ජයතිලක ද සිල්වා

අප රට අද මුහුණ දෙන තත්ත්වය ජන වහරෙහි ඇති ප්‍රස්ථා පිරුළකින් මැනැවින් දැක්විය හැකි යැයි හඟිමි. දිය සැළියෙහි වන් කකුළුවා ප්‍රීතියෙන් ඉල්පී නටන්නේ දිය උණු වූ පසු තමන්ට මරණය අත් වන බව නොදැන ය. වත්මනෙහි අප ද එවන් නැටුමක් නටන සැටියෙකි. දැඩි ආර්ථික අර්බුදයක මුවවිතට අප පැමිණිය ද සියල්ල සුන්දර බව පාලකයෝ පවසත්. අසීරුකම් අති සංක්‍රාන්තිමය බවෙක් ඔවුහු හඟවති. සැණින් දස දහස් ගණනින් රැකියා සැපැයීම්වලට 2025 දී පොහොසත් ශ්‍රී ලංකාවක් බිහි කැරීමට ඔවුන් පොරොන්දු වන්නේ එහෙයිනි.

අත ළඟ ඇති අනතුර පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැතත් ජීවන වියදමෙහි නැග්ම නිසාවෙන් ම සාමාන්‍ය ජනතාවට ද ඒ ගැන යම් හැඟීමක් ඇත. රුපියල වේගයෙන් බාල්දු වෙයි. දැන් එය එක්සත් ජනපද ඩොලරයකට 170 කි. ජනවාරි 1 දා එය පැවැතියේ 150ට ය. එනම්, එදා සිට අද වන විට සියයට 13.3කින් අගය පහත වැටී තිබේ. රුපියලෙහි අගය අඩුවීම කවදා නතර වෙතැ යි යනු අද කිව නොහැකි ය.

ඒ සඳහා ආණ්ඩුව හදිසි පියවර කිහිපයක් ගෙන ඇතත් එය ප්‍රමාණවත් නැත. ඒ අතින් බැලුවහොත් ගෙන ඇති පියවරට අමතරව ගත යුතු පියවර ද බොහෝ ය. ඇතැම් පියවර ප්‍රචාරයට පමණකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන තීරු බදු රහිත වාහන ආනයන බලපත් වසරකට අත්හිටැවුව ද බහුතර මන්ත්‍රීන් විසින් එම වාහන දැනටමත් ගෙන්වා අවසන් හෙයින් එය අශ්වයා පැන ගිය පසු ඉස්තාලයෙහි දොර වැසීමකි. පළාත් මන්ත්‍රීවරුන්ට එවන් තහංචියක් නැත. ලක්ෂ හයහමාරේ පුටු ගනුදෙනුවට සමාන ගනුදෙනුවලට ද මං ඇහිරීමක් නැත. සියය ද ඉක්ම වූ ඇමැති මණ්ඩලයෙහි අඩු කිරීමක් නැත. ආනයනික ඉන්ධන දහනයෙන් සැපැයෙන විදුලි බලයෙහි අරපිරිමැස්මක් නැත. නාස්තිය ද ඉහ වහා යෙයි. පම්පෝරියට ම මහජන මුදල් නිර්ලෝභී ව වැය කැරෙයි. සැණකෙළි ලෝලය ද සැර යි.

රුපියල කඩා වැටීමට බාහිර හේතු බෙහෙවින් බලපා ඇති බව පැහැදිලි ය. රටවල් ගණනාවක ම ව්‍යවහාර මුදල් අවප්‍රමාණ වීමෙන් ම එය පෙනේ. එක්සත් ජනපදයෙහි මහ බැංකුව විසින් පොලී අනුපාතිකය ඉහළ දැමීම, එරට විසින් ඩොලර් බිලියන දහස් ගණනක් වටිනා චීන, යුරෝපීය, මෙක්සිකානු කැනේඩියානු භාණ්ඩ සඳහා තීරු බදු ඉහළ දැමීම රුසියාවට සහ ඉරානයට එරෙහි ව ආර්ථික සම්බාධක පැනැවිම ඒ අතර ප්‍රමුඛ සාධක වෙයි. එපමණක් නොව රුසියාව සහ ඉරානය සමඟ වෙළෙඳාම කරන තෙවැනි රටවලට ද එක්සත් ජනපදය දඬුවම් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් නියාම ගරුක ලෝක වෙළෙඳ ක්‍රමය ද අවුල් ව ඇත.

අලි මදිවාට හරක් කීවාක් මෙන් මෙම අයහපත් සාර්ව ආර්ථික වාතාවරණයට අමතර ව ශ්‍රී ලාංකීය ආර්ථිකයෙහි පවත්නා දුර්වලතාවලින් තත්ත්වය වඩාත් නරක් ව පවතී. අපනයන වටිනාකමට වඩා ආනයන වටිනාකම වැඩිවීම නිසා අපේ වෙළෙඳ ශේෂය අයහපත් ය. 2017 දි අපේ වෙළෙඳ ශේෂයෙහි එක්සත් ජනපද ඩොලර් බිලියන 9.4ක හිඟයක් පැවැතිණි. මෙම වසරෙහි එය ඩොලර් බිලියන 10ක හිඟයක් වෙතැ යි ගණන් බලා ඇත. මැද පෙරදිග උණූසුම් දේශපාලන වාතාවරණය මෙන්ම ඛණිජ තෙල් මිල ඉහළ යාම ද ඊට හේතු වෙයි.

වෙළෙඳ ශේෂයෙහි අවාසිය අපේ ගෙවුම් ශේෂය අයහපත් කරවයි. ප්‍රමාණවත් විදේශ ආයෝජන නොලැබීම සහ සේවා අවස්ථා වියැකීම හේතුවෙන් මැද පෙරදිග සේවා කරන ලාංකිකයන් එවන මුදල් තරමක් අඩු වීම නිසා මෙම තත්ත්වය තවත් උග්‍ර කැරැ ඇත.

මේ අතර අප රට ආදායමෙන් සියයට 90ක් වැය වන්නේ විදේශ ණය පියැවීමෙහි වගකීම් ඉටු කැරීම සඳහා ය. ඒ අනුව මෙරට අතිරික්ත නිෂ්පාදිතය ගෙඩිය පිටින් ම වාගේ ණය හිමියෝ ඩැහැ ගනිත්. බොහෝ ණය සඳහා සහන කාලය අවසන් වන හෙයින් මීළඟ වසරෙහි මෙම ගෙවීම් විශාල වශයෙන් ඉහළ යනු ඇත. අපනයන ප්‍රවර්ධන ක්‍රමෝපායයෙන් ලබන කවර හෝ වාසි එයින් අහෝසි වනු ඇත.

හැරත් මෙරට ශ්‍රම නිෂ්පාදනජනකත්වය පහත් හෙයින් අපේ හුවමාරු භාණ්ඩවලට ලෝක වෙළෙඳපොළෙහි තරගය අවාසිදායක ය. මේ සියල්ලටමත් වඩා අපේ ආර්ථික කළමනාකාරිත්වය දුර්වල වීම ද රුපියල කඩා වැටීමට තදින් බලපායි.
අප මුහුණ දෙන අර්බුදයෙහි ගැඹුර එයින් ම හිතාගන්නට පිළිවනි. අපේ විදේශීය වත්කම් ශක්තිමත් කරන්නේ නැති ව, වැඩි වැඩියෙන් විදේශ ආයෝජන රහිත ව, අපේ ඉතුරුම් නංවන්නේ නැති ව රුපියල ස්ථාවර කළ නො හේ.

රුපියල අවප්‍රමාණ වීමත් සමඟ බඩු මිල විදුලි වේගයෙන් ඉහළ යයි. අඩු ආදායම් ලාභීන් කබලෙන් ළිපට වැටෙන අතර මැද පන්ති සාමාජිකයෝ ද ණය බරෙන් පීඩිත ව පහළට රූටා වැටෙත්.

අද අප පිවිස ඇත්තේ අසාමාන්‍ය තත්ත්වයකට ය. අර්බුදය වඩා වඩා උග්‍ර වනු ඇත. මන් ද යත්, ලෝක මූල්‍ය අර්බුදය ද තවත් තීව්‍ර වනු ඇති හෙයිනි. මෙය හදිසි අවස්ථාවක් සේ සැලැකිය යුතු ය. එවන් අවස්ථාවල අති විශේෂ පියවර, වෙනදා නොගන්නා තීරණ ගත යුතු ය. 

ජනතාවට අවම ජීවන තත්ත්වයක් සහතික කිරීම ආණ්ඩුවෙහි වගකීම ය. පටි තද කරගන්නට ජනතාවට බණ කීවාට මදි ය. ජනතාවට එසේ කියන අතර මැති ඇමැතින් සහ පොහොසතුන් පටි බුරුල් කරමින් අසාමාන්‍ය පරිභෝජනයක් සහ විනෝදාස්වාදයක් භුක්ති විඳින්නේ නම් සමාජ සාධාරණත්වය කොයින් ද? ඇත්තට ම දුප්පතා සාගින්නෙන් පෙළෙත් දී වගකිවයුත්තන් ජාතිය, ආගම අරබයා අරෝවක පැටැලී ඇත්තේ මතු පරම්පරාවට අනාගතයක් නැති වගත් පෙනි පෙනී ය. අර්බුදය ආර්ථිකය ඉක්මවා සමාජ දේශපාලන සහ සාංස්කෘතික ක්ෂේත්‍රවලටද පැතිරී හමාර ය.

තෝරා ගත් ක්ෂේත්‍ර සඳහා නිෂ්පාදනයක් ජනිත කළ හැකි කර්මාන්ත සඳහා විදේශ ආයෝජන දිනා ගත යුතු අතර නගරාලංකරණ වැනි ව්‍යාපෘති තාවකාලික ව හෝ පමා කළ යුතු ය. නියඟය සහ ගංවතුර උවදුරු මඬින තිරසාර විසඳුම් ක්ෂණික අවශ්‍යතාවකි. ඒවා දශක ගණනාවක් ම පමා කරනු ලැබී ය. පැලැස්තර විසඳුම්වලින් ප්‍රශ්න තවත් උග්‍ර වෙයි. නිල්වලා ව්‍යාපෘතිය නිදසුනකි.

 උග්‍ර ව පවත්නා ළමා මන්දපෝෂණයට පිළියම් පමා කළ නොහැකි ය. කොළඹ මුහුද ගොඩ කැරැ සංචාරකයන්ට සහ මෙරට ධනවතුන්ට විනෝදාස්වාදය සපයනු වස් යෝජිත දැවැන්ත ව්‍යාපෘතිය හදිසි අවශ්‍යතාවක් නො වේ. එහි පාරිසරික ගැටලු කඩිමුඩියේ නොව සංයමයෙන් පිරික්සිය යුතු ය. ජනතා අදහස් ලබාගත යුතු ය.

ආණ්ඩුව යම් ආනයන සීමා කළ මුත් තවත් සීමා කළ යුතු දේ පවතී. එහෙත් මෙම සීමා සමඟ ආනයන ආදේශන කර්මාන්ත පටන්ගත යුතු වෙයි. එහෙත් ඒ පිළිබඳ සූදානමක් වත් ඇත් ද? දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීමක් ඇත් ද?

කෙටි කලක් තුළ දළ ජාතික නිෂ්පාදිතයට අනල්ප දායකත්වයක් සැපැයිය හැකි ක්ෂේත්‍රයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. දැනට කෘෂිකර්මාන්ත නිෂ්පාදිතයෙන් සියයට 60ක් පමණ විනාශ වන්නේ නාස්තිය සහ සතුන් කා දැමීම හේතුවෙනි. මෙයින් අඩක් වත් ඉතිරි කළ හැකි නම් එය ආහාර සුරක්ෂිතතාවට පිටිවහලක් මෙන් ම ගොවීන් ගේ ආදායමට ද එකතුවකි.

කෘෂි නිෂ්පාදිතවල අධික මිලට, අධික ප්‍රවාහන ගාස්තු සහ සැකැසුම් පිරිවැය ද බලපායි. ගොවියාට සිය වී අස්වැන්න සඳහා වෙළෙන්දා ගෙවන මිල සහ වෙළෙන්දා පාරිභෝගිකයාට එම සහල් අලෙවි කරන මිල අතර පරතරය ගොවියා ගේ නිෂ්පාදන පිරිවැයට සමාන හෝ මඳක් වැඩිතර ය. මෙහි සුපිරි ලාභයක් සැඟැ ව ඇතැයි අනුමාන කළ හැකි ය. සහල් මාෆියාවක් ගැන ආරංචි පැතිරෙන්නේ කට කසනවාට ම නොවන්ට පිළිවනි. මෙම පිරිවැය අඩු කිරීමට ප්‍රතිපත්තිමය සහ තාක්ෂණික ප්‍රතිකර්ම අවශ්‍ය ය. පුළුල් කෘෂිකාර්මික ව්‍යාප්ති සේවාවක අවශ්‍යතාව ද කැපී පෙනේ.

වර්තමානයෙහි වඩාත් ම පීඩිත අඩු ආදායම් ලාභීන් සඳහා සලාක ක්‍රමයක් යටතේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ (හාල්, පොල්, පරිප්පු, කරවල ආදිය) මල්ලක් සහන මිලට ලබා දිය යුතු ය. සලාක ක්‍රම හදිසි අවස්ථාවල ප්‍රයෝජනවත් ය.