සටහන - චමින්ද මුණසිංහ

මෙවර මැතිවරණය මෙරට පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඒ කරුණු කීපයක් නිසාය. එකම දිනක දී පළාත් පාලන ආයතන 340කට ඡන්දය පැවැත්වීම ඉන් එකකි. සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණයක දී පාවිච්චි කරන ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් පාවිච්චි කර තිබීම තවත් කරුණකි.

වසර හතළිහකට පමණ පසුව ස්වකීය ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හඳුනාගත හැකි ආකාරයෙන් ඡන්ද පැවැත්වීම කාන්තා නියෝජනය අනිවාර්ය වී තිබීම යන කරුණ ුද මෙහිදී ප්‍රමුඛය.

මෙම පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රධාන පාර්ශ්ව හතරක් දක්නට ලැබුණි. එජාපය ශ්‍රීලනිපය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජවිපෙ එම පාර්ශ්ව හතරය. මෙහි ප්‍රධාන පාර්ශ්ව දෙකක්ම ආණ්ඩු නියෝජනයක් සහිතවීම ප්‍රධාන ලක්ෂණයක් වශයෙන් හඳුනා ගන්නට පුළුවන. මේ අතරින් මෑතක ආරම්භ කෙරුණූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට පැමිණ තිබීම සුවිශේෂී ලක්ෂණයකි.

ඡන්ද ප්‍රතිඵලය සාමාන්‍යයෙන් ආණ්ඩු පාර්ශ්ව අපේක්ෂා කළ මට්ටමේ එකක් නොවන බව පැහැදිලිය. ආණ්ඩු බලය තබාගෙන එම පාර්ශ්ව අපේක්ෂා කළේ මේ දැක්වූ ආකාරයට පළාත් පාලන ආයතන පාලන බලය තමන් යටතට පත් වේ යැයි කියාය. එහෙත් එසේ වී නැත. එයට හේතු සාධක වූයේ පසුගිය කාලයේදී ආණ්ඩුවේ හැසිරීම බව ද පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන. කෙසේ වෙතත් මෙම ඡන්ද ප්‍රතිඵලය දෙස බලන විට එය අංශ දෙකක් ඔස්සේ විග්‍රහ කරගත හැකිය. මහින්ද රාජපක්ෂ සාධකය ඉන් එකකි. පවතින ආණ්ඩුවට විරුද්ධව ජනතාව දී ඇති පණීවිඩයක් ලෙසද මේ දෙස බලන්නට පුළුවන. මහින්ද රාජපක්ෂ චරිතය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයේ සුවිශේෂී කරුණකි. ඔහු ජනාධිපතිවරයකු වශයෙන් රටට කළ ජාතික මෙහෙවර මේ ජයග්‍රාහී පසුබිමේ ඇති බව අමතක නොකළ යුතුය. වසර තිහක් තිස්සේ මේ රට පීඩාවෙන් පීඩාවට පත් කළ කුරිරු ත්‍රස්තවාදය පරාජයට පත්කිරීම කටයුතු කළේ මෙම නායකයාය. කළගුණ දන්නා ගම්බද ජනතාව විශේෂයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේදී එම කාරණය අමතක කර නැති බව පැහැදිලිය.

සිංහල ජන පදනම හැසිරෙන්නේ කවරාකාරයෙන් ද යන පණිවිඩය ද මේ මැතිවරණයෙන් පෙන්නුම් කර තිබේ.

 සිංහලයෝ එදා පටන්ම වව්නියාවේ වාසය කළහ. සිංහල බහුතරයක් සිටින පළාත් පාලන බල ප්‍රදේශයක් වව්නියාව දකුණු ප්‍රදේශයේ තිබේ. එය තීරණාත්මක ලෙස ජය ගැනීමට පොදුජන පෙරමුණට හැකිවුණි.

එතැනින් පහළට දෙවුන්දර තුඩුවට යනතෙක් සිංහලයන් බහුතරයක් සිටින සෑම ආසනයක්ම පාහේ ජය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය සහ නායකත්වය ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වුණි. යම් යම් පළාත් පාලන ආයතන ජය ගැනීමට නොහැකි වුවද වැඩි ගණනක ජය තහවුරු කර ගැනීමට හැකිව තිබේ.

ඇතැම් පළාත් පාලන ආයතනවල දී පොදුජන පෙරමුණ පරාජයට පත්වූයේ ඔවුන්ට කණ්ඩායමක් නොසිටි නිසාය. තාක්ෂණික හේතු පදනම් කරගනිමින් පොදුජන පෙරමුණේ නාම යෝජනා යම් යම් තැන්වල දී ප්‍රතික්ෂේප වුණි. පානදුර, අගලවත්ත, බදුල්ල, මහියංගණය, තිරප්පනේ, මහරගම සහ උතුරේ තවත් පළාත් පාලන ආයතන ගණනාවක නාම යෝජනා ප්‍රතික්ෂේප වුණි. එම තැන් හැරුණු විට අනෙක් පළාත් පාලන ආයතන අතරින් බහුතරය ජය ගැනීමට පොදුජන පෙරමුණට හැකිව තිබීම විශේෂිත ලක්ෂණයකි. සිංහල බහුතරය ඇති තැන් මේ අතර විශේෂිතය.

මේ ජයග්‍රහණයට ඡන්දය දුන්නේ සිංහලයන් පමණ ද? මන්නාරම් ප්‍රදේශයේදී ද නියෝජනයක් ලැබී තිබේ. ඒ වගේම උතුරු ප්‍රදේශයේ දී පළාත් පාලන ආයතන ජය ගැනීමට මෙම පක්ෂයට නොහැකි වුවද එක් නියෝජනයක් හෝ යම් යම් ආයතනවල දී ලබාගැනීමට හැකිව තිබේ. ඒ ද්‍රවිඩ ජනතාව බහුතරයක් සිටින තැන්වලිනි. මෙයින් පෙන්නුම් කරන්නේ බහුතරය නොවූවද දෙමළ ජනතාවගෙන් යම් ප්‍රතිශතයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දී තිබෙන ස්වාභාවයකි. එපමණක් නොවේ. මුස්ලිම් ජනතාව සිටින ප්‍රදේශ ගණනාවක සෑහෙන පමණ ඡන්ද ලබා ගැනීමට ද ඒ හරහා මුස්ලිම් නියෝජනයක් ලබා ගැනීමට හැකිව තිබීම ද මෙයින් පෙන්නුම් කර ඇති කාරණාවකි. කුරුණෑගල නගර සභා බලප්‍රදේශය එක් උදාහරණයකි. මේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සෑහෙන පමණ වාසය කරති. එවන් පළාත් පාලන ආයතන පවා ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිව තිබේ. එපමණක් නොව තවත් තැන් රාශියක දී මුස්ලිම් සභිකයෝ මෙම පක්ෂයෙන් පත්ව සිටිති. මෙයින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව තම මවුබිම ලෙස සලකන සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි තම කැමැත්ත දක්වන බවය.

ඉන්දියානු සම්භවයකින් යුත් වතුකම්කරුවන් තොණ්ඩමන් මහතාගේ කම්කරු කොංග්‍රසයටත් දිගම්බරම් මහතාගේ පක්ෂයටත් ඡන්දය ප්‍රකාශ කරන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. මේ කණ්ඩායම් දෙක සම්බන්ධවී සිටියේ ශ්‍රීලනිප සහ එජාපය සමගය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල ජය ලබාගැනීමට පොදුජන පෙරමුණට නොහැකි වුවද සැලකිය යුතු ඡන්ද කොටසක් ලබා ගැනීමට හැකිව තිබේ.

මෙයින් පෙන්නුම් කරන්නේ කිසිදු පැකිලීමකින් තොරව මෙම ජන කොටස් ප්‍රධාන පක්ෂවලට වෙනස්ව යමින් තම කැමැත්ත ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වූ ස්වභාවයයි. දකුණේ දී මහින්ද දිනුවා සේ උතුරේදී දෙමළ සන්ධානය ජය ගත්තා යැයි කෙනෙකු කියන්නට පුළුවන. එහෙත් එය සම්පූර්ණයෙන් අසත්‍යයකි. උතුරු සහ නැගෙනහිර දෙමළ ජනයා වැඩි වශයෙන් වසන ඇතැම් තැන්වලදී දෙමළ ජාතික සන්ධානයේ සියයට පනහක්වත් ලබාගෙන නැත. යාපනයේ පමණක් නොව වන්නි දිස්ත්‍රක්කය, ත්‍රිකුණාමලය, මඩකළපුව, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්කවල පවා විශාල ජයක් ලබා ගැනීම දෙමළ ජාතික සන්ධානයට හැකිව නැත. ආසන වැඩි ගණනක් මේ අය ජයගෙන සිටියද ඒවායේ ප්‍රතිඵල දෙස බලන විට පසුගිය අවස්ථාවේ ලබාගත් ඡන්ද ලබාගැනීමට හැකිවී තිබේ දැයි ප්‍රශ්නයකි. බෙදුම්වාදී නොවන වෙනත් දෙමළ පක්ෂද තවත් පක්ෂවලටද ජයග්‍රහණය හිමිවී ඇති බවද අමතක නොකළ යුතුය. මේ ඡන්ද වෙනත් ජාතික මැතිවරණයක දී හැසිරෙන්නේ කවරාකාරයෙන් දැයි අවබෝධ කර ගැනීම ද අපහසු නැත.

බහුතර ජනතාවක් එක් මතයක සිටින බව මේ මැතිවරණ ප්‍රතිඵලය පෙන්නුම් කරන්නකි. මෙවන් තීරණයක් පළාත් පාලන මැතිවරණයකදී ලැබෙන්නේ කලාතුරකිනි. මීට පෙර පළාත් පාලන ආයතන ජය ගත්තේ බලයේ සිටින පක්ෂයයි. 2001 දී එජාපය බලයට පත්වූ අවස්ථාවේදී ආයතන එකක් දෙකක් හැරුණු විට අනෙක් සියලු පළාත් පාලන ආයතනවල බලය තහවුරු කර ගත්තේ එම පක්ෂයයි. ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසුව පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ දී ආයතන එකක් හෝ දෙකක් හැරුණූ විට අනෙක් සියල්ලේම බලය එජනිස ලබා ගත්තේය. මේ අනුව බලන විට පළාත් පාලන මැතිවරණවලදී ආණ්ඩු පක්ෂය ජය ගැනීම සාමාන්‍ය රීතියයි. එහෙත් මෙවර ජනතාව එම රීතියෙන් පිට පැන ඇති බව ඡන්ද ප්‍රතිඵලයෙන් මනාව පැහැදිලිය. ආණ්ඩුවේ සිටින ප්‍රධාන පක්ෂ දෙකම මැතිවරණ සටන ගෙන ගියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිවය. ඒ වගේම ජවිපෙ ද යම් ප්‍රහාරයක් පොදුජන පෙරමුණට එල්ල කළේය. මේ සියල්ල අභිබවා යාමට පොදුජන පෙරමුණට හැකිව තිබේ. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට පොදුජන පෙරමුණ සමත්ව සිටින බවද මෙවර ප්‍රතිඵලය පෙන්නුම් කරන්නකි. ජනතාව පක්ෂයක නායකයා යන්න කවුරුන්දැයි විශේෂයෙන් සැලකිල්ලට ගන්නා බව ද මේ ඡන්ද ප්‍රතිඵලය සනාථ කරන්නකි.

මෙම පක්ෂයට මෙම ජය අත්කර දී ඇති බහුතරය කලින් ශ්‍රීලනිප පාක්ෂීකයන් බවද අමතක නොකළ යුතුය. මේ පිරිස තවදුරටත් ශ්‍රීලනිප පාක්ෂිකයන්ද යන ප්‍රශ්නය මේ හරහා මතුවන්නකි. පොහොට්ටුව පරවෙනවා යැයි කියූ අය මේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුය. ශ්‍රී ලංකාවේ විශාලතම තනි පක්ෂය එජාපය යැයි තවදුරටත් කිව හැකි පරිසරයක් ඔවුන්ට තිබේද? එයද මේ ඡන්ද ප්‍රතිඵලයෙන් මතුවන කරුණකි. රටේ ප්‍රබලම පක්ෂයක් ආණ්ඩු බලයත් තබාගෙන මෙලෙස පරාජයට පත්වන්නේ කෙසේ ද?

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය මේ ඡන්ද ප්‍රතිඵලයට බෙහෙවින්ම බලපා තිබේ. ජීවන වියදම ඉහළයාම ඒ අතර ප්‍රධානය. කිහිප දෙනකු හැරුණු විට අති බහුතරයට තමන් ලබන ආදායමෙන් ජීවත්වීම නොහැක. වසර තුනක් තිස්සේ වත්මන් පාලනය එයට විසඳුමක් ලබාදීමට අපොහොසත්ව සිටී. ඒ වගේම රටේ සංවර්ධනයට කර ඇත්තේ මොනවාද? යන ප්‍රශ්නය පසුගිය කාලයේ මතුවූවකි. ජනතාව හමුවේ තිබූ එම ප්‍රශ්නයට මේ ඡන්දයෙන් ජනතාව පිළිතුරු දී තිබේ. සංවර්ධනය ගැන කියන දේට වඩා ඇහැට පෙනෙන දේ වැදගත් බව ද මෙයින් ලැබෙන පණිවිඩයකි. මෙතැනින් එහාටත් රටේ මෙම තත්ත්වය පැවතිය හොත් පාලක පක්ෂයට මීට වඩා දරුණු පරාජයකට මුහුණදීමට සිදුවිය හැකිය. රාජ්‍ය නොවන සංවිධාන සහ මේ රට බෙදීමට උත්සාහ කළ පිරිසගේ වුවමනාව ඇතිව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ගත් උත්සාහය ද ආණ්ඩුවේ පරාජයට හේතුවකි. ශ්‍රීලනිපයට ලැබී ඇති ඡන්දද මෙහිදී එක්වන්නේ ආණ්ඩු විරෝධී ගොඩටය.

එජාපය ලබාගෙන ඇති ඡන්ද තනිකරම එම පක්ෂයටම හිමිවූ ඒවානොවේ. එතැන දිගම්බරම් මහතාගේ පක්ෂය, බදියුදීන් මහතාගේ පක්ෂය, චම්පික රණවක මහතා ප්‍රමුඛ පක්ෂය ද මේ තුළ නියෝජනය වී තිබේ. මේ ඡන්ද වෙනත් තීරණාත්මක මැතිවරණයක දී හැසිරෙන්නේ කෙසේ දැයි නිශ්චිතව කිව නොහැක. ඒ පසුබිම යටතේ එජාපය ලබා තිබෙන ඡන්ද ප්‍රතිශතය අර්බුදකාරීය. මේ තත්ත්වය යටතේ එජාපයට සතුටුවිය නොහැක.

ජවිපෙ කොතරම් සටන් පාඨ ඉදිරිපත් කළ ද ඒවා ජනතාව අතර ශක්තිමත්වී නැත. සාපේක්ෂව පෙර මැතිවරණවලට වඩා සුළු ඡන්ද වැඩිවීමක් ඔවුන් ලබාගෙන තිබෙන්නට පුළුවන. එහෙත් ඔවුන් අපේක්ෂා කළේ මීට වඩා වැඩි නියෝජනයකි.

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙක අතර පසුගිය කාලයේ ගැටුම් දක්නට ලැබුණි. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එජාපයට බරපතළ විවේචන එල්ල වුණි. මේ කාරණා ද මේ ඡන්ද ප්‍රතිඵලයට බල පා තිබේ. මේ තත්ත්වය දිගටම පැවතියහොත් ඉදිරි කිසිදු මැතිවරණයක් සාර්ථක කර ගැනීමට මේ අයට හැකිවන්නේ නැත. දැනට ආණ්ඩුකරන පිරිස ජනතාව අනුමත නොකරනවාය යන පණිවිඩය මේ ප්‍රතිඵලයෙන් ලබාදී ඇති බව ද පාලකයන් අවබෝධ කරගත යුතුය.

නාගරික ප්‍රදේශවල දී එජාපය ජයගත් පළාත් පාලන ආයතන තිබේ. රාජපක්ෂ බලකොටුව යැයි කියන හම්බන්තොට දී එහි නගර සභාව එජාපය ජය ගත්තේය. එම ප්‍රදේශයේ මුස්ලිම් ජන ප්‍රතිශතය වැඩි වීම මේ ජයට හේතුවකි. කළුතර, මඩකලපුව, නුවරඑළිය කොළඹ ආදී පළාත් පාලන ආයතන එජාපයට හිමිව තිබේ. මේ බොහෝ තැන්වල සුළු ජාතික ප්‍රතිශතය ඉහළය. එජාපයේ ජයට හේතු වී ඇත්තේ එයයි. එහෙත් රත්නපුර මහ නගර සභාව ආදී ආයතන කුරුණෑගල, අනුරාධපුරය ආදී ප්‍රදේශවල දී එම ජය පවත්වා ගැනීමට එජාපයට හැකිවී නැත. පොළොන්නරුවේ දී ලබා ඇති ජය ජනාධිපතිවරයාගේ පෞද්ගලිකත්වය මත ලබා ඇති ජයග්‍රහණයකි. එහෙත් යම් ආයතන පොදුජන පෙරමුණ ජයගෙන තිබේ. මේ තුළ පොළොන්නරුවේ දී එදා ජනාධිපතිවරයා ලබාගත් ජය මෙවර තිබේ දැයි විමසා බැලීම ද අවශ්‍යය.

නාමයෝජනා ප්‍රතික්ෂේප වූ තැන්වල දී පොදුජන පෙරමුණ ස්වාධීන කණ්ඩායම්වලට සහයෝගය දැක්වුවේය. එම ස්වාධීන කණ්ඩායම් ජයගත් ආකාරය මහරගම, තිරප්පනේ ආදී පළාත් පාලන ආයතන වලින් පැහැදිලිය. මේවායෙන් පෙන්නුම් කරන්නේ පවත්නා ආණ්ඩු විරෝධයයි. ලැබී ඇති ප්‍රතිඵලය දෙස බලන විට ශ්‍රීලනිපයට ඇත්තේ ශෝචනීය අනාගතයක් බව කනගාටුවෙන් වුවත් කිවයුතුය. ශ්‍රීලනිපයේ බලකොටුවක් වන අත්තනගල්ල පවා පොදුජන පෙරමුණට හිමිවීමෙන් එය තවත් තහවුරු වනු ඇත. ඒ වගේම එජාපයට ද ලබා ඇති ප්‍රතිඵලයෙන් කිසි ලෙසකින්වත් සෑහීමකට පත්විය නොහැක. එනිසා තමන් ගතයුතු මග කුමක්දැයි තේරුම් ගැනීමට ද මෙම ප්‍රතිඵලය යොදා ගැනීමට ඔවුන්ට පුළුවන.

විජාතිකත්වයට නොව ජාතිකත්වයට මුල්තැන දෙමින් දේශීය රටාවට රට සංවර්ධනය කිරීමට පියවර ගැනීමේ වුවමනාව මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරදී තිබේ.

සාමාන්‍යයෙන් බලයේ සිටින පක්ෂයක් පළාත් පාලන මැතිවරණයකදී පරාජය වන්නේ නැත. එහෙත් මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර එය සිදුවී තිබේ. ඒ නිසා මේ ප්‍රතිඵලය බලයේ සිටින ආණ්ඩුවට එරෙහිව ජනතාව විශ්වාසභංගයක් සම්මත කරගත්තා හා සමාන යැයි සිතන්නට පුළුවන.

 

ජනාධිපති නීතිඥ
ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා