ඉතා ප්‍රකට දෙමළ භාෂිත පිරුළක් ඇත්තේය. එනම් “මුට්පහල් සෙය්යින් පිට්පහල් විලයියුම්” යනුවෙනි. එහි සරල අර්ථය නම් ‘පෙරවරුවේ කළ දේ පස්වරුවේ පල දේ‘ යන්නයි. තමන් විසින් කරනු ලබන හැමදේටම ප්‍රතිවිපාක ලැබෙන බව දක්වන එකී පිරුළේ සිංහල භාෂිත තවත් අදහසක් ඇත. එනම් ‘කළ කළ දේ පල පල දේ’ යන්නයි. වත්මන් යහපාලන ආණ්ඩුව දැනට සිදුකරමින් පවත්නා ක්‍රියාදාමය හැඳින්විය හැකි ආකාරය ද එයයි. ඔවුන් දේශපාලනිකව යම් පාඩමක් ඉගෙනීමට සූදානම් නම් මෙරටේ මැතිවරණ කල්දමන ලද කිසිදු ආණ්ඩුවක් එකී මැතිවරණ ජයග්‍රහණයකින් අවසන් කරන්නට සමත් නොවූ බවයි. 1982 පැවති කුප්‍රකට ජනමත විචාරණයේදී හැර මෙරටේ මැතිවරණ කල් දැමූ ආණ්ඩු සෑම විටම විඳ ඇත්තේ අමිහිරි ප්‍රතිඵලයි.

නිසි කල අව්‍යාජව මැතිවරණ පැවැත්වීම සෑම රටකම වගකීම බව අවධාරණය කර ඇත්තේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියේය. එහිම දක්වා ඇත්තේ රජයේ කටයුතු සඳහා මැදිහත්වීමට පුරවැසියා සතුව උල්ලංඝනය කළ නොහැකි අයිතියක් පවතින බවයි. එපමණක් නොවේ. ඡන්ද අයිතිය මූලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් නොවී තිබුණ ද මෙරටේ සුප්‍රසිද්ධ අධිකරණ තීන්දු මගින් තහවුරු වී ඇත්තේ භාෂණයට ඇති නිදහස් අයිතිය හා සම අයිතියක් ඡන්දයට ද හිමි බවයි. නිසි කල පැවැත්විය යුතු මැතිවරණ චේතනාන්විතව පමාකිරීම හෝ නොපවත්වා සිටීම එනයින් බලන කල පුරවැසියාගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමකි. දැවැන්ත මැතිවරණ වේදිකාවක පවත්වන වේගවත් කතාවකට එහාගිය ගාමක බලයක් ඡන්දයට ඇතැයි මාක් ප්‍රනාන්දු විනිසුරුතුමන් වරෙක දැක්වූයේ එබැවිනි. 

එහෙත් දැන් දැන් මෙරටේ ඡන්ද කල් දැමීම නව ප්‍රවණතාවක් වී ඇත. එහෙත් ඊට හිමි සැබෑ අපර නාමය නම් “හොරට ඡන්ද කල් දානවා” යන්නයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අනුව නම් හොරට නිදන වුන් අවදි කළ නොහැකිය. එහෙත් ඔහු තම ධුරයේ ගෞරවය සලකා දේශපාලකයන්ට කිසිදු අගතියක් හෝ ප්‍රගතියක් නොකරන නියාවෙන් හොරට නිදන්නන් හෙළි නොකරයි. නිසැකවම හොරට නිදන්නෝ ජනතා බදු මුදලින් යැපෙන මහජන නියෝජිතයෝය. එසේ නම් ඔවුන් හෙළිදරව් නොකළ යුත්තේ ඇයි? ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයන්, කතානායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු_දෙනා, විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රමුඛ අමාත්‍යාංශ බලධාරීන් හා අමතර වශයෙන් පුරවැසියන් ද වගකිවයුතු පාර්ශ්වයක් යැයි නම්කිරීම කවර වරදක්ද? මැතිවරණ නිරීක්ෂණ සංවිධානම අධිකරණය අබියසට යා යුතුයැයි සිතන පුරවැසියන් එකී සංවිධාන ඔවුන්ගේ අයිතිය සුරකින තෙක් උපේක්ෂාසහගතව සිටීම පුදුම සහගතය. 

ඉහත පිරිස් පමණක්ද? මැතිවරණ කොමිෂන් සභාව ඉන්නේ නමට පමණක් දැයි බොහෝ දෙනෙක් විමසති. ඔවුන්ගේ දැන ගැනීමට මේ කරුණද මෙහි බහාලමි. එනම් නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුයැයි උත්තරීතර පාර්ලිමේන්තුව අනුමත කළ මැතිවරණයක් බලෙන් පැවැත්වීමට ඔවුන්ට බලයක් නැති බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (1) හි මෙලෙස සඳහන්ය. “තත් කාලයේ බලපවත්නා නීතියක් මගින්” පවරා දී ඇති හෝ සියලු බලතල හා කාර්ය හා කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම හා සිදුකරනු ලැබීමයි. මැතිවරණ කොමිෂන් සභාව වෙත දෝෂාරෝපණය කරන්නන් පළාත් සභා ඡන්ද විමසීමට අදාළ තත් කාලයේ බලපවත්නා නීතිය කුමක්දැයි වටහා දීම හා වටහාගෙන ක්‍රියා කිරීම මෙහිලා වැදගත්ම කරුණයි. එහෙත් එය පහදාලිය හැක්කේ ආයතන ත්‍රිත්වයකට පමණි. ඔවුන්ට කළහැක්කේ කුමක්ද? මේ ඒ ගැනයි.

ජනාධිපතිවරයා මැතිවරණය වහාම පැවැත්විය යුතු බව නිරතුරුව අවධාරණය කරන්නේය. එහෙත් පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රමාද කිරීමේ පිඹුරුපත සැකසුවේ තමන් බව ඔහුට අමතකව ඇත. එලෙස වේදිකා පුපුරුවා හරිමින් හඬ නැඟිය යුතු නැත. ඔහු කළ යුත්තේ දැනටමත් පනතේ ප්‍රකාර පත්කොට ඇති සමාලෝචන කමිටුව තම වාර්තාව ඉදිරිපත් කොට නැති බැවින් ඉන් ප්‍රයෝජන ගැනීමයි. අදාළ පාර්ශ්ව නීතියට අනුව කටයුතු කොට නැතැයි සලකා සීමා නිර්ණය කමිටු වාර්තාව ගැසට් කළ හැකිය. ඉන් අනතුරුව මැතිවරණ කොමිසමට, මැතිවරණ පැවැත්වීමේ බලය නිරායාසයෙන් ලැබේ. දෙවැන්නා අගමැතිවරයාය. සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ බහුතරයක් දෙනා සාමූහිකව පරාජය කිරීමෙන් පසු පත්කර කරන ලද සමාලෝචන කමිටුවේ ප්‍රධානියා ඔහුය. මෙරටේ විශාලතම දේශපාලන පක්ෂයේ නායකයාද ඔහුමය. ඒ අනුව මැතිවරණය අවශ්‍යනම් කළ යුතු කාර්ය දෙකකි. තම සමාලෝචන කමිටුවට හා එහි වාර්තාවට සිදු වූයේ කුමක්දැයි ඔහු නොවලහා පැවසිය යුතුය. අනතුරුව අනෙකුත් පක්ෂ නායකයන් වෙත තම අභිලාෂය දැන්විය යුතුය. වහා විවාද කොට මැතිවරණයට දිනයක් ලබා ගන්න යැයි සභානායකවරයාට උපදෙස් දිය හැකිය. තවම එවැනි ආකාරයේ යමක් සිදුව නැත.

තුන්වැනි පාර්ශ්වය දේශපාලන පක්ෂ නායකයෝය. පළාත් සභා ඡන්ද විමසීම මේසා කාලයක් ප්‍රමාද කරගැනීමේ හැකියාව පක්ෂ නායකයන් හට ලැබී ඇත්තේ එය නව මැතිවරණ ක්‍රමයක් ඔස්සේ පවත්වමු යැයි දේශපාලන පක්ෂ නායකයන් තීරණය කොට පනතක් සම්මත කරන ලද නිසාය. එම නිසා ඡන්ද විමසීම අවශ්‍ය නම් එය කඩිනම් කළ හැකි තවත් එක් පාර්ශ්වයකි මේ. හොරට නොනිදා ඔවුන් කළ යුත්තේ මෙයයි. පක්ෂ නායක රැස්වීමක් කැඳවා, මැතිවරණය පවත්වන දිනයක් ගැන හා ක්‍රමවේදයක් ගැන සාකච්ජා කළයුතු යැයි තීරණය කොට ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමයි. 50-50 ලෙස පළාත් සභා ඡන්ද විමසීම තියමු යැයි සාමූහිකව තීරණය කළේ ජනතාව නොවේ. මෙකී පක්ෂ නායකයෝය. ඒ නිසා මැතිවරණ ක්‍රමය ගැන අඳුරේ අතපත නොගා පෙරට විත් තමන් සැබෑ නායකයන් යැයි පෙන්වීමට, මේ උදා වී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඔවුන් වගබලා ගත යුතුය. “අපිට මැතිවරණයක් දියෝ“ යනුවෙන් ගම් නියම් ගම් සිසාරා හඬ නඟන්නෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුය. එහෙත් ඔවුන් හට වේදිකාව මාරු වී ඇත. ගම්වැසියන් ඉදිරියේ එලෙස ආයාචනා කිරීමෙන් හෝ ළතෝනි තැබීමෙන් අත්වන සුගතියක් නැත. කළ යුතු එකම දේ නිශ්චිත තීරණයක් සඳහා පාර්ලිමේන්තුව පොළඹවා ගැනීමයි. එවැන්නක් අපේක්ෂා කිරීම නම් මඳක් අපහසුය. ඊට හේතුව පළාත් සභා ඡන්ද විමසීම් පිළිබඳ සාකච්ජා කිරීමේ විවාද සඳහා පාර්ලිමේන්තු ගණ පූරණය පවා සොයා ගත්තේ ඉමහත් අපහසුවෙනි.

මැතිවරණය ගැන නිශ්චිත තීරණයක් ගත යුතු බලාධිකාරය සහිත ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානියා කථානායකවරයාය. ඔහු යම් යම් උත්සාහ ගනිමින් සිටී. එහෙත් ඒවා එතරම් ප්‍රමාණවත් නැත. සමහරවිටෙක එතුමන් සිතනවා ඇතැයි උපකල්පනය කළ හැකි උපමානයක් මෙහි දැක්විය හැකිය. එනම් ඡන්දය ඉල්ලන විවාදයේ ගණ පූරණය හෝ නැති පාර්ලිමේන්තුවට මොන මැතිවරණද යනුවෙන් සිතා නිහඬව සිටීය යන්නයි. විෂය භාර අමාත්‍යවරයා සහ රේඛීය අමාත්‍යාංශයට එසේ සිතිය නොහැකිය. පළාත් සභා යනු ඔවුන්ගේ සුජාත දරුවා බඳු විෂයයි. අවාසනාවට විෂය භාර අමාත්‍යවරයා නියෝජනය කරන්නේ මැතිවරණය කෙසේ හෝ ප්‍රමාද කිරීමේ මෙහෙයුම කරට ගත් එක් පාර්ශ්වයකි. එම නිසා සමස්ත අමාත්‍යාංශයටම මැතිවරණය අමතකව ගොස් ඇත. අඩුතරමින් පෙර පනතේ සඳහන්ව තිබූ දෝෂ හෝ කඩිනමින් සකස් කොට ඉදිරිපත් කිරීමේ කර්තව්‍ය හෝ කිරීමට ඉස්පාසුවක් නැතිවීම පුදුම සහගතය. ඉහත කවරකු හෝ ඉදිරිපත් නොවන්නේ නම් අවසන යම් තීන්දුවක් දීමේ බලය සහිත ආයතනය අධිකරණයයි. දැනටමත් පාර්ශ්ව තුනක් අධිකරණ මාර්ගෝපදේශයක් ඉල්ලා ඇත. ගෞරව පූර්වකව යමක් සටහන් කරන්නේ නම් මේ කරුණද ලියා තැබිය යුතුය. නියමිත කලට මැතිවරණ ඉල්ලා අධිකරණයේ පිහිට පැතූවන්ට තීන්දුව ලැබෙන්නේ සමහරවිටෙක අදාළ මහජන නියෝජිත ආයතනයේ නිල කාල සීමාව ද ඉක්ම ගියායින් පසුවය. එම නිසා මැතිවරණ ඉල්ලා අධිකරණයට යෑමට මැලිවන පිරිස දිනෙන් දින වැඩිවෙමින් තිබේ නම් එය පුදුමයක් නොවේ.

මැතිවරණ නොපැවැත්වුවද යහපාලන ආණ්ඩුව අඛණ්ඩවම ගැටලු නිර්මාණය කරගනිමින් තිබීමද දෙමුහුන් පාලන ක්‍රමයක් පිළිබඳ සිහින දුටු තැනැත්තන් වික්ෂිප්ත කිරීමට සමත්ව ඇත්තේය. වසර 2008 දී පැවති නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම ප්‍රචණ්ඩත්වයෙන් ගහණ මැතිවරණයක් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ග්‍රහණයෙන් මුදාගත් විගස පැවැත්වූ මැතිවරණයක් බැවිනි. එහිදී අනුදත් මැතිවරණ ක්‍රමවේදය ගැන අමාත්‍ය දයා ගමගේ මහතා එවකට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාව සිටි සුනිල් කන්නන්ගර මහතා වෙත බරපතළ චෝදනා මාලාවක් එල්ල කර ඇත. මෙහිදී පැනනගින ගැටලුව නම් සමස්ත රජයක් අසමත් වූ කරුණක් පිළිබඳ දශකයකට පසුව හඬනගා නිලධාරීන් හා යුද ප්‍රකාශ කිරීමේ සැඟවුණු අරමුණ කුමක්ද යන්නයි. දැනට කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වන කන්නන්ගර වැනි ඉතා යහපත් නිලධරයන් හා උරණව දේශපාලකයන්ට රටට උදා කළ හැකි සෙතක් නැත්තේය. 

ශ්‍රී ලංකාවේ පවත්නා ජාතික මට්ටමේ මැතිවරණ වර්ග ත්‍රිත්වයක් පැවතියද, මෙතෙක් මෙරටේ ජනමත විචාරණයක් පවත්වා ඇත්තේ එකම වරකි. ඒ වසර 1982 දීය. ඉන් පරිබාහිරව පවත්වන මැතිවරණ යුගලය නම් මහා මැතිවරණය හා ජනාධිපතිවරණයයි. ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව මෙතෙක් ජනාධිපතිවරයා සතුව පැවති ධුර කාලය වසර හයකි. එහෙත් අවසන් වරට මෙරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කළ සංශෝධනය වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එකී ධුර කාලය වසර පහක් දක්වා කෙටි විය. වත්මන් ජනාධිපතිවරයා තම ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාර එය වසර පහකට සීමා වන බව ඔවුන්ගේ මතය විය. ජනාධිපති ධුරය පවා ඉවත්කොට වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තු ක්‍රමයක් යටතේ මෙරටේ පාලනය ගොඩනැංවිය යුතුය යනුවෙන් සමාජයේ ප්‍රචලිතව පවත්නා මතවාදයට ඉන් ලැබුණේ ඉමහත් ආශිර්වාදයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ ඉස්මතු කළ හැකි අසහාය බලයක් සහිතව ස්ථාපිත විධායක ජනාධිපති ධුරයේ බලතල එලෙස කප්පාදු කිරීම නිරනුමානවම මෙරටේ දේශපාලන ඉතිහාසය ඔපවත් කරන තීරණාත්මක සංසිද්ධියකි. මීට පරිබාහිරව දේශපාලන උපක්‍රමයක් ලෙසින් ඉක්මන් මැතිවරණයක් ඉල්ලා තරගයෙන් පසුබැසීමට සිදුවූ විධායක ජනාධිපතිවරයකු ද අපට හමුවේ. ඒ මහින්ද රාජපක්ෂ මහතාය. අමතර දින 432ක කාලයක් තම ධුරයේ රැඳී සිටීමේ වරම ඔහු අහිමිකරගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරටේ අවසන් වරට එනම් වසර 2015 දී පැවති ජනාධිපතිවරණයේදී ජය ලැබීම හේතුවෙනි. ඒ වැඩි ජන්ද 449,072කිනි. 

 මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙරටේ පැවැත්වෙන අටවැනි ජනාධිපතිවරණයයි. එම ජනාධිපතිවරණය සැලකිය හැක්කේ සැඟවුණු අමුත්තන් පිරීගිය තරග බිමක් හැටියටය. මෙවර තරගයට යොමුවන අපේක්ෂකයන් පිළිබඳ දිනෙන් දින මවන පුවත් සංඛ්‍යාව ද අධිකය. එලෙස යෝජිත හා උපකල්පිත කවර අපේක්ෂකයකු වුවද ඔවුන් පිළිගත් හෝ වෙනත් දේශපාලන පක්ෂයකින් නම් කර කරනු ලබන සුදුසුකම් ලත් පුරවැසියකු විය යුතුය. පසුගිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් සංඛ්‍යාව 19කි. ඉන් තිදෙනෙක්ම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරමැද තම අභිලාෂය පරිදි තෝරාගත් අපේක්ෂකයන් එකිනෙකා ප්‍රවර්ධනය කිරීම අඛණ්ඩවම සිදු කළහ. එවැනි අපේක්ෂකයන් හැඳින්විය හැකි අපර නාමය නම් “අපේක්ෂක ප්‍රතිරූපකයෝ” යන්නයි. එලෙස යම් අපේක්ෂකයකු විසින් තවත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කරනු ලබන්නේ නම් එවැන්නක් මාධ්‍ය මගින් ප්‍රචාරය නොකළ යුතු බවට වන ගැසට්ටුවක් පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව වගබලා ගත්තේය. ඒ අංක 1889/31 දරන අංකය යටතේය. කරුණු එසේ වුවද මෙරටේ සමහර අපේක්ෂකයන් වෙත සහාය පළකරන ආධාරකරුවන් පාලනයට ගැසට්ටුවට එහා ගිය කැරලි මර්දන හමුදාවක් යෙදෙව්වද එය පහසු කාර්යයක් නම් නොවේ. එකී අපේක්ෂක ප්‍රතිරූපකයන්ගේ අවරගණයේ අභ්‍යාසයෙහි කූටප්‍රාප්තිය වූයේ ප්‍රබල අපේක්ෂකයකු සේ වෙස් වළාගත් එක් අපේක්ෂකයකු තවත් ප්‍රබල අපේක්ෂකයකු හා මැතිවරණ ප්‍රචාරයේ යෙදීමයි. පළමු පුරවැසියා වීමට උත්සහ දරන්නන් සර්වජන ඡන්ද අයිතියට දත නියවා ඇත්තේ එලෙසය. 

අපේක්ෂකයන් සතුවිය හැකි ජනතා කැමැත්ත වැඩිවූ තරමට ජනාධිපතිවරයා තේරීමේ ක්‍රමවේදය පිළිබඳ අවධානයද දෙගුණ තෙගුණ වීම ස්වාභාවිකය. එය සරලව පැහැදිලි කරන්නේ නම් වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් (මුළු රටෙන්ම) 50%ක් හා තවත් එක් ඡන්දයක් හෝ ඊට වැඩියෙන් ඡන්ද ගත් අපේක්ෂකයා ජය ගන්නේය. කිසිවකු මුළු ජන්ද සංඛ්‍යාවෙන් ඉහත සඳහන් කළ සංඛ්‍යාව නොගන්නා අවස්ථාවකදී ක්‍රමවේදය වෙනස්ය. අපේක්ෂකයන් තිදෙනකු පමණක් තරග කරන කලෙක, අඩුම ඡන්ද ගත් තැනැත්තා තරගයෙන් ඉවත් කෙරේ. පසුව එකී තැනැත්තා ලබා ඇති දෙවන මනාපය අනෙක් දෙදෙනාගෙන් කෙනෙකු වෙත පළකරන ලද මනාපයක් සේ සලකා ගණන් බැලේ. අපේක්ෂකයන් තිදෙනකුට වඩා වැඩි අවස්ථාවකදී සිදුවන්නේ වැඩිම ඡන්ද ලබා ඇති සහ ඊළඟට ඡන්ද ලබා ඇති අපේක්ෂකයා යන දෙදෙනා හැර අනෙක් අපේක්ෂකයන් තරගයෙන් ඉවත් කිරීමයි. එලෙස ඉවත් කළ ඇත්තන්ගේ දෙවන මනාපය, ඉහත කී අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනකු වෙනුවෙන් සටහන් කර ඇත්තාක් සේ සලකා ගණන් බැලේ. වලංගු දෙවන මනාපයක් නොමැති අවස්ථාවකදී, අදාළ පිරිසේ එක් එක් අපේක්ෂකයාට ලැබී ඇති තුන්වන මනාපය ගණන් කෙරේ. ඒ පළමුව කී අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනකු සඳහා මනාපය ලකුණු කර ඇත්තේ නම් පමණි. 

මේ අනුව ඡන්දදායකයා තම බුද්ධිය මෙහෙයවා ඡන්දය භාවිත කළ යුත්තේ එක් අපේක්ෂකයකු ගැන පමණක් සිතා නොවේ. සමස්ත කණ්ඩායම ගැන සිදුකරන බලවත් සෝදිසියකිනි. එපමණක් නොවේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හැමවිටම පුරවැසි අභිලාෂ ඉටුකරන්නේයැයි සිතීම අවදානම් සහගතය. ඡන්දයෙන් තේරීපත්වූ ජනාධිපතිවරයා තම පොරොන්දු ප්‍රකාර ජනතා සිතුම් පැතුම් ඉටුවන සේ මහජන සේවයේ යෙදිය යුතුය යන්න නීතියක් නොවන අතර එය තමා අනුදත් දේශපාලන ප්‍රතිපත්ති හා අදාළ දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරීත්වය මත රඳා පවතින්නකි. ඒ අනුව ඡන්දදායකයා සතු පරමාධිපත්‍යය බලය අසහායය. 

එබැවූ දත් කුමරතුඟු මුනිදසුන් පහත ඔවදන් දී ඇත්තේ මීට දශක නවයකට පෙරදීය. 

බොළඳ ගුණ නොඅඩු දිලිසෙන රූ සිරිනි - නිබඳ බඳ ආදර පිය දියණියන් මෙනි 
මෙසැඳ බලය දී සොරෙකුට රැවටෙමිනි - නොමඳ සොවින් නොතැවෙනු පසුව මිතුරනි

සුරූපී දියණියකට යහපත් සැමියකු සොයන පියකු සේ, ඔබගේ නියෝජිතයා තෝරා ගත යුත්තේ යැයි කුමරතුඟුවන් පවසා ඇත්තේ එලෙසිනි. එසේ නොමැතිව සොරෙකුට රැවටුනහොත් ඔබට නිවැරැදි වීමට ලැබෙන අවස්ථාව ඉතා විරලය. ඉතින් ඔබත් හොරට නිදන්නකු නම්, වහා පිබිදී ඡන්දය ඉල්ලා හඬ නඟන්න. ඒ දේශපාලකයන් ලෙස නොවේ. අවංක ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙසිනි.