ලෝකයේ විවිධ රටවල් ජාතික දින යොද‌ාගන්නේ විවිධ පදනමිනි. යටත්විජිත වශයෙන් පැවති බොහෝ රටවල් ජාතික දිනය හැටියට යොද‌ා ගන්නේ යටත්විජිතභාවයෙන් නිදහස ලැබූ දිනයයි. ප්‍රංශ ජාතික දිනය වන්නේ බැස්ටීලය බිඳ දැමූ දිනයයි. ඉන්දියානුවන් ජාතික දිනය හැටියට සමරන්නේ යටත්විජිතභාවයෙන් නිදහස් වූ දිනය නොවේ. ඉන්දියාව සමූහාණ්ඩුවක් බවට පත්කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ දිනයයි. බ්‍රිතාන්‍යට නම් ජාතික දිනයක් නැත. කෙසේ වෙතත් 1948 ස්වයංපාලන නිදහස ලැබූ අපි 1949 සිටම එය උත්සවාකාරයෙන් සැමරුවෙමු. 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටත්විජිත ලක්ෂණ පැවති අතර රාජ්‍ය නායකත්වය පැවතියේ ද රැජිනගේ නියෝජිතයා වූ අග්‍රාණ්ඩුකාරයා අතය. රට පැවතියේ රජුගේ නායකත්වය පිළිගත් ඩොමීනියන් තත්ත්වයේය. සැබැවින්ම 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිදුවූයේ අපට අභ්‍යන්තර ස්වයං පාලනයක් හිමිවීම පමණි. එනිසා එය නිදහස හිමිවීමක් නොවීය. 1950 දශකය වන විට අප පූර්ණ නිදහසක් ලැබුවේදැයි විසල් විවාදයක් හටගත්තේ එහෙයිනි.

ඉන්දියාව අනුගමනය කළේ අපට වෙනස් පිළිවෙතකි. ඔවුහු නිදහස පතා සටන් කළහ. ඉන්දියාව සතුව තිබුණේ බහුජන සටන්කාමී ජාතික ව්‍යාපාරයකි. ඉන්දියාවට නිදහස ප්‍රද‌ානය කරද්දී ලංකාවට කරන්නේ කුමක්ද යන පැනය බ්‍රිතාන්‍යන්ට ද නොතිබුණා නොවේ. අභ්‍යන්තර පාලනයක් කරා වූ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසකට ලංකාව බඳුන්ව තිබුණ ද එය යටත්විජිතයක් කර ගැනීමේ ආරක්ෂක සාධකය ද ඔවුන්ට වැදගත් විය. ඉන්දියාවට පහළින් ඇති ලංකාව අල්ලා ගැනීමේදී බ්‍රිතාන්‍යන්ට ත්‍රිකුණාමල වරාය වැදගත් මර්මස්ථානයක් විය. දෙවැනි ලෝක යුද්ධය අවස්ථාවේදී පවා ආසියාවේ ආරක්ෂක මධ්‍යස්ථානය වූයේ ලංකාවයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආරක්ෂාව සඳහා ඒ අවස්ථාවේදී ත්‍රිකුණාමල වරායෙන් සහ කටුනායක ගුවන්තොටුපළින් සැලසුණේ සුළුපටු සේවයක් නොවේ. මේ අතරේ මලයාවේ කොමියුනිස්ට් කැරැල්ලක් ද හටගෙන තිබුණේය. 

ඒ වන විට ඉන්දියාව සිටියේ ෆෙඩරේෂණයක් හදමිනි. එනිසා ඉන්දියාව ලංකාව ඈඳ‌ාගනීදෝ යන බිය ද බ්‍රිතාන්‍යන්ට නොතිබුණා නොවේ. මදුරාසියේ සිට ලංකාව පාලනය වීමේ ආසන්න අත්දැකීම ද ඊට බලපාන්නට ඇත. 1802 දී ඉන්දියාවේ පාලනයෙන් වෙන් නොකළේ නම් දිගටම පවතින්නට තිබුණේ ඉන්දියාවේ පාලන කොටසක් හැටියටය. එනිසා සැබැවින්ම ඉන්දියාව සමඟ වූ සම්බන්ධය වෙන් කළේ 1802 දී යැයි කීම වැරැදි නැත. අනෙක් අතට සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔවුන් අදහස් කළේ සියලු දක්ෂිණාංශික නායකයන් ඒකාබද්ධ කිරීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉලක්ක කළේ සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු නායකයන් එක පෙරමුණකට ගෙන එන පදනමකි. සුළු ජාතීන්ට ආරක්ෂාව සැලසීමට 29 වැනි වගන්තිය එකතු කිරීම සුළු ජාතීන්ට වැඩි වාසි සැලසෙන ලෙස ඡන්ද ක්‍රමය සැකසීම ඊට උද‌ාහරණය. ආසන බෙද‌ා වෙන්කළේ ඡන්දද‌ායක සංඛ්‍යාව අනුවය. එංගලන්තයේදී සිදුවුණේ ඡන්දද‌ායක සංඛ්‍යාව අනුව ආසන බෙදීමය. ලංකාවේදී එය සිදුවුණේ ජනගහණය හා භූමිය පදනම් කරගෙනය. ජනගහණය 75,000ක් භූමිය වර්ග සැතපුම් 1000ක් යන පදනමින් ආසන බෙදනු ලැබිණි. ඇතැම් අවස්ථාවල ආසනයේ හැටියට ඡන්දද‌ායකයන් ප්‍රමාණවත් නැත. ඇතැම් ආසනවල ඡන්දදායකයන් 25,000 කි. තවත් තැනක 70,000 කි.  

සියලු ජාතීන් එක්සත් කළ යන අරුතෙන් 1946 දී ඩී.එස්. සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂය බිහි කරගෙන ආණ්ඩුවක් බිහි කළේ දෙමළ නායකයන් ද ඒකාබද්ධ කරගෙනය. පක්ෂ ක්‍රමය මත පදනම් වූ නියෝජන මූලධර්ම අනුව මන්ත්‍රීන් තෝරා ගන්නා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවීම ඒ වන විට කෙටුම්පත් තර තිබූ සෝල්බරි ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කෙරිණි. නිදහස පිළිබඳ කටයුතු සිදුවුණේ එසේ බිහිකරගත් ජාතික සමගි ආණ්ඩුව මගිනි. ජාතික ආරක්ෂාව, විදේශ පිළිවෙත හා දේශීය වශයෙන් ක්‍රියා කරන යුරෝපීය රාජ්‍ය නිලධාරීන්ගේ අනාගතය වශයෙන් බ්‍රිතාන්‍ය සමඟ ගිවිසුම් තුනක් අස්සන් කෙරුණේ ඒ අනුවය. යටත්විජිතහරණ සමයේ ඉන්දියාව ද සිටියේ අවට මායිම් ගැන හොඳ සෝදිසියෙනි. එනිසා ලංකාවේ සීමා මායිම් ගැන ද එවක රාජ්‍ය නායකයින් සැලකිලිමත්වීම පුදුමයට කරුණක් නොවේ. කටුනායක ගුවන් තොටුපළත් ත්‍රිකුණාමල වරායත් ලංකාණ්ඩුවට නැවත බාරදීමට බ්‍රිතාන්‍ය කටයුතු කළ අතර ඊට හිලව් වශයෙන් බ්‍රිතාන්‍යට බර තබන විදෙස් පිළිවෙතකට අවතීර්ණ වීමට ලංකාණ්ඩුව කටයුතු කළේය. ඒ වන විට ලෝක සමාජවාදී කඳවුරක් ද බිහිවෙමින් තිබුණු නමුත් අපේ මනාපය ලැබුණේ බ්‍රිතාන්‍යන්ටය. මේ තත්ත්වයත් 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය නායකත්වය තවදුරටත් බ්‍රිතාන්‍යට බැඳී තිබීම, ඉහත කී ගිවිසුම්, ලංකාවේ අවසාන අධිකරණය බවට බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලය පත්වීම ආදී හේතු නිසා 1948 දී අප ලැබුවේ පූර්ණ නිදහසක් නොවන බවට දේශපාලන සාකච්ඡාවක් නිර්මාණය විය. විශේෂයෙන්ම වාමාංශික පක්ෂවල චෝදනාව වූයේ මෙය යටත්විජිත තත්ත්වයම වක්‍රාකාරයෙන් නඩත්තු කිරීමක් බවටය. එක්සත් ජාතීන්ගේ සංවිධාන සාමාජිකත්වය ලංකාවට ප්‍රද‌ානය කිරීමේදී ආරම්භයේදී සෝවියට් දේශය විරුද්ධ වීමට ද මේ තත්ත්වය බලපෑවේය. 
මේ අතරේ එක්සත් ජාතික පක්ෂයෙන් එළියට බැස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පැවසුවේ ඊළඟ ආණ්ඩු බලය තම පක්ෂයට ලැබුණහොත් බ්‍රිතාන්‍ය සමඟ සාකච්ඡා කර ලංකාව සමූහාණ්ඩුවක් නැත්නම් ජනරජයක් බවට පත්කරනවා කියාය. එහි අර්ථය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යෑමය. මේ අතර 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය අවස්ථාවේදී මෙරට අධිකරණයෙන් වැරැදිකරුවන්ට දඬුවම් නියම කළ ද ඔවුහු බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලයට අභියාචනා කළහ. ප්‍රිවි කවුන්සිලයේ නඩු විභාගයෙන් ඔවුහු නිදහස ලැබූහ. ඊට හේතු වූයේ අතීතයට බලපාන අයුරින් නීති සම්පාදනය කිරීමෙන් අධිකරණයේ බලය ව්‍යවස්ථාද‌ායකය විසින් පැහැරගනු ලැබ ඇතැයි යන පදනමයි. මෙම තීන්දු වෙනස්වීම ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ සාකච්ඡාවට තවත් ආයුධ සැපයීය. රැජිනගේ මෙන්ම බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලයේ සම්බන්ධතාවය ද අවසන් කරමින් 1972 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ලංකාණ්ඩුව පියවර තැබුවේ ඒ අනුවය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළමු ජනරජය ස්ථාපිත කළ නිසා ලංකාවේ ජාතික දිනය විය යුත්තේ ද මැයි 22 ජනරජ දිනය යැයි පිරිසක් කීහ. විශේෂයෙන්ම 1947 හෝ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ජාතික දිනය ගැන වගන්තියක් නැත.   

1948 පෙබරවාරි 04 යනු ජාතික දිනය ද නැද්දැයි තවමත් විවාදයක් පවතී. එය එසේ පැවැතිය දී වුව ලංකාව ජාතික රාජ්‍යයක් හැටියට එදින ලෝක දේශපාලන සිතියමට එක්වීය යන්න ගැන විවාදයක් නැත. ජාත්‍යන්තර නීතියට එකඟව ජාත්‍යන්තර සමාජයේ සමානාත්මතාව පිළිගත් සාමාජිකයකු හැටියට වැඩකිරීමේ පරිසරයට ඇතුළු වූයේ එද‌ාය. අප දැන් විමසිය යුත්තේ ජාතික දිනයට රටක් හැටියට අප කරන්නේ කුමක්ද කියාය. ජාතික දිනයේ ප්‍රමුඛතාව දෙන්නේ රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවයටය. ත්‍රිවිධ හමුද‌ාවල පිරිස් බලය, අවි බලය විශාල වශයෙන් ප්‍රදර්ශනයට ලක්වන මෙම උළෙලේදී වැඩි වශයෙන් බර තැබෙන්නේ යුදමය වශයෙන් කළ අත්පත් කරගැනීම් ගැනය. නැටුම්, ගැයුම්, වැයුම් ආදියත් ඊට එක් වූ විට රසාංග රැසකි. ජනමාධ්‍ය හරහා නිදහසේ අතීත කතන්දර ද ගාම්භීර හඬවලින්, සේයා රූ හා ලිපි යනාදියෙන් නැවත රංග ගත වේ. ජාතික සටන් ගැන විශාල ප්‍රචාරණයක යෙදෙමින් පෘතුග්‍රීසීන්ට, ලන්දේසීන්ට, ඉංග්‍රීසීන්ට එදිරිව සටන් කළ ජාතික නායකයන් ඇගයීම ද එහි ප්‍රධාන අංගයකි. එහෙත් මේ වීරාභිවන්දනයේදී බොහෝදුරට දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒවායේ සිටි දෙමළ ජාතික නායකත්වය අපේ අතින් මගහැරී යයි. උද‌ාහරණයකට පෘතුග්‍රීසීන්ට එරෙහි සටනේදී සීතාවක රාජසිංහ රජුට දමිළ රජකු උපකාර කළ බව අපි නොකියමු. මේ ආදී වශයෙන් නිදහස ගැන කතාව වුව ප්‍රතිරාව වන්නේ වාර්ගිකමය වශයෙන් හිස්තැන් තබා ගෙන බව අපේම හිත්වලින් විමසීමට හැකි නම් එය අගනේය.

විශේෂයෙන්ම මිනිස් නිදහස ගැන කතා කිරීමේදී දේශපාලන නිදහස මෙන්ම ආර්ථික නිදහස ද අතිශය වැදගත්ය. 1947 දී දේශපාලන වශයෙන් නිදහස ලැබුව ද ආර්ථික වශයෙන් ජාතියක් හැටියට අප සිටින්නේ කෙතරම් පරාධීනවදැයි විමසිය යුතුය. ලෝක ආර්ථිකයේ ප්‍රාග්ධන සමුච්චකරණයේදී අප ද ඇතුළත් වී සිටින්නේ සූරාකෑමේ ක්‍රියාවලියටය. ව්‍යාපාරමය ක්‍ෂේත්‍රයේ මතු නොව රජය ගන්නා ණයාධාර හා ඒවාට ගෙවන පොලිය හරහා ද මේ භූමියෙන් පිටතට ඇදී යන්නේ අපේ සම්පත්ය. 1947 දී අපි ශ්‍රී ලාංකිකත්වය නමැති ජාතිකත්වය ගැන ලෝකයට හඳුන්වා දුන්නෙමු. එහෙත් එකී ජාතිකමය විවිධත්වය මගින් එක්සත් ජාතිකත්වයක් ගොඩනගා ගැනීමට අපට හැකිවීද යන්න අදටත් ප්‍රශ්නයකි. ජනවාර්ගික අරගල මෙන්ම පංති අරගල නිසා ද රාජ්‍ය බෙදීමට ලක්වේ. චීනය, වියට්නාමය, කොරියාව ඊට නිදසුන්ය. භූමිය දෙකට නොබෙදුන ද රටක් හැටියට 1948 සිටම තවමත් අපට විසඳ‌ාගත නොහැකි ප්‍රශ්න බවට පත්ව තිබෙන්නේ ද මේ ජාතික එක්සත්භාවයමය. 1958, 1983 ආදී වශයෙන් සංවිධානාත්මක වශයෙන් පුපුරා ගිය ආගම්වාදී ජාතිවාදී කෝලාහලවල සිට මෑතකාලීනව අත්දුටු අලුත්ගම, මහනුවර සිදුවීම් දක්වාම වූ ඛේදවාචක මගින් ප්‍රශ්න කෙරෙන්නේ මෙම තත්ත්වයයි. එහෙත් අද වන විට තිබෙන්නේ එවැනි වාර්ගිකමය නොසන්සුන්තාවයන්ට පස සැකැසූවන්ට නීතියෙන් ලබාදුන් දඬුවම පවා විධායක බලයෙන් ආපස්සට හැරවීම ගැන කතාබස්ය. ඉතින් කෙසේ නම් ජාතීන් අතර සැකයට අවිශ්වාසයට තුඩු දෙන සාධක නැතිකිරීමට හැකි වේද? පංති භේදය ද එසේමය. 1971 තරුණ කැරැලි හටගන්නා විට පැවති තත්ත්වය වෙනස් වුවද අද වන විට ගම හා නගරය අතර පරතරය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. අධ්‍යාපනයේ ඇති පංතිභේදයට කිසිදු උත්තරයක් නැති ගානය. අධ්‍යාපන විෂයෙහි විශාල අරගලයක් බවට එය පත්ව තිබේ. සමාජයක් හැටියට සද‌ාචාරමය වශයෙන් වූ පරාභවය ද අත්කරගෙන ඇත්තේ සීඝ්‍ර වර්ධනයකි. උදේ සවස පුවත්වලින් අසන්නට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය, මහාපරිමාණ මත්ද්‍රව්‍ය වෙළෙඳාම් ගැනය. ඒවා පසුපස ඇති දේශපාලන නෑසිය සම්බන්ධතා ගැනය. දේශපාලන විෂයෙහි ජනතා නියෝජිතයන්ගේ සුරුවිරුකම් බවට පත්ව ඇත්තේ ද පරාභව කතන්දරම මිස රටේ ප්‍රගතියට හේතුපාදක වන දෑ නොවේ. 

ඉතිහාසයේ කිසි කලෙක නොවූ පරිද්දෙන් රට කරවන තැන හෙවත් පාර්ලිමේන්තුව ගමේ චණ්ඩින්ගේ පොර පිටියක් බවට පත්වූයේ මෑත කාලයේය. මේ රට වැටී ඇති ආර්ථික අගාධයෙහි ප්‍රධාන සාධකයක් බවට දේශපාලකයන්ගේ වංචා දූෂණ ඇති බව ගණන් හිලව් හදමින් රට හමුවේ ඉදිරිපත් වෙමින් තිබේ. වේදිකාවල විසල් සටන් පාඨයක් වුව ද මේ මහා පරිමාණ තෝරු මෝරු නීතියේ රැහැනට ද හසුවන පාටක් නම් නැත. ඒවා අදිසි දූෂණ හෙවත් මනාව සංවිධිතව සිදුකළ දූෂණ වීම ඊට හේතුව යැයි දූෂණ මර්දන යාන්ත්‍රණවලින් කියනු ඇසේ. මේ සංවිධිතභාවයේ පසුපස සිටින්නෝ ද අවසන රාජ්‍ය පරිපාලන නිලධාරියෝය. එනයින් බලද්දී අවසන රට භක්ෂණය කිරීමේ තීරණාත්මක කාර්යභාරයට නිදහස් අධ්‍යාපන උරුමය ලද සුජාත දූ පුතුන් සැලකිය යුතු පිරිසක්ම සම්බන්ධ වීම උත්ප්‍රාසජනක යථාර්ථයකි. ශ්‍රී ලංකාව යනු අද වන විට මත්ද්‍රව්‍ය බෙද‌ාහැරීමේ මෙන්ම කළු සල්ලි සුදු කරන කලාපීය මධ්‍යස්ථානයක් වෙද්දී දේශපාලනය වංචාව දූෂණය සමඟ අත්‍යන්තයෙන් සම්බන්ධ විෂයක් බවට පත්ව තිබේ. දූෂණවිරෝධය මෑතකාලීන ජනවරමේ මුඛ්‍ය පොරොන්දුවක් ද වුවද අදටත් එය පවතින්නේ යථාර්ථයක් නොවී වේදිකාවලය. දූෂණයට එරෙහි ගෝලීය එකමුතුව වන ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය වාර්ෂිකව එළිදක්වන දූෂණ සංජානන දර්ශකයට අනුව 2018 වසරේදී පැහැදිළි ප‍්‍රගතියක් පෙන්නුම් කිරීමට ශ‍්‍රී ලංකාව සමත් වී නැත.  දූෂණයට එරෙහිව සටන් වදින බව පවසමින් ලබා ගත් ජනවරමට සහ බලයට පැමිණීමට පෙර ඉදිරිපත් කරන ලද දූෂණ විරෝධී ප‍්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියාකිරීම ඊට හේතුව හැටියට ඔවුහු දක්වා ඇත. ඉතින් 71 වැනි නිදහසේ කාහල නාදය අපට ඇසෙමින් තිබෙන්නේ නූතන ශ්‍රී ලාංකික රාජ්‍යයේ අවංකභාවයම ප්‍රශ්න කෙරෙන පරිසරයකය. එනිසා ජාතික දිනය අර්ථවත් ලෙස යොද‌ාගැනීමට දැන් අපට කරන්නට තිබෙන්නේ   වසර හැත්තෑ එකක් තිස්සේ ජාතියක් හැටියට අප අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ මොනවාදැයි ආපසු හැරී බලන තැනකට යාම බව අවසන අවධාරණය කරමි.