කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය
ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වයස අවුරුදු හැත්තෑ එකකි. පාර්ලිමේන්තුව වනාහි නූතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ආයතනය ය. එනම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රකාශයට පත්වන උත්තරීතර ආයතනය යි. රටක ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය වන්නේත් ක්‍රියාවට නැඟෙන්නේත් පාර්ලිමේන්තුව හරහා ය. එහෙත් ඒ සංකල්ප ලෝකයේ ය. ඇත්ත ප්‍රයෝගික ලෝකයේ අපට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ආයතනයක් නොව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකි. ආයතනයක සහ ගොඩනැගිල්ලක වෙනස ඔබට අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු යැයි නොසිතමි. ආයතනයක් නැති ගොඩනැගිල්ලක් වනාහි නිකම්ම නිකම් හිස් ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ලක් ආයතනයක් වෙන්නේ අදාළ ආයතනයේ ප්‍රතිපත්ති, අරමුණු සහ වැඩපිළිවෙළවල් ඒ ගොඩනැගිල්ල තුළ ක්‍රියාත්මක වනවා නම් පමණි. එහෙම නැති, එක එක විකාර නටමින් මිනිසුන් පිරී සිටින නමට පමණක් ආයතන මේ රටේ බොහෝය. ඒ අර්ථයෙන් බැලූවිට මේ රටේ අපට ඇත්තේ පාර්ලිමේන්තුව යැයි නම් කරන ලද ගොඩනැගිල්ලක් මිස පාර්ලිමේන්තුව නම් වූ ආයතනයක් නොවේ.

‘කිවිදා දැක්ම’ ලිපි මාලාව තුළ කලක සිට මා අවධාරණය කළ කරුණක් වූයේ 1931 සිට මේ රටේ ජනයා පාලකයන්ට ආණ්ඩු තනා දුන්නා මිසක තමන්ලාට කියා රාජ්‍යයක් තනා ගත්තේ නැත යන්නය. දැන් සිදුවන දේවල්වලට අනුව අවධාරණය කළ යුතු තවත් වැදගත් අදහසක් නම් මේ රටේ ජනතාව පාලකයන්ට ආණ්ඩු සහ ඔවුන්ට රැස්වන්නට පාර්ලිමේන්තුව නම් වූ ගොඩනැගිල්ලක් තනා දුන්නා මිස තමන්ලාට කියා පාර්ලිමේන්තු ආයතනයක්, සම්ප්‍රදායක් සාදා ගත්තේ නැත යන්න ය. ඒ නිසා ආණ්ඩුවත් ජනතාවගේ නොවේ, පාර්ලිමේන්තුවත් ජනතාවගේ නොවේය. මන්ද පවත්නා පාර්ලිමේන්තුව තුළින් ප්‍රකාශ වන්නේ ජන මතයවත් ජන අභිලාෂවත් නොව පාලකයන් ට වාසියට අදාළව හිතන පතන දේ පමණක් වීම ය. ඒ අනුව ජනතා නියෝජනය පැත්තෙන් බැලුවත්, ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලුවත්, ජනතා පරමාධිපත්‍යය පැත්තෙන් බැලුවත් අපට ඇත්තේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් මිස පාර්ලිමේන්තුවක් නම් නොවේ ම ය. මෙරට පාලකයන් ළඟ ළඟ පෙළ ගස්සවන ලද උදාහරණ මාලාවක් හරහා ඒ බව අපට පසක් කරවමින් සිටී.

1975 දී කල් ඉකුත් විය යුතු පාර්ලිමේන්තුව 1977 දක්වා ඇදගෙන ආ අයත් 1982 කල් ඉකුත් විය යුතු පාර්ලිමේන්තුව 1988 දක්වා ඇදගෙන ආ අයත් පාර්ලිමේන්තුව හුදු ගොඩනැගිල්ලක් බවට පත් කිරීමේ කාර්යය ආරම්භ කිරීමේ ගෞරවය ට සමානව අයිතිවාසිකම් කියන්නන් බව සත්‍යයකි. එහෙත් එය පරිපූර්ණත්වයට පත් කළේ 2015 සිට පාලන බලය හොබවන ආණ්ඩුව ය. මන්ද මුලින් කී පාලකයන් පාර්ලිමේන්තුවේ අභ්‍යන්තරයට කළ හානිය දෙවෙනි කරමින් ඇති දැවැන්ත අභ්‍යන්තර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එහි ආයතනික ගුණය ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදාය මුළුමනින්ම විනාශ කර දැමීමට 2015 පාලක කණ්ඩායම සමත් වී ඇති හෙයිනි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ඒ බිහිසුණු ප්‍රහාරයේ රූප රාමු යළි සිහියට නඟා ගනිමු.

2015 ජනවාරි මස 8 වැනි දා පැවැත්වුණේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නොවේ. එහෙත් 9 වැනිදා නව ජනාධිපති දිවුරුම් දුන් මොහොතේම අගමැතිවරයෙක් ද දිවුරුම් දුන්නේ ය. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැති ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළයුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ප්‍රසාදය දිනාගත් තැනැත්තාය. එහෙත් එදා පත්කරනු ලැබූ අගමැතිවරයාගේ පක්ෂයට සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 42ක් පමණි. පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයට ලැබුණේ විපක්ෂය සහ එහි නායකකම ය.

2015 අගෝස්තු මස පැවැති පාර්ලිමේන්තු මැතිවරණය සිහියට නගා ගතහොත් එහිදී පාර්ලිමේන්තුවේ ආසන වැඩි (එහෙත් දෙකෙන් එකකට වඩා අඩු) ගණනක් දිනා ගත්තේ එක්සත් ජාතික පෙරමුණය. එනම් ආසන 106 කි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව අගමැතිකම එම පෙරමුණට ලබා දීම ගැටලුවක් නොවේ. එහෙත් අර්බුදය මතුවන්නේ විපක්ෂ නායකකම සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ලබා දීමේ දී ය. එක්සත් ජාතික පෙරමුණට පසු වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ය. එම ගණන 95කි. ඊට පසු ඉලංගෙයි තමිල් අරසු කච්චි (ද්‍රවිඩ ජාතික සන්ධානය) ආසන 16ක් ද ජනතා විමුක්ති පෙරමුණ ආසන 6ක් ද ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 1ක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 1ක් ද ලබා ගෙන තිබුණේ ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පිරිසක් ආණ්ඩුව සමඟ එකතු වූ පසු, ඉන් විපක්ෂයේ ඉතුරු වූ ගණන 53 කි. ඒ ගණන ද ඉතිරි විපක්ෂයේ පක්ෂ සියල්ල සතු ආසන ගණන වන 25 ට වඩා 28 කින් වැඩිය. එහෙත් විපක්ෂ නායකකම පිරිනැමුණේ ආසන 53 ක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොව 16ක් හිමි ද්‍රවිඩ ජාතික සන්ධානයට ය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ලබා දුන්නේ ආසන 6ක් හිමි ජනතා විමුක්ති පෙරමුණට ය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂ නායකකම ලබා නොදුන්නේ එම සන්ධානය හවුල් ආණ්ඩුව සමඟ සන්ධානගත වූ නිසා ය යන්න මත පදනම් වූ නෛතික කාරණයක් නිසා යැයි පාර්ලිමේන්තුව තුළ කතානායකවරයා සහ ජවිපෙ නායකයා මතු කරන තර්කය යුක්ති සහගත හෝ සාධාරණ එකක් නොවේ. නීතියත් පාර්ලිමේන්තුවත් ක්‍රියා කළ යුත්තේ යුක්තිසහගත බවේ සහ සාධාරණත්වයේ මූලධර්මය මත පදනම්ව ය. ප්‍රජාතන්ත්‍රවාදයේ හරය නැතහොත් හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව ය. ජනතා පරමාධිපත්‍යය ට සහ ජනමතයට අනුකූලව ය. මේ වන විට ආසන 70ක් ඇති ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ නිල පක්ෂයක් නොවේ යැයි කීම තුළ ඇත්තේ දේශපාලන සටකපට කමක් මිස නීතියේ ආධිපත්‍යය අන් හැමටම වඩා උත්තරීතර යැයි කීම හෝ ඊට අවනත වීම නොවන බව නම් මේ වනවිට සැඟවිය හැකි රහසක් නොවේ.

දෙමළ නායකයකු විපක්ෂ නායකයකු වීම ඉතා හොඳ දෙයක් නොවේද? එය වාර්ගික සමගියටත් උපකාරී නොවේද? ව්‍යවස්ථා සංශෝධන වැඩේටත් හොඳයි නේද? යන අදහස මතු කරන අය ද වෙති. එහි ඇති ගැටලුවක් නැත. එහෙත් මෙතැන ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි. ඒ සියලු තර්ක ගෙන එන්නේ ඒ ආකාරයේ සද් චේතනාවෙන් නොව ප්‍රතිවාදී බලවේගයකට බල පංගුවක් යෑම වැළැක්වීම සඳහා ය. එය වනාහි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයටත් සම්ප්‍රදායටත් අතුල් පහරකි.

මේ නිසා දැන් ඇත්තේ විකෘතියකි. පාර්ලිමේන්තුව තුළින් ප්‍රකාශයට පත්විය යුත්තේ ජනමතය සහ ජන සමාජයේ බලතුලනය යි. එහෙත් දැන් ඒ දෙකම වෙන්නේ නැත. සැබෑ විපක්ෂයක් පාර්ලිමේන්තුව තුළ සිටීම නො ඉවසන තැනක කුමන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ද? කුමන පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ද?

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීන් ට විපක්ෂ නායකකම විහිළුවකි. ඒ විහිළුකාරයන්ට මයික්‍රෆෝන සහ කැමරා නොඅල්ලා සිටින්නට මාධ්‍යකරුවන් වග බලා ගන්නේ නම් ඉන් ජන සමාජයට යහපතක් මිස අවැඩක් නම් සිදුවන්නේ නැත. එක පැත්තකින් බලන විට ඒ විහිළු කතාවලින් පෙනී යන්නේ ඒකාබද්ධයේ දේශපාලන විසිරීම ය. එහි ඇති අපරිණතකම ය. 2015 ජනවාරියේ දී කරබාගෙන විපක්ෂයේ වාඩි වුණෙත් ඒ අපරිණතකම නිසාමය.

මහා පුදුමය වන්නේ 2015 දී මහා දිදුලන ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කෑ ගැසූ බුද්ධිමතුන්ට සහ සිවිල් සමාජ බලවතුන්ට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ට සිදුවෙමින් පවතින මේ මහා විනාශය නොපෙනීමය. එහි තවත් අරුමයක් නම් විසිවැනි හෝ වෙනත් කුමන හෝ සංශෝධනයක් මගින් ජනාධිපතිගේ බලතල කප්පාදු කොට ඒ බලය ලබා දෙන්නට හදන පාර්ලිමේන්තුව මුළුමනින්ම අර්ථයක් නැති හිස් ගොඩනැගිල්ලක් පමණක් බවට පත් වී තිබීම මොවුන්ට නොපෙනීම හෝ පෙනුණත් ඒ ගැන වගේ වගක් නැති වීම ය. ඒ ගැන නොතකා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සහ ඒ බලය පාර්ලිමේන්තුවට ලබා දීමේ කාර්යයේ නිරතව සිටින අය ගොතන තර්ක ද විසිතුරුය.

මෙරට බුද්ධිමතුන්ට ශ්‍රී ලංකාවේ ජනාධිපති ක්‍රමය පැරණි වැඩවසම් රාජාණ්ඩු ක්‍රමයේ අඛණ්ඩතාව පෙන්නුම් කරන්නක් ය. ඔවුන්ට අනුව පාර්ලිමේන්තුව සම්භාව්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රති-තීසිසය ය. නිදසුන් ලෙස ගත හැකි ලෝකයේ වෙනත් රටවල ඇති ජනාධිපති ආණ්ඩුක්‍රම පෙනෙන්නේ නැත. ඇමරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය ද ජනාධිපති ක්‍රමය සහිත රටවල් ය. න්‍යායිකව නම් ඒවා පරිපූර්ණ ජනාධිපති ක්‍රම ඇති රටවල්ය. මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු ක්‍රමය ද තම රාජ්‍ය පාලනයේ කේන්ද්‍රය ලෙස පැරණි රාජාණ්ඩු ක්‍රමයේ රූපික අඛණ්ඩතාවක් නඩත්තු කරයි. එහෙත් එම රටවල ඇති දේශපාලන අර්බුද ඒවායේ ජනාධිපති ක්‍රමය හෝ රාජාණ්ඩු කේන්ද්‍රීය පාර්ලිමේන්තු ක්‍රමය නිසා සිදුවන්නක් බවට චෝදනා නැඟෙන්නේ නැත. ඔවුන් අර්බුද සඳහා බලපාන නියම හේතු සොයා ගනිති. යතුර වැටුණ තැන ට එළියක් ගෙනවුත් එය සොයනවා මිස එළිය ඇති තැනකට ගොස් යතුරු සොයන්නේ නැත. මේ රටේ බුද්ධිමතුන් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් යතුර සොයන්නේ වැටුණ තැන නොව එළිය වැටී ඇති තැනකය. ඒ නිසා කෝකටත් හේතුව ජනාධිපති ක්‍රමය ය. නොහැකියාව වසා ගනිමින් හැංගෙන්නට උත්සාහ කරන්නේ ආයතනයක් නොවන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇතුළේ ය.

ඇත්ත වශයෙන්ම නම් මේ මොහොතේ මේ රටේ ප්‍රශ්නය තියෙන්නේ ජනාධිපති ක්‍රමය තුළ නොව පාර්ලිමේන්තු ක්‍රමය තුළ ය. සංශෝධනය විය යුත්තේ සැකසිය යුත්තේ සහ විධිමත් කළ යුත්තේ පාර්ලිමේන්තුව ය. රට ට කරුමයක් වී ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සහ එහි ලගින්නන් නඩත්තු කිරීමට යන ‘වැයට’ සාපේක්ෂව මේ රට ට ලැබෙන ‘අය’ කුමක් ද? මේ රටේ ජනයා අතිශයින් ම අසරණය. එක පැත්තකින් පාර්ලිමේන්තුකාරයන්ගේ හිතුවක්කාරකම් සහ නොපනත්කම් ය. තවත් පැත්තකින් බලපුළුවන්කාරකම් ඇති වෘත්තීයකාරයන්ගේ වර්ජන සහ පීඩා ය. පාර්ලිමේන්තුකාරයන් ජනයාට සහ ජනමතය ට පාට් දාන්නෙත් රේල්ලුකාරයන් ජනයා මහ මඟට ඇද දමන්නේත් හිතෙන හිතෙන තාලෙට හිතෙන හිතෙන වෙලාවට ය. ගැලවීම කොතැන ද?