ඒ. ඩී. රංජිත් කුමාර

ඔබ හිතන්නේ අපේ රටේ සිටි වැඩිම අග හිඟකම් තිබූ ජීවිතයේ දහදුක් විඳි, අතේ තඹ සතයක් නැතිව, හැඳිවත පමණක් ඇඳුම කරගත් කිසිදු මිත්‍රයකු හිතවතකු නැතිව ජීවිතය තනිව ජයගත් සම්මානනීය රංගධරයා කවුරු කියාද?  ජීවිත සටන ගෙන යාමට කටුක දුක් විඳි ඔහු අමරසිරි ය. අමරසිරි කලංසූරිය ය.

‘ඇත්තම කියනවා නං මට ඔළුව පීර ගන්න මූණ බලා ගන්න කණ්ණාඩියක්වත් නොතිබුණ කාලයක් තිබුණා. කලංසූරිය සුපුරුදු අව්‍යාජ සිනා රැල්ල මුවට නංවා ගනිමින් ඔහුගේ අතීත කතාව අපට කීවේය. ඒ හරියටම මීට වසර 50කට පෙර 1968 වසරේ ය. අප කීවේ එදා විසි වැනි වියේ පසුවූ ආනන්දයේ ඉගෙනුම ලබමින් සිනමාවට පෙම් බැඳි මගේ සම වයසේ සිටි සිසුන් කිහිප දෙනකුටය.

කලං අපි චිත්‍රපටයක් හදනවා නිම්වලල්ල කියලා. ඔයා හන්තානේ කතාවේ රඟපාන පින්තූර පත්තරවලින් දැකලයි අපි ඔයාව තෝරා ගත්තේ. චිත්‍රපට කරන්න ආසාව තිබුණට අපිට සල්ලි නෑ. යාළුවන්ගෙන් සල්ලි එකතු කරලයි මේක කරන්නේ. චිත්‍රපටයෙන් ලාභයක් තිබුණොත් සල්ලි ටිකක් දෙන්නම්. මම කීවෙමි.

සල්ලි මොනවද මල්ලී, අපි වැඬේ කරමු. මමත් බොහොම අමාරුවෙන් මේ තැනට ආවේ.

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් නිර්මාණය කළ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වූ අපේ කොලු රැහේ  නායකයා වූ රංජිත් ලාල් ප්‍රමුඛ අප මිත්‍ර පිරිස තැනූ ‘නිම්වලල්ල’ චිත්‍රපටයේ රඟපෑ දඟකාර තරුණයා 1970 තිරගත වූ  ඒ චිත්‍රපටය ඇතැම් විට නැරඹූ ඔබට මතක ඇති. අවුල් වූ හිස කෙසින් යුතු බොත්තම් නොපිය වූ කමිසයකින් හා කලිසමකින් සැරසී ස්වර්ණා මල්ලවාරච්චි, ජානකී කුරුකුලසූරිය, තිස්ස විජේසුරේන්ද්‍ර, නිශ්ශංක අමරසිංහ සමග රඟපෑ කලංසූරියගේ රඟපෑම් දුටු අපට සිහිපත් කළේ එකල අප නැරඹු ප්‍රංශ නවරැල්ලේ Godard f.a Breathles චිත්‍රපටයේ රඟපෑ ෂාං පොල් බෙල්මෙන්දෝ (ka‍an Éul Belmondo)ය.

අමරසිරි  කලංසූරිය 1940 සැප්තැම්බර් 20 වැනිදා දකුණේ, මීපාවල  උපත ලැබීය. ඔහුගේ පියා කලංසූරියගේ  ප්‍රැන්සිස් අප්පුහාමි සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර බංගම ආරච්චිගේ පොඩි මැණිකේ නම් තරුණිය විවාහ කරගෙන මහනුවර බහිරව කන්දට පැමිණියේය. එහිදී ඔහුට සිදුවූයේ ඈත දුෂ්කර පළාත්වලට භවබෝග ද රැගෙන අබලන් වූ බරබාගයක පටවාගෙන තැනින් තැන යාමටය.

‘මට වැඩිමහල් සොහොයුරා නිශ්ශංක. මම දෙවෙනියා. මට බාල මල්ලිලා දෙන්නා ආරියසේන හා පද්මසේන. අපි නොසිතූ ලෙස අම්මා අකාලයේ මියයාම නිසා අපේ පවුලට කණකොකා හැඬුවා. තාත්තා ටික කලකින් පුංචි අම්මා කෙනකු කැඳවාගෙන ආවා. පුංචි අම්මාගේ නම කළල් පතිරණගේ කරුණාවතී. පුංචි අම්මට දාව නන්දා, තිලකා,  කරුණාරත්න කියලා දරුවෝ තිදෙනෙක් අපේ පවුලට එකතු වුණා. ඒ කාලයේ අපි හිටියේ පන්සල් වත්තේ පුංචි ගෙදරක. නොදරුවන් වූ අපව පන්සලේ හාමුදුරුවෝ එළවා දැම්මා. ගෙවල් කුලී නොගෙව් වරදට ප්‍රසිද්ධියේ අණ බෙරයක් ගසමින් මුළු ගමම බලා සිටියදී අපිව පිටමං කළේ. එතැන් සිට මමත්, සහෝදරයන් හතර දෙනා ජීවත් වුණේ අබලන් වී අත්හැර තිබූ කරත්තයක් නිවහනක් ලෙස පිළියෙළ කරගෙන ඒකෙ ඇතුළට වෙලා’ කලංසූරිය කිවේ ලොකු හපන්කමක් කළ උද්දාමයකිනි.

අව්ව, වැස්ස, උණුසුම මේ කොයි දේටත් ඔරොත්තු දෙමින් ජීවත් වූ ඔවුන් කිරිබත්කුඹුර ගමේ පොළේ විකිණීමට තිබූ දෙල් ගෙඩියක් හොරෙන් ගෙන තම්බා කමින් වේල් පිරිමසා ගත්හ. වරෙක පැපොල් තම්බා කා වතුර බී බඩකට පුරවාගෙන ඉස්කෝලේ ගියහ.

හිනාවෙන කෙනෙකු අඬනවාට වඩා අඬන කෙනෙක් හිනාවෙන කොට හරිම සුන්දරයි කියල මම හිතන්නේ. මමත් අඬන ගමන් හිනා වුණ කෙනෙක්. කලංසූරිය කීවේය.

ඔහු මුලින්ම මහනුවර කන්‍යාරාමයේත්, කිරිබත්කුඹුරේ ශ්‍රී රතනජෝති විද්‍යාලයේත්, මහනුවර ශාන්ත ක්‍රිස්ටෝපර් විද්‍යාලයේත් වරින්වර අධ්‍යාපනය ලැබීය. වයස අවුරුදු 7දී මහනුවර ධර්මරාජ විද්‍යාලයට ගිය අතර ඔහුගේ පන්ති සගයෝ වූවෝ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජ, ප්‍රවීණ ගීත රචක කේ.ඩී.කේ. ධර්මවර්ධන, ප්‍රවීණ රංගවේදී දයා තෙන්නකෝන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පී.බී. ඉලංගසිංහ, ලලිත් හීන්ගම (හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්) යනාදීහු ය.

ධර්මරාජයේ දී පාසලේ ක්‍රීඩාවට ඔහු දක්ෂයෙක් විය. උදේ පාන්දර හතරට අවදි වන ඔහු හැතැප්ම 10ක් පමණ දිව්වේය. අන්තර් නිවාස ක්‍රීඩා උළෙලේ මීටර් 800 තරගයෙන් මුල්තැන දිනා ධර්මරාජයේ කැපී පෙණුන කලංසූරිය බොක්සිං ක්‍රීඩාවට වර්ණලාභියෙක් විය. අන්තර්විද්‍යාලයීය දුර දිවීමේ තරගයෙන් ඔහුට හිමිව ඇත්තේ  දෙවන ස්ථානයයි.

ධර්මරාජයේ ඉගෙනීම ලබන කාලේදී  පවුලේ බර දැඩි ලෙස දැනුණේය. හිටිහැටියේ  පුංචි සූට්කේසයක තමා සතු සරම හා දත් බුරුසුව, ගෝපාල් දත් මදින පැකැට්ටුව දමාගෙන ඔහු අම්පාරට යන බසයට නැගුණේය.

කලංසූරිය කවදත් හිතුවක්කාරයෙකි. ඉක්මන් කේන්තිකාරයෙකි. ඉක්මන් තීරණ ගත්තෙකි. එහෙත් උතුරා ගිය මානව දයාවක් ඔහු සතුව තිබුණි. ඔහු මේ කාලයේ රජයේ ලිපිකාර තනතුරක් ලැබීම අම්පාර උහනට යාමට නිමිත්ත විය. රටක් රාජ්ජයක් ලැබුණා යන සතුටින් එහි ගිය ඔහුට ලැබුණේ ලිපිකරු තනතුර නොව කටුක රාජකාරියකි. ඔහු එතැනින් පළාවිත්  නැවත මහනුවර පැමිණියේ හමුදා සේවයට බැඳීමටය. පරීක්ෂණයට මහනුවර හමුදා කඳවුරට ගිය ඔහුට ක්‍රීඩා කුසලතා ඕනෑවටත් වඩා තිබුණත් උස ප්‍රමාණය නොතිබීම පරහකට සිටියේය.

දෛවය තමාට මෙතරම් අකීකරු මන්දැයි සිතමින් මහනුවර දළදා වීදියේ ඇවිදිමින් සිටි ඔහුට ධර්මරාජයේ කෙඩෙට් ගුරුවරයා හමුවිය. තමාට වූ අකරතැබ්බ ගුරුවරයාට ඔහු විස්තර කළ පසු ජදපැ අසඑය පැ කියා අතින් අල්ලාගෙන ධර්මරාජයේ ආදිශිෂ්‍යයකු වූ හමුදාවේ උසස් නිලධාරියකුගේ උපකාරයෙන් දෙවැනි ස්වෙච්ඡා සිංහ රෙජිමේන්තුවේ සොල්දාදුවකු ලෙස පත්වීම දුන්නේය.

‘මම හමුදාවට බැඳෙන විට වයස අවුරුදු 18යි. හමුදාවේදී මට උදව් කළ කිහිප දෙනෙකුගේ නම් කෘතඥතාපූර්වක මතක් කළ  යුතුයි. බි්‍රගේඩියර් පානබොක්කේ, මේජර් කුලසිංහ, සාජන් මේජර් පලීල්, සාජන් මේජර් යාපා, කර්නල් පැල්පොල, මේජර් ලංකාතිලක, කෝප්‍රල් ප්‍රේමචන්ද්‍ර. මම තවම යුද්ධ හමුදාවේ සේවයට බැඳී සිටිනවා. රට වෙනුවෙන්  දිවි පුදන්නට මම සූදානම්. වයස අවුරුදු 78 වුණත් මම හමුදාවට ආදරය කිරීමට හේතු කීපයක්ම තියෙනවා. මට ජීවිතයේ විනය, ශික්ෂණය, නීතිගරුක බව නායකත්වයට කීකරුවීම, ජය පරාජය, දුක, සතුට මේවා සමබරව විඳ ගැනීමට පදනම වැටුණේ  හමුදාවෙන් යයි කියන කලංසූරිය තමාගේ ප්‍රථම ප්‍රේමය  ගැන කීමට අමතක නොකළේය.

යුද හමුදාවේ සිටියදී පලාලි කඳවුරේ රාජකාරියක් කලංසූරියට පැවරිණි. හුදෙකලාවේ එහි සිටින අතර තමා වෙත  ආ කර්තකොළම්බන් අඹ ගෙඩියක් නිසා ඔහු තිගැස්සුණි. වටපිට විමසිල්ලෙන් බැලූ ඔහුට තවත් අඹයකින් සංග්‍රහ ලැබුණි. තෙවැනි අඹය ද පියාඹා ආවේය. තල් වැට එපිට ගෙවත්ත දෙසින් ආ තවත් අඹ ගෙඩියක අල්පෙනිත්තක් ගසා තිබූ කඩදාසි කැබැල්ලක් හමුවිය. I Love You - NeelamRathi එහි ලියවී තිබිණි.

මගේ ජීවිතේට ආදරය කියා දුන්නේ නීලම් රතී. එදා තල් වැටෙන් එහා දුටු ඇගේ මුහුණ ඒ සිනා රැල්ල අමතක කරන්න බැරිව ගියා. අපි ඇස් වලින් කතාකළා. මට ඇය නොදැක ඉන්න බැරිව ගියා. අපේ ආදරයට භාෂාවක් තිබුණේ නෑ. ආගමක්, ජාතියක්, වර්ගයක් තිබුණේ නැහැ. මේ සම්බන්ධය හමුදා ලොක්කෙකුට ආරංචිවෙලා මාව නාගර්කෝවිල් ප්‍රදේශයේ ආරක්ෂක රාජකාරියට යැව්වා. හොර නිවාඩු දාලා පලාලි ගියේ ඇය දකින්න. දවස් තුනක් මම ඇයව හෙව්වා. කිසිදාක යළි හමු නොවන ලෙස ඇය සැඟව ගිහින්. කලං කීවේය.

කලංට හමුදා රාජකාරිය  එපා විය. ඔහු යළිත් මහනුවර රැකියාවක් සොයා කරක් ගැසුවේය. හිතවතකු මාර්ගයෙන් මහනුවර ලියෝන් කැෆේ හි රැකියාවක් ලබාගත් ඔහුට පැවරෙන මුල්ම රාජකාරිය කුස්සියේ සුළු වැඩ කිරීමෙන් පසු බිත්තර තේරීමේ කාර්යයයි. පිදුරු සහිත පෙට්ටිවල තිබූ හොඳ බිත්තර හා බිඳුණු බිත්තර වෙන් කිරීමයි ඒ. දවසකට  හොඳ බිත්තරයක් කටට හලාගෙන බිඳුණු ගොඩට ගණන් දමා ගත් ඔහුගේ ඇඟට හොඳ පණක් ලැබිණ. තුන්වේල හොඳට කන්න ලැබීමත් ඔහුට ලැබුණ හොඳ වාසියකි. ශරීර ශක්තියටද හොඳය. ඉඩ ලැබූ හැම වේලාවේම ඔහු මහනුවර තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවට ගොස් බොක්සිං ක්‍රීඩා කළේය. මේ නිසා ‘ලියෝන් කැෆේ’ එකේ කලක් ගණන්කාර කමින් අහිංසකයන් පෙලූ හයිරන්කාරයන්ට කලංගේ බොක්සිං පාරවලින් සංග්‍රහ ලැබුණි. ඔහු චණ්ඩින් සමග චැලෙන්ජ් කොට ගහගත්තේය. මේ හේතුවෙන් කළමනාකාරිත්වය ඔහු සේවයෙන් පහ කළේය.

කලංසූරියට සිනමා කලාවට දොර කවුළු විවෘත වූයේ හිතවත් ජයවීර මිත්‍රයා විසින් මහනුවර මල්ලිකා ස්ටූඩියෝහි අයිතිකරුට හඳුන්වාදීමෙනි. උදෙන්ම ස්ටුඩියෝ එකට එන කලං දූවිලි පිසදා බිම අතුගා පිරිසුදු කළේය. අයිතිකරුගේ සිත දිනාගැනීමට කලංට වැඩි දිනක් නොගියේය. ස්ටුඩියෝවට එන විදේශිකයන්ගේ අවශ්‍යතා ඉටුකර දෙමින් ව්‍යක්ත ඉංග්‍රීසියෙන් කතා කරන කලංට ටික කලකින් ස්ටුඩියෝවේ පරිපාලනය ද භාරවිය. දිනක් මහනුවර කිංස්වුඞ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ සිනමාවට ලැදි රංජිත් පෙරේරා ස්ටුඩියෝවට ආවේය. තමා මිලි මීටර් 8 ප්‍රමාණයෙන් චිත්‍රපටයක් හදන බව ඔහු කලංට කීවේය. මේ අතර ස්ටුඩියෝව අස්පස් කරද්දී කලංට මිලිමීටර් 16 ප්‍රමාණයේ දළසේයා පට කෑන් වගයක් හමුවිය. අයිතිකරුගේ අවසර ඇතිව ඒවා රංජිත්ට ලබාදීමට ඔහු සිතුවේය. දිනක් රංජිත් ස්ටුඩියෝ එකට ආවේය. හරිහැටි නොපීරූ හිතුවක්කාර කෙහෙරැළි සහිත තමාගේ ඡායාරූපයක් බලමින් සිටි කලංගෙන් එය ඉල්ලා බැලූ ඔහු මෙසේ කීය.

‘ඔයා තමයි මගේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා. කැමතිද රඟපාන්න?’

‘ඔයාට මාව හොඳ නං මම කැමතියි. මට ඔයාටත් උදව්වක් කළ හැකියි. මිලි මීටර් 16 නෙගෙටිව් කෑන් ටිකක් මෙහෙ තිබුණා. මම ලොක්කගෙන් ඒක ඉල්ලා ගත්තා ඔයාට දෙන්න’
මරුනේ.

රංජිත් පෙරේරා  1966 වසරේ ප්‍රථම වරට අධ්‍යක්ෂණය කළ ‘රැයත් දවාලත්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඔහුට ලැබිණි. එය පුට්බෝල් ක්‍රීඩකයකුගේ චරිතයකි. ප්‍රධාන නිළිය වූයේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ශිෂ්‍යාවක වූ අනෝමා වත්තලදෙණියයි. පසුව ඇය ‘අක්කර පහ’ චිත්‍රපටයේ රඟපා පසුව රංජිත් පෙරේරාගේ බිරිය වූවාය. රූපවාහිනි නිවේදිකාවක් ද වූවාය. මුලදී ‘දෙපත් නයි’ නමින් හැඳින්වූ ‘රැයක් දවාලත්’ චිත්‍රපටයෙන් කලංසූරිය නළුවකු ලෙස දොරට වැඩියේය.

කලං මේ කාලයේ නුවරඑළියේ කරක් ගැසුවේ මොකක් හෝ රැකියාවක් සොයා ගන්නා අදහසිනි. නුවරඑළියේ ටවුමේ ඇඳුම් කඩ පේලියක් තිබුණි. ‘එඞ්මන් ස්ටෝර්ස්’ වෙත නිකමට මෙන් ඔහුගේ පා එසවිනි.

මගේ ජීවිතයේ ජය මාවතේ මුල් පියවර වූයේ මේ සාප්පුවට ගොඩවැදීමය. විදේශිකයන් විසින් ඇඳ ඉවත දැමූ ඇඳුම් එහි ගොඩ ගසා තිබුණි. ඒවා ’බේල් සුට්’. අතේ තිබූ රුපියල් සියය අතට ගෙන කේවල් කොට  කලිසම් හතරක් රුපියල් හැටකට ගත් මම ඉතුරු රුපියල් විස්සකින් ෆර්ෆියුම් බෝතල් කිහිපයක් මිලදී ගෙන මහනුවරට ආවා. ඇවිත් එහි සිටින ජේත්තුකාර කොල්ලන්ට වැඩි මිලට විකුණුවා. මගේ ‘බේල් සූට්’ වලට ලොකු ඉල්ලුමක් තිබුණා. කලං ඒ කතාව කිව්වේ සතුට දෝර ගිය මුහුණිනි.

අතමිට සරු වූ කලං නැවත නැවත නුවරඑළියට ගොස් එඞ්මන් මුදලාලිගෙන් බේල් කලිසන් මිලදී ගත්තේය. ඔහු මහනුවර වඩුගොඩපිටිය වීදියෙන් පුංචි කඩ කෑල්ලක් කුලියට ගෙන එහි ව්‍යාපාරය ඇරඹුවේ ‘My Inn’ නම අඟුරු කෑල්ලකින් ලියමිනි. රැයත් දවාලත් චිත්‍රපටයේ රඟපෑමෙන් පසු ධර්මරාජයේ මිතුරන් එතෙක්  නුදුටු කලංගේ රංගන හැකියාව තේරුම් ගත්තේය. සුගතපාල සෙනරත් යාපාගේ’ හන්තාගේ කතාව’ ට කලංව යොමු කරන්නේ ධර්මසේන පතිරාජය. කලංගේ පන්ති සගයකු වූ ඔහු ඒ චිත්‍රපටයේ සම තිරනාටක රචකයාය. හන්තානේ කතාවේ විශ්වවිද්‍යාල සිසුවකු ලෙස රඟපෑ කලංට එහිදී තම අනාගත කලණ මිතුරා වූ විජය කුමාරතුංග හමුවිය.  

දැන් කලං මහනුවර ටවුමේ ජනප්‍රිය පුද්ගලයෙකි. ධර්මසේන පතිරාජ හාපුරා කියා අධ්‍යක්ෂණය කළ ‘අහස් ගව්ව’ චිත්‍රපටයේ ඔහුට විජය කුමාරතුංග සමග රඟපෑමට අවස්ථාව ලැබීම ජීවිතයේ තවත් පිම්මක් පැනීමට රුකුලක් විය. ඔහු මෙහි රඟපෑ විජේගේ චරිතය විරැකියාවෙන් පෙළෙන තරුණයෙකුගේ චරිතයකි.

‘මගේ ජීවිතයේ මා විඳි අනන්ත අප්‍රමාණ දුක් කන්දරාව අහස් ගව්වෙන් මම මුදාහැරියා. මගේ ප්‍රථම ප්‍රේමය වගේම මේ චිත්‍රපටයේ මම සිත්ති කියන මුස්ලිම් තරුණියකට ආදරය කළා. ඇය ගම්පොළ පැත්තේ හිටිය සිංහල තරුණියක්. මට අහස් ගව්වේ රඟපෑමට මුල්වරට සම්මානයක් ලැබෙනවා. සිනමා ලේඛක හා විචාරක සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය. ඇත්තටම මට අහස් ගව්වේ රඟපෑමට අසීරු වුණේ නැත්තේ එහි චරිතයට සත්‍ය ජීවිතයේ චරිතයට හුඟාක් කිට්ටු නිසා. පතිරාජ ඒක දැනගෙනයි ඒ චරිතය ලියන්න ඇත්තේ. මට මුලින්ම කලා ජීවිතය ගොඩනගන්න උදව් කළේ පතිරාජ, බර්ටි ගුණසේකර, බර්ටි ජයසේකර, දයා තෙන්නකෝන්, විමේන්ද්‍රලින් තොටවෙල හා රංජිත් විජේකෝන් කියන මිතුරන් බව ආදරයෙන් මතක් කරනවා.

කලං දැන් රට හඳුනන නළුවෙකි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අක්කර පහ, රංජිත් ලාල්ගෙ නිම්වලල්ලේ ඔහු රඟපෑවේය. ඒ අතර මහනුවර My Inn ව්‍යාපාරයත් ගෙන ගියේය. විජය කුමාරතුංග ද මුල් කාලයේ  මෙයට හවුල් විය. දිනක් සමරු පොත් අතැතිව විශ්වවිද්‍යාල සිසුවියෝ තිදෙනෙක් කලංගේ බේල් කඬේට ආහ.
ඒ මගේ ජීවිතයේ තවත් මංසන්දියක් සනිටුහන් කළ අවස්ථාවක්. එදා මගේ සාප්පුවට ආ තරුණියන්ගෙන් එක් අයකුගේ සමරු පොත අමතකව ගොස් තිබුණා. මා එදා දුටු සුන්දරම තරුණිය ඒ. ඇගේ නම තලතා කුමාරි ඒකනායක.

“මේ සමරු පොතේ මා කුමක් ලියන්නද? ඔයා මට හමුවුනේ එක දවසයි. එදා කතා කළ දේ ඔබටත් මතක ඇති. අපි අතර ඇති වූ යාළුකම සදාකාලිකයි”

මේ වචන ටික අමාරුවෙන්  මම ලිව්වා. අජන්තා සමග ඇරැඹුණ ප්‍රේම සම්බන්ධතාව ක්‍රමයෙන් දියුණු වුණා. ඇය පේරාදෙණිය පුෂ්පදාන  විද්‍යාලයේ ඉගෙන පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට වැඩිදුර ඉගෙනීමට ආ ශිෂ්‍යාවක්. අපේ සම්බන්ධයට ඇගේ මවුපියන් දැඩි ලෙස විරුද්ධ වුණා.

1972 කලං හා අජන්තා රහසේ විවාහ වූහ. මේ කාලය තුළ ධර්මසේන පතිරාජ, මිත්‍රරත්න හේරත්, දයා තෙන්නකෝන්, සෝමසිරි දෙහිපිටිය ඔවුන්ට නවාතැන් සැපයූහ.  මේ අතර බර්ටි ගුණසේකර (ප්‍රවීණ ඡායාරූප ශිල්පී) කලංගේ ‘මයි ඉන්’ සාප්පුවට පැමිණ ලස්සන බෝඞ් එකක් ඇඳ දුන්නේය. අඟුරු කෑල්ලෙන් ලියා තිබූ බෝඞ් ලෑල්ල ඉවත දැමීය. හදිසියේම එහි පැමිණි ‘සිළුමිණ’ කර්තෘ මාණ්ඩලික  කලංගේ ධර්මරාජ  මිතුරා පී.බී. ඉලංගසිංහ මේ විවාහය ගැන අසා දැනගත් වහාම එය සිය පුවත්පතේ ‘කලංසූරියට මංගල සීනු’ ශිර්ෂයෙන් ප්‍රවෘත්තිය පළ කළේය. අජන්තා  විවාහ වූ බව මුල්වරට ඥාතින් එය දැන ගත්තේ ඒ පුවතිනි.

 කලං සිංහල සිනමාවේ චරිතාංග නළුවකු ලෙස චිත්‍රපට කිහිපයකටම දායක විය. ඒ අතර බඹරු ඇවිත්, අපේක්ෂා, පරිත්‍යාග, සිංහබාහු, වජිරා, යස ඉසුරු, රැජින, පූජා, පොඩි විජේ, වඩාත් කැපී පෙනෙයි. රඟපෑම වෙනුවෙන් ඔහු ජනාධිපති, සරසවි, විචාරක, සුමති සම්මාන දිනාගත්තේය. ‘යස ඉසුරු’ හා පූජා සඳහා හොඳම නළුවාට හිමි සරසවි සම්මාන දිනා ගැනීමට ඔහුට හැකිවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි ටෙලිනාට්‍යය වූ ‘දිමුතු මුතු’ ටෙලිනාට්‍යයේ ජයසේන ලෙස රඟපෑ කලංසූරිය ලංකාදීප පුවත්පත සංවිධානය කළ ‘විජය රූපවාහිනි සම්මාන උළෙලේදී’ ජනප්‍රිය නළුවාට හිමි සම්මාන දිනාගත්තේය. 2015 වසරේ අමරසිරි කලංසූරියගේ දුක දිනූ දිවියක අමරණීය සැමරුම් අළලා ‘කලං’ නම් කෘතියක් සුජිත් ලක්මාල් වීරසේකර විසින් රචනා කරන ලදී. කලං හා අජන්තා යුවළට දුමින්ද නමින් පුතෙක් ද මධුමතී හා විද්‍යා ලාලිත්‍ය නමින් දියණියන් දෙදෙනෙක්ද සිටිති.