පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ අංශාධිපති
ආචාර්ය චරිත හේරත්

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් වසර තුනක් සම්පූර්ණ වෙන්නේ මේ මාසයට ය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ 2015 අගෝස්තු මාසයේ වන අතර එජාපයේ හා ශ්‍රීලනිපයේ ලේකම්වරුන් විසින් ගිවිසුමක් අත්සන් කරමින් ‘සමගි රජයක්’ යැයි කියන මේ ආණ්ඩුව පිහිටුවන්නට තීරණය කළේ ඒ මැතිවරණය නිමාවූ විගසම ය. ආණ්ඩුවේ අය රටට කීවේ මේ කියන සමගි සන්ධානය හැදුවේ ඒ මැතිවරණයේ දී කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය නොලැබුණු නිසා කියා ය. ඒත් ඒ මැතිවරණය පටන් ගන්නටත් පෙර සිටමත් සහ මැතිවරණය පවත්වන කාලයේදිත් ශ්‍රීලනිපය අභ්‍යන්තරයේ සිදූ වූ දේවල් දෙස බලන විට පෙනී යන්නේ ‘මහින්දගේ ආණ්ඩුවක් එන එක වළක්වන්නටත් හා රනිල් ගේ ආණ්ඩුවක් එන එක ස්ථිර කරන්නටත්’ සමහරුන් තීරණය කර තිබුණේ මැතිවරණයට එන්නටත් පෙර කාලයේ පටන්ම බව ය. මේ අවුරුදු තුනක් සම්පූර්ණ කරන්නේ එහෙම හදා ගත් වර්තමාන ආණ්ඩුවට ය. මා මේ ලිපියෙන් සාකච්ජා කරන්නේ මේ ආණ්ඩුව සෑදීම පසුපස තිබෙන කුමන්ත්‍රණ හා පාවාදීම්වලින් පිරුණු ඒ කථාව නොවේ. මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ වර්තමාන ආණ්ඩුවේ වසර තුනක පාලන කාලය තුළ රටේ මෝදු වෙමින් පවතින බියජනක තත්ත්වයන් කීපයක් පැහැදිලි කරන්නට ය. සරලවම කිවහොත් මේ ආණ්ඩුවේ තුන් අවුරුදු පාලනය විසින් මේ රටේ ජනතාවට ප්‍රධාන වශයෙන්ම තුන් බියක් නිර්මාණය කර ඇති බව කීමේ වැරැද්දක් නැත.

බෞද්ධ සාහිත්‍යයේ එන ආකාරයට එකල විසාලවේ තිබුණේ යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය බිය එකතු වූ තුන් බියක් ය. ශාසන ඉතිහාසයෙන් කියවෙන්නේ විසාලාවේ තුන් බිය දුරු කරන්නට බුදුන් වහන්සේ රතන සූත්‍රය දේශනා කළ බව ය. මේ රටේ ජනතාවට වර්තමාන ආණ්ඩුවෙන් ඇති කර තිබෙන තුන් බිය දුරු කරන්නට සමත් දේශපාලන සූත්‍රයක් සොයමින් සිටින තැනට රට පත් වී ඇති බව පැවසීම නිවැරැදි ය.

‘යහපාලනය ගෙනාවා’ යැයි නිතර කියන වර්තමාන රජයේ වසර තුනක ශේෂ පත්‍රය ලෙසින් අප ඉදිරියේ ගොඩනඟා තිබෙන්නේ තුන් ආකාරයක භීතිය. එනම් (1) ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීම හරහා රටේ ස්වාධීනත්වය විනාශ කිරීම, (2) රාජ්‍යයේ පැවැත්ම කඩා වට්ටමින් වෙළඳපොළේ ගජමිතුරන් අතට රටේ ආර්ථිකය පත් කිරීම සහ (3) ව්‍යවස්ථාව වෙනස් කරමින් හෝ ඡන්ද කල් දමන තැනකට ප්‍රජාතන්ත්‍රවාදය පල්ලම් බැස්සවීම යන කාරණ​ා ය.

ජාතික සම්පත් පිළිබඳව මේ ආණ්ඩුවේ මතය සම්පූර්ණයෙන්ම නියෝජනය කරන්නේ රටට විරුද්ධ මතයක් බව මෙහිදී මුලින්ම තේරුම් ගැනීම ඉතාමත් වැදගත් ය. ජාතික සම්පත් විකිණීම පිළිබඳව වර්තමාන රජයේ ස්ථාවරය සහ උත්සාහය මීට පෙර කාලවල තිබුණේ එජාපයේ සමහරුන්ගේ දේශපාලන ආර්ථික ස්ථාවරය ලෙසින් පමණක් ය. එය ශ්‍රීලනිපයේත් ස්ථාවරය බවට පත්වී තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට බව මෙහිදී පැවසීම ඉතාමත් නිවැරැදි ය. මේ ආණ්ඩුවේ නායකයන් ජාතික සම්පත් විනාශ කිරීම ආරම්භ කළේ රටේ ප්‍රධානතම ජාතික සම්පත වූ මහ බැංකුව හොරකම් කරමින් බව කාටත් හොඳින් මතක ය. එයින් පසුව මේ දක්වා ආණ්ඩුවේ ඉහළ පෙළේ හැම රැස්වීමකම පාහේ සාකච්ජා කරන එක මාතෘකාවක් වන්නේ ඊළඟට විකුණන රාජ්‍ය දේපළ සම්බන්ධව ය. හම්බන්තොට වරාය චීනයට පැවරීම වැනි බරපතළ තීරණ මේ ආණ්ඩුව ගන්නේ කිසිම චතිකයකින් තොරව ය. රටේ පාලන බලය වසර පහකට ලබාගන්නා දේශපාලන පක්ෂයක් රටේ ජනතාවට අයිති සම්පත් තමන්ගේ පාලනයට අයිති නැති වසර 90 කාලයකට වෙනත් රටකට ලබාදෙන්නේ කෙසේදැයි විමසීම මෙහිදී ඉතාමත් වැදගත් ය.

අනෙක් අතට හම්බන්තොට වරාය පැවරීම හරහා හුදු මුදල් හුවමාරුවකට එහා ගිය ජාත්‍යන්තර දේශපාලන අවුලකට ද මේ ආණ්ඩුව විසින් රට හිර කර තිබෙන බව මෙහිදී විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය. චීනයේ දේශපාලන හැසිරීම් සමඟ ගැට ගැසුණු ජාත්‍යන්තර භූ දේශපාලනික ගැටුම් ගණනාවකට අප රටක් වශයෙන් අනාගතයේ දී මුහුණ දෙන්නට නියමිත බව ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ විශේෂඥයන්ගේ මතයයි. චීනයට හෙක්ටයාර් සිය ගණනක ඉඩම් ද සහිත වරාය නගරයක් දුන්නා නම් ‘අපිටත් මත්තල ගුවන් තොටුපොළවත් දිය යුතු යැයි’ ඉන්දියාව කියන්නේ මේ ජාත්‍යන්තර දේශපාලනයේ ගැටගැසීමක් විදිහට ය.

කලාපයේ දේශපාලනයත් ලෝක දේශපාලනයත් මේ ගැටුමට කොතරම් තදින් සම්බන්ධ වේවි ද යන කාරණය පදනම් වන්නේ චීනය ලෝක ආර්ථිකයේ හා ලෝක දේශපාලන තලයේ ඉදිරියේ දී සිදු කරන මැදිහත්වීම මත ය. 1980 දශකයේ ජයවර්ධන ආණ්ඩුව ඉන්දියාව කුපිත කරන ආකාරයෙන් ඇමරිකානු මැදිහත්වීමවලට (ඉරණවිල ඇමරිකන් හඬ ඉදිකිරීම වැනි දේවල් හරහා) ඉඩ දුන් නිසා සිදු වූයේ අපේ රටේ අභ්‍යන්තර ගැටුමකට ඉන්දියාව මැදිහත්වී වසර 30ක් පමණ දුර යන යුද්ධයකට අප කොටුවීම ය. ඉන්දියාවේ පුහුණු වූ සටන්කාමීන් ත්‍රස්තවාදීන් වශයෙන් මෙරටට පැමිණියේ ඒ හේතුව නිසා ය. මේ ආකාරයේ අනාගත ව්‍යසන කැඳවන්නට සමත් පසුව පුපුරණ පාර්සල් බෝම්බයක් වැනි දේවල්වලට රට හිර කර තැබීම මේ ජාතික සම්පත් විකිණීමේ දීර්ඝ කාලීන ප්‍රතිවිපාක ලෙසින් ගැට ගැසෙන බව තේරුම් ගැනීම මෙහිදී ඉතාමත් වැදගත් ය.

ජාතික සම්පත් විකිණීම හරහා රටට ඇති කර ඇති බිය වන්නේ රටේ ස්වාධීනත්වය හා ආර්ථිකමය වූ නිදහස බරපතළ ආකාරයෙන් වෙනත් පාර්ශ්වයක් හෝ වෙනත් රටක් වෙතට යටත්කර තැබීම ය. ආණ්ඩුවේ ඉතිරි කාලයේ කරන්නට යන විකිණීම් අතර අධිවේගී මාර්ග පද්ධතිය වැනි දේවල් ද තිබීම ගැන මෙහිදී විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය. වසර තුනක කාලයට ආණ්ඩුව කරමින් යන මේ ජාතික සම්පත් විජාතික ග්‍රහණයට ලක් කිරීමේ ව්‍යායාමය මගින් ගොඩනගා ඇත්තේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නොව බියක් බව තේරුම් ගන්නටවත් හැකියාවක් ආණ්ඩුව කරවන පක්ෂ දෙකට ම නැති බව ඉතාමත් පැහැදිලි කාරණය යි.

දෙවනුව මේ රටේ ජනතාව බියෙන් මිරිකී සිටින්නේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියේ තිබෙන බරපතළ ගැටලුවක් නිසා ය. එය මගින් කරන්නේ තමන්ගේ ගජමිතුරු හවුලක් හරහා වෙළඳපොළ ශක්තිමත් කරමින් රාජ්‍යයට තිබූ හෙට්ටු කිරීමේ ශක්තිය හීන කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීම ය. විවිධ ආකාරයේ වෙළෙඳ ගිවිසුම් ගසමින් ආණ්ඩුව මේ කරන්නේ ඒ කාරණය ය. රටක් වෙළඳ ගිවිසුම් ගහන්නේ ගනු-දෙනු යන දෙපැත්තම සලකා බලා තාක්ෂණික හා උපක්‍රමික වාසි සහගත තත්ත්වයන් ඇතිකර ගනිමින් ය. මේ ආණ්ඩුව වෙළඳ ගිවිසුම් ගසන්නේ ‘දෙනු’ සඳහා මිස ‘ගනු’ සඳහා නොවේ. සිංගප්පූරු වෙළඳ ගිවිසුම ආකාරයේ ගිවිසුම් හරහා මේ රටේ ශ්‍රම වෙළෙඳපොළ සම්පූර්ණයෙන් ම වෙනත් රටකට හිර වෙන තැනට ගමන් කිරීමේ අවදානම විශාල වශයෙන් මේ වන විටත් ගොඩනැඟී ඇත. අනෙක් අතට රාජ්‍යයේ අධිකාරිමය බලය හරහා ගොඩනඟා ඇති සුබසාධන වැඩසටහන් සියල්ල ම පාහේ වෙළෙඳපොළට යටත් කරමින් තිබෙන බව ඉතාමත් ප්‍රකට සත්‍යයකි. පරණ මාක්ස්වාදීන් ‘රාජ්‍යය දියකර හැරීම’ පිළිබඳව අදහසක් සූත්‍රගත කර තිබුණේ රටේ ප්‍රාග්ධනය වෙළෙඳ පොළ විසින් හැසිරවීම නැවැත්වීමේ ක්‍රියාදාමයක උත්තරීතර තත්ත්වයක් ලෙසින් ය. මේ ආණ්ඩුවේ අය කරන්නේ වෙළඳ පොළට රාජ්‍යය යටත් කිරීම හරහා එය දියකර හැරීමකට දැයි දැන ගන්නට හැකියාවක් නැත. ලංකාව වැනි පසු යටත් විජිත රාජ්‍යයක ආර්ථික තලයේ අසමානතා විශාල වශයෙන් ඇති තත්ත්වයක් තුළ රාජ්‍යයේ ස්ථාවරත්වය හා පැවැත්ම අත්‍යවශ්‍ය බවට සිදුකර ඇති ශාස්ත්‍රීය අධ්‍යයන රාශියක් තිබෙන බව මෙහිදී පැවසිය යුතුය. මේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය හරහා සිදුවන ආකාරයේ රාජ්‍යය විසුරුවා හැරීමේ ක්‍රියාදාමයක් මෑත භාගයේ මේ පන්නයේ කිසිම රටක් විසින් කර නැති බව මගේ අදහස ය.

තුන් වැනි කාරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මේ රටේ පැවති විශ්වාසය කඩා වැටෙන්නට ඉඩ දෙමින් කරන ක්‍රියාදාමයන් මගින් ජනතාව භීතියට පත් කර තිබීම ය. ‘ඡන්දයක් තියන එකක් නැහැ’ යන හැඟීම ජනතාවගේ අවිඥානයට ඇතුළු කර තිබීම නිසා අද රටේ තිබෙන්නේ තමන්ගේ ඡන්ද බලය පිළිබඳව අවිනිශ්චිතභාවයකින් යුතු භීතියක්ය. 1948 පසුව කාලේ විවිධ අර්බුදවලට ලක්වෙමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය පවත්වාගෙන ඒමට හැකියාව ලැබී තිබුණ බව සත්‍යයකි. එල්ටීටීඊ ත්‍රස්තවාදය විසින් කළ සිය බලපෑම් හා තර්ජන හමුවේ වුවත් දකුණේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය අවුල් වෙන්නට කිසිදු නායකයකු ඉඩ දුන්නේ නැත. අනෙක් අතට ජවිපෙ විසින් 1989 ජනාධිපතිවරණයට කළ තර්ජනය පවා පරජයට පත් කරමින් ඡන්දය රැක ගැනීමට මෙරට ජනතාව හැම විටම ඉදිරියට පැමිණි බව ද අපගේ අවධානයට ගැනීම වැදගත් ය. මේ ආණ්ඩුව කරන්නේ ඡන්දයක් එන එක වළක්වන්නට හදන උපක්‍රම ලෙසින් ව්‍යවස්ථා හා පනත් සංශෝධනය කරන්නටය. පනත සංශෝධනය පටන් ගත්තේ එක කාරණයකට ය. එයට ශ්‍රේෂ්ඨාධිකරණය විරුද්ධ වූ විට වෙනත් කාරණයක් යැයි කියා පළාත් සභා මැතිවරණ පනත වෙනස් කරන්නට හදන්නේ මේ නිසා ය. අවශ්‍ය වන්නේ පනත වෙනස් කිරීමට නොව ඡන්දය කල් දැමීමටය. මේ සූදුව විසින් සමාජයට එන්නත් කර තිබෙන්නේ ජනතාවගේ ඡන්ද බලය රැක ගැනීම පිළිබඳ බරපතළ භීතියක් යැයි මා කීවේ ඒ නිසා ය.