සීමානිර්ණය කමිටු වාර්තාව පරාජය වීම, පංච පුද්ගල කමිටුව, කලා කෘති වාරණය, 20 වැනි සංශෝධනය, ගම්පෙරළිය, මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපති අපේක්ෂකත්වය, ස්වාධීන කොමිසන් සභා හා දුරකථන සංවාද ටැප් කිරීම ගැන රජයට එල්ල වන චෝදනා ගැන මෙවර සඳුද‌ා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාය.

ප්‍රශ්නය - පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට කතා වෙන අතරේ සීමානිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා. වාර්තාවට පක්ෂ ජවිපෙත් ඡන්දය නොදී මග හැරියේ ඇයි?

පිළිතුර - තමන්ගේ ප්‍රදේශයට වගකියන මන්ත්‍රී කෙනකු ඕනෑය මනාප බලුපොරය නතර කිරීමට ඕනෑය කාන්තා නියෝජනය වැඩිකිරීමට ඕනෑය කියා ජනතා මතයක් තිබුණා. පරණ මැතිවරණ ක්‍රමය වෙනුවට අලුත් මැතිවරණ ක්‍රමයක් ගෙනාවේ ඒ නිසයි. නව ඡන්ද ක්‍රමය ගෙනාවේ ආණ්ඩුවම තමයි. සීමානිර්ණය කොමිසන් වාර්තාව ගෙනාවෙත් ආණ්ඩුවමයි. පරණ ක්‍රමයට යන්න ඕනෑ යැයි ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය කියනවා. ශ්‍රීලනිපය අලුත් ක්‍රමයට තියන්න ඕනෑ කියනවා. අලුත් ක්‍රමය හොඳයි කිව්ව අයම ඒකට විරුද්ධව ඡන්දය දුන්නා. මේක මහ විහිළුවක්. විකාරයක්. විගඩමක්. මේකෙ යටි අරමුණ ඡන්ද කල්දෑම. මේ තියෙන්නේ මැතිවරණය කල්ද‌ාන්නට ආණ්ඩුව යෙදූ උප්පරවැට්ටියක්. දේශපාලන තුරුම්පුවක්. ජවිපෙ ඡන්ද දීමෙන් වැලකී සිටියේ ආණ්ඩුවේ මේ වුවමනාවට එරෙහිවයි.

ප්‍රශ්නය - ආණ්ඩුවට ඡන්දය කල්ද‌ා ගැනීමේ වුවමනාවක් තිබුණා නම් විරුද්ධ පක්ෂය ශක්තිමත්ව ඊට මුහුණ දුන්නා යැයි හිතනවද?

පිළිතුර - දෙමළ ජාතික සන්ධානයත් මහින්ද කණ්ඩායමත් ඊට විරුද්ධ වුණා. මහින්ද කණ්ඩායම විරුද්ධ වීම හරි. ඔවුන් මේකට එදත් විරුද්ධයි. ඒක ඒ අයගෙ වුවමනාව. ප්‍රශ්නෙ තියෙන්නේ ආණ්ඩුව විරුද්ධවීමයි. ආණ්ඩුවම හොඳයි කියලා ගෙනාපු ක්‍රමයට ආණ්ඩුවම විරුද්ධ වෙනවා. මෙතැනදී නිරුවත් වුණේ ආණ්ඩුවයි.

ප්‍රශ්නය - ආණ්ඩුව නිරුවත් වුණා යැයි ඔබ කිව්වත් ශ්‍රීලනිපයේ සංවිධායක දුමින්ද දිසානායක වැන්නන් වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර කිව්වේ ඊට පක්ෂව ඡන්දය දෙන බවයි. අන්තිම මොහොතේ වූ වෙනස මොකද්ද?

පිළිතුර - ඇත්තටම ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් කීපයක් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවෙ ශ්‍රීලනිපයෙත් කණ්ඩායම් දෙකක් ඉන්නවා. එතකොට මේක පරස්පරයක්. අලුත් ක්‍රමය එපා පරණ ක්‍රමයට යමු කියලා එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගත්තා. හැබැයි ශ්‍රීලනිපය කියන්නේ අලුත් ක්‍රමයට යමු කියලා. මේකෙන් පැහැදිලි වුණු කරුණු කීපයක් තිබෙනවා. ඡන්දයක් පවත්වන දිනයක් තියා ක්‍රමයක් ගැනවත් ආණ්ඩුවට හරි එකඟතාවයක් නෑ. අනෙක් අතට මේකෙන් ප්‍රකාශ වුණේ ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබෙන අර්බුදයයි.

ප්‍රශ්නය - පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබාගැනීමට අගමැතිවරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කිරීමට කතානායකවරයා කටයුතු කරනවා. එයින්වත් ප්‍රතිඵලයක් ලැබේවිද?

පිළිතුර - දැන් අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරලා. ඒ කමිටුවෙන් වාර්තාවක් ඉදිරිපත් කරනවා. තවත් මාස දෙකක් පස්සට යනවා. මේක කල්ද‌ාගත්තාම ඡන්දය පවත්වන්නේ පරණ ක්‍රමයට ද අලුත් ක්‍රමයට ද යන්න හරියටම තීන්දු වෙන්නේ නෑ. අලුත් ක්‍රමයට මැතිවරණය නොපවත්වනවා නම් විෂය භාර ෆයිසර් ඇමතිවරයා අලුත් ක්‍රමය අත්හිටුවීමට තව පනතක් ගෙන ආ යුතුයි. ඒකටත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයක් ඕනෑ. පරණ ක්‍රමයට යන්න නම් අලුත් ක්‍රමය නවත්වන්න ඕනෑ. ඒක මුස්තාෆාගෙ පැත්තෙන් කරාවිද කියන සැකය තියෙනවා. මොකද පක්ෂෙන් කියන්නේ අලුත් ක්‍රමේට යන්න කියලා. 

ප්‍රශ්නය - මැතිවරණ කොමිසමත් මේ තත්ත්වයට පිළිතුර හැටියට යෝජනා කරන්නේ පංච පුද්ගල කමිටු වාර්තාව මත පදනම්ව විසඳුමකට යෑම නේද?

පිළිතුර - ඒක ඇත්තටම ඒ අයගෙ යෝජනාවට වඩා නීතියෙ තියෙන දේයි. සීමානිර්ණය කොමිසන් වාර්තාව මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තුනෙන් දෙකෙන් සම්මත වෙන්න ඕනෑ. එහෙම සම්මත වෙන්නේ නැත්නම් කතානායකවරයා විසින් අගමැතිවරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කරලා මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. ඒක තුනෙන් දෙකෙන් සම්මත වෙන්න ඕන නෑ. මේක පරස්පරයක්. එක්කො විෂය බාර ඇමති කැමැති දේට අගමැති එකඟ වෙන්න ඕනෑ. එහෙම නැත්නම් අගමැති කැමති දේට ඇමති කැමති වෙන්න ඕනෑ.

ප්‍රශ්නය - කලා කෘති කීපයක් වාර්ණයට ලක්කිරීම ආණ්ඩුව බලයට පත්කිරීමට කැප වූ සිවිල් සමාජ සංවිධානවලින්ම ආණ්ඩුවට එරෙහිව විශාල හඬක් නැගුණා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ තිබෙන්නේ බෙදුණු මතයි. ජවිපෙ මතය කෙලින්ම කිව්වොත්?

පිළිතුර - එය කිසිසේත් අනුමත කිරීමට බෑ. අනෙක් අතට වාරණය වූ කලා කෘතිවල බුදු දහම විවේචනය කිරීමක් තිබුණෙත් නෑ. ඒවා වැරැදි මත. මේක එක පැත්තකින් සංස්කෘතික දඩයමක්. කලාවේ සංස්කෘතියේ දියුණුවටත් ස්වාධීන පෝෂණයටත් මෙය බාධාවක්. මේ තීරණයත් අරගෙන තිබෙන්නේ ආණ්ඩුවක් විදියට නෙවෙයි. ඇමතිවරුන්ගේ පුද්ගලික වුවමනා අනුවයි. ආණ්ඩුවෙ වෙනස් අදහසක් පෙන්නුම් කරන්නේ ඒකයි. තහනම් කළ නාට්‍ය නැවත දර්ශනයට ඉඩ සලස්වන්නැයි දන්වමින් ජවිපෙ ඇමතිවරයාට ලිපියක් යවමින් බල කළා.

ප්‍රශ්නය - පැවති රජයේ විවිධ අංශ පෞද්ගලික දුරකතන ඇමතුම්වලට සවන් දුන් බවට චෝදනා කළේ මේ ආණ්ඩුවේ ප්‍රබලයන්මයි. දැන් ඒ චෝදනාව මේ ආණ්ඩුවට එල්ලවීම මහජන ආරක්ෂාව පැත්තෙන් බරපතළව සැලකිය යුතු කරුණක් නොවේද?

පිළිතුර - හැම ආණ්ඩුවක්ම පත්වෙච්ච අලුත මාධ්‍යට නිදහස දෙමින් පුද්ගල නිදහස ගැනම කතා කරනවා. හැබැයි ටික කාලයක් යද්දී ඒ ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්න විසඳ‌ාගන්න බැරි වෙනවා. ජනතා විරෝධය තමන්ට එල්ලවෙද්දී ඒක බලහත්කාරයෙන් යටපත් කිරීමට උපක්‍රම තෝරනවා. දුරකථනවලට සවන්දීම කරන්නේ ඒ අර්ථයෙන්. අවසානයේ සිදුවන්නේ බියවැද්දීම් හා තර්ජනය කිරීම්. ඒක යහපාලනය නෙවෙයි. මේක දැන් සිටම වලක්වා ගත යුතු නරක ආරම්භයක්. එය වර්ධනය වූ තත්ත්වයකට ගියහොත් ඉතා බරපතළ තත්ත්ව නිර්මාණය වේවි.

ප්‍රශ්නය - 19 වැනි සංශෝධනය යටතේ ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම සාධනීය ප්‍රතිසංස්කරණයක් වුවත් පොලිස්පතිවරයා පොලිස් කොමිසම් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම නිසා අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු හැටියට මෙවැනි අවස්ථාවක ව්‍යවස්ථා සභාවේ කාර්යභාරය දකින්නේ කොහොමද?

පිළිතුර - කොමිසන් සභාවලට පුද්ගලයන් පත්කරන්නේ ව්‍යවස්ථා සභාව මගින් තමයි. ඊටපස්සේ ඒ කොමිසන් සභාවල ක්‍රියාකාරීත්වය ස්වාධීනයි. එහි කටයුතුවලට ඇඟිලි ගහන්නට ව්‍යවස්ථා සභාවට බෑ. එහෙම ඇඟිලි ගැහුවොත් ඒක ස්වාධීන නෑ. කොමිසන් සභාවලට නියෝග දීමට හෝ ඒවායේ කටයුතු පාලනය කිරීමට ව්‍යවස්ථා සභාවට හෝ ජනාධිපතිවරයාට හෝ කාටවත් බෑ. සමහර තැන්වල අඩුපාඩු වෙන බව අපට පේනවා. පොලිස්පතිවරයා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම වගේම කොමිසන් තීරණ ගැනත් විවිධ විවේචන ඇති වී තිබෙනවා. ඒක 19 වැනි සංශෝධනයේ වරදක් නෙවෙයි. පත්කෙරුණු පුද්ගලයන්ගේ අඩුපාඩුයි. ඒකට කොමිසන් සභා ව්‍යුහයට බැන වැදී ඵලක් නෑ.

ප්‍රශ්නය - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් ජනාධිපතිවරණයට තරග කළ හැකි යැයි ජී.එල්. පීරිස් මහතා දැක් වූ අදහස හිටපු අගවිනිසුරුවරයකු වූ සරත් එන්. සිල්වා මහතාත් අනුමත කරනවා. එතකොට 19 වැනි සංශෝධනය මහින්ද රාජපක්ෂ මහතාට අද‌ාළ නැද්ද?

පිළිතුර - ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත්කර ගනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් එකී ධුරය සඳහා තෝරා පත්කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා. මේ නීතිය ඉතා පැහැදිලියි. මේක මහින්ද රාජපක්ෂ මහත්තයා දන්නවා. ජී.එල්. පීරිස් මහත්තයාත් දන්නවා. දැන දැනම තමයි මේ බොරුව කරන්නේ. පහුගිය දවස්වල මේ රාජපක්ෂ කණ්ඩායම ඇතුළේ බෙදීමක් ඇති වුණා. ඒ 2020 ජනාධිපති අපේක්ෂකයා පිළිබඳවයි. මේ මතය එලියට දැම්මේ ඒ බෙදීම වළක්වාගන්නයි. අනෙක් පැත්තට තමන් එක්ක ඉන්න පාක්ෂිකයන් රඳවාගන්නයි. එ්නිසා මහින්දට කොහෙත්ම නැවත තරග කරන්න බෑ.

ප්‍රශ්නය - 20 වැනි සංශෝධනයට මහින්ද රාජපක්ෂ මුලදී පළ කළ එකඟතාව වෙනස් වුණේ ඒකාබද්ධයේ ඇතැමුන් විසින් එය එ.ජා.ප ජ.වි.පෙ ගැටයක් හැටියට හැඳින්වීමෙන් පසුවයි. 20ට දැන් මොකද වෙන්නේ?

පිළිතුර - 20 දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. කතානායකවරයා විසින් ඒ ගැන දිනයක් තීරණය කළ යුතුයි. 20 සම්බන්ධයෙන් රාජපක්ෂ කණ්ඩායමේ මත දෙකක් තිබෙනවා. කණ්ඩායමක් පක්ෂයි. කීප දෙනෙක් විරුද්ධයි. 20ට සහාය දැක්විය යුතුය යන අදහසේ තාමත් පිරිසක් සිටිනවා. ඒකාබද්ධය 20ට ඒකමතිකව විරුද්ධ යැයි කීම බොරුවක්. ඒක එහෙම නෙවෙයි කියලා කුමාර වෙල්ගමලා පැහැදිලිව කියනවා. ඒකාබද්ධයේ මේ ගැන තිබෙන්නේ විසංවාදයක්. 20 යටතේ විධායක ජනාධිපති ධුරය අහෝසි වෙනවා වගේම මහින්ද රාජපක්ෂට අගමැති ධුරයට තරග කිරීමට චාන්ස් එකකුත් තියෙනවා.

ප්‍රශ්නය - පළාත් පාලන ඡන්ද ප්‍රතිපල සමග ග්‍රාම ශක්ති, ගම්පෙරළිය ආදී වශයෙන් ආණ්ඩුවේ ආර්ථික දර්ශනය ගමට වැඩි වශයෙන් මුදල් යෙදීම් කරන්නට බර තබා ඇතැයි ආර්ථික විද්‍යාඥයන් කියනවා. ආණ්ඩුවේ නව ආර්ථික උපාය මාර්ග ජවිපෙ දකින්නේ කොහොමද?

පිළිතුර - මේ ඔක්කොම පටන්ගත්තේ අවුරුදු තුනක් ගියාට පස්සෙ. මෙච්චර කල් පොල් ගෑවා. දැන් තමයි ග්‍රාම ශක්ති, ගම්පෙරළි ඔක්කොම මතක් වෙලා තියෙන්නේ. ආණ්ඩුව දැන් කරන්නේ අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ වැඩක්. රජයේ මුදල් යොදවලා මේ සම්පූර්ණයෙන්ම කරන්නේ දේශපාලන ව්‍යාපෘතියක්. ආසන සංවිධායකවරු, කොට්ඨාස සංවිධායකයෝ හරහා තමයි ගම් පෙරළන්න හදන්නෙ. මේ ආණ්ඩුවට එරෙහිව ගමේ විරෝධය දැන් හැදිලා ඉවරයි. බදු බර වැඩියි. ජීවන වියදම වැඩියි. මිනිස්සු ජීවත් වෙන්න බැරිව සිටිද්දී මන්ත්‍රීවරු හය ලක්ෂ හතලිස් ද‌ාහක් ගෙවලා වාඩිවෙන්න පුටු ගේනවා. එ්නිසා ඔය මොන පෙරළියකින්වත් ඒක ආපස්සට හරවන්න බෑ.

ප්‍රශ්නය - ඌව පළාත් සභාවේ රුසියානු සංචාරය, බස්නාහිර පළාත් සභාවේ සැප පුටු ආදී රාජ්‍ය මුදල් නාස්තියේදී ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට ඊට විරුද්ධ වුණා. මේ මැදිහත්වීම් ගැන ලැබෙන විශාල ජනතා ප්‍රතිචාර ඡන්ද බවට පරිවර්තනය නොවෙන්නේ ඇයි?

පිළිතුර - විද්වතුන් හා එක්ව රට හදලා රට රකින ජනතාවාදී පාලනයක් ගොඩනගන වැඩපිළිවෙළක් අප ඉදිරිපත් කර තිබෙනවා. කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය, සංස්කෘතිය යනාදී වශයෙන් ජනතාවගේ අදහස් ඔස්සේ මේ වැඩපිළිවෙළ සකස් කෙරෙනවා. විශේෂයෙන්ම මේ රටේ විද්වත් වෘත්තිකයන්ගේ නායකත්වයෙන් ගොඩනැගෙන මේ පළල් පෙරමුණත් සමග ජනතාව අලුත් බලාපොරොත්තුවක් සහිතව පෙළගැහෙනවා. එද‌ා මේක තේරුම් නොගත් ජනතාව අද එය තේරුම් ගනිමින් සිටිනවා. විකල්ප දේශපාලන නායකත්වය ගොඩනැගීමට සියල්ල අප සූද‌ානම් කර තිබෙනවා. හැත්තෑ අවුරුද්දක වැරදි දේශපාලන ගමන වෙනස් කර රට නව මාවතකට අවතීර්ණ කිරීමට එමගින් හැකිවෙන බව නිසැකයි.

ප්‍රශ්නය - විද්වත් වෘත්තිකයන් පෙරටු කර ගැනීම අද වන විට සියලුම දේශපාලන කණ්ඩායම් පාහේ භාවිත කරන උපක්‍රමයක් වී තිබෙනවා. වෘත්තිකයෝ ටිකත් බෙදුණාම පෙළගැහීමත් බෙදෙන්නේ නැද්ද?

පිළිතුර - ඇත්තටම රට නිවැරදි දිශාවකට ගන්න මේ රටේ විද්වතුන්ට බුද්ධිමතුන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. වැරැදි දේශපාලන බලවේග බලයට එන්නේ ඔවුන්ගේ නිහඬතාව නිසයි. අද ඔවුන් අවදි වෙමින් තිබෙනවා. ඒක බෙදීමක් නෙවෙයි. සාධනීය ලක්ෂණයක්. හොඳ ප්‍රවණතාවයක්.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ