(දිල්රුක්ෂි ග්‍රේරු)

(dilrukshimoragahakanda@gmail.com)

උණ රෝගය  වැළඳීමෙන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර  ලබමින් සිටි දරුවන් හත් දෙනකු  හා ගැබිනි  මවක මිය යාමේ සිද්ධියත් සමඟ ඉන්ෆ්ලුවෙන්සා රෝගය නිසා  මෙම මරණ සිදු බවට සමාජයේ බොහෝ පිරිස් අතර කතා බහට ලක් විය.

අප්‍රේල් මාසයේ සිට දකුණු පළාතට දැඩි වශයෙන්ම බලපෑ උණ රෝගීන් වැඩී වීමේ තත්ත්වය සමඟ මෙම තත්ත්වය පාලනය  කිරීමට  සහ රෝගීන්  නිසි අයුරින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම සඳහා  වෛද්‍යවරු දැඩි උත්සාහයක නියැලෙති.

සිදු කළ  පරීක්ෂණ වලින් අනාවරණය  වී ඇත්තේ  කරාපිටිය මහ රෝහලේදී මිය ගිය දරුවන් පස් දෙනා සහ ගැබිනි මව  මිය ගියේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන්ම පමණක් නොව ඉන්ෆ්ලුවෙන්සා හා ඇඩිනෝ  යන වෛරස් ශරීරගත වීමෙන් බවයි.  දරුවන් දෙදනකුගේ මරණවලට හේතු තවමත් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා බොරැල්ල  වෛද්‍ය පරීක්ෂණ ආයතනයට රුධිර සාම්පල් යොමු කර  ඇතැයි වෛද්‍යවරු පවසති.

මේ දිනවල පවතින  අධික වර්ෂාවත් සමඟ පැතිර යන්නාවු මෙම රෝගී තත්ත්වය දකුණු පළාතේ  වසංගතයක් ලෙස හිස ඔසවා තිබේ. මේ වන විට  මෙම රෝග ලක්ෂණ ඇති රෝගීන් 600 ක් පමණ වාර්තා වී ඇති අති අතර වෛරස් උණ රෝගය වැළදීමෙන් මිය ගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනයන්ට සාපේක්ෂව  යම් ප්‍රමාණයක  රෝගීන්ගේ  අඩු වීමක් දකින්නට ලැබෙන බව වෛද්‍යවරු පවසන අතර  වාර්තා වන රෝගීන් වෙනුවෙන් වෛද්‍ය පහසුකම් වැඩි කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බවද සඳහන් කරති. නමුත් පවතින දේශගුණික තත්ත්වය මත මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරවිය යුතු බවද වෛද්‍ය මතයයි.

උණ, හෙම්බිරිස්සාව වැළඳුණු පමණින්ම  ඔහු  ඉන්ෆ්ලුවෙන්සා රෝගීයකු  විය හැකිද? ඉන් ජීවිත අවදානමක් ඇති වෙනවාද? සහ අප ආරක්ෂා විය යුත්තේ කෙසේද?  යන්න  පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එම් .එන්.එස් ක්‍රිෂාන්ත මහතා සමඟ කළ සාකච්ඡාවකි.

  ඉන්ෆ්ලුවෙන්සා වෛරසය යනු කුමක්ද?
සෙම්ප‍්‍රතිශ්‍යා උණ හා සමාන වන මෙම රෝගය ශ්වසන පද්ධතිය  ආශ්‍රිත රෝගයකි.  A, B , C යනුවෙන්  කාණ්ඩ තුනකට මෙම වෛරසය වෙන්   කළ හැකි අතර  එයින් ඉන්ෆ්ලුවෙන්සා A සහ  B වෛරස් කාණ්ඩය මිනිසුන් අතර  ඉන්ෆ්ලුවෙන්සා බෝ වීම සඳහා බලපාන වෛරස් වර්ගයයි.
H1- N1 , H5 -N2    ආදී රෝග ඉන්ෆ්ලුවෙන්සා  A වෛරස් කාණ්ඩයට අයත් වන අතර එහි අවදානම  වනුයේ  මිනිසුන් අතර ඉක්මනින් බෝ විය හැකි වසංගත තත්ත්වයක් ලෙස පැතිරිමේ අවදානමක් ඇති රෝගයක් වීමයි.

 මෙහි රෝග ලක්ෂණ මොනවාද?
තද උණ, කැස්ස,  උගුරේ වේදනාව , සොටු දියර ගැලීම,  හුස්ම ගැනීමේ වේගය වැඩි වීම,  ඔළුව බර ගතිය, ඇගපත වේදනාව, ඇතැම් වෙලාවට බඩ බුරුලට යාම , වමනය යාම වැනි රෝග ලක්ෂණයන්  මෙහි පෙන්නුම්  කරන අතර නියුමෝනියාව දක්වා  ඕනෑම රෝග ලක්ෂණයක්  ඉන්ෆ්ලුවෙන්සා වැළදුණු යැයි සැක කෙරෙන රෝගියකු සතු ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි . නමුත් උණක් හෙම්බිරිස්සාවක් සෑදුණ විගස මේ  ඉන්ෆ්ලුවෙන්සා  යැයි  නිගමනය  කළ නොහැකියි.

  මෙම වෛරසය  ශරීරගතවීමේ  අවධානම් පිරිස්  සිටිනවාද?
යම් රෝගයක් වැළඳුණු පසු  එය එක් එක් පුද්ගලයා අනුව ශරීරවලට බලපාන අයුරු  තිබේ. ඒ අයුරින්ම එහි අවදානම් කාණ්ඩද සිටී. මෙම රෝගී තත්ත්වයේද එය එලෙසින්ම බලපානු ලබයි.   

වයස අවුරුදු 2 ට වඩා අඩු දරුවන්

වයස 65ට වඩා වැඩි වැඩිහිටියන්

ගර්භනී මව්වරුන්

නිධන්ගත රෝග සහිත පිරිස් (පෙනහළු ආබාධ- ඇඳුම, දියවැඩියාව,වකුගඩු රෝග අක්මාව ආශ්‍රිත රෝග, හෘද වස්තුවේ ආබාධ  (අධික රුධිර පීඩනය මෙයට අදාල නොවේ) ප්‍රතිශක්ති උණතා අඩු අය, එච්.අයි.වී ආසාධිතයින්, වකුගඩු බද්ධ කළ රෝගීන්.


 සාමාන්‍ය පුද්ගලයකුට වඩා මේ පිරිස  අවදානම් වන අතර  හඳුණාගත වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි.ඒ වගේම මෙම කාණ්ඩ අතර ඔවුනගේ රෝග ලක්ෂණ විවිධාකාර  විය හැකිය.

  මෙම වෛරසය තවත් පුද්ගලයකුට බෝ වෙන්නේ කෙසේද ?

ඉතා ඉක්මනින් තවත් පුද්ගලයකුට වැළඳිය හැකි  වෛරසයක්  වන මෙය ප්‍රධාන වශයෙන් බෝවීමේ ක්‍රම තුනක් හඳුනා ගෙන  තිබේ.

 සෘජුවම රෝගියකුට නිරාවරණය වීම

වෛරසය වැළදී ඇති අයකු පරිහරණය කරන භාණ්ඩ  පරිහරණය. (උදාහරණ- පෑන් ,පැන්සල්, සෙල්ලම්බඩු අදිය )

 අසාධිත බිඳිති අග්‍රාහණය වීම ( ශ්වසන මාර්ගයේ   ශ්‍රාව බිඳිති  )

මෙවැනි රෝගියකු හඳුනාගෙන නිවැරදි ලෙස ප්‍රතිකාර සිදු කරන්නේ කොහොමද?

ඉන්ෆ්ලුවෙන්සා  A වෛරසය ලංකාවේ වැඩි වශයෙන් පැතිරෙන  වෛරසයයි.  නමුත් A - B වෛරසය කියා වෙනසක් සිදු නොවේ. රෝගියාගේ තත්ත්වය අනුව වෛද්‍යවරයා  විසින් ප්‍රතිකාර සිදු කරනු ලබන  අතර  සැක සහිත රෝගීන් හඳුනාගතහොත් එය නිවැරදිව හඳුනා ගැනීම සඳහා රෝගියාගේ  නාසයේ සහ උගුරෙන් ලබා ගන්නා ශ්‍රාවයන් හි  සාම්පල් දෙකක් පරීක්ෂණයක් සඳහා  බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු  කර මේඉන්ෆ්ලුවෙන්සා  A රෝගියක්ද, B රෝගියෙක්ද යන්න නිවැරදිව හඳුනා ගැනේ.
මෙවැනි  එක්  පර්යේෂණයක් සඳහා රජයට රුපියල් 10,000 කට අධික මුදලක්  වැය වන අතර   ඒ හේතුවෙන්   හඳුනාගත නොහැකිම රෝගියකු  පමණක් එම පරීක්ෂණ සඳහා යොමු කෙරේ. රෝගීයා හඳුනා ගැනීමෙන් අනතුරුව  රෝගියාට ප්‍රතිවෛරස්  ඖෂධ ලබා දීමට කටයුතු කරයි. 

බරපතල නොවන උණ සෙම්ප‍්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පමණක් පෙන්වන රෝගීන් සඳහා සෙම්ප‍්‍රතිශ්‍යා උණ සඳහා නියමිත බාහිර රෝගී ප‍්‍රතිකාර  ලබා දෙන අතර  ඔවුන්ට වෛද්‍ය උපදෙස් ඔවුන්ට ලබා දෙයි.

 මෙම වෛරසය වැළඳුණහොත් ජීවිත අවදානමක් මතු වෙන්න පුළුවන්ද?
සාමාන්‍ය පුද්ගලයින්ට  වඩා අවදානම්  කාණ්ඩ වලට අයත්  රෝගීන්ගේ  සංකූලතා වැඩි විය හැකි අතර එවැනි පුද්ගලයින්ගේ  ජිවිත අවදානම   වැඩි විය හැකියි.  පසුගිය දිනයන්හි වාර්තා වුණ   ගර්භනී මාතවන්, කුඩා දරුවන් ගේ‍ෙමරණ බොහෝමයක්  එවැනි සංකූලතා  නිසා  වාර්තා වු මරණ ලෙස හැදින්විය හැකියි.

H1N1 ඉන්ෆ්ලූවන්සා කියන වෛරසය පැතිරෙන්නේ කුරුල්ලන්ගෙන්  කියලා පහු ගිය කාලයේදී බොහෝ මත පැතිරුණා. ඒ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද?

ඉන්ෆ්ලුවෙන්සා වෛරසරය කුරුල්ලන්ගෙන් බෝ වන බව පහුගිය කාලයේදී කතාබහට ලක් වු මාතෘකාවක් වුවද එය නිවැරදි මතයක් නොවේ. මෙය කුරුළු උණක් නිසා බෝවන රෝගයක් නොවන අතර එවැනි    රෝගීන් ලංකාවේ වාර්තා වී නොමැත. මේ වෛරසය  මිනිසකුගෙන් තවත් මිනිසෙකුට බෝ වෙන වෛරසයකි.

මෙම වෛරසය පැතිරෙන කාල සීමාවක් තියෙනවද? ඕනෑම කාලයක එය සිදු වෙන්න පුළුවන්ද?

 ලෝකයේ  ඉන්ෆ්ලුවෙන්සා    A  වර්ග  35 % ක්  B වර්ග 65 % ක්  වශයෙන් වාර්තා වෙන අතර  අපේ රට තුළ  වරින්  වර  මෙම තත්ත්වය වෙනස් වේ.  ලංකාවේ  මේ රෝගය උත්සන්න වන  කාල සීමා දෙකකි. මැයි, ජුනි,  ජුලි    කාල සීමාව සහ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි   එම  කාල සීමාවන්ය.

සෙනඟ ගැවසෙන උත්සව සමයන් වැඩි වීම,  ශීත කාලගුණික ත්තත්වයන් මේ වෛරසය පැතිරීමට  වැඩි අවස්ථාව සලසන අතර පරිස්සම් වීම ඉතාමත් වැදගත් වේ.

 මෙම වෛරසය වැළදීමට පෙර පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවාද?

ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම ඉතාමත්   සුදුසු වන අතර  රෝගය උත්සන්න වුණොත් ජීවිත අවදානමක් පවා ඇති විය හැකි බව සිහි තබා කටයුතු කළ යුතුයි. විශේෂයෙන් පළමුව සඳහන් කළ අවදානම් කාණ්ඩ   වඩාත් පරිස්සම් විය යුතුයි.

 ඉන්ෆ්ලූවන්සා රෝගීන් සඳහා දිය හැකි උපදෙස් මොනවාද?

විශේෂයෙන් ශ්වසන ආබාධ සහිත  රෝගීන් සිටි නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු  කළ යුතු  අතර ඔවුන් පිළිපැදිය යුතු  කරුණු කිහිපයක් තිබේ.

 සෙනඟ ගැවසෙන ස්ථානවලට යාමෙන්  වැළකිය යුතුයි.

පොදු ප්‍රවාහන  සේවා භාවිතය අවම  අවම කළ යුතුයි.

 කහින විට සෑම විටම ලේන්සුවක් භාවිත කරන්න හුරු  විය යුතුයි.

නිතර සබන් යොදා අත්  පිරිසිදු කරන්න.

ඇඳ විවේකය ලබා ගන්න.

වැඩිපුර  මද උණුසුම් දියර වර්ග පානය කරන්න.

පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න

මීට අමතරව  වෛද්‍ය උපදෙස් දෙස් අනුව කටයුතු කළ යුතුයි.

එමෙන්ම මේ දින වල තිබෙන අවදානම සමඟ   රෝග ලක්ෂණ සහිත කුඩා දරුවන් පාසල්  පෙර පාසල්, පාසල් යැවීමෙන් වැළැක්විය යුතු අතර ඔවුන් පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුයි.

පාසල්වල  මෙවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් සිටිනවා නම්  නම් ඒ පිළිබඳව   මව් පියන් දැනුවත් කර  දරුවන් නිවෙස්වලට යැවීම ඉතාමත් වැදගත්  වන අතර එම දරුවා නිසි අයුරින් සුව වන තුරු  නිවසේම තබාගැනීම ඉතාමත් වැදගත්. එමෙන්ම රෝගය වැළදීමේ අවදානම් අනික් කාණ්ඩ පිළිබඳව වඩාත්ම සැලකිල්ලක් දැක්විය යුතු අතර උණක්,  හෙම්බිරිස්සාවක්, කැස්සක් සෑදුණු විගස එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස නොසලකා  වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා යොමු වී ඔබේ සෞඛ්‍ය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසු විය යුතුමය.