සටහන - චමින්ද මුණසිංහ

අලුත් මැතිවරණ ක්‍රමයක අවශ්‍යතාව කතා කරන්නේ 2003 පටන්ය. 2007 දී අතුරු වාර්තාවක් ඉදිරිපත් වුණි. ඒ නව මැතිවරණ ක්‍රමයක් සැකසීමට පත් කළ තේරීම් කාරක සභාවය. යම් මැතිවරණ ක්‍රමයක් වෙනස් කරන්නේ නම් ප්‍රථමයෙන්ම පළාත් පාලන ආයතන සඳහා පමණක් එම වෙනස කළ යුතු බව එහි යෝජනා කර තිබේ. ඉන් පසුව ක්‍රමිකව පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු මැතිවරණයටත් වශයෙන් පියවර තුනකින් මේ ක්‍රියාදාමය කළ යුතු බව ඉහත අතුරු වාර්තාවෙන් නිර්දේශ කර තිබේ. 2012, 2016, 2017 වසරවලදී පනත් සකස් වූයේ ද එම අතුරු වාර්තාව පදනම් කරගෙනය.

 වසර 2016 දී පළාත් පාලන ඡන්ද විමසීමේ අලුත් පනතින් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දුන්නේය. එය සිදුවූයේ 2012 පනත අනුව නොවේ. බොහෝ නව අංග එයට එකතු වී තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණයක් වුණි. ඒ අනුව තරමක් ව්‍යාකූල වූ තත්ත්වයකින් මෙහි අවසානය සටහන් වුණි. එහෙත් පසුගිය වසරේදී පළාත් සභා තුනක නිල කාලය අවසන් වීමට තිබූ නිසා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට පෙර පියවරක් ගත්තේය. එනම් 2016 දී පළාත් පාලන ආයතන උදෙසා නිර්මාණය කළ ඡන්ද ක්‍රමය පළාත් සභාවලට ද ආදේශ කිරීමය. ඒ අවස්ථාවේ මෙවැන්නක් කළේ ඇයි දැයි ප්‍රශ්නයකි. කාලය අවසන් වූ පළාත් සභා තුනේ ඡන්දය එම අවස්ථාවේ නොපවත්වා කල් මැරීමේ වුවමනාවක් ආණ්ඩුවට තිබූ බව මෙයින් පැහැදිලි වන කරුණකි. කෙසේ වෙතත් මූලිකම වැරැද්ද සිදුව ඇත්තේ මෙතැනදීය.

පළාත් පාලන ඡන්ද විමසීම පවත්වා එහි ඇති වාසි අවාසි දෙස බලා නව ඡන්ද ක්‍රමය පළාත් සභාවට ගළපනවා වෙනුවට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට පෙර නව ක්‍රමය පළාත් සභාවලට දීර්ඝ කළේය. පළාත් සභා සඳහා ඡන්ද විමසීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යෝජනා වී තිබුණේ සියයට හැටක් සහ සියයට හතළිහ අනුපාතයයි. ඡන්ද ක්‍රමය සමානුපාතිකය. යම් පළාත් සභාවක කොට්ඨාස සියයක් තිබේ නම් එයින් මන්ත්‍රීවරුන් හැට දෙනකු කොට්ඨාසවලින් තේරීම මේ අනුව කළ යුතුව තිබුණි. ඉතිරි හතළිස් දෙනා තේරීම කරන්නේ සියයට සියයක් සමානුපාතික ක්‍රමයෙනි. ඒ සමඟම පළාත් පාලන මැතිවරණ ක්‍රමයට වඩා වෙනසක් මේ ක්‍රමයේ තිබුණි. එනම් සමස්ත පළාත් සභාවම ජය ගන්නා වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා පක්ෂයට ප්‍රසාද මන්ත්‍රී ආසන දෙකක් ලබාදීමේ නිර්දේශයයි.

එහෙත් මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වීමට තිබූ අවසන් මොහොතේදී වෙනසක් කිරීමට පියවර ගෙන තිබුණි. සියයට හැටයි හතළිහේ අනුපාතය සියයට පනහට පනහ දක්වා අඩු කිරීම එම වෙනසය. මේ වෙනස කර තිබුණේ රාවුෆ් හකීම්, රිෂාද් බදියුදීන් සහ මනෝ ගනේෂන් යන ඇමැතිවරුන්ගේ ඉල්ලීමටය. ඔවුහු මෙතැනින් නතර නොවූහ. තවත් කොන්දේසි දෙකක් ඉදිරිපත් කළෝය. පනහට පනහ ක්‍රමයෙන් නිර්මාණය කරන සියයට පනහක් වූ මැතිවරණ කොට්ඨාස තුනෙන් දෙකකට නොඅඩු වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී නැවත සම්මත කර ගත යුතු බවට පුංචි නීතියක් මෙයට රිංගෙව්වේය. පසුගිය 24 වැනිදා සම්මත කරගැනීමට උත්සාහ කළේ එයයි. කෙසේ වෙතත් මෙම නව පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ වහාම පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව සීමානිර්ණ කමිටුවක් පත් කළේය. සුළු ජාතික දෙදෙනෙක් ද එහි ප්‍රධාන කටයුතු කළහ.

මේ සියලු දෙනාම රටේ යම් පිළිගැනීමක් ඇති අය බව ද අමතක නොකළ යුතුය. ඇතැම් අය රාජ්‍ය සේවාවේ ඉහළම නිලතල හෙබවූවෝය. එවන් කණ්ඩායමක් එක්වී සකසන වාර්තාවක් රටේ සමස්තය පිළිගන්නා බව අපගේ හැඟීමය. සර්වජන ඡන්ද බලය අපට ලැබුණු තැන සිට බලන විට සීමානිර්ණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිව තිබෙන්නේ මේ අවස්ථාවේ පමණය. 1970, 1976 සීමානිර්ණ සහ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාවෙන් පසුව කෙරුණු සීමානිර්ණවලට විශේෂ අර්බුද ඇති වූයේ නැත. එක්කෝ ඒ කාලෙයේ තිබූ නීති අනුව පක්ෂවලට අවශ්‍ය ආකාරයට අර්බුද නිර්මාණය කිරීමේ හැකියාවක් තිබුණේ නැත.

මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මාර්තු 8 වැනිදාය. සීමානීර්ණ කොට්ඨාස සංඛ්‍යාව ලබාදුන් පසු එය මසක් ඇතුළතදී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කළ යුතු බව නීතියේ සඳහන්ය. එහෙත් පනතේ තිබූ වගන්ති එලෙස ක්‍රියාත්මක කිරීමට කතානායකවරයා කටයුතු කළේ නැත. මසකින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතුය යන නීතිය මාර්තු 8 වැනිදා සිට අගෝස්තු 24 වැනිදා දක්වාම ක්‍රියාත්මක කරගැනීමට හැකි වූයේ නැත. ඒ අතින් ගත්විට මෙය ජනතාවගේ ඡන්ද බලයට කළ අගෞරවයකි. සීමානීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සභානායකවරයාය. එහෙත් මේ වාර්තාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම දරන්නේ පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාය. තමන් ඉදිරිපත් කරන පනතට විරුද්ධව තමන්ද ඡන්දය පාවිච්චි කිරීමක් වූයේ මෙරට ඉතිහාසයේ ප්‍රථමවතාවටය. ඒ වගේම මේ වාර්තාවට පක්ෂව පාර්ලිමේන්තුවේ කිසිවකුත් ඡන්දය දුන්නේ නැත. පාර්ලිමේන්තුව විසින් සොයා ගන්නා ලද වෘත්තීය මට්ටමේ පුද්ගලයන් පස්දෙනකු අතින් නිර්මාණ වූ වාර්තාවට පක්ෂ වීමට 225 අතරින් එක් අයකුටවත් නොහැකි වූයේ ඇයිදැයි බරපතළ ගැටලුවකි.

මේ වාර්තාව සැකසූ අයගේ කාලය ඒ වෙනුවෙන් යෙදවූ මහජන ධනය සම්බන්ධයෙන්වත් කිසිවකුටවත් තැකීමක් තිබුණේ නැත. විද්වතුන් හා මෙරට ඉහළම තනතුරු හෙබවූ අය එක්වී කාලය, ශ්‍රමය, ධනය වැයකර සකස් කර ඉදිරිපත් කළ වාර්තාවකට අත්වන ඉරණම මේ ආකාර නම් මතු වන්නේද ප්‍රශ්නයකි. මින් ඉදිරියට මෙවන් වාර්තා සැකසීමට විද්වතුන් තම දායකත්වය සපයාවිද? එයද මේ සමඟ මතුවන ප්‍රශ්නයකි. දේශපාලන හෙන්චයියන් සම්බන්ධව එවන් ප්‍රශ්නයක් මතුවන්නේ නැත. විද්වත් කණ්ඩායමක් මහන්සියෙන් සැකසූ වාර්තාවක් කිසිවකුගේ ඇගයීමකට ලක් නොවී ප්‍රතික්ෂේප වීම බෙහෙවින්ම කනගාටුදායක තත්ත්වයකි. ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් පක්ෂව කතා කළ ද අවසානයේ ඡන්දය මඟහැරියේය. විද්වත් කමිටුවක් ලබාගෙන වාර්තාවක් පිළිගන්න තරම් මට්ටමකවත් වත්මන් පාර්ලිමේන්තුව නැති බව මෙයින් පැහැදිලිවන කාරණාවය.

වඩාත් අමාරු කාර්යය වන්නේ සීමානිර්ණයයි. සියයට සියයක් හැමෝම සතටු වන සීමානීර්ණයක් කිසි දිනෙක මෙරට කළ නොහැක. ස්වභාවය එයයි. අද තිබෙන්නේ අරාජික වූ දේශපාලනයකි. එවන් තත්ත්වයක සෑම කෙනකුම උත්සාහ කරන්නේ නායකයන් වීමටය. සැමටම අවශ්‍ය රටේ නායකයා වීමටය. මේ නිසා තමන්ගේ මතය ජයග්‍රහණය කරවීමට සෑම කෙනෙක්ම පෙළඹී සිටිති. මෙය රටට අවාසිදායක තත්ත්වයකි. වත්මන් ආණ්ඩුවම බලයට පත්වූ පසු පරාජයට පත්වූ ප්‍රථම පනත වශයෙන් ද සීමානිර්ණ වාර්තාව පෙන්වාදිය හැකිය. කිසිවකුත් මෙයට පක්ෂ නොවීම මෙතැන තිබෙන විශාලම අර්බුදයයි. මේ පරාජයෙන් පසු තවත් පියවරක් සඳහන් කර තිබේ. මේ තත්ත්වය කතානායකවරයා අගමැතිවරයාට දැනුම් දිය යුතුය. ඉන්පසු පස්දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර මෙය සමාලෝචනය කිරීමට අගමැතිවරයාට පුළුවන. එම කමිටුව අගමැති සහ ඔහුට කැමැති හතර දෙනකු පත්වන තත්ත්වයක් තිබේ. එම සමාලෝචන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

යහපාලන ආණ්ඩුව සැකසූ සෑම පනතකම ගැටලු තිබෙන්නා සේ මෙතැනදී ද ගැටලුවක් තිබේ. මේ සමාලෝචන වාර්තාව සම්මත විය යුත්තේ සරල බහුතරයෙන් ද නැත්නම් තුනෙන් දෙකකින් ද කියා කිසිදු තැනක කියා නැත. 19 වැනි සංශෝධනය අනුව හිටපු ජනාධිපතිවරයකුට නැවතත් තරග කළ හැකි ද බැරි ද යන ව්‍යාකූල තත්ත්වය නිර්මාණය කර තිබෙන්නා සේ මෙතැනදීද ව්‍යාකූල තත්ත්වයක් රටේ නිර්මාණය කරනු ඇත. කෙසේ වුවත් අගමැති සහ ඔහුට හිතවත් කමිටුවක් සියලු දෙනා සතුටු කළ හැකි සීමානිර්ණ වාර්තාවක් පවත්නා දේශපාලන වාතාවරණය යටතේ සැකසිය නොහැක. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල්යාමය.
සැප්තැම්බර් මාසයේදී තවත් පළාත් සභා තුනක නිල කාලය අවසන් වනු ඇත. ඒ අනුව ලබන ඔක්තෝම්බරය වන විට ලංකාවේ පළාත් සභාවලින් තුනෙන් දෙකක් අක්‍රීය තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැක. ආණ්ඩුවක් හැටියට ජනතාවගේ ඡන්ද අයිතිය මේ ආකාරයට උදුරා ගැනීම කොතරම් සාධාරණද යන ප්‍රශ්නයද මේ සමඟ මතුවනු ඇත. නව ක්‍රමයකට ඡන්දය තැබීමට තමන් දුන් පොරොන්දුව ඉටු කිරීමට තමන් උත්සාහ කළද අනෙක් අයට එයට විරුද්ධ වූ බව පෙන්වා යම් දේශපාලන වාසියක් ලබාගැනීමට ජනපති ප්‍රමුඛව ශ්‍රී.ල.නි.පය කටයුතු කළා දැයි පැහැදිලි නැත. සීමානිර්ණ යෝජනා පාර්ලිමේන්තුවේ පරාජය වන බව සැවොම දැන සිටි කරුණකි. එය එසේ වූයේ රටේ පවතින දේශපාලන වාතාවරණය අනුවය. නිවැරැදි විපක්ෂයක් සහ ආණ්ඩුක් පැවැතියා නම් එම දෙපාර්ශවයට එක්වී පහසුවෙන් මෙය ජයගැනීමට තිබුණි.

කිසිවකුත් පක්ෂ නොවී සීමානිර්ණ යෝජනා පරාජයට පත්වූයේ ද දේශපාලන හේතු මතය. පෙනෙන ආකාරයට කොට්ඨාස ක්‍රමයට යාමට එ.ජා.ප.ය එතරම් කැමැති නැත. එයට හේතුව පළාත් පාලන මැතිවරණයේදී නරකම ප්‍රතිඵලයක් ඔවුන්ට ලැබීමය. එහෙත් මනාප ක්‍රමයට ගියහොත් යම් වාසියක් ලැබිය හැකිය. පුද්ගලබද්ධ සාධකය එහිදී බලපානු ඇත. ජනප්‍රිය චරිත හරහා තමන්ට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරගැනීමට ඇතැම් පක්ෂ සිතනවා විය හැකිය.

ඒ ව​ෙග්ම ශ්‍රී.ල.නි.ප ය සිටින්නේ උභතෝකෝටික තත්ත්වයකය. මේ මොහොතේ ඔවුන්ට ජනප්‍රිය නායකයන්ද අල්පය. ඔවුන්ට යම් හෝ වාසියක් ඇත්තේ කොට්ඨාස ක්‍රමයේය. ඒකාබද්ධ විපක්ෂයද මෙහිදී ප්‍රධාන සාධකයකි. ඔවුන් සතු පළාත් සභා මන්ත්‍රී සංඛ්‍යාව බෙහෙවින්ම ඉහළය. සියයට පනහ දක්වා කොට්ඨාස අඩුකර ඇති නිසා මේ මන්ත්‍රී සංඛ්‍යාවටවත් දීමට ඒකාබද්ධයට කොට්ඨාස නැත. මෙය ඔවුන් මුහුණ දෙන ප්‍රශ්නයකි. කිසිදු හේතුවක් නිසා පළාත් සභා මන්ත්‍රී සංඛ්‍යාව වෙනස් කළ නොහැකි බව පළාත් සභා පනතේ සඳහන්ය. යහපාලන පක්ෂ දෙකටම මෙය වෙනස් කරගැනීමට හැකි වූයේ නැත. මේ නිසා යම් තැනක හිර වී තිබේ. තම පක්ෂයේ සිටින අයටවත් දීමට කොට්ඨාස නොමැති පසුබිමක ඒකාබද්ධය මෙයට විරුද්ධවීම සාධාරණය. ඇතැම් විට සියයට පනහ දක්වා කොට්ඨාස අඩු කළේ යම් දේශපාලන පක්ෂවල ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කිරීමේ යටි අරමුණෙන්වන්නට පුළුවන.

දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂයකට මේ කොට්ඨාස නිර්ණය වාසිදායකය. එහෙත් එම පක්ෂය මේ වනවිට යම් දෙදරීමකට ලක්වෙලාය. ඔවුන් එකට සිටියහොත් මෙහි වාසිය වැඩිය. එනිසා එවන් පක්ෂයක් මේ යෝජනාවට අකමැති වූයේ ඇයි දැයි ප්‍රශ්නාර්ථයකි. කවුරුන් හෝ ඔවුන් මේ තැනට මෙහෙයවූවා විය හැකිය. කෙසේ වුවත් අවසන් ප්‍රතිඵලය වශයෙන් සියල්ල ව්‍යාකූල වී තිබේ.

කවුරු කැමැති වුවත් අකමැති වුවත් මේ මොහොතේ යෝග්‍යම පියවර පන්නේ පැරැණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමය. එසේ නැතිව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැත. පැෆරල් ආයතනය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එක්ව මුල් පනතේ අඩුපාඩු හඳුනාගෙන ඒවා අවම කර මිශ්‍ර ක්‍රමයට ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නිර්දේශ ලබා දුන්නේය. ඒ පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ වුමනාවක් අනුවය. ඒ සඳහා දායකත්වය ලබාදීමට මට ද අවස්ථාව ලැබුණි. ඒ අනුව මේ සම්බන්ධව වාර්තාවක් අදාළ ඇමැතිවරයාට බාර දුනි. ඒ වගේම සියලුම මන්ත්‍රීවරුන්ට ද එය ලබා දුනි. ජනාධිපතිට, අගමැතිට, කතානායකවරයාට ද මේ වාර්තාව ලබාදී ඇති බව කිව යුතුය. යෝජිත මැතිවරණ ක්‍රමයට ඡන්දය පවත්වන්නේ නම් මතුවන ගැටලු නිරාකරණය කර ගන්නා ආකාරය මෙයින් පෙන්වාදුනි. එහෙත් අප එහිදී සීමානිර්ණය ගැන කතා කළේ නැත. ඒ අපට එවැන්නක් ගැන කීමට නොහැකි නිසාය. එය වෙනමම කොටසකි.

19 සහ මෑතකදී කළ කුඩා කුඩා පනත් සංශෝධන හරහා රටේ සියලු දේ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබේ. එනිසා තිබෙන එකම විසඳුම වන්නේ සියල්ල පසෙකට දමා පැරැණි ක්‍රමයට හෝ මැතිවරණය පැවැත්වීමය. පැරැණි ක්‍රමයට ජනතාව අකැමැතිය. දේශපාලනඥයන් කැමැතිය. නව ක්‍රමයට ජනතාව කැමැතිය. දේශපාලනඥයන් අකැමැතිය. පවතින ප්‍රධාන ප්‍රශ්නය එයයි. මේ පසුබිම යටතේ ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වේ යැයි සිතිය නොහැක. මැතිවරණ කොමිසමට ඇති බලය සම්බන්ධ ප්‍රශ්නයක් ද මේ සමඟ මතුවන බව අමතක නොකළ යුතුය. කොමිෂන්වලට කිසිවක් කළ නොහැකිද යන ප්‍රශ්නයද තිබේ.