අද රටේ තිබෙන්නේ අදහාගත නොහැකි තත්ත්වයකි. සෑම අංශයකම අර්බුද නිර්මාණයවී තිබේ. මේ පසුබිම සමඟ සැසඳිය හැකි දේශපාලන හා ආර්ථික තත්ත්වයක් කාටවත් දක්නට ලැබී නැත. ඕනෑම ආණ්ඩුවකට වසර තුනක් තුනහමාරක් ගතවූ පසු එහි ජනප්‍රියතාව අඩුවීම ස්වාභාවිකය. එහෙත් වර්තමානයේ පවතින ආකාරයට සමාජයේ සෑම ස්ථරයකම, ක්ෂේත්‍රයකම විශාල අප්‍රසාදයක් කලකිරීමක් ඇතිවූ වෙනත් ආණ්‍ඩුවක් මේ රටේ තිබුණේ නැත.

ඉහළ තලයෙන් පටන්ගත් විට මේ රටේ ව්‍යාපාරික පන්තිය එජාප ආණ්‍ඩුවක් පවතිනවාට කැමැතිය. ඒ එජාපය අනුගමනය කරන ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙනි. එහෙත් අද ඒ අයට පවා අසහනයක් ඇති වී තිබේ. එතැනින් පටන්ගත් විට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, ශිෂ්‍යයන්, රාජ්‍ය සේවකයන්, ගොවීන්, ධීවර ජනතාව, කලාකරුවන් ආදී වශයෙන් සියලු දෙනාම සිටින්නේ සිතාගත නොහැකි ආකාරයේ කලකිරීමකය. ජීවත්වීමට නොහැකි ලෙස ගොඩනැඟී ඇති ආර්ථික පීඩනය මේ සියල්ලටම හේතුව වී තිබේ. සෑම දෙයක්ම සිදුවන්නේ විදේශ බලවේග නිසා යැයි කීමට ආණ්‍ඩුවක් අවශ්‍ය නැත.

ගෑස් මිල දෙවතාවක් ඉහළ ගියේය. ලබන 10 වැනිදා තෙල් මිල යළි ඉහළ යන බවට ඉඟියක් මුදල් ඇමැතිවරයා ලබාදී තිබේ. තෙල් මිල මේ ආකාරයට සෑම මාසයකම ඉහළ යාම හේතුවෙන් සෑම භාණ්ඩයකම හා සේවාවකම මිල ඉහළ යනු ඇත. ආප්පයේ ප්ලේන්ටියේ සිට මෙලෙස මිල ඉහළ යාම ජනතාව දරාගන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් කිසිවකුටත් හැඟීමක් නැත. මේ පසුබිම යටතේ ජනතාවගේ ආදායම් නංවන වැඩපිළිවෙළක් ද ආණ්‍ඩුවට නැත. ඒ වෙනුවට ජනතාව ලබන ආදායම්වලට ද සෑම අතකින්ම බදු ගැසීමට කටයුතු කර අවසන්ය. මේ තත්ත්වය හමුවේ ආණ්‍ඩුව කෙරේ ජනතා අප්‍රසාදය දිනෙන් දිනම වර්ධනය වෙමින් තිබේ.

මේවා සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ ආකාර දෙකකිනි. මැතිවරණ නොපවත්වා රට පාලනය කිරීම ඉන් එකකි. එ් වගේම පවතින පීඩාකාරී තත්ත්වය දරාගැනීමට නොහැකි නිසා ජනතාව පාරට බසින විට මර්දන වැඩපිළිවෙළ දියත් කිරීමට ද ආණ්‍ඩුව කටයුතු කර තිබේ. මෙය බෙහෙවින්ම භයානයකය. ත්‍රස්තවාදය මර්දනය කිරීමට ස්ථාපිත කර තිබෙන බොහෝ ආයතන මේ ආණ්ඩුව යොදාගෙන තිබෙන්නේ ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශය සහ දේශපාලන එදිරිවාදීන්ගෙන් පළිගැනීමටය. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ අය මර්දනය කිරීමට මේ ආයතන යොදාගෙන ඇති බව පැහැදිලිව පෙනෙන කරුණකි. මෙය භයානක තත්ත්වයකි. භූතයා බෝතලයෙන් එළියට ගත් පසු නැවතත් බෝතලයට දැමීම බෙහෙවින්ම අපහසුය. කෙසේ වුවත් මේ ආයතන එක් කණ්ඩායමක්ම ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කිරීම අපහසුය. දැන් මේ ක්‍රියාවලිය ආණ්‍ඩුවටම භූමරංගයක් වී තිබේ.

නාමල් කුමාර සිද්ධිය සම්බන්ධයෙන් අාන්දෝලනයක් ඇති වී තිබෙන්නේ මේ පසුබිමේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පිළිබඳව කිසි ලෙසකින්වත් සෑහීමකට පත්විය නොහැක. මේවා අප දකින්නේ ඇස් බැන්දුම් වැඩ හැටියටය. මේ කෙරෙන පරීක්ෂණවල අරමුණ ඇත්ත වසන් කිරීමය. ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය හෙළි වී මේ වනවිට සති දෙකක් ඉක්ම ගොසිනි. ඍජුවම ඇඟිල්ල දිගුවී තිබෙන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාටය. වෙනත් අයකු සම්බන්ධයෙන් මෙවන් ​චෝදනාවක් එල්ල වූයේ නම් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්කරනු ඇත. බැරෑරුම් චෝදනාවක් ඇති තැනක අනුගමනය කරන ක්‍රියා පිළිවෙත එයයි. චෝදනාව මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම නම් ඇප ලබාදිය නොහැක. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඕනෑ තරම් අවකාශය මේ අවස්ථාවේ තිබේ. එහෙත් බොහොම දියාරු ලෙස ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම බෙහෙවින්ම ප්‍රශ්නකාරීය.

ත්‍රස්ත තොරතුරු අංශයට ගිනි අවි දෙකක් ලැබුණේ කෙසේ ද? මේ අංශයට ගිනි අවි දෙකක් ලබා දුන්නා නම් එය සිදුව ඇත්තේ පොලිස්පතිවරයාගේ අනුමැතිය ඇතිව විය යුතුය. පොලිස්පතිවරයාගෙන් මේ පිළිබඳ කටඋත්තරයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. එසේ නම් පොලිස්පතිවරයා මෙහි සාක්ෂිකරුවෙකි. හමුදාවෙන් පැනගිය අයකුගෙන් ස්නයිපර් ගිනි අවිය ලබාගත්තේ කාට හානි කිරීමට ද? දැන් එම ගිනි අවිය අතුරුදන්ය. ඒ කෙසේ වුවත් වත්මන් පොලිස්පතිවරයා එම ධුරයේ සිටිනතාක් මෙහි පරීක්ෂණ අපක්ෂපාතීව ස්වාධීනව සිදුවේ යැයි විශ්වාස කළ නොහැක. පොලිස්පතිවරයාගේ හැසිරීම සාමාන්‍ය සමාජයේ හාස්‍යයට ලක්වී තිබේ.

මර්සිව් තෝමස් නම් ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ. එසේ නම් නාමල් කුමාර අත්අඩංගුවට නොගන්නේ ඇයි? මොහුට ආරක්ෂාව අවශ්‍ය බව කියා තිබේ. එහෙත් එවන් තත්ත්වයක් නැත. රිමාන්ඩ් භාරයට පත් කළා නම් ඔහුට ආරක්ෂාව සහතික වනු ඇත. නාමල් කුමාරට යමක් වුවොත් මේ සියල්ල යටපත්වන බව පැහැදිලිය. මේ සිද්ධිය ජෝන් එෆ්. කෙනඩි ඝාතන සිද්ධිය හා සමාන වූවකි.
නීතිය කඩා වැටී තිබීම මේ ආණ්ඩුව යටතේ තිබෙන තවත් ප්‍රශ්නයකි. පාතාලය රජ වී තිබේ. රටේ කොතැනක හෝ දිනපතා මිනිස් ඝාතනය. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගත යුතු බව එදා ජේ.ආර්. ජයවර්ධන කීවේය. අද ඒ තත්ත්වයට රට තල්ලු වී අවසන්ය. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්‍ඩුව අසමත් වී තිබේ.

කෙසේ වුවත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රශ්නයක් තිබේ. ලබන නව වැනිදාට පෙර පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධය ඉල්ලා සිටියේ මේ නිසාය. එහෙත් ඒ සම්බන්ධයෙන් ද ආණ්‍ඩුවේ ප්‍රතිචාරය පැහැදිලි නැත. ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පැවැතිය ද නීතිය හා සාමය අමාත්‍යාංශය තිබෙන්නේ එජාපය යටතේය. නීතිය හා සාමය අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශයේ යම් යම් බලතල ඩැහැගැනීමේ වැඩපිළිවෙළක නිරතවන බව පෙනෙන්නට තිබේ. පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා සම්බන්ධ පරීක්ෂණ පැවැරී ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යාංශයටය. මේවා සියල්ල ප්‍රශ්නකාරී වූවකි. රටේ ආරක්ෂාව සම්බන්ධව බෙහෙවින්ම ව්‍යාකූල තත්ත්වයක් දකින්නට පුළුවන. උතුරේ මෙන්ම දකුණේ ද මේ හරහා නිර්මාණය වන්නේ සුබදායී වාතාවරණයක් නොවේ.

මේ සියල්ල මැද්දේ ව්‍යවස්ථා සභාව අකර්මණ්‍ය වී තිබේ. අද වනතෙක් එහි ගනපූරණයක්වත් නැත. මෙහි සමස්ත සාමාජික සංඛ්‍යාව දහයකි. ගනපූරණය පහකි. දැනට එහි පුරප්පාඩු හයකි. කතානායකවරයා මෙහි සභාපතිවරයා හැටියට ගනපූරණය ඇති කිරීමටත් කටයුතු කර නැත. පත්කර සිටි අයගේ කාලය අවසන් වනවිට ඒ වෙනුවට පත්කරන අය සම්බන්ධයෙන් යම් එකඟත්වයක් තිබිය යුතුය. එහෙත් එවැන්නක් මේ අයට නැත. මේ පසුබිම යටතේ ව්‍යවස්ථා සභාවේ කාර්යභාරය ඉටුකිරීමේ හැකියාවක් ද නැත. පොලිස්පතිවරයා පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැති බවට පැමිණිලි කළේය. පාර්ශ්වකරුවන් දෙදෙනා එක්වී සති දෙකක් ඇතුළත මේ ප්‍රශ්නය විසඳාගත යුතු බව කතානායකවරයා ව්‍යවස්ථා සභාවේ සභාපති ලෙස ප්‍රකාශ කළේය. පොලිස්පතිවරයා පොලිස් කොමිසමට යන්නේ නැත. ඔහු මෙසේ කරන්නේ ඔහුට දේශපාලන පක්ෂයක පූර්ණ රැකවරණය තිබීම හේතුවෙනි. පොලිස්පතිවරයා ඉවත් කිරීමේ වුවමනාව රටේ නායකයාට තිබුණ ද ආණ්ඩුවේ හවුල්කාර අනෙක් පක්ෂය එයට හරස් කපා තිබේ. කෙසේ වුවත් ස්වාධීන පොලිස් කොමිසටම ස්වාධීනව ක්‍රියාත්මක වීමේ පසුබිමක් නොමැති බව පැහැදිලිය.

සෑම අංශයකම පවත්නා අර්බුදකාරී වාතාවරණය යටතේ රටේ ලොකු අසහනයක් ගොඩනැඟී තිබේ. අදාළ මැතිවරණ නිසි පරිදි පැවැත්වීම මෙයට ඇති එක් විසඳුමකි. අද රටේ තිබෙන්නේ තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් බව ආණ්‍ඩුව කියන කතාවය. එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ඇති බවය. මැතිවරණ නොපවත්වන රටක ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන්නේ කෙසේ දැයි ප්‍රශ්නයකි. සර්වජන ඡන්ද බලය මූලිකම අයිතිවාසිකමකි. අන් සියලු මානව හිමිකම් ගලා එන උල්පත එයයි. අද මේ රටේ මැතිවරණ නැත. පළාත් පාලන මැතිවරණය පැවැත්වුවේ වසර දෙකහමාරක් ඉක්මගිය පසුවය. නිල කාලය අවසන් වූ පළාත් සභා තුනක මැතිවරණ වසරක් තිස්සේ පවත්වා නැත. ලබන 8 වැනිදා වනවිට මධ්‍යම පළාත් සභාවේ ද නිල කාලය අවසන් වනු ඇත. ලබන 10 වැනිදා වයඹ පළාත් සභාවේ ද ලබන 23 වැනිදා උතුරු පළාත් සභාවේ ද නිල කාලය අවසන් වනු ඇත. තව මාසයකින් පළාත් සභා නවයෙන් හයක නිල කාලය අවසන් බව පැහැදිලිය. ලබන අෙ‌ප්‍ර්ල් වනවිට පළාත් සභා අටක නිල කාලය අවසන්ය. ඉතිරි වන්නේ ඌව පළාත් සභාව පමණි. බොරු තර්ක ගොඩනඟමින් පළාත් සභා මැතිවරණ දිගින් දිගටම කල්දැමීම ජනතා පරමාධිපත්‍යය හෑල්ලු කිරීමකි.

පවතින ක්‍රමය නරක නම් අලුත් ක්‍රමයක් යෙදිය යුතුය. එහෙත් එසේ කරන්නේ නැත. යම් වැඩපිළිවෙළක් ආරම්භ කළ ද එය මඟදී කඩා වැටීම ආණ්‍ඩුවේ පිළිවෙතය. ඉන්පසුව විවිධ තර්ක මතුකරමින් කල් මරති. මෙවන් පසුබිමක කිසිදු ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැත. මැතිවරණ ද නැත. පළාත් පාලන ආයතන පිළිබඳ මහ සමුළුව 2019 ජුනි මාසයේදී ලංකාවේ පැවැත්වීමට පොදු රාජ්‍ය මණ්‍ඩල තීරණය කර තිබේ. මෙය විහිළුවකි. මැතිවරණ පවත්වන්නේ නැති රටක මෙවන් සමුළුවක් පවත්වන්නේ කෙසේ ද? රටේ සැබෑ තත්ත්වය ලෝකයට පෙන්වා දීමට මෙය අවස්ථාවක් කර ගැනීමට ඒකාබද්ධයේ අපට පුළුවන.

ආර්ථිකය කඩා වැටීම, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න, මැතිවරණ නොපැවැත්වීම යනාදී සියල්ල නිසා බරපතළ අර්බුදයක් නිර්මාණය වී තිබේ. මෙයට එකම විසඳුම අලුත් ආණ්‍ඩුවකි. තුනෙන් දෙකක් ලබාගත හැකිනම් පාර්ලිමේන්තුව විසුරුවන්නට පුළුවන. දැන් රටට අවශ්‍ය නව ආරම්භයකි. එම ආරම්භය නොගෙන කටයුතු සිදුවුවොත් රටට සදාකාලික හානියක් සිදුවිය හැකිය. ජාතික සම්පත් විකිණීම, වෙළෙඳ ගිවිසුම් හරහා රට ඛේදජනක තැනකට තල්ලු කරමින් තිබේ. මේවා ආපසු හැරවීම පහසුවන්නේ නැත. එනිසා කළ යුත්තේ වහා ජනතාවට අවස්ථාව ලබාදීමය.

එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා ජනාධිපතිවරයා කළ කතාව දෙස ද බැලිය යුතුය. ලංකාවේ ප්‍රශ්න ලාංකිකයන්ටම විසඳා ගැනීමට ඉඩදිය යුතු යැයි ඔහු ප්‍රකාශ කළේය. විදේශ බලෑම්, තර්ජන අවශ්‍ය නැති බවය. 2015 සහ 2017 ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට වන්නේ කුමක් ද? 2015 ඔක්තෝබර් 1 වැනිදා 30/1 යෝජනාව සහ 2017 ඉදිරිපත් කළ 34/1 යෝජනාව ගැන කියන්නේ කුමක් ද? ඇමෙරිකාවේ යෝජනාවක් තමන්ගේ කරගෙන එයට ලෝක ප්‍රජාවේ සහාය ඉල්ලීමට එදා ලංකාව කටයුතු කළේය. බලය බෙදීමට, හමුදාව, පොලිසිය ප්‍රතිව්‍යුහගත කිරීමට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගැනීමට, උතුරේ ඉඩම්වලින් හමුදාව ඉවත් කිරීමට, විදේශ විනිසුරන් පත් කිරීමට මේ යෝජනාවලින් වත්මන් ආණ්‍ඩුව එකඟ වුණි. මහ සමුළුවේ කතාවක් කිරීමෙන් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සංශෝධනය වන්නේ නැත. එසේ නම් ඉහත තීරණ ගත්තේ කවුද? වත්මන් ජනාධිපති සහ ආණ්‍ඩුව නොවේ ද? මෙයින් පෙනෙන්නේ මේ ආණ්ඩුවට හරි විදේශ ප්‍රතිපත්තියකුත් නැති බවය. ලංකාව අද හරියට කුණාටුවකට හසුවූ නැවක තත්ත්වයට පත්ව අවසන්ය. එහෙත් එදා අපි අභියෝගයට මුහුණ දුන්නෙමු. එහිදී ජාත්‍යන්තරය අපත් සමඟ සිටගත්තේය. අද සියල්ල අවුල් ජාලාවකි.