ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ බරපතළම දේශපාලන අර්බුදයට තුඩුදෙන ආකාරයෙන් කටයුතු කළ ජනපති මෛත්‍රීපාල සිරිසේනට, අර්බුදය ආරම්භයේ සිට මේ දක්වා ගෙවී ඇති කාලයේ, ගෙවුණු සතිය තරම් දුෂ්කර කාලයක් තිබෙන්නට නොමැති බවට සැකයක් නැත.

මේ වනවිට සති 6කට ආසන්න කාලයක් එක්තැන්ව තිබෙන රට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද තීන්දුවක් ලැබීමට නියමිතව තිබියදීම, සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳාගෙන, පිළියම් සොයාගෙන නැවත ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒමට දැරූ උත්සාහයන් සියල්ල ඛේදාන්විතව කෙළවර විය. ජනපතිවරයා සටන් විරාමයක් සහ සාකච්ඡාමය විසඳුමක් අපේක්ෂාවෙන් සිටින බව මෙම තීරුවෙන් අනාවරණය කෙරුණේ පසුගිය සතියේය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීමෙන්, ඔහු වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා එම පුටුවට පත් කිරීමෙන්, නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමෙන්, සභාවාරය අවසන් කර පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන්, එකක් පසුපස එකක් මතු වූ ගැටලුවට අවසාන විසඳුමක් ඒ හරහා සොයා ගැනීමට නියමිතව තිබුණි. එකඟතාවක් පැවතියේ අත දිග මානයේය. නමුත් ජනපති සිරිසේනට එය දිනාගත නොහැකි විය. විසඳුම ඔහුගෙන් ඈතටම ගියේ ය.

එක්සත් ජාතික පක්ෂයේ වැඩි නියෝජනයක් සහිත එක්සත් ජාතික පෙරමුණේ දූත පිරිසක් පසුගිය සඳුදා රැයේ ජනපතිවරයා හා පවත්වන්නට යෙදුණු සාකච්ඡාව මේ සියල්ලේ ආරම්භය විය. එම සාකච්ඡාව පැවැත්වුණේ එය පවත්වන්නට නියමිතව තිබූ දිනයට පසු දිනයේය. රජයේ පාර්ශ්ව පක්ෂවල නායක හමුවක් ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා රැයේ පැවැත්වුණු අතර, පොදුජන පෙරමුණ නියෝජනය කළ බැසිල් රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් පසුව ගතයුතුව තිබෙන ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තවත් රැස්වීමක් පැවැත්විය යුතුවනු ඇති බවය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දූත පිරිසේ නායකත්වය දැරුවේය. ඔහු එසේ නායකත්වය දැරිය යුතුයැයි කලින්ම එකඟතාවක් ඇතිකරගෙන තිබිණ. කබීර් හෂීම්, අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් යන මහත්වරු දූත පිරිසේ අනෙක් සාමාජිකයෝ වූහ. සාකච්ඡාව ආරම්භ කළ සජිත් ඉල්ලීමක් කරමින්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩු කිරීමේ අවස්ථාව ලබාදිය යුතු බව කියා සිටියේය.

“බහුතරය නැතිනම් අපි ඉල්ලා අස්වෙනවා”, ඔහු පැවසුවේ ය.

ජනපතිවරයා සාකච්ඡාවට එක්වූයේ ආචාරශීලීව අදහස් දක්වමිනි. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබාදීමට නියමිත තීන්දුවට පෙර මෙම අර්බුදය විසඳා ගැනීමේ දැඩි වුවමනාවක් තමාට තිබෙන බව ඔහු කීවේය. අධිකරණයේ මැදිහත්වීමකින් තොරව ව්‍යවස්ථාදායකය සහ විධායකය ඔවුනොවුන් අතර තිබෙන ගැටලු විසඳාගත යුතුව තිබෙන බව පැවසූ ජනපතිවරයා, පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවට නිකුත් කළ ගැසට් නිවේදනය පවා අවලංගු කිරීමට තමා සූදානම් බව ද කීවේය. නමුත් පසුව ඔහු මෙම අදහස වෙනස් කරගත්තේය.

අඟහරුවාදා සිට පුරා සිවු දිනක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පක්ෂව සහ විපක්ෂව නීතිඥවරුන් කළ අදහස් දැක්වීම්වලට සවන්දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, සිකුරාදා සන්ධ්‍යාව වෙනතෙක්ම පෙත්සම් විභාග කළ අතර, අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ගැසට් නිවේදනයට එරෙහිව පනවා තිබූ අතුරු තහනම් නියෝගය සඳුදා (10) දක්වා දීර්ඝ කිරීමට පියවර ගත්තේ ය. කෙසේ නමුත් අගවිනිසුරු නලීන් ද සිල්වා මහතා සිකුරාදා ප්‍රකාශ කර සිටියේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කැරෙන තෙක් අතුරු තහනම් නියෝගය බලපැවැත්වෙනු ඇති බවය. එනම් අවසන් තීන්දුව මෙම සතියේ දී හෝ ඉන්පසුව බලාපොරොත්තු විය හැකිය. 14 වැනිදා සිට අධිකරණ නිවාඩු සමය ඇරඹේ. දිවයින පුරා සේවයට අනුයුක්ත කර සිටි නිලධාරීන් 2500කට ආසන්න ප්‍රමාණයක් කොළඹට කැඳවා තිබෙන පොලිස්පතිවරයා ඔවුන් අධිකරණ, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ වෙනත් වැදගත් ස්ථානවල ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට පියවර ගෙන ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට එරෙහිව ක්වෝ වැරන්ටෝ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන ඇත. මෙය කුමන අධිකාරියක් යටතේ බලයේ රැඳී සිටින්නේදැයි දන්වන ලෙස නියෝග කර තිබෙන රිට් ආඥාවකි. නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය හමුවේ අගමැතිවරයා ලෙස රාජපක්ෂට හෝ ඇමැතිවරුන් ලෙස ඔහුගේ ඇමැතිවරුන්ට හෝ කටයුතු කිරීමේ හැකියාවක් නඩු විභාගය අවසන් කර තීන්දුව ලබාදෙන තෙක්ම නොමැත. එසේ නොකර ඔවුන්ට දිගින් දිගටම එම තනතුරුවල කටයුතු කිරීමට ඉඩ හැරීමෙන් හානිපූර්ණය කළ නොහැකි මට්ටමේ හානියක් සිදුවනු ඇති බව අභියාචනාධිකරණයේ අදහස විය. මේ අනුව දැනට ශ්‍රී ලංකාවේ පවතින්නේ ක්‍රියාකාරී රජයක් නොමැති වාතාවරණයකි.

“මට සාධාරණයක් වුණේ නැහැ”, හමුවේ දී කනගාටුවෙන් අදහස් දැක්වූ ජනපති සිරිසේන පැවසුවේය. තම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරබයා අතිශය විවේචනාත්මක ස්වරූපයෙන් අදහස් දැක්වූ ඔහු, සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින්, මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තහවුරු කරගත නොහැකි නම් රජයක් තනන ලෙස එක්සත් ජාතික පෙරමුණෙන් ඉල්ලා සිටීමට සූදානම් බව පැවසුවේය. නමුත් එය වික්‍රමසිංහ අගමැති ලෙස පත් නොවන රජයක් විය යුතු බව ඔහු කීවේය. එසේ නොකළහොත් එක්සත් ජාතික පක්ෂයට ජනප්‍රියත්වය දිනාගැනීමේ අමතර වාසියක් සැලසෙනු ඇති බවත්, පක්ෂයේ නායකයින් කිහිපදෙනකුගේම නම් ඈදී තිබෙන බැඳුම්කර වංචාව අරබයා නැඟෙන විවේචන ඒ නිසාම යටපත්ව යනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. සිය දකුණත මේසයෙන් ඉවතට ගත් ඔහු ක්‍රමයෙන් එය ඉහළට ඔසවමින්, “මෙහෙම නගිනවා”, යැයි එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියත්වය ඉහළ යනු ඇති ආකාරය පෙන්වා සිටියේ ය.

මෙය තර්ජනයක් ලෙස භාරනොගන්නා ලෙස දූත පිරිසෙන් උදක්ම ඉල්ලා සිටි ජනපතිවරයා,

“මම ඊළඟ ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ, පොළොන්නරුවට යනවා. එතකොට ඕගොල්ලොත් මට ප්‍රශංසා කරාවි”, යැයි පැවසුවේය. දෙසැම්බර් 5 වැනිදා, බදාදා, මහින්ද රාජපක්ෂට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව ඔහුගේ අවධානයට ලක්වූ අතර, එම යෝජනාවේ ප්‍රතිඵලය අනුව ඉදිරි පියවර ගැනීමට තමා සූදානමින් සිටින්නේ යැයි පසුගිය සතියේ කතානායක කරු ජයසූරිය මහතා හා පැවැති සාකච්ඡාවේ දී ඔහුට ද දැනුම්දුන් බව ජනපතිවරයා කීවේය. එක්සත් ජාතික පෙරමුණේ ආසන 103 සහ දෙමළ ජාතික සන්ධානයේ ආසන 14ක බලයෙන් එම යෝජනාව නිසැක ලෙසම සම්මතවීමට නියමිතව තිබිණ. නමුත් එය එසේ සිදුනොවූ අතර, එයට හේතු පසුවට විස්තර කැරෙනු ඇත.

“බදාදා එම යෝජනාවේ තීන්දුවත් අරගෙන එදාම ඔබලාට මාව හමුවෙන්න පුළුවන්. නව අගමැතිවරයෙක් දිවුරුම් දෙනවා. ඒත් රනිල් වික්‍රමසිංහව නම් ගේන්න එපා”, ජනපති සිරිසේන පැවසුවේ ය.

වික්‍රමසිංහ නැවත පත්කරනවාට වඩා ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමැති බව ප්‍රකාශ කළ ඔහු වික්‍රමසිංහට පනවා තිබෙන තහනම තවත් පුළුල් කරමින්, වික්‍රමසිංහගේ මිතුරු කවයේ සිටින කිසිවකුට හෝ අගමැති තනතුර ලබා නොදෙන බව ද අවධාරණය කළේ ය. නමුත් ඔවුන් කවුරුන්දැයි ජනපතිවරයා අනාවරණය කළේ නැත. හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ හමුවේ නොමනාපයට පත්විය.

“ඔබට පුළුවන් අගමැතිවරයෙක් පත් කරන්න විතරයි. ඔහු කවුද කියා තෝරන්නට ඔබට බැහැ. එය පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්නා තීරණයක්”, කිරිඇල්ල පැවසුවේය. මේ අසා ජනපති සිරිසේන අතිශයින් කෝපයට පත්විය.

“ඔය දැන් ඔයාලා හදන්නේ මට තර්ජනය කරන්න”, ඔහු මහ හඬින් කියා සිටියේ ය.

සාකච්ඡාවේ මුල් අදියරේ දී අදහස් දැක්වූ කබීර් හෂීම්, තමා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ දූත පිරිස මෙසේ ජනපතිවරයා හමුවට පැමිණියේ බරපතල තත්ත්වයේ පවතින ගැටලු ගැන සාකච්ඡා කිරීමට බවත්, දැන් මේ රටේ රජයක් නොමැති බවත් කීවේ ය. කෝපාන්විතව ඊට පිළිවදන් දුන් ජනපති සිරිසේන,

“මට තමා දැන් සම්පූර්ණ බලය තියෙන්නේ. මම තමා රජය”, යැයි පැවසුවේ ය. තම නීති උපදේශකයන් හා සාකච්ඡා කිරීමෙන් පසුව ඉදිරි පියවර ගන්නා බව ඔහු කීවේය.

හිටපු අමාත්‍ය, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඞ් බදුර්දීන් මහතා හඬ අවදි කළේය. අභියාචනාධිකරණය, අගමැතිවරයාට - කැබිනට් මණ්ඩලයට, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව ඔහු කීවේය. තමා නඩු තීන්දුව තවම නොකියවූ බව ජනපති සිරිසේන ඔහුට පිළිතුරු ලෙස පැවසුවේය. ප්‍රතිචාර දැක්වූ බදුර්දීන් කියා සිටියේ රාජපක්ෂ එය මේ වනවිටත් කියවා අවසන් කර තිබෙනවා පමණක් නොව එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යෑමේ සූදානමින් ද සිටින බවය. තීන්දුව ලබාදුන් අවස්ථාවේ තමා අභියාචනාධිකරණයේ සිටි බව පැවසූ හිටපු අමාත්‍යවරයා, එහිදී ජ්‍යෙෂ්ඨ නීතිඥයින් හා අදහස් හුවමාරු කරගැනීමට ද අවස්ථාව ලැබුණු බව කීවේය. ජනපතිවරයාගේ නීති උපදේශකයින් ලෙස කටයුතු කරමින් සිටින්නේ කවුරුන් ද?, ඔවුන් ජනපතිවරයා නොමඟ යවමින් සිටිනවා නොවේද? යැයි එම නීතිඥවරුන් තමාගෙන් විමසා සිටි බව ඔහු කීවේය.
අභියාචනාධිකරණයේ දී තමා ලත් අත්දැකීම තවදුරටත් විස්තර කළ බදුර්දීන්, එක් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු තමා හා අදහස් දක්වමින්, ව්‍යවස්ථාව කඩ කළේයැයි ජනපතිවරයා වැරැදිකරුවකු කිරීමේ හැකියාවක් තිබෙන බවත්, දැනට ඔහු ආරක්ෂිත වුවත් - සාමාන්‍ය පුරවැසියකු වූ පසු ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට හැකියාව තිබෙන බවත්, පැවසූ බව කීවේය. ව්‍යවස්ථාව කඩ කළේය යන චෝදනාව යටතේ ජනපති සිරිසේන සිරගත කිරීමට පවා හැකියාව තිබෙන බව එම නීතිඥවරයාගේ අදහස වී තිබිණ. මේ හමුවේ ජනපතිවරයා දැඩි ලෙසම කෝපයට පත්විය. එම කෝපය එළිපිටම පෙන්වමින් හඬ නැගූ ඔහු,

“ඔයා හදන්නේ මාව හිරේට දාන්න ද?” යැයි ඇසුවේ ය.

“සර්, මාව වරදවා වටහාගන්න එපා. මම නොවේ මේක කිව්වේ. ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් තමයි මට මේ දේවල් කිව්වේ”. බදුර්දීන් පිළිතුරු දුන්නේ ය.

“හිරේට යන්න මම කොහෙත්ම බය නැහැ”, ජනපතිවරයා වහාම ප්‍රතිචාර දැක්වූයේ ය.

“ඔයා දැන් මෙහෙම කතාකරනවා. අපි වගේම රටේ ජනතාවත් මේ වෙනකොට කොච්චර විඳවලා තිබෙනවා ද? අප ඔබ බලයට ගෙනවා. නමුත් ඔබ අප ඉවත් කළා”, ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

“බලාගෙන ඉඳලා වැඩක් නැහැ, අපි යමු.” කිරිඇල්ල, හකීම්ට කීවේය. “බොහොම ස්තූතියි” කියමින් හකීම් නැගිට සිටියේය. ඒ හාම එක්සත් ජාතික පෙරමුණේ දූත පිරිස නැගිට පිටත්ව ගියේය.

සභාග රජයේ තම පැරණි පාර්ශ්වකරුවා වන එක්සත් ජාතික පෙරමුණ සමග නැවත හොඳහිත ගොඩනගා ගැනීම ජනපති සිරිසේනගේ අරමුණ වන්නට ඉඩ තිබුණත්, එක්සත් ජාතික පෙරමුණ එය භාරගත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ ලෙසය. ඔවුන්ගේ හදිසි නික්ම යෑමට හේතු වූයේ ජනපතිවරයාගේ දැඩි කෝපය හා ඔහුගේ ප්‍රතිචාර දැක්වීමය. එසේවුවත් ජනපතිවරයාට සමීප ආරංචි මාර්ගයක් එක්සත් ජාතික පෙරමුණේ දූත පිරිසට චෝදනා කරමින්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කළ යුතුයැයි දිගටම ඉල්ලා සිටි ඔවුන් ජනපතිවරයාව කෝප ගැන්වූ බව පැවසුවේය. බදාදා කතානායක කරු ජයසූරිය හා දුරකතනය ඔස්සේ සම්බන්ධ වූ ජනපතිවරයා “අපි දැන් මොකද කරන්නේ” යැයි විමසුවේය. තිබෙන එකම විසඳුම වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මස 26 වැනිදාට පෙර පැවැති රජය යළිත් ස්ථාපිත කිරීම බව ජයසූරියගේ පිළිතුර විය. ඒ හරහා තත්ත්වය නැවත සාමාන්‍ය අතට ගෙන ඒමට සහ ආර්ථිකය තවදුරටත් හානියට පත්වීමෙන් වළක්වා ගැනීමට හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

බදාදා, මෛත්‍රී - කරු දුරකතන සංවාදයට මාර්ගය විවෘත වූයේ ජනපතිවරයාගේ මූලෝපායික සහාය යටතේ පවත්නා දේශපාලන අර්බුදයට කඩිනම් විසඳුමක් සොයාගැනීමේ අරමුණින්, අගමැති ලෙස පත්කර සිටින මහින්ද රාජපක්ෂට එරෙහිව එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව ඉවත් කරගැනීමට එක්සත් ජාතික පෙරමුණ කටයුතු කිරීමත් සමගය. 

ජනපතිවරයා හා පැවැති හමුවෙන් පසුව අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දී ගැනුණු තීරණයක් එක්සත් ජාතික පෙරමුණේ සැලසුම් වෙනස් කිරීමට තුඩුදුන් එක් හේතුවක් විය. සාකච්ඡාවේ දී පළවූ අදහස් සම්බන්ධයෙන් බලයෙන් ඉවත් කෙරුණු අගමැති වික්‍රමසිංහව පූර්ණ ලෙස දැනුම්වත් කිරීම සිදුවිය. එක්සත් ජාතික පෙරමුණ ජනපතිවරයාට එදිරි ස්ථාවරයකට තල්ලු කිරීමට තවත් හේතුවක් වූයේ පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සමුළුවේ දී ජනපති සිරිසේන පළකළ අදහස්ය. ඔහුගේ දේශනයේ වැඩි කොටසක් රනිල් වික්‍රමසිංහව විවේචනය කිරීම සඳහාම වෙන්ව තිබිණ. ජනපතිවරයාගේ දේශනය බොහෝ මාධ්‍ය ආයතන සජීවීව ප්‍රචාරය කළ අතර, පසු දිනයේ පුවත්පත්වල මුල්පිටු සැරසී තිබුණේ ද එයින්ය. අනෙක් අතට සිරිසේන හිතවාදීන් පවසා සිටින්නේ, එවැනි දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට ජනපතිවරයාට සිදුවූයේ ඔහු හමුවට පැමිණි එක්සත් ජාතික පෙරමුණේ දූත පිරිසේ ඇතැම් සාමාජිකයන්ගේ හැසිරීම නිසාවෙන්ම බවය.

රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යෝජනාවලියට අත්සන යොදා තිබූ මයන්ත දිසානායක මහතාව ඇමතූ බලයෙන් ඉවත් කෙරුණු අගමැති වික්‍රමසිංහ, එම යෝජනාව ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තුවට දැනුම්දෙන්නැයි ඔහුට උපදෙස් දුන්නේය. එක් ජ්‍යෙෂ්ඨ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු එම තීරණය විස්තර කළේ මෙසේය.

“ජනපති සිරිසේනට ගැලවීමේ මාර්ගයක් සොයා දෙන්න අපට වුවමනා නැහැ. අර්බුදයක් පසුපස අර්බුදයක් නිර්මාණය කරමින් ඔහු හැසිරෙන බව රටට පෙන්වන්නයි අපට වුවමනා.”

තවත් අයකු පවසා සිටියේ යෝජනාව ඉදිරිපත් කළේ නම් අගමැතිවරයකු පත් කිරීම හා සම්බන්ධයෙන් පවතින ගැටලු ප්‍රමුඛතාගත කිරීමේ අවස්ථාවක් ලබාගන්නට හැකිව තිබූ බවය.

තම පාර්ලිමේන්තු කණ්ඩායමෙන්ම එල්ල වූ යම් පීඩනයකට මුහුණදීමට පසුගිය සඳුදා රනිල් වික්‍රමසිංහට ද සිදුවිය. කිසිවකුත් නොසිතූ, අමුතු ආකාරයකින් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස, තමාව හඳුන්වාගත්තේ පාපිසි නියෝජ්‍ය නායකයකු ලෙසය. එක්සත් ජාතික පෙරමුණේ ඇතිව තිබෙන බෙදීම පිටත නොව, ඇතුළතම පවතින යම් ගැටලු නිසා ඇතිව තිබෙන්නක් බව ඔහු පැවසුවේ ය. එක්සත් ජාතික පෙරමුණේ ඇතැම් ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ජනතාවට එරෙහිව බවත්, ගොවියා කෙරෙහි කිසිම සැලකිල්ලක් නොමැති බවත්, පාසල් නිල ඇඳුම් බෙදා දුන් ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම විහිලුවක් වූ බවත්, ඔහු කීවේය. තමාට සංවර්ධන කටයුතු මෙහෙයවිය හැකි බව කියා සිටි ඔහු, ඔබ අගමැතිවරයා බව අප දිගින් දිගටම අවධාරණය කර කියා සිටිනවා, යැයි වික්‍රමසිංහ අමතමින් පැවසුවේය. පසු අවස්ථාවක සිය සගයින් හමුවේ ප්‍රේමදාස පවසා සිටියේ පිටත සිට නොව, ඇතුළත සිට පක්ෂයේ ඇති ගැටලු මතු කිරීමට තමා කිසිදු විටෙක පසුබට නොවන බවය.

මැතිවරණ ජයග්‍රහණයක් ලැබීමට නම් පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ගේ අදහස විය. එවැන්නක් සිදු නොවුණහොත් තමා මැතිවරණයට තරග කිරීමෙන් වැළකී සිටීමට පවා ඉඩ තිබෙන බව ඔහු කීවේය. රහසිගත ඡන්දයක් පවත්වා නායකයකු තෝරාගැනීමට යෝජනා ඉදිරිපත්ව තිබෙන අතර, අවම වශයෙන් අවස්ථා 3ක දී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ එකිනෙකාගේ නිවෙස්වල දී හමුවී නායකත්ව වෙනසක් අරබයා සාකච්ඡා පවත්වා ඇත. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් පවසන්නේ එසේ රැස්වීම් පවත්වන්නට යෙදුණේ පක්ෂයේ ආරක්ෂාව සඳහා බවය.

“එක්සත් ජාතික පක්ෂය කඩන්නයි ජනපතිවරයා උත්සාහ කරන්නේ. එවැන්නක් සිදුනොවන බව සහතික කරන්නයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට අවශ්‍යව තිබෙන්නේ”, ඔහු කීවේ ය.

නව සැලසුමක් යටතේ කටයුතු කරමින් සිටින එක්සත් ජාතික පක්ෂයේ මීළඟ පියවර රනිල් වික්‍රමසිංහට විශ්වාස පක්ෂ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය. එයට දින නියම කර තිබූයේ ඊයේ (12) ය. ඒ හරහා වික්‍රමසිංහට අගමැති ධුරය දැරීමට පදනමක් පක්ෂය නිර්මාණය කර දෙන අතර, එය ජනපති සිරිසේන අපේක්ෂා කළ පරිදි මහින්ද රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවකට වඩා වෙනස්ය. පහත දැක්වෙන්නේ එම යෝජනාව සහ එයට අත්සන් යොදා තිබෙන සාමාජිකයන්ගේ ලැයිස්තුවය.

පාර්ලිමේන්තුවේ අංක 01, න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට,
නිකුත් කළේ - දෙසැම්බර් 04.2018
අංක 1(3)
දින යොදා නොමැති යෝජනා,
සජිත් ප්‍රේමදාස
රවී කරණානායක
අකිල විරාජ් කාරියවසම්
ලක්ෂ්මන් කිරිඇල්ල
රාජිත සේනාරත්න
පලනි දිගම්බරන්
මංගල සමරවීර
රිෂාඞ් බදුර්දීන්
- විශ්වාස පක්ෂ යෝජනාව

අගමැතිවරයා ලෙස කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ විශ්වාසය තිබෙන බව මෙම සභාවට යෝජනා කරයි.

ඊයේ (12) නියත වශයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිත වූ මෙම යෝජනාව හමුවේ නිර්මාණය වන්නේ තවත් බාධකයකි. පාර්ලිමේන්තුවේ සම්පූර්ණ 225ක සාමාජිකයන් ඉල්ලා සිටින්නේ වුවත් තමා වික්‍රමසිංහ අගමැති ලෙස පත් නොකරන බව ජනපති සිරිසේන අවධාරණය කර තිබේ. එපමණක් නොව එක්සත් ජාතික පෙරමුණේ දූත පිරිස හමුවේ ඔහු කියා සිටියේ වික්‍රමසිංහගේ මිතුරු කවයේ කිසිවකුට හෝ ද එම අවස්ථාව ලබා නොදෙන බවය. එළැඹෙන සතිය වන විට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කිරීමට විශ්වාසය දක්වා තිබෙනු ඇත. එය ඉදිරියේ නිර්මාණය වන නව දේශපාලන නැවතුම හමුවේ ජනපතිවරයා කරනු ඇත්තේ කුමක් ද?, කලින් තර්ජනය කළ ආකාරයට ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති ද?, නැතහොත් සිය අනුදැනුම මත නිර්මාණය වූ බොහෝ ආන්දෝලන හමුවේ කළාක් මෙන්, මෙය ද නොසලකා හරිනු ඇති ද?

ඊටත් අමතරව එක්සත් ජාතික පෙරමුණ, වික්‍රමසිංහව ඉවත් කිරීමට - රාජපක්ෂව පත් කිරීමට - ගැසට් නිවේදන හරහා පාර්ලිමේන්තුවේ ධුර කාලය අවසන් කිරීමට යනාදියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමේ සූදානමකින් ද පසුවේ.

මේ සියල්ල මධ්‍යයේ දෙපාර්ශ්වය අතර සාම - සාධක ක්‍රියාවලියේ නිරතව සිටින නිර්පාක්ෂික විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයාගේ කටයුතු තවත් දුෂ්කර වී තිබේ. අධිකරණ තීන්දු ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙන වාතාවරණයක ඔහුගේ අවධානය යොමුව තිබෙන්නේ එම තීන්දු රජයට පක්ෂව නිකුත් වුවහොත් එවැනි අවස්ථාවක සහ විපක්ෂයට පක්ෂව නිකුත් වුවහොත් එවැනි අවස්ථාවක, උද්ගතවන තත්ත්වයට මුහුණදීම සඳහා එක් එක් පාර්ශ්වයට ඇති අවස්ථා හඳුනාගැනීමටය. ගෙවුණු සතියේ ඔහු කාර්යබහුලව සිටියේ එම කටයුතු අරබයාය.

පසුගිය සිකුරාදා මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිවස්නයේ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභා හමුවේ දී අදහස් දැක්වූ ජනපති සිරිසේනගේ අවධානය යොමුව තිබුණේ නිකුත් කිරීමට නියමිත අධිකරණ තීන්දුවලටය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූලව සිදුකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ගැටලුවක් නැත. ඔහු මැතිවරණය සඳහා සැලසුම් සකස් කරනු ඇත. එවන් අවස්ථාවක සැලකිල්ලට ගතයුතු පළමු කාරණය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානයකට එළැඹීම බව ජනපතිවරයා පැවසුවේය. සන්ධානයක් පමණක් නොව, පොදු ලකුණක් යටතේ තරග කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ද ඔහු කීවේය. මෙය අර්බුදයකට තුඩු දෙන අදහසකි.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් පසුව පොදු පෙරමුණක් ගොඩනගා ගැනීම සඳහා ජනපති සිරිසේන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංවාදයක නිරත වූ බව සත්‍යයකි. ඒ අනුව පොදු පෙරමුණකට නමක් හා සංකේතයක් තෝරාගැනීම අරබයා දෙපාර්ශ්වය අතර එකඟතාවයක් පවා ඇති විය. නමුත් තිරය පසුපස සිට ජනපතිවරයා හා අදහස් හුවමාරු කරගත් ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ, එවන් පෙරමුණක් පිහිටුවාගැනීම හරහා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිල ගනු ඇතැයි බිය පළකරමින් ජනපතිවරයාට පීඩනයක් එල්ල කළහ. අගමැති රාජපක්ෂ සමග කටයුතු කිරීම දුෂ්කර බව ඇතැම් අය කීහ. ගෙවෙන්නට ගත් සෑම දිනයකදීම ටිකෙන් ටික දෙපාර්ශ්වය දෙපසකට වන ලකුණු පෙනෙන්නට ගත්තේ ය. පොදුජන පෙරමුණේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ දිගටම පක්ෂ ශාඛා සහ වෘත්තීය සමිති ස්ථාපිත කිරීමේ යෙදිණ. දෙපාර්ශ්වය එක් කිරීමේ කපුකම කළ මෛත්‍රී හිතවත් එස්.බී. දිසානායක මහතාට පරස්පර අදහස් දැක්වමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ පොදු පෙරමුණක් සම්බන්ධයෙන් ස්ථීර තීරණයක් මේ දක්වාම ගෙන නොමැති බවය. ඔහු එවැනි අදහසක් පළකළේ ඒ අරබයා සාකච්ඡා පැවැත්වෙමින් තිබූ වාතාවරණයක වීම විශේෂය.

දුරස් වුව ද, සන්ධානයක් පිහිටුවා ගැනීම අරබයා පොදුජන පෙරමුණ මත රැඳීමට ජනපති සිරිසේන උත්සාහ කරමින් සිටින්නේ ඇයි? අගමැති රාජපක්ෂ සමග හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය සමග කටයුතු කිරීම දුෂ්කර බව ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ කියා තිබියදීම ඔහු තවමත් පොදුජන පෙරමුණට අත දිගු කරන්නේ ඇයි? ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා පදනම සකස් කරගැනීමට සන්ධානයක් පිහිටුවාගැනීම ඔහුගේ අදහස ද? 2015 ජනපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ඡන්දයෙන් ඔහු ජනපතිවරයා ලෙස පත්විය. මෙවර ඔහු සැරසෙන්නේ ඒ වෙනුවට පොදුජන පෙරමුණේ සහාය ලබාගැනීමට ද? තමා නැවත ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බව ඔහු අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබෙන බවත් මෙහිදී සඳහන් කළ යුතුය. තිබෙන වියවුල් සහගත තත්ත්වය වන්නේ ජනපති සිරිසේනගේ පිළිවෙතහි කිසිදු ස්ථීරසාර ස්වභාවයක් නොමැති වීමය. එක් දිනක හිස ගිනිගත් අයුරින් හැසිරෙන ඔහු තවත් දිනෙක ඉතා ඉවසිලිවන්තය. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අතරම අවිනිශ්චිතතාවයක් නිර්මාණය කර තිබෙන අතර, “අපි කොහෙද  ඉන්නේ?” යැයි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ‘සන්ඬේ ටයිම්ස්’ හා කියා සිටියේ අතිශය කනගාටුවෙනි.

අනෙක් අතට, ප්‍රධානම ගැටලුව වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සිරිසේනට පක්ෂ තීන්දුවක් ලබාදුනහොත්, ඔහු අපේක්ෂා කරන අයුරින් සන්ධානයක පෙරමුණේ සිට මැතිවරණයට ඉදිරිපත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් ද යන්නයි. පළමුකොටම, වර්තමාන දේශපාලන අර්බුදයේ දී ජනපති සිරිසේන ප්‍රමාණවත් ලෙස මහින්ද රාජපක්ෂට උපකාර නොකළ බව එම පක්ෂයේ නායකයන්ගේ අදහස වේ.

අගමැති රාජපක්ෂ මේ දක්වාම රැඳී ඉන්නේ ඔහුගේම උනන්දුව නිසා, යැයි රාජපක්ෂට සමීප එක්තරා ආරංචි මාර්ගයක් කියා සිටියේය. දෙවැන්න වන්නේ පසුගිය 5 වැනිදා අගමැති රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට අනුබල දීම හරහා තමන්ව මුලා කිරීමට ජනපති සිරිසේන කටයුතු කළේ යැයි පොදුජන පෙරමුණේ නායකත්වය විශ්වාසය කිරීමය. නමුත් එක්සත් ජාතික පෙරමුණ තීරණය වෙනස් කිරීම නිසා එය එළිය දුටුවේ නැත. ජනපතිවරයාගේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නැගී ඇත්තේ මෙවැනි කරුණු නිසාය.

ඒ අනුව කුමන හෝ දේශපාලන එකඟතාවකට එළැඹීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියත වශයෙන්ම ජනපතිවරයාගෙන් ස්ථීර, බොහෝවිට ලිඛිතව, පොරොන්දු ඉල්ලා සිටිනු ඇත. කෙසේවුවත්, දෙපාර්ශ්වය මේ දක්වාම සම්පූර්ණයෙන් එකිනෙකාගෙන් දුරස්ව නොමැත. එක්සත් ජාතික පෙරමුණට දෙපාර්ශ්වයේම ඇති විරෝධය ඔවුන් එකිනෙකාව අලවාගෙන සිටින මැලියමය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් මධ්‍යම කාරකසභාව කැඳවා ගතයුතු ඉදිරි පියවර තීරණය කරන බව ජනපති සිරිසේන පැවසුවේ ය. ඒ සමගම සියලුදෙනා වික්ෂිප්ත කරමින් තවත් ප්‍රකාශයක් කළ ඔහු, සිකුරාදා රාත්‍රියේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකයන් සියලුදෙනාගේ තනතුරු අහෝසි වන බව පැවසුවේය. නව පුද්ගලයින්ගෙන් පුරප්පාඩු පුරවන බව ඔහු කීවේය.

පක්ෂය වෙනුවෙන් කැපවී සේවය කළෝ නැවත පත් කැරෙන බවත්, එසේ නොවන අය ඉවත් කර දැමෙන බවත්, ජනපතිවරයා පැවසුවේය. මෑතකදී සිදුකෙරුණු පක්ෂ ප්‍රතිසංස්කරණ යටතේ ඉදිරියේ දී දිස්ත්‍රික් සහ මැතිවරණ කොට්ඨාස පදනමේ සිට කළමනාකාරවරුන් ද පත් කැරෙනු ඇති බව ජනපතිවරයා කීවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රබල දේශපාලන පක්ෂයක් ලෙස ශක්තිමත් කිරීම මේ සියල්ලේ අරමුණ වුව ද, සමස්තයක් ලෙස පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේ දී සියයට 13ක මනාප ප්‍රතිශතයක් හිමිකරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතා කෙටි කාලයක් ඇතුළත නැවත ශක්තිමත්ව නැගී සිටීමට හැකිවේ යැයි සිතීම දවල් හීනයකි. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් හෝ ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයින් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැත. එහි සිට පොදුජන පෙරමුණට සාමාජිකයන් ඇදෙමින් සිටින්නේ මේ නිසාමය. පක්ෂයට මෙවැනි ඉරණමක් අත්කර දුන්නේයැයි චෝදනා එල්ල වන්නේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක මහතාටය.

එනිසාවෙන්ම ජනපති සිරිසේන යමින් සිටින්නේ එක් දේශපාලන අර්බුදයක සිට තවත් අර්බුදයකටය. මංසන්ධිවල ස්ථාපනය කර තිබෙන ආලෝක සංඥාවල මෙන්, ඔහු එසේ එක් ගැටලුවක සිට තවත් ගැටලුවකට ගමන් කරන විට සංඥාව රතු පැහැයේ සිට කහ පැහැයට මාරු වුවත්, කහ පැහැයේ සිට කොළ පැහැයට නම් මාරු වන්නේ නැත. රජයක් නොමැති වීම ශ්‍රී ලංකාව මත තවත් දේශපාලනිකමය ගැටලු රැසක් පටවා ඇත. ක්ෂේත්‍ර ගණනාවකට මේ නිසා පහරක් වැදී තිබෙන අතර, බරපතළ තත්ත්වයකට පත්ව ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයයි. එය ද සාමාන්‍යයෙන් රටට උපරිම සංචාරකයින් පිරිසක් පැමිණෙන වකවානුවකය. මේ හමුවේ හෝටල හිමියෝ, සිය කර්මාන්තය රැකගැනීම සඳහා ඉතාම අඩු මිල ගණන් යටතේ සේවා ලබාදීමට බලහත්කාරයෙන්ම තල්ලු වී සිටින අතර, මේ නිසාම පසුගියදා ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැති කුසලතා ප්‍රදානෝත්සවයක් ද වර්ජනය කිරීමට ඔවුහු පියවර ගත්හ. නමුත් මෛත්‍රී හිතවතුන් ඇතැමෙක් තර්ක කරන්නේ වෙනස් ආකාරයකටය.දුම්රිය හා බස් රථ සේවා ක්‍රියාත්මක බවත්, මාර්ගයේ රථවාහන ගමන් කරන බවත්, වානිජ කටයුතු සඳහා බැංකු විවෘතව තිබෙන බවත්, පැවසූ එවැනි අයෙක් කිසිදු වරදක් සිදුව නොමැති බව කියා සිටියේ ය.එහි පුදුමයක් නැත.නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිදුවූ මෙවැනි අර්බුදයක යථාර්ථයන්ට ඔවුහු අන්ධය.

“විසඳුමක් හොයන්න හොඳම ක්‍රමය පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම. අප බලා සිටිනවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු. ලැබෙන ඕනෑම තීන්දුවක් අපි පිළිගන්නවා. මේ ගැන මීට වඩා වැඩි දෙයක් කියන්න මට වුවමනා නැහැ.” මහින්ද රාජපක්ෂ ‘සන්ඬේ ටයිම්ස්’ හා පැවසුවේය.

“ශ්‍රී ලංකා පුරවැසියන් වගේම ලොව පුරා සිටින සියලු දෙනා අප ඉතාම අනතුරුදායක තත්ත්වයක සිටින බව දන්නවා. සම්පූර්ණ පාර්ලිමේන්තුවට වුවමනා වුණත් රනිල් වික්‍රමසිංහ නම් අගමැතිවරයා ලෙස පත් නොකරන බව ජනපතිවරයා කියනවා. එහෙනම් මොකද වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිවරණයේ දී බහුතරයකින් ජයග්‍රහණය කළොත්? එදාටත් ජනපතිවරයා ඔය කතාවම කියාවි. ගැටලු සහ ප්‍රතිපත්ති පදනමේ ඉඳන් අපිත් එක්ක සාකච්ඡා කරන්න ජනපතිවරයා ඉදිරිපත් නොවීම ගැන අපිට ඇත්තටම කනගාටුයි. ඔහු කතා කළේ ඔහුගේ පෞද්ගලික හැඟීම් ගැන පමණයි.” කබීර් හෂීම් කීවේ ය.

“ජනපතිවරයා, වික්‍රමසිංහව අගමැතිවරයා ලෙස පත් නොකළොත් කිසිම දෙයක් වැඩකරන එකක් නැහැ. මේක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ද්‍රෝහීකමක්.” ඔහු පැවසුවේය. දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහාය දැක්වීම සම්බන්ධයෙන් ද ඔහු අදහස් දැක්වූයේ ය.

“ඔවුන් අපේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. ඩීල් එකක් ඇති කරගත්තා කියන කතාවලට කිසිම පදනමක් නැහැ. ඒවා බොරු. ඔවුන් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරනවා. ඇත්තටම අපි සංවර්ධනය සහ තරුණයන්ට රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් ඉටුකරදීලාවත් නැහැ. මාර්ග ජාලය පවා සංවර්ධනය කර නැහැ.” හෂීම් කීවේය.

කෙසේවුවත් ජනපතිවරයාට සමීප ආරංචි මාර්ගයක් සඳහන් කළේ මේ දක්වා ගත් සෑම ක්‍රියාමාර්ගයකදීම ඔහු කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථානුකූලව බවය. ඒ නිසා ද්‍රෝහියකු ලෙස කටයුතු කළාය කියන එක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්, මුසාවක්. එම ආරංචි මාර්ගය කීවේය.

ගෙවුණු සතියේ දිගහැරුණු සිදුවීම්වලින් ජනපති සිරිසේන මුල්ලකට කොටුවී සිටින බව මනාව පැහැදිලි විය. හොඳකට හෝ නරකකට හෝ වේවා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ තීන්දුවලින් වත්මන් දේශපාලන අර්බුදය හමුවේ නිර්මාණය වී තිබෙන අගතිදායක තත්ත්වය යම්තාක් දුරකට හෝ විසඳෙනු ඇත. ශ්‍රී ලංකාවේ අනාගත ආණ්ඩුකරණය සැලකීමේ දී එය රැඳී තිබෙන බව පෙනී යන්නේ අගමැතිවරයා පත්කිරීම මත බව පෙනෙන්නට තිබේ. එම ගැටලුවට තවමත් විසඳුමක් නැත. කවුරුන් එනු ඇති ද, කවුරුන් යනු ඇති ද, - ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය එහි සත්වැනි සතියටත් එළැඹ තිබෙන අවස්ථාවේ රටවැසියා හමුවේ නැගී තිබෙන ප්‍රධානම ගැටලුව වී තිබේ.