මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2020 වසරේදීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහකි. එහෙත් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් වසර හතරක් ගතවූ පසුව ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමේ හැකියාවක් තිබේ. දහනම වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාට ඒ සඳහා අවස්ථාව සලසාදී තිබේ. ජනාධිපති ධුරය හොබවන තැනැත්තාම නැවත තරග කරන්නේ නම් වසර හතරක් ගිය පසුව ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ හැකිය. යම් හෙයකින් ජනාධිපති ධුරය හොබවන තැනැත්තා මීළඟ ජනාධිපතිවරණයට තරග නොකරන්නේ නම් වසර හතරක් ගිය පසුව ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරීමට දහනව වැනි සංශෝධනයෙන් අවස්ථාවක් නැත. එසේ වූ විට ජනාධිපතිවරයාගේ ධුර කාලය නිම වීමට මාස දෙකක පමණ කාලයකට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. 

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට තවත් වසර එකහමාරක පමණ කාලයක් තිබියදී ඒ සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂා කරන දේශපාලනඥයන් කිහිප දෙනෙකුම කල්තියාම තරග බිමට පිවිස සිටින බවක් පෙනේ. මුලින්ම ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස වැඩ ආරම්භ කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ය. ඔහු ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ නොකළ ද සංවිධාන කිහිපයක් හරහා මූලික ප්‍රචාරණ කටයුතු ආරම්භ කළේය. ඉන්පසුව කරළියට පිවිසියේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ය. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් අලුතින් පිහිටුවාගත් දේශපාලන පක්ෂය සමඟ සිය ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටියි. මේ අතර ඉකුත් සතියේ තවත් දේශපාලනඥයකු කළ එළි බැස්සේය. ඒ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ය. ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ඔහුට හිමිවූ උප සභාපතිධුරය සම්බන්ධයෙන් වන උපහාර උත්සවයක් ඉකුත් අඟහරුවාදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණ. රටේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙපස තබාගෙන රාජිත සිය ආරම්භක පියවර තැබීය. සයිටම් ප්‍රශ්නය මුල්කර ගනිමින් රාජිත සේනාරත්න ඇමැතිවරයාට දැඩි විවේචන එල්ල කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ආරාධිත දේශනය කරමින් මීළඟ ජනාධිපති අපේක්ෂකයා රාජිත සේනාරත්න විය හැකි බවට ඉඟි පළ කළේය. 

‘එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සෞඛ්‍ය ඇමැතිවෙලා පක්ෂයෙන් ඉවත් වුණා. අලුත් පක්ෂයක් හදාගෙන රටේ අගමැති වුණා. මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැතිතුමාත් පක්ෂයෙන් කඩාගෙන ගිහින් රටේ ජනාධිපති වුණා. රාජිත සේනාරත්න වර්තමාන සෞඛ්‍ය ඇමැතිතුමා මොනපති වේවිදැයි දන්නේ නැහැ’යි එහිදී කාලෝ ෆොන්සේකා කීවේය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ කතාව නිමවනවාත් සමඟම අගමැති රනිල් වික්‍රමසිංහ උත්සවයෙන් පිටත්ව ගියේය. අගමැතිවරයාට එදින කාර්ය බහුල දිනයක්වී තිබිණ. අගමැතිවරයා රාජිතගේ උත්සවයට පැමිණියේ ගාල්ලේ රැස්වීම් කිහිපයකටම සහභාගි වීමෙන් පසුවය. එහෙත් අගමැතිවරයා කලබළයෙන් උත්සව භූමියෙන් පිටත්ව යාම පිළිබඳව තවත් දේශපාලනඥයන් දෙදෙනෙක් කසු කුසුවක නිරත වූවෝය. ‘රාජිත සුවපතිවෙලා පස්සේ ජනාධිපති වෙයි කියනකොටම අගමැතිතුමාට රත්වුණා. කාලෝගෙ කතාව ඉවර වෙනකොටම එතුමා නැගිටලා ගියේ ඒ හින්ද වෙන්නත් පුළුවන්’ යැයි කියමින් එම දේශපාලනඥයෝ සිනාසෙන්නට වූහ.

මේ අතර තවත් දේශපාලන ආරංචි මාර්ගයකින් සඳහන් වූයේ ආණ්ඩුවේ ඇමැතිධුරයක් දරන තවත් දේශපාලනඥයකු 2020 ජනාධිපති අපේක්ෂකයා වීමේ අපේක්ෂාවෙන් පසුවන බවය. රාජිතගේ උත්සවයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය ද ඔහු ඉලක්ක කර ගනිමින් වාග් ප්‍රහාර එල්ල කරන්නට පටන්ගෙන තිබේ. ඉකුත්දා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කීවේ රාජිත ඇමැතිතුමා සුවපතිලු. හැබැයි එතුමාගේ කාලයේදී තමයි ලේ බැංකුවත් වර්ජනයක නිරත වුණේ ලෝකේ කොහේවත් ලේ බැංකු සේවකයන් වැඩ වර්ජන කරන්නේ නැතැ’යි කියාය.

මේ අතර උත්සවයේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් දේශපාලන කරළියේ තවත් කතාබහක් ඇතිවෙමින් තිබේ. ඒ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකිනෙකා සමඟ කතා නොකර සිටීමය. ජනාධිපතිවරයා උත්සව භූමියට පැමිණෙන්නට පෙර අගමැතිවරයා පැමිණ සිටියේය. අගමැතිවරයා අසුනෙන් නැගිට දෑත් එකතු කර ජනාධිපතිවරයාට ආචාර කළේය. ජනාධිපතිවරයාද සිනාසෙමින් අගමැතිවරයාට ආචාර දැක්වීය. කෙසේ වෙතත් උත්සවයේදී ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මැද රාජිත සේනාරත්න ඇමැතිවරයා අසුන්ගෙන සිටි අතර ඔහු දෙදෙනා සමඟම විටින් විට කතාබහ කළ නමුත් උත්සවය නිමවන තෙක්ම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ කතා කළේ නැත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ නායකයන් අතර පවතින සීතල ගැටුම සෑම අවස්ථාවකදීම පෙන්නුම් කරන බවය. එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ගේ යම් යම් තීන්දු තීරණ ක්‍රියාත්මකවීමට පෙර හෝ ක්‍රියාත්මක වන අතරතුරදී හෝ නතර කිරීමට ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම ක්‍රියා කළේය.

මේ අතර තවත් එක්සත් ජාතික පෙරමුණේම තවත් ප්‍රබල ඇමැතිවරයකු පොදු අපේක්ෂකකමට ඇඟිලි ගනිමින් සිටින බව ද  එම පෙරමුණේම සමහරු කියමින් සිටිති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩු සමයේ විවිධ රටවලට පත් කෙරුණු තානාපතිවරුන් අතර හමුවක් ඉකුත් සතියේ පැවැත්විණ. කොට්ටාවේ පිහිටි ජනප්‍රිය අවන්හලකදී එම හමුව පැවැති අතර ඊට හිටපු තානාපතිවරු පිරිසක් එක්ව සිටියෝය. හමුව සංවිධානය කර තිබුණේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඊශ්‍රායල තානාපතිධුරය හෙබවූ සරත් විජේසිංහය. 

මෙහිදී හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. ඇල්. පීරිස් අදහසක් පළ කළේය. 
අපට විදේශ ප්‍රතිපත්තියක් හදාගන්න ඕනේ. අනාගතයේ අපේ ආණ්ඩුවකට විදේශ ප්‍රතිපත්තියක් ඕනේ. ඒක ශක්තිමත් ස්ථාවර එකක් වෙන්න ඕනේ’ කරුණු පැහැදිලි කරන්නට විය. කරුණු පැහැදිලි කිරීමෙන් පසුව විවිධ අදහස් හා යෝජනාද ඉදිරිපත් වන්නට විය. හිටපු තානාපතිවරුන් කමිටු කිහිපයකට වෙන් කිරීමටත් ඒ ඒ කමිටුවලට නිශ්චිත වගකීමක් පැවැරීමටත් එහිදී ජී. එල්. පීරිස් කටයුතු කළේය. මීට අමතරව අනාගත ආණ්ඩුවක ශක්තිමත් විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට ද එම කමිටුවලට පැවරිණ. මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් සෑම මසකට වරක්ම හිටපු තානාපතිවරුන්ගේ හමුවක් පැවැත්වීමට ද එහිදී තීරණය කර තිබිණ.

සාකච්ඡාවෙන් පසුව පැවැති රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ආගිය කතාබහ තොරතුරුද ගලා එන්නට විය. හිටපු තානාපති හෙක්ටර් වීරසිංහ අතීත කතාවක් සිහිපත් කළේය. 1999 වසරේදී කොළඹ පුරහල පරිශ්‍රයේ පැවැති දේශපාලන රැස්වීමේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්ක කර ගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාර සිද්ධිය හෙක්ටර් වීරසිංහ සිහිපත් කළේය. එවකට හෙක්ටර් වීරසිංහ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. එම බෝම්බ ප්‍රහාරයෙන් මහාචාර්ය ජී. එල්. පීරිස් ද තුවාල ලැබූ අතර ඔහුද කඩිනමින් රෝහල් ගත කළ පසුව ප්‍රතිකාර කළ අයුරු එම අවස්ථාවේ ගත් ක්‍රියා මාර්ග ගැන ද හෙක්ටර් වීරසිංහ ජී. එල්. පීරිස්ට කරුණු කීවේය.
උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් විටින් විට දේශපාලන රංගනයක නිරත වෙමින් තමන්ගේ දේශපාලන ගමන් මඟ සකස් කර ගැනීමට උත්සාහයක නිරතවන බවට උතුරේ ප්‍රධාන පක්ෂවල දේශපාලනඥයෝ චෝදනා කරති. ඉකුත් කාලයේ විටින් විට උතුරේ පැවැති ප්‍රචණ්ඩ ක්‍රියා හා ඊට සම්බන්ධ ආවා කල්ලිය සම්බන්ධයෙන්ද උතුරේ දේශපාලනඥයෝ එරෙහිව අදහස් දැක්වූහ. එහෙත් මහ ඇමැති විග්නේෂ්වරන්ගේ අදහස වෙනත් එකකි. “හැමෝම කියනවා තරුණයන් දෙමළ චිත්‍රපට බලලා ඒවා අනුකරණය කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා කරනවාය කියලා. ඒක වැරැදි වැටහීමක්. ආවා කල්ලිය වගේ ඒවා සමාජයේ තියෙනවා. ඔවුන් සමාජ ප්‍රශ්නවලට විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වනවා. චිත්‍රපට බලලා ප්‍රචණ්ඩ ක්‍රියා කරනවා නෙවෙයි. සමාජයේ තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා බලලා සිනමාකරුවන් චිත්‍රපට හදනවා’ යැයි විග්නේෂ්වරන් කියන්නේය.

ඉදිරි පළාත් සභා මැතිවරණය පැරැණි සමානුපාතික ක්‍රමයටම පැවැත්විය යුතු බවට ආණ්ඩුවට බල කිරීමට සුළු දේශපාලන පක්ෂ කිහිපයක් තීරණය කර ඇතැයි වාර්තා වේ. ඇමැති මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ දිගම්බරන්ගේ කඳුරට ජනතා පෙරමුණ සහ තවත් සුළු දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව එම තීන්දුව ගෙන තිබෙන අතර ඔවුන් ඉතා ඉක්මනින්ම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හමුවී ඒ සඳහා කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට පැහැදිලි අදහසක් නොමැති බවය. අලුත් ක්‍රමයට හෝ පැරැණි ක්‍රමයට හෝ කුමනාකාරයකින් හෝ ඡන්දය පැවැත්වීමට ආණ්ඩුවට හැකියාවක් ඇතත් හිතාමතාම ඡන්දය කල් දැමීමේ උප්පරවැට්ටියක ඔවුන් සිටින බව ආණ්ඩුවේම ආරංචි මාර්ගවලින් කියැවෙන මතයයි.

එය එසේ වුව ද මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් හෝ පැවැත්වීමේ ඉලක්කයක් ආණ්ඩුවට ඇති බවත් එම ආරංචි මාර්ගවලින් පැවසේ.

ජාතික විද්වත් සංවිධානය විසින් ක්‍ෂේත්‍ර 10ක් පදනම් කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විද්වත් කමිටු දහයක් පසුගිය ජූලි මාසයේදී මහරගම පැවැති උත්සවයකදී රටට හඳුන්වා දෙන ලදී. කෘෂිකර්ම ධීවර හා පශු සම්පත්, ආර්ථික, අධ්‍යාපනය, සෞඛ්‍යය, ක්‍රීඩා, ප්‍රවාහනය, තොරතුරු තාක්ෂණය, කලා හා සංස්කෘතික, ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම පරිසරය එම ක්‍ෂේත්‍ර දහය වෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයන්, කලාකරුවන්, බහුජන සංවිධාන නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විද්වතුන් වෘත්තිකයන් සහ ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන් මෙම ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සිය දායකත්වය සපයයි. මේ දිනවල එම විද්වත් කමිටු රැස්වීම් ආරම්භ කර තිබෙන අතර ඉදිරියේදී සකස් කරනු ලබන ජාතික ප්‍රතිපත්ති සඳහා යෝජනා අදහස් රැස්කිරීම ආරම්භ කරනු ඇත. 

අධ්‍යාපන, ආර්ථික, කලා සංස්කෘතික, ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම යන ක්‍ෂේත්‍රවල කමිටු රැස්වී මේ වන විටත් රැස්වී ඉදිරි මාස හය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරගෙන තිබේ. ක්‍ෂේත්‍ර දහයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටු සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති නායකයන් ගොවි, ධීවර සමිති නායකයන්ද ඇතුළත් වෙයි. ආර්ථික වැඩපිළිවෙළක් සකස් කිරීමේ ප්‍රතිපත්ති කමිටුව නියෝජනය කරන්නේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සහ වසන්ත සමරසිංහය. එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වරලත් ගණකාධිකාරී ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුය. ඊට අමතරව ව්‍යාපාරිකයන් ආර්ථික විශ්ලේෂකයෝ ඇතුළු පිරිසක් එම කමිටුව නියෝජනය කරති. මෙම කමිටුවද පසුගිය සතියේ කොළඹදී රැස්විය. “අපි මුලින්ම ආර්ථික ක්‍ෂේත්‍රය පිළිබඳව ප්‍රතිපත්ති සකස් විය යුතු රාමුවක් සකස් කර ගන්න ඕනෑ. ඒ වගේම බදු ප්‍රතිපත්තිය, ණය අර්බුදය, ව්‍යාපාර ආරක්ෂණය, කර්මාන්ත දියුණුකළ හැකි මාර්ග ආදී විශේෂ කරුණු කිහිපයක් ඔස්සේ යෝජනා අදහස් රැස්කර ගන්න ඕනෑ” ආචාර්ය අනිල් ජයන්ත කියා සිටියේය. “මේ විවෘත ආර්ථිකය ඇතුළේ අපේ රටේ ආර්ථිකය පල්වෙලා තියෙන්නේ. මේ ක්‍රමය ඇතුළේ  ආර්ථිකය ගොඩගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි විකල්පයක් ලෙස රටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියක් හදාගන්න ඕනෑ. විශේෂයෙන් නිෂ්පාදනය, ජන සහභාගිත්වය, ප්‍රතිඵල සාධාරණ ලෙස ජනාතාවට බෙදී යන වැඩපිළිවෙළක් තමයි අපේ ඉලක්කය විය යුත්තේ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. “ඒ වගේම අපි මේකට ජනතා අදහස් ගන්න ඕනෑ. ඒ වගේම ව්‍යාපාරිකයන්, කර්මාන්ත කරුවන් හමුවෙන්න ඕනෑ. ඒ වගේම ජනතාව දැනුම්වත් කරන සංවාදයක් රටතුළ හදන්න ඕනෑ. ඒ විදියට තමයි අපි ජනතාව මේ වැඬේට සම්බන්ධ කරගන්න වෙන්නේ.” වසන්ත සමරසිංහ යෝජනා කළේය. ඒ අනුව කමිටුවේ නියෝජිතයන් ක්‍ෂේත්‍ර චාරිකාවල නිරතවෙමින් ජනතා අදහස් ලබාගැනීමටද අවධානය යොමු විය.

කොළඹ මැනින් වෙළඳපොලේ පලතුරු වෙළෙන්දෝ කොළඹ නගර සභාවට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළහ. ඒ පලතුරු ඉදවීම සඳහා කෘත්‍රීම රසායනික ද්‍රව්‍ය වෙනුවට ස්වාභාවික ක්‍රම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස බලකරමිනි. වසර 100කට ආසන්න ඉතිහාසයක් තිබෙන මැනින් වෙළඳපොළේ පලතුරු ඉදවීම සිදුකළේ ස්වභාවික ක්‍රමයකටය. එහෙත් මීට වසර 12කට පමණ පෙරදී පලතුරු ඉදවීම සඳහා රසායනික ක්‍රමයක් හඳුන්වාදී තිබෙන්නේ නගර සභාව විසිනි. පෞද්ගලික සමාගම් කිහිපයක් සමඟ එක්ව නගර සභාව විසින් මෙම රසායනික ක්‍රමය හඳුන්වාදීමටද වෙළෙන්දන් සහ ගොවියන් විරෝධය පළ කළහ. නමුත් කාලයාගේ ඇවෑමෙන් වෙළෙන්දන්ට සහ ගොවියෝ එයට එකඟ වීමට සිදුවිය. එහෙත් මේ වනවිට පලතුරු පරිභෝජනය විශාල ලෙස පහත වැටී තිබෙන්නේ ජනතාව අතර පලතුරු ඉදවීමේ ක්‍රම පිළිබඳව විශ්වාසයක් නොමැතිකම නිසාය. එමෙන්ම රසායනික ද්‍රව්‍ය යොදා ඉදවන නිසා පලතුරුවල නැවුම් රස පහව යෑමද ජනතාව පලතුරු පරිභෝජනයෙන් ඈත්වීමට හේතුවී තිබේ. මේ තත්ත්වය නිසා මැනින් වෙළඳපොළේ ව්‍යාපාරික සංගමය නැවත ස්වභාවික මෙන්ම පාරම්පරික ලෙස පලතුරු ඉඳවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමට සටනක් ඇරඹීය. මේ සඳහා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන සහ ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ජෛව ජනන තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය අශෝක රන්වලද මැදිහත්විය. ඒ සඳහා සාකච්ඡාවට කීපයක්ද පැවැත්වීය. 

පසුගිය 01වෙනිදා මැනින් වෙළඳපොල ව්‍යාපාරික සංගමයේ මහ සභාව රැස්වූ අතර සංකේතාත්මකව රසායනික ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීමට විරෝධය පළකරමින් එම උපකරණ ගිනිතබා විනාශ කරන ලදී. මේ අතර ඔවුන් නගර සභාවට විශේෂ ඉල්ලීම් කිහිපයක් යොමු කර තිබේ. ස්වභාවිකව පලතුරු ඉඳවීම සඳහා යොදාගත් දුම් කාමර අලුත්වැඩියා කරදීම, අවශ්‍ය ප්‍රතිපාදන නගර සභාව විසින් සැපයීම, කෘත්‍රීම සහ ස්වභාවිකව ඉදවන පලතුරු හඳුනාගැනීමට ස්ටිකරයක් හඳුන්වාදීම, මෙම ස්වභාවිකව ඉදවන පලතුරු සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීම සහ රසායනික ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීම තහනම් කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම එම ඉල්ලීම් අතර වෙයි. “මේක ඓතිහාසික වැඩක්. ගමේ ගොවියාගෙන් පටන් ගන්න තිබුණ වැඩක් කොළඹ මැනින් ව්‍යාපාරිකයින් ආරම්භ කිරීම හිතාගන්න බැරි දෙයක්. ආණ්ඩුව තමයි ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතලා මේ දේවල් කරන්න ඕනෑ. නමුත් ගොවියන් ව්‍යාපාරිකයන් ආණ්ඩුවටත් පාඩමක් උගන්වලා තියෙනවා. මේ වැඬේ සාර්ථක කර ගත්තොත් නැවතත් අපිට අපේ රටේ පලතුරුවල නැවුම් රස බලන්න පුළුවන්.” අශෝක රන්වල මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් කියා සිටියේය.

 මේ වසරේ නොවැම්බර් 26 වෙනිදා දිනට එම කැරැල්ලට වසර 200ක් සම්පූර්ණ වෙයි. “මේ වනවිටත් ඌව වෙල්ලස්සට අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම්වලින් අඩුවක් නැහැ. මෙරට පාලකයන්ගේ පාවාදීම මත බහුජාතික සමාගම් දැනටත් ඌව වෙල්ලස්ස ජනතාවගේ ඉඩම් සිය ආර්ථික අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් යොදාගනිමින් තිබෙනවා. මේ වනවිට අක්කර 62,500ක භූමි ප්‍රමාණයක් උක්වගාව සඳහා බහුජාතික සමාගමකට පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ඌව වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් ගතවුනාට පස්සෙත් අපේ ජනතාවට අධිරාජ්‍යවාදීන්ට එරෙහි අරගලයකට නැවත පණපොවන්න සිදුවෙලයි තියෙන්නේ. අතීත මී මුත්තන් සිහිකරලා ඒ සටන නැවත අපි ආරම්භ කරනවා. අධිරාජ්‍යගැති මේ ආණ්ඩුවලට පාඩමක් උගන්වන්න පෙරට එන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.” සමන්ත විද්‍යාරත්න මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ පසුගියදාය.

ඌව වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් සපිරීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කිරීමට ඌව වෙල්ලස්ස ජනඅයිතීන් සුරැකීමේ සංවිධානයත්, ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික භික්‍ෂු පෙරමුණත් මේ වනවිට කටයුතු සූදානම් කරමින් තිබේ. මෙම උත්සවය සඳහාත් නව අරගලයක් සඳහාත් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ජාතික භික්‍ෂු පෙරමුණත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විද්වතුන් විශාල ප්‍රමාණයකගේ මැදිහත්වීමෙන් මේ වන විට එම ප්‍රදේශවලදී ආරම්භ කර තිබේ.