ශ්‍රී ලංකා ගවේෂණාත්මක ජනසන්නිවේදන මධ්‍යස්ථානයේ සමාරම්භක උළෙලේ දී මුඛ්‍ය දේශනය පැවැත් වූයේ සන්ඬේ ටයිම්ස් පත්‍රයේ උපදේශක කර්තෘ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන ඉක්බාල් මහතාය. ඉංග්‍රීසි බසින් පවත්වන ලද එම දේශනයේ සිංහලානුවාදයිමේ.

ගවේෂණාත්මක ජනසන්නිවේදනය උදෙසා වූ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ/ශ්‍රී ලංකා ගවේෂණාත්මක ජන සන්නිවේදන මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවයට සහභාගි වන්නේ ඉමහත් ආඩම්බරයකිනි.

හේතු කිහිපයක් මෙම දේශනය ලැබීම ගැන සතුටට පත්වෙන්නෙමි.

වොෂින්ටනයේ පිහිටා ඇති ගවේෂණාත්මක පුවත්පත් කලාවේදීන්ගේ අන්තර් ජාතික එකමුතුවේ (ICIJ) එකම ශ්‍රී ලාංකික සාමාජිකයා මම වෙමි. මෙම සාමාජිකත්වය සූක්ෂම ලෙස කරුණු පරීක්‍ෂා කොට නිර්දේශ පිට ලැබෙන එකකි. ගවේෂණාත්මක ව්‍යාපෘති සඳහා සයිබර් අවකාශය භාවිතා කළ මුල්ම ගෝලීය සංවිධානය එම සංවිධානයයි.

පැනමා පත්‍රිකා (Panama Papers) නමින් මෑතක දී ඔවුන් ප්‍රසිද්ධියට පත් කළ ව්‍යාපෘති දැන් ඔබගේ මතකයට නැගේවි.

ආරම්භයේ පටන්ම ඔවුන්ගේ සාමාජිකයකු ලෙස සිටි මා අවුරුදු ගණනාවකට පෙර එහි "The Business of War" (යුධ ව්‍යාපාරය) නම් ව්‍යාපෘතියට සම්බන්ධ වී කටයුතු කළෙමි. මිනීමරු කල්ලි සහ යුද්ධ පැවැති කලාපවල ඔවුන්ගෙන් ඇතැම් කල්ලි නීත්‍යානුකූල භාවය ලබාගත් ආකාරය පිළිබඳව ගවේෂණය කළ එම ව්‍යාපෘතියේ දී අනාවරණය වූ කරුණු දැන් පොතක් ලෙස පළ වී තිබේ. ශ්‍රී ලංකාව පිළිබඳ කොටසක් ද එහි ඇත. 

වොෂින්ටනයේ පිහිටා ඇති ඔබේ මව් සංවිධානය වන ගවේෂණාත්මක පුවත්පත් කලාවේදීන්ගේ ගෝලීය ජාලය (Globle Investigative Journalist- GIJN)  එම ICIJ වෙතින් පැන නැගුණු අංකුර සංවිධානයකි. එහි විධායක අධ්‍යක්‍ෂ ඬේවිඞ් කැප්ලාන් මගේ හොඳ මිතුරකු ලෙස මම සලකමි. ප්‍රවීන පුවත්පත් කලාවේදියකු වූ ඔහු මින්පෙර එම තනතුරම (ICIJys) ගවේෂණාත්මක පුවත්පත් කලාවේදීන්ගේ අන්තර්ජාතික එකමුතුවේ ඉසුලුවේය. GIJN දැන් ලෝ පුරා ව්‍යාප්ත වී තිබේ.

යම් විශේෂිත ආහාර වර්ගයක හොඳ සුපවේදී වට්ටෝරුවක මෙන් ගවේෂණාත්මක පුවත්පත් කලාවේදය ගැන විවිධ නිර්වචන තිබේ.
ඔහුගේම වචන භාවිතා කරමින් කප්ලාන් පවසනුයේ ගවේෂණාත්මක වාර්තාකරණය යනු ගැඹුරින් කරුණු සොයා වාර්තාකරණය, ව්‍යවසාය වාර්තාකරණය, නැතහොත් ව්‍යාපෘති වාර්තාකරණය ආදියයි. ඔහු කියන ආකාරයට මේ සියල්ල ඉතා ලිහිල්ව ගවේෂණාත්මක වාර්තාකරණයේදී සමූහගතවේ. මෙහිදී එකිනෙකට වෙනස් මූලික ලක්ෂණ පහක් ඔහු හඳුනා ගනී.

1. ක්‍රමවත් විමර්ශනය යනු ඔබේ කාලය වැයකොට පවතින තත්ත්වය පිළිබඳව ක්‍රමවත් ආකාරයෙන් කරුණු විග්‍රහ කර ගැනීමය. මෙහිදී ඔබ කරනුයේ අනුකරණයෙන් තොර නව්‍යමය වූ කාර්යයකි. එය පූර්ණ ලෙස ගැඹුරින් කළ යුතුය. නව්‍ය වූ වාර්තාකරණය ගවේෂණාත්මක වාර්තාකරණයයි.

2. පවතින තත්ත්වය පිළිබඳ අභ්‍යුපගමණ ගොඩ නගා ගැනීම (කල්පිත නැතහොත් උපන්‍යාස ගොඩ නගා ගැනීම) මෙසේ කරනුයේ න්‍යායක් ගොඩනගා ඒ සඳහා උපකාරක සාධක සොයා ගැන්මටයි. උපකාරක සාධක නොවේ නම් එය අත්හැර දැමිය යුතුය.

3. සැඟව පවතින රාජ්‍ය තොරතුරු සහ රාජ්‍ය වාර්තා භාවිත කිරීම. ගවේෂණාත්මක වාර්තාකරණය යනු මහජනතාව, මුදල්, ලිපිලේඛන, ගවේෂණාත්මක තොරතුරු රාජ්‍ය වාර්තා ඒකරාශී කරගැනීම්, රහසේ කාන්දු වී ඇති තොරතුරු ආදිය අනුව යමින් ඒවා විග්‍රහ කිරීමයි.

4. යටපත්ව සැඟවී, රහසේ පවත්නා කරුණු හෙළිදරව් කොට ප්‍රසිද්ධියට පත් කිරීම ගවේෂණාත්මක වාර්තාකරණය නිරන්තරයෙන්ම සම්බන්ධ වනුයේ රහස් තොතුරු සමගයි. ඒවා හෙළිදරව් වීමෙන් තමන් අපහසුවට පත් වන නිසා බලයේ සිටිනා පුද්ගලයින් ඒවා හෙළි කරනවාට කැමති නැත.

5. සමාජ යුක්ති සාධාරණත්වයට සහ සමාජ වගකීම කෙරෙහි යොමුව තිබීම.

මම ගවේෂණාත්මක පුවත්පත් කලාව පිළිබඳ ගුරුවරයකු නොවෙමි. එම නිසා එහි ඇති විවිධ ශිල්පීය කාරණා සම්බන්ධව මම කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවෙමි. ඒ වෙනුවට, ගවේෂණාත්මක පුවත්පත් කලාව පිළිබඳ ලැදියාව දක්වන ඔබ සමග මෙම ක්‍ෂේත්‍රය තුළ මා හට ඇති අත්දැකීම් කිහිපයක් හුවමාරු කරගත හොත් ඒවා ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ යයි සිතමි.

ඊට පෙර මට අදාළ යම් පෞද්ගලික කරුණු කිහිපයක් ඔබ ඉදිරියේ තබන්නට මට අවසර දෙන්න. වසර පනහකට පෙර, පාසලෙන් නික්ම ආ විගසම, මම දැනට වසා දමා ඇති, හල්ෆ්ට්ඩොර්ෆ්හි (අළුත්කඬේ) පිහිටි Sun/ Weekend පුවත්පත් කන්තෝරුව වෙත පා තැබුවෙමි. එය එවකට පැවති විශාලතම පුවත්පත් සමූහයන්ගෙන් එකකි. එය මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය වෙතැයි මම කිසිවිටෙක විශ්වාස නොකළෙමි.

වාර්තාකරුවකු ලෙස එදාම මට රැකියාව පිරිනැමුණු අතර ඊළඟ දිනයේ පටන් වැඩට එන ලෙස මගෙන් ඉල්ලීමක් කරනු ලැබුවේය. අලෙවි කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් නිමා කරන්නට මම කල් ඉල්ලා සිටියෙමි. සතියකට පසු මම ඊට බැඳුණු අවස්ථාවේ මට භාර වූයේ ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ පිළිබඳ තොරතුරු සොයා බලා වාර්තා කිරීමය. එසේ වූයේ මම සිංහල සහ ද්‍රවිඩ යන භාෂා දෙකම උසුරුවන්නට මැනවින් දැන සිටි නිසාය.

මට පැවරුණු කාර්යය විසින් මා උතුරු සහ නැගෙනහිර පළාතේ විවිධ ස්ථානවලට රැගෙන යනු ලැබීය. බෙදුම්වාදී කැරළිවල පසු කාලීනව යුද පිටිය බවට පත්වූයේ එම ප්‍රදේශයන්ය. එම භූමිය මට හොඳින් හුරු පුරුදු තැනක් බවට පත් විය. ඒ අවදියේදී තිබුණේ ප්‍රධාන ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ දෙකක් පමණකි. එම පළාත් දෙකේ පැවති ඔවුන්ගේ වාර්ෂික සම්මේලන සහ වෙනත් වැදගත් අවස්ථා ආවරණය කරමින් වාර්තා කිරීම මම කළෙමි. එම පක්‍ෂවල නායකයන් සමග සමීප සම්බන්ධතාවන් මම හොඳින් වර්ධනය කර ගතිමි.

හැත්තෑ ගණන්වල මැද කාලය වෙද්දී මධ්‍යස්ථ දේශපාලනය සටන්කාමී දේශපාලනයක් බවට පරිවර්තනය වූයේය. ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කිරීම අතහැර දා ඉන් ඔබ්බට යමින් වඩුක්කොට්ටායි යෝජනා යනුවෙන් හැඳින් වූ වැඩ පිළිවෙළක් කරා දෙමළ දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම් ඒකරාශී වූහ. කාලයක් තිස්සේ මෙම වාතාවරණය විසින් සටන්කාමී කණ්ඩායම් අධිකතර සංඛ්‍යාවකට උපත දුන්නේය.

පළමුවැනි ඊලාම් යුද්ධය යන වක්‍රොක්ති නාමයෙන් හඳුන්වනු ලැබූ මෙම මුල් යුගයේදී එම කණ්ඩායම් වෙන වෙනම ක්‍රියාකාරී වූ නමුත් පොලිසිය සහ ආරක්‍ෂක හමුදා සමග ගැටෙද්දී තනි අරමුණකට යමින් ඒකාබද්ධව කටයුතු කළහ.

දෙවැනි සහ තුන්වැනි ඊලාම් යුද්ධය ලෙස පසුව හඳුන්වනු ලැබූ අවදිවලදී තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණේය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) හෙවත් දෙමළ කොටි වශයෙන් හඳුන්වනු ලැබූ සංවිධානය, තමන්ට එරෙහි කණ්ඩායම් වඩා කුරිරු වූ හා ලෙයින් තෙත් වූ යුද්ධ මගින් වචනයේ පරිසමාප්ත අරුතෙන්ම සමූල ඝාතනය කරනු ලැබූවේය. හමුදා දෙකම අලුත් යුධමය උපකරණ වලින් සන්නද්ධව යුධමය ක්‍රියාමාර්ගවලට එළඹුනෝය. 2009 මැයි මාසයේ දී ඛඔඔෑය යුධමය වශයෙන් පරාජයට පත් කරනු ලැබිණි. ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී අරගලයේ උපත, වර්ධනය සහ පරාජය පිළිබඳ තොරතුරු වාර්තා කරන්නට මට වාසනාව තිබුණේය.

හමුදා සඳහා කළ ප්‍රසම්පාදන මතභේදකාරී තත්ත්වයට පත් විය. බාහිර සහ අභ්‍යන්තර යන ගනු දෙනු දෙවර්ගයම එක සමාන ලෙස අධික ලාභදායී වූයේය. මෙම සැක සහිත ගනුදෙනු කිහිපයක් හෙළිදරව් කරන්නට මම පටන් ගත්තෙමි. මා මුහුණ දුන් පීඩාවන් මෙහිදී එකිනෙක කියන්නට තරම් බහුලය. මට කිව හැක්කේ එම කතන්දර කියන්නට මා නොමැරී ජීවත් වූ බව පමණයි. 1998 පෙබරවාරියේ දී ගුවන් හමුදාවේ ප්‍රශ්නකාරී ප්‍රසම්පාදන හෙළිදරව් කිරීමෙන් පසු, බ්‍රවුනිං පිස්තෝල අතැති කල්ලියක් මගේ නිවසට කඩා පැන්නෝය. ඔවුන් මගේ හිසට පිස්තෝලය තබද්දී මගේ බිරිඳත්, දුවණියත් භීතියෙන් වෙව්ලා ගියෝය. කොළඹදී, ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ විශේෂ නියෝජිතයකු එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මුණගැසී මේ බව කියනතුරු එම වරදකරුවන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනුනේ නැත. පසුව එක්සත් ජාතීන්ගේ ඇමරිකා එක්සත් ජනපද රාජ දූතයා බවට පත් වූ බිල් රිචඞ්සන් මෙම සිද්ධිය හුවා දක්වමින් කතා කළේය.  ප්‍රවෘත්ති සම්මේලනයකදී ඔහු පසුව මේ බව කියා සිටියේය. රහස් පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් පරීක්‍ෂණ කටයුතු සඳහා යොමු කරන ලදී.

අවුරුදු හතරකට පසු ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනකුට විරුද්ධව නඩු පවරනු ලැබ ඔවුන් වරදකරුවන් කරනු ලැබිණි. එක් අයෙක් බන්ධනාගාරයේ දී මිය ගියේය. රජය මාරු වූ පසු ඉදිරිපත් කරන්නට අපේක්‍ෂා කළ අභියාචනයකින් අනෙක් තැනැත්තා නිදහස් කරනු ලැබීය.

දැන් වඩාත් කතා බහට ලක් වූ මිග් 27 මගඩියට යොමු වෙමු. 2006 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මුලාශ්‍රයකින් මට ලේඛන විශාල තොගයක් සොයා ගැනීමට හැකි විය. ඒවා මිග් 27 ප්‍රහාරක යානා මිල දී ගැනීමට අදාළ ඊනියා ප්‍රසම්පාදන ගිවිසුමට අදාළ ලේඛනයන්ය. ඒ හැම එකක්ම ඇමරිකානු ඩොලර් 3,462,000 මිලෙන් යුතු ඒවාය. වෙනත් අයුරකින් කිවහොත් ඒවායේ වටිනාකම රුපියල් මිලියන 265කට වැඩිය.

මේවා 1980 සහ 1983 අතර කාලයේ නිෂ්පාදනය වූ ගුවන් යානා උදෙසාය. අත්සන්කොට තිබූ ගිවිසුමෙන් පෙන්වා දී තිබුණේ, එය රජයන් දෙක අතර ගනුදෙනුවක් ලෙසයි. මා දන්නා මූලාශ්‍ර වලටත්, ආරක්‍ෂක හමුදා පිළිබඳ විශේෂඥ දැනුමෙන් යුතු රාජ්‍ය නියෝජිතවරුන්ටත් කතා කරමින් මෙම කාරණය පිළිබඳව මම සති කිහිපයක් යනතුරු ගවේෂණය කළෙමි. එවර මේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මා ඉදිරියේ මැවුණේය.

ඔබ දන්නා පරිදි 1991 ඒකාබද්ධ සෝවියට රාජ්‍ය බිඳී ගිය පසු යුක්රේනය වෙනම රාජ්‍යයක් බවට පත්වූයේය. ඉන්පසු පාවිච්චි කරන ලද මිග් 27 යානා හිම පතනයටත් අව්වටත්, වැස්සටත් අසුවන සේ නිරාවරණය කොට ගාල් කර තිබුණේය. ඇතැම් ඒවා සැලකිය යුතු ගුවන් කාලයක් ගුවන් ගතව අතහැර තිබුණු ඒවා වන අතර අනෙක් ඒවා ගුවන් ගතවීමේ වටිනාකම් අතින් ඉතාමත් හීන ඒවාය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම ගුවන් යානා විකිණීම සඳහා ඉල්ලුම් කළ සමාගම් අතර සිංගප්පූරුවේ සමාගමක් ද විය.

අවස්ථා දෙකක දී ඔවුන්ගේ වෑයම සාර්ථක විය. යුක්රේනය වෙත පියාසර කළ ගුවන් හමුදා නිලධාරීන් විසින් ප්‍රහාරක ජෙට් යානා පරීක්‍ෂාවට ලක් කරන ලදී. සොබාවික ලෙසට වැඩිම ගුවන් පැය ගණනක් පියාසර කළ හැකි ඒවා තෝරා ගැනුණි. කෙසේ වුවද තුන්වැන්න වඩාත් බැරෑරුම් ලෙස ගිනිය හැකි අක්‍රමිකතා නිසා වඩාත් ප්‍රශ්නකාරී වූයේය.

2006 දෙසැම්බරයේ සන්ඬේ ටයිම්ස් පුවත්පතෙන් මේ පිළිබඳ කරුණු හෙළිදරව් කරනු ලැබූවේය. වැදගත් ලෙස එහි හුවාදක්වා තිබුණු කරුණු මෙසේය.

“ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගුවන් හමුදාවත්, යුක්රේන රජය විසින් හිමිකාරීත්වය උසුලන යුක්රින්මාර්ෂ් ආයතනයත් අතර ගිවිසුමෙන් පැහැදිලි වන්නේ එය රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුමක් බවයි. ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙවැනි ගනුදෙනු සිදු කරන්නේ අවම ලන්සුව තෝරා ගැනීමටය. මෙවැනි ගනුදෙනු වලින් මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ, තුන්වැනි පාර්ශ්වයක් අධිකතර කොමිස් කුට්ටියක් කඩාගෙන එක රැයින් ප්‍රකෝටිපතියන් වීම වළක්වා රාජ්‍ය දෙකක් අතර මුහුණට මුහුණලා ගනුදෙනු කිරීමයි.”

මෙම ඊනියා ගිවිසුම අත්සන් කොට ඇත්තේ 2006 ජුලි 25 වැනිදාය. ඒ ලංකා ලොජිස්ටික් ඇන්ඞ් ටෙක්නොලොජීස් ලිමිටඞ් ආයතනය ක්‍රියාත්මක වන්නට දිනකට කලින්ය.

පූර්ණ ලෙස රජය සතු ව්‍යාපාර ආයතනයක් වන මෙය පිහිටුවන ලද්දේ පොලිසියටත්, සන්නද්ධ හමුදාවන්ටත් අදාළ යුධ උපකරණ ප්‍රසම්පාදනය කිරීමේ ඒකායන අරමුණ ඇතිවය. මැදිහත්කරුවන් ඉවත් කරවීමට මේ මගින් බලාපොරොත්තු වූ බව වාර්තා වූයේය.
මින් පෙර අවස්ථා දෙකකදී මිග් 27 යානා මිල දී ගැනීමෙන් අනතුරුවත් එහි ඇති ප්‍රශ්නකාරී ස්වභාවය තවමත් ඉතිරිව ඇති බව දැන ගැනීමෙන් මම කම්පනයට පත් වූයෙමි. මෙම මිලදී ගැනීම් පිළිබඳව සන්ඬේ ටයිම්ස් පුවත්පතේ වාර්තා වෙන් මම පහත කරුණු මතුකර පෙන්වූයෙමි.

ඒ මෙසේය.

“ඒ වසර හයකට පෙරය. මිල ගණන් එවකට බෙහෙවින් අඩුය. දැන් ඔවුන් ගිවිසුම් ගතව ඇත්තේ වඩාත් ඉහළ මිල ගණන් වලටය. 2000 මැයි 25 වැනිදා පළමු මිල දී ගැනීම සිදුවන විට මිග් 27 ජෙට් යානා මිලදී ගෙන ඇත්තේ එකක් ඇමරිකන් ඩොලර් මිලියන 1.75 බැගින්ය. ඒවා නිෂ්පාදනය වී තිබුණේ 1982 සහ 1985 අතර කාලයේය. දෙවැනි මිල දී ගැනීම සිදුවූයේ 2000 ඔක්තෝබර් 24 වැනිදාය. මෙම ගනුදෙනුවේදී මිග් 27 යානාවලට වැය වූයේ එකකට ඇමරිකන් ඩොලර් මිලියන 1.6 බැගින්ය. ඉන් එකක් නිෂ්පාදනය වී තිබුණේ 1981 වන අතර අනෙක 1984දීය.”

ඔබට පෙනෙන පරිදි දෙවැනි මිල දී ගැනීමේ දී මිල ගණන් අඩුය. ඊට හේතු වූයේ හොඳම ඒවා ඒ වන විට සම්පාදනය කරගෙන තිබුණු නිසාය. ඒවා පැමිණියේ මාස ගණනකට පසුවයි. එසේ වුවද පසුව මිල දී ගෙන තිබුණු ඒවාට ඊට වඩා වැඩි මිලක් ගෙවා තිබිණි. ඒවායින් හතරක් මිල දී ගෙන තිබුණේ එකක් ඇමරිකානු ඩොලර් 3,462,000 බැගින් වූ මිලකටයි.

තවදුරටත් කරුණු කියන්නේ නම් කලින් මිලදී ගත් අවස්ථා දෙකේදී මිල දී ගත් මිග් 27 යානා නිපදවා තිබුණේ 1985 වර්ෂයට පෙරයි. අවසාන වශයෙන් මිල දී ගත් මිග් යානා නිපදවා ඇත්තේ 1980 සහ 1983 අතර කාලවලදීය. 

මේ ආකාරයට යානාවල තත්ත්වය මෙන්ම ඒවා මිලදී ගත් වර්ෂ ද දැඩි ලෙස ප්‍රශ්නකාරී වූයේය. මම මගේ ගවේෂණ නොකඩවා කරගෙන ගියෙමි. තව තවත් වාර්තා පළවෙන්නට ගත්විට රජයේ ඉහළ පෙළේ අය තුපිත වූවෝය. පතුලක් නැති අගාධයක තරම් ප්‍රචණ්ඩ බවත්, පළිගැනීමේ චේතනාවත් සිත්හි පුරවාගෙන සිටි ප්‍රබල පුද්ගලයෝ මා වෙත බද්ධ වෛරය මුදා හළෝය. මගේ පවුලේ අයවත් මාවත් භීතියට පත්කරන ව්‍යාපාරයක් ඔවුහු ක්‍රියාත්මක කළහ.

සන්ඬේ ටයිම්ස් පුවත්පතෙන් නොකඩවා කරුණු හෙළිදරව් කරද්දී රාජ්‍ය මාධ්‍ය විසින් දරුණු ලෙස ඊට පහර එල්ල කරනු පෙනුණි. ඔවුන් සමග එක් වුණු ආරක්‍ෂක අමාත්‍යාංශය ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන් සැකකටයුතු ද්‍රෝහියකු යන සන්නාමය මට ප්‍රදානය කර තිබිණි. මෙම කරදරකාරී කාලය තුළ සත්‍ය වෙනුවෙන් නැගී සිටියේ සිරස රූපවාහිනී ජාලය පමණක් බව කිව යුතුය. පසු කාලීනව ඇමරිකා එක්සත් ජනපද උප ජනාධිපති පදවියට පත්, එවකට එක්සත් ජනපද විදේශ සම්බන්ධතා සෙනෙට් කමිටුවේ සභාපතිවරයාව සිටි සෙනෙට් සභික ජෝ බිඩන්ගේ ලිපියක් ද ඔවුහු ප්‍රකාශයට පත් කළහ. එය මා වෙනුවෙන් එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙත යොමුකළ එකකි. නාගරික මන්ත්‍රීවරයකු විසින් උසිගන්වන ලද සෙනඟක් මා ද්‍රෝහියකු වග දැක්වෙන පුවරු ප්‍රදර්ශනය කරමින් මගේ ගේ අසල උද්ඝෝෂණය කළහ. ඔවුහු කුණුහරුප සටන් පාඨ කීහ. එහි සිටි සමහරු මා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටියෝය.

මා දැඩි පරීක්‍ෂාවට ලක්කොට මා ගැන සෝදිසියෙන් පසු වූ අතර මා තොරතුරු ලබාගත් මූලාශ්‍රය හඳුනා ගැනීමටත් උත්සාහ ගෙන තිබුණේය. අත්අඩංගුවට ගැනීම තියා, ඇත්ත වශයෙන් නීතිය කඩ කළ අයකු ලෙස සලකා කිසිම රාජ්‍ය ආයතනයක් මගෙන් ප්‍රශ්න කිරීම ද නොකළේය. කිසිම ආයතනයක් එසේ කළේ නැත. මා කරුණු හෙළිදරව් කිරීම නිසා ඇතැම් අයට හොඳ හැටි රිදුන බව මම දැනගත්තෙමි. මම රූපවාහිනී සාකච්ඡා සහ පුවත්පත් ලිපි වලින් නිරන්තරයෙන් අපහාස විඳින අයෙකු බවට පත් වූයෙමි. ඒ උදෙසා විවිධ පෙළඹවීම් ද ඇති කරන ලදී.

හමුදා කොමාන්ඩෝ භට පිරිසක් ඒ වනවිට මාවෙත යොදවා තිබුණේය. තමා වටා ආරක්‍ෂක භටයින් පිරිවරා ගැනීම පුවත්පත් කලාවේදියකුට එතරම් හොඳ දෙයක් නොවන බවට ඔබ මා සමග එකඟ වෙනවා ඇති. ඔවුන් සිටීම නිසා තොරතුරු ලැබෙන මූලාශ්‍ර අධෛර්යට පත්වනු ඇත. නැතහොත් එම මුලාශ්‍ර සිඳී යනු ඇත. එවැනි ආරක්‍ෂකයන් සිටීමෙන් සිදුවන්නේ මා ගැන ඔත්තු බලමින් මා යන එන තැන් ඔවුන්ගේ ප්‍රධානීන්ට දැන්වීම බව රහසක් නොවේ. ඔවුහු එකින් එකට තොරතුරු දේශපාලන නායකත්වයට කීහ. මට වෙන කරන්නට දෙයක් නොවීය. මා ආරක්‍ෂක භට පිරිස් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේ නැත. මගේ ජීවිතයට තර්ජන ඇති බවට රහස් ඔත්තු සේවා විසින් කරන ලද නිර්දේශ නිසා භට පිරිස් පැමිණ තිබිණි. පසුව ඔවුන් ඉවත් කර ගැනුණි.

ආරක්‍ෂක අමාත්‍යාංශය සමග සමීප සම්බන්ධතා පැවැති ප්‍රධාන වාමාංශික පක්‍ෂයක නායකයකුගෙන් දිනක් මට දුරකතන ඇමතුමක් ලැබුණි. ඔහු පැමිණියේ දුක සැප බලාගෙන යන්නට එන අමුත්තකු ලෙසය. මගේ නිවසේ දී මා මුණ ගැසුණු ඔහු කාලය නාස්ති නොකරම මිග් 27 ගනුදෙනුවට අදාළ තොරතුරු ලැබුණු ආකාරය විමසා සිටියේය. ගුවන් නියමු වරයාගේ බී්‍රෆ් කේසය විවෘත කොට අදාළ ලේඛන එළියට ඇද ඔහුට කරුණු සනාථ කර පෙන්වන්නට මට සිදු වූයේය. මා ඇසුවේ ඊට හවුල් වූ අයට නිසි දඬුවම් නොදෙන්නේ ඇයි ද කියාය.

ගිවිසුමේ පිටපතක් ඔහු මගෙන් ඉල්ලා සිටි නමුත් එම අවස්ථාවේ එය දීම අපහසු බව මම කීවෙමි.

දින කිහිපයක් ඉක්මගිය පසු මගේ හමුදා මුලාශ්‍ර වලින් මට ලැබුණේ සිත් පීඩාදෙන ආරංචියකි. මගේ නිවස වටලා පරීක්‍ෂාවට ලක් කිරීමට සැලසුම් කරමින් පැවතිණි. ඔවුන්ට සොයා ගන්නට අවශ්‍යව තිබුණේ ගුවන් නියමුවාගේ බී්‍රෆ් කේසයයි. දුෂ්ට සැලැස්මක් ඒ වන විටත් ක්‍රියාත්මක කිරීම පටන් ගෙන තිබුණේය. මා පදිංචිව සිටින ප්‍රදේශයේ හාත්පස මහ හඬ නංවමින් වාහන එහා මෙහා ගියේ නිවාස තුළ LTTE භටයින් සැඟව සිටින බවට අනතුරු හඟවමිනි. ඒ හැරුණු කොට ගෙයින් ගෙට සෝදිසි කිරීම් සිදු කිරීමට නියමිත බවට නිවේදනයකින් කියවුණේය.

එම ක්‍රියාමාර්ගය ගනු ලැබූවේ මගේ නිවස වටලා සෝදිසි කිරීමේ අදහසින්ය. එම සැලසුම් පිළිබඳව හොඳින් දැන සිටි මට තොරතුරු දෙන මූලාශ්‍ර කීවේ පවුලේ අය සමග නිවසින් පිටත්ව යන ලෙසයි. මා නොමැති වෙලාවක නිවස සෝදිසි කිරීම පිළිබඳව විරුද්ධවීමට යම් සාධාරණ හේතුවක් මා හට ඇති බැවින් ඔහු එසේ කියා සිටියේය.

පිටත්ව යෑම පිළිබඳව එක් ගැටලුවක් පැන නැගුණේය. ලෝකය පුරා ඉන්නා බෝරා (Bohra) ප්‍රජාවේ සාමාජිකයින් ඇද ගන්නා ආගමික උත්සවයක් කොළඹ පැවැත්වෙමින් තිබුණි.

ඒ නිසා කොළඹ සියලු හෝටල් ඒ අයගෙන් ඒ වනවිට පිරී පැවතුණි. එදින රාත්‍රිය ගත කිරීමට මගේ මිතුරකු මෙන්ම වෘත්තීය සගයකු වන අමල් ජයසිංහ, කළුතර හෝටලයක් සූදානම් කර දුන්නේය. අපේ තවත් යහළුවන් දෙදෙනකු ඉන් එක් අයකු රාජ්‍යතාන්ත්‍රික සේවාවේ නියැලුණ අයෙකි. ඔහු විසින් මා සහ මගේ බිරිඳ තම රථයේ නංවාගෙන එහි ගෙන යනු ලැබූහ. අනෙක් තැනැත්තා ද දැනට රාජ්‍ය තාන්ත්‍රික සේවාවේ යෙදී සිටී. කලින් කී තැනැත්තා, ගුවන් නියමුවාගේ බී්‍රෆ් කේසය ද ඔහු බාරයේ ප්‍රවේශමට තබාගත්තේය.

තවත් හේතුවක් නිසා එම අවස්ථාවේදී මම වඩාත් කණගාටුවට පත්වූයෙමි. දීර්ඝ කාල පරිච්ජේදයක් පුරා මා රැස්කළ හමුදාවේ මෙන්ම LTTE යේ ද විශේෂ ඡායාරූප ඇතුළු දෑ මා සතුව තිබිණි. ඒවායින් සමහරක් අතිශය සංවේදී ඒවාය. මා ඒවා රැස්කරගෙන තිබුණේ ඒ අනුසාරයෙන් පොතක් ලිවීමටයි. මා නිවස අත්හැර යාමට ප්‍රථමයෙන් ඒ සියල්ල ගිනිබත් කොට යන්නට මට සිදු වූයේය.

නිවෙස පරීක්‍ෂා කරන අවස්ථාවේ ඒවා ඔවුන් අතට පත් වුණි නම් මා ද්‍රෝහියකු බව සනාථ කොට කියන්නට ඔවුන් ඒවා උපයෝගී කරගන්නවා නොඅනුමානය. මා නිතරම ඒ දිනය සිහිපත් කරන්නේ මගේ වෘත්තීය ජීවිතයේ වඩාත්ම ශෝකී දිනය ලෙසයි. දැඩි කැපකිරීමකින් එකතු කර ගනු ලැබූ වටිනා ද්‍රව්‍ය රාශියක් දුම්රොටු වලට මුසු වූයේය. මට කළ හැකි වෙන දෙයක් නොවීය.

ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනයට සති දෙකකට පෙර වඩාත් පීඩාකාරී ආරංචියක් අසන්නට ලැබුණි. එදා රෑම පිටත්ව යන ලෙස වඩාත් විශ්වාසදායක ඉහළ මට්ටමේ මූලාශ්‍රයකින් මට දැනුම් දුන්නේය. එළිවෙන්නට පෙර ගුවන් යානයකින් මම තායිලන්තය බලා පියාසර කළෙමි. කෑම උයා පිහාගෙන, ඇඳුම් සෝදාගෙන, ඔන්ලයින් වැඩ කරමින් මම අගහිඟ වලින් පිරි දීර්ඝ කාලයක් නිවාස කොටසක ගත කළෙමි. මගේ නිවස ඉදිරිපිට මෝටර් සයිකලයකින් ගමන් ගත්, පමණට වඩා දිග අත් කොට කමිසයකින් සැරසුණු පුද්ගලයකු ගැන මගේ රියැදුරා පසුදා උදයේ සෙවිල්ලෙන් සිටියේය. සැර හුළඟක් ඇවිදින් එම තැනැත්තාගේ කමිසය උඩට ගියේය.

ඔහුගේ ඉනේ තිබී ඇත්තේ පිස්තෝලයකි. මගේ රියැදුරා එහි ලියාපදිංචි අංකය මතක තබා ගත්තේය. මම බැංකොක් හි සිට ආරක්‍ෂිත දුරකතනයකින් එම අංකය පරීක්‍ෂා කොට බැලුවෙමි. එම අංක තහඩුව අයත් වූයේ ලොරියකටයි. මට දැන් වූ අනතුරු හැඟවීම නිවැරදි බව මම පසුව තහවුරු කර ගත්තෙමි. එම අනතුරු හැඟවීම නිසා තවත් ජීවත් වන්නට මට හැකිවූයේය. කිසිම අනතුරු හැඟවීමක් නැතිව යම් අනතුරක් මට සිදු වූයේනම්, මගේ පවුලට කුමක් වේදැයි සිතුවිලි අතර රැඳී මම කල්පනා කළෙමි. එවැනි අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකාවේ සිදුකරන විමර්ශන වඩා කල්ගත වන යටිකූට්ටු මං ඔස්සේ සිදුවන ඒවා බව මම දැන සිටියෙමි.

ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පැමිණි විට ඔවුහු FCID  ය හෙවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටවූවෝය.

2015 මුලදී ඔවුන් වෙත මා ප්‍රකාශයක් දුන් පසු විමර්ශන ඇරඹිණි. කිසිදු පුද්ගලයකුට මා චෝදනා නොකළ නමුදු මගේ විග්‍රහකිරීම් වලදී සොයාගනු ලැබූ මා සතු සියලුම ලේඛන ඔවුන් වෙත භාර දුන්නෙමි. ගිවිසුම සහ අනෙකුත් ලේඛන මට ලැබුණේ කොහෙන්ද යන ප්‍රශ්නයට පිළිතුරු දීම මම ප්‍රතික්‍ෂේප කළෙමි.

FCID  කණ්ඩායමක් යුක්රේනයට ගිය බව මට දැනගන්නට ලැබුණේය. 2016 අප්‍රේල් 25 වැනිදා පෙ.ව. 10.00ට ඔවුහු ප්‍රොසෙකියුටර් ජෙනරල්වරයා ඇතුළු යුක්රේන රජයේ නිලධාරීන් සහ යුක්රින්මාර්ෂ් ආයතනයේ නිලධාරීන් මුණ ගැසී තිබිණි. අවසාන වශයෙන් කළ මිග් 27 ගනුදෙනුව පිළිබඳව ඔවුනට කී විට ඔවුන්ගෙන් ලැබුණේ සිත් කම්පා කරවන ප්‍රතිචාරයකි. ඔවුන් දුන් පිළිතුර වූයේ අප 2006 දී ශ්‍රී ලංකාවට කිසිදු මිග් 27 යානයක් අලෙවි නොකළෙමු යන්නයි.

මවිසින් සොයා බලා දැනගත් ඇතැම් කරුණු මෙසේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව යුක්රිස්මාර්ෂ් සමග අත්සන් කළේයැයි කියන ගිවිසුම බොරුවකි. එවැන්නක් යථාර්ථයේ නැත. බෙලිමිස්සා හෝල්ඩින්ග්ස් නම් ආයතනයට මුදල් තැපෑලෙන් යැවූ බව කියන්නේ නම්, එය ද බොරුවකි. එම ලිපිනයේ ලන්ඩනයේ ඇත්තේ තැපැල් පෙට්ටියක් පමණකි.

බෙලිමිස්සා හෝල්ඩින්ග්ස් යනු මිග් 27 ගනුදෙනුව කරන්නට ශ්‍රී ලංකාවෙන් සහාය දැක්වූ අයට එය පහසුවෙන් සහ ඉක්මනින් කර ගැනීම සඳහා පමණක් කලින් සැපයුම් කරුවා විසින් අටවනු ලැබූ සමාගමක් බව හෙළිදරව් වූයේය. එම සමාගම එතැනින් හමාර වූවකි. එය ලියාපදිංචි කොට තිබුණේ පැනමාවේය. ඊට අනුගත වූ අය එය රහසක් ලෙස තබාගෙන තිබුණි. මුදල් ගොස් තිබුණේ ලැට්වියාවේ ගිණුමකටයි. මුදල් ගලා ගිය පාර ද සොයාගනු ලැබිණි. ඇතැම් මුදල් ශ්‍රී ලංකාවට ද ආපසු පැමිණ තිබුණේය.

වඩාත් විස්තර හාරා අවුස්සමින් මා නොකියන්නේ තවමත් විමර්ශන කටයුතු සිදුවෙමින් තිබෙන නිසාය. කෙසේ වුවද දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්සේම මෙම වංචාකාරී ගනුදෙනුව පිළිබඳ තතු කවදා මෙලෝ එළිය දකීවිදැයි සැකයෙන් පසු වන්නෙමි. එසේ වුවද මා නිර්දෝෂි වග කියා සිටින්නේ ඉමහත් සතුටකිනි. මා ද්‍රෝහියෙකැයි චෝදනා කළ අයට මා එසේ නොවන බව ඔප්පු කර පෙන්වූයෙමි. ඒ ආකාරයට මම මගේ රට වෙනුවෙන් යුතුකම ඉටුකර ඇත. ද්‍රෝහීන් වනුයේ ශ්‍රී ලාංකික බදුගෙවන්නන්ගේ මුදල් මංකොල්ලකා ඔවුන්ගේ සාක්කු පුරවාගත් උදවියයි. බෙදුම්වාදී යුද්ධය නාමයෙන් සටන් කළ බව කියන උදවියයි.

මේ සියලු දේ තුළ හොඳ පැත්තක් ද තිබේ. අපේ හමුදාවේ අවංකව කැපවීමෙන් ක්‍රියා කළ එඩිතර මිනිස්සු බොහෝ සංඛ්‍යාවක් සිටිති. අතලොස්සක් වූ බොරු වීරයන්ට සහ වංචාකාරයන්ට වඩා ඒ අය බොහෝ වෙති. ඔබ දන්නා පරිදි මෙවැනි දූෂිත ක්‍රියා පිළිබඳව මහජනයා දැනුම්වත් වනු පිණිස මහත් ඕනෑකමකින් මාහට ඊනියා ගිවිසුම ලබා දුන්නේ ඒ අයගෙන් එක් කෙනෙකි. එම ගනුදෙනුව ඔහුගේ හිතට වද දුන්නේය.

මා ගැන සහ මගේ පවුලේ අයගේ ආරක්‍ෂාව පිළිබඳව දැඩි සැලකිල්ල දැක්වූ අය ද සිටියහ. කිසිදු අනර්ථයක් සිදුවී නැති බව තහවුරු කොට දැනගන්නට, මහා රාත්‍රියේ මගේ නිවස පසුකරගෙන වාහනය පදවාගෙන යන්නට තමන්ගේ දන්නා හඳුනන අය එවා තිබුණේය. එවැනි ඇතැම්මු දුප්පත් වුව ද එඩිතර අය වූහ. ඔවුහු ඒ සඳහා දැඩි අවදානමක් දැරූහ.

ඉතිරිව ඇත්තේ කෙටි කාලයක් බැවින් තවත් සිද්ධියක් පිළිබඳව කෙටියෙන් මම කරුණු කියන්නෙමි. දිනක් බටහිර රටක, ආරක්‍ෂක තානාපති සේවයේ යෙදී සිටි නිලධාරියෙක් මට දිවා ආහාරයකට ආරාධනා කළේය. අපේ සංවාදය අතරතුරදී ඔහුට ලැබුණු ෆැක්ස් පණිවිඩයක් පෙන්වා ඒ ගැන මගේ අදහස කුමක්දැයි ඔහු විමසා සිටියේය. එහි පණිවිඩය එවූ තැනැත්තකුගේ නමක් හෝ කිසිදු ආයතනයක නමක් සඳහන් නොවීය.

එහි මුද්‍රිත අකුරෙන් තිබුණේ ශ්‍රී ලංකා හමුදාවට යැවීමට තිබූ මි.මී. 81 මෝටාර් 32400ක් ඔවුන් පැහැර ගත් බවකි. මා කාලයක් පුරා සමීප සම්බන්ධතා පවත්වාගෙන ගිය එම නිලධාරියාට මා කියා සිටියේ එය ඛඔඔෑ යෙන් එවන ලද්දක් බවට ඕනෑම ඔට්ටුවක් අල්ලන බවයි. “ඔබ කොහොමද එහෙම කියන්නේ?” ඔහු ඇසුවේය. මා කීවේ ටයිප් කරන ලද එම අකුරු LTTE  තම පුවත් නිවේදන නිකුත් කරද්දී භාවිතා කළ අකුරුවලට සමාන බවයි. එහි පිටපතක් ඔහු මට දුන් පසු මම ඒ ගැන ගවේෂණය ආරම්භ කළෙමි. ඒ සඳහා සති කිහිපයක් ගත වූයේය.

ඇත්ත වශයෙන්ම එම මි.මී. 81 මෝටාර් තොගය සිම්බාව්වේහි ඇති සිම්බාබ්වේ ඩිෆෙන්ස් ඉන්ඩස්ටී්‍රස් (ZDI) වෙතින් ශ්‍රී ලංකා හමුදාව ඇණවුම් කළ එකක් බව මට දැනගන්නට ලැබුණි. සිංගප්පූරුවේ පිහිටි අතරමැදි ආයතනයකට ඒ සඳහා පූර්ව ගෙවීම් කටයුතු කර තිබිණි. එසේ වුවද බලාපොරොත්තු වූ පරිදි එම තොග කොළඹට නොආවේය.

ඒ අතරතුර උතුරේ සටන්කාමීන් සටන් බිම්වල මහා පරිමාණයෙන් මෝටාර් භාවිතා කරන බව අනාවරණය විය. හමුදාව විසින් ඇණවුම් කරන ලද මෝටාර් LTTEයේ අතට පත් වූයේ කෙසේදැයි මම සොයා ගතිමි.

ඇණවුම් සිදු කරන ලද අවස්ථාවේ සිම්බාබ්වේ ඩිෆෙන්ස් ඉන්ඩස්ටී්‍රස් සතුව ප්‍රමාණවත් තොග තිබී නැත. හමුදාවට හදිසි අවශ්‍යතාවක් ඒ සඳහා පැන නැගී තිබුණු නිසා ZDI හි එක් දූෂිත නිලධාරියෙක් ඊශ්‍රායල් ආයුධ වෙළෙන්දකුගෙන් ඒවා ඉල්ලා සිටියේය. දෙවැනිව කී තැනැත්තා මෝටාර් 32400ක තොගය බොස්නියා යුද්ධයේ ඉතිරිව තිබූ තොගයකින් සූදානම් කර ගත්තේය. ඒවා සිම්බාබ්වේ කරා යැවීම සඳහා බෝල්කන් වරායෙන් නැවකට පැටවිණි. ඉන් අනතුරුව ඒ ගැන තොරතුරක් තහවුරු කොට දැන ගන්නට මට හැකි වූයේ නැත. කෙසේ වුවද කොහේදී හෝ ඒවා LTTE බඩු නැවකට පටවා ඇති බව මට දැනගන්නට ලැබුණි. එම නැවෙන් එකී තොග මුලතිව් අසල මුහුදට ගෙන ආවේය.

එම නැව සතියක් පුරා නැංගුරම් ලා තිබුණේත් ඒ නිසාය. පසුව එය LTTE යෙන් විනාශ කරනු ලැබීය. එය වෙනතක යාත්‍රා නොවීය. හමුදාවෙන් කළ පූර්ව ගෙවීම සිංගප්පූරුවේ නැවතුණේය. එම කතාව එතැනින් නිමා වූයේය. සවිස්තර තොරතුරු සොයාගැනීම වළක්වන ආකාරයට ඒ වනවිට කටයුතු යොදා තිබුණේය.

මෙම සිද්ධීන් තෝරාගෙන මා මෙහිදී කරුණු ඉදිරිපත් කළේ ගවේෂණාත්මක පුවත්පත් කලාව ඉතා පහසු නොවන බව අවධාරණයකොට පෙන්වන්නටයි. මහජනයාට ඇස නොගැටෙන ලෙස වැරදි ක්‍රියාවන් සඟවන්නට කොතැන කාට හෝ අවශ්‍යතාව මතුවේ. ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියකු බවට පත්වන්නට ආසා කරන ඔබට බි්‍රතාන්‍ය නාට්‍ය රචක ක්‍රිස්ටෝපර් හැම්ප්ටන්ගේ වදන් සිතේ රඳවා ගැනීම හොඳය. ඔහුගේ සමාව භජනය කරමින් මම එය මදක් වෙනස් කොට කියන්නෙමි. ඒ මෙසේය. “තමා විචාරකයකු ගැන කුමක් සිතන්නේ දැයි ගවේෂණාත්මක පුවත්පත් කලා වේදියකුගෙන් විමසීම ලයිට් කණුවකින් එය බල්ලන් ගැන මොනවා සිතන්නේ දැයි විමසීමක් වැන්න”.

නැවත වරක් ශ්‍රී ලංකා ගවේෂණාත්මක ජනසන්නිවේදන මධ්‍යස්ථානය උදෙසා මගේ සුබ පැතුම් පිරිනමමි. ඔබ ශක්තිමත්ව වර්ධනය වේවා. මා කළ වැඩ කොටස දෙස ඔබට බැලීමට සිදු වූ විටෙක වරක් එක්සත් ජනපද ජනාධිපති ෆ්රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් කී කතාව ඔබ වෙනුවෙන් කියන්නට මම කැමැත්තෙමි. “මා කියා සිටින්නේ මා හදා ගත් සතුරන්ගෙන් මා පිළිබඳ විනිශ්චයක් ඇති කරගන්නා ලෙසයි”.

පරිවර්තනය: සමන් පුෂ්ප ලියනගේ