ඒකාබද්ධයට සිදුව ඇති දේ, නුවර සිද්ධියට රාජපක්ෂ පාර්ශ්වය වගකිව යුතුද? එ.ජා.ප යට පමණක් ඇඟිල්ල දිගු කරන්නේ ඇයි? අතුරුදන්වූවත් පිළිබඳව සොයනවාට විරුද්ධද? අගමැතිට එරෙහි විශ්වසභංගය යනාදී කරුණු සම්බන්ධයෙන් එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය - පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් පිම්බුන ඒකාබද්ධය දැන් හුළං බැහැල වගේ මොකද?
පිළිතුර - පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් වුණේ ඒකාබද්ධය පිම්බීමක් නෙමෙයි. ඒ ඡන්ද ප්‍රතිඵලයෙන් ලංකාවේ දේශපාලන ගමන් මඟ වෙනස් කරමින් සම්ප්‍රදායික දේශපාලන පක්‍ෂ සියල්ල දේශපාලන සුනාමියකට හසුකළා. ඒ සමගම නව ජාතික බලවේගයක් ඉපදීම පළාත් පාලන ඡන්දයෙන් වුණා. වසර 70,65,50 කට වැඩි ඉතිහාසයක් හිමි දේශපාලන පක්‍ෂවල සියලු ක්‍රියාමාර්ග හා ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරමින් අවුරුද්දයි මාස තුනක් වයසැති පොහොට්ටුව වටා මේ රටේ සියලු පිරිස් එක්වී ආණ්ඩුවට දැනෙන පාඩමක් උගැන්වීමට ජනතාව මතය ප්‍රකාශ කළා. තවම අලුත් බලවේගයක් නිර්මාණය වුණා පමණයි.

ප්‍රශ්නය - ඒ බලවේගය කොහෙද කියන එකයි අපි ප්‍රශ්න කරන්නේ?
පිළිතුර - මේ බලවේගය ඊට වඩා වැඩියෙන් වර්ධනය වීමට අවශ්‍ය පෙළගැසීම කිරීමට කටයුතු යොදා තිබෙනවා. වනසපු රට යළි ගොඩනගන ආකාරයත් රටේ අලුත් සංවර්ධනාත්මක ගමනක් ඉදිරියට ගෙනයාම පිළිබඳත් ජාතික වැඩසටහනක් ජනතාවට පැහැදිලි කර දීමත් රජයට විරුද්ධ ජනමතය මෝදුකිරීමත් අරමුණු කරගෙන සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන රැස්වීම් මාලාවක් අරඹන්න පක්‍ෂ නායකත්වය තීරණය කළා. එහි පළමු රැලිය මාර්තු 07 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. එහෙත් අවාසනාවන්ත ලෙස මහනුවර ඇති වූ ගැටුම හේතුවෙන් ඇතිවිය හැකි අහිතකර තත්ත්වය වැළැක්වීමේ අරමුණෙන් ඒ රැස්වීම කල් දැම්මා. ඉදිරියේදී ඒ රැස්වීම් මාලාව අරඹනවා. මැයි දිනයට ජනතාව පෙළගස්වනවා. අගමැති ප්‍රමුඛ රජයට විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම අරඹා තිබෙනවා.

ප්‍රශ්නය- නුවර සිද්ධිය ඇති වුණාද? ඇති කළාද?
පිළිතුර- පෞද්ගලිකව ඇති වූ සිද්ධියක්. පළාත් පාලන ඡන්දයෙන් පොහොට්ටුව ලැබූ ජය යටපත් කිරීමේ අරමුණෙන් ජාතිවාදී සිද්ධියකට පරිවර්තනය කිරීමට රාජ්‍ය අංශය යම් කිසි ඉඩප්‍රස්ථා කීපයක් ආණ්ඩුව සූක්‍ෂ්ම සහ සැලසුම් සහගතව නිර්මානය කළ බව මගේ අදහසයි. 1983 කළු ජූලිය ආරම්භවන අවස්ථාවේ ඇතිවූ සිද්ධිය ජාතිවාදී කෝලාහලයක් බවට පත්වෙන්නම එදා සිටි එ.ජා.ප පාලකයන් ඉඩ දුන්නා. ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීමට කටයුතු කළේ නැහැ. එහෙත් එහි වරද සම්පූර්ණයෙන් පැටෙව්වේ වෙනත් පක්‍ෂවලට, ජාතිවාදයට විරුද්ධව සිටි වමේ ව්‍යාපාර සිරගත කළා. ජ.වි.පෙ රහසිගතව වැඩ කරගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස අවාසනාවන්ත තත්ත්වයක් රටේ ඇති වුණා.
ඕනම ජාතිකයකු අතින් වාහන අනතුරු වෙන්න පුළුවන්. පොඩි පොඩි රණ්ඩු සරුවල් ඇති වෙනවා. එවැනි තත්ත්වයක් ජනවර්ග අතර ගැටුමක් ලෙස නිර්මානය කරන්න කුමන්ත්‍රණකාරී බලවේග එයට මැදිහත් වී ප්‍රචණ්ඩත්වය මුදාහරින තෙක් ආරක්ෂක අංශ අවශ්‍ය පියවර ගත්තේ නැහැ. එනිසා මේකට වග කියන්න ඕන නීතිය හා සාමය බාරව සිටි ආණ්ඩුවයි. 83 සිද්ධිය ආරම්භ වූ ආකාරයට බෙහෙවින්ම සමානවයි නුවර සිද්ධියත් ආරම්බ වුණේ. එ.ජා.පය මෙවනි වැඩවලට බොහොම දක්ෂයි.

ප්‍රශ්නය - මේ සිද්ධිය පිටුපස සිටියේ ඒකාබද්ධ නායකයන් නොවේද?
පිළිතුර - ගැටුම වළක්වන්න ඉදිරිපත් වූ අය පිට දැන් චෝදනාව පටවන්න හදනවා. මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්ත, මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරු පැහැදිලි ප්‍රකාශයක් රටට කළා ජාතිවාදී ගැටුම් අවුලුවන්න තමන් කටයුතු කළ බවට ඒ ප්‍රදේශවල මුස්ලිම් ජනයා කියනවා නම් පාර්ලිමේන්ුවෙන් ඉල්ලා අස්වෙන්න සූදානම් බව මේ මන්ත්‍රීවරු කිව්වා. මේ ගැටුම වළක්වාගන්න කල් ඇතිව මෙම මන්ත්‍රීවරුන් කටයුතු කළ බව පොලීසියේ උසස් නිලධාරීන් දන්නවා. 83 දී වගේම මෙවරත් ආණ්ඩුව ඇතුළේ ඉන්න දුෂ්ඨ බලවේග වරද ඒකාබද්ධය පිට පටවන්න උත්සාහයක් දරා තිබෙනවා. එය පිළිකුලෙන් පිළිකුල් කළ යුතු කාරණයක්. මහින්ද රාජපක්‍ෂ මැතිතුමත් ඒකාබද්ධයේ අපිත් පාර්ලිමේන්තුවෙන් ඉන් පිටතත් මෙවැනි ගැටුම් ඇති නොවන පරිසරයක් හදන්න අපට කළ හැකි දේ උපරිමයෙන් රජයට වඩා වැඩි වේගයකින් කළා. ඒ නිසා අපට නගන චෝදනා හුදු චෝදනාම පමණයි.

ප්‍රශ්නය - එ.ජා.ප ය දෙසට පමණක් ඇඟිල්ල දිගු කරන්නේ ඇයි? ශ්‍රී.ල.නි.පයත් ආණ්ඩුවේ ඉන්නවා. රටේ නායකයාත් එම පක්‍ෂයේම නේද?
පිළිතුර - තමන් මේ ආණ්ඩුවේ සිටියට මේක ඔවුන්ගේ ආණ්ඩුවක් නොවන බව චම්පික ඇමැතිවරයා කියනවා. ආර්ථිකය කළමනාකරණය, නීතිය හා සාමය බාරව ඉන්නේ එ.ජා.පයයි. ඒ බව ජනාධිපතිත් කියනවා. පසුගිය වසර තුනේ මේවායෙහි අරමුණු ඉටුකරන්න බැරිවූ බව රටේ  ප්‍රධානියා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ආණ්ඩුව ඇතුලේ අවුල් ජාලාවක් නිර්මාණය වෙලා. සාමූහික වගකීම කියා දෙයක් ඇත්තෙම නෑ.
රටේ ආර්ථිකය විනාශ කිරීම හේතු කරගෙන අගමැති ප්‍රමුඛව තිබූ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනාධිපතිතුමා පියවර ගත්තා. කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළා. එහෙත් ඒවා නොසලකා හරිමින් මේ කමිටුව රැස්වීම් දෙකක් පවත්වලා එ.ජා.ප.ය ජාත්‍යන්තර න්‍යාය පත්‍රය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. අතුරුදහන් වුවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අදාළ පනත සම්මත කිරීමේදී ඒ දිනයේදී ඡන්ද ලබාගන්නේ නැති බව කතානායකතුමා කිව්වා. ඒ නිසා අපි වෙනත් කටයුතුවලට ගියා. ශ්‍රී ලාංකිකයන්ට මේ පනත බලපාන්නේ නැති බවට සංශෝධන ගෙනෙන බව විෂයභාර ඇමැති ප්‍රකාශ කළා. එයට අපි එකඟ වෙන්නයි සිටියේ.

අවසානයේදී සංශෝධනත් නැතිව, නොපවත්වනවා කිව්ව ඡන්දය පැවැත්වූවා. එසේ මේ පනත සම්මත කරගෙන පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කළා. එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට හා ජාත්‍යන්තර වුවමනාවට දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම හැර වෙන කිසිදු ප්‍රශ්නයකට විසඳුම් දෙන්න ආණ්ඩුව සූදානම් නැහැ.

ප්‍රශ්නය - අතුරුදන් වූවන් පිළිබඳව සොයා බලනවාට ඔබලා ඔය තරම් අකැමැති ඇයි?
පිළිතුර - කිසිදු වරදක් නෑ. 1989 පටන් අතුරුදන් වූවන් පිළිබඳ සොයන්න ඕන. විවිධ සමාජ තරාතිරම්වල කොපමණ පිරිසක් අතුරුදන් වී සිටිනවාද? ඒ අය ගැනත් සොයන්න ඕන. හැබැයි මේ කරන්න හදන්නේ එහෙම සෙවීමක් නෙමෙයි. මේ රටේ කුරිරු යුද්ධය නැති කිරීමට තම ජීවිතය පරදුවට තබා වැඩ කළ රණවිරුවන්ට අභූත චෝදනා එල්ල කර ඔවුන් දංගෙඩියට යැවීමේ සැලැස්මයි මේ ක්‍රියාවට නැගෙන්නේ. ජාතිය මරණෙන් වළක්වා ගැනීමට කටයුතු කළ අයට දඬුවම් දීමේ න්‍යාය පත්‍රය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.

ප්‍රශ්නය - එහෙම කියන්නේ කොහොමද? රාජපක්ෂ පාලනයේ වැරැදිවලට රටම ජාත්‍යන්තර දංගෙඩියට ගෙනියන්න තිබූ අවස්ථාවෙන් බේරා ගත්තේ මේ ආණ්ඩුව නොවෙයිද?
පිළිතුර - ලංකාවේ මානව හිමිකම් සිදුවූ බවට චෝදනාව එවකට විදේශ ඇමැති මංගල සමරවීර මහතාගේ අත්සනින්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ ලෝකයේ එකම රට ලංකාවයි. මේක කළේ ඇමෙරිකාව එක්ක එකතු වෙලා. තමන්ගේ රටේ ආරක්ෂක හමුදා පාවාදෙන්න මෙහෙම කටයුතු කළ වෙන රටක් නැහැ. ඉතින් කොහොමද රට බේරාගත්තා වෙන්නේ. අද රණවිරුවන්ට දෙන්නේ පුදුම වදයක්. වීර විභූෂණ සම්මාන දිනපු රණවිරුවන් සිරගත කරලා. මේ රජය නිර්මාණය කර තිබෙන තත්ත්වය නිසා හමුදාව සහ පොලීසිය ඔවුන්ට දෙන නියෝග ක්‍රියාත්මක කිරීමේදී දෙසැරයක් සිතන තත්ත්වයට පත්වෙලා. නුවරදී වුණෙත් ඒක කියලයි අපට සිතෙන්නේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා නරක තැනකට තල්ලු වෙමින් සිටිනවා.

ප්‍රශ්නය - ඡන්ද ප්‍රතිඵලයත් සමග ආණ්ඩුව ගෙදර යවන්න සූදානම් වුණු ඒකාබද්ධයට ආණ්ඩුවේ මයිලක්වත් හොල්ලන්න බැරිවුණා නේද?
පිළිතුර - මයිල් හොල්ලන්න දෙයක් නෑ. අද ආණ්ඩුවක් නැහැනේ. රටම අරාජික වෙලා. තීරණ ගන්නේ කවුද? රාජ්‍ය යන්ත්‍රණය කඩාවැටිලා. මේ ආණ්ඩුවට තිබෙන පරම ආයුෂ තව දවස් 500 ක් වත් නෑ කියලා රාජ්‍ය යන්ත්‍රණයේ ඉහළ සිට පහළට සියලු නිලධාරීන් දන්නවා. උදේට වැඩට යන සේවකයා ලිපි ගොනු බලනවා. ඒවා ඉහළට යවනවා. හැබැයි තීරණ ගන්නේ නැහැ. සියල්ල ඇනහිටලා. අද රාජ්‍ය යාන්ත්‍රණය දුවන්නේ නැහැ. රජයේ නිලධාරීන් සියලුදෙනා හොරු, වංචාකාරයෝ, දූෂිතයෝ හැටියට ලේබල් අලවලා. ඔවුන් සෑහෙන පිරිසක් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා බංකුවල ඉන්දවා රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් තුට්ටු දෙකට දැම්මා. රාජ්‍ය සේවයෙන් මෙහෙම පලිගත්ත වෙනත් රජයක් නැහැ. ඇමැතිවරුන්ගේ චණ්ඩි කතා සහ මර්දනීය ක්‍රියාමාර්ග ගන්න උත්සහ දරන ඇමැතිවරු කීපදෙනෙක් විවිධ ප්‍රකාශ කරමින් සිටිනවා. මේවායෙන් තැතිගෙන සිටින ජනතාව බලා ඉන්නේ ඊළඟට එන්නේ මොන මැතිවරණයද කියලයි. මාර්තුවල පවත්වනවා කියූ පළාත් සභා ඡන්ද වහා පවත්වන්න. එවිට ජනතා ප්‍රසාදය වඩා හොඳින් තේරුම් ගන්න ලැබේවි.

ප්‍රශ්නය - අගමැතිට එරෙහි විශ්වාසභංගයත් නිකම්ම යටයාවිද? අත්සන් ගැනීම තවමත් අවුලක් නේද?
පිළිතුර - නැහැ. මීට කලින් මුදල් ඇමැතිවරයාට ඇතිවූ චෝදනා මත විශ්වාසභංග යෝජනාවක් අපි ගෙනාවා. එය විවාද කිරීමට කලින් ඔහු ඇමැති ධුරවලින් ඉල්ලා අස්වුණා. එහෙම ඇතිවුණෙත් විශ්වාසභංගවල ප්‍රතිඵල තමයි. ඒ වගේම අගමැතිවරයාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගයට ආණ්ඩුවේ පාර්ශවත් වෙනත් දේශපාලන සංවිධාන හා පාර්ශවත් පැහැදිලිව පෙළ ගැසෙනවා. දියත් කිරීමට යන දේශපාලන මර්දන කුමන්ත්‍රණය, පොලිස් රාජ්‍ය කුමන්ත්‍රණය පරාජය කිරීමට සියලුදෙනා පෙළ ගැසෙමින් සිටිනවා. අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමට බහුතරය පෙළගැසෙමින් සිටිනවා.

ප්‍රශ්නය - ඕකත් යෝජනාවක් හැටියටම පාර්ලිමේන්තුවේ තිබේවිද?
පිළිතුර - එහෙම වෙන්න බැහැ. දිනපතා මතුවන ජනතා විරෝධය යටපත් කරන්න බැහැ. රජය දෙන නියෝග පහළ මට්ටමෙන් ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් අනිවාර්යයෙන්ම ජනතා බලය රජවෙනවා. ජනතා බලය හමුවේ දරුණු ආඥාදායකයන් පවා පසුබැස ජනතා මතයට හිස නමා තිබෙනවා.

ප්‍රශ්නය - මේ විශ්වාසභංගයට හිටපු ජනාධිපතිවරයා අත්සන් කරනවද?
පිළිතුර - විශ්වාසභංගයට අවශ්‍ය අත්සන් නෙමෙයි ඡන්දයි. විශ්වාසභංගයක අත්සන් කිසිම අදාලත්වයක් නැහැ. විශ්වාසභංගය විවාද කර ඡන්දය විමසන අවස්ථාවේ ඡන්දය පාවිච්චියයි වැදගත් වෙන්නේ. එනිසා දේශපාලනික උපායික වශයෙන් බොහෝ අත්සන් පෙන්නන්නේ නැතිව ඉඳලා ඡන්දයේදී එය පෙන්නන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය - පළාත් පාලන ආයතන පිහිටුවීම දිනෙන් දින කල්යාම ගැන ඔබලාගේ ස්ථාවරය මොකද්ද?
පිළිතුර - මේ රටට විකාරරූපී දේවල් අළෙවි කිරීමේ ප්‍රතිඵල අද අපි බුක්ති විඳිනවා. මැතිවරණ කොමිසම පිහිටවූ ගමන් සියල්ල සුමටව තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ක්‍රියාත්මක වේවි කියල සිතුවා. කොමිෂන් සභා පත්කිරීම සියලු ප්‍රශ්නවලට ඒකායන විසඳුම ලෙස මේ ආණ්ඩුව දැක්කා. ඒ නිසා ඒ මන්ත්‍රය ජපකළා. අද කොමිෂන් දාලා ප්‍රතිඵල හරියට දීගන්න බැරිවෙලා. මැතිවරණ කොමසාරිස් ගිය ජනාධිපතිවරණයේදී කුංඡනාද පැවැත්වූවේ කොහොමද? දැන් එතුමාට මොකද්ද වෙලා තියෙන්නේ. ජනතාවට සෙප්පඩවිජ්ජා විසඳුම් ඉදිරිපත් කර ඔවුන් පඹගාලක පැටලිලා. මැතිවරණ කොමිසම පිහිටවූවාට පසුව අවුල් ජාලාවක් නිර්මාණය වෙලා. අද තිබෙන්නේ එහි ප්‍රතිඵලයි.