මායාවක් යනුවෙන් අදහස් වන්නේ කිසිවක් හෝ කිසිවකු පිළිබඳ සාවද්‍ය අදහසක්, රැවැටීමක් හෝ විශ්වාසයක් හෝ වෙතැ යි ශබ්දකෝෂ කතුවරයෝ පවසති. මායා හඹා යාමෙහි ප්‍රතිඵලය බොහෝ විට සාධනීය නො වේ. නැතහොත් අපේක්ෂිත ප්‍රතිඵලය ගෙන දෙන්නේ නැත. එහෙත් ඒ වනවිට හානිය, විපත සිදුව හමාරය. නිදසුනක් වශයෙන් දැවැන්ත ලාභ ගෙන දෙතැයි පොරොන්දු වන විවිධ “පිරැමීඩ” යෝජනා ගන්න. නැතහොත් සක්විති ආයෝජන ගන්න. මායා හඹා යාම පුද්ගලයන් විසින් පමණක් නොව කණ්ඩායම් හෝ සමස්ත ප්‍රජා විසින් හෝ කරන්නට පුළුවන. මායාවලට ඇබ්බැහි වූවෝ හෝ මායා හඹා යන්නෝ අපේක්ෂා භංගයට පත් වෙත්. එහි ප්‍රතිඵලය වෙනත් මායාවක් හඹා යාම වුව විය හැකිය.

යහපාලන ආණ්ඩුව පත් කරන්නට ඡන්දය දුන් බොහෝ දෙනා අද අපේක්ෂා භංගත්වයට පත් ව සිටිත්. ඇතැම්හු ගැලැවුම්කාරයකු හෝ ජනප්‍රවාදයකින් දක්වතොත් දියසේන කුමාරයකු හෝ සොයත්. වෙනත් අය හිට්ලර් හෝ ප්‍රභාකරන් හෝ බඳු ඒකාධිපතියකු වුව පිළිගන්නට කැමැතිය හ. ඔවුනට වැඩි ඈත බැලීම නුවුවමනා ය. පන්සලක, පල්ලියක හෝ සතිඅන්ත පොළවල හෝ වෙන යම් තැනක හෝ පවත්වන උත්සවයක් උත්සවයක් පාසා කෝකටත් තෛලය අලෙවි කරන තෙල් බෙහෙත්කාරයන් මෙන් දේශපාලන වෙළෙඳපොළෙහි සකලවිධ ව්‍යාධි සුව කරන්නට පොරොන්දු වන වෙළෙන්දෝ සිටිත්.

වර්තමාන පාර්ලිමේන්තුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරතැ යි සිතිය නොහැකි ය. ප්‍රධාන පක්ෂ එම ධුරයට ගිජුකමක් දක්වන හෙයිනි. එහෙයින් මීළඟ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන්නට සිය කැමැත්ත ප්‍රභූහු කිහිප පොළක් විසින් ම ඍජුව හෝ වක්‍රව හෝ මේ වනවිට පළ කැරැ සිටිත්. ඔවුන් අතර රාජපක්ෂ සහෝදරවරු - මහින්ද, ගෝඨාභය, බැසිල්, චමල් පෙරමුණෙහි ම වෙත්. ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් ද තරගයට ලකලැහැස්ති වනු පෙනේ. කැබිනට් ඇමැතිවරු කිහිප දෙනෙක් ද අපේක්ෂක පෝලිමට එක් ව සිටිත්. සිය ප්‍රතිරූපය හුවා දැක්වීමට විශේෂ ව්‍යාපෘති පවා ඇතැම් ඇමැතිවරුන් අරඹා ඇත්තේ ඒ නිසා විය යුතු ය. කුඩා පක්ෂ අපේක්ෂකයන් ද තරග වදින්නට පිළිවනි. හැරත් ප්‍රතිවාදීන්ගේ ඡන්ද කඩන්නට ප්‍රබල අපේක්ෂකයන් ම එවන පිල්ලි ද සටන් බිමට එකතු විය හැකි ය. වසර 2015 දී මෙන් විස්මිත පොදු අපේක්ෂකයකු වුව ඉදිරිපත් වීමෙහි හැකියාව බැහැර කළ නොහේ. දොර මුළුමනින්ම විවෘත ය. 

මෙසේ පුද්ගලයන් පිටුපස හඹා යාම එක් සාවද්‍ය මතයක ප්‍රතිඵලයකි. එනම්, වර්තමාන සහ අතීත ආණ්ඩු අසමත් වූයේ පුද්ගලයන්ගේ වරදින් හෝ අඩුපාඩු නිසා බව ය. නැත. පසුගිය වසර හැත්තෑවක අසමත් වීම් වෙනුවෙන් ඔවුන්ට කෙතරම් දොස් පැවැරුව ද ඒවා ඇති වූයේ පවත්නා ආර්ථික සහ දේශපාලන ක්‍රමයෙහි ස්වභාවය හේතුවෙනි. පුද්ගලයන් සමත්වන්නේ ආන්තික වශයෙන් තත්ත්වයෙහි ධන හෝ ඍණ වෙනසක් ඇති කැරීමට පමණකි.
අපේ අතිරික්ත නිෂ්පාදිතය යටත්විජිත මවුබිමට රැගෙන ගිය යටත්විජිත ආර්ථිකයට වත් පශ්චාත් 1956 ප්‍රතිසංස්කරණවලට වත් ඇති නැති පරතරයෙහි යහපත් සාධනීය වෙනසක් ඇති කළ නොහැකි විය. පොහොසතුන් වඩා පොහොසත් වූ අතර දුප්පත්හු වඩා දුප්පත් වූ හ. නායකයන්ගේ සමත් අසමත්කම් කුමක් වුව ද හැම ආණ්ඩුවක් යටතේම ඇති නැති අය අතර පරතරය පුළුල්ව ඇත. වසර 1977 දී විවෘත ආර්ථිකයෙහි සහ නව ලිබරල් ප්‍රතිසංස්කරණවලට ආගමනයෙන් පසු තත්ත්වය වඩාත් නරක් විය. එවක් පටන් අද දක්වාම පැවැති හා පවත්නා එකම ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ එය ය.

දේශපාලනය යනු ආර්ථිකයෙහි සංනේක්ද්‍රිත ස්වරූපයකැ යි කියනු ලැබේ. විප්ලව තුළින් බිහිවන ඒවා හැරෙන්නට දේශපාලන තන්ත්‍රය අනිවාර්යයෙන් ම ආධිපත්‍යධාරී ආර්ථික සම්බන්ධතා අනුව හැඩ ගැසෙයි. එහෙයින් මූලික ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තිය නව ලිබරල්වාදීව රැඳෙන තාක් සහ එබැවින්ම කවර නමකින් හැඳින්වුව ද ගෝලීය ඒකාධිකාර ප්‍රාග්ධනයට යටහත්ව පවත්නා තාක් විසමතා සහ අඩුපාඩු දිගටම පවතිනු ඇත. ධනය සහ දරිද්‍රතාව ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයන්හි ඒකරාශි වනු ඇත. බහුලව පැතිරුණු තවත් මායාවක් වෙයි. එනම්, සකල ව්‍යාධිවලට වර්තමාන ආණ්ඩුව වගකිවයුතු බව ය. එය කරන්නේ ඉහත පාලන අනුගමනය කළ ආර්ථික පිළිවෙතම භක්තිවන්තව ඉදිරියට ගෙන යාමකි. එහි පමණක් දොස් දැකීම නිවැරැදි නො වේ.

එසේ ම ආසන්නම ඉහත ආණ්ඩුවට පමණක් ම දොස් නැඟීම ද අසාධාරණ ය. එක වල්ලේ පොල් වනවිට ඒවා විශේෂයෙන් විසද කැරැ ගන්නේ කෙසේ ද? නිදසුනක් වශයෙන් මෙරට ණය බර සලකන්න. ඊට වගකියන්නේ කවුද? වරද දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් හෝ ණය ගැනීම ම නො වේ. ඒවා කෙසේ පරිහරණය කරන්නේ ද සහ ආපසු ගෙවන්නේ ද යන්න ය. ණය, විශේෂයෙන් ම විදේශ ණය නිෂ්පාදනයක් ජනිත නොකරන පරිභෝජනය සඳහා යෙදවීම හෝ නාස්තිකාර වියදමට ගැනීම හෝ අපරාධයකි.

කේතලය කළු පැහැ යයි වළඳ කියනු අප කොතෙක් අසා ඇත් ද? ඇත්ත කාරණය දෙක ම කළු පැහැ වීම ය. එසේ දෙකම කළු යැයි කීමට කාලය එළැඹ ඇත. 

අපේ අධ්‍යාපන ක්‍රමය අර්බුදයක ය. එය ද යහපාලන ආණ්ඩු සමයෙහි උපත ලද අර්බුදයක් නො වේ. කන්නන්ගර ප්‍රතිසංස්කරණ අතරමඟ නතර කළ ද‌ා සිට පැවැතෙන්නකි. ඒ වෙනුවට බොහෝ විට ලෝක බැංකු අනුග්‍රහය ද සහිත ව විවිධ ආධුනික ව්‍යාපෘති අත්හදා බැලීමෙහි ප්‍රතිඵලයකි. නිදහස දිනා වසර 70ක් ඉකුත් වුවද උපදින හැම දරුවකුට ම අකුරු කරවන්නට සුදුසු පාසලක් සැපැයීමට අපි තවමත් අසමත්ව සිටිමු. පූර්ව පාසල් අධ්‍යාපනය ලාභය ම හඹා යන මුදලාලිලාට සහ නුපුහුණු ගුරුන්ට ගෙඩිය පිටින්ම භාර කැරැ ආණ්ඩුව පසෙකට වී බලා සිටියි. 

අපේ සංවර්ධනය දෙස අපි විස්මයෙන් බලා සිටිමු. අධිවේගී මාර්ග, සුඛෝපභෝගී යාන වාහන, අහස සිඹින මහල් නිවාස ඈ සියල්ල අපට ආඩම්බරයකි. සංවර්ධන සළුපිළි යටින් ඇති දුප්පත්කම සහ ඌන සංවර්ධනය අපට නො පෙනේ. දළ ජාතික නිෂ්පාදිතයෙහි වර්ධනය, විදේශීය සංචාරක සංඛ්‍යාව ආදී සංඛ්‍යානවලින් නිතොර නිතොර අපට දමා ගසන්නේ ද සංවර්ධනය යි. එහෙත් බොහෝ විට සංඛ්‍යාන අයත් වන්නේ ඇමෙරිකානු සෝපාහාස රචක මාක් ට්වේන් ගේ භාෂාවෙන් තුන්වැනි ගණයේ බොරුවලට ය. “බොරු තෙවර්ගයකි: බොරු. පට්ටා බොරු සහ සංඛ්‍යාන” යැයි ඔහු කී ය.

තවත් පැත්තක් බලමු. දූෂණය ගන්න. එහි ආරම්භය මහ බැංකු බැඳුම්කර වංචාව ද? වැට් බදු වංචාව, ශ්‍රී ලන්කන් ගුවන් සේවාවෙහි වංචා දූෂණ, ටෙන්ඩර් මගඩි, සැපැයුම් වංචා ගැන කුමක් කියන්නේ ද? ආණ්ඩු කීයක් යටතේ ඒවා සිදු විණි ද? රාජ්‍ය සේවා පත්වීම් දේශපාලනය හා නෑකම මත නුදුන්නේ ද? මේ සියල්ල ම පවත්නා දේශපාලන ආර්ථික ක්‍රමයටම ආවේණික ය. බැහැර කළ යුත්තේ ක්‍රමයම ය. අපට නව ප්‍රතිපත්ති වුවමනා ය. ජන හිතකාමී ප්‍රතිපත්ති වුවමනා ය. ගෝලීය ශ්‍රම විභජනයට හවුල් වන අතරම ස්වාධීන ආර්ථිකයක් ගොඩ නැඟීමට අවශ්‍ය ප්‍රතිපත්ති වුවමනාය.

එවන් ප්‍රතිපත්ති සම්පාදනයට පුළුල් ජනතා සහභාගීත්වයක් අවශ්‍ය ය. එය ආඥ‌ාද‌ායකයන්ට කළ නොහැකි ය. හමුද‌ාව යොදවා හමුද‌ා අණින් ද කළ නොහැකි ය. ඒ සඳහා ජනතාව බල ගැන්විය යුතු වෙයි. දේශීය ව්‍යවසායකයන් රැකිය යුතු වෙයි. ජාතික සම්පත් රැකගත යුතු වෙයි. එහෙත් විදේශ ප්‍රාග්ධනය සමඟ අන්‍යොන්‍ය වාසිද‌ායක ගිවිසුම්වලට එළැඹීම එයින් බැහැර කැරෙන්නේ නැත.

ගැලැවුම්කරුවන් හෝ වීරයන් හෝ පසුපස හඹා යාම නිෂ්ඵල කාරියකි. එය වහා නතර කළ යුතු ය. සිවිල් සමාජය සිය ඉබි කටුවලින් එළියට විත් ස්වාධීන සංවර්ධන මාවතක් සකසා ගත යුතු ය. ජාතියෙහි හොඳම සහ අවංක ව ම මොළ එක් කළ යුතුය. අපේ අනාගත සුභසිද්ධිය රඳන්නේ එවන් මාවතක පමණකි.