තරිඳු ජයවර්ධන

මේ දිනවල රටපුරාම කතාබහ මත්ද්‍රව්‍ය නිවාරණය ගැනයි. රටම මත්ද්‍රව්‍ය නිවාරණය ගැන කතා වෙන්නේ මත්ද්‍රව්‍යවලින් ලංකාව කප් ගහනා තැනට පත්වී හමාර වූ පසුබිමකය. ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලකම හෙරොයින්, ගංජා ආදී මත්ද්‍රව්‍ය දැඩිව ව්‍යාප්තව පවතින අතර එහි බරපතළකම ඇත්තේ එන්න එන්නම පාසල් සිසුන් ඒ කෙරෙහිි යොමුවීමේ වැඩි ප‍්‍රණනතාවක් ඇති නිසාය. මේ ලිපිය තරුණ පරපුර බිලිගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම ගැනයි.

මත්ද්‍රව්‍ය කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකිය. එනම් නීත්‍යනුකූල මත්ද්‍රව්‍ය සහ නීත්‍යනුකූල නොවන මත්ද්‍රව්‍ය ලෙසයි. නීත්‍යනුකූල මත්ද්‍රව්‍ය යනු යම් කාර්යයක් සඳහා   නීත්‍යනුකූලව ඇති එහෙත්  එමඟින් මත්වන හෝ මත්වීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයයි. දුම්වැටි අලෙවිය නීත්‍යනුකූල වුවද එය ද මත්ද්‍රව්‍යයක් ලෙස සැලකේ. දෙවැන්න නම් නීතියෙන් තහනම් කර ඇති හෙරොයින්, ගංජා වැනි මත්ද්‍රව්‍යයි.

ඒ අතරින් හෙරොයින් භාවිතය මේ වන විට ලංකාවේ බරපතල අර්බුදයක් බවට පත්ව තිබේ.   1980 දශකයේදී හා ඊට පෙර හෙරොයින් භාවිතය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබුණේ ඉතාමත් කලාතුරකිනි. ඒ විදේශයක සිට ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයකු භාවිත කරන බවට හෝ විදේශ රටවලින් ලංකාවට එන විදේශිකයන් භාවිත කරන බවටය. එය ක‍්‍රමයෙන් වර්ධනය වී මුලින්ම කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශ මත්ද්‍රව්‍ය රකුසාගේ ග‍්‍රහණයට නතු වූයේ පාතාලයට සහ දේශපාලනයට නෑකම් කියමිනි. දශක හතරකට ආසන්න වෙද්දී හෙරොයින් යනු රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇති සුලභ මත්ද්‍රව්‍යක් බවට පත් විය. මේ වන විට ශ්‍රී ලංකාවේ සෑම පොලිස් කොට්ඨාසයකින්ම හෙරොයින් හමුවී තිබේ. හෙරොයින් භාවිත කරන පිරිස් අත්අඩංගුවට ගෙන තිබේ.

හරොයින් මෙන්ම කේරළ ගංජා ද ලංකාව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර ගොස් ඇත්තේ ඊට විවිධ ආකර්ශනීය නම්ද පටබඳිමිනි. ශ්‍රී ලංකාවේ කේරළ ගංජා ජාවාරම ගැන වෙනත් ලිපියකින් කරුණු අනාවරණය කරනු ඇත. 

හෙරොයින්

හෙරොයින් යනු ලංකාවේ නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍යයක් නොවේ. හෙරොයින්හි විද්‍යාත්මක නාමය ඩයිඇසිටයිල් මෝෆීන්ය. මෝෆීන් නිපදවන්නේ පොපි ශාකයෙන් ගන්නා අබිංවලිනි. පොපි මල වියළී යාමෙන් පසු ඉතිරිවන ගෙඩිය ඉංග‍්‍රීසි භාෂාවෙන් pod of the poppy flower ලෙස හැඳින්වෙයි. පහත ඡායාරූපයේ ඇත්තේ එයයි.

ඊට හරස් අතට හැපුමක් දැමූ විට එහි ශ‍්‍රාවය වන කිරි වැනි ද්‍රාවයෙන් අබිං නිශ්පාදනය කරයි. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ පොපි මල පරවූ පසු ඇති ගෙඩියට කැපුමක් දැමීමෙන් පසු කිරි වැනි දියරය වෑස්සෙන අන්දමයි.

හෙරොයින් නිෂ්පාදනය කරනුයේ අබිංවලිනි. එක් දහස් අටසිය ගණන්වල ජර්මනියේ බෙහෙත් ව්‍යාපාරිකයකු විසින් මෝෆීන් නිෂ්පාදනය කරනු ලැබ ඇත්තේ කාසය ස`දහා ප‍්‍රතිකාරකයක් ලෙසය. එම වකවානුවේ අබිං සඳහා ඇතැම් රටවල විශාල පිරිසක් ඇබ්බැහිවී තිබුණු අතර වැඩි කළක් යන්නට පෙර අබිංවලට වඩා වැඩි ඇබ්බැහිවීමක් මෝෆීන් සඳහා ඇති විය.

1950 පමණ වන විට මෙම මෝෆීන් ශල්‍යකර්මවලදී වේදනා නාශකයක් ලෙස ද භාවිතයට ගැණුනි. 1937 දී පමණ ශල්‍යකර්ම සඳහා මෙය මුලින්ම භාවිතයට ගත්තේ ජර්මන් විද්‍යාඥයෙකි. ඉන් පසු එය Dolophine නමින් ඇමෙරිකාවට යවන ලදී.

‘‘යුද්ධයේදී තුවාල ලබන සොල්දාදුවන්ට ඒ කාලේ ශල්‍යකර්ම කරන්න වේදනා නාෂකයක් ලෙස මෙය ලබාදීලා තියෙනවා. එය බහුලව සිදුවූ නිසා ‘හීරෝ ඉන්’ කියන නමින් මෙය හ`දුන්වන්න ගත්තා. ‘හීරෝ ඉන්’  පසු හෙරොයින් බවට පත් වුණා.’’ යැයි මත්ද්‍රව්‍ය ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහනක දී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පුහුණුකාරියක වන රසාංගිකා චන්ද්‍රසිරි මහත්මිය පැවැසුවාය.

ලංකාවේ හෙරොයින්වල ව්‍යාප්තියේ තරම ගැන මීට පෙර සඳහන් කළ අතර පහත වගුවෙන් ඒ ගැන යම් වැටහීමක් ගත හැකිය. එහි ඇත්තේ ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් 2017 වසරේ දී හෙරොයින් අත්අඩංගුවට ගැනීම්ය.

 

ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප‍්‍රධාන ඉලක්කය වී ඇත්තේ පාසල් සිසුන් සහ තරුණයන්ය. ඔවුහු ඒ සඳහා විවිධ උපක‍්‍රම භාවිත කරති. ඒ ගැන හරි දැනුමක් නැති තරුණයෝ සහ පාසල් සිසුහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දැලට පහසුවෙන් හසුවෙති.

2017 වසරේ මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට ගත් වයස අවුරුදු 18ට අඩු ළමයින් සංඛ්‍යාව 3564කි. එම වසරේ වයස අවුරුදු 19ත් 24ත් අතර තරුණයන් 8321 දෙනකු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 25ත් 29ත් අතර තරුණයන් 6401 දෙනකු ද එම වසරේ මත්ද්‍රව්‍ය වැරදි ස`දහා අත්අඩංගුවට ගෙන ඇත. පහත වගුවේ දැක්වෙන්නේ මත්ද්‍රව්‍ය වැරදි සඳහා පසුගිය වසරවල තරුණයන් අත්අඩංගුවට ගෙන ඇති ආකාරයයි.

 

 

අවුරුදු 18ට අඩු

අවුරුදු 19- 24

 

අවුරුදු 25 - 29

 

2010

123

3461

8261

2017

3564

8321

6401

2017 වසර වන විට අවුරුදු 24ක් දක්වා වයස්වල තරුණ තරුණයන් මතට ඇබ්බැහිවීමේ සීඝ‍්‍රතාවය මෙයින් පැහැදිලිව පෙන්නුම් කරයි. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් තැන තැන තිබීමෙන් පමණක් මෙය කළ නොහැකිය. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා කාරණා දෙකක් අවශ්‍ය වේ. එකක් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමය. අනික නම් මත්ද්‍රව්‍යවලට ඇබ්බහි නොවී සිටීමට රටේ තරුණ පරපුර දැනුම්වත් කිරීමය.

ඒ සඳහා ප‍්‍රායෝගික වැඩ පිළිවෙළක් සකස් නොකළහොත් රටේ තරුණ පරපුරෙන් අති බහුතරයක් තවත් වසර කිහිපයක් යන විට මත් රකුසාට බිලිවනු ඇත.