසින් උපකල්පනය කරන්නේ නම් මොරගහකන්ද කළු ගඟ ව්‍යාපාරයට ඊටත් වඩා වැඩි මුදලක් වැය වේ. එනම් වැඩ අවසන් වන විට දැනට සැලසුම් කර ඇති මුදල රු. කෝටි 23,000 කි. මෙවන් ව්‍යාපෘතියක් අපේ රටේ මෙතෙක් සැලසුම් වී වැඩ අවසන් වන තත්ත්වයේ නොමැත. පිරෙන ජල පරිමාණයට සාපේක්ෂව දිවයිනේ විශාලතම ජල සංකීර්ණය ඉදිවන්නේ මෙතැන ය. එය මහ පැරකුම් සමුද්‍රය මෙන් හය ගුණයකි. ඒ නිසා මෙය සිංහල රජ දවසේවත් දක්නට නොලැබුණු ගනයේ වාරි විශ්මිතයකි. එදා රජවරුන් වුවද ඉලක්ක කළේ එක් දැවැන්ත ජලාශයක් හෝ දෙකක් තුනක් පමණි. එහෙත් දැවැන්ත ජලාශ සියල්ලටම ජලය ගෙන යාමට මොරගහකන්ද කළු ගඟ වාරි සංකීර්ණය සමත්ව සිටී.

මෙහි අනෙක් විශේෂත්වය මේ රටේ ප්‍රථම සහජීවනයේ ජලාශය මධ්‍යම කඳුකරයේ උතුරු බෑවුමේ නකල්ස් කඳු වළල්ල ආශ්‍රිතව ඉදිවීම ය. ඊට හේතුව මොරගහකන්දේ ජලය උතුරින් වව්නියාව, කිලිනොච්චිය දක්වාත් නැගෙනහිරින් ත්‍රිකුණාමලය දක්වාත් වගාවට හා පානීය වශයෙන් ලැබෙන නිසා ය. ජලයට ගහ බැණ ගන්නා රාජ්‍ය හා ප්‍රාන්ත අප දැක තිබේ. මෙහි සිදුවෙමින් පවතින්නේ හෙට දවසේ ජලයෙන් සහජීවනය ගොඩනැඟීම ය. උතුරට මහවැලි ජලය ලබා දෙන්න එපා යැයි අපේ රටේ අන්තවාදියෙක්වත් සඳහන් කරන්නේ නැත. එහි වැදගත්කම හා සාධනීය ප්‍රවේශය මේ රටේ දේශපාලනය කරන බොහෝ දෙනා තවමත් වටහා ගෙන නොමැත.

අඹන්ගඟේ ජලාශයේ වේල්ලේ ඉදිකිරීම් කටයුතු පසුගියදා අවසන් වී ඊට ජලය පිරවීම ඇරඹීමත් සමග ම මහවැලියේ මහවේලි ඉදිකිරීම් අවසන් විය. ආරම්භක පොල්ගොල්ල වේල්ලේ මේ සඳහා ගතවී ඇති කාලය වසර 42කි. ප්‍රධාන ඇළ මාර්ග 4 අවසන් වීමට තවත් කාලයක් ගතවනු ඇත. ඒ සමඟ ම රජරට වැව් 2,400 ප්‍රතිසංස්කරණය වේ. උතුරු, නැගෙනහිර, රජරට හා වයඹ පළාත් හතරේ වියළි බිම් මොරගහකන්ද ජලයෙන් තෙත්වීමත් සමඟම යල මහ දෙකන්නයම අස්වද්දන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 82,000 වනු ඇත.

මේ දිනවල අඹන් ගඟ ජලාශය ජලයෙන් පිරී යන විට පොළොන්නරුවේ ඉදිවන දිවයිනේ දැවැන්තම වකුගඩු රෝහලට මුල්ගල තැබුණි. මෙය චීන රජයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන පරිත්‍යාගයකි. වැය කරනු ලබන මුදල රු. ද.ල. 12,000කි. මෙහි ඇති විශේෂත්වය මෙතෙක් නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැති වකුගඩු රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වෙන විශේෂඥ ඒකකයකින් ද සමන්විත වීම ය. මෙවැන්නක් ඉදිවීමෙන් අනතුරුව එහි ඵල ප්‍රයෝජනය ශ්‍රී ලංකාවට පමණක් නොව දකුණු ආසියාවටම හිමිවනු ඇත. 

මීට අමතරව ඉන්දියානු ආධාරයෙන් ඉදිවන ත්‍රෛභාෂා අධ්‍යාපන ආයතනය රු. ද.ල. 1,200ක ව්‍යාපෘතියකි. එසේ ම කදුරුවෙල කෘෂි ආර්ථික මධ්‍යස්ථානය චීන රජයේ ආධාර යටතේ රු. මිලියන 5,200 වියදමින් රටට ලැබෙන සම්පතකි. 

මේ වන විට පොළොන්නරුව පැරණි ශ්‍රී විභූතිය නරඹන සංචාරක පාරාදීසයක් බවට පත්ව ඇත. සමහර පෞද්ගලික නිවාසවල ද විදේශික සංචාරකයන් වෙනුවෙන් කාමරයක්, දෙකක් වෙන් වේ. මේ නිසා පොළොන්නරුවේ යටිතල පහසුකම් තවදුරටත් දියුණු විය යුතු මට්ටමක පවතී. පැරණි ශ්‍රී විභූතියට ප්‍රමුඛත්වය දෙමින් පොළොන්නරුවේ ගොඩනැඟෙමින් පවතින ජාතික මට්ටමේ කෞතුකාගාරය නවීන තාක්ෂණික අංගෝපාංගවලින් සමන්විත දිවයිනේ ප්‍රධානතම කෞතුකාගාරයක් වනු ඇත. එය මේ දිනවල පොළොන්නරුවේ ඉදිවෙමින් පවතී. ඒ සඳහා වැය කරනු ලබන මුදල කෝටි 50 කි.

දැනටමත් සඟසතු කර ඇති දිඹුලාගල පිරිවෙන් සංකීර්ණය පැරණි ගෘහනිර්මාණ සම්ප්‍රදායේ නවතම ආකෘතිය බවට පත්ව ඇත. මේ සඳහා වැයකර ඇති මුදල රු. කෝටි 250 කි. නවීන අංගෝපාංග රැසකින් සමන්විත දිඹුලාගල පිරිවෙන් සංකීර්ණය දකින විට පොතපතේ සඳහන් පොළොන්නරුවේ පැරකුම් රජ දවසේ ඉදිවූ ආලාහන පිරිවෙන සිහිගැන්වේ.

පසුගිය රාජ්‍ය සමයේ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටු​ෙපාළ හා සූරිය වැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිවූයේ හම්බන්තොට වුව ද ඒවා රටට ලැබුණු ජාතික වටිනාකමකින් යුත් ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපෘති බව කුහකත්වයකින් තොරව පිළිගත යුතුය. මොරගහකන්ද කළු ගඟ ව්‍යාපාරය, වකුගඩු රෝහල, දිඹුලාගල පිරිවෙන, ත්‍රෛභාෂා අධ්‍යාපන මධ්‍යස්ථානය, ජාත්‍යන්තර මට්ටමේ කෞතුකාගාරය, කෘෂි ආර්ථික මධ්‍යස්ථානය පොළොන්නරුවෙන් රටට දායාද වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති බව ඒ ආකාරයෙන්ම පිළිගැනීමට සිදුවේ.

මොරගහකන්ද යෝජනා ක්‍රමයෙන් පමණක් රටට ලැබෙන ප්‍රතිලාභය වාර්ෂිකව රු. කෝටි 800කි. විදුලි උත්පාදනයෙන් ලැබෙන ප්‍රතිලාභය නිසා ඉන්ධන පිරිවැය ලාභය වසරකට රු. මිලියන 1,545කි. මෙම ව්‍යාපෘති සියල්ල කොළඹ වැනි ප්‍රධාන නගර ආශ්‍රිතව පමණක් ඉදිවිය යුතු නොවේ. සංවර්ධනය ප්‍රාදේශීය මට්ටමට ගලා යන්නේ ද ග්‍රාමීය ජනතාවගේ අතමිට සරුවන්නේ ද කොළඹින් ඈත පෙදෙස්වල සිදුවන සංවර්ධනය පදනම් කරගෙන ය. එය මේ රටේ වැඩිවෙමින් පවතින ඇති-නැති පරතරයේ විවරය අඩුකර ගැනීමට ද හේතුවක් වනු ඇත. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හම්බන්තොට ඉලක්ක කර කරණු ලැබූ සංවර්ධනය සමහරුන්ට ඇල්ලුවේ නැත. ඒ අයගේ විවේචනය ඔහු හම්බන්තොට නඟාසිටුවීම ගැන ය. දැන් ඒ චෝදනාව සමහරුන් ජනාධිපති මෛත්‍රීට ද එල්ල කිරීමට ඉඩ තිබේ. එහෙත් හම්බන්තොට හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක දෙක ම කාලාන්තරයක් තිස්සේ මේ රටේ ආණ්ඩු නොසලකා හරින ලද අඩු සංවර්ධිත ප්‍රදේශ බවට යථාර්ථය දන්නා අයට රහසක් නොවේ.

එහෙත් මේ පළාත් දෙකම රුහුණ හා පුලතිසිපුරය නමින් මේ රටේ සශ්‍රීක රාජධානි දෙකක් ලෙසින් පැවැති බව අද සමහරු අමතක කරති. මහ පැරකුම් යුගයේ පොළොන්නරුව ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වූ ආසියාවේ සහල් ගුදම ලෙසින් සැලකේ. අනුරාධපුර රාජධානිය පොළොන්නරුවට ගමන් කළේ පරසතුරු උවදුර නිසාම නොවේ ආදිවාසීන් නව ගොඩබිම් සොයා යන ගමනේ ප්‍රතිඵලයක් වශයෙනි. අවසානයේ රාජධානිය දකුණට තල්ලුවීම නිසා වනගහනයෙන් යටවන පොළොන්නරුවේ නටබුන් වැව් අමුණු ආශ්‍රිතව පැරණි ජන කණ්ඩායම් තැන් තැන්වල පදිංචිව සිටි බව රහසක් නොවේ.

යළි පොළොන්නරුව සැලසුම්ගතව ජනාවාස වන්නේ ඩී.එස්. සේනානායක අගමැතිවරයාගේ ගොවි ජනපද ව්‍යාපාරයට පින්සිදු වන්නටය. එහෙත් එදාට සාපේක්ෂව යම් සංවර්ධනයක් ඇති වුවද මූලික යටිතල පහසුකම් සම්පූර්ණ වූ සැලසුම්ගත පොළොන්නරුවක් දක්නට නොලැබුණි. ගොවි ජනපද පොළොන්නරුවේ වුවද ආරම්භයේ තාර පාරක් ලෙසින් දක්නට ලැබුණේ හබරණ, මඩකලපුව මහා මාර්ගය පමණක් බව පැරැන්නෝ පවසති. ජනාධිපති මෛත්‍රී මෙලොව එළිය දකින විටත් පොළොන්නරුව මහ රෝහලට විදුලිය තිබී නැත. පානීය ජලය කෙසේ වෙතත් සතුන් හා මිනිසුන් පානය කර ඇත්තේ එකම වැව් ජලය බව පැවසේ. මේ සියල්ල මූලික වෙනසකට භාජනය වන්නේ සී.පී. ද සිල්වා යුගයෙන් පටන් ගෙන මෛත්‍රී යුගයේ දී බව පැහැදිලිය.

මෛත්‍රී දේශපාලනයට පිවිසීමට පෙර පොළොන්නරුවේ කිසිදු සංවර්ධනයක් සිදු නොවුණා යැයි මින් අදහස් නොවේ. එහෙත් මේ නිසා සිදුවෙමින් පැවැති සාපේක්ෂ සංවර්ධනයට අමතරව පොළොන්නරුව විශේෂ ඒකකයක් ලෙසින් ගෙන සැලසුම්ගත සංවර්ධනයකට යොමු කිරීමේ සාධාරණ හේතු තිබේ.

‘2015-2020 පිබිදෙමු පොළොන්නරු සංවර්ධන සැලැස්ම’ විද්‍යාත්මක පදනමකින් ක්ෂේත්‍ර පහක් ඔස්සේ මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමකි. ඊට වැය වන මුද රු. ද.ල. 60,000කි. කෝටි 6,000කි. වාර්ෂිකව මේ සඳහා රු. ද.ල. 12,000 ක් වැය කිරීමට සැලසුම් කර ඇත. ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම හා තාක්ෂණික දායකත්වය නිසා මෙම මුදල වටිනාකමින් වැඩිවී වැය ශිර්ෂයෙන් අඩුවී ඇත. මේ දිනවල විවෘත වන ව්‍යාපෘති 180 අයත් වන්නේ ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන යටතේය. ඒ ජාතික මට්ටමේ ව්‍යාපෘතිවලට අමතරව ය. මේ වන විටත් තවත් ව්‍යාපෘති 100ක් පමණ ජනතා අයිතියට පත්කර ඇත. එම ප්‍රමාණය නව විවෘත කිරීම්වලට අමතරව ය. අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස, පානීය ජල පහසුකම්, ආගමික ස්ථාන, නාගරික සංවර්ධනය, සමාජ සුබසාධනය වැනි ක්ෂේත්‍ර රැසක ව්‍යාපෘති මීට අයත් වේ.

පොළොන්නරුවේ වත්මන් සංවර්ධනය නිදහසින් පසු මෙන් ම අතීත ශ්‍රී විභූතියෙන් පසුව සිදුවන්නක් ලෙසින් අර්ථකථනය කිරීම වුවද අතිශෝක්තියක් නොවේ. එසේම ඒ ජනාධිපති මෛත්‍රී ගැන ගැයෙන ප්‍රශස්තියක් නොවනු ඇත. පවතින යථාර්ථය ද එය ම ය.