ආර්.ජී. සේනානායක මහතා වරෙක ද්‍රෝහියකු ලෙස හඳුන්වා ඇත. එසේ හැඳින්වීම සඳහා පාදක වූයේ ඔහුගේ ක‍්‍රියාකලාපයයි. සිංහල භාෂා සටන මුල්කරගෙන රටපුරා නොයෙක් ආකාරයේ උද්ඝෝෂණ ඇතිවුණි. මෙම උද්ඝෝෂණවල මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ ඒ ඒ පළාත්වල ප‍්‍රධාන හිමිවරුය. සමහර පිරිස් ඍජුවම දේශපාලන නායකවරුන් හමුවූහ. ඔවුන් සමග මෙම සටනට අවතීර්ණ වූ අතර වැඩි පිරිසක් සහභාගි වූයේ සිංහල නායකයන් ගෙන ගිය සටන්වලටයි. සර් ජෝන් අගමැතිතුමාගේ පාලන කාලයේදී භාෂා ප‍්‍රශ්න විවිධ ආකාරයෙන් මතුව ආවේය. ඇතැම් අය සිංහල පමණක් රාජ්‍ය භාෂාව ලෙස පිළිගත යුතු යයි කී අතර තවත් පිරිස් කීවේ දෙමළ බසටද සමතැන් දිය යුතු බවකි. මේ නිසා භාෂා ප‍්‍රශ්නය මුල්කර ගනිමින් රටතුළ වාද විවාද ඇතිවුණි. ආර්.ජී. සේනානායක මහතා හා ජෝන් කොතලාවල මහතා ඥාතිවරුන්ය.

එහෙත් භාෂා ප‍්‍රශ්නය නිසා දෙදෙනා දෙපසකට වී පොර ඇණගැනීමට සූදානමින් සිටියහ. මේ සටනට මැදිවූ තවත් යුගයේ දේශපාලකයෙක් වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. ජයවර්ධන මහතා ඉතාමත් සියුම් ලෙස දුර දිග බලා කටයුතු කරන්නෙකි. මුලින්ම සිංහල භාෂාව රජයේ භාෂාව කරන ලෙස එයට නීතිමය පිළිගැනීමක් ඇතිකර දීම සඳහා කටයුතු කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. ඒ රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේදීය. මුලින් එසේ යෝජනාවක් ඉදිරිපත් කළ ඒ මහතා පසුව මතුවූ නොයෙකුත් ගැටලූකාරී තත්ත්ව නිසා තම අදහස වෙනස් කළේය. එහෙත් ආර්.ජී. සේනානායක මහතා සිංහල බස රජයේ බස විය යුතුයයි තදින්ම කියා සිටි අතර එයට පෙරමුණක්ද සකසා ගති. ඒ යුගයේ මෙම භාෂා පේ‍්‍රමී සටන් තුළ සිටි තවත් දේශපාලකයන් දෙදෙනකු නම් අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා සහ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාය. මේ දෙදෙනාද සිංහල භාෂාව වෙනුවෙන් පෙනී සිටි පතාකයෝධයන් දෙදෙනෙකි. මෙසේ සිංහල භාෂා සටන දිගටම ඇදී යන අවධියක ඊට විරුද්ධ පැත්තේ සිට ඒ දෙස බැලූ දමිළ දේශපාලන නායකයන්ද කීවේ සිංහල බස රජයේ බස කරනවනම් දෙමළ බසටද සමතැන දෙන ලෙසයි. මෙහිදී භාෂා ප‍්‍රශ්නය මුල්කරගනිමින් රට තුළ  විවිධ උණුසුම්කාරී තත්ත්ව මතුව ආවේය.

ජේ.ආර්. ජයවර්ධන මහතා මෙහිදී කීවේ ජාතියක් වශයෙන් භාෂා ප‍්‍රශ්නයකට දෙකට බෙදී සටන් නොකළ යුතු බවයි. එනිසා සිංහල භාෂාව රජයේ භාෂාව ලෙසත් දෙමළ බස දෙවැනි බස හැටියට තේරාගත යුතු බවත් කීය. ඒ යෝජනාවට එදා ඞී.එස්. සේනානායක මහතාද එකඟ වුණි. මේ පසුව ගත් තීරණයට ආර්.ජී. කැමති වූයේ නැත. ආර්.ජී. ට  ඕනෑ වූයේ භාෂා පේ‍්‍රමියකු වීමටය. මෙහිදී තවත් එක් කරුණක් ආර්.ජී. සේනානායක මහතාගේ අවාසියට හේතුවිය. ඒ සර් ජෝන්ගේ ප‍්‍රකාශයකි. ඔහු උතුරට ගොස් උත්සවයකදී සිංහල හා දෙමළ යන භාෂා දෙකම පිළිගත් භාෂා ලෙස රාජ්‍ය කටයුතුවලදී යොදාගන්නා බවට කී ප‍්‍රකාශයක් එවක ප‍්‍රචාරයට පත්වුණි. මේ නිසා දෙදෙනා අතර විරසකය දලූ දමා වැඩෙන්නට විය.

මෙහිදී ආර්.ජී. සේනානායක මහතා කීවේ හොරිකඩ දේශපාලකයෝ සිංහල භාෂාව වනසා දමන්නට හදන බවකි. ඊට පිළිතුරු දුන් ජේ.ආර්. ජයවර්ධන මහතා කීවේ ආර්.ජී. භාෂා ප‍්‍රශ්න මතුකරමින් රට ගිනිතියන්නට හදන බවකි. මේ ගැටුම්කාරී තත්ත්වය ප‍්‍රයෝජනයට ගනිමින් උතුරේ එදා සිටි අන්තවාදී පිරිස් සුළු සුළු කලබල ඇති කරන්නට පටන් ගත්හ. ආර්.ජී. සේනානායක මහතා භාෂා ප‍්‍රශ්නය මුල්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කරන ලදී. මෙහිදී ජේ.ආර්. ජයවර්ධන මහතා සමගද මතවාද ඇතිවුණි. ආර්.ජී. ප‍්‍රකාශ කළේ ජනතාවාදීව තම සුළු පියා විසින් බිහිකළ එක්සත් ජාතික පක්ෂය දැන් එක්තරා අන්තවාදී බලලෝභීන් පිරිසක් ග‍්‍රහණයට ගෙන ඇති බවකි. ජේ.ආර්. ජයවර්ධන මහතා කීවේ බංකොලොත් භාෂා මත දරන පිරිස් පක්ෂය විනාශකර දැමීමට කුමන්ත‍්‍රණ කරන බවයි. එහෙත් ඩඞ්ලි සේනානායක මහතා මෙම කිසිදු කඳවුරකට තම කැමැත්ත නුදුන් අතර නිරීක්ෂණයෙන් යුතුව දේශපාලනයේ නිරත විය. භාෂා ප‍්‍රශ්නය මුල්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වූ ආර්.ජී. සේනානායක මහතා ස්වාධීනව සිටීමට තීරණය කළේය.

වර්ෂ 1955 පමණ වන විට භාෂා ප‍්‍රශ්නය මුල්කර ගනිමින් ආර්.ජී. සේනානායක මහතා දැවැන්ත සටනක් ගෙන ගියේය. ඔහු එංගලන්තයටද ගොස් එහි සිටි ලාංකිකයන්ට කරුණු වටහා දීම කළේය. මෙකල ප‍්‍රසිද්ධ වූ පුවත්පත් මෙම භාෂා සටන පිළිබඳ විවිධ අදහස් පළ කළ අතර එදා දණ්ඩගමුව මන්ත‍්‍රීවරයා වූ ඊරියගොල්ල මහතා සිංහල පමණක් රජයේ බස විය යුතුයි යන යෝජනාවක්ද පාර්ලිමේන්තු කණ්ඩායමට තනි යෝජානවක් ලෙස ඉදිරිපත් කළේය. 1955 නොවැම්බර් 4 දින ජනතා පත‍්‍රය මගින් භාෂා හටන පිළිබඳව විවිධ වාර්තා ඉදිරිපත් කර තිබුණි. එදා ආර්.ජී. සේනානායක මහතාගේ භාෂා සටනේ එක් පුරෝගාමියෙක් වූයේ පසුකාලීනව අපේ රටේ ජනාධිපතිවරයා වූ ආර්. පේ‍්‍රමදාස මහතාය. එදා ඒ මහතා කොළඹ නගර සභාවේ උප නගරාධිපතිවරයකු විය.

එවක එක්සත් ජාතික පක්ෂයේ සම ලේකම් ආදී තනතුරක් දරමින් ප‍්‍රධාන භූමිකාවක් මෙහෙයවූ ජේ.ආර්. ජයවර්ධන මහතා 1956 ජනවාරි මස දහවැනිදා කඩවත නගරයේ පැවැත්වූ ග‍්‍රාම සංවර්ධන සේවක සම්මන්ත‍්‍රණයක් අමතමින් ප‍්‍රසිද්ධියේ කියා සිටියේ ආර්.ජී.ගේ මේ ද්‍රෝහිකම් පුදුම වීමට කරුණක් නොවන බවයි. හේ එක්සත් ජාතික පක්ෂය නැතිකර පරම්පරා උරුමයද නැති කිරීමට කටයුතු කරනවා. එපමණක් නොවෙයි බුදුහාමුදුරුවන්ට විරුද්ධ වුණේ දේවදත්තයා කව්රුවත් නොවෙයි තම මස්සිනා යේසුස් වහන්සේටත් විරුද්ධව යුදාස් කටයුතු කළා. ආර්.ජී. සේනානායක මහත්මයාත් එසේයි.

අපේ පක්ෂයට දැන් ද්‍රෝහියකු සිටිනවා, ඒ වෙන කවුරුත් නොවේ ආර්.ජී. සේනානායක මහත්මයා. ඔහුට ඕනෑකර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව මුළු රටම ගිනි තැබීමටයි.

එහෙත් සිදුවූයේ අනෙකකි. එකවර ආසන දෙකක් දිනාගනිමින් බහුතර කැමැත්තක් ඇතිව පාර්ලිමේන්තුවට යාමට ආර්.ජී. පාර කපා ගත් අතර ජේ.ආර්.ට කැලණි අසුන අහිමි වුණි. ලංකාවේ අභ්‍යන්තර ගැටලූ ඉතා සංකීර්ණ වූ ඒවාය. ඒවාට විසඳුම් සෙවීම කළුනික සොයනවාටත් වඩා අමාරු බව ප‍්‍රකාශ කළේ ආර්.ජී. සේනානායක මහතා සමග සිංහල සටන මෙහෙයවීමට උදව් දුන් මාතලේ ශාසනතිලක නා හිමියන්ය.