පැවැති ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණය හරහා ප්‍රකාශයට පත් වූ ජාතික ජන මතය නොසලකා හැර විකෘති දේශපාලන ගමනක් සඳහා  ජන සමාජය දැක්කවීමට වලිකන ‘යහපාලන මහා ප්‍රජාතන්ත්‍රවාදීන්’ විසින්  සිදුකිරීමට සැරසෙන බිහිසුණු ජාතික හානිය පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා අත්‍යවශ්‍ය සහ හදිසි වගකීමක් කොට සලකමි.

නව ලිබරල් වෙළෙඳපොළ ආර්ථිකයක් සඳහා 1950 දශකයේ මුල සිටම කැපවුණ ජේ.ආර්. ජයවර්ධනගේ අපේක්ෂාව නිසිලෙස පැලපදියම් වූ 1977 සිට මේ දක්වා වූ කාලය තුළ පාලකයන් සිතා සිටින්නේ රට සහ එහි ජනතාව යනු පදම් කළ මැටි ගොඩවල් ලෙසය. එනම් පාලකයන්ගේ ධන-බල දේශපාලන වුවමනා වෙනුවෙන් හිතූ හිතූ ආකාරයට රූප ඇඹිය හැකි කය මිස සිතක් නැති මැටි ගොඩවල් ලෙසය.

පැවැති මැතිවරණය තුළින් ප්‍රකාශයට පත් වූ  ජනමතය  නොතකා ආණ්ඩු ඇටවීමට සැරසෙන එජාපය, ශ්‍රීලනිපය සහ සන්ධානය හැසිරෙන්නේ ජනමතය නොව තමන් අන්ත පරාජයකට පත් වූ බවවත් නොදත්තවුන් සේ ය.

නොදත්තවුන්ට වඩා දැන දැනම නොදත්තවුන් සේ හැසිරෙන අය වඩා භයානක ය. ඔවුන් සිදු කරමින් සිටින්නේ රටත් ජනසමාජයත් පළමුව මුළාවේ දමා දෙවනුව කොල්ල කෑම ය. අන්තිමේ ඉතුරු වනු ඇත්තේ හැම අතකින්ම විකෘති වූ රටක් සහ ජන සමාජයක් ය.

මැතිවරණ (නියෝජිත) ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අරමුණ වන්නේ ජනමතය සහ ජන අපේක්ෂාවලට අනුව ආණ්ඩුකරණ ව්‍යුහවල ස්වභාවය, අන්තර්ගතය සහ ක්‍රියාකාරිත්වය තීරණය කිරීමට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමය. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, නියෝජනය සහ නියෝජිතයා කෙරෙහි වන විශ්වාසය අතිශයින්ම වැදගත්ය.

ඒ ආකාරවූ ප්‍රජාතන්ත්‍රවාදයක් අනුගමනය කරන රටක නියෝජන ආයතන තුළින් ප්‍රකාශමාන විය යුත්තේ ඒ රටේ ජනමතය සහ සමාජයේ පවතින බල තුලනය යි. එහෙත් කාලයක් තිස්සේ මෙරට පාලකයන් කරමින් සිටින්නේ ජන සමාජයේ මතය සහ බල තුලනය නියෝජන ආයතන තුළින් ද ප්‍රතිබිම්බනය වීමට ඉඩ සැලසීම නොව ඒ ක්‍රියාවලිය විකෘතියක් බවට පත් කිරීම සඳහා උපක්‍රම පාවිච්චි කිරීම ය.

වසර හැත්තෑවක් ගෙවී ගිය පසුත්  තම ජාතික ගීයේ සඳහන් කිසිදු අරමුණකට ළඟා වීමට හැකියාවක් නැතිව ළතැවෙන ශ්‍රී ලංකාව වනාහි ඒ පාලකයන් සහ ඔවුන්ට ඕනෑම දෙයක් කිරීමට ඉඩ දී ඔහේ බලා සිටි ජනතාව රටට උරුම කර දුන් මහා දායාදය ය. මේ කරුමයෙන් නම් දැන්වත් රටත් අපත් ගැලවිය යුතුම ය. 

ජන සමාජයේ පවතින මතය සහ  බල තුලනය ආණ්ඩුකරණ නියෝජිත ආයතන තුළින් ප්‍රතිබිම්බනය වීමට ඉඩ නොදී රටේ දේශපාලන ක්‍රියාවලිය සහ ආයතන විකෘති කළ අවස්ථා කීපයක් ගැන විමසීම මෙහි දී වැදගත්ය. 1975 දී පැවත්වීමට නියමිත මැතිවරණය නොපවත්වා සමඟි පෙරමුණ විසින් වසර දෙකකින් ජාතික රාජ්‍ය සභා නිල කාලය දීර්ඝ කර ගනු ලැබුවේ කිසිදු දේශපාලන සදාචාරයකට අනුකුලව නොව බල ලෝභී චේතනාවෙන්ය.

1970 සිට 1975 දක්වා වූ ආණ්ඩු කාලය තුළ ඒ පෙරමුණ කළ දෑ සහ නොකළ දෑ පිළිබඳ ජනතා ප්‍රතිචාරය විමසීම අනිවාර්ය වුවත් පාර්ලිමේන්තුව (ජාතික රාජ්‍ය සභාව) විසුරුවා නොහැරීම නිසා ඒ අවස්ථාව ජනයාගෙන් උදුරා ගැනුණි. මහ මැතිවරණය පැවැත්විණි නම් එජාපය බලයට පැමිණෙන්නේ 1977 දී නොව ඊට වසර දෙකකට පෙර ය.

ඒ ක්‍රියාවලිය එජාපයේ නිර්දය දෝෂාරෝපණයට ලක්වුණේ අගමැතිනිය නට්සිවාදී හිට්ලර්ට සහ ෆැසිස්ට්වාදී මුසොලිනීට සමාන කරමිනි.

එහෙත් ඉන්පසු බලයට පත් වූ ජයවර්ධන රෙජීමය සිදු කළේ 75-77 ට කිසිසේත් සමකළ නොහැකි ආකාරයේ අත්තනෝමතික පාලනයක් ගෙන යෑමය. ජන සමාජය සතුව ඇති වෘත්තීය අයිතීන් ඇතුළු මානව සහ මූලික අයිතීන් ඒ කිසිවකට ගරු නොකළ ජයවර්ධන රෙජීමය සිදු කළ ජන විරෝධී පාලනය පෙරළා දැමීමට හෝ ප්‍රතිචාර දැක්වීමට ජනයාට අවශ්‍ය වූවා යැයි කීම ඉතා තාර්කිකය. ඊට ඉඩක් ලැබෙන මහ මැතිවරණය නිල වශයෙන් පැවැත්වීමට නියමිතව තිබුනේ 1983 ජූලි මාසයේ ය. එහෙත් ජයවර්ධන ඊට ඉඩක් ලබා දුන්නේ නැත.

එවකට සිටි මැතිවරණ කොමසාරිස් ගේ නිරීක්ෂණ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ පැවති දුෂිතම මැතිවරණය වූ ජනමත විචාරණය නොහොත් පොදු ජන ව්‍යවහාරයට අනුව ලාම්පු කළගෙඩි සෙල්ලම පවත්වන්නේ 1977 පාර්ලිමේන්තුව මහ මැතිවරණයකින් තොරව තවත් වසර හයකින් ඉදිරියට දමා ගැනීමට ය.

ඉන් සිදු වුණේ පවතින අත්තනෝමතික පාලනයට සාපේක්ෂව සමාජය තුළ වර්ධනය වූ බල තුලනය පාර්ලිමේන්තුව තුළින් ප්‍රතිබිම්බනය නොවීමය. ඒ නිසා සිදුවුණේ ජන සමාජයේ බල තුලනය සහ පාර්ලිමේන්තුව අතර විකෘති සම්බන්ධයක් නිර්මාණය වීම පමණක් නොවේ. ප්‍රතිඵලය වුණේ මැතිවරණ ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන සහ පාලකයන් පිළිබඳ ජන විශ්වාසය ද බිඳ වැටීමට එකී තීරණය හේතු වීමය. තම රට ‘ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී’ රටක් කිරීමට මහන්සිවෙන කිසිදු පාලකයකු මෙවැනි තීරණ ගන්නේ නැත.

මෙරට පාලකයන් එවැනි තීරණ ගත්තේ සහ ගන්නේ ව්‍යවස්ථාව හෝ ජාතික ගීය හෝ එක්කෝ ගණන් ගන්නේ නැති නිසා හෝ නැතහොත් තේරෙන්නේ නැති නිසා වන්නට පුළුවන. ඊටත් වඩා රට, රාජ්‍යය සහ ජනතාව ගැන කිසිදු ප්‍රේමයක් නොමැති නිසා වන්නට ද පුළුවන.

1983 මහ මැතිවරණය පැවත් වූවා නම් එය සිදු කෙරෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේය. එසේ වී නම් එක්කෝ එජාප ආණ්ඩුව පරාජය වීමට ඉඩ තිබුණි. නොඑසේනම් 77 පාර්ලිමේන්තුවේ විපක්ෂයට වඩා  ප්‍රබල විපක්ෂයක් බිහි වීමට ඉඩ තිබුණි. තුනෙන් දෙකේ බලයක් කිසිවකුටත් නොලැබෙන්නට ඉඩ තිබුණි. එසේ වුණා නම් 83න් පසු සිදු කළ කිසිම රටකට අහිතකර කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුව තුළ සම්මත නොවීමට ඉඩ තිබුණි. උදාහරණයකින් කියන්නේ නම් ඒක එහෙම වුණා නම් අද දහතුන්වැනි සංශෝධනයත් නැත. පළාත් සභාත් නැත. මේ අයුරින් බලන විට පෙනී යන්නේ අද අප ගෙවා දමන්නේ එදා පාලකයන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ට එරෙහිව සිදු කළ මහා පාප ක්‍රමයේ ඵල විපාක බව ය.

ක්‍රියාවලිය නැවතුණේ නැත. 1994 සිට 2015 දක්වා බලයට පැමිණි ආණ්ඩු විසින් මැතිවරණවලදී දියත් කරන ලද දැඩි ප්‍රචණ්ඩත්වය, පොදු දේපළ මැතිවරණ කටයුතු සඳහා අව භාවිත කිරීම සහ වාසි අවැසි ගැන සිතා මැතිවරණ පවත්වන කාල වකවානු තීරණය කිරීම, හිතුමතේ අපේක්ෂකයන් තේරීම සහ පාර්ලිමේන්තුව තුළ දී වෙනත් පක්ෂවල මන්ත්‍රීන්ට වරදාන දී තම පිල්වලට ගැනීම් වැනි ක්‍රියා මගින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කළ හානිය සුළුපටු නැත.

මේ සියල්ල සිදුවුණේ බලය ගැනීමට මිස බලය පවත්වාගෙන යාමට ජනසමාජයේ කැමැත්ත අදාළ නැත යන පදනමේ පිහිටා ය. මේ රටේ පාලකයන් සමඟි සන්ධාන හදා ගන්නේ ස්වකීය බලය තහවුරු කර ගැනීමේ සහ රැක ගැනීමේ  අරමුණකින් මිස ජන සමාජයේ යහපත සැලසීම පිළිබඳ අරමුණකින් නම් නොවේ. අප වැනි රටවල පාලකයන්ගේ හැටි එහෙමය කියා නිහඬ විය යුතුද? නැත. එවැනි පාලකයන් මෙහෙය වීමට ජනසමාජය පෙළ ගැසිය යුතුය. ශක්තිමත් විය යුතුය.

මේ විකෘතිකරණය නැවතුණේ නැත. 2015 ජනවාරියේ දී සිදු වුණේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විකාරයක් ම බවට පත් කිරීම ය. පැවතුණේ ජනාධිපතිවරණයකි. එහෙත් ඒ මැතිවරණ ප්‍රතිඵලයෙන්ම 43 ක් පමණ ආසන ගණනක් හිමිව සිටි එජාපයේ නායකයා අගමැති ලෙස දිවුරුම් දුන්නේ ය. පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැරියේත් නැත.

පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රසාදයක් දිනා සිටි අයකු අගමැති ලෙස පත් කළේත් නැත. බහුතරය විපක්ෂය වී සුළුතරය ආණ්ඩු පක්ෂය විය. ඊට එරෙහිව ‘යහපාලන ප්‍රජාතන්ත්‍රවාදීන්’ හඬ නැඟුවෙත් නැත.

ඊට නො දෙවෙනි  පාර්ලිමේන්තු විකාරය සිදු වුණේ 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව ය. මැතිවරණයට තරඟ කොට පරාජය ට පත් වූ අයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම දී ඉන් නොනැවතී ඇමැතිකම් ද ලබා දුන්නේය. පාර්ලිමේන්තුවේ අතිශයින් ම සුළුතරයක් වූ දෙමළ සන්ධානයට විපක්ෂ නායකකම දී ඊටත් වඩා සුළුතරයක් වූ ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම පිරි නැමුවේ ය.

නියම වශයෙන් විපක්ෂ බහුතරයට පාර්ලිමේන්තු විවාදවල දී ලැබුණේ ඉතාම අඩු කතා කාලයකි. පාර්ලිමේන්තුව ප්‍රජාතාන්ත්‍රවාදයේ මහා විකාරය බවට පත් විය. ඊට එරෙහිව ‘යහපාලන ප්‍රජාතන්ත්‍රවාදීන්’ හඬ නැඟුවේත් නැත.

ඊළඟ කතාව ප්‍රාදේශීය ආණ්ඩු පිළිබඳව ය. නිසි කලට පැවැත්විය යුතු ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණය අවුරුදු තුනකින් ඉස්සරහට තල්ලු_ කරනු ලැබුවේ විවිධාකාරයේ ප්‍රයෝග ඉදිරිපත් කරමිනි. ඊට ‘යහපාලන ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ’ ආශීර්වාදය නොමඳව ලැබුණි. කෙසේ හෝ පසුගිය 10 වැනි දා ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණය පැවත්වුණි.

එය සැබවින්ම ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණයක් නොව ජාතික මැතිවරණයකි. ජාතික ජනමත විමසුමකි. එම මැතිවරණයේ දී සියලු දේශපාලන පක්ෂ මහන්සි ගත්තේ ස්වකීය ජාතික මට්ටමේ බලය සහ ශක්තිය පෙන් වීමට ය. ප්‍රතිඵලය වුණේ ආණ්ඩු බලය හිමි එජාපය, ශ්‍රීලනිපය සහ එජනිස ඇතුළු කණ්ඩායමට තීරණාත්මක පරාජයක් හිමි වීමය. දැන් ඔවුන්ගේ ආණ්ඩු බලයට සහ ආණ්ඩුවට යුක්තියුක්තතාවක් (සුජාතභාවයක්) නැත.

ජනසමාජයේ බල තුලනය සහ පාර්ලිමේන්තුවේ බල තුලනය අතර ඇත්තේ සමාන සම්බන්ධයක් නොව අසමාන නැතහොත් විකෘති සම්බන්ධයක් ය. එළියෙන් ප්‍රතික්ෂේප වූ අය පාර්ලිමේන්තුවේ බලවතුන් වීම සඳහා හෙළුවැලි බල තරගයක් අරඹා ඇත. ඒ තරගයෙන් කවුරු ජය ගත්තද සිදුවන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට සහ පොදුජන මතයට මරු පහරක් එල්ල වීම ය. රට දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික වශයෙන් අස්ථාවර වී විනාශයට යෑම ය.

එසේ නම් මේ මොහොතේ කළ යුත්තේ කුමක් ද? කළයුතු එකම දෙය වන්නේ මාස තුනකට නොවැඩි  කාලයක් සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑම මිස අන් කිසිවක් නොවේ. ඒ මගින් පිහිටුවන පාර්ලිමේන්තුව ස්ථාවර සහ රටේ බල තුලනය ප්‍රකාශයට පත්වන එකක් වනු නොඅනුමානය. 

ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට, අධිකරණයට සහ ජනාධිපති තනතුරට වඩා ජන සමාජය බලවත් සහ  උත්තරීතර බව සියල්ලන්ම තේරුම් ගෙන කටයුතු කළ යුතුය. ඓතිහාසිකව ඇදි ඇදී එන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතිකරණය නවතනු. පාර්ලිමේන්තුව විසුරවනු.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ 
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ 
ධම්ම දිසානායක