ආචාර්ය - ජී.බී. ගුණවර්ධන

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ඉදි කරනු ලැබූ මධ්‍ය විද්‍යාල සංකල්පයේ සහ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ පිළිරුව සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදිශිෂ්‍ය සංගමයේ විධායකත්වයෙන් හෙට (10) මධ්‍යහ්න 12.00 ට පැවැත්වෙන උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘතවීමට නියමිතයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන් තම මව්බිමේ අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳ කටයුතු කිරිමට පිවිසෙනවිට ක්‍රියාත්මක වූයේ ජනතාවගේ අවශ්‍යතාවයනට වඩා විදේශීය පාලනයක අවශ්‍යතාවයන් සපුරාලන අධ්‍යාපන ක්‍රමයකි. 1947 වසරේදී ඉන්දියාවේ පැවති අන්තර් ආසියානු සම්බන්ධතා සම්මන්ත්‍රණය අමතමින් කන්නන්ගරයන් ප්‍රකාශ කළේ “ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නූතන ලෝකයේ විශ්මයට පත් කරන වසර දෙදහසක් තරම් පැරණි අවිච්ඡින්න වූත්, පුළුල් ලෙස වෙනස් වූත්, පරමාදර්ශයන් හා සම්ප්‍රදායන් උරුම කර ගත් ජනතාවකගේ අවශ්‍යතාවලට වඩා විදේශ රජයක අවශ්‍යතා ප්‍රකට කරන්නකි.” එම අධ්‍යාපනය 1935 දී ඉන්දියාවේ දී මහජන අධ්‍යාපනය පිළිබඳ කමිටුවේ සභාපති තෝමස් මැකෝලි සාමිවරයාගේ ප්‍රසිද්ධ සම්මතයක් වන “අපත් අප විසින් පාලනය කරනු ලබන ලක්ෂ සංඛ්‍යාත ජනයාත් අතර අතරමැදි පරිවර්තකයන් විය හැකි පන්තියක් ලෙසින් සහ සමේ පැහැයෙන් ඉන්දීය වන නමුත්, මතිමතාන්තර (හැඟීම්) සදාචාරය, ආචාරධර්ම සහ බුද්ධිය අතින් ඉංග්‍රීසින් වන පන්තියක් හැඩ ගැස්වීම පිණිස අපි අපේ උපරිම ශක්තිය යෙදියයුතු වෙමු.” යන බි්‍රතාන්‍ය පාලකයින්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේදීත් මෙම සම්මතය අනුව සිදුවුණි. දහසය වැනි සියවසේ මුල් භාගයේ පටන් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පළමුව මුහුදු බඩ ප්‍රදේශත් පසුව මුළු මහත් රටේත් අධ්‍යාපනය අධිරාජ්‍යවාදීන්ගේ ඵල ප්‍රයෝජනවලට ගැළපෙන පරිදි වෙනසකට භාජනය කරන ලදී. 

කන්නන්ගරයන් 1947 ජනවාරි මස කල්කටා විශ්වවිද්‍යාලයේ පැවති “ආසියාතික කලාව හා සංස්කෘතිය” සම්මන්ත්‍රණයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වී ස්වයං ඇගයීමක් කරමින් සිය දේශනය මෙසේ ඇරඹීය. “මගේ රටේ විශාල වූත්, බලගතු වූත් ජන කොටසකගේ අතිශය ප්‍රබල නොපසුබට විරෝධයත් අපහාස උපහාස හා අසත්‍ය ප්‍රචාරත් මධ්‍යයේ සියලු මාපියන්ගේ ආර්ථික හැකියාවන් ගැන නොසලකා, අප රටේ සියලුම දරුවන්ට බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන හිණිමඟේ ඉහළටම නැගීමට සම අවස්ථා සලසමින් නිදහස් එක්සත් ජාතියක් ගොඩ නැගීමට අත්‍යවශ්‍ය මූලිකාංගයක් ලෙස අපේ ජාතික භාෂාවන්ට නිසි තැන එම පද්ධතිය තුළ ලබා දෙමින්, නිදහස් අධ්‍යාපන ක්‍රමයක් සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුමැතිය ලබා ගැනීමට මම සමත් වීමි.”

බි්‍රතාන්‍ය පාලනය යටතේ පැවති අධිරාජ්‍යවාදී අධ්‍යාපන ක්‍රමයේ විෂම ස්වරූපය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිව, 1944 ජුනි මස 23 වන දින රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පැවති විවාදයේ දී ජාතික අධ්‍යාපනයක් පිළිබඳ එතුමාගේ අදහස පැහැදිලි කළේය. 

විදෙස් පරිපාලකයන්ට පක්ෂපාතී, විදෙස් සම්ප්‍රදායන් උගත් පුද්ගල පැලැන්තියක් ගොඩ නැගීම සහ විදෙස් ලබ්ධියකට හැකි තරම් පිරිස් හරවා ගැනීමට සඳහා පිහිටුවා ගත් මිෂනාරි පාසල් පද්ධතිය සහ මව් බස කථා කළ බහුතරය සඳහා පැවති ස්වභාෂා පාසල්වලින් බිහි වූ සමාජය පන්ති දෙකකට බෙදීමට ඉවහල් වූ බව කන්නන්ගරයන් ප්‍රත්‍යක්ෂ කර ගත්තේය. 1947 ජුනි 02 වන දින රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී සිය ඓතිහාසික කථාව සමාප්ත කරමින් කන්නන්ගරයන් මෙසේ පැවසීය. “අප ජාතියේ ඉරණම තීන්දු කරන ජාතික අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමේ කාර්යය අපි ආරම්භ කරමු”. (හැන්සාඞ් 1944 - 946 පිටුව) 

1943 කන්නන්ගරයන්ගේ සභාපතිීත්වයෙන් පැවැත් වූ විශේෂ කමිටුවේ ඓතිහාසික තීරණය වූයේ “බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය නොමිලේ ලබා දියයුතුය යන්නයි. රටේ සෑම දරුවෙකුටම සිය සහජ හැකියාව තිබේ නම්, ජාතියේ සමාජයම ආර්ථික හා දේශපාලන දිවියේ පහත්ම තැන සිට ඉහළම තැනට තමාව ඔසවා තැබීමට හැකි වන පරිදි සම අවස්ථාව තිබිය යුතුය. දරුවෙකු ලබන අධ්‍යාපනයේ ස්වභාවය විද්‍යාත්මකව තෝරා ගැනීමේ ක්‍රියාවලියක් මගින් මිස ආර්ථික හෝ සමාජ තත්ත්වය සැලකිල්ලට ගැනීමෙන් පමණක් තීරණය නොකළ යුතුය. 

මධ්‍ය විද්‍යාල සංකල්පය ආචාර්ය කන්නන්ගරයන්ගේ අදහසකි. “පාසල් සමූහයක් මධ්‍යයෙහි පවතින මධ්‍ය විද්‍යාලයක් උක්ත පාසල් සමූහයක් විසින් හැකි තරම් පෝෂණය කිරීමේ ක්‍රමවේදයක් බිහිකිරීම මෙහි සැලසුමයි”. (හැන්සාඞ් 1940- පි 2736) මෙයට මුදල් ලේකම් විරුද්ධ විය. එහෙත් කන්නන්ගරයන් තර්ක කළේ “ශාන්ත තෝමස්, වෙස්ලි, ආනන්ද හෝ රාජකීය විද්‍යාලවලට සිය දරුවන් එවීමට වත්කමක් නැති දුර බැහැර ප්‍රදේශවල දුප්පත් දෙමව්පියන් දරුවන් වෙනුවෙන් අපි මේ පාසල් ආරම්භ කරමු. (හැන්සාඞ් 1944 පිටුව 925) මධ්‍ය පාසල් හා ශිෂ්‍යත්ව තුළින් පළමුවරට ඉංග්‍රීසි අධ්‍යාපනය ග්‍රාමීය ප්‍රදේශවලට ගෙන ගියා පමණක් නොව මධ්‍ය විද්‍යාල මගින් නොමිලේ සැපයු නේවාසික පහසුකම් තුළින් දුප්පත් වුවද දක්ෂතාවන් ගෙන් යුත් දරුවාට නැගී සිටීමට අවස්ථා ද උදා කර දුනි. (සුමතිපාල 1968-337) 1944 දී සිය පරිපාලන වාර්තාවේ මධ්‍ය පාසල් පිළිබඳ සඳහන් කරමින් අධ්‍යාපන අධ්‍යක්ෂ මෙසේ වාර්තා කළේය. “ මධ්‍ය විද්‍යාල මගින් මේ දක්වා සිදු කොට ඇති කටයුතු වලින් මෙම ආයතන රටේ අධ්‍යාපන සංවර්ධනයේ වැදගත් භූමිකාවත් ඉටු කරන බව විශද වේ.” 

මව් බස ඉගෙනීමේ මාධ්‍ය විය යුතු බව කන්නන්ගරයන් පිළිගනිමින් එය දිරිමත් කළේය. 1944 මැයි මාසයේ දී මව් බස මාධ්‍ය ලෙස නිර්දේශයන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය. 

1. ප්‍රාථමික පාසල්වල ඉගැන්වීමේ මාධ්‍යයමව්බස විය යුතුය. 
2. පශ්චාත් ප්‍රාථමික පාසල්වල පහළ අංශයේ ඉගැන්වීමේ මාධ්‍ය මව් බස හෝ ද්විභාෂා විය හැකිය. 
3. පශ්චාත් ප්‍රාථමික පාසල්වල ඉහළ අංශයේ ඉගැන්වීමේ මාධ්‍ය ඉංග්‍රීසි, සිංහල දෙමළ හෝ ද්විභාෂා විය හැකිය. (හැන්සාඞ් 1944 පිටුව 848)

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇතැම් මන්ත්‍රීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ කන්නන්ගර ශ්‍රේෂ්ඨ රෝම ඉතිහාසඥ ටැසිටස් උපුටා දැක්වීමෙන් ප්‍රකාශ කළේ ආක්‍රමණිකයාගේ ආක්‍රමණයට ලක් වු අයගේ මුවෙහි සදාකල්හිම වහල් බසක් වේ. (හැන්සාඞ් 1944 පිටුව 848) එහෙත් ඉංග්‍රිසි බස ඉගෙනීම කන්නන්ගරයන් අගය කළ අතර, පාසල් වල 3 වන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි අනිවාර්ය විෂයක් වශයෙන් ඉගැන්විය යුතු යැයි යෝජනා කළේය. 

ගුරු අධ්‍යාපනය සහ ගුරුවරයාගේ වෘත්තීය තත්ත්වය නගා සිටුවීමට කන්නන්ගරයන් මූලිකත්වය ගත්තේය. 
රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ නිර්දේශ පිළිගන්නා ලදී. 

1. රජයේ ගුරු විද්‍යාල හා ආගමික ගුරු විද්‍යාල තවදුරටත් පවත්වාගෙන යෑමට නම් උක්ත ගුරු විද්‍යාල අභ්‍යාස පාසල් සහිත සියලු අංග සහ පහසුකම් වලින් සමන්විත විය යුතුය. 

2. සුදුසුකම් ලත් ගුරු විද්‍යාල ආචාර්ය මණ්ඩලයට නිර්දේශිත වැටුප් පරිමාවන්ට අනුව, සම්පූර්ණ වැටුප් රජයේ අරමුදලින් ගෙවිය යුතුය. 

3. උපාධිධාරී ගුරුවරුන් ලංකා විශ්ව විද්‍යාලයේ දී හැකිතරම් ඉක්මණින් පුහුණු කළ යුතුය. (හැන්සාඞ් 1945 පිටු 2823, 2827) ගුරු විද්‍යාල කාල සීමාව තුළ සියලු වරප්‍රසාද ගුරුවරුන්ට ලබා ගත හැකි වන පරිදි ආයතන ගත කළ නේවාසික අධ්‍යාපනයකට කන්නන්ගරයන් පක්ෂ විය. ගුරුවරයාගේ පෞරුෂය ඉතා වැදගත් වන අතර ගුරුවරයා දන්න දෙයින් නොව ගුරුවරයාගෙන් සිසුවාට ලැබෙන අධ්‍යාපනික ආභාෂය පදනම් වූ පුහුණුවක් කන්නන්ගරයන් අපේක්ෂා කළේය. ඉංග්‍රීසි සහ ස්වභාෂා ගුරුවරයා යන නුසුදුසු ලේබල නැති කොට ගුරු පුහුණුව ගුරු විද්‍යාලයෙන් නික්මීමත් සමග සම්පූර්ණ නොවන බව ප්‍රකාශ කරමින් අඛණ්ඩ ගුරු අධ්‍යාපන සංකල්පය මතු කළේය. 

ග්‍රාමීය (හන්දෙස්ස) අධ්‍යාපන සැලැස්ම කන්නන්ගරයන් විසින්ම 1932 දී ආරම්භ කරන ලදී. කියවීම, ලිවීම සහ අංක ගණිතය විෂයන්ට සීමා වී තිබු ග්‍රාමීය ස්වභාෂා පාසල් අධ්‍යාපනය, නිර්මාණාත්මක ක්‍රියාකාරකම් තුළින් දේශීය ශිල්ප ක්‍රම පශු පාලනයත් කෘෂි කර්මාන්තය ආදී නිෂ්පාදන කාර්යයන් සමග ඉගෙනුම සම්බන්ධ කිරීම ග්‍රාමීය සැලැසුමේ හරය විය. සමාජ හා ආර්ථික ප්‍රතිනිර්මාණය උදෙසා නව දැනුම වර්ධනය කරන වැඩදායි විද්‍යාත්මක ක්‍රියාවලියක් මත ඉගෙනුම පදනම් විය. විභාග කේන්ද්‍රීය විෂයයන් කිහිපයකට සීමා වී තිබු පාසල් අධ්‍යාපනය වෙනුවට අර්ථවත් ක්‍රමවේදයක් ඉදිරිපත් කළ ග්‍රාමීය (හන්දෙස්ස) අධ්‍යාපනය ඉදිරියට පවත්වාගෙන නොයෑම පිළිතුරු නැති පැනයකි. 

කන්නන්ගර ප්‍රතිසංස්කරණ සමාලෝචනය කිීරීමේදී සමස්තයක් වශයෙන් ගත් කළ පැහැදිලි වන්නේ එම ප්‍රතිසංස්කරණ ඵලදායී අයුරින් ක්‍රියාත්මක කිරීමට අප අසමත් වී ඇති බවයි. දේශපාලන නායකත්වය මාධ්‍ය හා බලගතු කණ්ඩායම් වල නොපසුබට විරුද්ධතාව මධ්‍යයේ එතුමා 1939 අංක 31 දරන ආඥා පනතින් සහ පසුව ඇති කළ සංශෝධන මගින් නෛතික පදනම ස්ථාපිත කර ගත්තේය. එතුමා පරාජය වීමෙන් නොව පරාජය කිරීමෙන් පසු එතුමාගේ දැක්ම අනුව “නිදහස් එක්සත් හා ස්වාධීන ජාතියක් ගොඩනැගීම” සඳහා ඉතා දුබල ප්‍රයත්නයක යෙදුණි. එම අභිමතාර්ථය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී සක්‍රීයව අනුගමනය නොකරන ලදී. නිදහස් අධ්‍යාපනය අති විශාල වෙනසක් සිදුකළ අතර ජාතික භාෂා ඉගැන්වීමේ මාධ්‍ය ලෙස පාසල් හා විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක කිරීමේ වාසිය සියලුම ශිෂ්‍යයින්ට ලැබුණි. බි්‍රතාන්‍ය පාලන කාලයේ දී පැවති නගර බද ඉංග්‍රීසි මාධ්‍ය පාසල් සහ ගම්බද ස්වභාෂා පාසල් අතර පැවති විෂමතාවය අදත් වෙනස් මුහුණුවරකින් දක්නට ඇත.

අද නගරබද ජනප්‍රිය පාසල් සහ මූලික සම්පත් අහිමි පාසල් අතර පවතින විෂමතාවය නිදහස් අධ්‍යාපනයේ ඵල ප්‍රයෝජනත් අධ්‍යාපනය පිළිබඳ ළමා අයිතියක් අහිමි කර ඇත. ජාත්‍යන්තර පාසල් දිනෙන් දින වැඩි වීමත් සමග ඇතිවන සමාජ බෙදුම ජාතියේ සංවර්ධනයට අහිතකර වනු ඇත. පාසල් පද්ධතියේ විෂමතාවය තුරන් කිරීමට මෙතෙක් ආරම්භ වූ ඉතාමත් උචිත ක්‍රමය වන පෝෂිත පාසල් වලින් පෝෂණය වන මැදි විදුහල් ක්‍රමය කන්නන්ගරයන්ගේ පරාජයත් සමග පාසල් 54 කින් අත්හිටුවන ලදී. කන්නන්ගරයන්ගේ දැක්ම අදටත්, ඉදිරියටත් බොහෝදුරට යෝග්‍ය වන හෙයින් කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ “නොනිමි කර්තව්‍යය ඉටු කළ යුතුය”. කන්නන්ගරයන්ට සැබැවින්ම උපහාර දැක්විය හැක්කේ එමගින්ය.