වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ ප්‍රධාන කාරණා දෙකක් සම්බන්ධයෙන් ජනතාවට මහත් බලාපොරොත්තු ඇති කරමිනි. 2015 ට පෙර මේ රටේ සිදුවුණා යැයි කියන දැඩි වංචනික, දූෂිත ආර්ථික කළමනාකරණය යථා තත්ත්වයට පත්කිරීමත් එම වැරැදි වලට වගකිවයුත්තන්ට දඬුවම් දීමත් ඉන් එකකි. ඒ වගේම එවන් වැරදි නැවත සිදුනොවන ආකාරයට කටයුතු කිරීමටද ජනතාවට පොරොන්දු වුණි. වංචාව, දූෂණය, හොරකම නතර කිරීමෙන් ඉතිරි කරගන්නා මුදලින් ජනතාවගේ ජීවන බර අඩුකරන බවටද පොරොන්දු වූවේය. එය දෙවැන්නය.
 
මේ අනුව යමින් ආණ්ඩුව මුලින්ම කළේ ජනතාවගේ ජීවන වියදමට විශාල බරක්ව පැවැති අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් සැලකිය යුතු ආකාරයෙන් පහත හෙළීමය. මේ නිසා කිසිවකු නොසිතූ ලෙස පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල ගණන් අඩුවුණි. ඒ වගේම අත්‍යවශ්‍ය අනෙකුත් භාණ්ඩවල මිල ගණන්ද විශාල වශයෙන් අඩු කිරීමට කටයුතු කළේය. මේ පියවර හේතුවෙන් එතෙක් ජනතාව මත පැටවී තිබූ ජීවන බර සෑහෙන පමණ සැහැල්ලු වුණි. මෙලෙස භාණ්ඩ හා සේවා මිල ගණන් පහත හෙළීමට සමගාමීව රාජ්‍ය සේවක වැටුප් රුපියල් දස දහසකින් පමණ වැඩි කළේය. පෞද්ගලික අංශයේ සේවක වැටුප් රුපියල් 2500 කින් පමණ ඉහළ දැමීමට පියවර ගත්තේය. මේ ආකාරයට වත්මන් ආණ්ඩුව ජීවන බර සැහැල්ලු කිරීමට පියවර රාශියක් ගත් බව අමතක නොකළ යුතුය.
 
වසර තුනක් තිස්සේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුව සෑහෙන පමණ කැපකිරීමක් කර තිබේ. මෙලෙස භාණ්ඩ මිල පාලනය කිරීමට හැකිවූයේ ආණ්ඩුවේ නාස්තිකාර වියදම් යම් ආකාරයකට පාලනය වීම නිසාය. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පටන් රාජ්‍යතන්ත්‍රයේ අනවශ්‍ය වියදම් අවම මට්ටමකට ගෙනඒමට ආණ්ඩුවට හැකිවුණි. ඒ හරහා විශාල සහනයක් ජනතාවට ලබා දුන්නේය. එහෙත් මෙලෙස ලබාදෙන සහන යම් සීමාවක් තුළ කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇත. එය කවර ආණ්ඩුවකට වුවද පොදු සාධකයකි. මේ ක්‍රියාවලියේදී ආණ්ඩුවට පාලනය කළ නොහැකි සාධක තිබේ. පසුගිය වසර තුනේදී රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ප්‍රබල බලපෑමක් කාලගුණයෙන් එල්ලවුණි. ඉතිහාසයේ කෙදිනකවත් මුහුණ නොදුන් ආකාරයේ කාලගුණ විපර්යාසවලට මුහුණදීමට ගෙවුණු වසර තුනේදී සිදුවිය. ගංවතුර ඉන් එකකි. දැඩි නියඟයෙන් කෘෂිකර්මාන්තයට මරු පහරක් එල්ලවුණි. වී වගාව සෑහෙන පමණ අඩාල වුණි. අස්වැන්න සියයට පනහකින් පමණ පහළ ගියේය. අනෙකුත් කෘෂි නිෂ්පාදනවලටද නියඟයෙන් දැඩි බලපෑමක් එල්ල වුණි. මේ පසුබිම යටතේ කෘෂිකර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්වුණි.
 
පසුගිය කාලය පුරාම මෙරට කෘෂි නිෂ්පාදනයේ පෙන්නුම් කළේ ඍණ වර්ධනයකි. කෘෂිකර්මාන්තයේ සිදුවූ මෙම කඩාවැටීම හරහා ආර්ථිකයට වන බලපෑම සුළුපටු එකක් නොවේ. කෘෂි නිෂ්පාදන අපනයනයෙන් විශාල ආදායමක් රටට උපයා ගත්තේය. එහෙත් නියඟය, අධික වර්ෂාව, ගංවතුර ආදී සාධක නිසා කෘෂි අංශයට වූ අයහපත් බලපෑමෙන් අපනයන කඩා වැටීමක්ද සිදුවුණි. වී වගාවට සහ පොල් වගාවට වූ හානිය හේතුවෙන් එතෙක් රටට ආනයනය නොකළ දෑ ආනයනය කිරීමට සිදුවුණි. රට තුළ ඇතිවූ ඉල්ලුම අනුව එවැනි පියවරක් අනුගමනය කිරීම හැරෙන්නට විකල්පයක් නැත. අපනයන කඩා වැටෙන විට ආනයන වැඩිවී තිබේ. මේ පසුබිම යටතේ ඩොලරයේ වටිනාකම ඉහළ යාමද වැළැක්විය නොහැක.
 
ඇමෙරිකාවේ ආර්ථික වර්ධනය තිබූ මට්ටමේ සිට සැලකිය යුතු ආකාරයෙන් 2017 දී ඉහළ ගියේය. මේ නිසා එරට තැන්පතු ඩොලර් සඳහා ලැබෙන පොලී අනුපාතද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගියේය. මේ නිසා අනෙක් විදේශ රටවලට ගිය ආයෝජකයන් සාපේක්ෂව සලකා බලන්නේ අවදානමක් ගෙන ආයෝජනය කරනවාද? නැතිනම් අවදානමක් අවම මට්ටමක තබාගෙන තමන්ගේ රටේ මුදල් තැන්පත් කිරීම වාසිදායකද කියාය. ඇමෙරිකාවේ තිබෙන ආර්ථික වර්ධනයත් සමඟ ලංකාව ආදී රටවල කළ ආයෝජන නැවත තම රටට ගෙනයාමට මෙම ආයෝජකයෝ කටයුතු කළහ. මේ ප්‍රශ්නයට මුහුණදීමට සිදුවූයේ ලංකාවට පමණක් නොවේ. චීනය, ඉන්දියාව ආදී රටවලට පවා මේ සාධකය බලපෑවේය. මේ පසුබිම යටතේ ලෝකයේ සෑම රටකම පාහේ මුදල් ඒකක ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව ක්ෂයවීමට පටන් ගත්තේය. උදාහරණයක් වශයෙන් ගතහොත් ලංකාවේ සියයට 20 ක් පමණද, පාකිස්තානයේ සියයට 21 ක් පමණද ඉන්දියාවේ සියයට 9 ක් පමණද මුදල් ඒකක ක්ෂය වී තිබේ. ආර්ජන්ටිනාව, ස්විට්සර්ලන්තය ආදී රටවල් ගත්තද එම රටවල මුදල් ඒකක ඩොලරයට සාපේක්ෂව යම් ආකාරයකට පිරිහී ගොසිනි. මේ අනුව බලනවිට ඩොලරයේ වර්ධනය වැඩිවීම ලෝකයේ බහුතර රටවල් මුහුණදෙන තත්ත්වයකි. ඩොලරයේ වටිනාකම වැඩිවීම යනු සෑම රටක්ම ආනයනය කරන භාණ්ඩවල වටිනාකම් ඉහළ යාමකි.
 
ලංකාව තෙල් ආනයනය කරන රටකි. එදා තෙල් බැරලයකට ගෙව්වේ ඩොලර් සියයක් නම් ඒ වෙනුවෙන් අප ගෙවූ මුදල රුපියල් දස දහසකි. අද ඩොලර් සියයට තෙල් බැරලයක් ආනයනය කරන්නේ නම් රුපියල් 16000 ක් ඒ වෙනුවෙන් ගෙවිය යුතුය. ඒ ඩොලරයේ අගය රුපියල් 160 ක් වීම නිසාය. සියලුම ආනයනික භාණ්ඩ හා සේවා මිල ගණන් ජාත්‍යන්තර වෙළෙඳපොළේදී ඉහළ ගොස් තිබේ. ලංකාවට ආනයනය කරන පිටි, පරිප්පු, ගෑස්, ඛනිජ තෙල් යනාදී සියල්ලේ මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ ඒ අනුවය.
 
චීනය කේන්ද්‍ර කරගත් ලෝක සංවර්ධනයක් සිදුවෙමින් තිබේ. ලෝකයේ සංවර්ධනය ආසියාවට යොමුවීමත් සමග ලෝක බලවත්තු කැළඹීමකට පත්ව සිටිති. මේ නිසා ඇමෙරිකාව ක්ෂණික තීරණවලට යොමුවන ආකාරයක් දැකගත හැකිය. ඉරානය සමග තිබූ න්‍යෂ්ටික අවිහරන ගිවිසුමෙන් ඉවත්වීම එවැන්නකි. මෙවැන්නකට සාධාරණ හේතු නැත. මේ පියවරක් සමඟ මැදපෙරදිග කලාපයේ නිර්මාණය වන්නේ අස්ථාවරත්වයකි. මේ තත්ත්වයත් සමග ඛනිජ තෙල් මිල වේගයෙන් ඉහළ ගියේය. මේ පීඩනය ලංකාවට ද බලපෑවේය. පසුගිය කාලයේදී රුපියල කඩා වැටීම, ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ගණන් ඉහළයාම, ඇමෙරිකාවේ ආර්ථිකය ප්‍රතිසංවිධානයක් සමග සමස්ත ලෝකයටම වූ බලපෑම යනාදී සියල්ලටම මුහුණදීමට ලංකාවට සිදුව තිබේ. කුමන ආණ්ඩුවක් පැවතිය ද මේ අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත.
 
මෙවන් පසුබිමකදී පියවර දෙකක් අනුගමනය කිරීමට පුළුවන. ඩොලර් ණයට ගෙන ඒවා වෙළෙඳ පොළට මුදාහැර ඩොලරය පාලනය කිරීම ඉන් එකකි. රාජපක්‍ෂ යුගයේ දී දිගින් දිගටම සිදු වූයේ මෙයයි. කිසිදු හේතුවක් නැතිව ඩොලර් ණයට ගෙන ඒවා වෙළෙඳ පොළට මුදා හැරියේය. මෙසේ ගන්නා ඩොලර් ණය කෙදිනක හෝ නැවත ගෙවිය යුතුය. ජීවන වියදම සම්බන්ධ නොයෙකුත් චෝදනා ආණ්ඩුවට එල්ල වෙද්දීත් දේශපාලනික වශයෙන් ජනප්‍රිය තීන්දුවලට යාමක් පෙන්නුම් කරන්නේ නැත. දේශපාලනිකව අවාසි වුවද ආර්ථික වශයෙන් රටට හිතකර තීන්දු තීරණවලට යොමුවන බවක් දැක ගන්නට පුළුවන. ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ රටට හිතකර මට්ටමක් අවම වශයෙන් හෝ පවත්වාගෙන යන්නටය. මෙවන් පියවරවලට ආණ්ඩුව නොගියේ නම් කරන්න වෙන්නේ පෙර ආණ්ඩුව මෙන් දිගින් දිගටම ණය ගැනීමය. ඒ ණය බර අනාගත පරපුර මත පැටවීමය.
 
ආණ්ඩුවේ පිළිවෙත සියයට සියයක් නිවැරැදි යැයි කීමට නොහැක. ආණ්ඩුව උත්සාහ කරන්නේ තමන් බලාපොරොත්තු වූ ආර්ථික ඉලක්කය ක්‍ෂණිකව ළඟා කර ගන්නටය. එසේ ක්‍ෂණිකව ළඟා කර ගැනීම හරහා අපනයන සංවර්ධනය කර ගැනීමට ඉලක්කයක් තිබුණි. ජී.එස්.පී. ප්ලස් සහනය ඒ වෙනුවෙන් යොදා ගැනීමට කටයුතු කළද බලාපොරොත්තු වූ ප්‍රතිලාභ ලබා ගැනීමට තවමත් අපොහොසත්ය. ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් අනිවාර්යයෙන්ම අපනයන ශක්තිමත් කළ යුතුය. ආපනයන ශක්තිමත් වූයේ නම් ඩොලරයෙන් වන බලපෑම අවමකර ගැනීමට තිබුණි. ජාත්‍යන්තර වෙළෙඳපොළේ කෙසේ වෙතත් රුපියලේ අගය කඩා වැටීම හරහා වන බලපෑම අවම කර ගැනීමට ආණ්ඩුවට හැකියාව තිබුණි. ආනයන ආදේශන කර්මාන්ත ශක්තිමත් කරන්න ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම අවශ්‍යය. එහෙත් ඒ සඳහා වන ශක්තිමත් වැඩ පිළිවෙළක් තවම පෙනෙන්නට නැත. කළයුතු දේ කළයුතු ආර්ථික කළමනාකරණය කිරීමට මේ ආණ්ඩුව තවමත් නිරතව සිටින්නේ මන්දගාමී උත්සාහයකය. රටේ සැබෑ ආර්ථික ප්‍රශ්නයට ආමන්ත්‍රණය කිරීමට ආණ්ඩුව අපොහොසත් වී තිබේ.
 
මේ රටේ ඇත්තේ ආර්ථික ප්‍රශ්නයක් නොව දේශපාලනික ප්‍රශ්නයක් බව ආණ්ඩුවේ අදහස වන්නට පුළුවන. ජනතාවට ඇත්තේ ඇමැති  මණ්ඩලයේ විද්‍යාත්මක නොවීම, ව්‍යවස්ථාව පිළිබඳ ගැටලුව, ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් තෝරා ගැනීම පිළිබඳ ගැටලුව යනාදිය යැයි සිතනවා විය හැකිය. එසේ සිතන ආණ්ඩුව තවමත් ප්‍රමුඛතාව දෙන්නේ ආර්ථිකය කළමනාකරණයට නොව තමන්ගේ දේශපාලනය කළමනාකරණය කර ගැනීමටය.
 
ග්‍රාමීය කෘෂිකර්මාන්තය කඩා වැටී තිබේ. එයට හේතුව කලට වෙලාවට බීජ, පොහොර, ජලය ලබාදීමට නොහැකි වීම නිසාය. වෙහෙස වී වගා කළත් ඒවාට අලින්ගෙන් වන හානිය වළකාලීමට හැකි වී නැත. කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමේ නිසි ක්‍රමවේදයක් නැත. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කෘෂි පීඨ ගණනාවකි. මේ රටට අවශ්‍ය බීජ නිෂ්පාදනය කර ශක්තිමත් කෘෂිකාර්මික පරිසරයක් නිර්මාණය කිරීමට මේ එකදු අංශයකට වත් හැකිවී නැත. ජනතාවගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මේවා බවත් දේශපාලන කාරණා නොවන බවත් අවධානයට ගත යුතුය.
 
රටේ පවතින ආර්ථික අභියෝගය පාරිභෝගිකයන්ට දැනෙමින් තිබේ. ජීවන වියදම වැඩි වෙමින් තිබේ. එය අපට පීඩනයකි. එහෙත් මෙය ලංකාවට පමණක් හුදකලා වූ කාරණයක් නොවන බව අවබෝධයෙන් සිටින පාරිභෝගිකයන් දන්නා කරුණකි. මේ ගැටලුවෙන් සියයට හැටක් හැත්තෑවක්ම ආණ්ඩුවට පාලනය කළ නොහැකි සාධක මත නිර්මාණය වී තිබේ. එහෙත් මෙයින් සියයට හතළිහක් පමණ ආණ්ඩුවේ වැරැදි හේතුවෙන් ඇති වූ ආර්ථික පීඩනයකි. එනිසා මේ පීඩන ඉවත් කර ජනතාවට සහනයක් දීමේ වගකීම ආණ්ඩුවට තිබේ.
ඉන්ධන මිල, මිල සූත්‍රයක් අනුව තීරණය වන ක්‍රමය සකස් කර තිබේ. ඒ අනුව සෑම මාස දෙකකට වරක් ඉන්ධන මිල ගැළපීම් කෙරෙනු ඇත. ලෝක ඉන්ධන මිල වැඩි වනවිට දේශීය මිල වැඩි කිරීමත් අඩුවන විට දේශීය මිල අඩු කිරීමත් මේ සූත්‍රය අනුව සිදුවිය යුතුය. මේ සඳහා ශක්තිමත් මිල සූත්‍රයක් තිබිය යුතුය. සියයට දහයකින් ඉන්ධන මිල වැඩි වූ විට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගාස්තු සියයට පහළොවකින් පමණ ඉහළ නැංවීමට යොමුව තිබේ. තව මාස දෙකකින් සියයට දහයකින් ඉන්ධන මිල අඩුවුවොත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ මිල ගණන් සියයට පහළොවකින් අඩු වන්නේ නැත. එහෙත් යළි ඉන්ධන මිල ඉහළ ගියහොත් තවත් සියයට පහළොවකින් ඉහළ දමන්නට යොමුවනු  ඇත. ඇතිවන්නේ මෙවන් ප්‍රවණතාවක් නම් මේ රටට මිල සූත්‍රයෙන් ප්‍රයෝජනයක් නැත. මිල සූත්‍රයක් ක්‍රියාත්මක විය යුත්තේ වැඩි වූ ප්‍රමාණය වැඩි කිරීමටත් අඩුවූ ප්‍රමාණය අඩු කිරීමටත්ය. සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරයට ආර්ථික විද්‍යාත්මක මිල සූත්‍රයක් සකස් විය යුතුය.
 
ඉන්ධන මිල සියයට දහයකින් ඉහළ යනවිට තේ කෝප්පයේ පරිප්පු ඇටයේ පවා මිල ඉහළ යන පරිසරයක් මේ රටේ තිබේ. මේ නිසා ජනතාවට සියයට විස්සක තිහක බරක් පැටවෙනු ඇත. මේ සියල්ල මිල සූත්‍රයකදී අවධානයට ගත යුතුය. ඒ වගේම රටේ සැබෑ ආර්ථික ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩුව ජනතාවට විවෘත ප්‍රකාශයක් කළ යුතුය. එක් ඒක ඇමැතිවරයාට මන්ත්‍රීවරයාට හිතට එන ප්‍රකාශ කිරීම රටටත් ජනතාවටත් අහිතකරය. මේ මිල වැඩිවීම තාවකාලික වන්නට පුළුවන. රුපියල ශක්තිමත් කිරීමට ආණ්ඩුව ඉදිරියේදී පියවර ගතහොත් දැනට ඉහළ ගොස් ඇති භාණ්ඩ හා සේවා මිල ගණන් නැවත වරක් පහළට ගෙන ඒමට හැකිවනු ඇත.
 
සටහන: චමින්ද මුණසිංහ