ජයතිලක ද සිල්වා

ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුව විසුරුවාලීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් මූලික නීතිය උල්ලංඝනයක් යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත මඬුල්ලක  ඒකමතික විනිශ්චයක් වශයෙන් එය ප්‍රබල සහ ස්ථිර තීන්දුවක් බව නොරහසකි. පාර්ලිමේන්තුවෙහි ධුර කාලයෙන් වසර හතරහමාරකට පෙර එහි තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවන්නට නොහැකි යැයි ද එම තීන්දුවේ සඳහන්ය.

මෙම තීන්දුවෙන් ජනාධිපතිතුමන් වෙත චෝදනාවක් එල්ල වෙයි. එපමණක් නොව එය රටෙහි මූලික නීතිය තහවුරු කිරීමක් ද වෙයි. එයින් අධිකරණයෙහි ස්වාධීනත්වය ප්‍රදර්ශනය වූ අතර ප්‍රජාතන්ත්‍රවාදයෙහි ජීවය ශක්තිමත් විය.

මෙම තීන්දුව වඩාත් වැදගත් වන්නේ පසුගිය ඔක්තෝබර 26 වැනි දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව අගමැතිවරයා නෙරැපීමෙන් හටගත් ව්‍යවස්ථා අර්බුදය එයින් අවසන් වූ හෙයිනි. කෙසේ වෙතත්, රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමට යම් කාලයක් අවශ්‍ය වනු ඇත. ඒ රාජ්‍ය සේවාවෙහි සහ ව්‍යවස්ථාපිත ආයතනවල ඇති වූ අවුල් නිරාකරණය කරන්නට තිබීම හේතුවෙනි.
උගත් ජනාධිපති නීතිඥයන් ආචාර්ය මහාචාර්යවරුන් සහ දේශපාලන ක්ෂේත්‍රයෙහි සියල්ල දත් පණ්ඩිතයන් ඇතුළු නීති විශාරදයන් පසුගිය සති කිහිපය තුළම ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කළ අර්ධ නෛතික ප්‍රබන්ධ සියල්ල ද එම නඩු තීන්දුවෙන් අරුත් සුන් තත්ත්වයට පත් විය.

ඔක්තෝබර 26 වැනි දින අගමැතිවරයා ඉවත් කිරීම “ජාතිය ගලවා ගැනීමට” ගත් “දේශප්‍රේමී පියවරක්” නොව දේශපාලන කුමන්ත්‍රණයක් බව ද නඩු තීන්දුවෙන් අපට පෙනීයයි. (ශබ්දකෝෂයට අනුව කුමන්ත්‍රණයක් යනු නීති විරෝධී හෙවත් සාපරාධී ක්‍රියාවක යෙදීමට පුද්ගලයන් දෙදෙනකු හෝ වැඩි ගණනක් හවුලේ එකඟ වීමකි.  තනිව ගත් විට අහිංසක සේ පෙනෙන දෙයක් වුවත් පිරිසක් එකතුව කරන විට එය කුමන්ත්‍රණයක් වන බව ද ශබ්දකෝෂය කියයි)

තමන් ළඟ තුරුම්පු රැසක් ඇති බව වරක් ජනාධිපතිවරයා ආඩම්බරයෙන් කියනු අපට මතක ය.  එතුමන් සියලු  තුරුම්පු ගසා නිම කළ පසු ශ්‍රේෂ්ඨාධිකරණය එතුමන්ගේ ස්ථාවරය අනුමත නොකිරීමෙන් පෙනෙන්නේ එතුමන් කාඩ් ක්‍රීඩාවෙහි ශූරයෙකු නොව ආධුනිකයකු යැයි යමෙකු නිගමනය කළහොත් එහි වරදක් දැකිය හැකි ද? නැත.

දේශප්‍රේමිත්ව හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ පිළිබඳ කෙතරම් ඝෝෂාවක් නැඟුව ද යටින් පැවැතියේ පෞද්ගලික අපේක්ෂා පෙරදැරි කැරැ ගත් බල අරගලයෙකි.  එහි වන් සියල්ලෝම තමන් සාන්තුවරයන් සේ පෙනී සිටිමින් ප්‍රතිවාදියා යක්ෂයකු සේ පින්තාරු කළහ.
පාර්ලිමේන්තුව විසුරවීම නීත්‍යනුකූල යැයි කියා සිටි පිරිස් විශේෂයෙන්ම පොදු පෙරමුණු නායකයෝ සහ අනුගාමිකයෝ නඩු තීන්දුවට තමන්ට රුචි පරිදි අර්ථ දක්වන්නට පටන්ගෙන ඇත්තා හ. යක්ෂයා තම වාසියට ධර්ම පාඨ උපුටා දක්වන්නා සේ ය.  ඔවුන් කියා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ පැවැත්වීමට එරෙහිව තීන්දුවක් දුන් බව ය.  එය අමූලික බොරුවකි. දුෂ්ට චේතනාවෙන් කරන චෝදනාවකි. මැතිවරණවලට එරෙහි වනු වෙනුවට මැතිවරණ කෙසේ පැවැත්විය යුතු දැයි එම නඩු තීන්දුව නිශ්චය වශයෙන් පෙන්වා දුන්නේය. එනම්, සිය ධුර කාලයෙහි වසර හතරහමාරක් ගෙවෙන්නට පෙර පාර්ලිමේන්තුව විසුරවීමට නීත්‍යනුකූල වන්නට නම් එසේ විසුරවන ලෙස ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුවෙහි තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත විය යුතු බව පෙන්වා දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණය කෙළේ එසේ මැතිවරණයක් පැවැත්වීමෙහි ව්‍යවස්ථාමය හෙවත් නෛතික තත්ත්වය නිරවුල්ව පැහැදිලි කිරීම ය. එයින් නිෂේධ කරන ලද්දේ පොදු ජන පෙරමුණ සහ එහි නිවුන් සොහොයුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරන ආකාරයේ ව්‍යවස්ථාවට පටහැනිව මැතිවරණ පැවැත්වීම පමණකි. මැතිවරණයක් පැවැත්විය යුතු ආකාරය පැහැදිලි කිරීම එය නිෂේධ කැරීමක් වන්නේ කෙසේ ද?

 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් යළි අවධාරණය කර ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ස්වභාවය යි. විධායක ජනාධිපතිවරයාගේ එක් පියවරකින් මුළු රටම අකර්මණ්‍යව ජන ජීවිතය අනතුරට ලක් වූ සැටි අප හැම ම ඇස් පනාපිට දුටු කාරණයකි. එයින් අපේ ආර්ථිකයට ද බලවත් පාඩු සිදු වීය. ප්‍රාග්ධනය එතෙරට ගලා යාමෙන් ලත් පාඩුව ඩොලර් බිලියන 70ට ආසන්න ය. සංචාරකයන්ගේ පැමිණීම ද අනපේක්ෂිතව අඩු විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කැරීම අද තරම් හදිසි අවශ්‍යතාවක් බවට පත් වූ වෙනත් වකවානුවක් නැති තරම් ය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් අප රටෙහි භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීයත්වයත්, සිංහල ජාතිය සහ බෞද්ධාගමත් විනාශ වෙතැයි එම ක්‍රමය රකින්නෝ කියා සිටිත්. ඒ ඇත්තක් ද? විධායක ජනාධිපති ක්‍රමය පවතින්නේ 1978 වසරෙහි සිට ය. ඉන් පෙර පරසතුරු පාලනය යටතේ වුව ඒවා නොනැසී පැවැතියේ ය. කෲර යටත්විජිත පාලකයන්ට පවා විනාශ කළ නොහැකි වූ සිංහල ජාතිය සහ බුද්ධාගම විධායක ජනාධිපති ක්‍රමයෙන් අනතුරට ලක්වෙතැ යි විනාශ වෙතැ යි සිතීම මුළාවකි. අනෙක් අතට එම ක්‍රමය හේතුවෙන් එක් ජාතියක් සහ එක් ආගමක් පමණක් නොව මුළු සමාජයම අගාධයක පත්ලට වැටීමෙහි අනතුරට මුහුණ පෑ හැටි දැක්වූ දින 52ක මෑත අත්දැකීම ද අප සතු ය. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් රටෙහි ස්වෛරීත්වය නැති වෙතැ යි යන්න ද ප්‍රලාපයකි. ස්වෛරීත්වයට හානි පැමිණීමෙහි ප්‍රධාන හේතුවක් වන්නේ රටක අභ්‍යන්තර සාමය බිඳී ජනතාව ජාති, ආගම් අනුව කුළල් කා ගැනීම ය. ස්වෛරීත්වය නැති වූ ඉරාකය, ලිබියාව ආදී රටවල අත්දැකීමෙන් එය මොනවට පැහැදිලි ය. පොදු ජන පෙරමුණෙහි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි දේශපාලනය ජාතිවාදයට සහ ආගම්වාදයට නැඹුරු හෙයින් මෙරට ස්වෛරීත්වයට බරපතළම හානිය පමුණුවන්නේ ඔවුන්ම බව මතක් කර දිය යුතු ය. 

සියල්ලන්ටම සාධාරණ වූත්, යුක්තිය සහ සම අයිතිය හැමට සහතික කරන්නා වූත්, මානව අයිතිවාසිකම් සුරකින්නා වූත් නූතන ප්‍රජාතන්ත්‍රවාදී නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව අද ක්ෂණික අනිවාර්යතාවක් බවට පත්ව ඇත.

කෙසේ වුවත්, හදිසියේ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දිය නොහැකි ය. නො යුතු ය. එය පුළුල් ජනතා සහභාගීත්වයකින් සහ සියලු අදහස් සලකා බැලීමකිත් කළ යුතු හෙයිනි. පසුගිය තෙවසරක කාලය තුළ මේ පිළිබඳව ආරම්භයක් පාර්ලිමේන්තුවෙහි මෙන්ම බාහිරව ජනතාව අතර ද ගෙන ඇති බව සැබෑවකි. එහෙත් ඒ ප්‍රමාණවත් නොවේ. වර්තමාන පාර්ලිමේන්තුවෙහි සංයුතිය සලකන කල ඉතිරි ධුර කාලය තුළ එම කාර්යය සාර්ථකව හමාර කරන්නට හැකි වෙතැ යි සිතිය නොහැකිය. එහෙයින් වඩාත්ම හොඳ ක්‍රියාමාර්ගය වනු ඇත්තේ මීළඟ ජාතික (ජනාධිපති හෝ මහා) මැතිවරණයක දී නව ව්‍යවස්ථාවක් සම්පාදනයට ජන වරමක් ලබාගෙන ව්‍යවස්ථානුකූලව එය සකසා නියමිත කාලයක්, නිදසුනක් වශයෙන් වසරක් හෝ දෙකක් හෝ ඇවෑමෙන් එය ජනමත විචාරණයකින් අනුමත කරවා ගැනීම ය. 

බිය වීමට හෝ ප්‍රකෝප වීමට හෝ කිසිදු හේතුවක් නැත. ස්වෛරී ජනතාවගේ අනුමැතියෙන් තොරව එය ක්‍රියාවට නැඟිය නොහැකි හෙයිනි. තීරණය ගනු ඇත්තේ ඇතැමුන් කියන පරිදි රාජ්‍ය නොවන සංවිධාන හෝ විදේශ බලවතුන් විසින් නොවන හෙයිනි.

මේ අතර පාර්ලිමේන්තුවට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනය හදිසි කටයුත්තක් සේ සලකා සාකච්ඡාවට ගත හැකි ය. එය සම්මත කැරීමෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වනු ඇත. එයින් ව්‍යවස්ථානුකූලව ඒකාධිපතින් බිහිවීමෙහි භව්‍යතාව නැති කළ හැකිය. එසේම එයින් ද්වන්දව බල අධිකාර වැනි අයහපත් ලක්ෂණ පහළ වීම ද මඟහැරිය හැකි ය. 

මුළු රටම එක් මැතිවරණ කොට්ඨාසයක් සේ සැලැකෙන ජනාධිපතිවරණයක ප්‍රචාරක වියදම් සලකන කල එය උත්පත්තියෙන්ම ඇති හැකි අයට, ධනවතුන්ට හෝ ඔවුන්ගේ අනුග්‍රහය ලබන්නවුන්ට හෝ පමණක් වාසිදායක ය. දුප්පතුන්ගේ නියෝජිතයෙකුට එවන් තරගයකට  මුහුණ දීමෙහි ආර්ථික ශක්තියක් නැත. එක් පුද්ගලයකු අත අසාමාන්‍ය බලයක් සහ දැවැන්ත සම්පත් සංකේන්ද්‍රණය කරන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කැරීමෙන් ජනාධිපති මැතිවරණයට වැයවන මුදල් කන්දරාව ද ඉතිරි කැරැ ගත හැකි ය.