ජනාධිපතිවරයකු තෝරාගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් දින වකවානු සාකච්ඡා වෙමින් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් ධුරයේ බලතල අඩු කරන ලද අතර එයින් පසු අලුත් ප්‍රතිපාදන යටතේ පවත්වන පළමු ජනාධිපතිවරණය මෙය වනු ඇත. පාර්ලිමේන්තුවට වගකියන පාලන ක්‍රමයක් අපේක්ෂාවෙන් සංශෝධන ගණනාවක් කළේය. ඒවායෙන් ඇති කරන බලපෑම සියුම්ය. අතිශය ප්‍රබලය. ජනාධිපතිවරණයට තරග කිරීම ගැන දේශපාලන පක්ෂ අතර බලවත් උනන්දුවක් හටගෙන තිබේ. මෑත කාලීන සිද්ධි හෙයින් පොදු ජනතාව තුළ නොයෙක් මතිමතාන්තර ඇත. අලුතින් රට ගොඩනඟන නැවුම් බලාපොරොත්තු ඇති කරගනිමින් සිටී. එවැනි බලාපොරොත්තුවලට විධායක ජනාධිපති ධුරයකින් ලැබෙන පිටිවහල කෙසේද යන්න සලකා බැලීම අවශ්‍ය ය. නාමමාත්‍රික ජනාධිපති ධුරයක ස්වරූපය ගැන ජනතාවට යම් අවබෝධයක් තිබේ. පූර්ණ බලැති විධායක ජනාධිපති ක්‍රමය ගැන අත්දැකීම් ඇත. දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපති ධුරයේ බලතල හා ක්‍රියාත්මක වන ස්වභාවය ගැන යම් අධ්‍යයනයකට යොමු වීම වැදගත්ය. 

බලතල සීමාසහිත කරන වගන්ති 

විධායක ජනාධිපති ක්‍රමයක් රටට අවශ්‍ය නැති බව කියා පුරවැසියන් ප්‍රතික්ෂේප කර තිබේ ද යන්න විමර්ශනය කළ යුතුය. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙස මෙරට පොදු ජනතාව අතරින් ප්‍රකාශ වී නැත. ජනමත විචාරණයකින් හෝ වෙනයම් ක්‍රමයකින් තහවුරු වී නැති බව ද සඳහන් කළ යුතුය. එහෙත් පාලන ක්‍රමය ගැන වෙනස් අදහස් දරන ලිබරල් මතවාදී කණ්ඩායම් තනි පුද්ගලයකු අත අසීමිත බලයක් තිබීම සුදුසු නැති බව අවධාරණය කර තිබේ. නොයෙක් මතවාද ඉදිරියට ගෙනැවිත් ඇත. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමට පසු පවත්වන ලද සෑම ජනාධිපතිවරණයකදීම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට අවධාරණයක් තිබුණි. එහෙත් එකී පොරොන්දු ඉටු නොවිණ. විධායක බලය සහිත ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ව්‍යවස්ථා සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් අවශ්‍යය. ඉතා බලවත් ඕනෑකමක් තිබුණ වත්මන් පාලන කාලයේ දී පවා විධායක ක්‍රමය අහෝසි කරන ජනමත විචාරණයක් පවත්වන ධෛර්යයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකතුවී පිහිටුවාගත් සන්ධාන ආණ්ඩුවට නොතිබුණි. ව්‍යවස්ථා සංශෝධනය ගැන ශෙ`්්‍රෂ්ඨාධිකරණයෙන් ලැබුණ උපදෙස් අනුව ධුර කාල සීමාව කෙටි කිරීම, අපේක්ෂකයන්ගේ වයස් සීමාව, පුරවැසිභාවය ඇතුළු තවත් බලතල ගණනාවක් සම්බන්ධයෙන් පමණක් සංශෝධනය කරගෙන තිබේ.  

අමාත්‍ය මණ්ඩලය විසිර ගිය පසු බලතල

විධායක ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන්නා වශයෙන් දහනම වැනි සංශෝධනයේ දී ද පිළිගෙන තිබේ. කලින් පැවැති ආකාරයටම රජයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, ආණ්ඩුවේ හා සන්නද්ධ සේවාවල සේනාධිනායකයා ද වන බව නැවතත් තහවුරු කර තිබේ. එහෙත් යම් අවස්ථාවක කැබිනට් මණ්ඩලය විසිර ගිය ද තවදුරටත් ධුරය දරන බවට කලින් තිබුණ වගන්තිය සංශෝධනයේ දී ඉවත් කර ඇත. එයින් අදහස් කරන්නේ කැබිනට් මණ්ඩලයක් රහිතව එහි ප්‍රධානියා විය නොහැකි බවය. අනුව්‍යවස්ථාවකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන හා ආරක්ෂා කරන බව, ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම, කොමිෂන් සභා නිසි ක්‍රියාකාරීත්වය පහසු කිරීම හා මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි නිදහස් හා සාධාරණ ඡන්ද පැවැත්වීම සඳහා උචිත වාතාවරණය නිර්මාණය කිරීම කාර්යය වශයෙන් විශේෂයෙන් දක්වා තිබේ.  
ජනාධිපති ධුරයට තරග කිරීමට වසස අවුරුදු 35 සම්පූර්ණ කිරීම අවශ්‍යතාවක් බව දක්වා ඇති අතර එය කලින් තිබුණ වයස් සීමාවට වඩා අවුරුදු පහක් වැඩි කිරීමකි. ඉන් තරුණ, අත්දැකීම් රහිත අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඇතුළුවීම වළකයි. මෙම අදහස නරක නැත. අනෙක් අවධානයට ගත යුතු කාරණය වෙනත් රටක පුරවැසිභාවය ඇති ශ්‍රී ලාංකික පුරවැසියකුවීම නුසුදුසුකමක් සේ දහනම වැනි සංශෝධනයේ දී දැක්වීමයි. ඡන්ද පැවැත්වීමට සුදුසු වාතාවරණය තහවුරු කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බව මෙම සංශෝධනය අවධාරණය කරයි. පුරවැසිභාවය ගැන වගන්තිය, පටු පරමාර්ථයක් සහිතව කරන ලද සංශෝධනයකි. එහෙත් රට ගැන බැඳීමක් ඇති අනන්‍යතාවට ගරු කරන චරිතයක් තෝරා ගැනීම වඩා සුදුසු යැයි කල්පනා කරන්නේ නම් එය වරදක් නොවේ. 

දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ධුර කාලය අවුරුදු පහ දක්වා සීමා කිරීම අවධානයට ලක් විය යුතුය. ජනාධිපති ධුරය දරනු ලබන තාක්කල් සිවිල් හෝ අපරාධ නඩු පැවැරිය නොහැකි නමුත් නිල තත්ත්වයෙන් කරන ලද හෝ නොකරහරින ලද ක්‍රියා වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩු පැවැරිය හැකි බවට වගන්තිය සංශෝධනය කර තිබේ. ජනාධිපතිවරයාට හෝ ඔහු වෙනුවෙන් නීතිපතිවරයාට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ අවදානමකට අනාගත ජනාධිපතිවරයා මුහුණපාන බව පෙන්වාදිය යුතුව ඇත.   

අගමැතිගෙන් අහන ජනාධිපතිවරයෙක් 

අනාගතයේ දී පත්වන ජනාධිපතිවරයාගේ අභිලාෂ අගමැතිවරයාගේ අණසකට යටත්ය. එය දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී පැහැදිලිව දක්වා තිබේ. අමාත්‍ය මණ්ඩලය තිහක් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් හතළිහක් පමණක් පත් කළ හැකි අතර එම පත්වීම් කළ හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුවය. අග්‍රාමාත්‍යවරයා පත් කරන්නේ සංශෝධනයට කලින් පැවැති ආකාරයටම පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කරන මන්ත්‍රීවරයා බව දැක්වෙයි. ඇමැති මණ්ඩලය හා නියෝජ්‍ය ඇමැතිවරු පත් කිරීමේ දී අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි තීරණ ගන්නට නව ජනාධිපතිවරයාට සිදුවන නමුත් අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමේ දී ඍජුව තීරණ ගත හැකිය. ජනාධිපති හා අගමැති අතර ගැටුමක් ඇති හෝ සමීපභාවයක් නැති අවස්ථාවක අගමැතිවරයාට සිය අමාත්‍යවරුන්ට අවශ්‍ය දක්ෂ නිලධාරීන් තෝරා ගැනීමේ දී බාධා ඇති විය හැකිය. එය ව්‍යාකූල තත්ත්වයකි. ජනාධිපතිවරයාට අවශ්‍ය කරන ඇමැතිවරුන් පත් කළ නොහැකිවීම හා අමාත්‍යාංශයක ප්‍රධාන පරිපාලන නිලධාරීයා පත් කිරීමේ බලය ජනාධිපති සතුවීම මත අභ්‍යන්තර ගැටුම් ඇති විය හැකි අතර එය සංවර්ධන අභිලාෂ අඩාල කරන බව නිසැකය.  

වත්මන් ජනාධිපතිවරයාට ආරක්ෂක, මහවැලි සංවර්ධන හා පරිසර සංවර්ධනයට අදාළ අමාත්‍යාංශ හා ඊට අදාළ කාර්ය තමා යටතේ තබා ගැනීමට දී ඇති අතර දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අඩුම තරමින් හදිසි අවස්ථාවක දී අමාත්‍ය ධුරයක් හිස් වුවහොත් එය ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට අවස්ථාවක් නැත. 

අමාත්‍යංශයක් තමන් යටතේ තබා ගත නොහැකි ජනාධිපතිවරයාට කවර තත්ත්වයක් යටතේ දී පවා අගමැතිවරයා බලයෙන් පහ කිරීමට බලයක් නැත. කැබිනට් ඇමැතිවරයකු ධුරයෙන් පහ කළ නොහැකිය. ඇමැතිවරු ඉවත් කරන්නට කලින් අගමැතිවරයා ගේ උපදෙස් ලබා ගත යුතුය. අවම වශයෙන් වැඩ බැලීම සඳහා ඇමැති හෝ නියෝජ්‍ය ඇමැතිවරයකු පත් කිරීමේදී පවා අගමැතිගේ උපදෙස් අනුව හැර තීරණ ගැනීමට කිසිදු බලයක් ජනාධිපතිවරයාට නැත.  දහ නම වැනි සංශෝධනයෙන් ඇති කර ඇති පසුබිම එයයි. යම් හෙයකින් අනාගතයේ පත්වන ජනාධිපතිවරයකුට ආරක්ෂක අමාත්‍යාංශය හෝ වෙනත් කැබිනට් ඇමැති ධුරයක් ද රහිතව කැබිනට් මණ්ඩලය කැඳවීමට සිදුවෙයි. එහි දී උපදේශාත්මක කාර්යයක් හැර අනෙක් තීරණයක් ගැනීමට හැකියාවක් නැත. එය සෑහෙන අවධානයට ගත යුතු කාරණයකි. 

විසුරුවන බලය ගැන ව්‍යාකූලත්වයක්  

දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිම්න්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවට වගන්තියක් ඇතුළත්කර තිබේ. 32(2)(ඇ) යන වගන්තිය එය හතවුරු කර ඇත. එහෙත් 70(1) වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු පිරිසකගේ සම්මත වූ යෝජනාවකින් ඉල්ලා ඇත්නම් මිස පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා දින නියම කරන ලද දවසේ සිට වසර හතරහමාරක කාලයක් තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුතු බව ජනාධිපතිවරයාට නියම කර ඇත. මෙය ව්‍යාකූල තත්ත්වයක් බව සඳහන් කළ යුතුය. මෙයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වසරකට පසු ආණ්ඩුවක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබුණි. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් කතානායකවරයාට භාර දී තිබුණ අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවන බලය ජනාධිපතිවරයාට අහිමි වී තිබුණ බව පෙන්වා දිය යුතුය. එය යුක්ති සහගතය. තමන්ට අභියෝගයක් පැමිණි අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවීම සුදුසු නැත. එහෙත් කවර තත්ත්වයක් යටතේ පවා පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නට ඉඩ හරිනු හැර තීරණයක් ගත නොහැකිවීම විධායක ජනාධිපතිවරයාගේ බලතල බරපතළ සේ සීමා කිරීමකි. 

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හා ජනතාවගෙන් ඈත් කිරීම

 දහ නම වැනි සංශෝධනයට කලින් ජාතියේ හිත සුව පිණිස වහා අවශ්‍යවන්නාවූ පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමේ බලය තිබුණේ ජනාධිපතිවරයාටය. එහෙත් මෙම අනුව්‍යවස්ථාව ඉවත් කර තිබේ. එහෙයින් ඇමැතිවරයකුට පවා අග්‍ර විනිශ්චයකාරවරයාගෙන් විශේෂ තීරණයක් ඉල්ලා සිටිය හැකි දැයි පැහැදිලි නැත. පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප වන අවස්ථාවක පනතක් සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ බලය ව්‍යවස්ථාවට අදාළ කාරණයක දී හැර ජනාධිපතිවරයාට සම්පූර්ණයෙන්ම තිබුණ නමුත් එය ද අහෝසි කර තිබේ.  

අග්‍ර විනිශ්චයකාර හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා හා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් සහ අධිකරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන් පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිත අවස්ථාවක දී හැර ජනාධිපතිවරයාට කිසිදු හැකියාවක් නැත. නීතිපති, විගණාකාධිපති, පොලිස්පති, ඔම්බුඞ්ස්මන් සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පත් කිරීමේ දී ද බලතල ව්‍යවස්ථා සභාවේ නිර්දේශවලට යටත්කර තිබේ. ව්‍යවස්ථා සභාවට ඇති බලය කොපමණ ද යත් ජනාධිපතිවරයා නිර්දේශ අනුගමනය කළ යුතු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ ලැබී දින දහ හතරක් ඇතුළත පත් නොකළහොත් එම කාල සීමාව අවසානයේ දී නිර්දේශ කරන ලද අයවලුන් පත් කරනු ලැබූවන් සේ සලකන බවට ව්‍යවස්ථාව සංශෝධනය කර ඇත. මෙවැනි අවස්ථාවක ජනාධිපතිවරයාගේ ස්වභාවය නාමික තනතුරක් පමණක් බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.  

මෙයට අමතරව විශේෂ තත්ත්වයක් ද තිබේ. ස්වභාවය අනුව ත්‍රිවිධ හමුදා හා පොලිසිය රජයේ දෙපාර්තමේන්තු ගණයේ ලා සැලකෙයි. ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් පත් කරන්නට හෝ ඉවත් කරන්නට දහනම වැනි ව්‍යස්ථාව අනුව ජනාධිපතිවරයාට බලය ඇති නමුත් පොලිස්පති ඉවත් කළ නොහැකිය. පොලිස්පති ධුරය ජනාධිපතිවරයාට හෝ වෙනස් කළ නොහැකි සුවිශේෂී බලතල ඇති තැනක් බවට පත් කර තිබේ. එය ඉතාම ව්‍යාකූලය. වර්තමානයේ පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට සිදුවී ඇත්තේ හා එයට එරෙහිව මානව හිමිකම් නඩුවක් පැවැරීමට අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයාට හැකිවී ඇත්තේ මෙම බලවත් ව්‍යාකූලත්වය අනුවය. රටක යුද්ධය හෝ සාමය ප්‍රකාශයට පත් කළ හැකි විධායක ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි පොලිස්පතිවරයා වෙනස් කළ නොහැකිවීම ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති පත් කරගන්නේ මුළු රටක්, මුළුමහත් ජනතාවක් ඡන්දය පාවිච්චි කිරීමෙන් පසුය. වැඩ කරන බලය ජනතාව ජනාධිපතිවරයාට දී තිබේ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ උතුම් ලක්ෂණයකි. අගමැතිවරයා පත් කරන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුවය. ජනතාවගෙන් වරම් ලැබූ විධායක ජනාධිපතිට වඩා බලයක් අගමැතිවරයාට ලැබීම සලකා බැලිය යුතු තත්ත්වයකි. දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් සභා සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන අවස්ථාවක පළාත් සභාවලට තනි බලයක් ලැබෙන වාතාවරණයක් නිර්මාණය විය හැකි බව ද පෙන්වා දිය යුතුව තිබේ.  

දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය විශ්ලේෂණාත්මකව සිතා දූරදර්ශීව කරන ලද එකක් බව පෙනෙන්නේ නැත. අද වන විට රට තුළ පවතින ගැටලු සහගත පරිපාලන දෝෂ සෑහෙන ප්‍රමාණයකට මෙම සංශෝධනය වගකිව යුතුය. ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු රටට යහපතක් ඇති නොකරන බව පෙනේ. අගමැතිවරයා ඉවත්කිරීම වෙනත් අගමැතිවරයකු පත් කිරීම බරපතළ ප්‍රශ්න ඇති කළේය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුලුනු වශයෙන් දැක්විය හැකිය. ව්‍යවස්ථාදායකය නීති සකස් කරයි. අධිකරණය ඉහළින් ඇති ආයතනයක් නොවේ. ව්‍යස්ථාදායකය හා විධායකය අතර ගැටුමක් ඇතිකරගෙන එය සම්බන්ධයෙන් අධිකරණයෙන් තීරණයක් ඉල්ලා සිටින තැනට පත්වීම ඉතා නරක පූර්වාදර්ශයකි. අධිකරණයට නැති බලයක් ආරෝපණය කළේය.  

අර්බුද ලිහන්න අලුතින් හිතන්න 

අලුත් රටක් හදන්නට නම් ව්‍යවස්ථාවේ ඇති අර්බුදය ලිහා ගන්නට අවශ්‍යය. සමාජ එකඟතාව ඇතිකර රට එක්සේසත් කරන්නට නම් පාලනයේ වගකිවයුතු අංශ අතර සමගිය හා සමාදානය අවශ්‍යය. බලතල නිසි සේ නිර්වචනය කළ යුතුය. රටක් ඡන්දය දෙන විධායක ජනාධිපතිවරයකුගේ බලය සීමා කිරීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වනු ඇතැයි කල්පනා කළේ නම් එහි ඇත්ත යුත්ත තේරුම් ගැනීමට අද පවතින පසුබිම හොඳටම ප්‍රමාණවත්ය.  

අනාගතයේ දී රටක ප්‍රධානියා විය යුතු විධායක බලය ඇති එක පුද්ගලයෙක්ද? නොඑසේනම් පාර්ලිමේන්තුවට එම සම්පූර්ණ බලය පවරා ජනාධිපති ධුරය නාමික එකක් බවට පත් කරන්නේ ද යන්න තීරණය කළ යුතුය. විධායක ජනාධිපති ක්‍රමයක් නඩත්තු කරන නමුත් ඔහුට ඇමැතිවරයකු හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියකු පත් කරගත නොහැකි නම් එයින් අපේක්ෂා කරන ප්‍රතිඵලය කුමක්ද? රට වැසියන් සියලු දෙනා එකතු වී ජනාධිපතිවරයෙකු පත් කරගත යුතු ඇයි? එය විශාල ධන නාස්තියක් හා අර්ථයක් රහිත තත්ත්වයකි. 

ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් පවත්වන පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබේ. දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවල දී රටේ අනාගත පාලන ව්‍යුහය සම්බන්ධයෙන් සම්පූර්ණ ව්‍යවස්ථා යෝජනාවලියක් ජනතාව හමුවේ තැබිය යුතුය. දහ නම වැනි සංශෝධනය අනුව අර්බුදයක් මතු වී තිබේ. එය විසඳන්නට අවශ්‍ය ය. විසඳන්නේ කෙසේද යන්න විවෘතව ජනතාවට පෙන්වා දිය යුතුය. ජනාධිපති ඡන්දයෙන් දිනන්නට සූදානම් වන සෑම අපේක්ෂකයකුම ව්‍යවස්ථාවේ අනාගතය ගැන සිය සැලැස්ම ජනතාවට ඉදිරිපත් කිරීම සුදුසුය. මෙරට ව්‍යවස්ථාව සංශෝධන කරන්නේ පුද්ගලයකුට පවතින්නටය. නැත්නම් අනෙක් කණ්ඩායමක් කොන්කරන්නටය. එය මෑත ඉතිහාසයේ ව්‍යවස්ථා සංශෝධන කරන ලද පටු ආකාරය ගැන අධ්‍යයනය කරන විට පැහැදිලි වන කරුණකි. 

ජන වරම අනුව අලුත් ව්‍යවස්ථාවක් සකස් කරගන්නා ව්‍යුහයක් ඇතිකළ යුතුව තිබේ. විධායක ජනාධිපති ක්‍රමය අනවශ්‍ය යැයි තීරණය කරන්නේ නම් එය පැත්තකට කර ව්‍යවස්ථාදායකයට සම්පූර්ණ බලය ලැබෙන ක්‍රමයකට රට මාරු විය යුතු බව ඉතාම පැහැදිලිය. සමානුපාත ඡන්ද ක්‍රමය, සුළු පක්ෂවල අනාගතය ඒවායෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ලැබෙන පිටිවහල ගැන දීර්ඝ ලෙස සාකච්ඡාකර එකඟතාවලට එන්නට අවශ්‍යය. පළාත් සභා ක්‍රමයක් රටට අවශ්‍ය ද යන්න පවා තීරණය කළ හැකිය. අස්ථාවර ආණ්ඩු, බලය නැති විධායකය, ජනතා ආශීර්වාදයක් නැති පූර්ණ බලය සහිත කොමිෂන් සභාවලින් ඇති කරන ලද ව්‍යාකූල පැති ගැන දිගින් දිගටම සාකච්ඡා කර තීරණ අලුත් ගැනීමට සමස්ත ජනතාව එකතු විය යුතුව තිබේ. මේවා ගැන විවෘත සාකච්ඡාවලින් තීරණ ගැනීම අවශ්‍ය ය.